උතුරේ වන රක්ෂිත අනතුරේ හෙළන මහා පරිමාණ සැලැසුමක්


කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ උපදෙස් මත මන්නාරම, මුලතිව් හා වව්නියා දිස්ත‍්‍රික්ක තුනෙහි වන රක්ෂිතවලට අයත් වනාන්තර අක්කර 2388 ක් එළි පෙහෙළි කර මුස්ලිම් ජනතාව පදිංචි කරවීමට මේ වන විට සැලැසුම් කරමින් තිබේ. මුලතිව් දිස්ත‍්‍රික්කයේ මුහුදුබඩපත්තුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හෙක්ටයාර 5036 ක් වන කුලාමුරිප්පු වන රක්ෂිතයේ හා හෙක්ටයාර 6825 ක් වන නාගන්චෝලෙයි වන රක්ෂිතයේ වනාන්තර අක්කර 850 ක් ඉවත් කර මුස්ලිම් පවුල් 1455 ක් පදිංචි කිරීමට සැලැසුම් කර තිබේ. මාන්කුලම් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඔට්ටුසුඩාන් රජයේ වනාන්තරයේ අක්කර 123 ක් ඉවත් කර තවත් මුස්ලිම් පවුල් ප‍්‍රමාණයක් පදිංචි කිරීමට
සූදානම් වේ.

මන්නාරම දිස්ත‍්‍රික්කයේ මුසලි, මඩු හා මාන්තෙයි බටහිර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනට අයත් වන රක්ෂිත හා රජයේ වනාන්තර බිම් අක්කර 1080 ක් හා වව්නියාව දිස්ත‍්‍රික්කයේ වනාන්තර අක්කර 325ක් එළි පෙහෙළි කර තවත් මුස්ලිම් පවුල් විශාල ප‍්‍රමාණයක් පදිංචි කිරීමට මේ වන විට සැලැසුම් කරමින් යයි. ඒ සඳහා වන රක්ෂිතවලින් ඉඩම් නිදහස් කර ගැනීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග මේ වන විට ගනිමින් තිබේ.

ඒ අනුව වනාන්තර ඉඩම් පරීක්ෂා කිරීම, ඉඩම් මැනීම් කිරීම හා කපා ඉවත් කිරීමට යෝජිත ගස් සලකුණු කිරීම ඇතුළු ක‍්‍රියාමාර්ග මේ වන විට ගනිමින් පවතී. වන සංරක්ෂණ ආඥා පනත හා ජාතික පාරිසරික පනත සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයා විසින් මේ ක‍්‍රියා සිදු කිරීමට අදාළ රාජ්‍ය අංශ යොමු කිරීම හා ඒ සඳහා උපදෙස් ලබාදීම ඉතාම හානිකර තත්ත්වයකි.

2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතට අනුව රක්ෂිත වනාන්තරයක් තුළ ජනතාව පදිංචි කිරීම, ඒ සඳහා වනාන්තර ඉවත් කිරීම, මාර්ග සැකසීම, අනවසරින් ඇතුළු වීම ඇතුළු ක‍්‍රියා සියල්ල නීති විරෝධී වේ. එවන් තත්ත්වයක් තුළ රක්ෂිත වනාන්තරවලට අයත් වනාන්තර බිම් බලහත්කාරයෙන් ලබාගැනීම සඳහා අදාළ අමාත්‍යවරයා විසින් ක‍්‍රියා කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.

සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර 2.5 කට වඩා වැඩි වනාන්තර ඉඩමක් එළි පෙහෙළි කර සිදු කරන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන්, පවුල් 100 කට වඩා වැඩි ප‍්‍රමාණයක් නැවත පදිංචි කිරීමට ප‍්‍රථමයෙන් හා වන රක්ෂිතයක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන ක‍්‍රියාකාරකමක් සිදු කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගැයීම් ක‍්‍රියාවලියකට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ යුතුය. මෙම දිස්ත‍්‍රික්ක තුනේම ජනතාව පදිංචි කිරීමේ ව්‍යාපෘති සියල්ලම ඉහත නීතිමය තත්ත්වයන් සියල්ලටම යටත් වේ. නමුත් එම නීති රීති සියල්ල උල්ලංඝනය කරමින් මෙම නැවත පදිංචි කිරීමේ කටයුතු ක‍්‍රියාත්මක කිරීමට සූදානම් වේ.

සමහර ප‍්‍රාදේශීය ලේකම්වරුන් රජයට අයත් වනාන්තර තමන් යටතේ පාලනය වන බව සඳහන් කරමින් මේ සඳහා ඉඩම් නිදහස් කිරීමට සූදානම් වේ. නමුත් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විසින් 2001.08.10 දින නිකුත් කළ අංක 2001/05 දරන චක‍්‍රලේඛනයට අනුව ප‍්‍රාදේශීය ලේකම් හා දිස්ත‍්‍රික් ලේකම් යටතේ පාලනය වූ සියලූ ම වනාන්තර ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා තිබේ. ඒ අනුව වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව මේ රජයට අයත් වනාන්තර බිම්වලට යම් හානියක් සිදු කරන්නේ නම් ඊට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඇත. මේ නීතිය ද අභිබවනය කරමින් මේ නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කිරීමට සූදානම් වේ.

ජනතාව පදිංචි කිරීමට සූදානම් වන මේ වන රක්ෂිත හා රජයේ වනාන්තර බිම් සුවිශේෂී ජල පෝෂක වනාන්තර බිම් පමණක් නොව ප‍්‍රධාන අලි ගැවසුම් හා අලි සංක‍්‍රමණික වනාන්තර බිම් වේ. මේවා එළි පෙහෙළි කර ජනතාව පදිංචි කිරීම හේතුවෙන් උතුරු ප‍්‍රදේශයේ ද අලි මිනිස් ගැටුමක් අලූතින් වර්ධනය විය හැකි ය.

මීට අමතරව රක්ෂිත වනාන්තර තුළ හා ඒ ආශ‍්‍රිතව ජනතාව පදිංචි කළහොත් රක්ෂිත වනාන්තර තුළ සිදු කරන නීති විරෝධී ක‍්‍රියා වර්ධනය වීම, වනාන්තර තවදුරටත් අනවසරින් අල්ලා ගනිමින් ජනාවාස ව්‍යාප්ත කිරීම පමණක් නොව ඒ හේතුවෙන් ඒ වනාන්තරවල ජෛව ප‍්‍රජාව ගේ පැවැත්මට බලපෑම් එල්ල වීම ද මේ නිසා සිදු වනු ඇත.

මේ ආකාරයේ ජල පෝෂක රක්ෂිත වනාන්තර එළි පෙහෙළි කිරීම හේතුවෙන් පානීය ජල අර්බුදය ද මේ ප‍්‍රදේශයේ උග‍්‍ර මට්ටමකට පත් විය හැකිය. තව ද රක්ෂිත වනාන්තර තුළ තැනින් තැන ජනාවාස පිහිටු වීම හේතුවෙන් පදිංචි ජනයාට මූලික යටිතල පහසුකම් ලබාදීමට ගැටළු මතු වීම පමණක් නොව ඒ සඳහා තවත් වනාන්තර එළි පෙහෙළි කිරීමටත් වනාන්තර ඛණ්ඩනය කිරීමටත් සිදු වනු ඇත. මේ සියලූ ක‍්‍රියාවල ප‍්‍රතිඵලයක් ලෙස උතුරේ රක්ෂිත වනාන්තර පද්ධතිය ඛණ්ඩනය වීම, අලි – මිනිස් ගැටුම වර්ධනය වීම, ජල පෝෂක වනාන්තර විනාශ වී පානීය ජල අර්බුදය උග‍්‍ර මට්ටමකට පත් වීම, වන සතුන් ගේ ගැවසුම් ප‍්‍රදේශ සීමා වීම හේතුවෙන් අවතැන් වන සතුන් නිසා නැවත පදිංචි කරන ප‍්‍රදේශවල ජනතාවට විවිධ ගැටළුවලට මුහුණදීමට සිදු වීම පමණක් නොව මේ ප‍්‍රදේශවල රක්ෂිත වනාන්තරවලට පමණක් සීමා වී ඇති ජෛව සම්පත් විනාශ වීම ද සීග‍්‍රයෙන් සිදු වනු ඇත.

රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයා මෙලෙස රක්ෂිත වනාන්තර විනාශ කරමින් උත්සාහ දරන්නේ උතුරු ප‍්‍රදේශය කාන්තාරයක් බවට පත් කිරීමට දැයි අපට ගැටළුවකි. ඡන්ද කිහිපයක් වෙනුවෙන් නීති රීති උල්ලංඝනය කරමින් මුස්ලිම් ජනතාව තවදුරටත් අවතැන් කිරීමට මූලික පහසුකම් ලබාදිය නොහැකි ප‍්‍රදේශවල නැවත පදිංචි කිරීමට උත්සාහ දරන්නේ කුමන අරමුණක් මත ද යන්න අපට නොවැටහේ. අවසානයේ ඔවුන්ට සිදුවන්නේ උග‍්‍ර ජල හිඟයකට මුහුණ දෙමින් අලි – මිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් වීමට පමණකි.

මේ තත්ත්වය හේතුවෙන් අප අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හානිකර ලෙස සිදු කිරීමට උත්සාහ දරන නැවත පදිංචි කිරීමේ කටයුතු වහාම නතර කර සැලැසුමකට අනුව ජනතාව පදිංචි කිරීමට සුදුසු ස්ථානවල පමණක් ජනතාව පදිංචි කිරීම සඳහා කටයුතු කරන ලෙස ය.

සජීව චාමිකර | Sajeewa Chamikara
පරිසර සංරක්ෂණ භාරය

මන්නාරම, වව්නියාව හා මුලතිව් දිස්ත‍්‍රික්ක තුනේ රක්ෂිත වනාන්තර ඉඩම් නිදහස් කර ගැනීමට රාජ්‍ය ආයතන අතර හුවමාරු වූ ලිපි කිහිපයක් පහත වේ.

2012: රිදී රේඛා තුනක්

ගෙවීයන 2012 වසරෙහි ශ‍්‍රී ලංකා ධරනීතලය වසා සිටින කලූවලා මැද බොහෝ වූ රිදීරේඛා පෑවූවෝ ය. ඒ මැද දිලෙන රේඛා තුනක් ශ‍්‍රී ලංකා සමාජය මත ආලෝකය පැතිර වූහ.

මේ රිදී රේඛා විසින් සංකේතවත් වූයේ පුරවැසියන් අතරින් පැනනැගි අරගල ගණනාවකි. එමෙන්ම මෙම අරගල සඳහා සරු පසක් ඒ සෑම අවස්ථාවකදීම බිහිව තිබුණි. අනෙත් අතට මෙම සියළු අරගලයන් පැනනැගුනේ දේශපාලන විපක්ෂයට පිටිනි. එමෙන්ම එම අරගල කෙරෙහි ප‍්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය දක්වන ලද්දේ මන්දෝත්සාහී ආකල්පයකි. මෙම අරගල තුනම පුළුල් මහාජන සහායෝගයක් භුක්ති විඳි අතර දෙස් විදෙස් අවධානයේ ද බලපෑමේද කේන්ද්‍රයන් බවට පත් විය. එමෙන්ම මෙම අරගල තුනම රාජපක්ෂ භීෂණය හමුවෙහි පසු නොබෑ අතර ශ‍්‍රී ලංකා සමජයෙහි නොනවතින වලනයන් බවට පත් වූහ.

ඉන් එකක් නම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය(FUTA) විසින් දියත් කරන ලද අයිතිවාසිකම් අරගලය යි. ස්වකීය ජන්ම අයිතියක් ලෙස සැළකීමට පුරුදුව සිටි අධ්‍යාපන අයිතිය වේගයෙන් පිරිහෙමින් යන බව අත්දකිමින් සිටි ජන පිරිස් එම අරගලය තමන්ගේම අරගලයක් බවට සළකා ගත්හ.

ශ‍්‍රී ලංකාව අධ්‍යාපන සුභ සාධනය අතින් නමක් දිනා සිටි රටකි. එනමුත් පසුගිය කාලය පුරා අධ්‍යාපන වැය ශිර්ෂ කප්පාදු කරන ලදුව පහසුකම් පිරිහී යමින් තිබුණේ මහාජනයාට ද දැනෙන පරිදි ය. එනයින් ෆූටා අරගලය පැන නැගුනේ සරු පසක් ඇති පොලොවක ය.

එම විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන්ගේ වැඩ වර්ජනය ජයග‍්‍රහණයකින් තොරව දින සියයක් ගෙවා ඔක්තෝබර් 12වනදා අවසන් විය. එසේ නමුත් මෑතකාලීන ශ‍්‍රී ලංකා ඉතිහාසයෙහි සිය ඉල්ලීම් වටා පුළුල් මහජන මතයක් ගොඩ නැගීමට සමත් වූ ප‍්‍රධානතම අරගලය වූයේ එය යි. එමෙන්ම පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාවෙහි දේශපාලන පක්ෂ නායකත්වයකින් තොරව පුළුල් සමාජ ව්‍යාපාරයක් බවට පත් ප‍්‍රථම අරගලය වූයේ ද එය යි. සිය ධජය වටා වාත්තීය සමිති සහ මාධ්‍ය නිදහසේ ව්‍යාපාර මෙන්ම විපක්ෂ දේශපාලන පක්ෂ ගොනු කර ගැනීමට ද එය සමත් විය. යුද්ධ ඝෝෂාවන්ගෙන් දෙකන් සිදුරු වී හිරිවැටී තිබූ පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලාංකික සමාජය මත අයිතීන් සඳහා නැගී සිටීමේ ප‍්‍රථම ආශ්වාදය ලබා දුන්නේ ෆූටා අරගලය විසිනි.

හුදෙක් වැටුප් පිළිබඳ ඉල්ලීමකින් එපිටට ගමන් කොට සමස්ත සමාජයටම බලපාන අධ්‍යාපන සුභ සාධනයේ ඉල්ලීම සිය ධජයෙහි ලියා ගැනීම මගින් විශ්ව විද්‍යාල ආචාර්යවරු සමාජ නායකත්ව භූමිකාවක් අල්ලා ගත්හ. එනම් අධ්‍යාපනයට වෙන් කරන රාජ්‍ය ප‍්‍රතිපාදන සියයට 6ක් දක්වා ඉහළ නැංවිය යුතුය යනු සටන් පාඨයයි. මෙම සියයට 6 සටන් පාඨය සමාජ ගත් කිරීම මහත් බලයක් බවට පැමිණුණි.

ෆූටා අරගලය සිය ප‍්‍රචාරය පිණිස ජනමාධ්‍ය පාලනය ප‍්‍රධාන මර්දනීය කුළුනක් බවට පත්ව ඇති පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාවට අත්‍යවශය වන බලසම්පන්න මාධ්‍යයක් යොදා ගත්හ. එනම් අන්තර් ජාලය මත පදනම් වූ සමාජ මාධ්‍ය භාවිතය මගින් එය සිය පණිවිඩය ප‍්‍රබල ලෙස බෙදා හැරිමය. අනෙක් බොහෝ වෘත්තීය සමිති සතුව නැති සිය තාක්ෂණික සහ බුද්ධිමය සම්පත් මේ සඳහා මනා ලෙස භාවිතයට දැමූයේ ය. තවද සිය අරගලයේ අරමුණ මහා ජනයාට පැහැදිළි කිරීමට දුන් මූලිකත්වය පෙරට ගෙන යමින් ෆූටා ව පා ගමන් සහ සහ මහජන රුස්වීම් සාර්ථක සහ ආකර්ශනීය ලෙස ඒ සදහා යොදා ගත්තා ය.

අනෙක් අතට එහි ප‍්‍රධානීන් බියගැන්වීමට එවන ලද මරණ තර්ජනයනට සහ අවලාද ව්‍යාපාරයන්ට නොබා මුහුණ දුන් අතර රාජ්‍ය ත‍්‍රස්තවාදය පසු බැස්සවීමට තරම් මහාජන බලයක් තම අරගලය වටා ගොඩ නගා ගත්තා ය. සිය වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කිරීම පවා මහා ජනයාට පැහැදිළි කිරීම යුතුකමක් සේ සැළකීමට තරම් අරගලය මහා ජනයා සමඟ බැදී තිබුණි.

සමාජය මත පිහිටුවා ගත් බුද්ධිමය නායකත්වය, වෘත්තීය ඉල්ලීම් ඉක්මවා ගිය සටන් පාඨ, රාජ්‍ය ත‍්‍රස්තවාදයට යටපත් නොවීම, සමාජ මාධ්‍ය භාවිතය සහ දින සියයක් අතනෑර අරගලයේ රුදී සිටීම යනාදි කරුණු විසින් ෆූටා අරගලය සමාජ අරගලයන්ට මඟ පෙන්වන සහ දිරි ගන්වන උත්පේ‍්‍රරක භූමිකාවක් හිමි කර ගත්තේ ය. එය අනෙක් වෘත්තීය අරගලයන් කෙරෙන් කැපී පෙනුනේ හුදකලාවාදී සටනකට නොගොස් සිය අරගලය මහා ජනයා අතරට ගෙන ගිය නිසා ය. එමගින් එම ජනතා පිබිදීමක් ඇති කළේ ය. එම අරගලය එනයින් තවම අවසන් නැත. දිගටම ගමන් කරයි.

