ඔන්න හදලා දුන්නා, දැන් ඉතිං අපි කියන විදියට නිදහසේ හිටපල්ලා

[Image Credit: exploresrilanka.lk]

ඇතුල් වෙන තැන ලොකු බැරියර් එකක්. පොලීසියේ මහත්තුරු තුන් දෙනෙකුත් හිටියා. අපේ මොකෝ, අපි ආවෙ ටිකක් සැහැල්ලූවෙන් ඉන්නනේ, කියලා අපි එයාලව පහුකරා.

බය හිතෙන තරං පිළිවෙලට හදා ඇති ඒ ලස්සන පරිශ‍්‍රයට අපි ඇතුල් වුණේ උද්දාමයෙන්. දෙපැත්තේ ලස්සන හුරුබුහුටි ගස් වවලා. ව්‍යායාමෙට හැල්මෙ ඇවිදින අයට රෝස පාට ගල් අල්ලපු වෙනම පේව්මන්ට් එකක්. චිල්රන්ස් ප්ලේ ඒරියා එකේ පාර පුරා චිත‍්‍ර ඇඳලා. අමුතු ලස්සනක්. පාර දෙපැත්තේ වාඩි වෙන්න හදපු ගෝලාකාර සිමෙන්ති කුට්ටි. ඒවා පතුලෙ ලයිට්. තැන දැකලා පොඩි එකාට ඉහිලූම් නැති වුණා. ඒකා ඇඟයි හිතයි මුදා හැරියා. දුවන්න ගත්තා.
කොහෙන්දෝ කන් කීරී ගස්සන විසිල් පාරක් වැදුණා.

’‘තණකොළ පාගන්න එපා….අයින් වෙන්ඩ…අයින් වෙන්ඩ ’’ …ඈතින් සෙකුරිටි කෙනෙක් අපේ දිහාට කෑ ගහනවා…මම පොඩි එකා කොහෙද බැලූවා. ඒකගෙ එක කකුලක් රෝස පාට ගල් අල්ලපු පේව්මන්ට් එකේ, අනිත් කකුල තණකොළ බිස්සෙ.

’‘පොඩි ළමයින්ට කියන්න තණකොළ පාගන්ඩ එපා කියලා’’ සෙකුරිටි අපිට සැර දැම්මා.

තව ටික වෙලාවකින් එක පාරටම තවත් විසිල් පාරක් වැදුණා. ඒ වෙන සෙකුරිටි කෙනෙක්. ඈතින් හිටපු වෙන ළමයි ටිකකට. පාරෙ අයිනෙ තියෙන ගලක් උඩ පොඩි එකෙක් නැගලා. ‘‘ගල් උඩ නගින්ඩ බෑ….ගල් උඩ නගින්ඩ බෑ…’’

අපි ටිකක් තක්කු මුක්කු වෙලා හිටියෙ. තැන වැරදිලා ආවදවත් කියලා. එහෙන් මෙහෙන් විසිල් පාරවල් එක දිගටම වදිනවා…‘‘කපල්ස්වලට මෙහේ එන්න බෑ….අර පැත්තෙ විතරයි….මේ පැත්ත තියෙන්නෙ එක්සයිස් කරන අයට’’ තව ටික වෙලාවකින් අපේ පොඩි එකාට ගැහැණු සෙකුරිටි කෙනෙක්ගෙන් දරුණු විසිල් පාරක්. ‘‘ඔය ගල් අහුලන්න එපා…වතුරට ගල් විසි කරන්න තහනං’’

මට තවත් ඉවසගන්ඩ බැරිම තැන කෙළින්ම සෙකුරිටි කෙනෙක් ගාවට ගියා.

‘‘මෙතන මොනවද කරන්න පුළුවන් කියලා කියන්නකෝ’’

‘‘ව්‍යායාමෙට ඇවිදින අයට මේ පේව්මන්ට් එකේ ඇවිදින්න පුළුවන්. පොඩි ළමයින්ට පාරේ බයිසිකල් පදින්න පුළුවන්. ඔය පාරෙ ඇඳලා තියෙන චිත‍්‍ර උඩ බුදියගෙන ෆොටෝ ගන්ඩ පුළුවන්. කකුල් පාර පැත්තට දාලා මේ සිමෙන්ති බෝල උඩ වාඩි වෙන්ඩ පුළුවන්…අනිත් පැත්තට වාඩි වෙන්ඩ දෙන්නෑ, මොකද එතකොට තණ කොළ පෑගෙන නිසා, ගස්වලට හේත්තු වෙලා ඉන්ඩ බෑ, පොඩි ළමයින්ට ගස් නගින්ඩ බෑ, ඔය ලස්සනට තියලා තියෙන කලූ ගල් උඩ වාඩි වෙන්ඩ බෑ,……බෑ….තහනං’’

‘‘ඇයි තණකොළ පාගන්ඩ බැරි?(මට විතරක් ඇසෙන ගාණට) බිම් බෝම්බ වළලලා තියෙනවද?’’

‘‘මේක හදලා තියෙන්නෙ පිඩලි අල්ලලා. හමුදාවයි නේවි එකයි හරි පරිස්සමට මේවා ඇල්ලූවේ. ඕක පාගන්ඩ දුන්නොත් පිඩලි ගැලවිලා යනවා. අනික එක්සයිස් කරන මහත්තුරු මේ ගස් අල්ලගෙන කණකොළ ගොඬේ උඩ පනිනවා…සමහර ගෑනු ළමයි ගස්වලට හේත්තු වෙලා ටෙලිෆෝන් වලින් කතා කරකර කකුල් වලින් පස් හාරනවා…එතකොටත් පිඩලි ගැලවෙන්ඩ පුළුවන්….ගැලවුණොත් හමුදාවයි නේවි එකයි තමයි ආයිත් අල්ලන්ඩ ඕනෙ.’’

‘‘මෙතන සෙකුරිටි මහත්තුරු කී දෙනෙක් ඩියුටි ඉන්නවද?’

ඔහු කියූ හැටියට ඒ පරිශ‍්‍රයේ ආරක්ෂක නිලධාරීන් 22 ක් මුරට සිටිති. ඔවුන් නාගරික සංවර්ධන අධිකාරියෙන් පත් කළ ආරක්ෂක නිලධාරීහු වෙති. මිනිසුන්ට නිදහසේ ගත කරන්නට, දරුවන්ට සෙල්ලම් කරන්නට හැදූ තැනකට ඒ සා විශාල ආරක්ෂක නිලධාරීන් පිරිසක් මොනවටදැයි මට සිතුණ නමුත්, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මේ සුවච කීකරු සේවකයාගෙන් මම එය නෑසුවෙමි. අනික එතැන ඇති නීතී රීති වල තරමට ඒ තරං ආරක්ෂක නිලධාරීන් පිරිසක් නැතිවත් බැරිය. මිනිසුන්ට නිදහසේ ඉන්නට ඉඩ හැර, හැම මොහොතකම ඔවුන් දෙස ඇහැ ගසාගෙන සිටිය යුතුමය. වෙලාවට විසිල් පාර ගැසිය යුතුය.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ(එය කියවෙන්නේ ඒ අසල පිහිටුවා ඇති ඵලකයකය.) පාර්ලිමේන්තු මං සන්ධියේ වෝටර්ස් එජ් අසල ඉදිකර ඇති, තාමත් නොයෙක් අංග එකතු වෙමින් පවතින මේ ව්‍යායාම් සහ උද්‍යාන පරිශ‍්‍රය, අපේ රට තව අවුරුදු කීපයකින් පත්වීමට නියමිත් තත්ත්වය අත්හදා බලන තැනක් වැනිය. සියල්ල බැලූ බැල්මට ඉතා කදිමට නිමවා ඇත. පිළිවෙල උරිමයය. නඩත්තුව ඉස්තරම්ය. සියලූ ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු යුද හමුදාව සහ නාවික හමුදාව විසින් මෙහෙය වේ. දහ අතේ ආරක්ෂක නිලධාරීහු වෙති. ‘‘ජනතා අයිතියට පවරා අතැයි’’ මිනිසුන්ට කියා එන එන එකා දෙස ඇහැ ගහගෙන ඉන්නට ආරක්ෂක නිලධාරීන් යොදවා ඇත. අතාර්කික නීති රැසකි. නිදහස, සැහැල්ලූව රස විඳීම මිනිසුන්ට ඕනෑ හැටියට කරන්නට බැරිය. කකුල තියන්නේ කොතනද, පස්ස තියන්නේ කොතනද, අත කොච්චරක් දික් කළ යුතුද, කී වාරයක් උඩ පැනිය යුතුද,…..මේ ආදී වශයෙන් සියලූ දේ තීරණය කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයෙනි. මිනිසුන්ට ඇත්තේ, (ඇත්තෙන්ම දැන් මිනිසුන් කරන්නේද එයයි) අමාත්‍යාංශයෙන් හදා දෙන සැහැල්ලූවේ පැකේජය පාවිච්චි කර, පොටෝ අරගෙන ගෙදර යාමය.

වරෙක මම මිත‍්‍රයෙකු සමග නිදහස් චතුරස‍්‍රයේ කණුවක් යට වාඩි වී, කුමක් හෝ වැඩක් කරන්නට ලැප් ටොප් එක දිග ඇරගත්තෙමි. ඈතින් පුටුවක වාඩි වී සිටි ගැටවර සිකුරිටි පරල වී අප අසලට විදගෙන ආවේය. ඔහු සිටියේ මහත් උදහසිනි. ‘‘ලැප්ස් තියාගෙන වැඩ කරන්ඩ දෙන්න බෑ’’ මාත් මිතුරාත් ඒ තහනමට හේතුව කුමක්දැයි දිගින් දිගටම ඔහුගෙන් විමසද්දී ඔහු කීවේ එය ආරක්ෂක අමාත්‍යාංශයෙන් තමන්ට දී ඇති උපදෙසක් බවයි. ඕනෑනම් තණකොළ පිට්ටනියට ගොස් වැඩ කරන්නැයි ඔහු අපට කීවේය. අව්වේ ලැප්ටොප් එකක් තියාගෙන වඩ කළ නොහැකි නිසා මෙතනට ආවා යැයි අප කී වීට ඔහු කීවේ, ආරක්ෂක හේතු මත කිසිසේත්ම ඊට ඉඩ දිය නොහැකි බවයි. අපේ රටේ ආරක්ෂක නීති රීතිවල විකල් ස්වභාවයට වඩා මගේ ඉහමොල රත් වූයේ, පීඩිත පන්තියේ අප වැනිම පුරවැසියෙකු වන මේ ගැටවර සෙකුරිටි, ඒ අභූත නීති රීති ක‍්‍රියාත්මක කරන්නට තමන්ට ලබා දී ඇති සොච්චම් බලය කරට ගෙන මයිල් පුප්පාගෙන දාන පාට් එකටයි. මේ අපේ රටේ පොදු ජනතාවගේ ඛේදවාචකයයි.

ආරක්ෂක ලේකම්වරයාගේ ව්‍යාපෘතිය යටතේ, මාදිවෙල ඉදිකර ඇති ව්‍යායාම් පරිශ‍්‍රය ද සුන්දර තැනකි. පස් යටකර හැමතැනකම කොන්ක‍්‍රීට් ගල් කෑලි අල්ලා ඇති නමුත් එතැනට ගිය විට සැහැල්ලූ හැඟීමක් ඇතිවේ. නමුත් ටික වේලාවකින් සෙකුරිටිලා එහෙන් මෙහෙන් එබෙන විට, ඒ හැඟීම අතුරුදහන් වේ. දිනක් රාත‍්‍රී 10. 30 ට පමණ අප මිතුරන් දෙදෙනෙකුත් සමග එතැන පසුකර එන විට, දියවන්නාව අසබඩ සඳ එළිය යට පාළුවට ඇති ගල් බංකු දැක, මඳකට වාඩි වී හිඳ යමුයි සිතා එහි ගියෙමු. අප, පරිසරයේ නිහඬබවට ගරු කරමින් බොහොම සෙමින් කතා කරමින් සල්ලාපයෙන් හිඳිද්දී, රයිපලයකුත් එල්ලා ගත් පොලිස් නිලධාරියෙක් ආවේය. අපි කවුද මෙතන මේ ? මොනවා කරනවාදැයි ඇසූ ඔහු, අපට දැන්මම පිට වී යන්නැයි කීවේය. ‘‘මෙතන හදලා තියෙන්නෙ ව්‍යායාම් කරන්න…නිකරුණේ ගැවසෙන්න බෑ….අනික දැන් වෙලාව 10 පහුවෙලා’’. ‘‘අපි ව්‍යායාම් මං තීරුවේ දුව දුව කතා කළොත් ඉන්න දෙනවාද ’’ යි මගේ වාචාල මිතුරා ඇසූ විට අපි ඔහුවත් ඇදගෙන වාහනයට ගොඩ වූයේ, ආරක්ෂක අමාත්‍යාංශයේ උදහසට ලක් වීමේ ආදීනව ඕනෑවටත් වඩා හොඳින් දන්නා නිසයි.

දියවන්නාව අබියස සිදුවෙන දේ අපේ රට අද පසුකරමින් සිටින, අධ්‍යාත්මය කුණු වුණු සමාජ සංස්කෘතික මොහොත ඉතා නිවැරදිව පිළිබිඹු කරනවා නේදැයි මට සිතේ. රටක් ලෙස අප පසුකර ආ ඉතිහාසය උද්දච්ච ලෙස අමතක කරමින්, ඒ පිළිබඳ සියලූ සලකුණු බුල්ඩෝසර් කර, ඇස් බැන්දුං සංවර්ධනයත්, ජනාධිපති පවුලටත්, මැති ඇමතිවරුන්ටත්, ඒ අයගේ චක්ගෝලයින්ටත් මිස වෙන කාටවත් ඇඟට නොදැනෙන සෞභාග්‍යයකුත් මවා පා ඇත. අහිංසකයින්ගේ ආරාමය චප්ප කර දැමූ තැන ඇත්තේ විසිතුරු මල් අලෙවි කරන කුටිය. පාර්ලිමේන්තුවට හැරෙන පාර ආරම්භ වන තැන මංසන්ධියේ ඉදිකර තිබූ ඝාතනයට ලක් වූ නාලන්ද එල්ලාවල මහතාගේ පිළිරුව අද එතැන නැත. එයට කුමක් වුණාදැයි මා දන්නේ නැත. අද එතැන ඇත්තේ, ජාතික ඇඳුම ඇඳ සාටකය දමා ගත් අභිමානවත් පිරිමියෙක් සහ ඔසරිය ඇඳ මුතු පොට දැමූ ගැහැණියක් සහ ඔවුන් දෙදෙනාගේ පාමුලින් ගොවි, ගෙවිලියන්, පැරණි වෙදෙක්යැයි සිතිය හැකි වියපත් අයෙක්, පොතක් අතින් ගත් ළමයෙක් ආදී වශයෙන් වන පිරිසක් පිළිඹිබු කරන පිළිරුවකි. (එහි අර්ථය එතරම් පැහැදිලි නැත. ඒ බණ්ඩාරනායක සහ පංච මහා බලවේගය යැයි එකවරටම සිතුණත්, එවැන්නන් කිසිසේත් විය නොහැකි බව පසුව සිහිපත් විය.) එය සුදෝ සුදුය.

හැමදෙයක්ම පාලනය වෙන්නේ හමුදාව අතිනි. ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණයෙනි.
(මළවුන් වෙනුවෙන් ඉදිකළ සෙහොන් සහ ස්මාරක කඩා බිඳ දමන්නේත්, හමුදාව. හැමදේම පාලනය කරන්නේත් ,උතුරේ පමණක් නොවේ, හමුදාවය)

මේ සියල්ල දෙස බලා සිටින, හිරි වට්ටවන ලද, පොදු ජනතාවට එකම තැන වට ගණං දුවන්නට නිදහස් පරිශ‍්‍රයක් ලබා දී ඇත. රාත‍්‍රියට පණ ගන්වන විස්මිත වතුර මලට වශී නොවී සිටිය නොහැකිය. දියවන්නාවේ පාවෙන බෝට්ටුවේ අවහන්හල දිහා බලා ඉඳ ගෙදර ගිහින් පාන් කෑල්ලක් කෑවත් සැපය. රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් කියන විදියට සැහැල්ලූව විඳගන්නවානං සෙකුරිටිලාගේ විසිල් වලින් සහ පොලිසීයේ කුරුමාණම්වලින් කරදරයක් නැත. ඔලූවලටට පොලූ වලින් ගසා හීලෑ කළ ජනතාව රුදුරු ආඥාදායකත්වයක් අහෝ සැපයි කියමින් සොඳුරු ලෙස විඳගනිමින් සිටිති.

