බැංකු කතාවක් බංකු බංකු විසිනි

June 17, 2012 by  
Filed under Colombo, Yarn


මම නුවරඑළිය නගරයට යන විට නගරය සීතලෙන් වෙළිලා තිබුණෙ. කාර් එකෙන් බැහැල ඇවිදගෙන යනකොට මට ඇහුණා ළමයෙක් අඬන සද්දයක්. මම වට පිට බලනකොට දැක්කෙ අවුරුදු දහයක් විතර වයස පුංචි පිරිමි ළමයෙක්ව. මේ ළමයා හරිම කෙට්ටුයි. ඒ තරම් වැඩිලත් නැහැ. මේ මහා හීතලේ වුණත් ළමයා ඇඳගෙන හිටියේ පරණ කමිසයක් විතරයි. ජැකට් එකක්වත් තිබුණෙ නැහැ. සීතලට ළමයව වෙවුලනවා. ඒත් පුදුමෙකට වගේ මේ ළමයගෙ අතේ තියෙනව රුපියල් පන්දාහක මුදල් නෝට්ටුවක්.

“මොකද පුතා අඬන්නෙ?” මම ළමය ළඟට පහත් වෙලා ඇහුවා.

එතකොට ළමයා සිහින් හඬින් තමන් අඬන හේතුව මට පැහැදිලි කළා.

“අපි හරිම දුප්පත්. මගේ වයස දැන් අවුරුදු දහයයි. මට නංගිලා තුන් දෙනෙකුයි, මල්ලිලා දෙන්නෙකුයි ඉන්නවා. මට වයස නවයෙදි අපේ තාත්ත හදිසියේ නැති වුණා. අපේ අම්මා එච්චර ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. ඒ නිසා අම්ම ගොඩක් දුක් විඳිනවා අපේ පවුල ජීවත් කරවන්න. අම්මා දවල්ට තේ වත්තෙ දලු කඩනවා. අපේ පුංචි ඉඩමෙ එළවළු වවනවා. රෑටත් අම්ම ගෙදරක උයන්න යනවා. ඒත් අම්ම හම්බ කරන දෙයින් අපි ජීවත් වෙන්නෙ හරිම අමාරුවෙන්.

ඒ වුණත් අම්ම හරිම අමාරුවෙන් රුපියල් දහ දාහක් ඉතිරි කරගෙන තිබුණා. අද අම්ම රෑට උයන්න යන ගමන් මාවත් එක්ක ඇවිල්ල ටවුමෙදි බස් එකෙන් බස්සල කිව්ව මේ රුපියල් දහ දාහ අරගෙන ගිහින්, බස් එකේ ආපහු ගෙදර යන්න සල්ලි ඉතුරු කරගෙන නංගිලාටයි, මල්ලිලාටයි, මටයි සීත කාලෙට අඳින්න ජැකට් අරගන්න කියලා. මම මාකට් එක පැත්තට යන්න හැදුව විතරයි, එක පාරටම කොහෙන්ද ආපු රස්තියාදුකාර කොල්ලෙක් මාව තල්ලු කරල මගේ අතේ තිබුණු පන්දාහෙ නෝට්ටු දෙකෙන් එකක් උදුරගෙන දිව්වා.” මේ අසරණ ළමයා කඳුළු වගුරවමින්, ඉකි ගහමින් කිව්වා.

“ඉතින් පුතා ඔයාට කෑ ගහන්න තිබුණනේ. ඔයා කෑ ගැහුවෙ නැද්ද?” මම ඇහුවා.

“මම කෑ ගැහුවා. ඒ වුණත් කවුරුවත් උදව්වට ආවෙ නැහැ.” ළමයා කිව්වා.

“ඔයා කොච්චර හයියෙන් කෑ ගැහුවද?”

“අනේ මට උදව් කරන්න… කියල මම කෑ ගැහුව.”

මේ ළමය කතා කළේ හරිම හෙමින්. මේ ළමය කෑ ගැහුවට ළඟ ඉන්න කෙනෙකුටවත් ඇහෙන්නෙ නැති බව මට විශ්වාසයි. ඉතින් කොහොමද කිසි කෙනෙක් මෙයාට උදව් කරන්නෙ.
මම දෙපාරක් හිතුවෙ නැහැ. එක පාරටම තීරණයක් ගත්තා.

ළමයගේ අතේ තිබුණ ඉතිරි රුපියල් පන්දාහෙ නෝට්ටුව උදුරගත්ත මම දුවල ගිහින් මගේ කාරෙකට නැගල ඒක ස්ටාට් කරගෙන යන්න ගියා.

(බැංකුකරුවෙකුගේ සටහන් පොතකින් උපුටා ගන්නා ලදී.)