දෙවැනිව පෑයූ රිදී රේඛාව වූයේ අගවිනිසුරුවරියට එරෙහිව දේශපාලන අභිලාෂයන් මත පදනම්ව ගෙනෙන ලද දොස් සහිත දෝශාභියෝගයට එරෙහිව පැන නැගුණූ ව්‍යාපාරය යි.

අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ ප‍්‍රශ්ණය ශ‍්‍රී ලංකාවේ දේශපාලන සාකච්ජාවේ වැදගත් ස්ථානයක් අල්ලා ගෙන තිබු 2012 වසරේ අවසන් මාස හය පුරා අධිකරණ ස්වාධීනත්වයට රාජපක්ෂ පාලනයෙන් බාධා පැමිනෙන බවට මතයක් ගොඩ නැගෙමින් පැවැතුණි. නොවැම්බර් මාසයේ දී අගවිනිසුරුවරියට දෝශාභියෝගය එල්ල වුයේ එවැනි සිවිල් මානසිකත්වයක් ගොඩ නැගෙන අතරතුර ය.

දෝශාභියෝග චෝදනා හමුවෙහි අගවිනිසුරුවරිය බිය ගැන්වී ඉල්ලා අස්වනු ඇතැයි වූ බලාපොරොත්තු පසු බස්වමින් ඇය තමා එයට මුහුණ දෙන බව ප‍්‍රකාශ කළා ය. මේ අතර දෝශාභියෝගය විභාග කිරීම පිණිස ස්ථාපිත කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් ව්‍යවස්ථා අර්ථ නිරුපනයක් දීමට ශ්‍රේෂ්ඨාධිකරනයට බලයක් නැතැයි කතානායකවරයා දුන් තීන්දුව පිළිනොගත් ශ්‍රේෂ්ඨාධිකරණය රාජපක්ෂ අත්තනෝමතිකත්වයට යටත් වූයේ ම නැත.

අවසානයේ දී ඇයට එරෙහිව නගන චෝදනාවන්ට පිළිතුරු දීමට අගවිනිසුරුවරියට ස්වභාවික යුක්ති ධර්මානුකූල අවස්ථාවක් නොදී ආණ්ඩු පක්ෂ නියෝජිතයින් විසින් ඇය වරදකරු කරනු ලැබුවා ය.

එසේ වෙතත් දෝශාභියෝග ක‍්‍රියාවළියට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන නීතිවේදී පිරිස් සහ අගවිනිසුරුවරිය විසින් පෙන්වන ලද නිර්භීත විරුද්ධත්වය වහාම සමාජ දේශපාලන කුණාටුවක් බවට පත් විය. රාජපක්ෂ පාලනයට කුලියට ගත් ත‍්‍රි රෝද රථ රියදුරන් පමණක් ඉතිරි කරමින් සමාජයේ ගිහි පැවිදි අනුශාසක පිරිස් මෙම සමාජ දේශපාලන කුණාටුවට එක් වූහ.

200ක් ඉක්ම වූ සමස්ත විනිසුරු ප‍්‍රජාව ද 3000ක් නීතිවේදීන් තරම් රුස්වූ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ද ආණ්ඩුවේ දෝශාභියෝග ක‍්‍රියාවළියට සකී‍්‍රය විරුද්ධත්වයක් දැක්වීමට එක් වූහ. ඒ කොතෙක් ද යත් දෙසැම්බර් මුල දී ශ‍්‍රී ලංකාවේ සියළුම අධිකරණ කටයුතු නතර කරමින් නීතිඥ වර්ජනයක් ද දියත් කෙරුණි. ෆූටා අරගලයේ දී මෙන්ම සමාජයේ පුළුල්තම කොටස් එනම් කලාකරුවන්, ශ‍්‍රාස්ත‍්‍රඥයින්, වාත්තීය සමිති යනාදී සිවිල් සමාජය අගවිනිසුරුවරියගේ පාර්ශවය ගත්හ.

මෙම දෝශාභියෝග ප‍්‍රයත්නය රාජපක්ෂ ආණ්ඩුව විසින් තමන්ටම කපා ගත් මිනීවළක් යැයි රාජපක්ෂවාදී පිරිස් විසින්ම නම් කරන තරමට ඊට එරෙහි ව්‍යාපාරය නැගී ආවේ ය.. ඒ අතර ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය නව අගවිනිසුරුවරයකු පත් කළ හොත් ඔහු හෝ ඇය මෙම අවනීතික ක‍්‍රියාවට විරෝධයක් ලෙස පිළිනොගත යුතු බවට තීරණය කළේ ය. රට නව රේඛා මත දෙකට බෙදුණි.

එපමණක් නොවේ. දෝශාභියෝග විරෝධී අරගලය විසින් පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාවේ පවත්නා අත්තනෝමතික පාලනය අන්තර් ජාතික ප‍්‍රජාව හමුවෙහි යළිත් වරක් නිරුවත් කර පෙන්වීමට සමත් වූ අතර දැන් පැහැදිලිව පෙනී යන පරිදි පාලක සන්ධානය තුළ ඉරි තැලීම්වලට ද හේතු වී තිබේ.

ෆූටා අරගලය අධ්‍යාපනයේ ලා සමාජ සාධාරණත්වයෙහි අවශ්‍යතාවය සමාජ ගත කළ පරිද්දෙන් දෝශාභියෝග විරෝධී ව්‍යාපාර විසින් නීතියේ අධිපත්‍ය සහ සාධාරණ විනිශ්චයකට ඇති අයිතිය සමාජ ගත කරනු ලැබුවේ එම සමාජ ව්‍යාපාරයක් බවට පෙරළමිනි. ෆූටා අරගලය මෙන්ම දෝශාභියෝග විරෝධි ව්‍යාපාරය ද සිවිල් ව්‍යාපාරයක් වූ අතර වාර්ගික බෙදීම් අතික‍්‍රමණය කිරීමට පවා සමත් වූවා ය. මේ ව්‍යාපාරය නොනවතින ජවයක් සතු කර ගත් අතර ඊළඟ රාජ්‍ය පාලන වෙනසක ප‍්‍රතිසංස්කරන ඉල්ලීමක් බවට නියතවම පත්වනු ඇත.

තෙවැනි රිදී රේඛාව නම් යාපනයේ නැගිටීම යනුවෙන් විදෙස් ජනමාධ්‍ය විසින් හදුන්වන ලද, මිලිටරි යකඩ සපත්තුවට පෑගී සිටීම ප‍්‍රතික්ෂේප කළ යාපන සරසවි සිසු අරලයයි. මෙම අරගලය පැන නැගුනේ ද යුද්ධාවසානයෙන් තෙවසරක් ගතවී තිබියදීත් නිදහස් ජීවිතයක් ගත කිරීමට නොහැකිව යුද්ධ පාලනයක් යටතේ දිවි ගෙවන උතුරෙහි දෙමළ ජනයා අතර පවත්නා අසහනය විරෝධයක් බවට වර්ධනය වෙමින් පවත්නා පසුබිමක ය.

පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාවෙහි දෙමළ ජනයාට යුද්ධයේ දී මිය ගිය සිය ඥාතීන් අනුස්මරණය කිරීම ශ‍්‍රී ලංකා රජය සහ යුද්ද හමුදා විසින් අවසර දෙන්නේ නැත. 2012 මැයි 20වනදා එවැනි එක් සැමැරුම් දිනයකි. අනෙක් සැමැරුම් දිනය යෙදුනේ නොවැම්බර් 27 දිනටය. 2012 වසරෙහි එම දිනය දා විරුසමරු දිනයද හින්දු ආගමික චාරිත‍්‍රානුකූල පහන් දැල්වීමේ ආගමික දිනය ද එකට යෙදී තිබුණි. මෙම අවස්ථාව ප‍්‍රයෝජනයට ගනිමින් මිලිටරි තහංචි නොසළකා යාපන සරසවියේ සිසු සිසුවියෝ සැමරුම් උළෙලක් පවත්වා වීදි බටහ.

මර්දනය හැර අනෙක් ප‍්‍රතිචාරයක් නොදන්නා පාලක අත්තනෝමතිකත්වය සිසු අරගලය තලාදැමීමට දරන ලද ප‍්‍රයත්නය දෙමළ සමාජයෙහි පමණක් නොව දකුණේ ප‍්‍රගතිහීලී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිරිස්හි ප‍්‍රබල හෙළා දැකීමකට ලක් විය. එමෙන්ම දේශීය වශයෙන් පමණක් නොව අන්තර් ජාතික වශයෙන් ද සිසු මර්දනය හෙළා දකිමින් නිවේදන නිකුත් කෙරුණි. ආණ්ඩුවාදී අර්ධ සන්නද්ධ දෙමළ දේශපාලන පක්ෂ හැරුණ විට අනෙක් දෙමළ දේශපාලන පක්ෂ එක් සටන් පෙරමුණකට කැදවීමට මෙම සිසු නැගිටීම සමත් විය.

මෙම ‘යාපන නැගිටීමේ‘ වැදගත්කම රැදී ඇත්තේ මිලිටරිකරණයට තවදුරටත් යටත්ව සිටීමට සූදානම් නැති බවට පසුගිය මාස ගණනාව පුරා දෙමළ ජනයා ලංකාණ්ඩුවට ලබා දෙමින් සිටි සංඥාව එය විසින් තීරණාත්මක කඩ ඉමකට රැගෙන ආ නිසා ය. රාජ්‍යය මෙම නැගිටීමට කොතරම් බියපත් වූයේ ද යත් මේ වන විට 50කට අධික තරුණ තරුණියන් පිරිසක් කෙටි සහ දීර්ඝ කාලීන වශයෙන් අත් අඩගුවට ගෙන ප‍්‍රශ්ණ කර තිබේ. එනයින් මෙම ‘නැගිටීම’ විසින් යාපනයේ සාමාන්‍ය තත්ත්වය ඇතිකර තිබේ යැයි ආණ්ඩුව ගෙන ගිය වා්‍යාජ ප‍්‍රචාරය නිරුවත් කෙරුණි.

නැගෙනහිර පළාත්පාලන මැතිවරණයේ දී අත්දුටු දෙමළ ජනයා රාජපක්ෂ ආණ්ඩුවට දක්වන විරුද්ධත්වය සිවිල් සමාජය විසින් සංවිධානාත්මක මට්ටමින් ඉදිරියට ගෙන එම ද මෙම යාපන සිසු නැගිටීම විසින් සංකේතවත් කරයි. එයින් කියැවෙන්නේ රාජ්‍යයේ යුද්ධ ජයග‍්‍රහණය විසින් දෙමළ ජනයා හිරිවට්ටාවා තිබු යුගය දැන් ඉතිං අවසන් බවයි.

මෙම රිදී රේඛා තුන විසින් ශ‍්‍රී ලාංකික සමාජය තුළ ඇති කරන ලද චලනයන් රාජපක්ෂ අත්තනෝමතිකත්වය දුර්වල කිරීමට සමත් වු අතර වෙනසක් ඇති කළ හැකි සහ ඇති කළ යුතු බව මහා ජනයාටට එත්තු ගැන්වීමට සමත් විය. එමෙන්ම මෙම රිදී රේඛා තුනම විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය සහ මහාජනයාගේ අයිතීන් පිළිබද ගැඹුරුවූත් පළල්වූත් සාකච්ජාවක් නිර්මාණය කළේ ය.

2013 වසර කරා මෙම රිදී රේඛා විහිදෙනු ඇති අතර ඒ හා රොද බඳින තවත් තරුවැල් ශ‍්‍රී ලංකා ගගන තලයෙහි පායනු ඇති බව නිසැක ය.

ජයග‍්‍රාහි 2013 වසරකට ඔබ සැමට සුභ පතමි!

සුනන්ද දේශප්‍රිය[Sunanda Deshpriya]

ඒකාධිපති මළ බෙර හඬ


අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් පත් කෙරුණු පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ වාර්තාව යළිත් වරක් ‘ස්වාධීන’ කමිටුවකින් විමර්ශනය කළ යුතු යැයි ජනාධිපතිවරයා ම දැන් ප‍්‍රසිද්ධියේ කියමින් සිටී. ඒ බව පළමු වරට ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ නවීන මහල් සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට පසුගියදා සහභාගි වෙමිනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධාන ආණ්ඩුව ගෙන ආ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව සම්න්ධයෙන් තමන්ට පැවැරී ඇති විධායක බලය ක‍්‍රියත්මක කරන්නට පෙර එකී වාර්තාව පිළිබඳ ස්වාධීන කමිටුවක් පත් කොට යළි විමසා බලන බවත් තමන් උත්තර දිය යුත්තේ තමන්ගේ හදවතට පමණක් බවත් එයින් තමන් සෑහීමකට පත් විය යුතු බවත් මෙම පියවර ගන්නේ තමන්ගේ අවශ්‍යතාව මත විනා ඒ සම්බන්ධයෙන් කිසිම නීතියක හෝ පොත පතක හෝ සඳහන් වී නැති බවත් ජනාධිපතිවරයා තවදුරටත් කියා තිබේ. ජනාධිපතිවරයාගේ මෙකී ප‍්‍රකාශය අනුව අපට පහත කරුණුවලට එළැඹිය හැකි ය.

1. දෝෂාභියෝගය විභාග කිරීමට (තම ආණ්ඩුව විසින් ම පත් කර ගනු ලැබූ) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ස්වාධීන එකක් නො වන්නක් යැයි ජනාධිපතිවරයා ම පිළිගන්නා බව.

2. ජනාධිපතිවරයා තම විධායක බලතල ක‍්‍රියාත්මක කරන්නේ ‘නීතියේ ආධිපත්‍යය’ සංකල්පයෙන් බැහැරව වන අතර රටේ මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඔහු නො තකා හැර ඇති බව.

3. ජනාධිපතිවරයා ක‍්‍රියා කරන්නේ ඔහුගේ සිත සෑහිමකට පත් කිරීම සඳහා පමණක් වන අතර ඔහු උත්තර දෙන්නේ ජනතාවට නොව ඔහුගේ සිතට පමණක් වන බව.

නඩුවක් විභාග කරන විනිශ්චයකාරවරයකුගෙන් හෝ විනිශ්චයකාර මණ්ඩලයකින් හෝ අනිවාර්යයෙන් ම අපේක්ෂා කරන්නේ නීතියේ සාධාරණත්වයයි. එනම් කිසිදු පාර්ශ්වයකට විශේෂ ළැදියාවක් නොදක්වා සාධාරණත්ව මූලධර්මය මත පිහිටා අදාළ නඩු කටයුත්ත විනිශ්චය කිරීම වේ. සාධාරණ හා අපක්ෂපාතී නඩු තීරණයක් අපේක්ෂා කළ හැක්කේ එවිටදී ය. අධිකරණ ක‍්‍රියාදාමයකින් කිසියම් කෙනකුට එරෙහිව චෝදනා ගොනු කොට එය විභාග කළ යුත්තේ පිළිගත් නීතිමය සම්ප‍්‍රදායකට අනුකූලව ය. අදාළ චෝදනා නිසියාකාරව විත්ති පාර්ශ්වයට දිය යුතු ය. චෝදනා ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සතුව ඇති ලිඛිත සාක්ෂි හා අදාළ සාක්ෂිකරුවන් ඇත්නම් එහි ලැයිස්තුවක් විත්ති පාර්ශ්වයට දීම අනිවාර්යය කාරණයෙකි. තමන්ගේ නිර්දෝෂීභාවය නිසියාකාරව ඔප්පු කිරීමට විත්ති පාර්ශ්වයට හැකියාව ලැබෙන්නේ එවිටදී ය. එසේ නැතිව තමන් උත්තරීතර යැයි කියා ගත් පළියට පාර්ලිමේන්තුවට හිතූ හිතූ ආකාරයට තේරීම් කාරක සභා පත් කොට ‘පිස්සු බල්ලන්’ මෙන් අධිකරණ කටයුතු කිරීමට ‘ප‍්‍රජාතන්ත‍්‍ර සමාජයක’ කිසිම ඉඩක් ලැබෙන්නේ නැත.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් විධිමත්ව විනිවිදභාවයකින් යුක්තව ස්වකීය බලතල භාවිත කරන්නේ කෙසේදැයි දැන ගැනීමට අවශ්‍ය නම් බි‍්‍රතාන්‍ය පාර්ලිමේනතුව ඊට මනා නිදසුනෙකි. එහි තේරීම් කමිටු රැස්වීම් සජීව ලෙස රූපවාහිනී මාධ්‍යයෙන් නැරඹීමට ජනතාවට ඉඩ ලබා දී ඇත්තේ ද එකී කටයුතුවල විනිවිදභාවය ආරක්ෂා කිරීමට ය. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග විභාගය ද මාධ්‍යට විවෘත කොට එම කටයුත්ත විනිවිදභාවයකින් සිදු කළ යුතු යැයි ජනතා බලවේග දැඩිව ඉල්ලා සිටිය ද ඊට ආණ්ඩුව නිසි ප‍්‍රතිචාරයක් නො දැක් වූයේ තමන් කරන නීති විරෝධී ප්‍රෝඩාව ජනතාව ඉදිරියේ හෙළි වන නිසාවෙන් විය යුතු ය. ජනාධිපතිගේ හා ඔහුගේ සොහොයුරන් වන බැසිල් හා චමල් රාජපක්ෂවරුන්ගේ පූර්ණ අධ්‍යක්ෂණයෙන් මෙහෙය වුණු මෙම තේරීම් කාරක සභාව විසින් විත්ති පාර්ශ්වය හා විපක්ෂ සමාජිකයන්ගේ නියෝජනයක් නැතිව ම පැය කිහිපයක් ඇතුළත සියලූ සාක්ෂි කැඳවා අදාළ තීරණය ද දෙනු ලැබීමෙන් එහි ස්වාධීනත්වය කොතරම්දැයි මනාව ප‍්‍රකට කොට ඇත.