දියවන්නාව අසබඩ අද පෙනෙන පින්තූරය විශාලනය කර බැලූවොත්, නුදුරේදී හදා නිමවන ශ‍්‍රී ලංකාව දැකගත හැකිවෙනු ඇත.

නදී කම්මැල්ලවීර | Nadee Kammallaweera

ශී‍්‍ර ලංකාව අපරාධකාරයන්ගේ කෙම්බිමක්

ශ‍්‍රී ලංකාව අද වන විට ‘සාමයේ පූර්ණ ප‍්‍රතිලාභ’ භුක්ති විඳින්නේ යැයි, කොතලාවල ආරක්ෂක කටයුතු පිළිබඳ ‘විශ්ව විද්‍යාලයේ’ දී කතාවක් පවත්වමින් ගෝඨාභය රාජපක්ෂ පැවසීම, ඕනෑම දිනක මේ රටේ පුවත්පතක ශීර්ෂ පාඨයක් ගෙන බැලූවොත් බොරුවක් වන්නේය.

නීතිය හා සාමයේ පූර්ණ ගරාවැටීම

පැහැදිළිවම, ඉහළ පෙළේ ‘ත‍්‍රස්තවාදී’ සිදුවීම් ගැනවත්, ‘සිවිල්-හමුදා’ ක‍්‍රියාකාරකම් වේශයෙන් උතුරු නැගෙනහිර පෙදෙස්වල කෙරෙන උග‍්‍ර හමුදා ආක‍්‍රමණිකත්වය ගැනවත් මම මෙහිදී කතා නොකරමි. මේ වනාහී, දකුණේ තත්වය හෙවත් ‘සාමාන්‍ය’ නීතිය බලපැවැත්වීමට අදාළව කෙරෙන සළකා බැලීමක් පමණි. උදාහරණයක් වශයෙන්, සිය දියණියගේ විවා මංගල්‍යය සඳහා වන රුපියල් මිලියන ගණනක මුදලක් රැගෙන යමින් සිටි ව්‍යපාරිකයාගේ පවුලේ සාමාජිකයන්ව පසු ගිය සෙනසුරාදා ආයුධ සන්නද්ධ කල්ලියක් විසින් කොල්ලකනු ලැබීම, ආරක්ෂක ලේකම්වරයාගේ හිත සනහන ඉහත කී මායාව සමග පෑහෙන්නේ නැති බව පෙන්වා දිය හැක. පැහැදිළිවම එම සිද්ධියෙන් ක්ෂතියට පත්විණැ යි සිතිය හැකි එම ව්‍යාපාරිකයා ඉන් වැඩි දවසක් නොගොස් හෘදයාබාධයකින් මියගියේය. මෙවැනි සිදුවීම් අසාමාන්‍ය නැත. නිතරම පාහේ දෛනික ප‍්‍රවෘත්ති වාර්තාවන්ට ඒවා ඇතුළත් වෙයි.

හැබෑ ප‍්‍රශ්නය වන්නේ, එවැනි සිදුවීම් ඇති වීමම නොව, ඒවා විසඳීමට පොලීසිය මුළුමණින්ම අසමත් වීමයි. එදා යුද්ධය පැවති ඉතා දරුණු වකවානුවේ පවා රටේ සාමාන්‍ය නීතිය ක‍්‍රියාත්මක වීම, උසස්ම මට්ටමේ නොපැවැත්වුණත්, අද තරම් නීතිය හා සාමයේ පිරිහීමක් කිසි දවසක මෙරටේ දකින්ට ලැබී නැති බව කිව යුතුය. වඩාත් උත්ප‍්‍රාසාත්මක වන්නේ, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් නීතියෙන් ගැලවී මෙවැනි අපරාධවල යෙදෙන තත්වයක් වැඩියත්ම දකින්ට ලැබෙන්නේ, යුද්ධයෙන් පසුව වීමයි.

නීතියට අතපෙවිය නොහැකි බලගතු පොලිස්කාරයෝ

කොන්ත‍්‍රාත්තුවක් මත ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ බිහිසුණු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන වාස් ගුණවර්ධනව පසුගිය දා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය, දේශපාලනික බලපුලූවන්කාර පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් හුදෙක් ලාභය සඳහාම අපරාධ ක‍්‍රියාකාරකම්වල යෙදෙන සාමාන්‍ය රටාවේ එක් නිමිති අවස්ථාවක් පමණි. මොහු අතීතයේදීත්, කුරිරු වධබන්ධන සහ ඝාතනවලට පෙළඹවීම් සහ ඒවා වහංගු කිරීම් සම්බන්ධයෙන් විවිධ චෝදනා ලැබූවෙකි. එහෙත් බලගතු තැන්වලින් ලද අනුග‍්‍රහය නිසා කිසි විටෙක ඔහුව නීතිය ඉදිරියට ගෙනාවේ නැත. තමා මිනීමරුවෙකු බවත්, තමාට එදිරිවන ඕනෑම කෙනෙකු ගැන වගබලා ගැනීමට, නිදහස් වීමෙන් පසු තමන් පසුබට නොවන බවත්, මේ සිද්ධියට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරියාට ඔහු විසින්ම තර්ජනය කොට සිටීම, මේ නිලධාරියා කොතෙක් නීතියේ රැහැනෙන් විනිර්මුක්ත පුද්ගලයෙකු දැ යි පෙන්වන කදිම නිදසුනකි. කෙසේ වෙතත්, මේ සිද්ධිය පවා, ඒ ගැන දැනට ඇති මහජන උනන්දුව මැකී යන විට, ඉබේම පැත්තකට වීසි වී යනු ඇතැ යි බොහෝ දෙනා නරුම ආකාරයකින් හෝ සැක කිරීම, ඇත්තෙන්ම අස්වාභාවික නැත.

ඒ නිසා, යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාව, ආරක්ෂක ලේකම්වරයා පෙන්වන්ට තැත් කරන ආකාරයේ සාමකාමී පාරාදීස දීපයකට වඩා, ඉතා දරුණු ආකාරයේ දේශපාලක-සාපරාධීත්වයේ කෙම්බිමකට සමීප වෙයි. මේ නිසා, පොලීසිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තබා ගැනෙන්නේ ‘ජාතික ආරක්ෂක මුලෝපායක’ අංගයක් වශයෙනැ යි එම කතාවේ දීම රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා පැවසීම, මොන විදිහකින්වත් කෙනෙකුට ඒත්තු යන තර්කයක් නොවේ.

ඔහුගේ මෙම ස්ථාවරය, මේ කොලමේ මීට පෙර පෙන්වා දී ඇති පරිදි, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශවලටත් කෙලින්ම පටහැනිව පවතී. එම නිර්දේශ යෝජනා කෙරුණේ වාර්තාවේ පිටු පිරැවීමට නොවේ. හමුදා ව්‍යුහය තුළ තවදුරටත් නොරැඳී සිවිල් අධිකාරියක තත්වයට පොලිස් දෙපාර්තමේන්තුව පත්විය යුතුව ඇතැ යි එම කොමසාරිස්වරුන් යෝජනා කෙළේ ඉතා යහපත් හේතු පෙරදැරිවයි. පොලීසියට ආරෝපණය වී ඇති හමුදා ප‍්‍රතිරූපයෙන් අත්මිදී මහජන ප‍්‍රසාදය දිනා ගැනීම, පොලිසිය තුළ සිවිල් අධිකාරිය යළි ස්ථාපිත කිරීම සහ පොලිසියේ අභ්‍යන්තර විනය පාලනය ප‍්‍රතිසංවිධානය කිරීම වැනි හේතු ඊට පෙරදැරි වූ බවට සැකයක් නැත.

ලොමු දැහැගන්වන දණ්ඩමුක්තිය

පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේ විනය පාලනයක් කොහෙත්ම පාහේ නැති කම, ශ‍්‍රී ලංකාවේ නීතිය හා සාමය පිරිහීම කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු වීමට බලපෑ එක් හේතුවකි. 2008 පෙබරවාරි මාසයේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්ටන් එම සභාව හමුවේ, ශ‍්‍රී ලංකා පරිපාලන වාර්තාවක තොරතුරු ඉදිරිපත් කරමින් මේ කරුණු පෙන්වා දුනි:

‘‘දෙපාර්තමේන්තු ඇතුළේ කෙරෙන විනය පරීක්ෂණ මුළුමණින්ම පාහේ ක‍්‍රියාත්මක වන්නේ පහළ ශ්‍රේණිවල නිලධාරීන්ට එරෙහිවයි. පොලීසියේ පහළ නිලධාරීන් විසින් කරනු ලබන වධබන්ධන සහ ඝාතන සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්, විනයානුකූලව හෝ අපරාධ තලයක දී, වගවීමට බැඳෙන්නේ නැත. එය, දෙපාර්තමේන්තු අභ්‍යන්තර පරීක්ෂණ ක‍්‍රියාවලීන්ට මෙන්ම, බාහිර අධිකරණමය ක‍්‍රියාවලීන්ට ද බලපාන සත්‍යයක් වන්නේය. 2001 දී පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ල කරන ලද දෝෂදර්ශන සම්බන්ධයෙන් සියයට 86 ක්ම වැරදිකරුවන් කොට ඇත්තේ පොලිස් කොස්තාපල්වරුන්ව ය. පොලිස් අධිකාරීවරුන්, සියයට 0.04 ක් පමණි.’’

මේ විශේෂ නියෝජිතයා 2005 දී එම වාර්තාව ලියන අවස්ථාවේ තිබුණු ලංකාවේ තත්වය අද වන විට ඊට වඩා සිය ගුණයකින් උග‍්‍ර වී ඇත. පොලිස් දෙපාර්තමේන්තුව එක පැත්තකින් දේශපාලනීකරණය වීමත්, තවත් පැත්තකින් හමුදාකරණය වීමත් නිසා රටේ ජනයාට ඇති කෙරෙන අහිතකර බලපෑම කොතෙක් ද යත්, අද වන විට, සාමාන්‍ය මිනිසාට පමණක් නොව, ආර්ථික වශයෙන් බලවත් පුද්ගලයන්ට පවා පොලීසියේ මැරවර බලයෙන් නිදහස්ව ජීවත් වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත. ඊටත් වඩා, දණ්ඩමුක්තිය හෙවත් නීතියෙන් ගැලවී නිදහසේ අපරාධ කිරීමට කෙනෙකුට ඇති හැකියාව නිසා මේ තත්වය තවත් දරුණු කෙරේ. යකඩ පොලූ මුගුරු සහ බයිසිකල් චේන් අතැතිව මහ දවල් කැළණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට කඩාවැදී පහර දුන් කිසි මැරයෙකු මේ දක්වා පොලීසියෙන් අත්අඩංගුවට ගෙන නොතිබීමෙන් පෙනී යන්නේ එයයි. මතුවට ද ඒ සිද්ධිය ගැන සාධාරණ පරීක්ෂණ පැවැත්වෙතැ යි විශ්වාස කළ නොහේ. වඩාත් බියකරු ප‍්‍රවණතාව වන්නේ එයයි. එම සන්දර්භය තුළ, ආරක්ෂක අමාත්‍යාංශය විසින් පොලීසිය කෙරෙහි ඉටු කරතැ යි කියන අධීක්ෂණ කාර්ය භාරයේ සාර්ථකත්වයක් ගැන ලේකම්වරයා කෙසේ නම් වහසි බස් කියන්න ද?


නිහඩව සිටීමේ විනාශකාරී ප‍්‍රතිවිපාක

වසර කිහිපයකට පෙර ව්‍යවස්ථානුකූලව පත්කරන ලද ‘ජාතික පොලිස් කොමිසම’ මගින් පොලිස් දෙපාර්තමේන්තුව විනයගත කිරීමට තැත් කළ අවස්ථාවේ, පොලීසිය (විශ‍්‍රාමික සහ සේවයේ නියුතු බලධාරින්) මෙන්ම, බලය හොබවන දේශපාලඥයෝ ද ඊට බලවත් සේ විරෝධය පෑහ. අනතුරුව, ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් එම කොමිසමට සාමාජිකයන් පත්කිරීම හරහා එම කොමිසම සතුව එතෙක් පැවති සුපිළිපන් භාවයේ ශ්ලේෂ මාත‍්‍රයක්වත් ඉතිරි නොවන තැනට කටයුතු කෙරිණ. අවසානයේ දී, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමත් සමග, පොලිස් දෙපාර්තමේන්තුව ගැන කෙරෙන මහජන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට එම කොමිසමට එතෙක් පැවති බලය සරුවපිත්තල ආභරණයක් පමණක් බවට පත්කෙරුණි. පාතාල කල්ලි සහ හමුදා අපරාධකරුවන් සමග අත්වැල් බැඳගෙන සාපරාධී ක‍්‍රියාවන්හි නිරත වන, දේශපාලනික වශයෙන් බලවත් සහ අන්ත දූෂිත පොලිස් නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට මොනම බලයක්වත් අද පවතින ‘ජාතික පොලිස් කොමිසමට’ නැත.

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පෙලෙන මායාවට ප‍්‍රතිපක්ෂව වර්තමානයේ සැබෑ තත්වය වන්නේ, සරළ වැදගත්කමේ සිට බරපතල වැදගත්කමකින් යුත් සිදුවීම් දක්වා ක‍්‍රියාත්මක විය යුතුව ඇති රටේ නීතිය හා සාමය පොදුවේ වල්වැදී ඇති බවයි. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට, මේ පාලකයන් විසින් නිර්දය අන්දමින් ‘ජාතික පොලිස් කොමිසමේ’ තටු කපා දමද්දී නිහඩව සිටි රටකට, මෙවැනි වන්දියක් ගෙවන්නට සිදුවීම ස්වභාවිකයි. ගතවන සෑම මොහොතක් පාසාම, ඒ විනාශකාරී ප‍්‍රතිවිපාකවලින් විඳවීමට, අප ඕනෑම කෙනෙකුට සිදුවිය හැකිය. සැබවින්ම, අද පවතින යථාර්ථය වන්නේ එයයි.

කිෂාලි පින්තු ජයවර්ධන |

_________________________________________________________________________________________
2013 ජුනි 16 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ Sri Lanka: A haven for Criminals
ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

මාධ්‍ය ආචාර ධර්ම සහ තථ්‍යතා පරීක්ෂාව

‘‘ආණ්ඩුවේ වංචාව සාර්ථකව හෙළිදරව් කළ හැක්කේ, යදම් රහිත නිදහස් මාධ්‍යකට පමණි’’
(පෙන්ටගන් ලියවිලි පිළිබඳ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය)

මාධ්‍ය මර්දනයට එරෙහි කලු ජනාවාරි විරෝධය | කොළඹ | January 29, 2013 | Image: Vikalpa file

රාජපක්ෂලා ඔවුන්ගේ ‘මාධ්‍ය ආචාර ධර්ම යෝජනා’ රටේ නීතියක් බවට පත්කළහොත්, ශ‍්‍රී ලංකාවටත් ‘ඇමතිසත්‍යයක්’ (සත්‍යය අමාත්‍යාංශයක්) ලැබෙනු නොඅනුමානයි. එවිට, ශ‍්‍රී ලංකා මාධ්‍යයේ භූමිකාව, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුරබල්ලා’ යන සම්මත අරුතින් ‘රාජපක්ෂලාගේ ඔඩොක්කු කුක්කා’ බවට අළුතින් නිර්වචනය කළ යුතු වනු ඇත.

එහි ප‍්‍රතිවිපාකයක් වශයෙන් බිහි වන ඕර්වෙල්ලියානු* යථාර්ථය තුළ, රජයේ සේවකයෙකුව ගස් බැදීමට මර්වින් සිල්වාටත්, රග්බි තරග විනිසුරුවරයෙකුට පහර දීමට රෝහිත රාජපක්ෂටත්, දෙනෝදාහක් මැද්දේ අවසර ලැබෙනු ඇත. එහෙත් ඒ ගැන වාර්තා කිරීමට හෝ අදහස් පළ කිරීමට අවසරයක් මාධ්‍යයට ලැබෙන්නේ නැත. මන්ද යත්, (අපේක්ෂිත නීතියට අනුව) එසේ වාර්තා කිරීම මගින්, ‘‘රටේ සදාචාරයට සහ මහජන අපේක්ෂාවන්ට නොගැළපෙන හෝ මහජන වින්දනය සහ සදාචාරයේ ප‍්‍රමිතීන් පහත් තත්වයකට බාල්දු කෙරෙන’’ තත්වයක් ඇති විය හැකි නිසා ය.