සමබිම වෙබි අඩවියෙනි

අලුත් මංත්‍රීතුමාගේ පොලිස් විසිට් එක…

May 4, 2010 by  
Filed under සිංහල, Colombo, Democracy, Life quips, Yarn

ඉලෙක්ෂන් එක ඉවර වුනේ අප්‍රේල් 9 වෙනිදාය. ඒත් ආණ්ඩුවේ කට්ටියගේ ඉලෙක්ෂන් ප්‍රීතිය එහෙම දවසකින් දෙකකින් ඉවර වෙන එකක් නොවිය. තමන්ගේ අපේක්ෂකයා ජිල්මාට් ගුල්මාට් කකුල්මාට් ඕනෑම එකක් දමා දියවන්නාවේ කවුන්සිලේට තේරීපත්වූ ප්‍රීතිය නිමිත්තෙන් සමහර සපෝටර්ලා ඉනේ සරම නැතිවෙන තරමට නැත්නම් මූණ සාක්කුවේ වැටෙන ගානට ප්‍රීති වූහ. ඉන් සමහර දෙනාට ඉලෙක්ෂන් කාලේ විරුද්ධ පක්ෂෙට වැඩකරපු අයට ආණ්ඩු පක්ෂෙ වටිනාකම කියාදෙන්නට මතක් වුනේ ගානකට රත්වේගෙන එද්දීය.
අලුතෙන් පත්වුන මංත්‍රීවරයෙකුගේ මේ ජාතියේ සපෝටර්ලා පිරිසක් කඩු කිනිසි පොලු මුගුරු ආදිය රැගෙන ගමේ විරුද්ධ පක්ෂේ සපෝටර් කෙනෙකුගේ ගෙදරට ගොඩවැදුනේ උන්නැහේගෙත් උන්නැහේගේ දරු පවුලෙත් දුක සැප බලා යන්නටය.එසේ දුක සැප විමසමින් ඉන්නා අතරතුර අහල පහල කෙනෙකු වන් වන් නයින් එක ඔස්සේ පොලිසියට දුන් දැනුම් දීමක් අනුව පලාතේ සිටි නාහෙට නාහන පොලිස්කාරයෙක් ජීප් එකෙන් පැමිණ අමුත්තන්ගේ කන් අතගා කුදලාගෙන ගොස් පොලිසියේ විශේෂ ආරක්ෂාව යටතේ තබාගත්තේය.
මේ හුටපටය අලුත් මංත්‍රීතුමාගේ කණට යන්නට විනාඩියක් වත් ගතවුනේ නැත. තවම දිවුරුම් දී නැති නමුත් මම පළාතේ මංත්‍රී නොවෙම්දැයි සිතූ අලුත් මංත්‍රීතුමා පොලිසිය වෙත ආවේ සපෝටර්ලා පෙළපාලියක්ද සමගය. දැන් ඉතිං මංත්‍රීතුමා නමෝ විත්තියෙන් වැඩ අල්ලන වේලාවයි. පොලිසියේ ඕ.අයි.සී මහත්තයා තම පුටුවට වී බර වැඩකි. මංත්‍රීතුමාගේ සපෝටර්ලා පොලිසිය වටලා සිටිති. මංත්‍රීතුමා කෙළින්ම ගියේ ඕ.අයි.සී මහත්තයා වෙතය. දැන් දැන් ගිනි කෙළියක් සිදුවන්නට යන බව හැමදෙනාටම ප්‍රත්‍යක්ෂ වුයේ මංත්‍රීතුමා අපේක්ෂකතුමා කාලේ පළාතේ දැමූ වැඩ කිඩ දන්නා නිසාය. ඒ කාලේ ඒ ප්‍රදේශයට කවුරුත් කීවේ ‛‛මුදවා නොගත්’’ ප්‍රදේශය කියායි. මංත්‍රීතුමා කල්පනා කළේ තමන්ගේ වැඩ කිඩ පොලිස්කාරයාට පෙන්වීමට මෙතරම් අනගි අවස්ථාවක් තවත් නොලැබෙන බවය. කන්දෙක රත්වෙන ගානට දෙක තුනකින් සප්පායම් වී සිටි මංත්‍රීතුමා තමන් ඉදිරියේ සිටගෙන සිටියත් ඕ.අයි.සී මහත්තයා පුටුවෙන් නැගිට්ටේවත් හිස ඔසවා බැලුවේ වත් නැත. මංත්‍රීතුමාට මේකට මාරජුවල්ය. අචාරශීලීත්වය නොදන්නා මේ පොලිස්කාරයාට මතක හිටින පාඩමක් ඉගැන්විය යුතුයැයි මංත්‍රීතුමා හිතාගත්තේය. ඒ සඳහා පොලිස්කාරයාට ඉංග්‍රීසියෙන් බැනවැදිය යුතුයැයි මංත්‍රීතුමා තීරණය කලේය. ඔහු සද්දෙට උගුරේ රැල්බුරුල් හැරියේය. ඕ.අයි.සී මහත්තයා ඔලුව ඉස්සුවේය. මංත්‍රීතුමා බනින්නට පටන් ගත්තේය.
යු නෝ හූ මී ආ?…..නෝ පීපල් නෝ…..ඩෝන්ට් පීපල් ඩෝන්ට් නෝ…..යූ හයි ඕ, අයි හයි ඕ.
යූ අයි.පී.. අයි ඇම්.පී..ගෙටවුට් මයි පීපල්
ඉෆ් දේ නොටවුට්….ටුමාරෝ යු ගෝ ජැෆ්නා…