මෙහිදී විශේෂයෙන් සලකා බැලිය යුත්තේ ‘නීතියේ ආධිපත්‍යය’ හෙවත් ‘නීතියේ පාලනය’ සම්බන්ධයෙන් මෙරටේ විධායකය සහ ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුව කොතෙක් දුරට අවනතව ක‍්‍රියා කරන්නේ ද යන්න ය. ‘නීතියේ පාලනය’, ප‍්‍රජාතන්ත‍්‍ර පාලන ක‍්‍රමවේදය පිළිගන්නා රාජ්‍යයන් වෙතින් අනිවාර්යයෙන් ම ප‍්‍රකට විය යුත්තෙකි. මෙයින් කියැවෙන්නේ ‘නීතියට ඉහළින් කිසිවක් නැත’ යන්න ය. එනම් පාලකයා සිටිය යුත්තේ ද නීතියට යටත්ව ය. පාලකයාට හිතෙන හිතෙන සෑම දෙයක් ම කළ නො හැකි ය. පාලකයා ද නීතියට අවනත වන්නා වූ කොටස්කාරයකු විනා එයින් පරිබාහිර පුද්ගලයකු ලෙස සැලැකිය යුතු නැත. පාලකයාට එක නීතියකුත් සාමාන්‍ය වැසියාට තව නීතියකුත් ක‍්‍රියාත්මක විය යුතු නැත.

නූතන දේශපාලනයට ‘නීතියේ පාලනය’ සිද්ධාන්තය හඳුන්වා දීමට පුරෝගාමීව ක‍්‍රියා කළ ඩයිසි(Dicey) විසින් අවධාරණය කරනු ලබන්නේ මෙම සිද්ධාන්තයෙන් මූලිකව ම කාරණා ත‍්‍රිත්වයක් අපේක්ෂා කරන බව ය. පළමු කාරණාව වන්නේ කෙනකු නීතියට අවනතව සිටින්නේ කොපමණ කලක් ද ඒ දක්වා ම ඔහු දඬුවමකට යටත් නො වන බව ය. එනම් රජයක් විසින් කෙනකුට දඬුවම් පනවනු ලැබිය යුත්තේ ඔහු නීතිය කැඩුවහොත් පමණී. මෙයින් අදහස් කරන්නේ රජයකට අත්තනෝමතිකව කිසිම පුද්ගලයකුට එරෙහිව දඬුවම් පැනැ විය නො හැකි බව ය. නිදසුනක් ලෙසට තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කොට නීතිමය ක‍්‍රියාවලියෙන් පරිබාහිරව දඬුවම් පැනැවීමට මෙහිදී පාලකයාට ඉඩක් ලැබෙන්නේ නැත.

දෙවැනි කාරණාව වන්නේ එක් නීතියකින් නැතහොත් එක් නීති පද්ධතියකින් සියලූ දෙනා ම පාලනය විය යුතු බව ය. එනම් සාමාන්‍ය ජනතාවට බලපාන නීතිය ම පාලකයාට ද බලපෑ යුතු ය. නිදසුනක් ලෙස තමන්ගේ ‘පාවිච්චියට’ හෙරොයින් ග‍්‍රෑම් 10 ක ළඟ තබා ගත් පුද්ගලයාට මරණ දඬුවම නියම කොට හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 100 ක් ළඟ බා ගත් මුළු රටේ ම හෙරොයින් බෙදා හරින ඇමැතිවරයකුගේ ගෝලයකු සියලූ චෝදනාවලින් නිදහස් කරන්නේ නම් එතැන නීතිය ක‍්‍රියාත්මක වන්නේ දෙයාකාරයකට ය. එවැන්නක් සිදු විය යුතු නැත.

මෙම සිද්ධාන්තයේ තෙවැනි මූලික කාරණාව වන්නේ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන්නේ හුදෙක් ලිඛිත නීතිය ම පමණක් අනුව නොව අධිකරණමය තීන්දු ප‍්‍රකාරව ද එය සුරක්ෂිත කළ යුතු බව ය. එනම් තමන් උත්තරීතර යැයි කියා ගත් පමණින් මුළු මහත් සමාජයට ම බලපාන අධිකරණ තීන්දුවක් නො තකා හරිමින් කටයුතු කිරීමට විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට හෝ නො හැකි ය. විධායකය හා ව්‍යවස්ථාදායකය විසින් අධිකරණ තීන්දුවලට ගරු කරනු ලැබිය යුතු යැයි නීති පොතක ලියැ වී නැතත් එසේ කිරීමේ පොදු සම්ප‍්‍රදායක් ස්ථාපිතව තිබේ. තමන් විධායකය නිසා හෝ උත්තරීතර නිසා හෝ එවැන්නක් නීති පොතක නැතැයි කියමින් හෝ එකී සම්ප‍්‍රදාය බිඳීමට විධායකයට හා ව්‍යවස්ථාදායකයට ඉඩක් නැත.

පොදුවේ ගත් විට ‘නීතියේ පාලනයෙන්‘ මූලිකව ම අපේක්ෂා කරන්නේ රජය විසින් ස්වකීය බලය භාවිත කරනු ලැබිය යුත්තේ සම්මුති නීතියකට අනුකූලව ම විය යුතු බව ය. එසේ නොමැතිව තමන්ගේ පටු දේශපාලන අරමුණු සාධනය කර ගනු පිණිස රජයකට අත්තනෝමතිකව තම බලය භාවිත කළ නො හැකි ය. මෙහිදී රජය යන්නට ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන ම අයත් වන්නේ ය.

මෙරට විධායකය හා ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුව කටයුතු කරමින් සිටින්නේ නීතියේ පාලනයෙන් බැහැරව බව බැලූ බැල්මට ම පෙනෙන කාරණයෙකි. ජනාධිපතිවරයාගේ පවුලේ සමාජිකයන්ට හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධාන ආණ්ඩුවේ මැති-ඇමැතිවරුන්ට එක නීතියකුත් රටේ සාමාන්‍ය වැසියාට තව නීතියකුත් ක‍්‍රියාත්මක වන්නේ එනිසාවෙනි. ඇමැතිවරුන් නිදහසේ මත්ද්‍රව්‍ය ජාවරම් කරන්නෙත් කප්පම් ගන්නේත් ගණිකා මඩම් පවත්වා ගෙන යන්නේත් තවත් අනෙකුත් නීති විරෝධී කටයුතු කරන්නේත් එනිසාවෙනි. ආරක්ෂක ලේකම්වරයාගේ අණ පරිදි අත්තනෝමතිකව යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවමින් සිටින්නේත් පොලිස් හා හමුදා ක‍්‍රියාවන් නිසා නිරායුධ පුද්ගලයන් ඝාතනය වුවත් ඊට එරෙහිව නීතිමය පියවරක් නො ගන්නේත් එනිසාවෙනි. ‘බැලූ බැල්මට ම’ නඩු කටයුත්තක් නැති බව පැහැදිලිව ම පෙනී තිබියදීත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් විධායක හා ව්‍යවස්ථාදායක බලය භාවිත කරමින් අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් සම්මත කර ගන්නට වත්මන් ආණ්ඩුව ක‍්‍රියා කරමින් සිටින්නේ එනිසාවෙනි. ‘මා උත්තර දිය යුත්තේ මගේ සිතට පමණී’ යන සිතුවිල්ලෙන් ජනාධිපති කටයුතු කරමින් සිටින්නේ එනිසාවෙනි.

තමන් මෙරටේ විධායකයේ ප‍්‍රධානියා වූ නිසා ම තමන් උත්තර දිය යුත්තේ තමන්ගේ සිතට පමණක් යැයි ජනාධිපතිවරයා කියන්නේ නම් එය මුග්ධ ප‍්‍රකාශයක් බව පැහැදිලිව ම කිව යුතු ය. ජනාධිපතිවරයාට අඩුම වශයෙන් 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය හෝ පිළිබඳ අවබෝධයක් තිබේ නම් මෙවැනි මුග්ධ ප‍්‍රකාශයක් කරන්නේ නැත. ජනාධිපතිවරයා පත් කරනු ලබන්නේ ජනතාව විසිනි. ඒ, ජනතාවගේ විධායක බලය ක‍්‍රියාත්මක කිරීමට ය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා ජනතාවට වගකිව යුත්තේ කුමන ආකාරයකට දැයි වචනයෙන් වචනයට විග‍්‍රහ කොට දක්වා නැත්තේ වුවත් ජනතාව විසින් පත් කෙරුණු විධායක ජනාධිපතිවරයාට තමන්ගේ හිතලූ අනුව අත්තනෝමතිකව ක‍්‍රියාත්මක කළ නො හැකි ය. විධායකයේ සීමා කවරේ ද යන්නත් නො කළ යුතු දේ කුමක් ද යන්නත් නීතියෙන් ලිඛිතව නොමැති වුවත් සම්ප‍්‍රදාය විසින් එහි සීමා ඇඳ ඇති බව ජනාධිපතිවරයා දැන ගත යුතු ය. යමක් නීති පොතක නැත්නම් ඒ දෙය නීති විරෝධී වන්නේ නම් එය නො කර සිටීමට සම්ප‍්‍රදාය විසින් විධායකයට බල කෙරෙනු ඇත. එමෙන්ම යමක් නීති පොතක නැත්නම් එහෙත් එය සමස්ත ප‍්‍රජාවගේ ම සුබසාධනයට යෝග්‍ය වන්නේ නම් එය කිරීමට සම්ප‍්‍රදාය විසින් බල කෙරෙනු ඇත.

එමෙන්ම ජනාධිපතිවරයාගේ සිතේ සෑහීමට පත් වන රේඛාව ඇත්තේ කොතනදැයි හෝ සෑහීමකට පත් වන්නේ කවරාකාරයකටදැයි හෝ කාටවත් නිශ්චය කොට දැක්විය නො හැකි ය. කෙනෙක් අනෙකාට සාධාරණත්වය ඉටු වෙනු දැකීමෙන් ම සෑහීමකට පත් වෙනු ඇත. තවකෙක් අනෙකාගේ විනාශය දකිමින් ම අපමණ සෑහීමකට පත් වෙනු ඇත. ජනාධිපතිවරයාගේ ‘සෑහීම’ ඇත්තේ කොතනදැයි කිව නො හැකි ය. නිදසුනක් ලෙස ඇඩොල්ෆ් හිට්ලර්, තම හමුදා බලය යොදවා නිරායුද යුදෙව් ජාතිකයන් මිලියන ගණනක් අමු අමුවේ ඝාතනය කිරීමට සැලැස්සුවේ වුව ඔහු කිසිදිනෙක එයින් සෑහීමකට පත් වූයේ නැත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් තුළ ස්වාධීන අධිකරණ පද්ධතියක අවශ්‍යතාව වඩාත් දැනෙන්නේ විධායකය හා ව්‍යවස්ථාදායකය කුමන අවස්ථාවක හෝ පටු දේශපාලන තීරණවලට එළැඹෙමින් නීති විරෝධී දේ කිරීමට උත්සහ ගන්නා විටදී ය. නීතියේ ආධිපත්‍යය බිඳෙන්නේ කෙදිනක ද එතැන ඒකාධිපති පාලනයක් බිහි වීම වැළැක්විය නො හැකි ය. මෙරටේ දැන් සිදු වෙමින් පවතින්නේ ද එයයි. දකුණේ සිංහල බහුතර ජනතාවගේ ජාතිවාදී හැඟීම් අවුස්සමින් ආණ්ඩුව තමන්ගේ ඒකාධිතපති ස්වරූපය යටපත් කර ගන්නට සමත් වී තිබේ.

ඒ යටපත් කර ගැනීම කොතරම් කාලයකට වලංගුදැයි තීරණය වන්නේ ආණ්ඩුවේ සැබෑ ඒකාධිපති පාලනය අවබෝධ කර ගැනීම සඳහා ජනතාවට කොතරම් කාලයක් ගත වන්නේ දැයි යන කාරණාවත් සමඟ ය ! එනම් ආණ්ඩුවේ ජාතිවාදී නැලැවිලි ගීයෙන් නිදා සිටින ජනතාව ස්වකීය නින්දෙන් සැබෑවට ම අවදි වී ප‍්‍රකෘති සිහියට පත් වන්නේ කවදාද වර්ගවාදී ඒකාධිපති පාලනයට එරෙහිව මළ බෙර වැයීම ද එදින ඇරැඹෙනු ඇත !!!

සඳුන් යාපා කරුණාරත්න[Sadun Yapa Karunaratne]

@SLG

2012: කලූ වලාකුළු සහ රිදී රේඛා

තවත් සතියකින් 2012 වසර ඉතිහාසයට යයි. එය කලූ වලාවෙන් ගහණ ය. මහජන අයිතීන් පයට පගා දැමෙන අත්තනෝමතිකත්වය පසුගිය වසරෙහි ශ‍්‍රී ලංකා ගගනෝදරය වසා ගත් මහම කලූ වලාව විය. 2012 කලූ වලාධිපති කිරුළ ජනාධිපති රාජපක්ෂට හිමිවන අතර විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට 2012 කුම්බකර්ණ අලූ වලාධිපති යහන පිරිනැමෙයි. වසරෙහි අපේක්ෂා භංගත්වයේ පළිහ ජෙනරල් ෆොන්සේකාට අයත් ය.

එනමුත් මේ කලූ වලා සහ අපේක්ෂා භංගත්වයන් මැද නිසැකවම අප දිරි ගන්වන රිදී රේඛා අහස් තලයෙහි නොව මහ පොළවෙහිම දිදුලයි.

එනයින් 2012 සමුගන්නේ ඉතිහාසයෙහි වැළලී නොයන්නාවූත් ඉදිරි වසර කරා ජවයකින් යුතුව ගමන් කරන්නාවූත් සිදුවීම් පෙළක් අපට දායද කරමිනි. එම ක‍්‍රියාදාමයන් විසින් පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකා සමාජය මත රාජපක්ෂ රිජීමය සතුවූ ග‍්‍රහණය දෙදරුම් කවන්නට පටන් ගෙන තිබේ. 2012 වසර සටහන්වනු ඇත්තේ පශ්චාත් යුද්ධ රාජපක්ෂ පාලනය හෙල්ලූම් කැවුණු වසර ලෙස ය. මෙම වසර අවසන් දින කිහිපය තුළ අප අත්දකිමින් සිටින්නේ අවසානයක ආරම්භය වියහැකි ය.

රාජපක්ෂ රිජිමය රඳා පවත්නා දේශපාලන හවුල තුළ අද කවරදාටත් වඩා අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධයන් සහ අප‍්‍රසාදය මෝදුවෙයි. රිජිමයේ මූලෝපාය වන වරදාන සහ භීෂනය විසින් රඳා පවත්වා ගැනීමට බැරි වන තරමට මෙම ප‍්‍රතිවිරෝධයන් උත්සන්න වී දෝරගලා යාම ඒ සඳහා අවශ්‍ය සමාජ – දේශපාලන තත්ත්වයන් එක්තැන්වීම පිලිබඳ ප‍්‍රශ්ණයක් පමණි.