එසේම, අපේ පරිසරයට නොගැළපෙන ක‍්‍රමවේද සහ යල්පැන ගිය තාක්ෂණය භාවිත කරමින් බලශක්ති බලාගාරයක් පිහිටුවීමට චීන සමාගමකට අවසර ලැබෙන්නේය. එහෙත් ඒ ගැන වාර්තා කිරීමට සහ අදහස් පළ කිරීමට අවසරයක් මාධ්‍යයට නොලැබෙන්නේය. මන්ද යත්, (අපේක්ෂිත නීතියට අනුව) එය, ‘‘ජාත්‍යන්තර සම්බන්ධතා කෙරෙහි බලපාන විවේචනයක්’’ විය හැකි බැවිනි.

එසේම, සිංහල-බෞද්ධ උන්මත්තකයන්ට ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් පල්ලිවලට පහර දීමට අවසර ඇතත්, ඒ ගැන වාර්තා කිරීමට සහ අදහස් පළ කිරීමට ඉඩක් මාධ්‍යට නැත. මන්ද යත්, එසේ වීමෙන්, ‘‘ආගමික කණ්ඩායම් සහ ප‍්‍රජාවන් පිළිබඳ අපහාසාත්මක අදහස් පළවිය හැකි නිසා හෝ ආගමික සහ වාර්ගික සංහිඳියාවට අනර්ථකර ආකාරයෙන් වාර්ගික සහ ආගමික අසමගිය රෝපණය විය හැකි’’ නිසා ය.

එසේම, තමන් මවා ගත් ද්‍රෝහීන්ට සහ සතුරන්ට ප‍්‍රසිද්ධියේ බැන වැදීමට ගෝඨාභය රාජපක්ෂට හැකි වන අතර, එසේ බැන වැදීම ඔහුගේ ‘ක්‍රෝධාවේශයකැ’ යි වාර්තා කිරීමට මාධ්‍යට හැකිවන්නේ නැත. මන්ද යත්, එය, ‘‘අසභ්‍ය වන, අපකීර්තිකර වන, සචේතනික බොරුවක් වන, ඇනුම්පද කීමක් වන…’’ බැවිනි.

ම්ලේච්ඡ, අසාධාරණ සහ අනීතික දෝෂාභියෝගයක් අගවිනිසුරුවරියට එරෙහිව ගෙන ඒමට රාජපක්ෂලාට බාධාවක් නැති අතර, ඒ ගැන වාර්තා කිරීම ‘‘ජනතාව නොමග යවනසුළු ප‍්‍රවෘත්තියක්’’ විය හැකි නිසා, මාධ්‍යට එය තහනම් ය.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් පැහැර ගැනීමට බාධාවක් නැත: හොර විගණන වාර්තාවක් සැපයීමට ‘රණවිරු සේවා අධිකාරියට’ අවසර ඇත. එහෙත්, ඒ කිසිවක් ගැන වාර්තා කිරීම, අදහස් පළ කිරීම, ‘‘හිංසනය දිරිමත් කිරීමක් හෝ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බාධාවක් විය හැකි හෝ ජාතික-විරෝධී ආකල්ප බෝ කිරීමක් හෝ’’ විය හැකි නිසා, තහනම් ය.

අවංක විනිසුරුවරුන් තොග පිටින් දඩුවම් පිණිස මාරු කර යැවීමට රාජපක්ෂගේ ශ්‍රේෂ්ඨාධිකරණයට අවසර ඇත. එසේම අල්ලස් ගත් පුද්ගලයන්ට උසස් වීම දීමටත් පිළිවන. එහෙත් ඒ කිසිවක් ගැන වාර්තා කිරීම හෝ අදහස් පළ කිරීම ‘‘අධිකරණයට අපහාසයක්’’ වන නිසා තහනම් ය.

බලය බෙදා හැරීම ගැන බොරු කියන්ට ජනාධිපතිවරයාටත්, ප‍්‍රගීත් එක්නැලිගොඩ ගැන බොරු කියන්ට ඔහුගේ අගවිනිසුරුවරයාටත්, සංවර්ධනයේ සිට රාජ්‍ය ආරක්ෂාව දක්වා වන කරුණු සම්බන්ධයෙන් බොරු කියන්ට ඔහුගේ සහෝදරයන්ටත් අයිතිය තිබේ. ඒවා කෙබර යැයි කියන්ට මාධ්‍යට අයිතියක් නැත. මන්ද යත්, එය, ‘‘විධායකයේ, අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ සුපිළිපන් භාවයට’’ කැළලක් විය හැකි බැවිනි.

හෙළ උරුමයට හෝ බොදුබල සේනාවට, සුළු ජාතීන්ට එරෙහි වෛරය වපුරන්ට පුලූවන. එහෙත් එවැනි ක‍්‍රියා ක්‍රෝධය වැපිරවීමක් වශයෙන් පෙන්නුම් කරන්නට මාධ්‍යට පුලූවන් කමක් නැත. මන්ද යත්, එවිට ‘‘වාර්ගික, භාෂාමය හෝ ආගමික ජන කොටසකට හෝ පුද්ගලයෙකුට එරෙහි විවේචනයක් හෝ මඩ ප‍්‍රහාරයක්’’ විය හැකි බැවිනි.

දුමින්ද සිල්වාට, ඔහුගේ වෛද්‍යවරුන්ට සහ ඔහුගේ නීතිඥයන්ට ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන බොරු කියන්ට පුලූවන. එහෙත් ඒ බොරු හෙළිදරුව් කිරීමට මාධ්‍යට නොහැක. මන්ද යත්, ඒ මගින්, ‘‘පුද්ගලයෙකුගේ පවුල් ජීවිතය, පුද්ගලයෙකුගේ මූල්‍ය තොරතුරු… පුද්ගලයෙකුගේ කායික හෝ මානසික සෞඛ්‍ය තොරතුරු… මහජන අවශ්‍යතා වෙනුවෙන් කෙලින්ම අදාළ නොවෙතොත්’’ පළ කළ නොහැකි නිසා ය.

මහින්ද රාජපක්ෂව ‘හිරු දෙවියන්’, ‘සඳ දෙවියන්’ සහ ‘ත‍්‍රීසිංහලයේ නරේන්ද්‍රයන්’ වශයෙන් මුරුංගා අත්තේ තැබිය හැකිය. එහෙත් සුළුජාතික ආගමක් වෙනුවෙන් පෙනී සිටීම, ‘‘මිථ්‍යා විශ්වාසයක් හෝ අන්ධ භක්තියක්’’ විය හැකි නිසා මාධ්‍යට තහනම් ය.

බලවතුන්ට සහ ඔවුන්ගේ නෑහිතවතුන්ට මිනී මරන්ට පිළිවන. වධහිංසා පමුණුවන්නට පිළිවන. ස්ත‍්‍රීන් දූෂණය කරන්ට පිළිවන. සුදු වෑන් එවා මිනිසුන්ව උස්සන්ට පිළිවන. එවැනි රුදුරු ක‍්‍රියා වාර්තා කරන්නට මාධ්‍යට නුපුලූවන. මන්ද යත් එය, ‘‘දාමරිකත්වය, මත්ද්‍රව්‍ය ආසක්තිය, පරපීඩාකාමය, ලිංගික සල්ලාලකම සහ අසභ්‍ය දේවල්’’ පතුරුවා හැරීමක් විය හැකි බැවිනි.

රාජපක්ෂලාව වර්ණනා කිරීමට සහ ‘ආසියාවේ ආශ්චර්ය’ තුළ සිදුවන අපරාධ සහ දූෂණ නොතකා ඉන්නට බැරි කමක් නැත. එහෙත් වකුගඩු රෝග වසංගතය පිළිබඳ කැබිනට් වාර්තාව කූට ආකාරයෙන් වෙනස් කළෝ කවරහු දැ යි ප‍්‍රශ්න කිරීමට, සහල්වල සීමාන්තික කැඞ්මියම් අන්තර්ගතය ගැන ප‍්‍රශ්න කිරීමට, නීති කඩන ස්වකීය ඇබිත්තයන්ට ජනාධිපතිවරයා ආචාර ධර්ම හඳුන්වා දෙන්නේ කවදා දැ යි ප‍්‍රශ්න කිරීමට, 2005 දී රුපියල් බිලියන 32 ක් ඉපෑයූ රාජ්‍ය ආයතන 2012 දී රුපියල් බිලියන 107 ක් පාඩු ලබන්නේ කෙසේ දැ යි ප‍්‍රශ්න කිරීමට මාධ්‍යට පුලූවන් කමක් නැත. මන්ද යත්, එවැනි ප‍්‍රශ්න, ‘‘ආචාරධර්ම විරෝධී සහ නීති විරෝධී’’ විය හැකි බැවිනි.

‘අපේ නායකතුමා කරන දේවල් අපි කවුරුත් හැම මොහොතකම අනුමත කරමු’’ යැයි, හිට්ලර්ගේ රහස් පොලීසියේ නිර්මාතෘ හර්මන් ගෝරිං වරක් ප‍්‍රකාශ කෙළේය. ලංකාවේ මාධ්‍යයේ ප‍්‍රධාන ක‍්‍රියාන්විත මූලධර්මය මෙවැනි අනුකෘතියකට ඌනනය වන කාලය ඈත නැත. පාලකයන්ට සහ ඔවුන්ගේ සහචරයන්ට ස්තෝත‍්‍ර ගයන, රජයේ ප‍්‍රතිවාදීන්ට දෙස් දෙවෙල් තියන සහ අනිත් සියලූ දේවල් ගැන නිහඩව සිටින මාධ්‍යක්, එහි ප‍්‍රතිඵලය වශයෙන් බිහිවෙනු ඇත. දිනපතා සියල්ල යහපතට හැරෙමින් තිබේ ය යන්න, රජයේ මෙන්ම පෞද්ගලික මාධ්‍යයේ ද, එකම පණිවිඩය වෙනු ඇත.

මියැදෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය

‘අළුතෙන් බිහි වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල්’ යනුවෙන් හැඳින්වෙන රටවල් විශේෂයක් තිබේ. එසේම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිට ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධයට පල්ලම් බසින රටවල් විශේෂයක් ද තිබේ. ශ‍්‍රී ලංකාව වැටෙන්නේ, ඒ ගනයට යි. සමහර විට, එවැනි සංක‍්‍රාන්තියක් ව්‍යුහගතව මුල් ඇදීමට කලින් නතර කර ගැනීමට පුලූවන් කම තිබේ. එහෙත් අවාසනාවකට මෙන්, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග ලංකාව ඒ කඩඉම පැන්නේය. ස්වාධීන කොමිෂන් සභා ජනාධිපති අතකොලූ බවට පත්වීමත් සමග, ජනාධිපති බලතල තවත් උලූප්පමින් ජනාධිපති ධුර වාර ගණන ඉවත් වීමත් සමග, පවුල් ඒකාධිපතිත්වය වෙත වැටී තිබුණු පටු දුෂ්කර මාර්ගය, සුපිරි අධි-වේගී මාර්ගයක් බවට පරිවර්තනය කෙරිණ.

විරෝධය නොපාන, අඥාන සහ මන්දෝත්සාහී ජනතාවක් බිහි කර ගැනීම පාලකයා ඉදිරියේ ඇති ඊළඟ කර්තව්‍යයයි: හීලෑ වූ මාධ්‍යක් ඒ සඳහා ඔහුට අවශ්‍ය කෙරේ.

මිචිගන් විශ්ව විද්‍යාලය මගින් කරන ලද නවතම අධ්‍යයනයකට අනුව, ‘ප‍්‍රවෘත්ති නිදහස ඉහළින් ඇති රටවල්, උසස් පරිසර ගුණයක් සහ උසස් මානව සංවර්ධනයක් භුක්ති විඳින අතර, රටක දූෂණයේ සෑම මට්ටමක්ම හෙළිදරව් කරන මුරබල්ලාගේ භූමිකාව රඟපෑම නිසා උසස් ජීවන තෘප්තියක් ද භුක්ති විඳින්නේය’.

නිදහස් සහ විවේචනාත්මක මාධ්‍යයකින් තොරව, ඇති විය හැකි ව්‍යසනයන් ගැන ජනතාව කල්තියා දැනුවත් කළ නොහැක. අසංවේදී දෙපයට යටින් කෙමෙන් මෝදු වන ගිනි රකුසා ගැන නොතකමින්, විසූවියස් කඳු බෑවුමේ කෙළිලොල් වන්නට එවිට කෙනෙකුට නිදහස තිබේ.

* ජෝර්ජ් ඕවල්ගේ ලෝක ප‍්‍රකට ප‍්‍රහසන නවකතාව වන ‘1984’ සඳහන් පරිදි, අත්තනෝමතික පාලන තන්ත‍්‍රයක මහා බොරුවට සමස්ත සමාජයක්ම ජීරණය කරගැනීමේ මාධ්‍ය ව්‍යාපෘතිය හැඳින්වුණේ, ‘සත්‍යය අමාත්‍යාංශයක්’ යනුවෙනි. එහි දී, ‘සත්‍යය’ යනුවෙන් ගැනුණේ, පාලකයාගේ ‘සත්‍යය’ යි. උදාහරණයක් වශයෙන්, දෙකයි දෙකයි එකතු කළ විට උත්තරය පහ යැයි පාලකයා සිතයි නම්, එය ‘සත්‍යය’ වශයෙන් රටවැසියා භාරගත යුතුය. (පරිවර්තක)

තිසරණී ගුණසේකර
_________________________________________________________________________________________
2013 ජුනි 09 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Media-Ethics & Reality Control
ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

වෛරී කථන තහනම අත්‍යාවශ්‍යයි

ජනමාධ්‍ය සහ ප‍්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියන පරිදි, සියලූ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සඳහා වන ‘ආචාර ධර්ම පද්ධතියක්’ හඳුන්වා දීමට ආණ්ඩුව සැරසෙයි. රජයේ ‘ඬේලි නිව්ස්’ පුවත්පතට අනුව, ‘රටට වැඩදායක මාධ්‍ය සංස්කෘතියක්’ නිර්මාණය කරනු වස්, මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් අඩංගු පනත් කෙටුම්පතක් ලබන සැප්තැම්බරයේ දී අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

කර්තෘ සංසදය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් පෞද්ගලික මාධ්‍ය ව්‍යාපාර සඳහා 2001 දී සාමූහිකව හඳුන්වා දෙන ලද පුළුල් ආචාර ධර්ම පද්ධතියක් දැනටමත් තිබේ. එය, ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ පුවත්පත් පැමිණිලි කොමිසම විසින් පිළිගෙන තිබේ. අනිත් අතට, මාධ්‍ය සඳහා වන මාර්ගෝපදේශකත්වයන් සැපයිය යුත්තේ මාධ්‍ය ප‍්‍රජාව විසින්ම මිස ආණ්ඩුවෙන් නොවන බවත් පැහැදිළියි.

ආණ්ඩුවේ මෙම පියවර දෙස බොහෝ මාධ්‍යවේදීන් බලන්නේ සැකයෙනි. එය, බැටළු හමක් පොරවා ගත් වෘකයෙකු මෙනැ යි ඔවුන්ට සිතේ. මෙම කෙටුම්පතේ එක් වගන්තියකින් වෛරී කථනය පිළිබඳ ඕනෑම ප‍්‍රකාශනයක් තහනම් කිරීමට යෝජනා කෙරේ.

කෙසේ වෙතත්, ආචාර ධර්ම පද්ධතියක් නොව, ජාතීන් අතර වෛරය සහ අසමගියට පාර කපන වෛරී කථන සහ ප‍්‍රකාශන ප‍්‍රසිද්ධ කිරීම සහ විකාශය කිරීම පිළිබඳ දැඩි තහනමක් පැනවීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය දෙයකි. ජනතාව අවුස්සන පෙළපාලි, මහජන රැලි සහ වෙනත් ඒ හා සමාන රැස්වීම් ද ඊට ඇතුළත් විය යුතුය.

ජාතිවාදීන් ඉතා සුළු පිරිසක් විසින් ජාතීන් අතර අසමගිය සහ වෛරයේ ගිනි දැල් ඇවිලවීමට පෙරමුණ ගෙන වැඩි කාලයක් නැත. යම් හේතුවක් නිසා දැනට තරමක් යටපත්ව ඇති මේ විනාශකාරී බලවේග, සිංහල බහුතරයේ නාමයටත්, සමස්තයක් වශයෙන් රටේ ජාතීන් අතර සමගියටත් සිදු කළ හැකි අනර්ථය තේරුම් නොගෙන තවමත් ඔවුන්ගේ හෝ සමහර විට ඔවුන්ගේ ඇමරිකානු, නෝර්වේ හෝ ඊශ‍්‍රායල් හාම්පුතුන්ගේ න්‍යාය පත‍්‍ර මුස්ලිම් ජනතාවට එරෙහිව පවත්වාගෙන යති.

