විමර්ශනාත්මක වාර්තාකරණයේ සැබෑ වීරයෝ ඔවුහූ ය.

‘‘තොරතුරු සැපයෙන මුලාශ‍්‍ර ආරක්ෂා කිරීම, මාධ්‍ය නිදහසට අත්‍යාවශ්‍ය එක් මූලික කොන්දේසියකි… එවැනි ආරක්ෂණයක් නැති තැන, පොදු කාරණා සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීමට අභ්‍යන්තර මූලාශ‍්‍ර ඉදිරිපත් නොවන්නේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, පුවත්පතක් සතු මුරබල්ලාගේ වැදගත් කාර්ය භාරය අඩාල කැරැවිය හැකි අතර, නිවැරදි සහ විශ්වසනීය තොරතුරු ජනතාවට සැපයීමට අසීරු වන්නේය.’’

[Image Credit: http://campaign2012.rsf.org/]

පත‍්‍ර කලාව වෘත්තියක් නොවේ. එය, ප‍්‍රකාශනයේ නිදහසට ඇති අයිතිය රැකියාව කරගත්, අභ්‍යාසයකි. සෑම ජාත්‍යන්තර සහ කළාපීය මානව හිමිකම් සම්මුතියකින්ම එම අයිතිය තහවුරු කොට ඇත. සංස්කාරකවරුන්ට සහ පුවත්පත් කලාවේදීන්ට එම අයිතිය මූලික වශයෙන් පවරනු ලබන්නේ, සත්‍යය සොයා ගැනීමේ සහ වාර්තා කිරීමේ මහඟු රාජකාරියේ දී ඔවුන් ආරක්ෂා කිරීමට ය. දේශපාලනික මාධ්‍ය වෙද්දු, විවිධ මහජන සම්බන්ධතා කණ්ඩායම්, තර්ජනාත්මක නීතිඥයන් සහ මර්දනකාරී ආණ්ඩු මගින් සැබෑ දත්ත විකෘති කිරීමේ සහ යටපත් කිරීමේ අවකාශය බෙහෙවින් ඇති ලෝකයක එම අයිතිය වඩාත් වැදගත් වෙයි.

Bill Goodwin, a hero who risked jail rather than reveal his sources


බලගතු සමාගම් සහ දේශපාලන පක්ෂවලින් ද, හමුදා සහ රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ගෙන් මෙන්ම නිලධාරී තන්ත‍්‍රයන්ගෙන් ද සත්‍යය උකහා ගැනීම සඳහා, ප‍්‍රවෘත්ති මූලාශ‍්‍ර වශයෙන් සැළකෙන ‘අභ්‍යන්තරිකයන්’ එකී තැන්වල තබා ගැනීමට පත‍්‍ර කලාවේදීන්ට සිදුවන්නේය. රහස්‍ය භාවය ආරක්ෂා කෙරෙතොත්, තමන් දන්නා ඇතුළත තොරතුරු, නිර්නාමිකව හෙළි කිරීමට මේ ‘අභ්‍යන්තරිකයන්’ සූදානම් ය. එකී මූලාශ‍්‍රවල රහස්‍ය භාවය/නිර්නාමිකත්වය ආරක්ෂා කිරීම පත‍්‍ර කලාවේදියාගේ සදාචාරමය වගකීමකි. එක් තරුණ පත‍්‍ර කලාවේදියෙක් – බිල් ගුඞ්වින් – එම අවදානම දැරීම නිසා, යුරෝපීය මානව හිමිකම් අධිකරණය එක්සත් රාජධානියට එරෙහි තීන්දුවකට එළැඹියේය. පුවත්පතක් වෙත රහසින් තොරතුරු සපයන පුද්ගලයෙකුගේ අනන්‍යතාව හෙළි නොකර සිටීමට පුවත්පත් කලාවේදියෙකුට අයිතිය ඇතැ යි එම නඩුවේ දී තීන්දු කෙරුණි. එම තීන්දුවේ මෙසේ සඳහන් විය:

‘‘තොරතුරු සැපයෙන මුලාශ‍්‍ර ආරක්ෂා කිරීම, මාධ්‍ය නිදහසට අත්‍යාවශ්‍ය එක් මූලික කොන්දේසියකි… එවැනි ආරක්ෂණයක් නැති තැන, පොදු කාරණා සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීමට අභ්‍යන්තර මූලාශ‍්‍ර ඉදිරිපත් නොවන්නේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, පුවත්පතක් සතු මුරබල්ලාගේ වැදගත් කාර්ය භාරය අඩාල කැරැවිය හැකි අතර, නිවැරදි සහ විශ්වසනීය තොරතුරු ජනතාවට සැපයීමට අසීරු වන්නේය.’’