සාධාරණ ඉල්ලීම් මත පදනම්ව මතුවන සෑම මහජන විරෝධතාවයක්ම මැඩලීම සාධාරණ කිරීමට රිජීමය සතුව ඇත්තේ එකම එක සටන් පාඨයකි. ඒ දේශද්‍රෝහී ලේබලය යි. එම කාසියේ එක් පැත්තක් නම් පරාජය කොට මිනී පෙට්ටියේ අවසන් ඇණයත් ගසන ලද බවට සව්දිය පිරූ දෙමළ අරගලය යළි මතුවනු ඇතැයි යන භීතිය වපුරා භීෂනය දියත් කිරීමය. අනෙක් පැත්ත නම් ශ‍්‍රී ලංකාවට විරුද්ධ අන්තර් ජාතික කුමන්ත‍්‍රණයේ කොටස්කරුවන්ය යන්න යි. යුද්ධ ජයග‍්‍රණයේ සව්දිය දැන් ආර්ථික අර්බූදය විසින් දුර්වර්ණ කෙරෙමින් තිබෙන තත්වයක් තුළ සටන් පාඨ ද්විත්වයේ ම වලංගුබව ක‍්‍රමයෙන් පහව යනවා ඇත. වසර අවසානයේ එක්ක හැර එකක් බැගින් පණ පෙවුණූ වැඩ කරන ජනයාගේ වැඩ වර්ජන විසින් සංකේතවත් කැරුණේ බඩවියත රැක ගැනීම පෙරමුණට පැමිණ ඇති සැටි ය.

පාලක හවුල මුහුණ දී සිටින එක් ප‍්‍රධාන අභියෝගයක් නම් උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ අපේක්ෂාවන් සම කිරීමය. ඒ වෙනුවට දැන් බලය බෙදීමේ ව්‍යවස්ථාමය රාමුව වන 13වන සංශෝධනය අහෝසි කිරීමට බලගතු රාජපක්ෂ දෙබෑයන් වන ගෝඨාභය සහ බැසිල් කැස කවති. එම දේශපාලන යොජනාවට තේල් ගහන්නේ ගිනි තැබීමේ සූරයින් වන අන්ත ජාතිවාදී සිංහල පිරිස් ය. මෙම යෝජනාවේ මූලිකයා අති බලවත් රාජපක්ෂ කෙනෙකු වීම නොසළකා මුස්ලිම් කොන්ග‍්‍රසය සහ පැරණි වාමාංශික පක්ෂ දැන් ඊට එරෙහිව සන්ධාන ගතවෙමින් සිටිති. බලය බෙදීමො(13වන සංශෝධනය) අහෝසි කරන යෝජනාවකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ජන්ද බලයක් ලබා ගැනීම වැළක්වීමට අවශ්‍ය ජන්ද තමන් සතු බව කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුනසේකර ප‍්‍රසිද්ධයේම පවසා තිබුණි.

බලය බෙදීමේ 13වන සංශෝධන විරෝධී ව්‍යාපාරයේ අනෙක් පැත්ත වුයේ දෙමළ ජනයා මත තෙරපා ඇති යුදමය පාලනය ලිහිල්වනු වෙනුවට තවත් ශක්තිමත් කිරීමයි. ඉන්දියාවේ හින්දු පුවත්පත පෙන්වා දුන්නේ ශ‍්‍රී ලංකා යුද හමුදා සේනාංකයන් 18න් 15ක්ම උතුරු නැගෙනහිර රඳවා ඇති බවයි. 2012 සැප්තැම්බරයේ දී යුද්ධවසානයෙන් පසු 300,000 දෙමළ ජනයා රඳවා සිටි මැනික් පාම් සරණාගත කඳවුර නිල වශයෙන් වසා දමන ලද නමුත් යළි පඳිංචි කරවන ලද සරනාගතයින් වැටුණේ කබලෙන් ලිපට ය. යුද සමයෙහි රාජපක්ෂ පාලනයේ සහායකයකු වූ ද්‍රවිඩ එක්සත් පෙරමුණෙහි සභාපති ආනන්දසංගරී දෙසැම්බර් මුල ජනාධිපතිවරයාට යැවූ ප‍්‍රසිද්ධ ලිපියක කියා තිබුණේ ‘‘දෙමළ ජනයා වත්මනෙහි අන් කවරදාටත් වඩා විශම සැළකීමට ලක්වන බව තමාට සහසුද්දයෙන්ම’’ වැටහී ඇති බවය. රාජපක්ෂ පාලනය විසින් විමුක්තිය ලබා දුන් බවට අඩහැර පෑ දෙමළ ජනයාට යුද්ධයෙහි දී දහ දහස් ගණනින් මිය ගිය ස්වකීය ඥාති ඝනයා සැමරීමටවත් අද අවසරයක් නැත.

තනිකරම දේශපාලන උප්රවැට්ටිටයක් වූ අගවිනිසුරු දෝශාභියෝගය සම්බන්ධයෙන් ඇති තත්ත්වය ඊටත් එහා ය. ඒ අරභයා මතුපිට නොපෙනෙන දැවැන්ත කළ කිරීමක් ශ‍්‍රීලනිප තුළ නළියයි. රාජපක්ෂවරුන් විසින් යටිකූට්ටුවෙන් දියත් කරන ලද බව මුළු රටම දන්නා මෙම දෝෂාභියෝගය තමන් දැක්කේවත් නැතැයි ද එබැවින් අත්සන් නොකළේ යැයිද අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියන කතාව ඊට අත්සන් කළ ශ‍්‍රිලනිප මංත‍්‍රිවරුන්ගේ දෙකන් සිදුරු නොකරනු ඇත් ද? ජනාධිපති රාජපක්ෂ කීවේත් තමන් මේ දෝශාභියෝගය දැන ගත්තේ අවශේෂ මංතී‍්‍රන්ගෙන් බව ය. මෙවැනි ප‍්‍රකාශ විසින් අලූයට ගිනි පුපුරු දලූ නොදමනු ඇත් ද? කව්රුන් කෙකෙර ගෑවද දෝශාභියෝග බිත්තරය රාජපක්ෂවරුන්ගේ බවට අනුර කුමාර කී කතාව මසුරමකි. දෝශාභියෝගය පමණක් නොව අධිකරණ ස්වාධිනත්වය කෙළෙසූ සැහැසිකම් ගණනවකින් 2012 වසර බොඳවිය. එනම් මන්නාරම මහේස්ත‍්‍රාත්වරයාට එරෙහි අමාත්‍ය රිෂාද් බදුයුදීන්ගේ අතපෙවීම් සහ ප‍්‍රචන්ඩ පෙළපාලි, අධිකරණ සේවා කොමිසම් සභා ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල වූ අවලාද, මරණ තර්ජන සහ පහරදීම, අගවිනිසුරුවරියට එරෙහි පෝසටර් පත‍්‍රිකා යනාදිය, රාජ්‍ය මාධ්‍ය හරහා ඇයට කරන ලද තුච්ච අපහාස, දෝශාභියෝගයට එරෙහිවීම නිසා නීතිඥ ගුණරත්න වන්නිනායක ඝාතන තැත යනාදිය යි. මෙම කිසිදු සිදුවීමක යුක්තිය තවම ඉටු වී නැත. අලූත්ම ප‍්‍රහාරය වන නීතිඥ සංගමයේ සභාපති විජේදාස රාජපක්ෂ නිවසට වෙඩි තැබීම සම්බන්ධයෙන් ද වනු ඇත්තේ කණගාටුව ප‍්‍රකාශ කිරීම පමණක් බව කැට තියා කිව හැක.

සමහර විට ඊටත් වඩා කළකිරීම ඇත්තේ රාජපක්ෂවරුන් විසින් ආණ්ඩුව සිය ග‍්‍රහණයට ගනිමින් තිබීම නිසා ය. සන්ඬේ ටයිම්ස් පුවත් පතට අනුව 2013 සඳහා වන අයවැය ඇස්මේන්තුවෙන් සියයට 45ක් රාජපක්ෂ සහෝදරවරුන් යටතට යයි. එනම් රු. බිලියන 604කි. ජනාධිපති කාර්්‍යාලයේ දිනක වියදම රු. මිලියන 20කි. වාර්ෂිකව බිලියන 7.4 කි. 2013 අධිකතම වැය ශීර්ශය වන බිලියන 290 ගොඨාභය රාජපක්ෂ යටතට යන අතර බැසිල් රාජපක්ෂ සංවර්ධන කටයුතු අමාත්‍යාංශයට බිලියන 90කි. ඔහුගේම මහා මාර්ග අමාත්‍යාංශයට බිලියන 132කි. තවද පාර්ලිමේන්තුව සතු මුල්‍ය බලතල අන් කවර ආයතනයකටවත් පැවරිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පයට පාගා මෙවර අයවැයෙන් ජනාධිපති රාජපක්ෂට පාර්ලිමේන්තුවෙහි අවසරය නැතිව රුපියල් බිලියන 1,295ක් නය ගැනීමට බලය පවරන ලදී.

තවද රාජපක්ෂවරු 2012 වසර පුරාත් ශ‍්‍රී ලංකාව සිය අනීතික දේශපාලන කෙළිපිටිය බවට පෙරළා ගැනීම දිගටම කරගෙන ගියහ. රාජ්‍ය සේවකයකු වන ගෝඨාභය රාජපක්ෂ රඟපාන්නේ නීතියක් නොසළකන බලගතු දේශපාලන චරිතයකි. මැතිවරණ රැස්වීම් අමතන ඔහු රටෙහි දේශපාලන ප‍්‍රශ්නවලට ඍජුවම මැදිහත් වෙයි. අන් කවර රාජ්‍ය සේවකයකු හෝ එවැනි පියවරක් ගැනීම නීතියෙන් දඩුවම් ලබන වරදකි. අමාත්‍ය බැසිල් රාජපක්ෂට 2012 වසරේදී මහා සම්පතක් වන දිවි නැගුම ප‍්‍රධානය කෙරුණි. කතානායන චමල් රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය ඉක්මවා යන බලයක උරුමකරු බවට පත් විය. ඔහුගේ පුත‍්‍රයා ඌව මහ ඇමතිය. රාජපක්ෂ ලාංචනය වන කාල්ටන් නම දරන සිය දරුවන්ගේ ක‍්‍රීඩා සමාජයට ලක්ෂ 2000ක බදු සහන වාහන ද සමඟ කොළඹ මහ රෑ කාර්රේස් කෙළින්නට වර ලැබුණි. තවත් පුත‍්‍රයකට, ණයට ගත් රුපියල් බිලියනක් වැය වූ බව කියන චීන සුප‍්‍රීම් සැට් චන්ද්‍රිකාවේ ශ‍්‍රී ලාංකික දේශපාලන හිමිකරු බවට පත්වීමට වාසනාව ලැබුණි. තවත් පුත‍්‍රයකු ශ‍්‍රී ලංකා රගර් නායකත්වයට වරම් ලද අතර ඒ අනුහසින් මහනුවර ක‍්‍රීඩා ලෝලීනට රබර්වන්නටම දෙන්නට අවසර තිබුණි. අනවරසයෙන් විදේශ මුදල් දහසින් බැදී පියළි මෙරටට ගෙන ආ ජනාධිපති ආර්යා සහෝදරයාට නීතියට පයින් ගැසීමට බලය ලැබුණි. තවත් රාජපක්ෂ ඥාති දියණියක අධ්‍යක්ෂිකාවක වන අරක්කු නිශ්පාදන සමාගමක රුපියල් බිලියනයක හොරකමක් ඇල්ලූ රේගු අධිපති පලවා හැරුණි. . අහෝ ! පරාදීසයක තරම.

මෙලෙසින් බලය අනිසි ලෙස ප‍්‍රයෝජනයට ගැනීමේ වාසනාව රජවාසල දේශපාලන බඩ ගැත්තරයින්ටද හිමි බව රටම දනී. එවැන්නන්ට විරුද්ධවාදීන් ඝාතනය කරන බවට ප‍්‍රසිද්ධියේ තර්ජනය කර ඇමැති ආසනයේම වැඩ හිඳ දේශනා කළ හැකි ය. දුමින්ද සිල්වා එක් දුෂ්ඨ උදාහරණයකි. ජුලම්පිටියේ අමරේද රජ වාසල බැල්ම නිසා වාසනාවන්තයකු වූ අකාලයේ වීරයෙකි.

මේ අතර වැලිකඩ හිරගෙදර සමූහ ඝාතනය පිළබද පරීක්ෂනය සහ මාතලේ සමූහ මිනීවල පිළිබඳ පරීක්ෂනය ද ඉහල නියෝග මත දැන් නතර කොට තිබේ. වවුනියාවේ සිර ගෙදර දෙමළ රුදවියන්ට වධ දී ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂනයක් පැවත්වූනේම නැත. කොළම ජාතික කෞතුකාගාරය බිඳ රාජකීය කඩු සොරකම් කිරීම පිළිබඳ පරීක්ෂනය කන්ගැට්ටා මහතා අත් අඩංඟුවට පත්වීමෙන් විහිලූ කතාවක් ලෙස නිමාවට පත් විය. කොට්ටේ විහාරයෙහි පෞරානික කඩු සොරකමෙහි ගොස් භික්ෂු ඝාතනයක් නිසා අත් අඩංගුවට පත් සැකකරු හර්ශ මන්ජූ ශ‍්‍රී වැලිකඬ සමූල ඝාතනය අතරතුර හඹා ගොස් මරා දැමුනි. මැයි මාසයේ දී මහවිලච්චියෙහි පෞරානික නටඹුන් හාරමින් සිටියදී ගම් වැසියන් විසින් අතටම අල්ලා දෙන ලද පොලිස් විශේෂ බලකා කණ්ඩායමට කිසිදු චෝදනාවක් නොනැගිනි.

2012 වසර ශ‍්‍රී ලංකාවෙහි නොවූ විරූ තරම් පවුලක පාලනයේ, දූෂණයේ සහ අවනීතියේ වසරකි.

ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසක් තිබුනි නම් ජනාධිපති පේ‍්‍රමදාස සමයෙහි පැවැති විකල්ප සහ විරෝධාකල්ප ජනමාධ්‍ය සම්ප‍්‍රදාය යළි දලූ ලෑවේ නම් 2012 වසර අවසානයේ දී හමා ආ මහා වැසි කුණාටු පරදවන දේශපාලන සුළි සුළගකින් රාජපක්ෂ පාලනය හෙල්ලූම් කැවෙන්නට තිබූ බව නිසැක ය.

ආශ්වාදජනක රිදී රේඛා සෙවිල්ල ලබන සතියට තබමි.

සුනන්ද දේශප‍්‍රිය[Sunanda Deshapriya]

මළවුන් සිහිපත් කිරීම; ජීවත්වන්නවුන්ගේ වත්පිළිවෙත් සහ අයිතිවාසිකම් පිළිබද සිතාබැලීමක්

ආරක්ෂක අංශවල බාධාකිරීම් හමුවේ, කිලිනොච්චියේ මව්වරැ, යුද්ධය විසින් උදුරාගත් සිය සමීපතමයින් වෙනුවෙන් දෙවියන් යදින අවස්ථාවක් | 2012 මැයි 18දා | Photo: www.vikalpa.org

ශිෂ්‍ය විරෝධතාවකට බැටන් පොලූ පහර දෙමින්, මාධ්‍යවේදියෙකුට ප‍්‍රහාර එල්ල කරමින්, සිසුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනිමින්, යාපනයේ විශ්ව විද්‍යාල සිසුන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් අතර මෑතකදී පුපුරා ගිය ගැටුම, තමන්ගේ ආදරණීයයන් වේවා, මිතුරන් වේවා, විරුවන් වේවා, මළවුන් සිහිපත් කිරීමට ජීවත්ව සිටින්නවුන්ට ඇති අයිතිය වටා කේන්ද්‍ර වූවකි.

සිසුන්, මළවුන් සිහිපත්කිරීම වෙනුවෙන් පහන් දැල්වූ බව කියති. ඔවුන් කර ඇත්තේ, සියවස් ගණනාවක් තිස්සේ, ලොව පුරා බිලියන ගණනක් මිනිසුන් විසින්, තම නිවෙස්තුළ, සොහොන් මත, පූජනීය ස්ථාන තුළ සහ මිනිසුන් මිය ගිය තැන්වල සිදුකරන විශ්වීය චාරිත‍්‍රයක් ඉටු කිරීමයි. මෙහිදී අනුගමනය කරන සම්ප‍්‍රදායන් තැනින් තැනට අනුව එකිනෙකට වෙනස් වුවත්, මේ චාරිත‍්‍රයේ හරය වනුයේ, මියගියවුන් ස්මරණය කිරීම සහ ඔවුන් මෙලොව හැර දමා ගිය හිතෛශීන් අත්විඳින වියෝ වේදනාවන් තුනී කර ගැනීමයි. මේ චාරිත‍්‍රයට ගරු කිරීම වනාහි, ශිෂ්ටත්වයේ පිළිබිඹුවකි.

බොහෝ සමාජවල, වෙසෙසින්ම ආගමික හෝ වාර්ගික ප‍්‍රචණ්ඩත්වයෙන් හිස එසවීමට උත්සහ දරන සමාජවල, එක් පාර්ශවයක් විසින් ගෞරවයෙන් අනුස්මරණය කරන පිරිස අනෙක් පාර්ශවය විසින් සතුරන් ලෙස දැකීමට ඉඩ ඇත. අපේ සමාජයේ තත්ත්වය මීට වෙනස් නොවේ. නමුත්, මේ හේතු කොටගෙන අනෙකා තමන්ගේ මළවුන් සිහිපත් කිරීම වළක්වාලීමට යමෙකුට අයිතියත් නැත. ඊටත් වඩා, එසේ වළක්වන්නේ, රාජ්‍යය වන විට, රාජ්‍යය තම පුරවැසියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් යෙදවිය යුතු සම්පත් ඔවුන්ව මර්දනය කිරීමට යොදා ගන්නා විට, මෙවැනි ක‍්‍රියාවන්, බය සැක නැතිව එළිපිටම සිදු කරන වෙනස්කොට සැලකීම් ලෙස ගිණිය හැකි වෙනු ඇත.