දශක තුනක වාර්ගික යුද්ධයකින් 2009 දී ගොඩ ආ මෙරටට, සියල්ලන් අනර්ථයට හෙලන තවත් දශක කිහිපයක ලේ හැලීමකට දායක වීමට පුලූවන් කමක් නැත. කෙසේ වෙතත්, මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඇතැම් කොටස්, විශේෂයෙන් පසුගිය වසරේ හැසිරුනු විලාසය අනුව, වෛරී කථන, වෛරී ප‍්‍රකාශන සහ එක ජාතියක සිත්සතන් තවත් ජාතියකට එරෙහිව උසිගන්වන වෙනත් එවැනි ක‍්‍රියාවන් තහනම් කිරීමේ අවශ්‍යතාව පෙන්නුම් කරයි.

එසේම, 1948 සිට බලයට පැමිණීමට හෝ බලයේ රැඳීමට ජාතිවාදය පාවිච්චි කළ දේශපාලඥයන් ද, ආගම, සංස්කෘතිය සහ ජන වර්ගය ආරක්ෂා කර ගැනීමේ නියාවෙන් ජාතිවාදය මත යැපීමට තැත් කළ මාධ්‍යය ද, මෑත අතීතයෙන් කිසි පාඩමක් උගෙන නැති බවත් මෙයින් පෙන්නුම් කෙරේ. ඇත්තෙන්ම, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයේ ඇතැම් කොටස්, පළිගැනීමේ ලෝලයෙන් පෙලෙන විනාශකාරී බලවේගවල ප‍්‍රචාරක මෙවලම් බවට බොහෝ දුරට පත්ව සිටී.

මෙය අළුත් දෙයක් නොව. එය පටන් ගත්තේ දශක කිහිපයකට කලිනි. උදාහරණයක් වශයෙන්, නිදහසෙන් පසු ආසන්න වකවානුවේ, ලේක්හවුස් සහ ටයිම්ස් සමූහ ව්‍යපාරය, විවිධ ප‍්‍රජාවන්ට නරකට බලපාන කරුණු ඉස්මතු කළ බව පෙන්වා දිය හැකිය. එහෙත් පොදුවේ ගත් විට, ජාතීන් අතර ද්වේෂය සහ හිංසාව අවුස්සන ආකාරයෙන් ඔවුන් ක‍්‍රියා කෙළේ නැත.

එම සම්ප‍්‍රදාය, දවස පුවත්පත් සමාගමේ සම්ප‍්‍රාප්තියත් සමග පොඩිපට්ටම් කෙරුණි. ව්‍යාපාරික අවශ්‍යතා සඳහා නග්න ජාතිවාදය සිය ප‍්‍රධාන වේදිකාව කර ගැනීමට ඔවුන් මැළි නොවුණි. 1968 අගෝස්තු මාසයේ දී, දෙමළ කොන්ග‍්‍රසය ද ඇතුළත් කරගත් ජාතික ආණ්ඩුවක් සඳහා සහාය ලබා ගැනීමේ පොරොන්දුව මත, දිස්ත‍්‍රික් සභා ක‍්‍රමයක් හඳුන්වා දෙන පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඩඞ්ලි සේනානායක උත්සාහ කෙළේය.

මෙය, පසු කලෙක එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග ඇති කරගත් එකඟතා සමග සසඳන කල, බලය බෙදා හැරීමේ මෘදු ආකෘතියක් සඳහා වූ උත්සාහයකි. පසු කලෙක දකුණු ආසියාවේ දරුණුතම ඝාතක බිමක් බවට ලංකාව පත්කළ දෙමළ තරුණයන්ගේ කැරලිකාරීත්වය ඒ මගින් වැළැක්වෙන්නටත් ඉඩ තිබුණි.

එහෙත් මේ යෝජිත දිස්ත‍්‍රික් සභා කෙටුම්පතට විරෝධය පෑ දවස පුවත්පත් ආයතනය, බහුතර සිංහල ප‍්‍රජාව තුළ රුදුරු දෙමළ විරෝධයක් අවුලූවන්නට විය. එය මොන තරම් සාහසික වී ද යත්, එම ආයතනයේම ‘දිනපති’ දෙමළ පුවත්පතේ සේවය කළ මාධ්‍යවේදියෙක්, ‘‘මේ වෛරී ව්‍යාපාරයෙන් රට ඇදගෙන යනු ඇත්තේ කොයිබට දැ’’ ප‍්‍රශ්න කෙළේය. ඒ ප‍්‍රශ්නයට පිළිතුර අද අපි දනිමු.

යෝජිත දිස්ත‍්‍රික් සභා පනතට නැගුණු විරෝධයේ තරමට එම ප‍්‍රයත්නය අතහැර දැමීමට ඩඞ්ලි සේනානායකට සිදුවිය. එහි නොවැළැක්විය හැකි ප‍්‍රතිවිපාකය වුණේ, තමන්ගේ ජනතාවට එවැනි විසඳුමක් පිළිබඳ ප‍්‍රතිඥා දී සිටි ෆෙඩරල් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමයි. ෆෙඩරල් පක්ෂයට තිබුණු විකල්පය කුමක් දැ යි අසනු ලදුව, පසු කලෙක ඝාතනය වූ ෆෙඩරල් පක්ෂ නායක අමිර්තලිංගම් සහ එවකට වීරකේසරී පුවත්පතේ සේවය කළ අභාවප‍්‍රාප්ත ත්‍යාගරාජා මට මෙසේ කීහ: ‘‘ඩඞ්ලි අවංකවම සිය ප‍්‍රතිඥාව ඉෂ්ට කිරීමට උත්සාහ කළා. ඒත්, ජාතිවාදී බලවේග ඒක ඇහුරුවා. ඒක නිසා, ආණ්ඩුවෙන් ඉවත් වෙලා පිට ඉඳං ආණ්ඩුවට සහාය දීම ඇරෙන්න ෆෙඩරල් පක්ෂයට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.’’

මාධ්‍ය ඊට වඩා සාධාරණ විණි නම්, පොරොන්දු වූ පරිදි ‘දිස්ත‍්‍රික් සභා’ඇති කෙරුණි නම්, දෙමළ තරුණයන්ගේ කැරලිකාරීත්වයත්, පසු කලෙක ඇති වු ජන සංහාරය සහ රට ආපස්සට ගිය ගමනත් වළක්වා ගන්නට තිබුණි.

එහෙත් එයින් හතළිස් පස් වසරක් ගෙවී ඇති අද, මිනිස් සංහාරයක් සහ මහා විනාශයක් අවසානයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකරුවෙකු වන මහජන එක්සත් පෙරමුණ, බලය බෙදා හැරීමේ ඒකකය වශයෙන් දිස්ත‍්‍රික් සභා ක‍්‍රමයක් යෝජනා කරමින්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද පළාත් සභා ක‍්‍රමය අහෝසි කරන්නැ යි ඉල්ලන විට, මතුපිටින් පෙනෙන්ට ඇත්තේ මොළේ පෑදී ඇති බවකි. එහෙත් එම යෝජනාව, බලය බෙදාහැරීම සඳහා නොව, පළාත් සභා අහෝසි කිරීම මාර්ගයෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ සුළු ජාතීන්ට හිමිව ඇති අයිතීන් අහිමි කිරීම සඳහා වන විගඩමකට වැඩි දෙයක් නොවේ.

2009 මැයි මාසයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව, සිංහල, දෙමළ සහ මුස්ලිම් ආදී සෑම ජන කොටසක්ම එකාවන්ව, දේශපාලඥයන් සහ මාධ්‍ය ව්‍යාපාරය අතීතයෙන් පාඩම් උගනිති යි බලාපොරොත්තු වූහ. විවිධ ජන කොටස් සාධනීය දිශානතියක් කරා ඒකරාශී කරමින් රට ඉදිරියට ගෙන යාමට උරදෙනු ඇතැ යි බලාපොරොත්තු වූහ. අවාසනාවකට ඒ සියළු ප‍්‍රාර්ථනා දැන් සුනුවිසුණු වී ගොසිනි. දේශපාලඥයෝ තවමත් ඡන්ද බැංකුවම ඉලක්ක කරති. අනිත් පැත්තෙන්, මාධ්‍යයේ වගකීම් විරහිත ආවරණය, දෙමළ ජනතාවට සහ මෑතක සිට මුස්ලිම් ජනතාවට එරෙහිව බහුතර සිංහල ප‍්‍රජාව උසිගන්වන වෑයමකට එක දිගටම උරදෙයි.

පසු ගිය වසරක පමණ කාලය තිස්සේ කුඩා කණ්ඩායමක චන්ඩි ව්‍යාපෘති උඩ දමමින් මාධ්‍යයේ ඇතැම් කොටස් කටයුතු කළ ආකාරයෙන් පෙන්නුම් කරන්නේ, රට ගැන කිසි තැකීමක් නැතිව, දේශපාලඥයන්ගේ පටු ව්‍යාපෘති සාධනය සඳහා වන මෙවලම් වශයෙන් කටයුතු කිරීම හැරෙන්නට අපේ මාධ්‍යයට වෙනත් ඉදිරි දැක්මක් නැති බවයි.

මේ කණ්ඩායම මොන තරම් කුඩා වුවත් ඔවුන් නගන හඩ, පමණටත් වඩා රටට අසන්නට සැලැස්වෙයි. උදාහරණයක් වශයෙන්, මේ කෑකෝගසන පිරිස, වර්තමානයේ 225 ක් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් 10 ක් හෝ 12 ක් වැනි අල්පයකට වැඩි කණ්ඩායමක් නොවේ. එසේ වතුදු, මේ අන්ත සුළුතරයේ හඩ සඳහා මාධ්‍ය තුළ වෙන් කෙරෙන ඉඩ, බහුතරයේ හඩ යටපත් කරන තරම් ය. බොහෝ මාධ්‍ය ආයතන, මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව සිංහලයන්ව අවුළුවන මතවාද මුල් තැනක් දී නිදහසේ බෙදාහරිනු ලැබේ. අනවශ්‍ය හලාල් ආහාර සහ සත්ව ඝාතනය වැනි ප‍්‍රශ්න උඩ දමමින්, නැති ප‍්‍රශ්න ඇති කරන්නේ ඔවුන් ය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දැන් උණුසුම් ආකාරයෙන් කෙරෙන සංවාද තුළින් අපට පෙනෙන්නේ, අපේ දේශපාලඥයන්වත්, මාධ්‍යවත් අංශු මාත‍්‍රයකින්වත් වෙනස්ව නැති බවයි. ඉතිහාසයෙන් කිසි පාඩමක් උගෙන නැති බවයි. අද ඔවුන් දරණ ආකල්ප, 1968 දිස්ත‍්‍රික් සභා පනතට විරෝධය පෑ ස්ථාවරයෙන් වෙනස් නැත. මේ තත්වය යටතේ අද අවශ්‍ය කරන්නේ, මාධ්‍ය සඳහා වන මාර්ගෝපදේශ නොව, ජාතීන් අතර වෛරය අවුළුවන කිසිවක් ප‍්‍රකාශයට පත්කිරීම හෝ විකාශය තහනම් කෙරෙන පුළුල් නීති මාලාවකි. ඇත්ත වශයෙන්ම, මාධ්‍ය සඳහා වන මාර්ගෝදේශකත්වය සැපයිය යුත්තේ මාධ්‍ය ප‍්‍රජාව වෙතින්ම මිස ආණ්ඩුවෙන් නොවේ.

ලතීෆ් ෆාරුක්

______________________________________________________________________________________________
පරිවර්තනය, ‘යහපාලනය ලංකා‘ අනුග්‍රහයෙනි

[Image credit: www.muni.org]

නගර සංවර්ධනය සදහා කෝවිල ඉවත් කර ‘රථගාලක්’

කොළඹ, කොල්ලූපිටිය පෙරේරා මාවතේ අරලියගහ මන්දිරයට පිටුපස පිහිටා තිබෙන අවුරුදු 80ක් පැරණි අයිතිහාසික ශී‍්‍ර පූමාරි අම්මන් කෝවිල වෙනත් ස්ථානයකට මාරු කරන ලෙස නගර සංවර්ධන අධිකාරිය නියෝග කර ඇත. ඒ අනුව ඊයේ(12) ශී‍්‍ර පූමාරි අම්මන් කෝවිලේ තිබුණු පිලිම ඉවත් කර වෙනත් තැනකට රැගෙන යාමට කෝවිල් පරිපාලන පියවර ගත් බව පැවසේ.

1928 දී මෙම කෝවිල ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා ඉඳි කර ඇති අතර දැන් කොළඹ නගරයේ සංවර්ධනය කිරීම සඳහා මෙම කෝවිල පිහිටි ඉඩම අවශ්‍ය බවත් එම නිසා වහාම මෙම කෝවිලට වෙන්කර තිබෙන නවම් මාවතට ඉඩමට රැගෙන යන ලෙස නගර සංවර්ධන අධිකාරිය කෝවිල් පරිපාලනයට නියෝග කර ඇත.

එසේම දැනට කෝවිල තිබෙන ඉඩම් කොටසේ කොළඹ මහ නගර සභා රථ ගාලයක් ඉඳි කිරීමට තීරණයක් කර ඇති බවද ආරංචි මාර්ග පවසයි.

කොවිලේ දේව රෑපය ඉවත් කරගත් අවසාථාව


නගර සංවර්ධන අධිකාරියේ නියෝගය ප‍්‍රතික්‍ෂේප කළ කෝවිල් පරිපාලනය කෝවිල සඳහා කොල්ලූපිටියේ නෙල්සන් මාවතේ ඉඩම් කොටසක් දෙන ලෙස ඉල්ලා තිබෙන අතර කෝවිල් පරිපාලනයේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ අධිකාරිය කෝවිල ඉවත් කිරීම අනිවාර්ය බව පවසා තිබේ.

මේ පිළිබඳව ‘විකල්ප‘ වෙත අදහස් දැක් වූ ශී‍්‍ර පූමාරි අම්මන් කෝවිල් භාර පාලනාධිකාරී බාලකි‍්‍රෂ්ණන් මහතා
:

’1928 සිට අද දක්වා ශී‍්‍ර පූමාරි අම්මන් කෝවිල කොල්ලූපිරිය පෙරේරා මාවතේ පිහිටා තිබුණා. 1945 වර්ෂයෙන් පසු සෑම අවුරුද්දම උත්සව පවත්වා ශී‍්‍ර පූමාරි අම්මන් මෑණියන්ගේ ආශිර්වාදය අපේ ජනතාව ලබා ගනිමින් සිටියා. මෙම කෝවිලට සෑම ජාතියටම අයත් ජනතාව පැමිණ වැඳ පුදා ගැනීම විශේෂත්වයක්.’

‘ඒත් දින 10 කට පෙර නගර සංවර්ධන අධිකාරිය විසින් අප වෙත ලියුමක් යොමු කර, රටේ සංවර්ධන කි‍්‍රයාමාර්ගයට කෝවිල් ඉඩම අවශ්‍යවන බවත් දින 10කින් කෝවිල ඉවත් කරන ලෙසත් ඒ ඔස්සේ නියෝග කර තිබෙනවා. ඒ සඳහා වෙනත් ඉඩම් කොටසක් ලබා දෙන ලෙස අප කළ ඉල්ලීමට නවම් මාවතේ ඉඩම් කොටසක් වෙන් කර ඇති බව දැන්වූවා. නවම් මාවතේ වෙන් කර ඇති ඉඩම කෝවිල් ඉඳි කිරීමට සුදුසු තැනක් නෙමෙයි. එම ප‍්‍රදේශය පිරිසිදු පරිසරයකුත් නෙවෙයි. ඒ නිසා අපි කොළඹ 3 ප‍්‍රදේශයේ ඉඩම් කොටසක් අපි ඉල්ලා සිටියා. නමුත් නගර සංවර්ධන අධිකාරිය ඒ පිළිබඳව කිසිඳු සැළකිල්ලක් දැක්වූවේ නැහැ. නගර සංවර්ධන අධිකාරිය දුන් දින 10 ක කාල සීමාව ඊයෙන් අවසන් වුණා. නමුත් අපි තව දින 10ක කාල සීමාවක් අධිකාරියෙන් ඉල්ලා සිටියා. දෙන්න බැහැ කිව්වා. එම නිසා වෙනත් කි‍්‍රයාමාර්ගයක් නොමැතිව ශී‍්‍ර පූමාරි අම්මන් මෑණියන්ගේ පිලිමය ඉවත් කර ආමර් වීදියේ තිබෙන නිවසක තැබීමට තීරණය කරා. පසුව විශේෂ පූජාවෙන් පසුව පිලිම ඉවත් කරගෙන ගියා.’