මේ නිසා අභ්‍යන්තර මූලාශ‍්‍ර වඩවා ගැනීම, පත‍්‍ර කලාවේදීන්ගේ මෙන්ම ජනතාවගේ පැත්තෙන් ද, අත්‍යාවශ්‍ය සාධකයකි. ස්වකීය වැරදි ක‍්‍රියාකාරකම් රහසක් වශයෙන් තබා ගැනීමට හෝ ඒවා සම්බන්ධයෙන් බොරු ගෙතීමට නිතර පෙළඹෙන බලගතු සමාගම් සහ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවලින්, ප‍්‍රවෘත්ති වටිනාකමක් ඇති සැබෑ තොරතුරු පාදා ගැනීම සඳහා එවැනි අභ්‍යන්තරික මූලාශ‍්‍ර, මූලික මෙවලමක් වශයෙන් ක‍්‍රියා කරයි. එවැනි මූලාශ‍්‍රවල නිර්නාමිකත්වය ආරක්ෂා කරන බවට පොරොන්දු වීමට සහ එම පොරොන්දුව ආරක්ෂා කිරීමට පුවත්පත් කලාවේදියාට හැකියාව නැතොත්, ජනතාව වෙත සැපයෙන ප‍්‍රවෘත්ති ප‍්‍රමාණය අඩු වෙනවා පමණක් නොව, එම ප‍්‍රවෘත්තිවල විශ්වසනීයත්වය ද අඩු වන්නේය.

ගුඞ්වින් නඩුවේ දී දුන් තීන්දුවට ස්තුතිවන්ත වන්නට, අද තොරතුරු මුලාශ‍්‍ර ආරක්ෂා කිරීමේ අවකාශයක්, ඇමරිකාවට වඩා යුරෝපයේ තිබේ. ඔබාමා පරිපාලනය මාධ්‍ය නිදහසට සහාය දක්වන බව මොන තරම් මතුපිටින් පෙන්නුම් කළත්, ඊට පෙර බලයේ සිටි කිසි ආණ්ඩුවක් නොකළ තරමට, රජයේ සේවයේ නියුක්ත සහ හිටපු නිලධාරීන්ට එරෙහිව, රජයේ රහසිගත තොරතුරු පිටට සැපයීමේ චෝදනා උඩ, ඔබාමා පාලනයෙන් නඩු පවරා තිබේ. එසේ වෙතත්, යුරෝපයේ පත‍්‍ර කලාවේදීන් පවා පරිස්සම් විය යුතුව තිබේ. උදාහරණයක් වශයෙන්, කාර්යාල පරිගණකයේ සටහන් කොට ඇති අභ්‍යන්තර මූලාශ‍්‍ර පිළිබඳ තොරතුරු, පුවත්පත් සමාගමේ හිමිකරුවන් විසින් පොලීසියට සපයනු ලැබීමට ඉඩ ඇති බැවිනි.

