සරොජිනී අම්මා
May 16, 2013 by Karapoththa
Filed under Colombo, Poems, Puravasi Katha
අම්මාවරුන්ගේ දිනයක් ආවා ය
මව්වරුනට දරු උණුසුම දැනුනා ය
අම්මා මතක් වී මා සිත හැඩුවා ය
සරස්වතී අම්මා සිහි වූවා ය
වයස හැත්තෑ පහයි
උපන්දිනේ දන්නේ නෑ
දරුවන්ගේ නම් මතකයි
පින්තූර මුකුත් නෑ
ස්විස්ටර්ලන්තයට ඇවිත් අව්රුදු තුනයි
යාපනයේ ගම්මානෙක උන්නාය
ගොවිතැන් බතින් දුෂ්කර දිවි ගෙවුවාය
දරුවන් පස් දෙනෙක් මෙලොවට දුන්නාය
අම්මා සරස්වති දෙමළය වයසකය
යුද්දේ භයංකාරයි
ගමින් ගම ගෙයින් ගෙට ගිනි බිදුනි
දරුවෝ එකා එකා රට හැර ගියහ
ලොකු පුතා කැනඩාවේ
දෙවැනියා ප‍්‍රංශයේ
පුරුෂයි තවත් පුතෙක් ජර්මනියේ
එක්කෙනෙක් නොර්වේ, බාලයා ස්විස්ටර්ලන්තයේ
මං සරෝජිනී අම්මා බලන්න ගියේ අනාථ කඳවුරේ සහායිකාවගේ ඉල්ලීම නිසා.‘‘ඔබ ලංකාවෙනෙ. මං බාරයේ ලංකාවේ අම්ම කෙනෙක් ඉන්නවා. කතා කරන්නවත් කව්රුවත් නැහැ. දවසම ඉන්නේ ඇගේ කාමරේ. මව්වරුන්ගේ දවස එනවනේ. බැරිද ඇවිල්ල පොඞ්ඩක් කතා කරල යන්න? හැබැයි ඇය ඉන්නේ ඔබ ඉන්න ජිනීවා වල නොවෙයි, අනාථ ජිනීවාවල’’
දරුවන් ලොකු මහත් කර පිට රට යැවුවාය
බිරිදන් සොයා කරකාරෙට දුන්නාය
ඉද හිට එවූ චොකලට් රස වින්දාය
ගේ දොර ඉඩ කඩම් උකසට ගෙවුනාය
දරුවන් ලෝක ප‍්‍රජාවේ කොටස්කාරයෝ
ජර්මන්, ප‍්‍රංශ, ඉංගිරිසි, නොර්වීජියන් බස් දොඩන.
ඒත් අම්මා ඉන්නේ ජිනීවා අනාථ කදවුරක
අඩි අටක් පළල අඩි 10ක් දිග පුංචි කාමරයක.
අන්තර් ජාතික වූ දරුවෝ දැන් දෙමළ අම්මාට ගෙදරට ගන්න කැමැති නෑ.
සරස්වතී අම්මා ඉන්නෙ අසනීපයෙන්.
අනාථ කඳවුර රට රටින් ආ ජනයගෙන් පිරිලා.
පවුල් 20කට එක කුස්සියයි. වැසිකිළියක් හවුලේ.
පැල්පත් නොවන පැල්පත්, සත් මහල් කොන්ක‍්‍රීට් කැලයක. ඇයගේ දේශපාලන රුකවරණ ඉල්ලීම ප‍්‍රතික්ෂේප වෙලා, ඉන්නේ තාවකාලික අවසර පත‍්‍රයෙන්. ජීවත්වෙන්න ලැබෙන්නේ සොච්චමයි.
සතියේ දිනය හෝ කවදා දැයි නොදනී
දරුවන් එනු නැතැයි වත කඳළින් පෙඟුනී
දෙන දේ මිසක් රස අහරක් නොවුනී
ගෙන ආවේ ඇයි ද යන්නේ කවද ද පුතුනී?
කඳවුරේ දෙමළ දන්නා එක කෙනෙක්වත් නෑ.
සරෝජිනී අම්මා දෙමළ හැර අන් බසක් දන්නේත් නෑ.
උයාගෙන කන්න හයි හත්තියකුත් නෑ.
කාමරය බැලූ බැල්මටම හඩු ගඳයි.
අප ගිය විගස ඇය එළියට ආවාය
මුහුණේ සිනහවක් විකසිත වූවාය
මගේ පුතත් මේ වගෙමයි කීවාය
අහස බලා දෙවි පිහිටයි මැතිරීය
ඇයට දෙමළ බසින් කතා කරන්නවත් කෙනෙක් නෑ.
දහස් ගණනින් විමුක්ති ධජ පතාක රැගෙන
දෙමළ අරගලයේ කාහළ නාද නැංවෙන
මේ ජිනීවා පුරවරයේම
ඒ දෙමළ අම්මා දෙමළෙන් වචනයක් අසන්නටවත් කියන්නටවත් නැතිව
මේ මව්වරුන්ගේ දවසේත් බැලූ අත බලා ගෙන
ඉන්න ඇති.
මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා, මගේ කන් දෙකෙන්ම ඒ කතාව ඇහුවා
ඔන්න ඔහොමයි අම්මා කෙනෙක් දවසරින්නේ දරුවන් ‘සීතල යුරෝපයේ සැප විදින‘ අතර.
සිංහලද දෙමළද කියා නෑ වෙනසක් ඩයස්පෝරාව කියන්නේ ආත්මාර්ථයේ ජායාවටයි
දෑසට පෙනෙන හැම හිම කැටයක් තුළම
මට පෙනෙනවා අම්මා හිච්චි කියන
අම්මා සමඟ එක පැදුරේ නිදන
සිහිනය පෙනෙයි මා සතුටින් තියන
කඳවුර සීතලෙන් ගල් කර පතිත හිම
අම්මේ සරස්වතී, කීවද ඔබට කිසිත්?
හිච්චි පුතා
12.05.2013
‘‘දැන් ඇත්ත කියන්නත් බැහැ. මේ කතාව පවත්වලා මට වඩමාරච්චියට යන්න පුළුවන් වෙයිද දන්නේ නෑ’’
March 6, 2013 by Vikalpa
Filed under Democracy, Features, Human Rights, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Puravasi Katha
‘දැන් ඇත්ත කිව්වොත් රජයට එරෙහි පිරිසක් කියලා මඩ ගහනවා. දැන් ඇත්ත කියන්නත් බැහැ. දැන් මේ කතාව පවත්වලා මට වඩමරච්චියට යන්න පුළුවන් වෙයිද දැන්නැ නැහැ. මෙවැනි ජීවිතයක් අපට අවශ්‍යද?’
Editor Note: ඉන්දියානු ධීවරයින් ලංකාවේ මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සහ එහිදී ඇති වී ඇති අර්බුධකාරී තත්ත්වයත්, යුද්ධයෙන් පසුව උතුරේ ජන ජීවිතයේ ඇති වී තිබෙන ඛේදනීය තත්ත්වයත් පිළිබද මහජන සංවාදයක් පසුගිය මාර්තු 1වනදා කොළඹ දී පැවැත්විය. එහි දී එම සංවාදය සංවිධානය කල ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, වසර 30 යුද්ධය නිසා පීඩාවට පත්ව සිටි උතුරේ ධීවරයින්, යුද්ධය නිමා වී වසර 4කට ආසන්න වුවත් යුද පීඩනය තුළ ජීවත්වන බවත්, යුද්ධය අවසන් වී තම රැකියාව කෙසේ හෝ නැවත ආරම්භ කළ ධීවරයන්ට තවමත් බොහෝ තහංචි පැනවී ඇති බවත් ය.
විශේෂයෙන් එම සංවාදයේදී තම අත්දැකීම් ඇසුරෙන් උතුරේ ජන ජීවිතය, විශේෂයෙන් ධීවරයන් සම්බන්ධව, උතුරු පළාත් ධීවරයින්ගේ සංධානයේ, සභාපති, එස්. තවරත්නම් මහතා අදහස් දැක්වීය. එම අදහස්වල සිංහල පරිවර්තනය ‘විකල්ප’ තුළ සටහන් කරන්නේ, පශ්චාත් යුද සමය තුල සහජීවනය සහ මානව හිමිකම් ගැන කතාකරනවා යැයි කියන රාජපක්ෂ ආණ්ඩුවේ ‘ජනයා රැවටීම’ මෙන්ම, උතුරේ ජනයාමත මුදාහැර ඇති මිලිටරි පාලනය පිළිබද මනා සටහනක් ඔහු සිය ජීවිත අත්දැකීමෙන් සළකුණු කරන නිසාවෙනි.
‘‘අවුරුදු 30 තිස්සේ යුද්ධය නිසා දෙමළ ජනතාව දුක් වින්දා. මේ අවුරුදු 30ක කාලයේ අපේ ධීවරයන් වෙතත් මේ ආණ්ඩුව මර්ධනය භාවිතා කළා. ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ මර්ධනය උපයෝගි කරගෙන ඉන්දියානු ධීවරයෝ අපේ මුහුදු සම්පත් සේරම කොල්ලකෑවා. අපේ වෙරළ දක්වා පැමිණ සේරම විනාශ කළා. අදත් කොල්ලකමින්, ඒ උත්සහය අදත් දරමින් සිටිනවා.’’
‘‘2004 කොළඹදී ඉන්දියානු ධීවරයෝ සමඟ දින 4ක් සාකච්ඡා කළා. නමුත් විසඳුමක් ලැබුණේ නැහැ. පසුව 2010 ඉන්දියාවට ගිහින් සාකච්ඡා කළා.
ධීවරයන්ගෙන් ගැටළු පිළිබඳව ආණ්ඩු දෙකම සාකච්ඡා කළ යුතුයි. නමුත් අපි තමයි ඉන්දියාවට ගිහින් කතා කළේ. අපිට මුහුදේ රස්සාව කරන්න ඉඩ දියල්ලා කියා ආයාචනා කළා. ඉන්දියාවටයි ලංකාවටයි මායිම වන්නේ මුහුදයි. මෙහි ආරක්‍ෂාවේ යෙදී සිටින්නේ හමුදාවයි. මේ හමුදාව සිටියදී වෙනත් රටක සිට ධීවරයන් මේ රට තුළ එනවානම් හමුදාව මොනවද කරන්නේ? ආරක්‍ෂක හමුදාව ආරක්‍ෂා කටයුත්ත නිසි ලෙස කරලා තිබ්බානම් ඇයි අපි දුක්විඳින්නේ.
අපේ මුහුදු ප‍්‍රදේශයේ මාළු අල්ලන්න ආ බොහෝ ඉන්දියානු බෝට්ටු අපි රැගෙනවිත් තියෙනවා. ඉන්පසු හමුදාව ඇවිත් වෙනත් රටක බෝට්ටු බලහත්කාරනේ අල්ලන්න බැහැ කියලා අපිට කියනවා. ඔගොල්ලන් හරිහට රස්සාව කළානම් මේවා සිදුවෙන්නේ නැහැ කියලා ඒ අයට අපි කියලත් තියනවා. මේ හින්දා බොහෝ ප‍්‍රශ්නවලට මුහුණ දුන්නා.
ඉන්දියානු ට්‍රෝලර් බෝට්ටු මෙහෙට එන එක නැවත්විය යුතුයි. ශී‍්‍ර ලංකා රජය මැදිහත් විය යුතුයි. අපිට විශ්වාසයක් තිබෙනවා. මේ රජය මේ ප‍්‍රශ්නය විසඳන්නේ නැහැ.
යුද්ධය.. යුද්ධය.. කියලා කිව්වෙ. මේ ඉන්දියාවත් එකතුවෙලා දෙමළ ජනතාව බොහෝ දෙනෙක් විනාශ කළා. දැන් විනාශ කළ පසු මොනවද සිදු වන්නේ? දෙමළ ජනතාව සතුටින් ජීවත් වෙනවද? සතුටින් රස්සාවක් කරනවද? සතුටින් ළමයි හඳන්න පුළුවන්ද? ණය වෙලා භාර්්‍යාවගේ තැල්ල උකසට තියලා, ගෙවල් විකුණලා මාළු අල්ලන්න දැල් ගන්නවා. ඉන්දියාවෙන් සහ දකුණෙන් එන ට්‍රෝලර් බෝට්ටු ඇවිත් ඒවා විනාශ කරලා යනවා. අපේ ජනතාව බඩගින්නේ ඉන්නවා. කාටත් මනුස්සකමක්, මනුස්සත්වයක් නැද්ද? ඉන්දිය රජයට නැද්ද? ශී‍්‍ර ලංකා රජයට නැද්ද?
ඒ නිසා උතුරු පළාත් සන්ධානයක් පිහිටුවලා තිබෙනවා. අපි මේ මඟින් ඇත්ත තත්ත්වය රජයට පැහැදිලි කරලා තිබෙනවා. දැන් ඇත්ත කිව්වොත් රජයට එරෙහි පිරිසක් කියලා මඩ ගහනවා. දැන් ඇත්ත කියන්නත් බැහැ. දැන් මේ කතාව පවත්වලා මට වඩමරච්චියට යන්න පුළුවන් වෙයිද දැන්නැ නැහැ. මෙවැනි ජීවිතයක් අපට අවශ්‍යද?