‘අපි හිතන්නේ මේවා ඉතාමත් වැරැදි කි‍්‍රයා මාර්ග කියලයි.’

ඒ සමඟ නැෙඟනහිර තිබෙන උගණ මුරුගන් කෝවිල අසල බෞද්ධ විහාරයක් ඉඳි කිරීමට කටයුතු කරන බව ආරංචි මාර්ග පවසයි. මෙයට ලාහුගල ප‍්‍රාදේශ ලේකම් සහ පානම විහාරයේ විහාරාධිපති ඇතුළු කණ්ඩායමක් උත්සහ දරණ බව ජනතාව චෝදනා කරයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රදේශවාසියෙක් පැවසූවේ,” ‍ෛඑතිහාසිකව හින්දු බැතිමතුන් විසින් වන්දනා කරමින් සිටින උගණ මුරුගන් කෝවිල පිහිටා තිබෙන පරිසරයේ විහාරයක් ඉඳි කිරීම කිසි සේත්ම අනුමැති කරන්න බැහැ. මෙය ඉතා මතා හින්දු ජනතාවගේ හිතට වේදනා ගෙන දෙන්නක්‘‘ බව ඔහු පැවසීය.

මේ පිළිබඳව විකල්ප වෙත අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍ර පොන්. සෙල්වරාසා :

‘උගණ මුරුගන් කෝවිල පරිසරයේ විහාරයල් ඉඳි කිරීමට අපි අනුමැතිය දෙන්නේ නැහැ. මේ පිළිබඳව අපි අම්පාර දිස්ති‍්‍රක් දිසාපති දැනුවත් කර අපේ කණසල්ල පළ කළා. ඒ මොහොතේ දිසාපතිතුමා පැවසුවා, විහාරාධිපතිවහන්සේ පෙත්සමක් භාරදුන් බවෙ. එම පෙත්සමෙන්, උගණ කෝවිල අසල ඉඩම් අක්කර කිහිපයක් අවශ්‍ය බවත් ඔවුන් විහාරයක් ඉඳි කිරීමට යන බවත් පොසොන් පෝය දිනයට පෙර එම ප‍්‍රදේශයේ බෝධීන් වහන්සේ රෝපණය කිරීමට යන බවත් කියා තිබෙන බවත් ඔහු පවසා සිටියා. ඉන් පසු කෝවිල් පරිපාලනය හා ප‍්‍රදේශවාසීන් සමඟ සාකච්ඡා නොකර ඉඩම් වෙන් කරන්න බැරි බව විහාරාධිපතිවහන්සේට දිසාධිපති තුමා දැනුම් දුන් බව අප වෙත ඔහු දන්වා සිටියා.’

‘නමුත් කිසිඳු අවස්ථාවක උගන කෝවිල් පරිසරයේ විහාරයක් ඉඳි කිරීමට ඉඩ නොදෙන බව දිසාපතිතුමා අප වෙත ප‍්‍රකාශ කළා.පසුගිය ජූනි පළමු වෙනිදා රාති‍්‍රයේදී මඩකලපුව දිස්ත‍්‍රික්කයේ පිහිටි කුරුක්කල් මඩම් ශී‍්‍ර සෙල්ල කදිර්කාමර් කෝවිල, මාංකාඩු පිල්ෙලෙයාර් කෝවිල, කිරාන් කුලම් අයියනාර් කෝවිල, පාණ්ඩිරුප්පු ත‍්‍රව්පදි අම්මන් කෝවිල යන කෝවිල් හතරක් කඩා එහි තිබූ පිලිම වලට නාඳුනන පිරිස හානි කර තිබුණා. මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙනමුත් තවම කිසිඳු සැකකරුවෙක් අත් අඩංගුවට පත්වී නැහැ.’

උතුරේ ඉඩම් අත්පත්කිරීමේ නිළධාරීන් ඉල්ලා අස්වන්නේ ඇයි?

කිලිනොච්චිය දිස්ත්‍රික්ක ඉඩම් අත්පත් කිරීමේ නිළධාරියා ලෙස ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශය විසින් පත්කළ එස්. වීරකත්තිපිල්ලයි තම ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ග්ලෝබල් ටැමිල් වෙබ් අඩවිය වාර්තා කරයි. එහි වැඩිදුරටත් සදහන් වන්නේ, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශය විසින් උතුරෙහි සෑම දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයකම පසුගිය මස ඉඩම් කාර්‍යාලයක් විවෘත කර ඇති අතර මෙම කාර්‍යාලය මඟින් උතුරෙහි රැඳී සිටින හමුදාවට අවශ්‍ය පෞද්ගලික ඉඩම් කඩිනමින් අත්පත්කරදීමේ කටයුතු ද ආරම්භකර තිබුණි.

මෙවැනි තත්වයක පසුගිය අප්‍රේල් මස යාපනය දිස්ත්‍රික්ක ඉඩම් අත්පත්කිරීමේ නිළධාරියා ලෙස කටයුතු කළ ආර්. සිවසුවාමි මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වී ගියේය. අනතුරුව කිලිනොච්චිය දිස්ත්‍රික්ක ඉඩම් අත්පත්කිරීමේ නිළධාරියා ලෙස පත්කරන ලද එස් වීරකත්තිප්පිල්ලයි මහතාද තම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

එහි වැඩිදුරටත් සදහන් වන්නේ, හමුදාව විසින් ඉඩම් අත්පත්කිරීම පිළිගත නොහැකි හෙයින් ඔවුන් තම දූරයෙන් ඉල්ලා අස්වී යන බවට එහි වැඩිදුරටත් පැවසෙන අතර එම පුරප්පාඩූ වූ ධූරයන් සඳහාවූ මෙතෙක් කිසිවකු ඇයඳුම්කර නොමැතිවීම ද විශේෂත්වයකි.

කෙසේ නමුත් උතුරේ දහස් ගණනක් අවතැන් ජනයාගේ ඉඩම් තවමත් ඔවුන්ට ලබා දීමට අදාල බළධාරීන් කටයුතු නොකිරීම තුළ, හමුදාව විසින් ඔවුන්ගේ ඉඩම් පරිහරණය කරන බවට පසුගිය කාලය පුරා වාර්තා වූ අතර, වලිකාමම් ප්‍රදේශයේ ජනයාගේ ඉඩම් ගැටලුව ගැන ඊයේ(11) ද විකල්ප තුළ විස්තරාත්මක සටහනක් පළවිය. එහිදී ද ඔවුන් පවසා සිටියේ තම මුල් පදිංචි ස්ථානයන් හමුදාව විසින් අත්පත්කර ගෙන තිබෙන නිසා තමන්ට එම ඉඩම් නොලැබී යන තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.

කෙසේ නමුත් උතුරේ ජනයාට අයිති ඉඩම්, ඔවුන්ට ලබා දීම හෝ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සවිල් පරිපාලනය හා සම්බන්ධ වූවක් වුවත් අන් සෑම තැනදීම මෙන් ඉඩම් ගැටලුවටත් හමුදාව සෘජුවම මැදිහත් වී ඇතැයි උතුරේ ජනයා චෝදනා කරයි. ඒ තත්ත්වයන් තුළ සිවිල් ක්‍රියාකාරකම් සදහා පත්කරන ලද නිළධාරීන් මෙසේ තම රැකියාවලින් ඉල්ලා අස්වීම පිළිබදච එම ජනයා තුල තව තවත් සැක සංකා මතු වීම නොවැලැක්විය හැකිය.

ඒබැවින් යුද්ධයෙන් වසර 4කට පසුත්, සිවිල් ජනජීවිතයේ කාර්යයන් සදහා සිවිල් පරිපාලනය ශක්තිමත් කිරීම සිදුකරනවා යැයි පවසන ආණ්ඩුව වහාම කළයුතු වන්නේ මෙම ඉඩම් අත්පත්කිරීමේ නිළධාරීන් ඉල්ලා අස්වන්නේ ඇයි ද යන්න සොයා බැලීමයි. එසේම නිළධාරීන් ලවා හමුදාවට ඉඩම් ලබා දීමට ප්‍රථම වසර ගණනාවක් අවතැන්ව සිටි උතුරේ ජනයාගේ ඉඩම් ඔවුන්ට ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම නොවේද? එසේ නොවුනහොත් ‘ආණ්ඩුව යෝජනා කරන සංහිදියාව‘ හෝ තව තවත් ඈතට යනවා මිසක ලගා කර ගත හැකි වන්නේ නම් නැත.

නිදහස් අධ්‍යාපනය රැක ගත යුත්තේ ඇයි ?

නිදහස් අධ්‍යාපනය රැකගත යුත්තේ මන්ද යන්න සම්බන්ධව මෙරට තුළ හටගෙන ඇත්තා වූ සංවාදය මේ වන විට යම් ප‍්‍රමාණයකින් අධිපති දේශපාලන මතවාදය හමුවේ ගිලිහී යමින් පවතින බවක් පෙනී ගිය ද , නිදහස් අධ්‍යාපන පනත හදුන්වාදුන් අවස්ථාවේ දී එහි පුරෝගාමියා වශයෙන් කටයුතු කළ සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර මැතිදුන් මෙහි වටිනාකම සම්බන්දයෙන් සිදුකරන ලද එක්තරා ප‍්‍රකාශයක් කැටිත්තක් වශයෙන් ගෙන මෙහිදී සදහන් කිරීමට වටී. එනම් ඔහු පැවසූයේ ඈත හද්දා පිටිසර පොල්අතු පැලක ඉපිද දැනුමින් ලෝකය පුබුදු කරන්නට සංචිත සක්‍යතාවෙන් යුතු දුගී දුප්පත් දරුවනට ද ඒ සදහා අවස්ථාව නිදහස් අධ්‍යාපනය මගින් උදාවන බවකි. මෙම අරමුණ කෙතරම් නම් මානුෂික හා සහනදායී දැයි සිතාබැලිය යුතුය.

1948 නිදහස හා අධ්‍යාපනයේ අධිරාජ්‍යවාදී අරමුණු

වර්ෂ 1948 දී මෙරටට ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් හිමිකොට දෙමින් අධිරාජ්‍යවාදීන් පිටමංව ගියද ඔවුන් විසින් මෙරට තුළ පාලන කටයුතු කරගෙන යාමට සිය බටහිර සම්ප‍්‍රදායන් හා සිරිත් විරිත් ඇතුළු ජීවන හා ප‍්‍රතිපත්තිමය චර්යා මත සිය අඩිපාරේ ගමන්ගන්නා සුවච කීකරු පැලැන්තියක් නිර්මාණය කොට නික්ම ගියෝය. අප විසින් සිහි තබාගත යුත්තේ වෙනත් ජාතියක පිය සටහන් මත අන්ධානුකරණයෙන් ගමන් ගන්නා තවත් ජාතියක් කිසිදු දිනක සිය අනන්‍යතාවය තැවරුනු අඩි සටහන් මිහිතලය මත නොතබන බවයි. අධිරාජ්‍යවාදීන් මෙම ලාංකීය මහ පොලව මත නිර්මිත තත්ත්වය අසල්වැසි ඉන්දියාවේ තත්ත්වයෙන් වෙනස් වූයේ සුලූ වශයෙනි. මැකෝලි සාමි වරයා ප‍්‍රකාශ කළේ භාෂාවෙන් හා සමෙහි වර්ණයෙන් පමණක් ඉන්දියානුවන් වන එහෙත් ච්න්තනයෙන් බටහිරයන් වන පිරිසක් නිර්මාණය කළ යුතු බවත් ඒ සදහා අධ්‍යාපන ක‍්‍රමවේදය භාවිත කළ යුතු බවත් ය. එම අධිරාජ්‍යයවාදී චින්තනමය වහන්තරාවෙන් මෙරට ද වසාගත් බව අප දනිමු.

මැකෝලීකරණ කෝවෙහි දමා බ්‍රිතාන්‍යයන් විසින් නිර්මිත හාා ඔපමට්ටම් කරන ලද මෙරට පාලක පැලැන්තිය සිය පාරම්පරික රදළ හා වලව්කාර ස්වභාවය දිගින් දිගටම පවත්වාගෙන යාමේ වුවමනාව හා අධිපතීත්වය රැක ගැනීම ඇතුළු අරමුණු රැසක් හේතුවෙන් සාමාන්‍ය පොදු ජනයා අධ්‍යාපනය ලැබීමේ මාවතින් ඉවත් කොට සිය වතු හා කර්මාන්තයන්හි කම්කරුවන් වැනි විධායක ශ්‍රේණියේ නොවන රැකියා සදහා ඉන්දියාවෙන් මෙරටට ගෙන ආ කම්කරුවන් හා යොදා ගන්නා ලදි. එසේත් නොමැති නම් සිය රදළ භාවයට තර්ජනයක් විය නොහැකි මට්ටමේ ස්ථානයන්හි රැදවූහ. සිය දූ පුතුන් විදේශීය විශ්වවිද්‍යාල තුළින් උපාධිධාරීන් බවට පත්වද්දි මෙරට දුප්පත් දෙමාපියන්ගේ දරුවන් අධ්‍යාපනයෙන් පිටමං වූහ. මෙය එක්තරා රටාවක් මත සිදු වූ බව සමීපව මේ දෙස බැලීමේ දී පෙනී යයි. සිය හාමුපුතුන් වෙනුවෙන් කඹුරා සිය ජීවිතවම ගෙවා දැමීම නිර්ධනයාට උරුම වූ අතර සුලූතරයක් වූ පාලක පැලැන්තිය භූවල්ලෙකු පරිද්දෙන් රටෙහි දේශපාලන , ආර්ථික සේම සාමාජීය යනා දී සෑම අංශයක් අතරෙහිම සිය ආධිපත්‍යය තහවුරු කර ගන්නට යෙදුණි.

කාලය කෙමෙන් ගතවෙද්දි වාමාංශික දේශපාලන කණ්ඩායම් හා දේශීය චින්තනය මත පදනම්ව හටගත් ව්‍යාපාර හා අනෙකුත් ප‍්‍රගතිශීලී බලවේගයන්හි බලපෑම හේතුවෙන් නිදහස් අධ්‍යාපන ක‍්‍රමවේදයක් වෙත විතැන් විමට පාලකයනට සිදු වූ වග හදුනා ගැනීම වටී. එසේ නොමැතිව බන්දේසියක තබා ජනතාව වෙත නිදහස් අධ්‍යාපන අයිතිය උරුමකර දීමට පාලනයින් ත්‍යාගශීලී වූවා නොවේ. නිදහස් අධ්‍යාපනය නැමැති සංකල්පය වෙත කලින් කලට විවිධ දේශපාලනික හා දෘෂ්ටිවාදාත්මක කෝණයන්හි නිර්වචනයනට බදුන් වීමට සිදුවූ අන්දම නූතන ඉතිහාසය පිරික්සීමෙන් හදුනාගත හැකිය. බලයේ සිටින්නන් එය සිය වාසියට අනුරූපවන අන්දමින් එය විග‍්‍රහ කර ගන්නා අතර විරුද්ධ පාර්ශව විසින් සිය බල වුවමනාව සංතෘප්තකර ගැනීමට උපකාර වන අනාගත අවියක් ලෙසින් ද ‘නිදහස් අධ්‍යාපනය’ විග‍්‍රහ කර ගන්නට යෙදුණි මන්ද යත් මෙම සංකල්පය තරම් සංවේදී තවත් සංකල්පයක් නොමැති තරම් වන බැවිණි.