ශිෂ්‍යයන් නීතිය අතික‍්‍රමණය කළ බවට ආරක්ෂක අංශ සලකන්නේ නම්, ඒ සිදුවීම් ඒ අදාළ නීතියට අනුව වෘත්තීය මට්ටමෙන් විමර්ශනය කළ යුතුව තිබුණි. තවද, සැබෑවටම සිදුවූ දෙය සහ සිදු වූ දෙය තමන් වටහා ගන්නා ආකාරය අතර වන සංවේදී වෙනස පැහැදිලි කරගත යුතුව තිබුණි. මළවුන් අනුස්මරණය කිරීමට ශිෂ්‍යයින්ට තිබූ උවමනාවට දුර දිග සිතා නොබලා, බලහත්කාරකම් පාමින් කළ ප‍්‍රතිචාර දැක්වීමෙන් ඇඟවෙන්නේ, මේ තීරණාත්මක වෙනස තෝරා බේරා ගන්නට බැරි බරපතල නොහැකියාවයි.

මෙයින් ඇඟවෙන්නේ එය පමණක් නොවේ. දැනටත් තුවාල ලබා සිටින සුළු ජාතියක් යටත් කරගැනීම මේ බලහත්කාරකම යෙදවීම පිටුපස ඇති අභිප‍්‍රාය බව පෙනේ. එසේම තමන්ට අදාළව ඉතිහාසය අර්ථදක්වන්නට අනෙක් ප‍්‍රජාවන්ට ඇති අයිතිය ඉවසාගන්නට ඇති නොහැකියාව එයින් ප‍්‍රදර්ශනය කෙරේ. මේ සියල්ලටම වඩා, දමිළ සාමූහික ජන විඥානය තුළ ගැඹුරට කිඳා බැසගෙන ඇති, තමන්ගේ ප‍්‍රජාව විසින් අත්දුටු ව්‍යුහාත්මකව සහ එළිපිට දියත් කෙරුණු ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ මතකය මේ මගින් යළිත් අවුලවාලීම අතිශය බරපතල කාරණයකි. ඒ හරහා යළිත් නව මුහුණුවරකින් ප‍්‍රචණ්ඩ ප‍්‍රතිචාර දැක්වීමට පෙළඹවීමක් ඇති කෙරෙණු ඇත. ඒ කිසිවෙකුත් මේ මොහොතේ අපේක්ෂා නොකරන ඛේදනීය තත්ත්වයකි.

ඇත්තවශයෙන්ම මේ සිදුවීම්, ප‍්‍රචණ්ඩත්වයේ බලපෑමට ගොදුරු වූ දහස් ගණන් ශ‍්‍රී ලාංකිකයින්ට තමන්ගේ වේදනාවන් ගෞරවනීය ලෙස විඳ දරාගැනීමටත්, සෙමෙන් සෙමෙන් ඒ මතකයන් සුවපත් කරගැනීමේ ක‍්‍රියාවලිය කරා යොමුවීටමත් හැකි වන පරිදි අදාළ තත්ත්වයන් උදා කරදිය යුතු බව නිර්දේශ කරමින් ජනාධිපතිවරයා විසින්ම පත් කළ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම ඉදිරිපත් කළ යෝජනාවන් කෙරෙහි අපගේ අවධානය යොමු කරවයි. එවැන්නක් තවමත් සිදු වී නැත යන්නත්, එසේ කරන්නට මිනිසුන්ට ඇති අයිතිය උල්ලංඝණය කෙරෙමින් පවතීය යන්නත් බෙහෙවින්ම ඛේදනීය සහ සිත් කම්පනයට පත්කරවන තත්ත්වයකි.

යාපනයේ විශ්ව විද්‍යාලයේ සිදුවීමත්, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයත්, වැලිකඩ බන්ධනාගාරයේ කැරලි කාර සිරකරුවන්ගේ මරණත් ඉඳ හිට සිදුවන, අමනෝඥ, අපරික්ෂාකාරී අත්වැරදීම් ලෙස ලඝු කොට නොගත යුත්තේ මේ නිසාවෙනි. ඒ සියල්ලම දිගින් දිගටම ප‍්‍රසාරණය වන ආණ්ඩු බලය සහ වඩ වඩා කුඩා වෙමින් යන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය පිළිබඳ සාධක සපයයි. උතුර සහ දකුණ ප‍්‍රාදේශීය වශයෙන් කොයිතරම් දුර වුවත්, අප අපගේ සහෝදරියන්ගේ සහ සහෝදරයන්ගේ ආරක්ෂකයාය යන්න පිළිගත යුතු වන්නේ මේ නිසාවෙනි.

බිෂොප් දුලීප් ඩි චිකේරා විසිනි.

@VIKALPA

‘මැරයින් තවමත් නිදැල්ලේ‘: නීතිඥයින් විරෝධතාවයක [Video|Photos]


පසුගිය 17වනදා ආයුධ සන්නද්ධ මැරයින් පිරිසක් විසින් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට මරණීය තර්ජනය කර, ඝාතනය කිරීමට ගත් උත්සාහයට එරෙහිව අද(19) කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය.

කොළඹ මහෙස්ත්‍රාත් නීතිඥ සංගමය සංවිධානය කල එම විරෝධතාවයට නීතිඥයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් ප්‍රකාශ කලේ ‘‘ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාව ඝාතනය කිරීමට ගත් උත්සාහය ඉතාමත් සැළසුම් සහගතව සිදු කල එකක් බවත්, කෙසේ නමුත් මෙම මිලේච්ඡ ක්‍රියාව තම සංවිධානය දැඩි ලෙස හෙළා දකින බවත්, එසේ මරණීය තර්ජනය කරමින් පළා ගිය මැර පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරන බවත් ය.”

මේ එම විරෝධතාවයේ සම්පූර්ණ වීඩියෝ සහ ඡායාරෑප සටහනයි.

වීඩියෝ
YouTube Preview Image

සංහිඳියා විහිළුව


පලමු කථාව

2012 අගෝස්තු මස 21 වැනිදා, සවස 2.31 ට, 32 හැවිරිදි වව්නියාවේ පදිංචි වසන්තමාලා සිය ඥාති සොහොයුරිකට එස්එම්එස් පණිඩුඩයක් එවා තිබුණි. එම පණිවුඩයෙන් දැක්වුනේ තමන්ව වව්නියාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පිරිසක් විසින් පැහැරගෙන යන බවයි. ඉන්පසු එදින රාත‍්‍රී 8.00 පමණ ඇයගෙන් දුරකතන පණිවුඩයක් ලැබී ඇති අතර ඇය පවසා සිටියේ තමන් හොදින් බවයි. ඉන්පසුව ඇයගේ දෙමාපියන් එම දුරකථනය ඇමතීමට උත්සහ කලද එය සාර්ථක වී නැත.

මෙම සිදුවීමෙන් පසු ඇයගේ පියා මේ සම්බන්ධයෙන් වව්නියාව පොලීසියේ පැමිණිල්ලක් දැමීමට ගියත් වව්නියාව පොලීසිය විසින් එම පැමිණිල්ල බාරගත්තේ නැත. වව්නියාව පොලීසියේ නිළධාරීන් වසන්තමාලාගේ පියාට පවසා ඇත්තේ ඇය කවුරුන් හෝ පිරිමියෙකු සමග යන්න ඇති බවයි. නැවත වරක් එම පියා පොලීසියට ගොස් පොලිස් නිළධාරීන් ඉදිරියේ බැගෑපත්වීමෙන් පසු ඔහුගේ පැමිණිල්ල පොලීසිය විසින් බාරගෙන ඇත.

වසන්තමාලා පැහැරගෙන් යාමට කලින් අගෝස්තු19 වැනිදා වව්නියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියාගෙන පැමිණි පුද්ගලයෙක් ඇයගේ මවට පවසා ඇත්තේ යම් ලියකියවිලි සහ ඇය සමග වව්නියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිණෙන ලෙස යි.
ඒ අතර අගෝස්තු 21 වැනිදා ඇය පැහැර ගැනීමට ලක්විය. ඇය විසින් සිය ඥාති සොහොයුරියට එවන ලද කෙටි පණිවුඩයේ දැක්වුනේ ඇයව අපරාධ පරීක්ෂණ නිළධාරීන් පිරිසක් විසින් පැහැරගෙන යමින් සිටින බවයි.

මෙම කථාව ඇයගේ මව අපට හමුවී කියන විටත් අය පැහැරගෙන මාසකට කාලයක් ගතවීමට ආසන්න වී තිබුණි.

දෙවැනි කතාව

2012 නොවැම්බර් 22, අලූයම 2.45ට 34හැවිරිදි සතාසිවම් ලෝකේෂවරම්ගේ නිවසේ දොරට තට්ටුකරන ලද පිරිසක් ඔහුට එළියට පැමිණෙන ලෙස කීහ. ඔහු එළියට පැමිණි පසුව පැමිණි පිරිස ඔහුව රැගෙන ගිය අතර තවමත් ඔහු සම්බන්ධයෙන් තොරතුරක් නොමැත.

ලෝකේෂවරම් දෙමළ ජාතික සන්ධානයේ තරුණ සංවිධානයේ ආධාරකරුවකු වන අතර ඔහු පැහැර ගැනීමට ලක්වීමට දින දෙකකට පෙර EPDP සංවිධානයේ සාමාජිකයෙකු විසින් තර්ජනය කර තිබුණි. EPDP සංවිධානය රාජපක්ෂ රජයේ හවුල්කාර පක්ෂයකි.

තෙවැනි කථාව

නොවැම්බර් 30 වැනිදා අලූයම 1 ට යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් වන දර්ශාණන් පරමලිංගම්ගේ නිවසට කෝපායි පොලීසිය යැයි කියා පැමිණි පිරිසක් දර්ශානන් බලහත්කාරයෙන්ම රැගෙන ගියහ. ඔහුගේ මව පවසා සිටින පරිදි දර්ශාණන් අත්අඩංගුවට ගැනීමට පැමිණි පිරිස සිවිල් ඇඳුමින් සැරසී සිටි අතර අත්අඩංගුවට ගැනීමට අදාළව කිසිදු ලියකියවිල්ලක් ඉදිරිපත් කලේ නැත. ඒ අනුව එය පැහැර ගැනීමකි.
දෙසැම්බර් පළමු වැනිදා උදෑසන කෝපායි පොලීසියෙන් ඔහුගේ ඥාතීන් විමසන විට කෝපායි පොලීසිය කියා සිටියේ ඔවුන් එවැනි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තේ නොමැති බවයි.

ඔවුන් පැහැරගෙන පැය32 කටත් අධික කාලයක් ගතවූ පසු හදිසියේම පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකයා පවසා සිටියේ දර්ශාණන් ඇතුලූ අත්අඩංගුවට ගත් සිසුන් 4 දෙනා ත‍්‍රස්ත විමර්ෂණ ඒකකය මගින් රදවාගෙන සිටින බවයි.

අවම තරමින් තමන්ගේ දරුවන් සිටින්නේ කොතැනකද යන්න පවා නොපැවසීමට තරම් ශ‍්‍රී ලංකා ආරක්ෂක අංශ ආඩම්බර වී තිබුණි. මේවන විට සිසුන් 3 කු හට ත‍්‍රස්ත මර්ධන පනත යටතේ ආරක්ෂක ලේකම්වරයා විසින් රැඳවුම් නියෝග නිකුත්කර තිබේ.

හොලිවුඞ් සිනාම පට නොවේ

හොලිවුඞ් සිනමා පටවල එන ඇග කිළිපොලා යන අන්දමේ මේ කතා සියල්ල උතුරේ මේ නිශ්චිත මොහොතේ සිදුවෙමින් පවතින සහ දෙමළ ජනයා මුහුණ දෙමින් සිටින කටුක යථාර්තයයි. මේ සිදුවීම් ඛේදාන්තයන් අතුරින් මේ සිදුවීම් කිහිපයක් පමණි.

උතුරේ සාමාන්‍ය ජනයා මුහුණ දෙන තත්ත්වය මෙය වුවත් මෙසේ වූවත් දෙමළ ජනතාව සම්බන්ධ දකුණේ රාජපක්ෂ රජයේ මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වල මාතෘකාව ප‍්‍රතිසංහිඳියාව ආදී මාතෘකායි.

මේ සියල්ල දෙස බලා සිටින මාගේ මිත‍්‍රයන් දැන් අලූත් ප‍්‍රස්ථා පිරුලක් සාදාගෙන තිබේ. ශ‍්‍රී ලංකාවේ සංහිදියාව වගේ.

ලංකා රාජ්‍යයේ සංහිදියාව කොතෙක්ද යත් තවමත් දෙමළ ජනයා නොනැවතී අතුරුදහන් වෙයි. මෑතකදී ගවුඞ්ස්වීව් වෙබ් අඩවියේ විසින් ප‍්‍රසිද්ධකරන ලද වාර්තාවක දැක්වුනේ දිනකට 5 ලංකාව තුළ අතුරුදහන් වන බවයි.

වර්ග කිලෝමීටර් 18880 0 ක්වූ දෙමළ ජනයා ජීවත්වූ ප‍්‍රදේශයෙන් 2009 වර්ෂයේ මැයි මාසයෙන් පසු වර්ග කිලෝමීටර් 7000 පමණ රජයේ හමුදා විසින් බලහත් කාරයෙන් අත්පත් කරගෙන සිටිතී.

මෑතකදී ඉකොනොමික්ස් සහ පොලිටිකල් වීක්ස් සගරාව පෙන්වා දුන්නේ සමස්ථ හමුදා සේනාංකයන්ගේ 75% ස්ථාන ගත කර ඇත්තේ උතුරේ බවයි. උතුරේ රඳවා ඇති හමුදා ඝණත්වය සෑම පුද්ගලයන් 8 දෙනෙකුටම එක් අයෙකි.

උතුරේ පල්ලි සහ කෝවිල් පැවැත්වෙන් සෑම උත්සවයක්ම එම ප‍්‍රදේශයේ හමුදා කඳවුරට දැන්විය යුතු අතර එම උත්සව සියල්ල සිදුවන්නේ හමුදා බුද්ධි අංශ නීරීක්ෂණයන් යටතේය.

දකුණේදී ඉල්මහ විරුවන් සැමරිය හැකි වූවද උතුරේදී මහ විරුවන් සැමරීමට නොහැකිය. මෙවර මහවිරු දිනය යෙදී තිබූ නොවැම්බර් 27 වැනිදා ම දෙමළ ජනයාගේ සාම්ප‍්‍රධායික ආගමික් දිනයක් වන කාර්තිකයි දීපම් දිනය යෙදී තිබුණද එදිනට පහන් දල්වමින් එම වතාවත් සිදුකිරීමේ අවම ආගමික නිදහසවත් උතුරේ ජනයාට ලැබී තිබුණේ නැත.

සංහිඳියා මාධ්‍ය සංදර්ශණ

රාජපක්ෂ රජය දෙමළ ජනතාව සමග සංහිදියාව පෙන්වීමට උත්සහ දරන්නේ මාධ්‍ය ඔස්සේය. දෙමළ ජාතික විමුක්ති අරගලයට සම්බන්ධව සිටි තරුණයකු තවත් සිංහල තරුණියක අතිනත ගැනීම එසේත් නැතිනම් විමුක්ති කොටි සංවිධානයේ හිටපු ක‍්‍රියාකාරීන් කොළඹට ගෙන්වා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ ලස්සන කොළඹ පෙන්වීම එසේත් නැතිනම් ඔවුන්ව හා හමුදා සාමාජිකයන් අතර ප‍්‍රදර්ශණාත්මක ක‍්‍රිකට් තරග පැවැත්වීම මගිනි. මේ සියලූ තැන්හිදී රජයේ මාධ්‍ය කැමරා පිරිවර ඔවුන් පසුපස ගොස් ශ‍්‍රී ලංකා රජය දෙමළ ජනයා සමග සංහිදියාව ගොඩ නගන අයුරු පෙන්වයි.

ඕමන්තෙන් එපිට එළිමහන් සිරකඳවුර

ඒ -9 මාර්ගය ඔවුන්ගේ සන්දර්ශණයේ මාවතයි. කාපට් කළ මංමාවත්, අලූතින් ගොඩනැගිලි වලට එපිටින් ඇති දෙමළ ජනයාගේ ජීවිතය තවමත් අංශුමාතික වෙනස් දැනී නොමැත. නැවත පදිංචි කිරීම් යනු එක් කඳවුරක සිට තවත් කඳවුරකට මාරු කිරීමකි. මේ නිශ්චිත මොහොතේදී උතුර යනු සම්පූර්ණයෙන්ම එළිමහන් සිරකඳවුරකි.