1990 වලිකාමම් උතුරේ සිට පේදුරුතුඩුව, පළාලි, මයිලිට්ටි බොහෝ ගම්මානවල සිට කිසි දෙයක් නැතුව ඇවිදගෙන ඇවිත් වඩමාරාච්චි උතුරේ පදිංචි වුණා. අවුරුදු 23ක් ගතවෙලා තිබෙනවා. තවමත් අපේ ප‍්‍රදේශයමයි ජීවත් වෙන්නේ. වලිකාමම් උතුරේ සිට පවුල් 4,000ක් අවතැන් වී මෙහි සිටිනවා. 3000 කටත් ධීවර කර්මාන්ත යෙදෙන්න බැරි තැනක පවුල් 7,000 රස්සාව කරනවා. සහෝදර හැඟිමයි, මනුසත්වයයි ඒකට හේතුව. දැන් දෙපිරිස අතර ගැටුම්කාර තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. අවතැන්වී සිටින පිරිස්වලට ධීවර රැකියාවේ යෙදෙන්න බැහැ. වහාම ඔබගේ ප‍්‍රදේශයට යන්න කියා වඩමරාච්චි ජනතාව කියනවා. ඒ අය කොහෙද යන්නේ? ආරක්‍ෂක කලාපයක් කියලා, තවමත් මේ ජනතාව නැවත පදිංචි කරන්නේ නැතුව ඉන්නවා.
යුද්ධය නිමාවෙලා අවුරුදු 4ක් ගතවෙලා තියෙනවා. තවමත් නැවත පදිංචි වූ ජනතාව පීඩාවට පත්වෙමින් සිටිනවා. මේ ජනතාවගේ ගැටළුව විසදන්න අමාත්‍යවරු, ජනාධිපතිතුමා ඇයි මැදිහත් වෙන්නේ නැත්තේ? වලිකාමම් උතුරේ ජනතාව නැවත පදිංචි කළොත් ඒ ජනතාවටත් එවැනි පීඩාවට මුහුණ දෙන්න වෙයි. වලිකාමම් උතුරේ කිසිම ගොඩනැගිල්ලක් නෑ. සම්පූර්ණයෙන්ම සමතලා කරලයි තියෙන්නේ.
ඉන්දියානු ධීවරයෝ එක පැත්තකින් එනවා. දකුණේ ධීවරයෝ අනෙක් පැත්තෙන් එනවා. අපි හිරවෙලා මැරෙණවා. අපි කිහිප වතාවක්ම සාමකාමි උද්ඝෝෂණ පවත්වලා තිබෙනවා. ඉන්දියානු ධීවරයන්ගේ ගැටළුව පිළිබඳව ඉන්දියානු රජය සහ ශී‍්‍ර ලංකා රජය විසඳා දිය යුතුයි. අපිට හොඳ විශ්වාසයක් තියෙනවා. මේ ගැටළුව විසඳන්නේ නැහැ. අපි හිතුවොත් මේ ප‍්‍රශ්නය විසඳගන්නවා. අපි කියනවා. අපි හිතුවොත් මේ ප‍්‍රශ්නය විසඳගන්නවා. ඒත් දිගටම හැමදෙයක්ම අහිමි වුවහොත් අපි කොහොමද ඉවසන්නේ?’’
පහත දැක්වෙන්නේ එස්. තවරත්නම් මහතා සිදුකල කතාවේ වීඩියෝ සටහනයි
වේදනාවද, බලාපොරොත්තුවද තුරුලූකරන් ‘ඇවිදින අම්මා’
December 12, 2012 by Karapoththa
Filed under සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Puravasi Katha, Reconciliation, Trincomalee
කොළඹ ඉදලා ත‍්‍රිකුණාමලේට යන ප‍්‍රධාන පාර ඉතාමත් පහසුවෙන් ගමන් කල හැකි විදිහට ඉදිකරලා. දැන් සම්පූර්ණයෙන්ම වගේ පාරේ වැඩ ඉවරයි. වෙනදාට වැඩිය අඩු කාලයකින් අපි කොළඹ ඉදලා ත‍්‍රිකුණාමලේට ලගා වුනා. ත‍්‍රිකුණාමලේ නගරයත් සීග‍්‍රයෙන් සංවර්ධනය වන බවක් පෙනෙන්නට තිබුණා.
අපි ගියේ, ඊයේ(11) ත්‍රිකුණාමලය නගරසභා ප‍්‍රධාන ශාලාවේ පැවති වැඩසටහනකට. වැඩසටහන තමයි ගෘහ මූලික කාන්තාවන් සම්බන්ධයෙන් ධීවර සහයෝගීතා ව්‍යාපාරය සංවිධානය කරන වැඩසටහනක්. වැඩසටහන පටන් ගන්නකොට එය මෙහෙය වූ මිතුරා පවසා සිටියේ අපි ‘වැන්දඹු‘ කියන වචනය පාවිච්චි කරන්නේ නෑ කියලා. ඉතාමත් හොද ප‍්‍රවේශයක්. ඒත් අපි කාටත් මගහැර යා නොහැකි වූ සත්‍යක් හමු වුනා. කොළඹ ත‍්‍රිකුණාමලය පාරේ දැන් ‘ඔහේ’ ගමන් කරන්නෙකුට හමු නොවුනු සත්‍යක් හමු වුනා.
ඒ කතාව තුළ ඒ සත්‍ය සැගව තිබුණා.
ඒ පැමිණ සිටි කාන්තාවන්ගෙන් සියලූ දෙනා වගේ ‘වැන්දඹු’ නැතිනම් අප මිතුරා කියු පරිදි ‘ගෘහ මූලික කාන්තාවන්’. ඔවුන් එසේ උනේ ‘අසාවට නොවන’ බව ත‍්‍රිකුණාමලය වෙරළ තීරයේ විවේක සුවයෙන් ගත කරනා දකුණේ බොහෝ දෙනෙකුට නොසිතෙන්නට පුලූවන. වෙනත් විදිහකට කියනවා නම් ඔවුන්ට එසේ වූයේ ‘පුරුෂ මූලික’ සාම්ප‍්‍රදායික ලාංකීය පවුලට අභියෝග කරන්නට ගොස් නොවේ. එසේත් නැති නම් ඉබේවත් නොවේ. එසේ වුයේ වසර ගණනාවක් රාජ්‍ය විසින්, උතුරු, නැගෙණහිර ජනයා වෙත මුදාහල සහාසිකත්වය නිසා ය. එම මුග්ද සාහසිකත්වයෙන් ඒ අම්මාවරුන්ට අද ඉතිරි කර ඇත්තේ වැන්දඹු භාවය නැතිනම් ගෘහයේ මූලිකයා වීමටය. නොසිතූ ලෙස සිය පවුලේ සියලූ බර හිස මත දරා ගන්නට ය.
එම සාහාසිකත්වයේ කුරිරු බව, වේදනාව, යුද්ධයෙන් වසර 3ක් ඉක්ම ගියත් ඒ අම්මාවරුන්ට අදටත් අමතක කිරීමට නොහැකි බව අප දෑස් ඉදිරියේ දිග හැරුණේ අප කිසිවිටකත් නොසීතූ මොහොතකය.
අපි, අපගේ මිතුරෙක් සමග ශාලාවෙන් පිටත නැගෙණහිර පළාතේ පවතින ගැටලූ ගැන කතා කරමින් සිිටියෙමු. වයස්ගත මවක් ටික වේලාවක සිට අප දෙස බලා සිටින බව මට නිරීක්ෂණය විය. ඉන් මද වේලාවකට පසු ඇය අප වෙත ලංව දෙමළ බසින් යමක් අප වෙත පැවසීය. එහෙත් ඇයගේ භාෂාව තේරුම් ගන්නට තරම් අප පොහොසත් නොවූයෙන් අප දෙමළ මිතුරියකගේ සහය පැතූවෙමු.
අප මිතුරිය, ඒ වයස් ගත අම්මා පැවසූ දේ අපට සිංහලෙන් පැහැදිලි කරන අතර තුර ඒ අම්මාගේ අත, ඇගේ කුඩා පොලීතින් බෑගය වෙත කුමක් හෝ සොයමින් සැරිසරන බව අප කාටත් වැටහෙන්නට වැඩිවෙලාවක් ගත වූයේ නැත. පොලීතින් බෑගයෙන් ෆයිල් කවරයකට සමාන දෙයක් එළියට ගත් ඇය එයත් ඉතා අපහසුවෙන් එය පෙරලන්නට උත්සුක විය. ‘‘මේ මගේ මහත්තයා, මේ මගේ දරුවා’’ 2008 දෙන්නම අරන් ගියා. තාම නෑ’’ ඇගේ බසින් එය පවසා ඉවර වන්නටත් පෙර ඇගේ ඇස්වලින් කදුලූ බිදු කඩා වැටිනි. ඒ ඇගේ සැමියාගේ සහ දරුවාගේ ඡායාරූපය. වසර 4කට පෙර එනම් 2008 දී ඔවුන් ඇගෙන් උදුරාගෙන ගොස් තිබිණි.
නමුත්, ඇය මෙයට සහභාගී වූයේ ‘වෙනත්’ වැඩසටහනකටය.
ඒත් ඇගේ බෑගය තුළ ඇගේ ආත්මය ඇය යන යන තැන අරන් යන්නීය. ඇය තාමත් ඇගේ සැමියා සහ දරුවා සොයා ඇවිදින්නීය. එය කියන්නට හසුවන සෑම තැනදීම ඇය අගේ සැමියාගේ සහ දරුවාගේ ඡුායාරූප පෙන්වා යදින්නීය. නමුත් ‘‘හොයා දීපල්ලා මගේ දරුවා, හොයා දීපල්ලා මගේ සැමියා’’ කියා කෑ ගසා කියන්නට ඇයට ශක්තියක් නැත. ඇයගෙන් ඒ ශක්තිය ඊනියා දේශපේ‍්‍රමීන් උදුරා ගෙන ඇත. ඒත් ඇය තවමත් ඔවුන් සොයා යන්නීය. ඇය හෙටත් ඔවුන් සොයා යනු ඇත.
එහෙත් අපි පසුගිය 10වනදා ‘විශ්ව මානව හිමිකම් දිනය’ සැමරුවේ මෙවන් අම්මලා දහස් ගණනක් කදුලූ හෙලද්දීය…….එහෙත් ඈ හෙලූ කදුලූ, කෙදිනක හො‘ ඇයට ද, ඇය මෙන් අනෙක් අම්මාවරුන්ට ද යුක්තිය ඉෂඪ කරනු ඇත.
[කොතරම් මුදලක් යටකොට ඉදිකර ඇති මහාමාර්ගයන් යට තිබෙන වේදනාව, අයුක්තිය, කෙතරම් ගල් දමා තලා තිබුනත් ඉතා ඉක්මනින් පුපුරා යනු ඇතැයි නැවත කොළඹ, ත්‍රිකුණාමලය මාර්ගයට පිවිසි මට සිතිනි. එය නවතා ලන්නට ‘නැගෙණහිර උදානයට’ නම් නොහැකි වනු ඇත.]
හාමුදුරුවනේ තරහා අවසර…!
October 31, 2012 by Karapoththa
Filed under Colombo, Featured Articles, Features, Puravasi Katha
අපේ පන්සලේ ලොකු හාමුදුරුවන් සුළු සිද්ධියකින් පවා වහා කිපෙන ගතිගුණ ඇත්තෙක් බව අසා ඇත්තෙමි. මේ කිපෙන සුළු බව හා බැඳුණු සිද්ධීන් කිහිපයක් පිළිබඳව, මේ නගරයට අප පැමිණි මුල් සතියේදීම අසන්නට මට හැකි වූ නිසා පන්සලෙන් ඈත්ව ජීවත්වන්නට තීරණය කළෙමි. සිතට සැනසිල්ලක් නොගෙනෙන පන්සලකින් ඇති පලය කුමක්ද…?