ෆැන්ටසිය තුළ පුරවැසියාට පුරවැසියා අමතක කරවීම

මෙරට ජනගහනය අතරින් බොහෝ පිරිසක් එදිනෙදා ජීවන අරගලය හා සටන් වදිනුයේ උදර කුහරය සිසාරා පැනනගිනු ලබන කුසගින්නට එරෙහිවය. කිරිපිටි, සීනි, හාල් , පරිප්පු , භූමිතෙල් , කරවල යනාදී එදිනෙදා ජන ජීවිතයෙහි භාවිත ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් භාණ්ඩයන්හි සේම ප‍්‍රවාහනය වැනි සේවාවන්ගේ ද මිල අහස උසට නැග තිබේ. පාලකයාගේ සැබෑ ස්වභාවය වනුයේ පාලිත ජනයා හට ජීවන අරගලයක් නිර්මාණයකර දීමය. එම අතිධාවනකාරී ජීවන අරගලය අතරතුර නතරවීමට හෝ හති ඇරීමට හෝ සමාජ සංසිද්ධීන් දෙස විමර්ෂණාක්‍ෂියෙන් හා විචාරවීමංනාත්මකව අවලෝකනයක යෙදීමට හෝ නොහැකි වන සේ එම ගමන අතරතුර විවේකයක් ලැබීමට හෝ නොතබා කප්පාදු කරයි. එවිට පුරවැසියා විචාරාත්මක ලෙස සිතීමෙන් ඈත් වන අතර ඉන් අනතුරුව අප වෙනුවෙන් සිතීමටත් , අප සිතිය යත්තේ මොනවාද ? නොසිතිය යුත්තේ මොනවාද ? අපේ චින්තනයේ සීමා මොනවාද? යන දෑ කියා දීමට මාධ්‍ය හරහා පුරවැසියාගේ නිවසට ව්‍යාජ බුද්ධිමතුන් හා මතවාදී නිර්මාපකයින් යොමුකිරීම සිදුකරයි. ඔවුන් අප වෙනුවෙන් සිතයි. සැබෑවටම ඔවුන් කුලියට සිතයි. පුරවැසියා සිතීමෙන් වලක්වා එකී කෘත්‍ය තමුන් වෙත පවරාගැනීමට පාලකයාගේ දූතයෝ කි‍්‍රයා කරති. ඔවුන් විසින් සැලසුම් සකස් කරති, ඒ උදෙසා ගෙවීම් ඇතුලූ සියලූ වරප‍්‍රසාදයෝ ලබත්. දෛනික ජීවිතය තුළ අධික කාර්යබහුලත්වය නිර්මාණය කිරීම හා එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ප‍්‍රජාවගේ චින්තනය සොරකම් කර අධිපතිමතවාදය තැවරූ චින්තනයක් මනස් තුළට රහසේම එන්නත් කිරීමත් සිදුකරනුයේ එපරිද්දෙන් වග අප සියුම් ලෙස පසක්කර ගත යුතුය. ටෙලිනාට්‍ය , කි‍්‍රකට් තරග , තරු තේරීමේ විවිධ තරග වැනි ෆැන්ටසිමය හීනයන් පෙන්වා ජීවන අරගලයක තමා නියුතු බව පවා අමතක කරවා පුරවැසියා සමාජ යථාර්ථයෙන් මුදවා සිහි මුර්ජා කොට දැමීම සිදුවේ. ජනතාවගේ චින්තනය අධිපති චින්තනයේ පැවැත්ම උදෙසා යටිබිම්ගත කෙරේ.

ජනයා පසුදා අවදිවීමේ අරමුණින් යහන්ගත වනුයේ තමා නරඹන ටෙලි නාට්‍යයේ මීළග කොටස හෝ තමා එස්.එම්.එස් කළ සුපරි තරුව වේවා යැයි හෝ පතමිනි. රාතී‍්‍ර ස්වප්නය වන්නේ ද එයයි. පසු දින බස් රියේ, දුම් රියේ හෝ වැඩපලේ දී සාකඡාචාවට ලක්වන්නේ ද එයයි. මා එසේ පවසනුයේ මුලූ මහත් සමස්තයම පිළිබද නොවේ නමුදු අති බහුතරය එබන්දෝ බැවි ප‍්‍රායෝගික යථාර්ථයයි. මිනිසාට මිනිසා අමතක කරවීම සොදහා හේතු වන්නා වූ එම සංකීර්ණ කි‍්‍රයාවලිය මෙරට පමණක් පවතින්නක් නොව ධනේෂ්වර සමාජදේහයෙහිම අනිවාර්ය කි‍්‍රයාවලියකි. එම කි‍්‍රයාවලියෙහි ඝණකම එක් එටකින් තවත් රටකට වෙනස් විය හැකිය. නිදහස් අධ්‍යාපනය රැකගත යුත්තේ මෙවන් වූ සමාජ තිරය පිටුපස පවතින්නාවූ ඔජස් ගලනා යථාර්ථයන් වසා ඇති දුහුල් සලූ කීතු කීතු කොට ඉරා දමා සැබෑ නිරුවත දැක බලා ගැනීමට අවශ්‍යය අන්තර්ඥානය ශිෂ්‍යා වෙත ප‍්‍රක්‍ෂෙපණය කරන්නා වූ සැතක් ද වශයෙන් එය වැදගත් වන බැවිණි. පෞද්ගලික අධ්‍යාපනය තුළ එය නොලැබී යන බැවිණි.

ආර්ථික සාධකය

ආර්ථීකය නැමැති සාධකය විසින් සකලවිධ මානව සබදතා හිරිවට්ටවා දමනු ලැබේනු පෙනේ. විදුලි බිල දැවැන්ත ඉහළ යාමකට මේ මොහොතේ ලක්ව තිබේ. මිල අඩුවන භාණ්ඩයක් ඇත්තේම නැති තරම්ය. මැතිවරණයකට දින කිහිපයක් පූර්වයෙන් මේවායේ මිල අඩු වුවද සාමාන්‍යය පවුලක නඩත්තු කටයුතු ද සිදුකර ගනිමින් දරුවකු හට අධ්‍යාපනය ද ලබා දීමට මුදල් වියදම් කිරීමට දෙමාපියන් හට වත්කමක් නොමැති බව පැහැදිලි කරුණකි. මෙම තත්ත්වය දරුවන් කිහිපදෙනෙකු සිටින පවුලක නම් වඩාත් බරපතළය. ණය වෙමින් හෝ දරුවන් පාසැල් යොමුකිරීමද අනතුරුව පෞද්ගලික උපකාරක පංති වෙත යොමු කිරීමද වත්මන් අධ්‍යාපන රටාව තුළ අනිවාර්ය අංග බවට පත්ව ඇත.

නිදහස් අධ්‍යාපනය රැකගැනීම වැදගත් වනුයේ මෙයන් වටපිටාවක් තුළදීය. මන්ද යත් දැනුම් විධායකයක් කරා සහ ගෝලීයකරණය තුළින් විශ්ව ගම්මානයක් කරා ලෝකය ගමන්කරමින් සිටිනා මෙවන් යුගයක රටක සංවර්ධනය වඩා යහපත් වීමට නම් අදාළ රටෙහි පුරවැසියන් දැනුමින් සන්නද්ධව සිටීම ඉතා වැදගත් වන බැවිණි. නමුදු ගැටලූව වනුයේ රටක පාලකයන් සිය රටෙහි ජනතාව දැනුමින් සුපෝෂිත වනු දැක්මට රුචි නොවීමයි. මන්දයත් සබුද්ධික ජනතාවක් බිහිවීම යනු පාලකයාගේ පාලනකාලය කෙට් වීමක් බව ඔවුන් දන්නා බැවිනි. අයුක්තිය හා අසාධාරණයට එරෙහි පුලූල් සමාජ වෙනසක් උදෙසා සබුද්ධික ජනයා නිරතුරුවම පෙළගැසෙන බැවිනි. ඒ හේතුවෙන් අධ්‍යාපනය ලබාදීමේ දී පාලනයකට ලක් කරන ලද විෂය නිර්දේශිත රාමුවක් තුළ පමණක් ඉගැන්වීම් සිදු කෙරෙන අතරම ආර්ථීක වර්ධනය හා ලාභ උපරිම කර ගැනීමේ ඉලක්කය වටා අධ්‍යාපනය සංවිධානය කිරීම හේතුවෙන් තවත් අර්බුදයක් නිර්මාණය වී තිබේ. මෙය ලෝකමට්ටමින් පැතිර ඇති අන්දම චිකාගෝ විශ්වවිද්‍යාලයෙහි දර්ශනය පිළිබද මහාචාර්යවරියක වන මාර්තා නස්බොම් විසින් ද සිය ‘‘Why Democracy Needs The Humanities’’ කෘතියෙහි දක්වා තිබේ.

මානවශාස්ත‍්‍ර විෂයයන් කප්පාදුවේ බලපෑම

ඒ අතරතුර මානව ශාස්තී‍්‍රය විෂයයන් කප්පාදුකොට රැකියා වෙළදපොලෙහි ව්‍යාජ ලෙසින් නිර්මිත ඉල්ලූමක් පවතින විෂයයන් මතුකිරීම මේ වන විට පැහැදිලිව හදුනා ගැනීමට පුලූවන. මානව ශ‍්‍රාස්ත‍්‍ර විෂයයන් යනුවෙන් හදුන්වනුයේ භාෂා, සාහිත්‍ය, කලා, ඉතිහාසය වැනි විෂයයන් ය. මේවායෙන් මානව චින්තනය පෝෂණය කරන අතරම ප‍්‍රභාෂ්වර දෘෂ්ටියකින් සමාජාවලෝකනයට අවැසි නව දැනුම හා විචාරාත්මක බවට හේතු භූත වන්නාවු පුලූල්වූ දැනුම් උල්පත් මිනිසා තුළ උත්පාදනය කරයි. එසේ උපදින නව දැනුමින් සමාජය නිවැරදි දිශානතියක් කරා මෙහෙයවීමට හැකි ය. නිරුදක කතරක අහඹුවෙන් හමුවන සිසිල් පැන් ගලනා උප්ලතක් සේ මානවශාස්තී‍්‍රය ඥානය පුරවැසියාට වැදගත් වේ. මේ වන විටත් ශිෂ්‍යාගේ නිර්මාණශීලීත්වය හා විචාරාත්මක චින්තනය දියුණුකරනු වෙනුවට සාමිප‍්‍රදායික දෑ නිශ්ක‍්‍රීයව හා ප‍්‍රශ්නකිරීමකින් තොරව උරාගන්නා පිරිසක් බවට ශිෂ්‍යයෝ පිරිහෙලනු ලැබ සිටිති. සම්ප‍්‍රදාය යනු වනපොත් කරගත යුත්තක් නොව සංවාදයට කැදවිය යුත්තකි. නිදහස් අධ්‍යාපනය රැකගතයුතු යැයි හුදු සටන්පාඨයක් වශයෙන් භාවිතකිරීමකට සීමා නොවී උක්ත සදහන් කාරණාවෝද සංචිත වූ හා එකී කාරණාවන්ගෙන් පෝෂණය වූ සැබෑ නිදහස් අධ්‍යාපනයක් ඇතිකර ගැනීමට සැවොම එක් විය යුතුය. පරිපූර්ණ නිදහස් අධ්‍යාපනයක් විසින් බිහිකරනු ලබන පුරවැසියා යනු තමා අයත් කාලය හා සමාජය පිළිබද විචාරාත්මක චින්තනයෙන් යුතුව බලන්නකු වේ. අප විසින් නිදහස් අධ්‍යාපනය තුළ රැකගත යුත්තේ හා පෝෂණය කළ යුත්තේ මේවාය.

ධනේශ්වර ක‍්‍රමයෙහි ලෝක මට්ටමේ පවත්නා අර්බුදයේ බලපෑම

නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති තුළ අනිවාර්ය අංගයක් වනුයේ රාජ්‍ය කළමනාකරුවකුගේ තත්ත්වයට පත්ව පැවතීමයි. එනම් ආයතන පෞද්ගලීකරණය කරමින් ඉන් ලැබෙන බදු හා අනෙකුත් ලාබ ලබමින් මූල්‍ය කළමනාකරනයෙහි නිරතවීමයි. මහාපරිමාණ කර්මාන්ත ශාලා ඇතුළු රාජ්‍ය අංශය සතුව පවතින සමාගම් ආදිය පෞද්ගලික අංශය වෙත පවරමින් ආර්ථිකය තුළ පෙර පැවති රාජ්‍ය අංශයේ ඒකාධිකාරිය අවලංගුකර දමමින් කටයුතු සිදු කෙරේ. මෙහිදී පාඩු ලබන ආයතන වඩාත් ගුණාත්මක ලෙසින් ප‍්‍රතිසංස්කරණයට ලක් කොට ඵලදායී ලෙසින් සකස්කිරීමට යැයි සදහන් කරමින් මෙසේ පෞද්ගලීකරණ කි‍්‍රයාවලියට රජය අවතීර්ණ වුව ද සත්‍ය වශයෙන්ම රාජ්‍ය අංශයේ ලාභ ලබමින් පැවති බොහෝ ආයතන , සංස්ථා හා දෙපාර්තමේන්තු ආදිය ද ස්වකිය පෞද්ගලික අභිමතයන් හා ලාභ ප‍්‍රයෝජනයෝ මත පෞද්ගලික අංශය වෙත පවරා දීමට කටයුතු සිදු කරන වගට නිදහසින් පසුව උදාවූ මෙරට මෑත ඉතිහාසය දෙස නිරීක්‍ෂණය කිරීමෙන් හදුනා ගැනීමට පුලූවන. මෙහිදී පාලකයින් විසින් මෙසේ පෞද්ගලීකරණ කි‍්‍රයාවලිය වෙත අවතීර්ණවනුයේ මන්දැයි විමසා බැලිය යුතුමය.

එහිදී හදුනාගතහැකි වනුයේ ධනේශ්වර අර්ථ ක‍්‍රමයේ පවත්නා සමස්ත ලෝක අර්බුදයේ ප‍්‍රතිඵලයක් වශයෙන් දිගින් දිගටම රාජ්‍ය අංශය තුළ මේවා හි පාලනය හා ආධිපත්‍යය පවත්වාගෙන යාමට ලිබරල් ධනපති ආණ්ඩු අසමත් වීමය. ඒ හේතුවෙන් පෞද්ගලික අංශය වෙත ආයතන පවරා දෙමින් රාජ්‍ය පාලනය ගෙන යාමට පාලකයින් කටයුතු සිදුකරයි. එසේ නොමැති වුව හොත් ගිලෙන නැවත් සමගින් මුහුදුබත්වන නැවත භාණ්ඩ මෙන් පාලකයින්ද විනාශය කරා යන බව ඔවුන් පූර්ව දැනුම්වත් බවකින් සිටින බැවිනි. එමෙන්ම ස්වකීය සුඛ විහරණය උදෙසා ද පෞද්ගලීකරණය වෙත නැඹුරුවීම සිදු කෙරේ. එහිදී ස්වකීය හිතෛෂීන් සන්තර්පණය කිරීම උදෙසාත් මතුවට එන මැතිවරණයන්හි දී සිය ප‍්‍රචාරක කටයුතු ආදියට අවශ්‍යය මුදල් ලබාගැනීම වැනි වක‍්‍ර අරමුණු සංතර්පණය කිරීම උදෙසාද පෞද්ගලීකරණය වෙත නැඹුරු වීම හදුනාගත හැකිය. මෙහිදී අධ්‍යාපනය පෞද්ගලීකරණ කි‍්‍රයාවලියට ලක්කිරීම සම්බන්ධව පුළුල් කථිකාවක් ගොඩනැගිය යුතුය. මන්ද යත් අක‍්‍රමවත් පෞද්ගලීකරණය තුළින් උදාවනුයේ විනාශය මිස අන් යමක් නොවන බැවිණි.

නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපනයේ සම අයිතිය

නිදහස් අධ්‍යාපනය රැක ගත යුතුය යන තේමාව කණ වැකීමත් සමගින්ම වහනය වන්නා වූ ප‍්‍රශ්න කිහිපයක් පවතී. ඒවා නම්, එය රැක ගත යුත්තේ කාගෙන් ද ? එය රැකගත යුත්තේ කෙසේ ද? එය රැක ගතයුත්තේ ඇයි ? එසේ රැකගැනීමට ඇති තර්ජන කවරේද? යනා දී ප‍්‍රශ්නයෝය. පෞද්ගලීකරණයත් සමගින් නිසැකලෙසින්ම නිදහස් අධ්‍යාපනය විනාශ මුඛය කරා ගමන් ගන්නා බවට වෙසෙසින් තර්ක ඉදිරිපත් කිරීමට අවශ්‍යය නොවේ. අධ්‍යාපනය මුදලට යට කිරීමත් සමගින්ම ඊට සමන්තරව ‘අධ්‍යාපනයේ සම අයිතිය’ නැමැති මානවවාදී දේශපාලන මූළමර්මය ද අවලංගුවී යෑම සිදුවේ. ඇතැමෙක් නිදහස් අධ්‍යාපනය යනු මුදල් ගෙවීමෙන් තොරව ලබාගත හැකි අධ්‍යාපනය බැව් පිළිගැනීමට අකමැතිය. එසේ වුවද නොමිලයේ ලබන අධ්‍යාපනය පමණක් නිදහස් අධ්‍යාපනය ලෙසින් අර්ථ ගැන්විය නොහැක. එයට තවත් බොහෝ දෑ අන්තර්ගතය. ඒ අනුව ඉගෙනීමට අවශ්‍යය නිදහස් පරිසරයක් පැවතීම හා එය නඩත්තුකිරීම , ප‍්‍රතිපාදන හා අනෙකුත් පහසුකම් අධ්‍යාපනය උදෙසා මුදා හැරීම. වගකිව හැකි ස්ථාවර රාජ්‍ය අංශයක පාලනයට එය නතු කිරීම සේම ජාති, ආගම්, කුල භේද හෝ දුප්පත් පොහොසත් වැනි කිසිදු භේදයකින් තොරව සියල්ලනට අධ්‍යාපනය තුළ සමාන අවස්ථා හිමිකරදීම ඇතුළු සමස්ත කි‍්‍රයාවලිය නිදහස් අධ්‍යාපනය යන පුළුල් සංකල්පය තුළින් විෂද කෙරේ.