මෑතකදී පුදුකුඩිඉරිප්පු සහ මුල්ලිවෛයිකාල් ප‍්‍රදේශයේ පදිංචිකළ සියලූ ජනයාගේ නිවෙස් ජීපීඑස් තාක්ෂණය යොදාගනිමින් ආරක්ෂ අංශ විසින් සිතියම් ගතකර සිටිත. වරක් මන්නාරම් ප‍්‍රදේශය බාර හමුදා නිළධාරියෙකු පැවසූයේ තමන්ගේ බලප‍්‍රදේශයේ ඉන්නා දෙමළ ජනයා දවල්ට ආහාර වශයෙන් ගන්නේ කුමක්ද කියාත් ඔවුන් දන්නා බවයි. ඒ තරමට දෙමළ ජනජීවිතය හමුදාකරණය මගින් ගිලගෙන ඇත.

කේන්ද්‍රීය ප‍්‍රශ්ණ මගහැර වටේ යාම

සංහිඳියා නැතිනම් ප‍්‍රතිසංධාන යන වචන දෙමළ ජනයාගේ අර්ථයෙන් විහිළුවක් බවට පත්වන්නේ මෙවැනි වටපිටාවක් තුළය. තවමත් දෙමළ ජනයාට අවංක ලෙස සංහිඳියාවේ දෑත් දිගුකරන්නට දකුණේ මේ වකවානුවේ ක‍්‍රියාත්ම කිසිදු දේශපාලන කණ්ඩායමක් සමත්වී නොමැත.

විශේෂයෙන්ම වාමාංශිකයන් කියා ගත් කණ්ඩායම් පවා දෙමළ ජනයා විශයෙහි හැසිරෙන්නේ ඔවුන්ගේ කේන්ද්‍රීය ප‍්‍රශ්ණය වන දේශපාලන නිදහස මගහරිමින් පරිපාලනමය ගැටලූ වටාය. දෙමළ ජනයාගේ ස්වයං තීරණ අයිතිය පිළිගැනීමට මැලිවන දේශපාලන කණ්ඩායම් සම අයිතිය වැනි මාතෘකා යොදමින් දෙමළ ජනයාගේ කේන්ද්‍රීය ප‍්‍රශ්ණ මගහරිමින් දෙමළ ජනයාගේ ගැටළුව පරිපාලනමය ගැටළුවකට විතැන් කිරීමට උත්සහ දරන්නේ දේශපාලනයේ අවස්ථාවාදීත්වය පෙන්නුම් කරමිනි.

පවතින ධනේෂ්වර ක‍්‍රමයට දෙමළ ජනයාගේ ගැටළුවට විසඳුමක් දෙන්නට නොහැකි වුවත් මෙම ක‍්‍රමය වෙනස් කරන තෙක් දෙමළ ජනයා සිය ජීවිතයෙන් වන්දිගෙවිය යුතු නැත.

-රාමසාමි මාලන්-
[Photo Credit:www.jdslanka.org]

අලූත් කඩේ කොටි සහ යාපනයේ කොටි

පසුගිය 4වනදා අධිකරණය ඉදිරිපිට විරෝධතාවයේ යෙදුනු ආණ්ඩුවේ කුලීකරැවන්

අගවිනිසුරුවරියට එරෙහිව අලූත් කඬේ අධිකරණ සංකීර්ණය අසළට රැගෙන ආ රාජපාක්ෂික ඝෝෂකයෝ අත අපූරු සටන් පාඨයක් තිබුණි. එනම් ‘‘රට බෙදන අධිකරණය අපට එපා!’’ යනුවෙනි. මෙම උද්ඝෝෂනය කැදවන ලද්දේ රාජපක්ෂ දෝශාභියෝගයට පක්ෂව සහ අගවිනිසුරුවරියට එරෙහිව බැවින් මෙම සටන් පුවරුවෙන් ඇඟවෙන්නේ අගවිනිසුරුවරිය රට බෙදීමට කටයුතු කරන බවය. මෙම සටන් පාඨයම අඩංඟු විශාල දැන්වීම් පුවරුවක් ද ඒ අසළ සවිකර තිබූ බව ජනමාධ්‍ය වාර්තා කළේ ය.(මෙම උද්ගෝෂණයේ සම්පූර්ණ වීඩියෝව සදහා මෙයට පිවිසෙන්න – සංස්කාරක)

නීතියේ පාලනය පවතින යුගයකදී නම් මෙම ක‍්‍රියාව සැළකෙනු ඇත්තේ අධිකරණයට අපහාස කිරීමක් ලෙස ය. එහෙත් අද ඇත්තේ ත‍්‍රීවීල් රියදුරන් විසින් අධිකරණයට චෝදනා ඉදිරිපත් කරන යුගයකි. රාජපක්ෂ පාලනයේ සිදී යන ඝෝෂක බලකායන් අතර පෙරමුණෙහිම රැදී සිටින බව පෙනෙන්නේ ත‍්‍රී වීල් රියැදුරන් සුළුතරයක් සහ මෙවැනි රැගෙන යා හැකි ඝෝෂක පිරිස් ය.

අගවිනිසුරුවරියට එරෙහිව ගොතා ඇති දෝශාභියෝග චෝදනා දැන් රට දෙකට බෙදා ඇති අතර පසුගිය සති කිහිපය පුරා එම කඳවුරු දෙක ඉති පැහැදිලිව සිය ස්ථාවරයන් ගනිමින් සිටියහ. දෝශාභියෝග චෝදනා අසාධාරණ බවටත් ඊටත් වඩා එම චෝදනා විමසනු ලබන කි‍්‍රයාදාමය කිසිදු යුක්ති ධර්මයකට අනනුකූල බවත් එක් පාර්ශවයක් කියා සිටිති. එම පාර්ශවය සැපිරෙන්නේ මල්වතු, අස්ගිරි ඇතුළු බෞද්ධ භික්ෂුන්, විනිසුරන්, නීතිවේදීන්, වෘත්තීය සමිති, කලාකරුවන්, දේශිය සහ අන්තර් ජාතික මානව හිමිකම් ආයතන යනාදියෙනි.

අනෙක, එනම් රාජපක්ෂ පාර්ශවය සැපිරෙන්නේ ත‍්‍රී වීල්කරුවන්, ජංගම ඝෝෂකයින්, රාජ්‍ය ගැති ජනමාධ්‍ය යනාදියෙනි. කුලී ත‍්‍රීවීල් රියදුරන්ගේ ඇඟවීම්වලට අනුව අගවිනිසුරුවරිය වටා එන්ජීඕ කාක්කන් ලැග සිටී. ඇය ලැජ්ජා නැති තරමට දූෂිතය. ජංගම ඝෝෂකයින්ට අනුව අය රට බෙදීමට උඩගෙඩි දෙයි. එනයින් රටට ද්‍රෝහී ය. වීරවංශගේ වෙබ් අඩවියට අනුව ඇය පිටුපස ඉන්දියානු ඔත්තු සේවා සිටී.

මේ අනුන අස්ගිරි මල්වතු නාහිමිවරුන් ඇතුළු විනිසුරන්, නීතිවේදීන් කලාකරුවන් යනාදී සියල්ලෝම රට බෙදන අධිකරණය රැක ගැනීමට ක‍්‍රියා කරති. එමගින් රට බෙදන සැළසුමක වක‍්‍ර සහායකයෝ බවට පත්වෙති. විශ්වාස කළ නොහැකි නමුත් රාජපක්ෂ පාලනය විසින් සංවිධානය කරනු ලබන ජංගම ඝෝෂකයින් අපට කියන්නේ ඒ බව විශ්වාස කරන ලෙස ය.

මේ වනාහී පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාණ්ඩුවේ සේලයින් සටන් පාඨය යි. දේශපාලන වශයෙන් යන එන මඟක් නැතිවන බව පෙනෙන සෑම අවස්ථාකම රාජපක්ෂ පාලනයේ පිහිටට එන්නේ පරාජය කරන ලද ශපථ කළ කොටි සංවිධානය සහ රට බෙදීමේ අනතුර යි. සිය දිනක් තරම් පැවැති සරසවි ආචාර්්‍යවරුන්ගේ අරගලය ජනයාගේ සහයෝගය දිනා ගැනීම වැළැක්වීමට ඇහිඳ ගත්තේ ද මේ සේලයින් සටන් පාඨයම ය. එනම් සටනෙහි ආචාර්්‍යවරුන්ගේ අරගලය රට බෙදන ත‍්‍රස්තවාදයේ ම දිගුවක් බවයි. රාජපක්ෂ පාලනයට විරුද්ධව අත ඔසවන ඹ්නෑම පුද්ගලයකුට ආයතනයකට හෝ ව්‍යාපාරයකට එරෙහිව දමා ගසන රාජපක්ෂ ආයුධය මෙය යි.

යුද්ධය පැවැති අවධියෙහි ජනමාධ්‍ය නිදහස සඳහා සටන් වැදුණූ අප වැනි පිරිස් හෙළා දැකීමට යොදා ගැනුනේ ද මෙම සේලයින් සටන් පාඨයමය. එකළ තමන්ට විරුද්ධව එවැනි චෝදනා නොනැගෙනු ඇතැයි සිතූ බොහෝ දෙනෙකු මත දැන් එම නාමකරණයට හසුව තිබේ. එළෙස වූදිත නාමකරණයනට ලක්වන සෑම කෙනෙක්ම අත්දකින තවත් සත්‍යයක් ඇත. එනම් සිය නිරේදෝශී බව සනාථ කිරීමට අවකාශයක් දැන් ජනමාධ්‍යයෙහි නැති බවයි. ආණ්ඩුව එල්ටීටීඊ ය සමඟ යෙදී සිටි යුද්ධයට අමතරව ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව මුදා හරින ලද යුද්ධයේ ඇත්ත අරමුණ සමස්ත සමාජයම සිය අණසකට ගැනීම බව දැන් ගතවන සෑම දිනක් පාසාම සනාථ වෙයි. නිදහස් සහ නිර්භය පුළුල් ජනමාධ්‍ය සංස්කෘතියක් පැවැතුනි නම් වත්මන් අත්තනෝමතිකත්වයට සිය මර්දනකාරී පාලනය ගෙන යෑම මහත් අභියෝගයක් බවට පත්වන්නට ඉඩ තිබුණි.

දකුණෙහි මතුවන සෑම යුක්ති සහගත විරෝධතාවයකටම දේශද්‍රෝහී ලේබල් අලවා ඒවා හුදකලා කිරීම සිය උපාය බවට පෙරලාගෙන සිටින රාජපක්ෂ පාලනය උතුරෙහි දී දැන් එම චෝදනාව යොදා ගනිමින් දෙමළ ජනයාට සිය මළවුන් සැමරීමට ඇති අවස්ථාව පවා අහිමි කරමින් සිටිති. යුද්ධාවසානයෙන් තෙවසරතටත් වඩා ගත වී තිබියදීත් යුද බිමෙහි මියගිය සිය දරුවන්, මාපියන්, ඥාතීන් සහ අසල්වැසියන් සැමැරීම දෙමළ ජනයාට තහනම් ය. ආණ්ඩුවේ ම උගත් පාලන කොමිසම යුද්දයෙන් මිය ගිය ජනයා අනුසමරණය කිරීම සඳහා විශේෂ දිනයක් අවශ්‍ය බවට නිර්දේශයක් කළ ද රජය එය පිළිගත්තේ නැත. ඒ වෙනුවට එය කළේ දෙමළ ජනයාගේ දරුවන් නිදන එල්ටීටීඊ සොහොන් පොළවට සමතලා කර ඒ මත යුද හමුදා කඳවුරු ඉදි කිරීමය. මෙම අනුස්මරණයන් සඳහා ඔවුන් තෝරාගෙන ඇති මැයි 19 දා වේවා නොවැම්බර් 27 දා වේවා රජයේ හමුදා මේ තාක් කිසිදු අනුස්මරණයකට අඩුමවශයෙන් ආගමික සිද්ධස්ථානයක දී හෝ ඉඩ දුන්නේ නැත. මෙම තහංචි සිදු වන්නේ දකුණෙහි එවැනිම ප‍්‍රචන්ඩ දේශපාලන ව්‍යාපාරයක් මෙහෙය වූ ජවිපෙ නායක රෝහණ විජේවීර රජයේ හමුදා විසින් මරා දමන ලද දිනය වන නොවැම්බර් 13 දා විරු සමරු දිනය ලෙස දකුණේ දී ඉහළින් සැමරෙන අතර තුර ය.

ජාතියක් වශයෙන් පීඩාවට පත්වන ඕනෑම ප‍්‍රජාවක් සිය ආත්මයට වදින සෑම පහරක්ම හද පත්ලේ රඳවා ගන්නා බවත් කවර දිනෙක හෝ එය ප‍්‍රබල මතුපිට ප‍්‍රකාශණයක් බවට පත් වන බවත් ලෝක ඉතිහාසය දෙස් දෙයි. වාර්ගික යුද ගැටුමක් එක් පාර්ශවයක පරාජයෙන් අවසානය වුවද ගැටුම ඉතිරිවන බවත් ඊට විසදුමක් වශයෙන් ප‍්‍රති සංධානයක් අවශ්‍ය බවත් ලොව පිළි ගන්නේ එනිසා ය. කණගාටුවකට මෙන් රාජපක්ෂ රජය යුද්ධාවසානයේ සිට මේ තාක් කටයුතු කර ඇත්තේ දෙමළ ජනයා යුද බලයෙන් බිය ගැන්වීමට මිස ප‍්‍රජාවන් අතර සැබෑ සමානත්මතාවයක් ඇති කිරීමට නොවේ.

පසුගිය දා යාපනය සරසවියේ සාමකාමී සිසු විරෝධතාවයට පහර දෙන හමුදාවේ සහ පොලීසියේ භටයන්


සමහර විදෙස් ජනමාධ්‍ය විසින් යාපනයේ කැරැල්ල යැයි නම් කරන ලද යාපන සරසවි සිසු සිසුවියන් විසින් පසුගිය නොමැම්බර් 27 වන දින මිලිටරි අඥා නොතකා දැවැන්ත පහනක් ගිනිදල්වමින් පවත්වන ලද විරු සමර අප තේරුම් ගත යුත්තේ එම වටපිටාව තුළය. මේ වනාහී පැහැදිළිවම උතුරෙහි පවත්නා යුද පාලනයට එල්ල කරන ලද සිවිල් අභියෝගයකි. විචාරකයින් පෙන්වා දී ඇත්තේ 2009 යුද්දවසානයෙන් පසු යාපනයේ ඇති වූ විශාලතම ජනතා ක‍්‍රියාව මෙය බවයි. මෙම විරුද්ධකම් පෑම යාපනයේ ජන මනස තුළ ආශ්වාදයක් ජනිත කරන්නට ඇති බව තේරුම් ගැනීම දුෂ්කර නැත.

මෙම සිදුවීමට ප‍්‍රතිචාරයක් වශයෙන් යුද හමුදා බලකා යාපන සරසවිය තුලට යවමින් ආණ්ඩුව ක‍්‍රියා කළේ යුද්ධයකදී මෙන් ය. කාන්තා නේවාසිකාගාර පිරික්සීම පිණිස යවන ලද්දේ ද පිරිමි සොල්දාදුවන් ය. සරසවි සිසුන්ගේ සාමකාමී අනුස්මරණ පා ගමනට සිසුන්ට තුවාල සිදු කළ මර්දනකාරී පොලිස් සහ හමුදා ප‍්‍රහාරයක් එල්ල විය. දැන් විශ්ව විද්‍යාල සිසු නායකයින් තිදෙනෙකු අඩංඟුවට ගෙන ඔවුන් තෙමසක ආරක්ෂක අමාත්‍යාංශයේ රඳවා තැබීමේ නියෝග යටතේ සිර ගත කරනු ලැබ තිබේ. මෙවැනි මර්දනකාරී ක‍්‍රියා මගින් පීඞ්ත ජන ප‍්‍රජාවකට ඇති කැරෙන ආත්මීය තුවාල සුව කිරීම ලෙහෙසි නැත.

මහත් ජීවිත විනාශයක් මගින දිනා ගත් යුද්ධාවසානය දෙමළ ජනයාගේ සිත් දිනා ගැනීම කරා වර්ධනය කිරීමට රාජපක්ෂ පාලනය භයානක ලෙස අසමත් වී තිබේ. දෙමළ දේශපාලන මෙන්ම සිවිල් සමාජය කොළඹ ආණ්ඩුව අවිශ්වාස කරන අන්තයක් කරා තල්ලූවෙමින් සිටිති. දෙමළ ජනයා කල්පනා කරන්නේ තමන් කබලෙන් ලිපට වැටී ඇති බවයි. මංමාවත් සහ ගොඩනැඟිලි ඉදි කිරීම මගින් පීඩාවට පත් කැරෙන ජාතියක් දිනා ගත නොහැක. වත්මනෙහි ස්වයං තීරණ අයිතිය වෙනුවෙන් සටන් වදින උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය, කැටලොනියාව, සහ ක්වබෙක් යනු සංවර්ධිත දේශයන් ය. එනමුත් එම ජනයාගේ ජාතික අභිලාෂයන් එම සංවර්ධනය නිසා යටපත්වී නැති බව අප මතක තබා ගත යුතු ය.