වරක් මගේ මිතුරෙක් හාමුදුරුවන්ගේ මේ කිපෙන සුළු බව අරබයා අපූරු ප‍්‍රකාශයක් කළේය. ‘‘අපේ හාමුදුරුවන්ට පොඩි දේකට වුනත් තරහා ගියාට, එතුමා හරිම සිල්වත්.’’ මා අදහන අන්දමට බුදු දහමෙහි ඇති මූලික ගුණාංගය වන්නේ මෛත‍්‍රිය හා කරුණාවයි. මෛත‍්‍රිය හා කරුණාව පෙන්වන්නට නොහැකිවන තැන ඇති බුද්ධාගම, මා අදහන බුදු දහමට පටහැනි වූවකි. ඉදින් වහා කිපෙන සුළු වූ අයෙක් සිල්වත් වන්නේ කෙසේද…? මේ පැනය මගේ මිතුරාගෙන් අසන්නට සිතුනත්, එයින් ඔහු සිත් තැවුලට පත්වනු ඇතැයි සිතා මුවින් නොබැන සිටියෙමි. සැරපරුෂ, තද ගති පැවතුම් සහිත වීම ලංකාවේ බොහෝ පන්සල්වල ලොකු හාමුදුරුවන් නමැති අයිකනයේ පොදු ලකුණකි. එසේ සැර පරුෂ, ලිහිලක් නොපෙන්වන ගුණාංග නොමැති නම් පන්සලක පාලනය සහ සංවර බව තබා ගන්නට නොහැකි වේ යැයි පොදු මතයක් අප අතර පවතී. එනිසා දුසිල්වත් බව සඳහා කැපෙන ලකුණු ගණන මේ සැර පරුෂ හෝ කිපෙන සුළු බව සඳහා නොදැනෙන තරම් කුඩා ඉලක්කමක් බවට අද අපේ බුද්ධාගමෙහි පත්ව තිබේ. අනෙක් වචනවලින් කියනවා නම් මෛත‍්‍රිය හා කරුණාව සඳහා ලැබෙන්නේ සිල්වත්කමෙන් අඩු ලකුණු ගණනෙකි. කුඩා කාලයෙහි පව්කාර කොල්ලන් වූ අප, පන්සලේ වෙරළු ගසට ගල් ගැහුවේ වෙරළු කෑමට ඇති උවමනාවට නොව, එහි විසූ වයෝවෘද්ධ ස්වාමින් වහන්සේ එයින් කෝප වී, කුණුහරුපයෙන් බැණ වදිනු අසා ප‍්‍රීති වීමටය.
ලංකාවේ බොහෝ දෙනා සිතන්නේ අද අපේ රටේ පවතින බුද්ධාගම මිහිඳු මහරහතන් වහන්සේ විසින් ගෙන එනු ලැබූ බුද්ධාගම කියාය. යුද්ධය නිසා මිය ගිය මිනිසුන් සංඛ්‍යාව දැක කලකිරී බුදුදහම වැළඳගත් අශෝක අධිරාජයා ඉන් නොනැවතී සිය දෙදරුවන් ද ශාසනයට කැප කළේය. ඔහු පුත් මිහිදු මහ රහතන්වහන්සේ ලංකාවට රැගෙන ආවේ මේ බුද්ධාගමයි. එහෙත් වැඩි කලක් ගත නොවි මෙරට එකල සිටි බුද්ධ පුත‍්‍රයින් විසින් රජවරුන් යුද්ධය සඳහා මෙහෙයවමින් ඒ බුද්ධාගම කෙළසණු ලැබීය. එදා පටන් නොයෙක් ආකාරයෙන් වෙනස්කම්වලට බඳුන්ව පැමිණි අපේ සිංහල බුද්ධාගම ඉතා අසරණ තත්ත්වයට පත්වන්නේ, රට යුරෝපීයයන්ගේ යටත් විජිතයක් බවට පත්ව තිබූ සමයේය.
යුරෝපීයයන් ගෙන ආ ආගම් ප‍්‍රචාරය සමඟ තරග කරන්නට හැකි ආකාරයේ බුද්ධාගමක් උදෙසා අවශ්‍ය පණපෙවීමේ හැකියාව හා ශක්තිය අපේ ශ‍්‍රී ලාංකිකයනට තිබුණේ නැත. මේ අවශ්‍ය ප‍්‍රාණය පොම්ප කරනු ලැබුවේ අමෙරිකාවේ සිට පැමිණි හෙන්රි ඕල්කට් නමැති සුද්දා විසිනි. ඕල්කට්තුමා සුද්දන් ආගම් ප‍්‍රචාරය කළ ශෛලීයෙන් බුද්ධාගම ප‍්‍රචාරය කරන්නට ඇවැසි මෙවලම් නිෂ්පාදනය කළේය. බෞද්ධ ප‍්‍රචාරක වැඩ සටහන්, බෞද්ධ පාසල්, බොදු බැති ගී (කැරොල්) ආදිය හඳුන්වාදුන්නේ අපේ බුද්ධාගමට මිෂනාරි පන්නයේ ජීවයක් ලබා දෙමිනි.
අනගාරික ධර්මපාලතුමා ගොඩවූයේ මේ හෙන්රි ඕල්කට් නමැති සුද්දා ධර්ම ප‍්‍රචාරය සඳහා යොදා ගත් ගොන් කරත්තයටමය. අනගාරික ධර්මපාලතුමා, ඕල්කට්තුමාට එහා යමින් වඩාත් සැර පරුෂ හා ග‍්‍රාම්‍ය ලෙස සිය ප‍්‍රචාර ව්‍යාපාරය දියත් කරනු ලැබුවේ සුද්දා පෙන්නූ සංවරය මෙයට අවශ්‍ය නොවන බව කියාපාන අයුරිනි. ඔහු මිනිසුන් ඇමතුවේ ඉතා ගොරහැඩි, රළු පරළු බසකිනි. ඔහුගේ ධර්ම ප‍්‍රචාරය වඩාත් නෑකම් කීවේ සුද්දන්ගේ උපායශීලී ප‍්‍රචාරක ක‍්‍රමවලට වඩා, පෘතුගීසින් බලහත්කාරයෙන් කතෝලික ආගම පැටවීමට යොදා ගත් තර්ජනාත්මක ස්වරූපයටය. අද දවසේ ශ‍්‍රී ලංකාවේ ජීවත්වන සිංහල බෞද්ධයාගේ පරමාදර්ශී චරිතයක් වන්නේ මෙලෙස රළු බසෙකින් බැන වදිමින් ධර්ම ප‍්‍රචාරයෙහි නියැලූණු ධර්මපාලතුමාය. පෘතගුගීසි නලින් ද සිල්වා මහාචාර්යතුමාට, එතුමා තමන්ගේ කෙනෙක් ලෙස දැනෙන්නේ ද සමහරවිට මේ නෑකම නිසා විය හැකිය.
අපේ සමාජය තමන්ට අවශ්‍ය පරිදි බුද්ධාගම වෙනස් කර ගනිමින් එයට නව අර්ථකථනයන් දෙමින් සිටින්නීය. සමහර විටෙක එතැනින් නොනැවතී බුද්ධ චරිතය ද තමන්ට අභිමත පරිදි වෙනස් කරන්නට කැසකවන්නීය. පසුගිය දිනෙක මහා සංචාරය නමැති රූපවාහිනී වැඩසටහන මෙහෙවමින් අද දවසේ ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ මහදැනමුත්තා වූ ජැක්සන් ඇන්තනී පවසා සිටියේ බුදුරජාණන් වහන්සේ ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවට වැඩම කළේ බෞද්ධාගමික වූ නාගගෝත‍්‍රිකයින් හට වූ ඇල්ම නිසා මිථ්‍යාදෘෂ්ටික යක්‍ෂ ගෝත‍්‍රිකයින් මලය දේශයට පලවා හැරීමට ය, කියා ය. රහත්ඵල ලැබූ අපේ බුදු රජාණන්වහන්සේටත් එසේ කළ හැකි විණි නම්, ඇයි යකඩෝ අපිට දෙමළුන් තමිල්නාඩුවටම එළවන්න බැරි…?
සචින් අරුණෝද් ජයනෙත්ති[Sachin Arunod Jayaneththi]
උන්ගේ පුත්තු ගඟන තලේ, අපේ පුත්තු මහ පාරේ
September 6, 2012 by Karapoththa
Filed under Colombo, Featured Articles, Features, Puravasi Katha
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පොඩි පුතනුවන් තම උපාධිය සම්පුර්ණ කරගෙන පශ්චාත් උපාදිය සඳහා සැරසෙන බව දැනගන්නට ලැබුණි. මට මතක ලෙස ඔහු සරසවියට ඇතුලත් වුයේ අපටත් පසුවය. නමුත් අපට අද සිදුව ඇත්තේ අපගේ උපාධි සිහිනය පසෙකලා බලා සිටීමටය. ඔහුට ඔහුගේ දරුවන් වටිනවා සේම අපගේ දෙමවුපියන්ට අපව වටිනා බව මතක කර දීමට කැමැත්තෙමු. අපගේ දෙමවුපියන්ට ද අපටද අනාගත බලාපොරොත්තු දහසක් ඇත. අපට ඉහලට යාමට ඇති එකම මග අධ්‍යාපනය පමණි. අපගේ දෙමවුපියන්ට අපව පිටරට ගොස් ඉගැන්වීමට මුදල් නැත. නමුත් ආණ්ඩුව විනාශ කරමින් යන නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් අපගේ හැකියාවේ නාමයෙන් අද අප උපාධි සිහිනය දකින්නෙමු.
ප්‍රශ්නය ඇත්තේ කොතනද?සැමදා සටන් වලට ගසූ ලේබලය වුයේ ජනතා විමුක්ති පෙරමුණේ ලේබලයයි. නමුත් අද මේ රටේ සාමාන්‍ය ජනතාව අතර එය ප්‍රතික්ෂේප වී යන විට අද අලුත්ම ලේබලයක් ගසා ඇත. ඒ බටහිර අධිරාජ්‍ය ,දේශද්‍රෝහී ලේබලයයි. ආණ්ඩුව කරන වැරදි දැක දැක නිහඩව සිටීම දේශප්‍රේමීත්ව ද? විශ්ව විද්‍යාල ආචාර්යවරු,සිසුන්, දේශද්‍රෝහීන්ද, ගුරුවරු, උසස් පෙළ සිසුන්. දේශද්‍රෝහීන් ද. 2005 ජනපතිවරණයෙදී ජනපති තුමාට ශක්තියක් වූයේ මේ පිරිසම නොවේද, මේ ආණ්ඩුවේ හැටිය අප එය හරියාකාරව තේරුම ගත යුතුය.
දරුවන් ඉම්බ පමණින්, දරුවන් අතට ගෙන නලවූ පමණින් දරු දුක ඇති වන්නේ නැත. කල යුත්තේ සැබෑවටම දරුවන් හට ආදරය කිරීමයි. සැබෑවටම දරුවන් හට ආදරේනම් දරුවෙකුගේ මුලිකම අවශ්‍යතාවක් වන අධ්‍යාපනයට ප්‍රමුකතාව දීමයි. නමුත් අද සිදුවන්නේ කුමක්ද, මේ රටේ සිටින ඉහලම බුද්ධිමතුන් පිරිස වන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මහ පාරට ඇද දැමීමයි. අප දන්නා කිසිම කලෙක ඉතිහාසයේ මෙය සිදු වී නොමැත. ආචාර්යවරු පඩි පත වැඩි කර ගැනීමට මේ සටන ගෙන යනවායි රාජ්‍ය මාධ්‍ය ප්‍රමුඛ වාහිනී තෙපලමින් යයි. අප කියන්නේ ආචාර්යවරු තම වැටුප ගැන කතා කල යුතුයි. විදුලි බල මණ්ඩලයේ රියදුරෙකු රු 50000 වැටුපක් ලබනවානම් අචර්යවර්යෙකුට රු 60000 කැ වැටුපක් ඇති ද, ඉංජිනේරු පීඨයක සාමාන්‍ය සිසුවෙකු ඇරඹුමේදී රු50000-60000 වැටුපක් ලබන විට ඔහුව තැනූ ආචාර්යවරයා රු 60000 කැ වැටුපක් ලැබීම සාධාරණද, වසර 15-20ක් තම ජීවිතය අධ්‍යන කටයුතු වෙනුවෙන් වැය ආචාර්යවරයෙකු තම වැටුප ඉල්ලීම අසාධාරණද, මේ රටේ සාමාන්‍ය ජනතාවගේ දරුවන් බුද්ධිමතුන් බවට පත් කල ඔවුන්ට සමාජයේ හිමි තැන මෙයද, මේ රටේ ජනතාව වැටුපේතරම ගැන නොසිතිය යුතුය, කිමද යත් එය බැලිය යුත්තේ ලක්ෂ ගණනින් නොව ආචාර්යවරයෙකු කල කැප කිරීම අනුව ඔහුට ලැබෙන වැටුප සාධාරණ ද කියා ය.
අනෙක මේ රටේ මෙතෙක් පැවති කිසිදු වෘත්තිය අරගලයක් මෙතරම් මානව හිතවාදී අරගල නොවීය. මා එසේ පවසන්නේ ඇයි, තම පඩි පත, තම ජීවත් වීමේ ක්‍රමය තෙවෙනි තැනට එයට එහා ගිය අධ්‍යාපනය වෙනුවෙන් 6% වෙන් කිරීමට බල කෙරෙන මෙම අරගලය පුළුල් කිරීම පිලිබදව ඔවුන් තුල ඇති මානුෂිය හැගීමයි. ඔවුන්ගේ ඉල්ලීම් කිසිවක් අතර ආණ්ඩු පෙරලීම් හෝ අධිරාජ්‍ය මැදිහත් වීම් නම් අප නොදුටුවෙමු. ඊනියා දේශප්‍රේමීත්වය මුලට ගෙන රටේ ගෙන යන සැබෑ අරගල විනාශ කිරීමට සැරසෙන ආණ්ඩුවේ දේශප්‍රේමීත්වය ගැන අප නැවත වරක් සිතා බැලිය යුතුය.