මේක ඇසුන ගමන් අයි.පී මහත්තයා ඉබේටම නැගිටුනේය. ඔහු වික්ෂිප්තභාවයෙන් බලා සිටියේ මේකට බය වෙන්නද? හිනාවෙන්නද? අඬන්නදැයි නිනව්වක් නැතිවය.

දෙ බසක අගේ

February 23, 2010 by  
Filed under සිංහල, Colombo, Education, Yarn

ජාතක අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කෙරුණ යෝජනා, කෙටුම්පත්, මතවිමසුම්, සමීක්ෂණ, විද්වත් අදහස් ආදී නනාප්‍රකාර දේ ඇතුලත් කඩදාසි කන්දක් අධ්‍යාපන ඇමතිතුමාගේ ගේ මුල්ලේ තිබේ. අවුරුද්දෙන් අවුරුද්ද මේ කඩදාසි කන්ද ඉහල යනු විනා ඉන් ප්‍රතිපලයක් අත්වුයේ නැත. අධ්‍යාපනයේ අර්බූදය එහෙමමය.
මේ කඩදාසි කන්දට අරක්ගත් මී පවුලක් සිටියේය. කල්යෑමේදී මී අම්මා ගැබ්බර වූවාය. නොබෝ දිනකින් ඇය හුරුබුහුටි මී පැටවු කිහිප දෙනෙකු වැදුවාය. මී පැටවුන් මවගේ කිරි බොමින් වැඩී ඇවිද යා හැකි තරමට උස්මහත් වූ කළ ඔවුන්ට තම පරිසරයෙහි හැසිරීම ගැන පාරම්පරිකව එන පාඩම උගැන්වීමට මී අම්මා සිතුවාය.
ඇය වැඩිමහල් මී පැටවා කැඳවාගෙන කඩදාසි කන්දෙන් එළියට ආවාය. දැන් ඇය ලොකු මී පුතාට පරිසරයේ සැරිසරන ආකාරය උගන්වමින් සිටින්නීය. මේ අතර මී අම්මාට දැනුනේ තමන් වෙත කිසිවෙකු පැමිණෙමින් සිටින බවය. ඇය මුලින් සිතුවේ ඒ මේ දවස් වල ඇමතිතුමාගේ ගෙදර අස්සක් මුල්ලක් නෑර ගැවසෙන අධාරකරුවෙකු විය හැකි බවය. ඒත් ක්ෂණයකින් ඇයට වැටහුනේ ඒ ගෙදර සිටින බළල් තඩියා බවය. දැන් බළල් තිඩියා ලඟ ලඟම එයි. පුතාට කතා කරගෙන දිවගොස් හැංගෙන්නට කල් මදිය. සිදුවන්නට යන්නේ මහ විපතකි. මී පුතාව බළලාගේ එක කටකටත් මඳි තරම්ය. මී අම්මා වහාම කටහඬ වෙනස් කොට මහ හඬින් බල්ලෙකු සේ බුරන්නට පටන් ගත්තාය. ‛‛බව්….වව්….වව්….ගර්…ර්…ර්…’’ මේ හඬ ඇසුනු බළල් තඩියා වටයක් කැරකැවී දුවන්නට පටන් ගත්තේය. සිද්ධිය දුටු මී පුතාට හරිම සතුටුය. ඔහු පැමිණ අම්මාගේ ගෙළ බදාගෙන හාද්දක් දුන්නේය.
’‛ අම්මා මාරයිනේ…..අම්මට කොහොමද එක පාරටම ඔය නුවන පහළවුනේ?’’ මී පොඩ්ඩා විමසුවේය. ‛‛පුතේ, අර අපි ඉන්න කඩදාසි කන්දේ තිබුනු ‛‛අමතර භාෂාවක් ඉගෙනිමේ වැදගත් කම’’ ලියපු කඩදාසි බන්ඩලේ මම කාලා ඉවර වුනේ ඊයේ’’ මී අම්මා කීවාය.