සිංහලයින්ට සිය ජාතිකත්වය කොතරම් වටින්නේ ද දමිළයිනට සිය ජාතිකත්වය ද එතරම් ම අගනේ ය. බෙදුම්වාදී හෝ කොටි ලේබලය අලවා එම ජාතිකත්වය යටපත් කළ නොහැක. පසුගිය නොවැ 27 දින ඇතිවූ ‘යාපනයේ කැරැල්ල’ යළි සනාථ කරන සත්‍යය එයයි.

දකුණේ ඇතිවන විරෝධතාවයන්ට යුද ජයග‍්‍රණය සහ බෙදුම්වාදී ලේබලය යම්තරමක නිර්වින්දයක් විය හැකි නමුත් උතුරෙහි දී එම ලේබලය නිර්වින්දනයක් නොව ශක්තිජනක එන්නතක් වියහැකි බව ද තේරුම ගත මනා ය. ඒ කෙසේ වෙතත් සෑම නිර්වින්දනයකටම කාල නිර්නයක් තිබේ. එනයින්ම යුද ජයග‍්‍රහණයට මුවා වී මානව සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් යටපත් කිරීම අවසන් වන දවසක් එන බව රජපක්ෂ පාලනය තේරුම් ගන්නේ නම් ශ‍්‍රී ලංකාවේ හෙට දවස මීට වඩා යහපත් වනු ඇති බව නිසැක ය.

සුනන්ද දේශප‍්‍රිය[Sunanda Deshapriya]

අධිකරණයේ මළගම ඉදිරියේ විපක්ෂයේ (දුස්) ශීලය

අගවිනිසුරැවරියට එරෙහිව ආණ්ඩුපක්ෂයේ විරෝධතාවයක් | Colombo | 04 December 2012


අගවිනිසුරුවරියට එරෙහිව තිබෙන දෝෂාභියෝගය, නීතිමය සහ අධිකරණමය කාරණයකට වඩා දේශපාලනික අභියෝගයකි. අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන විට කෙනෙකු කතා කරන්නේ, හුදෙක් නීතිමය කරුණකට වඩා, කුරුවල් වූ දේශපාලනික සංස්කෘතියක් මගින් කාලයක් තිස්සේ අධිකරණය ආක‍්‍රමණය කෙරෙමින් තිබුණු අර්බුදයක බිහිසුණු අවසාන අදියරක් පිළිවඳව ය. අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එවැනි අර්බුදයක් බිහිකොට ඇත්තේම, ආයතනයක් වශයෙන් පොදුවේ ජනාධිපති ක‍්‍රමයේත්, පුද්ගලයෙකු වශයෙන් විශේෂයෙන් ජනාධිපතිවරයාගේත් පුද්ගල බල ව්‍යාපෘතියේ ඕනෑඑපාකම් මත බව වටහා ගත් විට, නීතිමය පරාසය පරයා දේශපාලනය ඉස්මත්තට පැමිණ ඇති සැටි ඕනෑම කෙනෙකුට පැහැදිළි විය යුතුය. විරුද්ධ පක්ෂයේ වර්තමාන ක‍්‍රියාකාරීත්වය සහ පුරවැසි සහභාගීත්වය තුළ අද දක්නට ලැබෙන ඇල්මැරුණු හැසිරීම ඉදිරියේ එක දිගටම මේ දෝෂාභියෝගී හබය ඇදුණොත්, ජනාධිපතිවරයාගේ අතකොලූවක් බවට නීතිපති දෙපාර්තමේන්තුව පත්ව ඇති ගානට මේ රටේ අධිකරණයත් පත්වෙන දවස වැඩි ඈතක නොවෙනු ඇති බව දැන් තියාම කිව හැකිය.

එයින් ව්‍යුත්පන්න කෙරෙන ඊළඟ කාරණය වන්නේ, මේ අර්බුදයේ නීතිමය පාර්ශ්වය කෙරෙහි සාධනීය ආකාරයකින් මැදිහත් වීමට නීති ප‍්‍රජාව වෙත පැවරෙන වෘත්තීයමය යුතුකමක් සහ වගකීමක් ඇති තරමටම, අර්බුදයේ දේශපාලනික පරාසය ආවරණය කිරීමේ පෘථුල යුතුකම සහ වගකීම පැවරෙන්නේ විරුද්ධ පක්ෂ දේශපාලනයට බව නොපමාව වටහා ගැනීමයි.

දෝෂාභියෝගය මහජනයාට ප‍්‍රදර්ශනය කැරැවීම එහි මුල් පියවර විය යුතුය. එයින් අදහස් වන්නේ, නොපමාව එය මහජනතාව අතරට ගෙනයා යුතු බවයි. මේ පරීක්ෂණය තුළ වැසැංගිය යුතු කිසි රහසක් පාලකයන්ට හෝ මහජන නියෝජිතයන්ට තිබිය යුතු නැත. චෝදකයන් කියන පරිදි මේ දෝෂාභියෝගය රටේ අධිකරණයේ ස්වාධීනත්වය පරදුවට තැබෙන දෙයක් නොවේ යැයි මොහොතකට පිළිගත්තත්, අඩු වශයෙන් අගවිනිසුරුවරියගේ ‘අක‍්‍රමිකතාවකට’ එරෙහිව දියත් කෙරෙන මේ ‘අධිකරණ’ ක‍්‍රියාපරිපාටිය ක‍්‍රියාත්මක වන්නේ, ජනතා නියෝජිතයන් යැයි කියාගන්නා පිරිසක් විසින් නිසාම, ජනතාවට එය දැන ගැනීමේ අයිතියක් ඇත්තේය. තවත් විදිහකින් කිවහොත්, ජනතාවට හොරෙන් අභ්‍යාස කෙරෙන ජනතා පරමාධිපත්‍යයක් තිබිය නොහැකි බව ය.

එම කාර්ය, වෙනත් අර්ථයකින්, දෝෂාභියෝගය තුළ මේ අවස්ථාවේ දී රජය පැත්තෙන් ඒකපාර්ශ්වීයව ඉටුවෙමින් පවතී. විවිධ ඇමතිවරු මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කරන අදහස් උදහස් සහ පසු ගිය සිකුරාදා පැවති දෝෂාභියෝගයේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සැසිවාරයෙන් පසු හදිසියේ කැඳවූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් හරහා රජයේ මැතිඇමතිවරු ප‍්‍රකාශයට පත්කළ අදහස් උදහස් හරහාත් පැහැදිළි වුණේ එම කාරණයයි. ඊට අමතරව, රජයේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය හරහා ගෙන යන වෛරී ප‍්‍රචාරණයෙන් පෙන්නුම් කරන්නේ ද ඔවුන්ට එය, හැම අරුතකින්ම, දේශපාලනික ඔට්ටුවක් වන බවයි. එසේ තිබිය දී, අනිත් පාර්ශ්වය පමණක්, එනම් විරුද්ධ පක්ෂය පමණක් එම මාර්ගයෙන් බැහැරව, මෙය පාර්ලිමේන්තු කාරක සභාවේ ඊනියා උත්තරීතර භාවයක් තුළම පමණක් විසඳාගත යුතු ප‍්‍රශ්නයක් වශයෙන් ලඝු කර ගැනීම පසු පස ඇති දේශපාලනය කුමක් දැ යි මෙහි දී ප‍්‍රශ්න කළ යුතුව පවතී.

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයන්ට මේ පිළිබඳව ප‍්‍රසිද්ධියේ කතා කිරීම සහ ජනතාව ඉදිරියේ කරුණු දැක්වීම විපක්ෂ නායකවරයා විසින් තහනම් කරනු ලැබ තිබීම අප තේරුම්ගත යුත්තේ එම සන්දර්භය තුළය. එක පැත්තකින්, තමාට සහ තම පක්ෂයට විරුද්ධව මේ අගවිනිසුරුවරිය විසින් යම් අසාධාරණ තීන්දු දී ඇති බව රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රසිද්ධියේ කියා සිටින බව අපට පෙනේ. ඒ නිසා, ඇය වෙනුවෙන් ඉදිරිපත් වීම එක්තරා ආකාරයක කකුල පස්සට තබාගෙන කළ යුත්තක් සේ ඔහු සිතන සෙයකි. යම් අධිකරණ තීන්දුවක් පක්ෂග‍්‍රාහී වූ පමණින්, ඊට එරෙහිව අප ඇති කරගන්නා සාධාරණ විවේචනය පවා, සමස්ත අධිකරණයේ ගෙල සිදීම සඳහා දියත් කෙරෙන පාලකයාගේ කූට වැඩපිළිවෙලක අනියම් පාර්ශ්වකරුවන් වීමට හේතුවක් කරගත යුතු ද? මෙහි දී, දේශපාලඥයෙකු නොවන සරත් ෆොන්සේකාගේ ස්ථාවරය, දේශපාලඥයෙකු යැයි කියන රනිල් වික‍්‍රමසිංහට පාඩමකි. තමාට එරෙහිව මේ අධිකරණය අසාධාරණ තීන්දු දී ඇති බව පිළිගන්නා සරත් ෆොන්සේකා, දෝෂාභියෝගයට සෘජුව හෝ වක‍්‍ර ආකාරයකින් මේ අවස්ථාව් පක්ෂපාතී වීමට එය හේතුවක් නොවන බව පැහැදිළිව කියා සිටී.

සිරිමා බණ්ඩාරනායක මැතිණියගෙන් ලූහුඩුවෙන් පටන්ගෙන අද වන විට කුණු කන්දක් උසට ගොඩනැගී ඇති වර්තමාන පාලන මාදිලිය තුළ කුළුගැන්වෙන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම සහ ආයතනික රටාව තනි පාලකයෙකුගේ හෝ පාලක කල්ලියක පටු අවශ්‍යතා වෙනුවෙන් සේවයේ යෙදැවීමයි. මේ වන විට එහි අවසාන ප‍්‍රතිඵලය වී ඇත්තේ, ආයතන සියල්ල නැතිභංගස්ථාන වී පාලකයා සහ පාලක කල්ලි පමණක් ඉතිරි වීමයි. උදාහරණයක් විදිහට, කැබිනට් මණ්ඩලය කියා ආයතනයක් අපට අද නැත. ඇත්තේ, ජනාධිපතිවරයාගේ පුද්ගල අභිලාෂයන් සඳහා පේවූ පුද්ගල රංචුවකි. පාර්ලිමේන්තුව කියා සැබෑ මහජන සභාවක් අද අපට නැත. ඇත්තේ, නැවතත්, අර ජනාධිපතිවරයාගේ අභිලාෂ (උදා: 18 වැනි සංශෝධනය) මුදුන්පත් කරන වඩාත් පුළුල් ගැලරියකි. මෙය, ඕනෑම අමාත්‍යාංශයකට, දෙපාර්තමේන්තුවකට හෝ සංස්ථාවකට ආදේශ කරන්න. ඔබට ලැබෙන්නේ එකම පිළිතුරකි.

එසේ තිබිය දී විරුද්ධ පක්ෂය ශීලයක් සමාදන් විය යුත්තේ ඇයි? එක ඒකාධිපතියෙකු පලවා හැරීමට මීට කලකට පෙර ඊජිප්තුවේ තහීර් චතුරශ‍්‍රයට පැමිණි මහා ජන ගංගාව, එම ඒකාධිපතියා වෙනුවට තමන් විසින්ම බලයට පත්කර ගත් නව නායකයා විසින් අධිකරණයේ ස්වාධීනත්වයට අතපොවන්නට වූ විට, මේ මොහොත වන විට නැවතත් එම චතුරශ‍්‍රයට පැමිණ සිටිති. මාක්ස්වාදී භාෂාවෙන් මෙය හැඳින්වුණේ වීදි සටන් වශයෙනි. රනිල් වික‍්‍රමසිංහගෙන් වීදි සටන් අපේක්ෂා කළ නොහැකි වීමට පිළිවන. එහෙත්, පාර්ලිමේන්තු දේශපාලනය යනු, දියවන්නාවේ ගොඩනැගිල්ලක් තුළ කෙරෙන ප‍්‍රභූ කතිකාවක් පමණක් නොවන බව වටහා ගැනීමට තරම්, විරුද්ධ පක්ෂ දේශපාලඥයෙකු ප‍්‍රබුද්ධ විය යුතුය.

දෝෂාභියෝගය සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලනය මුහුණදෙන ප‍්‍රධාන පරස්පරය අතිශය විසකුරු වන්නේ, එවැනි ප‍්‍රබුද්ධතාවක් මේ විෂය අරභයා ඔහුගෙන් පෙන්නුම් නොකෙරෙන නිසාය. එක පැත්තකින්, ආයතනය (අධිකරණය) ආරක්ෂා කිරීමට මිස පුද්ගලයන් (ශිරානී බණ්ඩාරනායක) ආරක්ෂා කිරීමට තමන්ට අවශ්‍ය නැතැ යි ඔහු කියයි. ඒ ආස්ථානය, ප‍්‍රතිපත්තිමය වශයෙන්, නිවැරදි ය. එහෙත් මේ අවස්ථාවේ දී පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී නොසිට, ආයතනයේ ආරක්ෂාව සහතික කරගන්නේ කෙසේ ද යන්නට කෙනෙකුට පිළිතුරක් තිබිය යුතුය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ක‍්‍රමය කෙරෙහි විශ්වාසය තැබීම රනිල් වික‍්‍රමසිංහගේ උත්තරය සේ පෙනෙයි. මන්ද යත්, එම ක‍්‍රියාවලිය තුළ සිල්වත්ව හැසිරෙන ලෙස ඔහු සිය පක්ෂයට නියෝග කොට ඇති බැවිනි.

මෙය, ඉතා සරළව කිවහොත්, දෙකොණ ගිනිගන්නා ආස්ථානයකි. දෝෂාභියෝගයෙන් පුද්ගලයා බිලිවීම, ආයතනයේ (අධිකරණයේ) ස්වාධීනත්වය පිළිබඳ ප‍්‍රශ්නය ඉදිරියේ ද්විතීයික හෝ නොවැදගත් යැයි සිතන ඔහු, පාර්ලිමේන්තු කාරක සභාව නැමැති ආයතනික ක‍්‍රියාවලිය තුළ පෙරලා ඔසවා තැබෙන්නේ, ඊනියා මහජන ස්වෛරීත්වයක් නොව, තවත් පුද්ගලයෙකුගේ ඒකාධිපති අභිලාෂයක් පමණක් බව අමතක කරයි. ඒ පුද්ගල අභිලාෂය විසින් ඉල්ලා සිටිනු ලබන්නේ අර කියන ආයතනයේ (අධිකරණයේ) මළගම නම්, ඒ සඳහා උපයෝගී කරගන්නා පහුරු (පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව) ධාතු කරඩුවක් සේ කරේ තියාගෙන යැමට පෙළඹීම යනු, වික‍්‍රමසිංහ විරෝධීන් පෙන්වා දෙන පරිදි, දැනුවත් කුමන්ත‍්‍රණකාරී ගනුදෙනුවක රෝග ලක්ෂණයක් නොවේ නම්, අඩුම වශයෙන්, මුග්ධ අදේශපාලනයක්ම වන්නේය.

ගාමිණී වියන්ගොඩ[Gamini Viyangoda]

යළිත් වරක් යාපනය සරසවියේ සිසුන්ට පොලීසිය පහර දෙයි; බුද්ධි අංශ ශිෂ්‍ය නායකයන් පසුපස පන්නයි.


පසුගිය 27 දිනයේදී විශ්ව විද්‍යාල භූමියට සහ නේවාසිකාගාරයන්ට බලහත්කාරයෙන් ඇතුළු වී සිසුන්ට පහර දීමට විරුද්ධව අද යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් සංවිධානය කරතිබූ සාම කාමී විරෝධතාවයට ශ්‍රී ලංකා පොලීසිය සහ හමුදා බුද්ධි අංශ විසින් ඉතා මිලේච්ඡ අන්දමින් පහර දෙනු ලැබීය.මෙම පහර දීමෙන් සිසුන් 7ක් තුවාල ලැබීය.

ඉන්පසු ඊයේ(28) උදෑසන 11.00 පමණ විශ්ව විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදුනු සිසුන් ඉන්පසුව සාමාකාමී පාගමනක් ලෙස ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වීමට සූදානම්වනවාත් සමගම පොලීසිය සහ සිවිල් ඇදුමින් සැරසුනු හමුදා බුද්ධි අංශ සාමාජිකයන් විසින් සිසුන් පිටුපස එලවා යමින් පහර දුන්හ.