තව කාරණයක් ඇත. ආණ්ඩුව කියන්නේ ලංකාව ආසියාවේ ආශ්චර්ය කරනවා කියාය. අධ්‍යාපනයෙන් තොර ආසියාවේ ආශ්චර්යය මටනම් සිතා ගත නොහැකිය.
පාරවල්,ගොඩනැගිලි,වරයන්,ගුවන්තොටුපළවල් හැදූ පමණින් ආශ්චර්යය වන්නේ නැත. ආශ්චර්ය වීමටනම් ජනතාව පළමුව බුද්දිමත් නිරෝගීමත් පිරිසක් වීම අත්‍යවශ්‍යයය. සිතන්න ගල යුගයේ සිට අප මේ ආ ගමන ආවේ අධ්‍යාපනය නිසා නොවේද,ඇදුම් පැළදුම් පවා සොයා ගත්තේ අධ්‍යාපනයේ දියුණුව නිසා නොවේ ද, අනිත් සත්ත්වයින් පරදවමින් මානව සංහතියක් ලෙස සත්ත්වයින් අතර බුද්ධිමත් තැනට පැමිණියේ අධ්‍යාපනය නිසා නොවේ ද, අප මේ පිලිබදව දැඩිව සිතිය යුතුයි. මේ අපව නැවත දක්කාගෙන යාමට සැරසෙන්නේ ගල් යුගයකට නොවේ ද, නැතිනම් පාලකයන් කියනා පරිදි නටන රූකඩන් පිරිසක් තැනීමට නොවේ ද?.
මෙම ලිපිය ලියන මා සමහර jvp කාරයෙක්යයි, දේශද්‍රෝහියෙක්යි හංවඩු ගැසීමට පුළුවන, කම් නැත, මාගේ හෘද සාක්ෂිය ඊට වඩා මට වටිනා බව පැවසීමට කැමැත්තෙමු. තවද ආණ්ඩුව විශ්ව විද්‍යාල වසා දැමුවේ නැවත යතා තත්ත්වයට ගන්න යයි පවසමිනි. මාස ගණනක් විශ්ව විද්‍යාල තුල අධ්‍යන කටයුතු නොකරන බව ආණ්ඩුව නොදැන සිටියාද, ජනාධිපතිතුමන් මෙය නොදැන සිටියාද, මේ වර්ජනය පිළිබද පැවසුවේ ගිය වසරේ සිට නොවේද, නමුත් ආණ්ඩුව කලේ ආචාර්යවරු රැවටීම නොවේද. මහජනයා රැවටීම නොවේද? ආණ්ඩුවට මේ ප්‍රශ්නය විසදීමට උවමනාවක් තිබුනානම් ඕනෑ තරම් කල් තිබුණි. සමහර විට ආණ්ඩුවට මුදල් නැතිද? යුද්දයට වියදම් කල මුදල් වලට සිදුවන්නේ කුමක්ද? හෙලිචොප්ටෙර් කෝටි ගනන් ගෙවා ගෙන ඒමට මුදල් ඇත. නමුත් අධ්‍යාපනය සදහා මුදල් නැත.
අද අධ්‍යාපනේට යොදා තිබෙන රූකඩ දෙස බලමු. මොවුන්ට රටක බුද්ධිමතුන් හසුරවනවා තියා කුඩා තේ කඩයක්වත් පාලනය කිරීමට තරම් මොලයක් තිබෙන අයදයි සැක සහිතය. මොවුන් ප්‍රශ්න විසදන්නට හදන්නේ කටින්ය. නැතිනම් තග දමාය. සංවාදශීලී නැත. තර්කානුකුල නැත. අහිංසක දරුවන් ගැන සිතන්නේ නැත. මෙවැනි මෝඩයන් අධ්‍යාපනයේ ඉහල පුටු වල තැබීමෙන් අධ්‍යාපනය ගැන ආණ්ඩුවේ ස්ථාවරය අපට හොදින්ම පැහැදිලිය.
අද අධ්‍යාපනයේ අර්බුදය පෙළ ගස්සුවහොත් විශ්වවිද්‍යාල, උසස් පෙළ, සිට ශිෂත්ව විභාගය දක්වාම අවුල්ය. සාමාන යෙයන් වරදක් කල පසු ඒ වරද නිවැරදි කර නැවත මෙවැනි වැරදි සිදු නොවීමට ක්‍රියා කිරීම බුද්දිමත් බවේ ලක්ෂණයකි. නමුත් මොවුන් කරන්නේ නැවත නැවත එම වැරදි සිදු කිරීමයි. එසේ කිඊමට හේතුව අප සිතා බැලිය යුතුය. ආණ්ඩුවට අවශ්‍ය රාජ්‍ය අධ්‍යාපනයට රටේ හිමිතැන අහිමි කර රට තුල බටහිර රජයන්ගේ නි්‍යාය පත්‍ර අනුව ඔවුන්ට අවශ්‍ය ලෙස ඔවුන්ගේ පෞද්ගලික උපාධි කඩ විවුර්ත කිරීමටයි. සිතන්න මේ ආණ්ඩුවේ සිටින එකම අයකුගේ දරුවෙක් රාජ්‍ය විශ්වවිද්‍යාල තුල ඉගෙනුම ලබනවාද? ඒ ඇයි ? ඔවුන්ගේ දරුවන්ට රාජ්‍ය විශ්ව විද්‍යාල විවෘතයි නේද, ඔවුන් කරන්නේ රටේ ජනතාවගේ මුඅල් වලින් තම දරුවන්ට විදෙස් රටවලට යවා ඉගැන්වීමයි. කිමද මේ කිසිදු අයෙකුගේ දරුවෙකුට රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමේ දක්ෂතාවයක් නොමැති නිසායි. එම නිසා ඔවුන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය තීරණය කරනේ තිබෙන මුදල් ප්‍රමාණය අනුවයි. මර්වින්ලාගේ පුතාලා මම සාමාන්‍ය පෙළවත් සමත් නැතයි පවසන්නේ, එත් මට තිබෙන්නේ ලක්ෂ 400 ක කාරයක් යැයි කියන්නේ ඉතාමත් ආඩම්බරයෙනි. මේවා පිළිබද අප හොදින් සිතා බැලිය යුතුය.
තවත් ඇත. අයිෆා, කාල්ටන් කාර් රේස්, කාල්ටන් රගර් තරග, කවිතා, නායකත්ව පුහුණු, සඳහා විශාල වශයෙන් මුදල් ඇති බව පෙනේ.නමුත් අධ්‍යාපනයේ මුලික අවශ්‍යතා සදහා මුදල් වෙන කරන්නේ නැත. ජනාධිපති උපදේශකයින් සිය ගනනක් සිටින රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සිටින්නේ හරක්ද?
දැන් දැන් ආචාර්ය සටන වටා දහස් ගණනින් ජනතාව එකතු වෙමින් පවතී. තව දුරටත් විසදුම් නොලැබුණහොත් කල යුත්තේ මෙය සියලු දෙනාගේම සටනක් බවට පත් කිරීමයි. ඒ සදහා එක තැනකට ජනයා පෙළ ගැසෙමින් පවතී.
තව කිව යුතුම දෙයක් ඇත. ඒ සරසවියක ලියාපදිංචියවත් නැති ආණ්ඩුවේ කටු කන ඇතැම් සිසුන් යොදාගෙන ‘සිසුන් මෙම සටනට එරෙහියි“ යැයි සමාජයට පැවසීමට නීච උත්සාහයක ආණ්ඩුව නිරත වෙමින් පවතී. ආණ්ඩුවේ කටු කන ශිෂ්‍ය සංවිධාන ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම සිසුන්ද දනී. කියනේ නිදහස් අධ්‍යාපන අයිතිය හා අධ්‍යාපනයේ නිදහස සුරකිමු කියාය. නමුත් අධ්‍යාපනයේ නිදහස, අධ්‍යාපනේ අයිතිය නැති වෙන විට ඒ සම්බන්ධව කටවත් හොල්ලන්නේ නැත.
සියලු සිසු ප්‍රජාව ආචාර්යවරුන් සමග බව සියලු දෙනාම දනී. අපට ඔවුන් සමග විවිද මතවාද තිබෙන්නට පුළුවන. ඔවුන් අපේ ගුරුවරුන්ය. මේ සටනේදී වැහි, කුණාටු නොසලකා අප ඔවුන් සමග සිටින්නේ ඒ නිසාය.
ජයග්‍රහණයේ රිදී රේඛාව දක්වා අප සටන් කල යුතුය. අප කල යුත්තේ එයට ශක්තියක් වීමය. ඒ සදහා අප ආරාධනා කරන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවටය. ඔබට හෘද සාක්ෂියක් ඇතිනම් මේ ව්‍යසනය දෙස තවත් බලා සිටීම ඔබගේ යුතුකමක්ද?
මෙහි බරපතල කම ඇත්තේ ඔබ හමුවේය. මේ සටනේ ඉදිරියෙන්ම සිටින කිසිවෙකුට මෙහි ගැටළුවක් නැත. මෙහි බරපතල අභියෝගය ඇත්තේ සාමාන්‍ය ජනයා මතය. අප සැමදා ව්‍යසන දුර තියා කීවෙමු. ඒවාට එරෙහිව සටන් වැදුනෙමු. තව දුරටත් බොරු බේගල් වරට නොරැවටී සියලු බලවේග සමගින් එක් වන ලෙස අප ඔබට ඇරයුම් කරන්නෙමු. ඒ අප සදහා නොව ඔබගේ දරුවාගේ, ඔබගේ මුණුබුරන්ගේ අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙනි.
බුද්ධික ප්‍රභාෂ් ලියනගේ[Buddika Prabash Liyange]
@VIAKALPA
[Image:VIKALPAfile | විශ්ව විද්‍යාල සිසු උද්ඝෝෂණයක්, කොළඹකොටුව]
‘පුදුමාකාර කඩා වැටීමක් ඇතිවෙනවා’
August 3, 2012 by Karapoththa
Filed under සිංහල, Democracy, Education, Governance, Kandy, Life quips, Puravasi Katha
Z ස්කෝර් අර්බුධය ලංකාවේ දේශපාලකයන්ගේත් එම දේශපාලකයන්ට කත් අදින නිළධාරී පැලන්තියේත් මෙන්ම ආශ්චර්යමත් ලංකාවේ ආණ්ඩුකරණයේත් කදිම ප‍්‍රකාශණයකි. නව ඉසෙඩ් ලකුණු ඉදිරිපත්කිරීම පිළිබදව අධිකරණය විසින්ද නියෝගයක් ලබා දී තිබේ. නමුත් විෂයට අදාල බළධාරීන් පවසන්නේ අධිකරණ තීන්දුවට ගරු කරන නමුත් සිසුන්ට ‘අසාධාරණයක්’ නොකරන බවයි. නමුත් සාධාරණයක් කරන්නේ කෙසේද, කවදාද යැයි කිසිදු ඇමතිවරයෙක් පවසන්නේ නැත. දැන් මෙම ගැටලූව අදාල අමතිවරුන්ට වඩා ඉහළින් සිට ‘ආශ්චර්යමත්’ විසදුම් ඉදිරිපත් කරමින් ඇත්තේ ආඩම්බරකාර තාත්තාගේ පුතාලා ය. නමුත් අහිංසක දෙමාපියන්ගේ දරුවන් තමන්ට වුනු අසාධාරණය පවසා කොළඹට පැමිණ තවමත් උද්ගෝෂණය කර තමන්ට සහනයක් ඉල්ලා සිටියි. තවත් තැනක අව්ව,වැස්ස නොබළා කූඩාරමක් යට උපවාසය කරන සිසුන් පිරිසකි. ත්ත්ත්වය මෙසේ වුවද අර්බුධය දැන් මහපාරේය. එය අසන්නට කෙනෙකු නැති සේයකි. මේ එසේ, ස්කෝර් නිසා අසාධාරණයට ලක් වූ ශිෂ්‍යයෙකු තමන්ට සිදුව ඇති අසාධාරණය ප‍්‍රකාශ කල අයුරුය.