අධ්‍යාපනය යන්න මානව අයිතියක් වශයෙන් හදුනා ගැනීම පළමු කොටම සිදු කළ යුතුය. අයිතිවාසිකම් සතු නෛසර්ගික ලක්‍ෂණයක් වනුයේ එය සියලූදෙනාහටම එක සේ අදාල වීම නැමැති නියතියයි. අයිතියක් නම් එය සියල්ලනටම සාධාරණව හා සමානව හිමිවිය යුත්තේය. එවන් අයිතිවාසිකමක් වෙත මිලක් නියම කළ හැක්කේ කවරකුටද ? යන ප‍්‍රශ්නය මෙහිදී මතුෙවි.

පෞද්ගලීකරණය තුළින් අධ්‍යාපනය නැමැති මානව අයිතිය වෙත මිලක් නියම කිරීම නිතැතින්ම සිදුවේ. මෑතක දී දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති මාළඹේ පෙද්ගලික වෛද්‍ය විද්‍යාලය හරහා ද සිදුවෙමින් පවතින්නේ එය යි. මෙසේ මුදලට යටත් කිරීම හේතුවෙන් අයිතිවාසිකමක් සතු අනිවාර්ය ලක්‍ෂණයෝ අකල්මරණයකට ලක්වීම නොවැලැක්විය හැකිය. ඉන් අනතුරුව මුදල් ඇත්තෝ පමණක් අදාල මුදල ගෙවීමෙන් අනතුරුව සිය අධ්‍යාපන අරමුණු කරා ළගාවන අතර අතිබහුතරයක් වන දුගී දරුවන් හට සිය අධ්‍යාපන ජීවිතයට අතරමගදී ආයුබෝවන් කීමට සිදුවේ. මෙහිදී නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තියක අවශ්‍යයතාව තදින් දැනීයාම සිදුවේ. පෞද්ගලීකරණය කිරීමත් සමගින් අධ්‍යාපන ආයතන එහි හිමිකරුවන් විසින් ලාභ උපයන ආයතන බවට පත් කිරීම සිය මුඛ්‍ය අරමුණ කර ගනී. අනතුරුව එහි ගුණාත්මකභාවය කෙසේ වුව ද ඔවුනට අවශ්‍යය වනුයේ ලාභ ඉපැයීම පමණි. එවිට ඒවායෙන් බිහිවන පිරිසේ සේවය ලබනා ජනතාව හට උරුම වනුයේ ගුණාත්මක සේවයක් ලැබීමේ අයිතිවාසිකම නොවේ අසංතෘප්තයේ මානසික පීඩනයයි, අසහනයයි. එහි අනිවාර්යය මීළග ප‍්‍රතිඵලය වනුයේ සමාජය තුළින් කැරළි කෝලාහල පැන නැගීමයි. ඒ සම්බන්ධ ඓතිහාසික අත්දැකීම් කිහිපයක අදුරු මතකය මෙරට සමාජ දේහය තුළ තවමත් පවතී.

පෞද්ගලීකරණය වූ පසු

පෞද්ගලීකරණය වූ අධ්‍යාපනය තුළ ඇත්තේ අතිධාවනකාරී වූ තරගයකි. එම තරගයේදී ඒ තුළ සේවය කරන කාර්යමණ්ඩලය වෙතින් නිර්දිෂ්ට රාමුවක සිට සිසුන් වෙත ඉගැන්වීමේ කටයුතු සිදුකිරීමට නියම කෙරේ. එවැන්නක සේවය කරන ගුරුවරයා වෙත පැවරෙන රාජකාරිය පමණක් නිසි පරිදි නිසි වේලාවට අවසන් කොට දේශන ශාලාවෙන් නික්ම යාම සිදුවේ. එනම් යම් ආකෘතියක් හා එයටම ආවේණික මොඩලයක් විසින් පෞද්ගලීකරණය වූ අධ්‍යාපන ආයතන පාලනය වේ. මෙම ආකෘතිය අතික‍්‍රමණය කොට සිසු දරුවන් වෙත සංස්කෘතිය හෝ සදාචාරය පිළිබදව කියා දී ගුරු හරු කම් දීමට ඒවායේ සේවය කරන ගුරුභවතුන් හා දේශකවරුන් කි‍්‍රයා නොකරයි. ඒ ඔවුන්ගේ පෞද්ගලික දෝෂයක් නිසා නොවේ. ඔවුනට ඒ සදහා කාලයක් අදාල ආයතනය විසින් වෙන් කර දී නොමැති වීම නිසාය. එසේම තමාට පැවරී නොමැති දෑ සිදුකරන්නට ගොස් රැකියාව අහිමිකර ගැනීමට ද ඔවුන් අකමැතිවන නිසා සිසුන් තුළට ඇතුළු කරනුයේ තරගකාරී ලෙසින් විභාග ජය ගැනීමට අවශ්‍යය කාරණාවෝ පමණකි. එහෙත් ඇතැම් පෞද්ගලික අධ්‍යාපන ආයතනවල මෙම තත්ත්වයේ යම් යම් වෙනස්කම් පැවතිය හැකි වුව ද රජයේ පාසලෙන් හෝ විශ්වවිද්‍යාලයෙන් ලැබෙන තරමේ විෂය කරුණු හා තැවරුණු මිනිසත්කම හා ගුණධර්මයෝ සිසු පරපුර වෙත ලබා දීමට පෞද්ගලික ආයතන වලට නොහැක. මන්ද යත් ඔවුන්ගේ ඉලක්කය වනුයේ ලාභ ඉපැයීම වන බැවිණි. ඒ සදහා සිය ආයතනයේ ඉගෙනගන්නා සිසුන් ඉහළින් විභාග සමත්වීම පමණක් තමනට අවශ්‍යය බැවිණි. ඊළග වාරයේදී සිසුන් තම ආයතනය තුළ ලියාපදිංචි වීම සිදුවන්නේ පෙර කණ්ඩායමේ සිසුන් ඉහළ සාමාර්ථ ලබා ඇතිවිට පමණක් වන බැවිණි. ඒ හේතුවෙන් ඒ වෙනුවෙන් හැකිතාක් විභාග ඉලක්ක කර ගත් විෂය කරුණු පමණක් ඉගැන්වීමට කාල වේලාව යොදාගන්නා බැවින් පෞද්ගලික ආයතන තුළින් බොහෝ දුරට බිහිවනුයේ හදවත සගවාගත් හා මොළය පුරවා ගත් කෘතීම මිනිසුන් පිරිසකි. සමාජය අසංවේදී වන්නේ මෙවිටය. මෙවන් මිනිසුන් විසින් ආයතනයන්හි විවිධ තනතුරු දරන කළ සාමාන්‍ය ජනයාගේ දුක හෝ පීඩාව ඔවුනට නොදැනී යාම අරුමයක් නොවන්නේය. අසහනය ව්‍යාප්තවනුයේ මෙවන් හේතූන් නිසාවෙනි. විවිධ අපරාධ හා අපචාර ඇතිවීමේ වස්තුබීජයෝ වන්නේ මෙවන් හේතූන් ය. එසේ හෙයින් අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දමනවා වෙනුවට කඩිනම් කි‍්‍රයාමාර්ග මෙකී ගැටලූ මගහරවා ගැනීම වෙනුවෙන් වැදගත්ය.

රටෙහි නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තියක පැවැත්ම තුළින් බිහිවන දරුවන් වනාහී බොහෝදුරට සංවේදී මානව මානවිකාවෝ වෙති. ‘කවිය’ ‘ගීතය’ වැනි කලාවට හා මනුෂ්‍ය සදාචාරයට පෙම්බදිනා සුපහන් සිත් ඇත්තෝ බොහෝ දුරට නිදහස් අධ්‍යාපනය තුළින් ජනිත වේ. ඇතැම් පිරිස් සිය නෛසර්ගික දුර්වලතා නිසාවෙන්ම නිදහස් අධ්‍යාපනය යටතේ උගත්තද යහපත් මිනිසකු බවට පත් නොවී සිටිය හැකි වුවද බහුතරයකගේ තත්ත්වය එසේ නොවී වඩා යහපත් දේශයක් බිහිවීමට නිදහස් අධ්‍යාපනයේ දරුවන් වශයෙන් දායකවීම සිදුවේ.

මේ වන විට විවිධ සමාගම් රැසක් ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙහි අනුමැතිය යටතේ විවිධ ප‍්‍රමාණයෙන් මුදල් අයකර ගනිමින් උපාධි , ඩිප්ලෝමා හෝ සහතික පත‍්‍ර පාඨමාලා පවත්වාගෙන යාම සිදුකෙරේ. සති අන්ත පුවත්පත් හි පිටු මේවායේ දැන්වීම් වලින් පිරී ගොස්ය. එක් ආයතනයක් පරයා තවත් ආයතනයක් සිසු පරපුර ආකර්ෂණය කරගැනීමට දැන්වීම් පළකිරීම හරහා දරන උත්සාහය හදුනාගත හැකිය. මෙහිදී ගැටලූව වනුයේ මේ ආකාරයට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙහි අනුමැතිය අදාළ සියළු පෞද්ගලික ආයතන වෙත ලබාදී ඇත්තේ කුමණ තත්ත්වයන් යටතේද? යන්නයි. එසේම එම ආයතන වෙතින් අයකරනු ලබන අසාධාරණ මිල ගණන් සමිබන්ධව වගකියනුයේ කවුරුන්ද? යන්නයි. මේ ආකාරයේ ආයතනයන්හි තත්ත්වය, ගුණාත්මකභාවය, ස්ථාවරත්වය, විශ්වසනීයත්වය හා වගවීම වැනි නොයෙකුත් කරුණු සම්බන්දව නිසි සොයා බැලීමකින් අනතුරුව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙහි අනුමැතිය ලබා දී ඇද්ද යන්නයි.

නිදහස් අධ්‍යාපනයේ දරුවෝ

අධ්‍යාපනයෙහි නිදහසත් නිදහස් අධ්‍යාපනයත් යන ද්විත්වයෙහිම එක්තරා දුරකට සමාන බවක් ඇති වග පෙනේ. ඉගෙනීමට ඇති අවහිරතාවෝ සහ බාධාවෝ නොමැතිවීම මෙහි පළමුව දක්වන ලද අධ්‍යාපනයේ නිදහස යන්නේ සරළ අරුතයි. නිදහස් අධ්‍යාපනයේ මහාර්ඝ වටිනාකම පෙන්වාදීම සදහා නිදර්ශන කොතෙකුත් ඇතත් ඉතාම වැදගත් යැයි හැගී ගිය හෙයින් පහත නිදසුන ගෙන හැර දක්වමි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයෙහි මහාචාර්යවරයකු ලෙසින් මෙරටට සුවිසල් කීර්තියක් අත් කර දුන් මහාචාර්යය මහාලිංගම් මහතාගේ ජීවිතය ගෙනහැර දැක්විය හැකිය. ලොව ප‍්‍රකට ගුවන් යානා නිශ්පාදන ආයතනයක් වූ ‘ඇව්රෝ ’ සමාගමෙහි නිෂ්පාදිත ගුවන් යානා අභ්‍යවකාශ ගතකිරීමේදී ගිනිගන්නා ස්වභාවයක් හටගැනීම හේතුවෙන් සමාගමෙහි පරිපාලනය විසින් ලොව නන් දෙසින් මෙම දෝෂය නිවැරදි කරන්නට සමත් බුද්ධිමතුන් සොයා යන්නට විය. අදාල ගැටලූව නිවැරදි කොට යානා ගිනි ගැනීමෙන් වලක්වා ගැනීමට කිසිදු විද්‍යාඥයකු සමත් නොවූ වකවානුවක මෙරට නිදහස් අධයාපනයෙහි දරුවකු වූ මහාලිංගම් මහාචාර්යය තුමන් එය නිවැරදි කරන ලද්දේ සමස්ත ලෝකයම මවිත කරවමිනි. මෙහිදී සිහි තබාගත යුතු කරුණ වනුයේ දැඩි සීමා මායිම් යටතේ හෝ මුදල් ගෙවීමෙන් පමණක් අධ්‍යාපනය ලැබීමට සැලැස්වීමට පාලකයෝ කි‍්‍රයා කරන්නේ නම් මෙවන් මහාලිංගම්ලා දස දහස් ගණනින් මාතෘ භූමියට අහිමිවීමයි. එය එසේ නොවනු ඇතැයි කාට නම් කිව හැකිද? මේ නිසාවෙන් ඉතිහාසයේ සංචිත අනන්ත නිදසුන් ප‍්‍රමාණයක් යලි ගොඩගෙන පිරික්සා බැලීමේදී නිදහස් අධ්‍යාපනයක අවශ්‍යතාවය පසක්කර ගැනීමට පුලූවන.

මිත්‍යාවේ දැහැනින් මිදී යථාර්ථවත් නැවුම් සමාජ ආස්ථානයක් කරා දෘෂ්ටිවාදාත්මකව විතැන් වීමට කාලය එලඹ ඇති බැවි සිිහි කැදවන්නට මෙය සුදුසුම මොහොත බව මාගේ හැගීමයි. නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපනයේ සම අයිතියත් දිනා ගැනීමට ප‍්‍රගතිශීලී සමාජ බලවේගයෝ සියල්ල එක මිටකට එක් විය යුතුව ඇත. එය ආණ්ඩු පෙරලීමට ලඝු නොවී මාතෘ භූමියේ මතු පරපුර උදෙසා සමස්ත සමාජ ආර්ථික ක‍්‍රමයේම පුලූල් වෙනසක් අපේක්‍ෂාවෙන් පරහිතකාමීත්වයෙන් සිදුවිය යුත්තකි.


එම්.ජී නුවන් සමීර

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අතුණුබහන් ඉරා දැමීම

‘‘පළිගැනීමේ නොව, සීමා නිර්ණයේ දෙවඟන නෙමෙසිස්, ඇස් අයා බලා සිටින්නීය. සීමා පරයන්නන්ට ඈ නිර්දය සේ දඩුවම් කරන්නීය’’ ඇල්බෙයා කැමූ (‘හෙලන්ගේ නික්ම යාම’)

President Rajapaksa & Prime Minister Manmohan Singh-file pic- via PTI

රාජපක්ෂගේ උපාය පරිපාටිය පිළිබඳ එක් තියුණුතම විග‍්‍රහයක් සැපයෙන්නේ ශ‍්‍රී ලාංකිකයෙකු නොවන්නෙකුගෙනි. ඒ, ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක්ගෙනි. රාජපක්ෂ සහෝදරවරු කටයුතු කරන ආකාරය පිළිබඳ බ්ලේක් මහතාගේ නිරීක්ෂණ, රාජපක්ෂලාගේ බල ග‍්‍රහණයට එරෙහිව දැනට ඉතිරිව ඇති අවසාන බාධකය වන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අකර්මණ්‍ය කිරීමේ ඔවුන්ගේ වර්තමාන සැලැස්ම කෙරෙහි විශේෂ එළියක් විහිදුවයි. ඔහු වරක් කියා ඇත්තේ මෙසේය:

‘‘ජනාධිපතිවරයා, බොහෝ විට, තීරණ ගැනීමට අදිමදි කරයි. විශේෂයෙන්, වැදගත් කාරණා සම්බන්ධයෙන් ඔහු කල් මරයි. සමහර විට, තීරණ ගැනීම මුළුමණින්ම මගහරින ඔහු, බොහෝ වගකීම් ගෝඨාභයට සහ බැසිල්ට පැවරීම හරහා ජනතා අප‍්‍රසාදයෙන් වැළකී සිටීමට බලයි. ශ‍්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳ ප‍්‍රතිපත්ති සහ දේශපාලන ප‍්‍රතිපත්ති හැඩගැස්වීමෙහි ලා ඔහුගේ සහෝදරයන් රඟපාන්නේ වැදගත් සහ බලපුලූවන්කාර භූමිකාවකි. ඊටත් වඩා, ඔවුන්ගේ ලොකුම රාජකාරියක් වන්නේ, ජනාධිපතිවරයා සඳහා අවශ්‍ය කරන දේශපාලනික ආවරණය සැපයීමයි. ඇතැම් තීරණ ගෝඨාභයට සහ බැසිල්ට බැර වීමට ඉඩ හැරීම මගින්, දේශීය තලයේ සහ ජාත්‍යන්තර තලයේ විවේචනයට ලක්විය හැකි ප‍්‍රශ්නවලට තමන්ගේ සම්බන්ධයක් නැතැ යි ලෝකයාට ඇඟවීමේ හැකියාව ඔහුට ලැබේ.’’