රූපට් මර්ඩොක් ඇත්තෙන්ම එසේ කෙළේය. ඔහුගේ සමාගමේ උවමනා එපාකම් සැලකිල්ලට ගනිමින් ඔහු තම සමාගමේ ටැබ්ලොයිඞ් පුවත්පත්වලට අදාළ සියලූ පරිගණක වාර්තා පොලීසියට පැවරීමට බලය පැවරුවේය. එයින් සිදුවුණේ, සමාජයේ පොදු යහපත උදෙසා ඔහුගේ පුවත්පත් කලාවේදීන්, හමුදාව සහ පොලීසිය තුළ රැකගෙන සිටි බොහෝ අභ්‍යන්තර මූලාශ‍්‍රවලට එරෙහිව නඩු පැවරීමට බලධාරීන්ට හැකි වීමයි. මර්ඩොක්ගේ ඒ ස්වාර්ථකාමී දුෂ්ට හැසිරීම නිසා සිදුවුණේ, තමන්ගේ අභ්‍යන්තරික මූලාශ‍්‍ර ආරක්ෂා කිරීමට පුවත්පත් කලාවේදීන් වෙත පැවරී තිබූ සදාචාරමය රාජකාරිය ඔවුන් අතින් උල්ලංඝණය වීමකි. කෙසේ වෙතත්, මේ කියන රාජකාරියත් පරම තත්වයක් නොවන බවත් මේ සිද්ධියෙක් මතක් කර දුන්නේය. මේ කියන රාජකාරිය පැහැර හැරීමට අයිතියක්, සංස්කාරකවරුන්ට සහ පුවත්පත් කලාවේදීන්ට සැපයෙන අවස්ථාවන් ද තිබේ. උදාහරණයක් වශයෙන්, යම් මූලාශ‍්‍රයක් ව්‍යාජ තොරතුරු සපයා ඇති අවස්ථාවක හෝ තමන්ට රහස් ලාභයක් ලබා ගනිමින් යම් තොරතුරක් ප‍්‍රකාශයට පත්කිරීමට යොමු වී ඇති අවස්ථාවක හෝ මේ කියන වගකීම ආරක්ෂා කිරීමට පත‍්‍රකලාවේදියා බැඳී නැත. බරපතල අපරාධයක් පිළිබඳ චූදිතයෙකු වී සිටින කෙනෙකුගේ වරදකාරීත්වය හෝ නිර්දෝෂී භාවය සනාථ කිරීම සඳහා යම් මූලාශ‍්‍රයක් හෙළි කිරීමට සිදුවෙතොත් එය කළ යුතුය.

එසේම, මේ මූලාශ‍්‍රවලට ගෙවිය යුත්තේ ඔවුන්ගේ වියපැහැදම්වලට අවශ්‍ය නාමික මුදලක් පමණි. කෙසේ වෙතත්, ඉතා වැදගත් ප‍්‍රවෘත්ති වටිනාකමක් ඇති තොරතුරක් ලබා ගැනීම සඳහා, මහජන සුභසිද්ධිය සළසන සේවාවක් වශයෙන් සළකා, ඊට වැඩි මුදලක් වුවත් ගෙවිය හැකිය.

සමහර මූලාශ‍්‍ර ස්වේච්ඡාවෙන් හෙළිදරව් වෙත්. ‘විකිලීක්ස්’ හෙළිදරව්වට සම්බන්ධ බ‍්‍රැඞ්ලි මෑනිං එවැන්නෙකි. එහෙත්, විමර්ශනාත්මක පුවත්පත් කලාවේ ඉතා වැදගත් හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් තමන්ගේ අනන්‍යතාව හෙළි වුවහොත් තමන් අවදානමට ලක්වෙතැ යි බිය වෙන බොහෝ දෙනා සිටිති. සමහර අවස්ථාවල ඔවුන්ට සිය රැකියා අහිමි වෙයි. තවත් සමහරුන්ට හිරේ යන්නට සිද්ධ වෙයි. තවත් අවස්ථාවක මරණයට පත්වීමට පවා සිදුවෙයි.

විමර්ශනාත්මක වාර්තාකරණයේ සැබෑ වීරයෝ ඔවුහූ ය. ඔවුන්ව පාවා දිය යුතු නැත.

රාජනීතිඥ ජෙෆ්රි රොබට්සන් | Geoffrey Robertson

__________________________________________________________________________________________
2013 අපේ‍්‍රල් 30 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Protect the Sources ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

සමූහ මිනී වළවල්: අපේ හැදියාව පෙන්වීමට නම්, මේ පුරුද්ද නතර කළ යුතුය


අප දන්නා පරිදි, පිළිගත් ක‍්‍රම දෙකකට ‘කියැවීම’ කෙරේ. එකක් වන්නේ, සාමාන්‍ය ක‍්‍රමයට, යම් වාක්‍යයක් පේළිය දිගේ කියැවීම යි. අනික වන්නේ, පේළි ‘අතරින්’ කියැවීම යි. නිල වාර්තා සහ ප‍්‍රකාශන මෙන්ම, සමකාලීන ශ‍්‍රී ලාංකීය බොහෝ ජනමාධ්‍ය ලියවිලි, දෙවැනුව කී ක‍්‍රමයට කියැවීම බොහෝ විට ප‍්‍රයෝජනවත් ය.