”මම ගමේ පොඩි පාසැලකට ගිහිල්ලා 5 වසර ශිෂ්‍යත්වය සමත් වෙලා මහනුවර ධර්මරාජ විද්‍යාලයට ගියා. පළමුවැනි පාර උසස් පෙළ කරලා දිස්ත‍්‍රික්ක කුසලතාවය 493 වුණා. ඊට පස්සෙ මම ආපහු විභාගය ලිව්වා. ඒ පාර හුඟක් මහන්සි වෙලා පාඩම් කරලා, වෛද්‍ය විද්‍යාලයට තේරෙනවා කියන තත්ත්වයට සූදානම් වුණා. ඒ අනුව විභාගය ලිව්වාට පසුව නුවරින්, දිස්ත‍්‍රික්ක කුසලතාවයට අනුව 74 වෙනියා වුණා. නුවරින් දිස්ත‍්‍රික්ක කුසලතාවයට සහ දීප ව්‍යාප්ත කුසලතාවය මත 78 දෙනෙක් වෛද්‍ය විද්‍යාලයට යන්න හිටියා. ඒ නිසා මම බොහොම බලාපොරොත්තු සහගතව වෛද්‍ය විද්‍යාලයට යන්න පුළුවන් කියන මානසිකත්වයෙන් හිටියා. පසුගිය 22 වෙනිදා නිකුත් වුණ අළුත් ප‍්‍රතිඵලත් එක්ක මගෙ දිස්ත‍්‍රික්ක කුසලතාවය 107 දක්වා පසු බැහැලා තිබුණා. දිස්ත‍්‍රික්කයේ 48 වෙනියා අළුත් ප‍්‍රතිඵලත් එක්ක 85 වෙනියා වුණා. මේ තත්ත්වයේ බරපතල අසාධාරණයක් තියෙනවා. නමුත් පෙර 100 රෑන්ක් එකේ හිටපු අය 47 වෙලා තියෙනවා. ඒ වගේම 110 රෑන්ක් එකේ හිටපු ළමයෙක් 60 ගණන් වලට ඇවිල්ලා තියෙනවා.”
”අපේ අප්පච්චි වෙද මහත්තයෙක්. බොහොම අමාරුවෙන් තමයි අපි ජීවත් වෙන්නෙ. ඉතින් හුඟක් අමාරුවෙන් ඉගෙන ගෙන තමයි මේ තත්ත්වයට ආවෙ. නමුත් මෙහෙම ඇවිල්ලත් නිශ්චිත තැනට යාගන්න බැරිවෙන කොට පුදුමාකාර කඩා වැටීමක් ඇතිවෙනවා. අනික තමයි පෞද්ගලික විශ්ව විද්‍යාලයකට යන්න මට සල්ලි නැහැ. නැත්නම් මම පළමුවැනි පාර විභාගය ලියලා අවසන් වුණ ගමන් පෞද්ගලික විශ්ව විද්‍යාලයකට යනවා. මට පළමුවැනි පාර තිබුණු ප‍්‍රතිඵල වලට පෞද්ගලික විශ්ව විද්‍යාලයකට යන්න පුළුවන් කම තිබුණා. නමුත් මට කොහෙන්ද සල්ලි? මම නිදහස් අධ්‍යාපනය තුළින් ඉගෙන ගෙන මේ තැනට ආවෙ මට සල්ලි නැති නිසානෙ. සල්ලි තිබුණා නම් මම මේ රටේ රැඳිලා ඉගෙන ගන්නෙ නැහැනෙ.”
”මෙතනදි තවත් ගැටළුවක් වෙන්නෙ, වෛද්‍ය විද්‍යාලයට යා යුතු පුද්ගලයො වෛද්‍ය විද්‍යාලයට නොයාමයි, යා නොයුතු පුද්ගලයො වෛද්‍ය විද්‍යාලයට යාමෙනුයි රටට වෙන බලපෑම ගැන පාලකයො හිතලා නැහැ. මට පෞද්ගලිකවම වගේම මේ තත්ත්වය රටේ සංවර්ධනයට, රටේ අනාගතයටත් බලපානවා. මෙතන තියෙන ප‍්‍රශ්නය සරල ප‍්‍රශ්නයක් නෙමෙයි. මේක අපිට විතරක් බලපාන ප‍්‍රශ්නයක් නෙමෙයි. අපි මේ ප‍්‍රශ්නයෙ වින්දිතයො විතරයි. නමුත් මේක රටටම බලපාන දෙයක් මිසක් සරල දෙයක් නෙමෙයි. මේ ඇතිවුණ රික්තය ඊට පසුව යන්නෙ ලෝකයට. ලංකාවේ උපාධිධාරීන්ගෙ ගුණාත්මකභාවය අඩු වෙන්න මේ රික්තය බලපානවා. ඒක නිසා මෙතන බරපතල අවුලක් තියෙනවා. ඒ අවුල ලිහන්න ගන්න තීරණ වලත් මොනවගේ අවුල් ඇති වෙයිද දන්නෙ නැහැ. අපි මෝඩයො නෙමෙයි. මේ වෙන දේවල් හැම දෙයක්ම අපිට හරි පැහැදිලියි.”
ඉසෙඞ් ස්කෝර් ගැටළුවෙන් අසාධාරණයට ලක් වූ ශිෂ්‍යයෙක්
දෙමළ මිනිසාට අවශ්‍ය වෙනම රටක් නම්, ඒක ඉල්ලන්නේ ලංකාවෙන් නෙමෙයි,
June 26, 2012 by Karapoththa
Filed under සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation, Puravasi Katha
Photos by www.reuters.com
හේ, මා වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන සමයෙහි, ප්‍රතිකාර පිණිස පැමිණි රෝගියෙකි. වසර දහතුනක් පමණ වූ දිගු කාලයක් උදරාබාධයකින් පෙළුණු ඔහු තම රෝගයට ප්‍රතිකාර සඳහා නොගිය තැනක් නැත. එක් වෛද්‍යවරයකු නේකාකාරයේ පරීක්ෂණවලට ඔහු බඳුන් කොට, ඔහුට කිසිදු රෝගයක් නොමැති බව සඳහන් කර තිබුණු අතර, තවත් වෛද්‍යවරයකු ඔහු දන්නා බොහෝ ඖෂධ මේ රෝගියා සඳහා අත්හදා බැලීමෙන් අනතුරුව, ‛ඔබට රෝගයක් නැතැයි’ පවසා ඇත. මේ රෝගියා තම රෝග ඉතිහාසය ගැන කතා කරන අතර පැවසූ සමහර දෑ මෙසේය.
“මට ලෙඩක් නැත්නම් ඒ දොස්තර මහත්තයා මට ඒ තරම් බෙහෙත් දුන්නේ මොන එහෙකටද වෙදමහත්තයෝ?’
“එක මහත්තයෙක් කියනවා මට කිසිම ලෙඩක් නැහැ කියලා. ගෙදර ගිහින් හොඳට කාලා බීලා හොඳින් නිදාගන්නලු. ඒ වුණාට මහත්තයෝ මට ඔය දෙකම කරන්න තියෙන අමාරුව දන්නේ මං විතරයි.”
අවසානයේ ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහුට මනෝකායික රෝගයක් ඇතැයි අනුමාන කොට මනෝවෛද්‍යවරයෙකුට යොමු කරන ලදුව, එතැනින් ද ලෙඩක් නැතැයි කියා ආපසු හරවා යවා තිබේ. මා වෙත පැමිණි මේ රෝගියා ගේ සංකීර්ණ තත්ත්වය සළකා බලා, එවකට ප්‍රකටව සිටි ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත ඔහුව යොමු කළෙමි. මෙම ශල්‍ය වෛද්‍යවරයා ඔහු ගේ රෝගය සාමාන්‍ය පරීක්ෂාවන්ගෙන් හඳුනා ගැනීමට අපොහොසත් වූ හෙයින්, ඔහුගේ උදර කුහරය විවෘත කර බැලීමට තීරණය කරන ලදි. විවෘත කළ උදරයේ දැකිය හැකි වූයේ නැවත ආපසු හරවා යවන්නට නොහැකි තරමට අඬු දඬු පතුරා වැඩුණු පිළිකාවකි. එයින් මාස කිහිපයකට පසු මේ රෝගියා ජීවිතක්ෂයට පත් විය.
මට මේ රෝගියා නැවත සිහිවූයේ පසුගියදා අප මිතුරන් පිරිසක් අතර වූ සංවාදයක් මගේ අවධානයට යොමු වූ විටය.
“අපට නැති දෙමළුන්ට ඇති ගැටලු තිබේද?”
මේ ප්‍රශ්නය මැදිකරගෙන පැවති සංවාදයේ දී මගේ මිතුරෝ එය අවුරුදු දහස් ගණනක් පැරණි ඉතිහාසයේ සිට මෑත ඉතිහාසය දක්වා ඇදගෙන ගියහ. වරෙක ජාත්‍යන්තර උදාහරණ ද සහිතව ලෝකයේ ඇති බොහෝ දේශපාලන තත්ත්වයන් හා මතවාදයන් ගැන කෙරෙන පුළුල් සාකච්ඡාවක් බවට පත් කළහ.
මට මේ සංවාදයන්ට මැදිවන දෙමළා වෙනුවට වරින්වර මැවී නොපෙනී යන්නේ, ඉහත මා දැක්වූ පිළිකාවෙන් මිය ගිය රෝගියාය.
දෙමළ මිනිසුන්ට අනෙක් මිනිසුන්ට මෙන්ම නොයෙකුත් ගැටලු තිබේ. සමහර ගැටලු ඔවුන්ටම ආවේණික ඒවා වන්නට පුළුවන. එහෙත් එම ගැටලු ඇතිවන්නේ කුමන හේතු සාදක පදනම් කරගෙනදැයි තීරණය කරන්නේ, ඒවාට මුහුණ දෙන සාමාන්‍ය දෙමළ ජනතාව නොවේ. ඒ තීරණ ගන්නා දේශපාලනඥයෝ ජනතාවගේ ඉහට ඉහළින් සිටිති. හරියට ලෙඩුන් ගැන තීරණ ගන්නා වෛද්‍යවරුන් මෙනි. සාමාන්‍ය මිනිසුන් කරන්නේ තමන්ගේ සංස්කෘතියට වඩා කිට්ටු මතවාදය දරණ දේශපාලනඥයින් ගේ මතය තම කරපිටට ගැනීමයි. සමහර විට මේ මතය කරපිටට ගන්නා ජනතාව දේශපාලකයා අදහස් කරන දෙයින් ඔබ්බට ද යන්නේය.
මා හිතන අන්දමට දෙමළ දේශපාලනඥයින් වෙනම දෙමළ රාජ්‍යයක් පිළිබඳ සංකල්පය ගෙන ආවේ, සැබෑවටම එවැන්නක් අවශ්‍ය නිසා නොවේ. තමන් නියෝජනය කරන දෙමළ ජනතාව පෙළෙන ගැටලු විසඳීමේ උවමනාවක් මධ්‍යම රජයට නොමැති යයි පෙනුණු කල, තමන්ට ඒවා හා කෙලින්ම සම්බන්ධ විය හැකි ප්‍රාදේශීය පාලන ව්‍යුහයක අවශ්‍යතාව ඔවුහු අවධාරණය කළහ. ඒ ගැන මධ්‍යම රජය උනන්දු නොවන විට, එහෙනම් අපට වෙන්නේ වෙනම රටක් ඉල්ලන්නැයි කියා ‛නිකමට’ කියන්නට පටන් ගත් මතය, දෙමළ තරුණයින් විසින් සැබෑවට ගත්තා විය හැකිය. ඉහත කී සංවාදයේ දී මගේ එක් මිතුරෙක්, ‛දෙමළ ජනතාවට ඇති ගැටලුව ඔවුන්ට වෙනම රටක් නැති වීමයි’ කියා පැවසූ විට, මවිසින් මගේ අදහස මෙසේ පළ කළෙමි.
‛දෙමළුන්ට අවශ්‍ය වෙනම රටක් නම්, උන් ඒක ඉල්ලන්නේ ලංකාවෙන් නෙමෙයි, කැනඩාවෙන් ඔන්ටාරියෝවල ස්කාබරෝ පැත්තෙන්. ඒත් මොවුන්ට කැනඩාවේදී වෙනම රටක අවශ්‍යතාවක් දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ ලංකාවේදී. ඒ ඇයි?’ එක් කාලයෙක දෙමළුන් පනහට පනහ ඉල්ලන්නේ යැයි කියූ කතාවකට අපේ සිංහල ඇත්තන් පිළිතුරු දුන්නේ, සියයට විස්සකටත් අඩු දෙමළුන්ට පනහට පනහ ඉල්ලන්න ඇති අයිතිය මොකක්ද? කියායි. පනහට පනහ යන්නෙන් අදහස් වූයේ සම අයිතිවාසිකම් ලැබිය යුතුය යන්නයි. මගේ අදහස නම් සියයට එකකට අඩු සංඛ්‍යාවක් වූ ජනවර්ගයට වුව ‛නොලැබෙන්නේ නම්’ රට වැසියෙකුගේ සම අයිතිවාසිකම් ඉල්ලීමේ අයිතියක් තිබේ. ඕනෑම ජනවර්ගයක මිනිහෙක් තමන්ට තවත් මිනිසෙකු ලෙස සලකන සමාජයක ජීවත් වීමට ලැදියාවක් දක්වයි. එය එසේ නොවන කළ හෝ එය එසේ නොවේයැයි හැඟේ නම් එයට විරුද්ධව තම ප්‍රතිචාරය දක්වයි. එය වෙනස් කිරීමට දත කයි. නැතිනම් එතැනින් ඉවත් වේ. ඒ සමාජයෙන් වෙන් වීමට උත්සාහ දරයි.’
ඉහත කී දෙමළ මිනිසුන්ගේ ගැටලුවට විසඳුම් සොයන ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ගේ ක්‍රියා කලාපය හා මා පළමුව කී මගේ මිතුරන්ගේ සංවාදයේ එතරම් වෙනසක් මට පෙනෙන්නේ නැත.