මේ අතර විශ්ව විද්‍යාල භූමිය අවට සහ ඇතුළුවන ගේට්ටු අසල හමුදා බුද්ධි අංශ සාමාජිකයන් විශාල වශයෙන් ගැවසෙමින් සිටින බව බවත් වාර්තා විය.

ඊයේ(28) හමුදාව විසින් කාන්තා නේවාසිකාගාරයන්ට පවා බලහත්කාරයෙන් ඇතුළු වූ අතර එම නේවාසිකාගාරයන්ගේ වෙසෙන සිසුවියන්ගේ පෞද්ගලික බඩුබාහිරාදියට පවා ඔවුන් හානිකර ඇතැයි ද වාර්තා වෙයි.

ශිෂ්‍ය නායකයන් පසුපස හමුදා බුද්ධි අංශ

අප සමග අදහස් දැක්වූ යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු පවසා සිටියේ මේවනවිට හමුදා බුද්ධි අංශ ශිෂ්‍ය නායකයන් දඩයම් කිරීමට උත්සහ දරන බවයි. හමුදා බුද්ධි අංශ ශිෂ්‍ය නායකයන් පසුපස යමින් සිටින බවත් ඔවුන්ගේ ජීවත දැඩි අනතුරකට පත්ව ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මගේ වාහනයට පහර දුන්නේ හමුදා බුද්ධි අංශ – පා.ම සරවනබවන්

තමන්ගේ වෑන් රථයට දැඩි ලෙස හානිපමුණවමින් ඊට පහර දෙන ලද්දේ හමුදා බුද්ධි අංශ බව ඊයේ(28)සවස මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සරවනබවන් ප්‍රකාශ කර සිටියේය.

ඔහු පවසා සිටියේ උදෑසන යාපනය සරසවියේ ඉතා උණුසුම්කාරී වාතාවරණය ඇතිවී තිබෙන බව ආරංචි වී තමා එම ස්ථානය ගිය බවයි.

ඉන්පසුව තමා යාපනය විශ්ව විද්‍යලයේ ප්‍රධාන ගේට්ටුව අසල වාහනය නවත්වා විශ්ව විද්‍යාලයට තුළට ගිය බවත්ය. නැවත පැමිණෙන විටදී තමා පැමිණි වාහනයට ගල් වලින් පහර දී දැඩි අලාභහානී පමුණවා තිබු බවයි. එම ක්‍රියාව සිදුකරන ලද්දේ සහතික ලෙසම හමුදා බුද්ධි අංශ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

යාපනය සරසවි සිසුන්ට පහර දීම දැඩිව හෙළාදකිනවා – දෙමළ ජාතික ජනතා පෙරමුණ

යාපනය සරසවියේ ශිෂ්‍ය නේවාසිකාගරයන් බලහත්කාරයන් ඇතුළු වී සිසුන්ට ප්‍රහාරයක් එල්ලකිරීමත්, අද පැවති සාමකාමී විරෝධතාවයට හමුදා බුද්ධි අංශ සහ පොලීසිය යොදවා ඉතා අමානුෂික ලෙස පහර දීමත් දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව මාධ්‍ය නිවේදනයක් යොමුකරමින් දෙමළ ජාතික ජනතා පෙරමුණ ප්‍රකාශ කර සිටිති.

රටේ අනාගතය බාරගැනීමට සිටිනා තරුණ පරපුරට මෙසේ ආරක්ෂ අංශ යොදවා පහර දීමට එරෙහිව ඊට විරෝධය දැක්වීමට විරෝධතා ව්‍යාපාරයක් දෙසැම්බර් 4 වැනිදා පවත්වීමට සුදානම් බව එම පෙරමුණේ ප්‍රකාශකයෙන් සඳහන් කර සිටියේය.

@LNW

දෝශාභියෝගයට පසුවදනක්

[Photo Credit:AFP]
අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව පාලක සන්ධානයේ දෝශාභියෝගය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ හතයි හතරේ අනුපාතය අනුව තින්දු වීම හුදෙක් කාලය පිළිබඳ ප‍්‍රශ්ණයක් පමණි.ශ‍්‍රී ලංකාවේ සමස්ත දේශපාලනයම භ්‍රමණය වන්නේ හුදෙක් සංඛ්‍යාත්මක බහුතරයේ කැමැත්ත මත මිස සම්මුති බද්ධ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව නොවේ. ඉදින් දේශාභියෝග ප‍්‍රශ්නයේ දී පමණක් වෙනත් පිළිවෙතක් අපේක්ෂා කළ හැක්කේ කෙසේ ද?

අගවිනිසුරුවරියගේ පැවැත්ම තීරණය කරනු ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කැරෙන අන්දමින්ම එනම් පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පක්ෂයෙන් හත් දෙනෙක් ද සහ විපක්ෂයෙන් හතර දෙනෙක් පමණක් ද පත් කිරීමෙන්ම පෙනී යන්නේ එය අපක්ෂපාත විනිසුරු මඩුල්ලක් වනවාට වඩා පක්ෂග‍්‍රාහිත්වය අනුව තීන්දු ගන්නා දේශපාලන සභාවක් විය හැකි බවයි.

යුක්තිය පසිඳලන්නේ බහුතරයේ බලය අනුව නම් එය විනිශ්චයක් නොව දේශපාලන තීන්දුවකි. පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති පාලක පක්ෂය කවර හෝ විනිසුරුවරයකු හෝ විනිසුරවරයකු ඉවත් කළ යුතුයැයි දේශපාලන කරුනු මත තීරණය කළ විට ඉන් එහාට මෙම ක‍්‍රමය අනුව කතාවක් නැත. එම චෝදනා සාධාරණද අසාධාරණ ද යන්න තීරණය වන්නේ යුක්තිය පසිඳලීමේ පිළිගත් ක‍්‍රමවේදයන් අනුව නොවේ. දේශපාලන මතවාදය අනුව ය. එබැවින් එම කම්ටුවේ තීරණය කුමක්වනු ඇත්දැයි දැන්ම ලියා තැබිය හැකිය.

අගවිනිසුරු ශිරානි බන්ඩාරනායකට එරෙහි දෝශාභියෝගය ගෙන ආවේ පාර්ලිමේන්තුවේ පාලක පක්ෂය විසිනි. දැන් එම චෝදනා විභාග කරන්නේ ද එම පක්ෂයේ බහුතර බලය ඇති පාරලිමේන්තු තේරීම් කාරක සභාවක් විසිනි. අවසානයේ දී දෝශාභියෝග චෝදනා අරභයා තීන්දුව තීරණය වන්නේ ද එම පාලක පක්ෂයේ බහුතර මංත‍්‍රීවරුන්ගේ මතය අනුව ය. පැමිණිලිකරු, පරීක්ෂක සහ විනිශ්චයකරු යන තිදෙනාම එකෙකි. එනම් පාලක දේශපාලන සංධානය යි. මෙවැනි ක‍්‍රියාවලියකට කිව හැක්කේ යුක්තිය පසිඳලීම යැයි කියා කිව හැකිද කියා මොහොතකට කල්පනා කර බලන්න.

අප විරුද්ද විය යුත්තේ මෙන්න මේ ක‍්‍රියාදාමයට ය. අගවිනිසුරු ශීරානි බණ්ඩාරනායක සිය තනතුරට නොගැලපෙන යම් වරදක් කර ඇතොත් ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම වරදක් නොවේ. එවැනි වරදක් කර ඇත්ද, නැත්ද යන්න තීරණය කිරීම, පිළිගත් ස්වභාවික යුක්ති ධර්මයට අනුකූල නොවන්නේ නම් එතැන මහත් වරදක් තිබේ.

කීර්තිමත් නීතිවේදියකු වූ එස්. නඬේසන් සහ සූරියා වික‍්‍රමසංහගේ නායකත්වයෙන් ඇරඹුනු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම මානව හිමිකම් සංවිධානයක් වන සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය වත්මන් දෝශාභියෝග ප‍්‍රයත්නය ගැන දීර්ඝ අදහස් දැක්වීමක් කර තිබේ. රාජපක්ෂ ආණ්ඩුව විසින් දියත් කර ඇති දෝශාභියෝගය ව්‍යවස්ථානුකූල නොවන බවටත් යුක්ති ගරුක නොවන බවටත් එම ප‍්‍රකාශය දීර්ඝ වශයෙන් කරුනු දක්වයි.

වත්මන් දෝශාභියෝග නීති පනවන ලද්දේ 1984 දී ජේ.ආර්. ජයවර්ධන විසිනි. එවකට අග විනිසුරු වූ නෙවිල් සමරකෝන් විසින් කරන ලද කතාවක්, හේතුව වශයෙන් දක්වා ඔහු ඉවත් කිරීමට ජනාධිපති ජයවර්ධනට අවශ්‍ය විය. අගවිනිසුරු වශයෙන් නෙවිල් සමරකොන් දැක්වූ ස්වාධිනත්වය ජයවර්ධනට නයාට අඳුකොළ මෙන් විය. අන්තර් ජාතික වශයෙන් පිළිගැනුනු ප‍්‍රමීතීන් නොසළකා මෙම කැකිල්ලේ උසාවි නියමයන් ස්ථාවර නියෝග 78 ඒ ලෙස නීතිගත කරන ලද්දේ නෙවිල් සමරකෝන් ගෙදර යැවීමට ය.

සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය පෙන්වා දෙන්නේ එම අවනීතියට එරෙහිව එම අවස්ථාවේදීත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පෙනී සිටි බවයි. එවකට විපක්ෂ නායක වු අනුර බණ්ඩාරනායක, කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් පා.ම. සරත් මුත්තෙට්ටුවේගම සහ මහජන එක්සත් පෙරමුණේ නායක (අද ඇමැතිවරයකු වන) දිනේශ් ගුණවර්ධන එම අවස්ථාවේ දී ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ඉවත් කිරීම සඳහා වන විභාගය පැවැත් විය යුත්තේ කතානායකවරයා විසින් තෝරාගත් විනිසුරු මඩුල්ලක් විසින් බවයි.

එපමණක් ද නොවේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිගටම එම මතය පවත්වා ගනිමින් 1997 දී සකස් කරන ලද ව්‍යවස්ථා යෝජනාවන්ට ද 2000 වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව ව්‍යවස්ථා කෙටුම්පතට ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුට එරෙහි දෝශභියෝගයක් ගෙන ඒම නව පිළිවෙතක් හදුන්වා දුන්නා ය.

එම පිළිවෙත අනුව එවැනි දෝශාභියෝගයක් පරික්ෂා කර බලා තිරණය කිරිම පැවැරුණේ ඉහළම විනිසුරන් තිදෙනෙතුගේ කමිටුවකට ය. එම තිපුද්ගල විනිසුරු මඩුල්ලට පොදු රාජ්‍ය මණ්ඩලීය රටක ඉහළම විනිසුරුවරයකු ද ඇතුළත් විය යුතු විය. මෙම ව්‍යවස්ථාමය වගන්තියට කිසිදු පාර්ශවයකින් විරෝධයක් එල්ල වුයේ නැත. 2000 ව්‍යවස්ථා කෙටුම්පත අනුමත කරන ලද්දේ මහින්ද රාජපක්ෂ මහතා ද ඇමැතිවරයකු වූ පොදු පෙරමුණ විසිනි. එක්සත් ජාතික පක්ෂය ද එම ව්‍යවස්ථාවෙහි සියයට 90කට එකඟ වී සිටියේ ය. එසේ නමුත් අද මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම දෝශාභියෝගය ක‍්‍රියාවට නැගෙන්නේ ජේ.ආර්. ජයවර්ධනගේ කැකිල්ලේ උසාවි ක‍්‍රමයට ය.

අප මෙම අවනීතියට එක පැහැර විරුද්ධ විය යුතු ය. නමුත් එම විරෝධය පුද්ගලාභිවාදනයක් නොවන බවට වග බලා ගැනීම ද වැදගත් ය. වත්මන් දෝශාභියෝග විරෝධී ව්‍යාපාරය පුද්ගලයකු රැකගැනීම වෙනුවට නීති ක‍්‍රමයේ වෙනසක් ඉලක්ක කර ගත යුත්තේ එනිසා ය.

අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක සම්බන්ධයෙන් ද සැළකිය යුතු විවේචවන එල්ල වී තිබේ. ස්වාධීන කොමිෂන් සභා අහෝසි කළ 18වන සංශෝධනය සම්බන්ධයෙන් ඇය දුන් තීන්දුව ස්වාධීන එක්ක නොවී යැයි එක් විවේචනයකි. ශ‍්‍රී ලංකාවේ අධිකරණ ස්වාධීනත්වය වළ පල්ලට ඇද දැමූ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා අනුව යමින් විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට කරණම් ගමන මංතී‍්‍රවරුන්ගේ මංත‍්‍රීත්වය අහෝසි නොකිරීම තවත් විවේචනයකි. රාජපක්ෂ පාලනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලැබුනේ වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණයේ එම පිළිවෙත නිසා ය. හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට දඬුවම් කිරිමේ බලය ලැබෙන පරිදි යුද අධිකරණය නියමානුකූළ අධිකරණයක් ලෙස පිළිගැනුනේ ද ඇය යටතේ ය.(යුද්ධ අධිකරණයෙහි නඩු විමසනු ලැබුවේ සාධාරණ යුක්ති ධර්මය අනුව නොවේ). නඩු තීන්දු සම්බන්ධයෙන් පමණක් නොව ඇයගේ විවාහක පුරුෂයාට රාජපක්ෂ ආණ්ඩුවෙන් පිට පිට තාන්න මාන්න ලබා දෙත්දී ඒවා ප‍්‍රතික්ෂේප නොකිරීම තවත් විවේචනයකි. ජනාධිපති රාජපක්ෂ පුත‍්‍රයා වන නාමල් රාජපක්ෂ නීඥයකු ලෙස දිව්රුම් දුන් අවස්ථාවෙහි සිය අගවිනිසුරු ඇදුමින්ම ඔහු සමඟ ජායාරූපයකට පෙනී සිටීමද අගවිනිසුරු ධූරයේ අපක්ෂපාතීත්වය බාල්දු කිරීමෙකැයි තවත් විවේචනයකි.

එමෙන්ම බොහෝ දෙනෙකු විසින් පෙන්වා දී ඇති පරිදි ඇය විසින් දෙන ලද නිර්භීත සහ ස්වාධීන නඩු තින්දු ගණනාවක් ද තිබේ. දෝශාභියෝග චෝදනාවන්ට යට නොවී සිය නිර්දෝෂී බව පෙන්වීම උදෙසා අදීන ලෙස පෙනී සිටීම මගින් ඇය ශ‍්‍රී ලංකික සමාජය ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනකරණයකට ලක්කරමින් සිටීම විශ්ෂ්ඨ ළකුණකි. සමහර විට එය ‘උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ’ යැයි කීවා සේ ඇය සම්බන්ධ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විවේචනයන් අභිබවා යෑමක් ලෙස සැළකීමට ද පුළුවන.

2010 ජනාධිපතිවරණයෙන් පසු විද්‍යුත් ලිපි ජාලයේ හුමවාරු වූ අපූරු ලියුමක් තිබුණි. එහි ලියැවී තිබුණේ සරත් ෆොන්සේකාගේ පරාජයත්, මහින්ද රාජපක්ෂගේ ජයග‍්‍රහණයත් ඇසුරු කොට විපාක්ෂික මනසකිනි. එහි එක් කරුණක් වූයේ ෆොන්සේකා ජනාධිපති නොවූ නිසා ඔහු ජනාධිපතිවූයේ නම් කරන්නට ඉඩ තිබූ අකටයුතුකම්වලට වග කියන්නට අපට සිදු නොවන බැවින් පරාජය වුවත් සතුටු විය හැකි බවයි. අද හිටපු හමුදාපති ෆොන්සේකාගේ ක‍්‍රියා පරිපාටිය දෙස බලන විට එම කියමන කොපමණ වටීදැයි පෙනේ. එමෙන්ම හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පොදු ජනාධිපති අපේක්ෂකයා කිරීමට ෆොන්සේකා පහළ වීමට පෙර උත්සාහ කළ පිරිස් ද සිටියහ. දැන් ඔහුගේ ක‍්‍රියා පරිපාටිය දෙස බලන විට සිතෙන්නේ බේරුනූ බේරිල්ලක් කියා ය. සජිත් පේ‍්‍රමදාස උස්සාගෙන යෑමට පොදි බැඳ දැන් පස්ස බිම ඇනී සිටින පිරිස් දෙස බලන විටත් එම අදහසම ඇතිවෙයි. පුද්ගලයාට වඩා ප‍්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍ය ය යන්න මේ කරුණු අපට පෙන්වා දෙයි.

එබැවින් වත්මන් දෝශාභියෝග විවාදයෙහිලා ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය පාලන ක‍්‍රම පද්ධතියේ ඇතිවිය යුතු වෙනස ද සාකච්ජා මේසයට ගෙන ඒමට අප උත්සුක විය යුතු ය.

සුනන්ද දේශප‍්‍රිය[Sunanda Deshpriya]

Next Page »

1 2 3