මහින්ද රාජපක්ෂ මිත‍්‍රශීලී ය. බොහෝ දෙනා කියන පරිදි, ප‍්‍රසන්න ය. ගෝඨාභය රාජපක්ෂ, අශිෂ්ටයෙකු වන තරමට, දඩබ්බර ය. බැසිල් රාජපක්ෂ, තෙල් බේරෙන ජේත්තුකාරී ය. දේශපාලනික සූක්ෂම ශ‍්‍රම විභජනයකට කියාපු, එකිනෙකට වෙනස් එවැනි බාහිර චරිත විලාසයන් නිසා, ඔවුන්ගේ පරමාර්ථ අතර ඒකමිතියක් නැතැ යි යන අදහසක් කෙනෙකු තුළ ඇති කෙරෙන අතර, බොහෝ විට ඔවුන්ගේ ප‍්‍රතිපත්ති, යම්තාක් අපසාරී (සමහර විට එකිනෙකාට පරස්පර) දිසානතීන් කෙරෙහි යොමු වෙතැ යි ද කෙනෙකුට සිතෙයි. එවැනි වෙනස් පුද්ගල චරිත ස්වභාවයන් නිසා, විටින් විට, මිථ්‍යාවන් සහ විවිධ කටකතා ද පැතිරෙයි: ‘‘මහින්ද මධ්‍යස්ථයි. ගෝඨාභය තමයි, නපුරා’’ ‘‘මහින්ද දැන් බැසිල්/ගෝඨාභය එක්ක එච්චර හොඳ නැහැ.’’ ‘‘මහින්ද, දැන් ගෝඨාභය/බැසිල්ගේ හිරකාරයෙක් වෙලා’’ වැනි කටකතා එමටයි.

ඕනෑම පවුලක සහෝදරයන් අතර සිදුවන්නාක් මෙන්, රාජපක්ෂලාටත් පෞද්ගලිකව වෙනස් මතිමතාන්තර ඇති. ඒ සමගම, ඔවුන්ට පොදු දේශපාලනික න්‍යාය පත‍්‍රයක් ද තිබේ. බලයේ සෑම දශමයක්ම තමන්ගේ සාමූහික අත්වලට ගොනු කර ගැනීමට ඔවුන් තිදෙනාටම අවශ්‍යයි. බලයට සහ බලපෑමට අදාළ තමන්ගෙන් පිටස්තර වෙනත් ඕනෑම ස්ථානයක් වෙතොත් එය සුනුවිසුණු කර දැමීමට ඔවුන් තිදෙනාටම අවශ්‍යයි. (අධිකරණයට එරෙහි ප‍්‍රහාරයේ දී ඔවුන් තිදෙනාම එකාවන්ව කඳවුරු ගැසුණු අවස්ථාව ඊට මනා නිදසුනකි). පවුලේ පාලනය ආරක්ෂා කර ගැනීමටත්, පවුල් වංශයේ පාරම්පරික උරුමය රැක ගැනීමටත් ඔවුන් තිදෙනාටම අවශ්‍යයි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොවුණි නම්, මහින්ද රාජපක්ෂගේ දෙවැනි ධුර කාලයෙන් පසු ජනාධිපති පදවියට උරුම කියන්නේ කවුරුන් ද යන ප‍්‍රශ්නය ගැන මතභේද ඇති වන්නට ඉඩ තිබුණි. එවැනි මතභේද විශාල ගැටුම්වලට පාර කපන්නට තිබුණි. ඒ මගින්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජපක්ෂලාගෙන් ගැලවෙන්නට අවස්ථාවක් ද පෑදෙන්නට තිබුණි. එහෙත් ජනාධිපති ධුර සීමාව ඉවත් කිරීමත් සමග(18) ඒ සාධනීය විභවය අහෝසි විය. දැන් සහෝදරයන්ට තමන්ව බලවත් කර ගැනීමටත් අනිත් සෑම කෙනෙකුවම බලරහිත කිරීමටත්, එකාවන්ව වැඩ කළ හැකිය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හීලෑ කිරීම, ඒ බල පේ‍්‍රරණයේ මූලික අංගයකි. ඒ සංශෝධනය මේ දක්වාවත් නොනැසී තිබෙන්නේ වෙන කිසිවක් නිසා නොව, එය අවලංගු කළහොත් ඇති විය හැකි ඉන්දියානු/බටහිර ප‍්‍රතිචාරය ගැන රාජපක්ෂලා තුළ තිබෙන විචිකිච්ඡාවන් නිසාම පමණි.

රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය, නිසගයෙන්ම කේන්ද්‍රාභිසාරී ය.(බලය තනි අතකට ගොනු කර ගැනීමේ ප‍්‍රවණතාව). බලය බෙදාහදා ගැනීම කෙරෙහි සහෝදරයන් තුළ ඇති අප්පිරියාව ඔවුන්ගේ බොක්කෙන්ම එන්නකි. පැහැදිළිවම ව්‍යවස්ථා විරෝධී තීන්දුවක් දීම ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කළ විට, අධිකරණයට එරෙහිව ඔවුන් එතරම් විසප්පු වුණේ එබැවිනි. තමන්ගේ බලයෙන් පරිබාහිර පළාත් සභාවකට ඔවුන් විරුද්ධ වන්නේත් ඒ අර්ථයෙනි. උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් මගහැර යන්නට සහෝදරයන්ට හැකි වුණු තාක් කල්, එය ගැටළුවක් නොවුණි. එහෙත් ඉන්දියාවෙන් දෙන අල්ලසට ගිජු වීමට සිද්ධ වීම නිසා එම තත්ත්වය වෙනස් වුණි: ඒ අල්ලස වූ කලී වෙන කිසිවක් නොව, රාජපක්ෂලා ලවා සැප්තැම්බරයේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හුවමාරුවක් වශයෙන්, නොවැම්බරයේ හම්බන්තොට පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට රාජපක්ෂලා වෙනුවෙන් ඉන්දියානු සහයෝගය සැපයීමයි.

ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ බලය බෙදා හැරීමට එරෙහි රාජපක්ෂලාගේ දේශපාලන ව්‍යාපෘතිය තුළ, ඔවුන්ට තේරීම් දෙකක් තිබේ: සකී‍්‍රය බලයක් රහිත උතුරු පළාත් සභාවක් සඳහා නියමිත කාලයේ මැතිවරණය පැවැත්වීම ඉන් එකකි. නැතහොත්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කප්පාදු කිරීමේ හදිසි අවදානමක් පෙන්වමින් බිය ගන්වා, පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීම සඳහා ඉන්දියානු අනුමැතිය ලබා ගැනීම තවත් එකකි. (මේ අතර, 13 වැනි සංශෝධනය හෑල්ලූ කිරීමට එරෙහිව දෙමළ ජාතික සන්ධානය මෙම මැතිවරණය වර්ජනය කළහොත්, රාජපක්ෂලාට එම මැතිවරණය ජයගත හැකි වන්නට ද පිළිවන).

රාජපක්ෂලාගේ මේ අළුත්ම උප්පරවැට්ටියට, මීට පෙර දී සේම, මෙවරත් ඉන්දියාව හසු වේ ද? එසේ නැතිව, මුලින් ඇති කරගත් එකඟතාවට ගරු කරන්නැ යි උදක්ම ඉල්ලා සිටී ද? හම්බන්තොට පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ප‍්‍රාණ ඇපකරුවෙකු වශයෙන් ගන්නට තරම් කොන්දක් ඉන්දියාවට තිබෙයි ද?

ප‍්‍රතිගාමී ව්‍යාපෘතියක්

2007 ජුනි 06 වැනි දා පාන්දර පොලිස් කණ්ඩායම් කිහිපයක් කොළඹ නවාතැන් පොලවල් වැටලූහ. ඒවායේ ලැගුම්ගෙන සිටි දෙමළ ජාතිකයන් (ඉතා මහළු සහ රෝගී අයවළුන් පවා) උතුරු-නැගෙනහිර ගම්වලට යැවීම සඳහා බස්වලට පැටවුණි. මේ පලවා හැරීම නතර කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වන විටත්, පළමු බස් රථ සිය ගමන් අරඹා තිබුණි.

කොළඹ නවාතැන් ගෙන සිටි දෙමළ වැසියන්ව (කළු කොටි සාමාජිකයන් ඔවුන් අතර සිටිති ය යන සැකය මත) මෙසේ කොළඹින් පිටමං කිරීමට තීරණය කෙළේ ආණ්ඩුවේ ඉහළම තැන්වලිනි. මේ ව්‍යවස්ථා-විරෝධී සහ ජාතිවාදී පියවර, ගෝඨාභය රාජපක්ෂ ඉතා රළු ආකාරයෙන් යුක්ති සහගත කළ අතර මහින්ද රාජපක්ෂ ද, ඊට වඩා තරමක් සුමටව, ඊට අනුමැතිය පෑවේය.

ඉන්දු-ලංකා ගිවිසුමෙන් පසු මෙවැනි වාර්ගික දාමරිකත්වයක් ගැන සිතා ගැනීමට පවා පුලූවන් කමක් තිබුණේ නැත. එහෙත් ඒ, රාජපක්ෂලා බලයට පැමිණෙන තෙක් පමණි.

මහින්ද රාජපක්ෂ (එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බලහත්කාරී වර්ජනයට ස්තුතිවන්ත වන්නට) පළමු ජනාධිපතිවරණය ජයගන්නා අවස්ථාව වන විට, ශ‍්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයකගේ ආකල්පය, ජාතිවාදී නොවන හෝ පශ්චාත්-ජාතිවාදී එකකැ යි කිව හැකිය. ජාතික ප‍්‍රශ්නය සඳහා නොමසුරු දේශපාලනික විසඳුමක අවශ්‍යතාව එදා රටේ බහුතරයකගේ පිළිගැනීම විය. උදාහරණයක් වශයෙන්, 2006 ජුනි/ජුලි මාසයේ ‘මාර්ග ආයතනය’ මගින් පවත්වන ලද මත විමසුමකට අනුව, සියයට 66 ක්, ඒකීය රාජ්‍ය රාමුවෙන් එහා යන දේශපාලන විසඳුමකට එකඟතාව පළකළහ. ඒ පොදු මනෝ භාවය, එදා එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද ස්ථාවරයන් සමග සමපාත වුණි: ඒ පක්ෂ දෙකම, අර්ධ-ෆෙඩරල් හෝ ෆෙඩරල් විසඳුමකට එදා සහාය පෑහ.

එසේ පැවති දකුණේ සිංහලයන්ගේ චින්තනය, අනතුරුව පසුගාමී වෙනසකට ලක්වුණේ, රාජපක්ෂ පාලනයේ විපාකයක් වශයෙන් මිස, නිරායාසයෙන් නොවේ. ජාතික ප‍්‍රශ්නයක් ඇතැ යි තමන් විශ්වාස නොකරන බව සහෝදරවරු මුලදීම වාගේ පෙන්නුම් කළහ. ඒ සමගම, හතරවැනි ඊලාම් යුද්ධය වනාහී, බාහිර රටක මැදිහත් වීමක් හරහා 1987 දී සිංහල-බෞද්ධයාට අහිමි කරන ලද, 1956 සිට ඔහු භුක්ති විඳිමින් සිටි ප‍්‍රමුඛස්ථානය නැවත ඔහුට අත්පත් කර දීමේ ව්‍යාපෘතියක ප‍්‍රධාන අක්ෂය වශයෙන්, ඔවුහූ අර්ථගැන්වූහ.

ස්වකීය දේශපාලන ව්‍යාපෘතිය සඳහා අවැසි සහයෝගීතා පදනම ගොඩනගනු වස්, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය හරහා තමන් සහ බහුතර ජනතාවක් අතරේ ෙසෙද්ධාන්ති බැම්මක් සකසා ගැනීමට සහෝදරවරුන්ට අවශ්‍ය කෙළේය. ඒ සමගම, පොදු ආර්ථික අඳෝනා මත, අනාගත සිංහල-දෙමළ-මුස්ලිම් එක්සත් බවක් ඇති නොවන සේ ජාතිවාදී විරසකයක් නඩත්තු කෙරෙන තැනට වගබලා ගැනීමත්, ඔවුන්ගේ තවත් අවශ්‍යතාවක් විය. සකල බලය ඩැහැගැනීමේ ඔවුන්ගේ අභිලාෂයට එරෙහි වන 13 වැනි සංශෝධනය යථා කාලයේ නිෂේධ කිරීමේ දේශපේ‍්‍රමී ආවරණයක් ඊට අවශ්‍ය කෙරේ.

මේ අභිමතාර්ථ සාධනය සඳහා ආමන්ත‍්‍රණය කළ යුත්තේ, සිංහල ආත්මයේ වඩා විචාරවත් සහ මානුෂික පාර්ශ්වයට නොව, ‘සිංහල පමණයි’ පනත සහ 83 කළු ජුලිය බිහි කළ, දුර්ජන, මුග්ධ සහ නිර්දය පාර්ශ්වයටයි. ඒ සිදුවීම් දෙකම, අපේ අත්වැරැද්දක් වශයෙන් මේ සහෝදරවරු නොදුටහ.

උතුරු-නැගෙනහිර ප‍්‍රශ්නය, හුදෙක් ත‍්‍රස්තවාදය පිළිබඳ ප‍්‍රශ්නයක් නම්, එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කළ මොහොතේ එම ප‍්‍රශ්නයත් ඉබේ දුරු වන්නේය. ජාතික ප‍්‍රශ්නය කියා දෙයක් ඇත්තෙන්ම නැත්නම්, ජාතීන් අතර බලය බෙදා හැරීම මත පදනම් වන දේශපාලන විසඳුමක් අනවශ්‍ය වෙනවා පමණක් නොව, හානිකර ද වන්නේය. හරියට, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු රසායන චිකිත්සාවකට (කිමෝතෙරපි) ලක්කරන්නා සේ ය. මේ සන්දර්භය තුළ, සාමය ගොඩනැගීම යනු, තලූ මැරීමට ඇති යම් ආර්ථික සංවර්ධනයකට ගැටගැසූ, නීතිය හා සාමය රැක ගැනීමේ වැඩපිළිවෙලකට එහා දෙයක් නොවේ. තවත් විදිහකින් කිවහොත්, සාමය සහතික කළ හැක්කේ, තව තවත් හමුදා කඳවුරු ගොඩනැගීම, තව තවත් හමුදා ආම්පන්න මිළදී ගැනීම සහ තද නීති රෙගුලාසි පැනවීම සමග මුහුන් කෙරෙන යටිතල ව්‍යාපෘති සහ ඉඳහිට සැපයෙන දීමනාවන් මගින් මිස, බලය බෙදාහැරීමෙන් නොවන බවයි.

රාජපක්ෂලාගේ එම චින්තනය තුළ, 13 වැනි සංශෝධනයට අද එල්ල කෙරෙන ප‍්‍රහාරය, අනිවාර්ය කෙරෙන්නේය.

13 වැනි සංශෝධනයේ අතුණුබහන් ඉරා දැමීම, එක්තරා ආකාරයකින් නවතම ‘සිංහල පමණයි’ ව්‍යාපෘතියකි. සාමය සහ සංහිඳියාව ඒ මගින් උවදුරට පත්වෙනු නියති. මධ්‍යස්ථ දෙමළ ජාතිකයන් පවා පරාරෝපිත නෂ්ටාපේක්ෂාවට පත්වෙනු නියති. අවසානයේ, බෙදුම්වාදී සටන්පාඨය යළි තිරිහන්ව, වේළුපිල්ලේ ප‍්‍රභාකරන් අසාර්ථක නායකයෙකුගේ සිට, අප විසින් වරදවා වටහාගනු ලැබූ අනාගත වක්තෘවරයෙකුගේ තත්වයට නංවාලනු ඇත.

තිසරණී ගුණසේකර | Thisarane Gunasekara
__________________________________________________________________________________________

2013 ජුනි 06 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Disembowelling the 13th Amendment ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

Next Page »

1 2 3 189