සමහරු අර පෙර කී ලෙඩාට, ලෙඩක් නැහැ කියන්නා සේ, දෙමළුන්ට එවැනි ගැටලුවක් නැතැයි කියති. අනෙකෙක් ගැටලු නැත්තේ කාටදැයි අසති. තමත් සමහරු ගැටලුවක් ඇති බවත් ඒ ගැටලුවට හැම කෙනෙකුටම එකඟ විය හැකි විසඳුම් සෙවීමට සර්වපාක්ෂික සම්මේලන ආදිය යෝජනා කරති. අවසානයේ මේ ලෙඩේට අවශ්‍ය වන කෝඳුරු තෙල් හත් පට්ටයත් තවත් ටිකත් ඉබේ හිඳෙන තුරු බලා සිටිති.
මේ දේශද්‍රෝහියා හැම විටම හිතුවේ, අදත් සිතන්නේ මෙය සංස්කෘතික ප්‍රශ්නයක් මිස දේශපාලනික ප්‍රශ්නයක් නොවන බවයි. ජනවර්ගයක් එකිනෙකාට ගෞරව කරමින් ජීවත් වන සංස්කෘතියක් ඇතුළත මෙවැනි ගැටලු ඇති වීමට ඇති ඉඩ කඩ ඉතා අඩුය. මා උපන් රටේ මෙවැනි දියුණු වූ සංස්කෘතික පසුබිමක් තවමත් බිහි වී නැත. අපේ නිර්මල සංස්කෘතිය කියා ගෞරවයෙන් බදාගෙන ඉන්නේ, ඉතිහාසය විසින් අපේ කර මත පැටවූ ගෝත්‍රවාදී සංස්කෘතියම බව අප තවමත් තේරුම් ගෙන නැත.
සචින් අරුණෝද් ජයනෙත්ති
රට වලපල්ලට යද්දී එජාපයේ කල්ලි වාදය ඉහලට
February 16, 2012 by Karapoththa
Filed under Colombo, Featured Articles, Features, Puravasi Katha
ජීවන වියදම ඉහළ යාම පිළිබද රට පුරාම විවිධ පාර්ශවයන් විසින් මේ දින වල විරෝධතා ව්‍යාපාර පවත්වනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂය ද විරෝධතාවක් සූදානම් කර ඇති බවට ආරංචි. එක් විරෝධතාවයක් නෙමෙයි කිහිපයක්ම. කොළඹ පැවැත්වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විරෝධතාවයක්. ඒ කියන්නේ ඒ විරෝධතාවයට සහභාගී වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ෂවයේ සමාජිකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් පමණයි. මීට අමතරව කුරුණෑගලත් විරෝධතාවයක් සූදානම් කරලා තියෙනවා. ඒ සජිත් පාර්ෂවයෙන්. එතකොට මේ විරෝධාවයට සහභාගී වෙන්නේ රනිල් විරෝධී සාමාජිකයන් එහෙම නැත්තම් සජිත් පාර්ෂවයේ සාමාජිකයන් සහ ඔවුන්ගේ අධාරකරුවන්. මේ විරෝධතා දෙකම පැවැත්වෙන්නේ එකම දිනයේ, එකම වෙලාවට.
හැම විරෝධතාවයක්ම කොළඹ තියන්නේ නැතුව ප්‍රාදේශීය වශයෙන් විරෝධතාවයන් දක්වන එක හොදයි. නමුත් එක්සත් ජාතික පක්ෂය සියළුම බලවේගයන් ඒකරාශී කරන එක පැත්තකින් තියලා තම තමන්ගේ කල්ලි වාදය ඉස්මතු කර ගන්න උත්සහ කරන බවකුයි පේන්න තියෙන්නේ. කුරුණෑගල ආසන සංවිධායකවරයා සජිත් පාර්ෂවයේ. ඒ නිසා ඔහු සහ ඔහුට හිතැති සමාජිකයන් සහ ආධාර කරුවන්ට කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණයට සහභාගී වෙන්නේ නැහැ. කෙසේ වුවත් වැඩි පිරිසකගේ ආකර්ෂණය ලැබෙන්න කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණයට. ඒ නිසා මම දකින විදියට නම් පිල් බේද අමතක කරලා එයට සහය දෙනවානම් තමයි නුවනැති ක්‍රියාවක් වෙන්නේ. පිල් බෙදෙන්න නැතුව පක්ෂයක් විදිහට ප්‍රාදේශීය වශයෙනුත් උද්ඝෝෂණ සංවිධානය කරන එක හොදයි.
එජාපයේ මේ කල්ලි වාදයෙන් ජය ගන්නේ රනිල් වික්‍රමසිංහවත් සජිත් ප්‍රේමදාසවත් නෙවෙයි. මෙයින් වාසි අත් වෙන්නේ රාජපක්ෂ ආණ්ඩුවට. මේ හැම දෙයින්ම තැලෙන්නේ අහිංසක ජනතාව.
රටේ ප්‍රධාන විපක්ෂය විදියට එක්සත් ජාතික පක්ෂයට සබෑවටම ආණ්ඩුවට බලපෑමක් එල්ල කරන්න අවශ්‍ය නම් කල්ලිවාදය අමතක කරලා හැම දෙනාම ඒකරාශී වෙන්න ඕනේ. මේ වගේ රට උණුසුම් අවස්ථාවක පක්ෂයේ නායකයන් කටයුතු කරන්න ඕනේ ආණ්ඩුවට බලපෑමක් එල්ල කරන්න මිස පක්ෂයෙන් නායකත්වය ගන්න නෙවෙයි කියන එකයි මගේ අදහස. මගේ දේශපාලන මිතුරෙක් දිනක් පැවසුවා දේශපාලනය කරද්දී සමාව දීම අනිවාර්යයි කියලා. ඒ වගේම පක්ෂ ඇතුළෙම පිලි බෙදිලා එකිනෙකා හතුරො විදියට සලකගන්න තාක් කල් හොද නායකත්වයක් ගොඩ නැගෙන්නේ නෑ කියලා. ඔහුගේ අදහස වුණේ ආණ්ඩුවට බලපෑමක් එල්ල කරන්න පුළුවන් අවස්ථාවක විරුද්ධ අදහස් දරන පක්ෂ සාමාජිකයන් මෙල්ල කරන එක නොකළ යුතු බව.
මේ වන විට එජාපයට සිටින දක්ෂ කථිකයෝ සියල්ලක්ම පාහේ ඉන්නෙ සජිත් පිළේ. ඒ වගේම ප්‍රබල සහ පැරණි නායකයෝ ඉන්නේ රනිල් පිළේ. අද තියන තත්ත්වය හැටියට එජාපයේ සජිත් ප්‍රේමදාස පරම්පරාවෙන් පස්සේ කිසිම කෙනෙක්ට ඉදිරියට එන්න අවස්ථාව ලැබිලා නෑ. මේ වන විට එජාපයට තරුණ පෙළක් ඉන්නවද කියන එක ගැටළුවක්.
ආණ්ඩුවේ මන්ත්‍රීවරු එජාපයට එන්න සූදානමින් ඉන්නවා කියලා සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. නමුත් බලය තියෙන අවස්ථාවක කවුද ආණ්ඩුව දාලා එන්නේ. ගණන් සාස්තර වලින් ආණ්ඩු පෙරලන්න බැරි බව අපි හැමෝම දන්නවා. ආණ්ඩුව පෙරලන්න නම් පුළුල් ජනතා ව්‍යාපාරයක් ඕනේ. ඒ ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගෙන්න නම් සෑම ප්‍රජාවක්ම ආමන්ත්‍රණය කරන්න පුළුවන් නායකයන් ඉන්න ඕනේ. මේ නායකත්වය ගොඩ නගන්න එක්සත් ජාතික පක්ෂය සූදානම්ද කියන එකයි පක්ෂයේ සාමාජිකයන් ඇතුළු අපි හැම දෙනාටම තියන ගැටළුව.
මේ රටේ දේශපාලන පක්ෂ කිසි දිනෙක ජනහිතකාමී දේශපාලනයක් කළේ නැහැ කියන එක නැවත නැවත කිව යුතු නෑ. නමුත් ජනතාවාදී නායකයන් කවදා හෝ බිහි වෙයි කියන බලාපොරොත්තුව අත හරින්න හොද නැහැ. ඒ නිසා තමයි මේ විදියට ලියමනක් ලියන්න හිතුණේ.
මැණිකේ
උතුමාණෙනි…..! ඔබ නැති කල….
March 11, 2011 by Karapoththa
Filed under Featured Articles, Features, Kegalle, Puravasi Katha
ඉස්පිරිතාලේ බෙහෙත් නැත්නම් සෞඛ්‍ය ඇමතිට නියෝග කරලා බෙහෙත් ගෙන්නලා කොහොමහරි රෝගී ජනතාව සුවපත්කර ගොඩ දාන්නේ ඔබ ය. රාත්තිරියේ ඉස්පිරිතාලේ ඇරල තියන්ඩ මෛත්‍රිට කලින් හිතලා ඒ ගැන රටට ම කීවේ ඔබ ය.
පහුගිය දොහේ ගංවතුරින් යටවෙච්ච මිනිසුන්ව බේරගන්න අවශ්‍ය සියලුම පියවර ගන්න කියලා අමරෙ ට කිව්වෙත් ඔබ ය. එම විපතින් මිනිසුන් ගලවා ගන්නට ඔබ උග්‍ර අරගලයක යෙදුනු හැටි අපට මතක ය. ඔබ උපදෙස් නොදුන්නා නම් තවමත් හුදී ජනයා නිරාහාරව ගස් උඩ ය. සතුන් ලොවෙත් නැත. යට වුණු තැන්වලට බෝට්ටු යවා බල්ලන් පූසන් මිනිසුන් යනාදීන් බේරාගෙන වියලි සලාකේ දී උන්ව ෂේප් කරන්න උදේ හවා නොබලා මහන්සි වී කටයුතු කළෙත් ඔබ ය. රජයේ චක්කරලේකන උඩ බුදියන් හටපු මීයන් කැරපොත්තන් ආදීන් පන්නා දමා එම චක්කරලේකනවලට ගින්දර තබා විනාශ කර, පන්නපු උන්ට ප්‍රායෝගික පුහුනුවීම්වල යෙදෙන්නැයි උපදෙස් දී ත්‍රිවිද හමුදාව ලවා ගිලෙමින් සිටි ජනයා බේරාගත්තෙත් ඔබයි.
අඩුවකට තිබුණු බිත්තර, පොල් හා කුකුලු මස් ආදිය ඉන්දියාවෙන් ගෙන එන්නට හුදී ජන පහන් සංවේගය උදෙසා ජොනී මාමාට උපදෙස් ලබා දුන්නෙත් ඔබයි. ඉහළ යන බඩුමිල අඩුකරන්නට යැයි සිතා හමුදාව ලවා ලාබෙට එළවලු විකුනන්න ඉහමොල රත්වෙනකම් කල්පනා කෙරුවෙත් ඔබයි. කෝප්රල්ලා සාජන්ලා මේජර්ලා යනාදී බේදයකින් තොරව වැටකොලු, පතෝල, තක්කලි, වට්ටක්කා විකුනන්න සොල්දාදුවන්ව පාරට දාන්න චින්තනමය හමුදා තීන්දුව ගත්තෙත් ඔබයි. රුපියල් 30 ගානේ පොල් දෙන්නට තීරණය කර පෝලිමේ යවා ඒවා ගන්න ජනතාව උනන්දු කළෙත් ඔබයි.
ලෝකේ වටේ හිටපු නාහෙට නාහන ක්‍රීකටර්ස්ලට අරුන් මුන්ට ඒලියන්තා ලවා බෙහෙත්කරලා කොදු අතපය හොඳ කෙරුවෙත් ඔබයි. සනා වාස් අපේ පිලට රිංගවන්න දතකෑවෙත් ඔබයි. සංගා ඇතුළු සිංහ පැටවුන් ලවා කුසලානය කොහොම හරි දිනා ගන්න උන් කුලප්පු කරන්නෙත් ඔබයි.
එකී නොකී මෙකී සියලු සබ්බ සකලමනාවම ඔබගේ උපදෙස් මත, ඔබේ අදහස් මත, ඔබේ සිතැඟියාවට අනුව මේ මිහි මඩල මත සිදුවෙමින් පවතී. මේ මාතෘ භූමිය චින්තන විප්ලවයකට සැරසෙමින් තිබේ. ඒ නිසා දිසාපතිවරු, උප දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, සභාපතිවරු, ඇමති ලේකම්වරු ඇතුළු සියළු රජයේ නිලදරුවන්, ජ්‍යෙෂ්ඨ/කනිෂ්ඨ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ මන්ත්‍රවරු ඇතුළු සියලු ජනහිතකාමී නියෝජිතයින් ඔබ උපදෙස් නොදුන්නොත් කිසිදු වැඩක් කිරීමට පෙළඹෙන්නේ නැත. ඔබගේ ආධිපත්‍ය සතර දිග්බාගයේ පැතිරෙමින් පවතී. ඔබගේ ඒ ගමනට ආශිර්වාද කරන ප්‍රබලම මානව හිතවාදි අවිඥ්ඥානිකයා වන්නේ ලංකාවේ ප්‍රධාන ධාරාවේ යැයි කියා ගන්නා ජනසන්නිවේදන මාධ්‍යයන් ය.
ඒ වාගේම, පීඩාවට පත් වූ අලි, කොටි, වලස්සු, වඳුරෝ, රිලවෝ, බකමූනෝ, හෝතඹයි, මුගටි, කළවැද්දෝ සහ මයිනෝ, ගිරවෝ, සැළලිහිනියෝ ඇතුළු නානාවිධ කුරුලු ප්‍රබේදයන්ගෙන් ද සමන්විත සමස්ත සත්ත්ව හා කුරුලු ගහනයටම බෙහෙත් හේත් කරනු ලබන්නේත්, ඔවුනට ආහාරපාන ආදියෙන් සංග්‍රහ කරන්නේත් ඔබතුමා බව පුවත්පතක ප්‍රවාත්තියක් දැකීමෙන් අද මට පසක් විය.
දිනමිණ, දිවයින, සහ ලක්බිම යනාදී ජතික පුවත්පත් 2011 මාර්තු 10 වැනි දින පළකරන ලද පුවතකින් ඒ බව මට වැටහිනි. එහි වාර්තා වූ ශීර්ෂපාඨ කිහිපයක් මෙසේ දැක්විය හැකිය.
- ජනපති නියමයෙන් රාජාට පෝෂ්‍යජනක ආහාර (ලක්බිම, පි. 3)
- ‛‛මිල්ලන්ගොඩ රාජා’’ ආහාර ගැනීමේ අපහසුවෙන් – ජනපති උපදෙසින් විශේෂ ආහාර (දිනමිණ, පි. 3)
- …..මිල්ලන්ගොඩ රාජා නැමති හස්තියාට වහාම ශක්තිජනක ආහාර ලබාදෙන ලෙස ජනාධිපතිතුමා විසින් කරන ලද නියමයක් අනුව……..(දිවයින, පි. 1)
ඉහත දැක්වෙන ලක්බිම පුවත් සම්පූර්ණයෙන් මෙසේ ය.
මෙම ඇතා ශ්‍රී ලාංකිකයින්ට මිල කළ නොහැකි බව සැබෑ ය. මෙම ඇත් රජු දළදා කරඬුව වැඩමවීමේ භාග්‍ය ලද්දෙකි. ආසියාවේ දිගම දළ ඇතාය. මෙම ප්‍රවෘත්ති තුන පරිශීලනය කිරීමේදී මේ බව උගත හැකිය. එමෙන්ම තවත් වැදගත් තොරතුරු රාශියක්ද මෙම පුවත් අභ්‍යන්තරයේ ගැබ් වී ඇති බව පෙන්වාදෙනු කැමැත්තෙමි.
‛‛ලක්බිම’’ පවසන පරිදි ඇතාට ශක්තිජනක ආහාර ලබා දෙන්නැයි අයිතිකරුවන් කෙලින්ම ජනාධිපතිතුමන් වෙත දන්වා ඇත. ඊට පසුව ජනාධිපති වනජීවී ඇමතිට දන්වා ඇත. ඊට පසු ඇමති මෙම ආහාර පළාත් සභා මන්ත්‍රී ආනන්ද මිල්ලේගොඩට ලබාදී ඇත
.
‛‛දිනමිණ’’ වාර්තාකර ඇති පරිදි මෙම ඇතාව වනජීවී දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂාකර ඒ බව ඔවුන් ජනාධිපතිතුමාට වාර්තාකිරිමෙන් අනතුරුව ජනාධිපතිතුමා නැවත එම දෙපාර්තමේන්තුවට නියෝගකර ඇත්තේ මෙම හස්තියාට දෛනිකව පෝෂණීය ආහාර ලබාදෙන ලෙසයි. මෙම පුවතේම පසුව සඳහන් වෙන්නේ මේ හස්තියා දුර්වල වී ඇති බව සබරගමු පළාත්සභා මන්ත්‍රී ආනන්ද මිල්ලගොඩ මහතා ජනාධිපතිතුමාට ප්‍රකාශ කිරීමෙන් පසු වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් ඇතාගේ තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමාට වාර්තාවක් ඉදිරිපත්කර ඇති බවයි. ඉන් පසුව ජනාධිපතිතුමා මෙම හස්තියාට පෝෂණීය ආහාර ලබාදෙන මෙන් වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත. ඊට පසුව වනජීවී හා ගොවිජනසේවා ඇමති එස්. එම්. චන්ද්‍රසේන මහතා මිල්ලන්ගොඩ ඇති ගාලට පැමිණ ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සොයාබලා ඇත.
මිල්ලන්ගොඩ හස්තියාගේ රෝගාබාධය සහ ඔහුට අවශ්‍ය ප්‍රතිකර්මය පිළිබඳව ජනමාධ්‍ය වාර්තාකරණය පුදුමාකාර විකෘතියකි.
සමස්තයක් ලෙස එම වාර්තාකරණය මෙසේ ය:-
ලක්බිම
ඇතා ලෙඩ වී ඇත—-අයිතිකරුවන් ජනාධිපතිට දන්වයි— ජනාධිපති ඇමතිට දන්වයි — ඇමති කෑම (බෙහෙත්) දෙයි
දිනමිණ
ඇතා ලෙඩ වෙයි—-අයිතිකරු ජනපතිට සැල කරයි—– වනජීවී එකේ වෛද්‍යවරු පරීක්‍ෂාකර ජනාධිපතිට වාර්තාවක් දෙයි—– ජනාධිපතිතුමා ආහාර නියම කර ඒවා ලබාදිමට වනජීවී එකට නියෝග කරයි ——- පසුව ඇමති ඇත්ගාලට විත් ඇතාගේ සෞඛ්‍ය තත්වය පරීක්‍ෂා කරයි
මේ සමස්තයම පට්ට විකෘතියකි. සතෙක් ලෙඩ උණාම උගේ අයිතිකරු හෝ ආදරය කරන හෝ ගරු කරන පුද්ගලයෙක් පළමුව සිදු කළ යුත්තේ පශු වෛද්‍යවරයෙකු මාර්ගයෙන් ඔහුට අවශ්‍ය බෙහෙත් හේත් කිරීමය. ජනාධිපතිතුමා වෛද්‍යවරයෙකු නොවන නිසා ඔහු හමුවීමෙන් ඵලක් නැත. නමුත්, පුවත්පත් වාර්තාවලින් පෙන්වා දෙන්නේ වෛද්‍යවරුන්ගේ වාර්තාවට අනුව පොෂ්‍යදායි ආහාර ඇතාට අවශ්‍ය බව තීරණය කරනු ලබන්නේ සහ නියමකරනු ලබන්නේ ජනපති විසින් බවයි. මේ ඇතා ජාතික වස්තුවක් වන නිසා වනජීවී දෙපාර්තමේන්තුව ලහි ලහියේ ඔහුට බෙහෙත් හේත් කළ යුතුය. ඒ සඳහා පශු වෛද්‍යවරුන් යෙදවිය යුතය. ඔවුන්ගේ අනුමැතියට අනුව දෙපාර්තමේන්තුවේ විය හියදමින් බෙහෙත් ලබාදිය යුතුය. මෙතනට විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලයක් අවශ්‍ය නැත. ජනාධිපතිට කීමවත්, ඇමතිට කීමවත්, නියෝජ්‍ය ඇමතිට කීමවත් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ඇතාට බෙහෙත් කර සුව කිරීම පමණි. තමන්ට රිසි සේ ඇතෙකුට බෙහෙත් කරන්නටවත් නොහැකි නම් ඒ වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඇති ඵලේ කුමක්ද?
මෙහි ඇත්ත කතන්දරය නම් ‛‛මාධ්‍යානුසාරයෙන් ජනතාගතකෙරුණු නාටකයක්’’ ය යන්නයි.
අහෝ උතුමාණෙනි….! ඔබ නැති කල…..!
එච්. ජේ. සම්පත්
කානු අපිට අයති නෑනෙ. අනික ඔය ජරා වතුරෙ ඩෙංගු මදුරුවෝ නෑනෙ. හිහ්… හිහ්… හිහ්…
August 5, 2010 by Karapoththa
Filed under Colombo, Featured Articles, Features, Puravasi Katha
කානු අපිට අයති නෑනෙ. අනික ඔය ජරා වතුරෙ ඩෙංගු මදුරුවෝ නෑනෙ.
හිහ්… හිහ්… හිහ්…
(ඡන්දෙ දීලා ප්‍රාදේශීය සභාවට යවපු මහජන නියෝජිතයෙකු සිනාමුසු මුහුණිනන් පැවසූ
වදනක්)
ප්‍රදේශය රාජගිරිය මාදින්නාගොඩයි. වැහි වතුර බැස යාම සඳහා පාර දෙපස ඉදිකර ඇති කාණු වල කළු පාට, ගඳ ගහන කුණු වතුර පිරිලාය. කාණු වල කොන්ක්‍රීට් කනු කෑලි, සිමෙන්ති පතුරු, ලොකු ගල්, ඇතුළු මෙකී නොකී සියළු දේ හිර වී ඇති බැවින් වතුර ගලා යන්නේ නැත. ඒ කුණු ගොඩටම ඔන්න කියා ප්‍රදේශවාසීහුද පත්තර කොළ, ටිපි ටිප් බෑග්, ඉටි කොළ ආදී අපද්‍රව්‍ය ඒ කාණුවටම ගලා යන පරිදි පාර දෙපස දමා ඇත.
කාණුවේ මදුරුවෝ සූ සූ ගා බිත්තර දමා ඇත. තත්පරයක් දෙකක් කාණුව දෙස බලා සිටියොත්, නලියන මදුරු බිත්තර වලින් වතුර මතුපිට වැසී ඇති අයුරු දැක ගත හැකියි. කෝටුවක් ගෙන වතුර ටිකක් පෑදුවොත් මදුරුවෝ පොකුරු පොකුරු ඉගිලී යනවා පෙනෙයි.
මේ කානු ගලා යන්නේ ප්‍රදේශවාසීන්ගේ ගෙවල තාප්ප ඉදිරියෙනි. කාණුව දකින විට ඇතිවන්නේ අප්පිරියාවකි.
මාදින්නාගොඩ ප්‍රදේශයේ මේ වන විට ඩෙංගු රෝගීන් විශාල පිරිසක් වාර්තා වී ඇත.
ඒ කාණුවට ඉදිරියෙන් මාදින්නාගොඩ ජනතාව ඇතුළු තවත් අවට ප්‍රදේශවල ජනතාව විසින් ඡන්දය දී ප්‍රාදේශීය සභාවට පත් කර යැවූ මහජන නියෝජිතයෙකුගේ නිවස්නය වෙයි.
මෙවැනි අපිරිසුදු පරිසර තත්ත්වයන්ගෙන් මහජන සෞඛ්‍යයට එල්ල වන මරාන්තික තර්ජන ගැන හැඟීමක් ඇති ප්‍රදේශවාසියෙක්, දිනක් කුණු කාණුව ගැන මේ මහජන නියෝජිතයා සමග විස්සෝපයෙන් කතා කරයි.
‛‛ප්‍රාදේශීය සභාවට කියලා මෙ කාණුව ටිකක් සුද්ද කරවන්න බැරිද මහත්තයෝ ..? මේ පැත්තේ දැන් ඩෙංගු රෝගය දරුණුවට පැතිරෙනවනෙ. අනික මේ කාණුව නිසා පළාතම කැත වෙනවා. ගඳත් ගහනවනෙ’’
වැඩේ තියෙන්නෙනෙ අපිට ඕක ගැන මුකුත් කරන්න බෑනේ… ඔය කාණු ප්‍රාදේශිය සභාවට අයිති නෑනෙ.
මේවා එතකොට කොහාටද අයිති මහත්තයෝ ?
අන්දුන්කුන්දුන් වූ අසරණ පුරවැසියා ඇසුවේය.
‛‛ඕවා නාගරික සංවර්ධන අධිකාරියට අයිති. සුද්ද පවිත්‍ර කිරීමේ වගකීම පැවරිලා තියෙන්නෙ එයාලට. අපිටට ඕවා ගැන කිසිම අයිතියක් නෑ. අනික බය වෙන්න දෙයක් නෑ. ඔය වගේ ජරා වතුරෙ ඩෙංගු මදුරුවො හැදෙන්නෙ නෑනෙ. ඩෙංගු මදුරුවා බිත්තර දාන්නෙ පිරිසිදු වතුරෙ.’’
‛‛ඒත් මහත්තයෝ මේ ප්‍රදේශයේ සෞඛ්‍ය ආරක්‍ෂාව, පිරිසිදුකම ගැන ප්‍රාදේශීය සභාවටත් වගකීමක් තියෙනවා නේද ? ’’
‛‛මෙහෙමනේ, දැං ඔන්න පාර කොහේ හරි කැඩිලා වගේ ප්‍රශ්නයක් නං අපේ ප්‍රාදේශීය සභාව බලන්න ඕනෙ. ඒත් මේ කාණු වල වැඩ අපිට අයිතිති නෑ.’’
කෙසේ වෙතත්, මේ කාණුව ගැන මේ අදාළ පුරවැසියා නාගරික සංවර්ධන සභාවටත්, බස්නාහිර පළාත් සභාවටත් දැනුම් දුන්නේය. දින තුනකට පමණ පසු නාගරික සංවර්ධන අධිකාරියේ සේවකයන් පැමිණ කාණුවේ තැන තැන හිර වී තිබූ කොන්ක්‍රීට් කෑලි ආදිය ඉවත් කොට පාදා තිබුණි.
අර මහජන නියෝජිතයාට, මෙතුවක්කාලයක් නාගරික සංවර්ධන අධිකාරියට හෝ, කාණුවල පරම අයිතිය පැවරී ඇති වෙන මොනම ආයතනයකට හෝ මේ ගැන දැනුම් දීමට නොහැකි වූයේ ඇයිද? ‛අපිට අයිති නෑ’ කියන ඉතා ලේසි උත්තරය දෙනු වෙනුවට, ‛අයිති අයට මං මේ ගැන වහාම දන්වන්නම්’ වැනි පිළිතුරක් වත් අර තමන් වගකීමට බැඳී සිටින ප්‍රදේශවාසියාට දෙන්නට තරම් ඔහු මෙය බරපතල ලෙස ගත්තේ නැත.
මොහු අයිති ප්‍රාදේශීය සභාවේ සභාපති තුමා වන ප්‍රසන්න සෝලංගආරච්චි තරුණයාගේ හැඩකාර පින්තූරය යටින්, ‛‛ප්‍රසන්න නගරයක් සඳහා කැප වෙමු’’ යන ලස්සන වැකිය ලියූ පුවරු ගම පුරාම සිටුවා ඇත.
කෙසේ වෙතත්, මට සිතෙන දේ නම්, මෙවැනි සිදුවීම් වලදී වැඩිම පැහැර හැරීම සිදු වන්නේ මහජනතාව අතින් බවයි. තමන්ගේ බදු මුදලින් පඩි කන, වරප්‍රසාද විඳින, තමන් විසින්ම කතිරය ගසා අදාළ ආයතනවලට පත් කර යැවූ නියොජිතයන්, ‛‛මොන ඉටිගෙඩියක් කරන්නේදැයි’’ නොවිමසා, සදාකාලික උකටලීභාවයේ ගිලී හිඳ ඊළඟ ඡන්දෙදිත් ඒ අයටම කතිරෙ ගසා සැනසෙන මහජනතාව සිටින රටක, මෙවැනි මහජන නියෝජිතයන් මිස වෙන කවර පිරිසක් බිහිවනු ඇතිද?
ප. ලි
මදුරු අතුරු කතාවක්
අංගොඩ, දෙල්ගහවත්තේ පදිංචිව සිටි අවුරුදු 11 ක් වයසැති දරුවෙකු 2009 වසරේ දෙසැම්බර් මාසයේදී ඩෙංගු රක්තපාත රෝගයෙන් මිය ගියේය. ඒ මරණය සිදු වී දින දෙකකට පසු මෙතෙක් කිසිදා මූණවත් පෙන්නා නොතිබූ පී එච් අයි මහත්තයා ප්‍රදේශයේ කරක් ගසමින් පිරිසිදු කම ගැන ප්‍රදේශවාසීන්ට අවවාද දෙමින් ඇවිද්දේය. ඔහු පැමිණියේ මදුරු දුම විදින සේවකයෙකුත් සමඟය. ඔහු වතුවලට දුම ගැසුවේය. එදායින් එදා, පී එච් අයි මහතා වත්, මදුරු දුම් ගසන සේවකයාවත් ප්‍රදේශවාසීන් ඇහැට දැක්කේ නැත. අර දරුවාගේ අවමඟුලට පසු සියල්ල යළි තිබූ පරිදි නිදි ගත්තේය.
මේ සිද්ධියෙන් සතියකට පමණ පසු අයි ඩී එච් උණ රෝහල ඉදිරිපිට ඇති පී එච් අයි මහතාගේ කාර්යාලයට ගිය පුරවැසියෙක්, මේ මදුරු දුම් ගහන එක අඩුගානේ මාසෙකට වතාවක් වත් කරන්න බැරිදැයි ආයාචනාත්මකව විමසා සිටියේය.
‛‛දුම ගහන එක කරන්නෙ ඒ පළාතේ මරණයක් වුණොත් විතරයි. මේ දුම ගහන එක හුඟක් වියදම් යන වැඩක්. අනිත් එක දුම ගහන මැෂින් එක වැඩ කරවන්න පෙට්‍රල් ඕනෙ. අපිට පෙට්‍රල් ගන්න ප්‍රතිපාදන ලබා දීලා නෑ. පෙට්‍රල් ගහන සල්ලි අපි ප්‍රාදේශීය සභාවෙන් කලින් ක්ලේම් කරන්න ඕනෙ. ඉතිං ඔයාලා හිතන තරං ලේසියෙන් මේවා කරන්න බෑ. මදුරුවො පාලනය කරගන්න එක මහජනතාවගේ වැඩක් ’’
අර පුරවැසියා අන්දමන්දව පීඑච්අයි මහතාට සමු දී එතැනින් පිටව ආවේය. මදුරු දුමත්, දුම් ගහන මැෂිමත් බාරව සිටින්නේ පී එච් අයි මහතාය. ඒත් පෙට්‍රල් ලබා දෙන්නේ ප්‍රාදේශීය සභාවෙනි. මේ මදුරුවෝත්, උන්ගෙන් හැදෙන ලෙඩත් අයිති මහජනතාවටය.
සෞඛ්‍ය ඇමති තුමා විසින් ප්‍රකාශිත ඩෙංගු මාසය නිමිත්තෙනි
‛නක’ විසිනි
මෙවර නම් ඔබ එවන ශෝක පණිවුඩ භාර ගත නොහැකි බව අපි කනගාටුවෙන් දැනුම් දෙමු….
June 4, 2010 by Karapoththa
Filed under end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi, Puravasi Katha
මෙවර නම් ඔබ එවන ශෝක පණිවුඩ භාර ගත නොහැකි බව අපි කනගාටුවෙන් දැනුම් දෙමු. අප පෙළන වේදනාවෝ ද අප තුළ දැල්වෙන බලාපොරොත්තු ද වත්මනෙහි ඒ දෙවදනට ද අභියෝග කරති.- අපට වෙනුවෙන් කැපකර ඇති සහ අප ප්‍රතික්ෂේප කර දමනු ලැබ ඇති, අපට අවශ්‍ය කරන සහ අපට අවශ්‍ය නොකරන, කවර හේතුවක් නිසා හෝ අපට පිළිගත නොහැකි ඒ දෙවදනට ප්‍රතිරෝධය පායි. මක් නිසා ද, ඒවා (ඔබගේ ශෝක පණිවුඩ) සිදු වී ඇති දෙයෙහි සිට සිදුවන්නට යන දෙය කරා වන මඟ තරණය නොකරන බැවිනි.
ශෝක පණිවුඩ යන දෙවදන සිත ආකුල කරන සෙයක් අපට දැනේ. අතීතය සහ අනාගතය නියෝජනය කරන්නට ඒවා නො සෑහෙයි.
දිවා කල අපි අපගේ නිවෙස් අතහැර පලා ගියෙමු; රෑ කල අපි අපගේ නිවෙස්වලින් අතුරුදන් වුණෙමු; අපි අපගේ පවුල්වලින් දුරස්ව යුද අවි කරා ගමන් කළෙමු, ඒ ගොසින් ආපසු ආ හැකි යැයි බලාපොරොත්තු වූයෙමු. අද දින හඳුනා ගතනොහැකි තැන්වල අප සිරුරු මිහිඳන් විය, එබැවින් ධූලි බවට පත්ව අපි දැන් සෑම තැන ම සිටින්නෙමු. මෙතැන මිය ගිය සහ නොනැසී ජීවත් වන අපි ඔබ එවූ ශෝක පණිවුඩ ඔබ ස්වාසනාළය තුළ අවතාරයක් බවට පත්ව බොහෝ කල්ගෙවී ගිය පසුත් අපි මෙහි ජීවත් වන්නෙමු.
කැමැත්තෙන් ද අකැමැත්තෙන් ද අපි වෙනත් අයගේ යුද්ධවලට සම්බන්ධ වුණෙමු; අප ම තෝරා ගත් අපගේ ම මාවත්වල නොව – එසේ වී නම් ඒවා අපට සමීප විය හැකිව තිබිණ – අනුන්ගේ මාවත්වල ඉදිරියට ඇදුණෙමු. අපි නොවැදගත් වීමු; අපි අත්‍යවශ්‍ය වීමු; අපි සතුරෝ වීමු; අපි මිතුරෝ වීමු; අපි වාද විවාද කළෙමු; අපි නොසලකා හැරීමට ලක් වුණෙමු. කුඩා රටක් තුළ ජීවත් වුව ද අපට හැඟුණේ අප ඔබගෙන් බොහෝ දුරස්ව සිටින බවකි. කුඩා ලෝකයක් තුළ ජීවත් වුව ද අපට හැඟුණේ අප ඔබගෙන් බොහෝ දුරස්ව සිටින බවකි. අපි ඔබගේ රටේ ජනයා වීමු, ජනයා නොවීමු.
ඔබ අප සිහිපත් කරනුතුරු පොරොත්තු වන්නට අපට නුපුළුවන් විය.
අපි ඒ වෙනුවෙන් මිය ගියෙමු, නොනැසී ජීවත් වූයෙමු, වඩා අඩුවෙන් ද වඩා වැඩියෙන් පවා ද කැප වුණෙමු. අප අතර සිටි සමහරුන් සන්තකව තිබුණේ සොච්චම් මුදලකි, සොච්චම් ආහාර ප්‍රමාණයකි; එහෙත් අපට දරුවෝ ද සිටියහ. සිය කැමැත්තෙන් ද අකැමැත්තෙන් ද අපට අපගේ දරුවෝ අහිමි වූහ. ඔවුහු අපගේ දෑත්වලින් උදුරා ගනු ලැබුණාහ; ඔවුන් අප ළඟ තබා ගැනීමට අපි සටන් වැදුණෙමු; ඔවුන් ආරක්ෂා කිරීමට අපි ඔවුන් අපගෙන් ඈත් කළෙමු; ඔවුන්ගේ වෙඩි පහරට ඉලක්ක වී ඔවුන්ට පෙර මියැදෙනු ඇතැයි සිතා අප ඔවුන් තුරුළුකර ගත්තෙමු.
අප අතර සිටි සමහරු මියැදුණහ, එහෙත් සමහරු දිවි රැක ගත්හ, එනිසා අප සටන් වැදී ආරක්ෂා කරගැනීමට උත්සාහ කළ දරුවන්ගේ සිත්වලින් පවා මේ පිළිබඳ මතකය ගිළිහී නොයනු ඇත.
ඊට ම ආවේණික ආකාරයකට සිදු වෙමින් තිබුණු යුද්ධයක් වූ මෙම ලේ උරා බීමෙන් මිදී ගැනීමට වේගයෙන් පලායද්දී අප සවන් පත් සිඳී පොළොවෙහි වැටිණ, එනිසා දැන් අපට ඔබගේ ශෝක පණිවුඩවලට සවන් දෙන්නට හැටියක් නැත. පණනළ රැක ගැනීමට, ඔබ දෑස් තුළ ලියැවී තිබුණු දෙය නොදකින්නට අප දෑස් වසා ගන්නට අපට සිදු විය. සාගින්නත් කෝපයත් හමුවේ අපි අපගේ මුව වසා ගත්තෙමු; අපි අප ලුහුබැඳ ආ, අප සමඟ එකට පලා ගිය, අප සමඟ මියැදුණු අපගේ පවුල්, මිතුරන්, සගයන් සහ නායකයන් දැන සිටියෙමු, දැන නොසිටියෙමු.
අපි සකලවිධ පාර්ශ්වවලින් ආ අපට ම මුහුණ දුන්නෙමු. අප අතර සිටි සමහරු දිවි රැක ගත්හ. අප තවමත් මෙහි ය. මෙවර නම් ඔබ එවන ශෝක පණිවුඩ භාර ගත නොහැකි බව අපි කනගාටුවෙන් දැනුම් දෙමු.



Repost This Article![[Photo Credit - Keith Bedford for The New York Times]](http://i0.wp.com/www.vikalpa.org/wp-content/uploads/2013/03/Fishing-lanka2_600.jpg?resize=590%2C325)

![ත්රිකුණාමලය නගරශාලාවේ පැවති වැඩසටහනට සහභාගීවීමට පැමිණි අම්මාවරැන්[Photo www.vikalpa.org]](http://i0.wp.com/www.vikalpa.org/wp-content/uploads/2012/12/IMG_0870-590.jpg?resize=590%2C313)






