සාමාන්‍ය වශයෙන් නම්, පුරාවිද්‍යාඥයන්ගේ වාර්තා පේළි අතරින් කියැවීමක් අවශ්‍ය නොකරයි. අනුමාන අභ්‍යාසයක් වශයෙන් හැඳින්වෙන පුරාවිද්‍යාව, උගත් අනුමාන අභ්‍යාසයක් වශයෙන් හැඳින්වීම වඩාත් උචිත ය. මන්ද යත්, උගත් පුද්ගලයෙකුගේ අනුමානය, නූගත් පුද්ගලයෙකුගේ අනුමානයට වඩා සැබෑ දත්තවලට සමීප විය යුතු බැවිනි. (එසේ නොවන අවස්ථා නැතුවා නොවේ: නිවාඩුවට ලංකාවට එන, ආචාර්ය උපාධියක් සහිත උගතෙකු කාලගුණය ගැන හයහතරක් නොදැන සිටියදී, අපේ ගැමියෙකු හෝ ධීවරයෙකු ඒ ගැන වඩාත් නිවැරදි පුරෝකථන කිරීම උදාහරණයකි. එහෙත් මේවා ව්‍යතිරේක මිස හැම අවස්ථාවකම පවතින තත්ත්වයන් නොවේ.)

මේ බුද්ධිමය අනුමාන අභ්‍යාසයේ දී, විද්‍යාව සහ දියුණු තාක්ෂණය මෙන්ම, චිරාත් කාලයක් ප‍්‍රගුණ කළ නිගාමි තර්කනය* වැනි මනෝ විද්‍යාත්මක ක‍්‍රමවේදයන්, පුරාවිද්‍යාඥයන්ගේ සහායට සිටී. ඒ අර්ථයෙන් ගත් විට, රහස් පරීක්ෂකවරුන්, ව්‍යාධිවේදීන්, ශල්‍ය වෛද්‍යවරුන් සහ ඉතිහාසඥයන් වැන්නන්ට පුරාවිද්‍යාඥයා සමාන වෙයි. (යම් ‘කොස්සක්’ ඇති බව ඉවෙන් මෙන් දැනගන්නා භාර්යාව/සැමියා ද ඊට ඇතුළත් කළ හැක). පේශීය පටක විවෘත කිරීමක් වේවා, මිනී වළක් හෝ කෙනෙකුගේ අතීතයක් හෑරීම වේවා, ඒ මිනී වළට දැම්මේ කුමක් ද සහ කවුරුන් ද යන්නත්, එය සිදුවුණේ කවදා ද සහ මන්ද යන්නත් නිරාවරණය කර ගැනීමට කෙනෙකුට නිසි විධික‍්‍රමයක්, විශ්වසනීය තාක්ෂණයක් මෙන්ම, තාර්කිකව සිතීමේ හැකියාව ඇති (යම් වාසනාවක් ද සහිත) විමසිලිමත් මනසක් තිබිය යුතුය.

ඉපැරණි මොහෙන්ජදාරෝ සහ හරප්පා ශිෂ්ඨාචාරවල* තොරතුරු පාදා ගැනීමට මූලිකත්වය ගත් මෝර්ටිමෙර් වීලර් සාමිවරයාට හෝ ඊජිප්තු ශිෂ්ඨාචාරය ගවේෂණය කළ හෝවර්ඞ් කාටර් වැන්නන්ට නොතිබුණු තාක්ෂණයක් නූතන පුරාවිද්‍යාඥයාගේ සහායට තිබේ. පුරාවිද්‍යාඥයාගේ කාර්යය භාරය අතිශය වෙහෙසකර ය. එසේම, විටෙක අවදානම් සහිත ය. ඒ නිසාම, ඉන් ලබන අවසාන ප‍්‍රතිඵල ද තදින්ම ආකර්ශණීය විය හැකිය. එසේ වෙතත්, මිනී වළවල් හෑරීමට පැවරෙන අපේ වර්තමාන පුරාවිද්‍යාඥයන්ගේ කර්තව්‍යය නම්, කෙනෙකු තුළ ආශා දනවන්නක් නොවේ.

කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත්-උපාධි ආයතනයේ ආචාර්ය රාජ් සෝමදේව ගිය සතියේ ‘රාවය’ පුවත්පතට ලියූ ලිපියෙන් ඒ බව පෙනේ. හෑරීමක් කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ විද්‍යාත්මක තොරතුරු එම ලිපියේ අන්තර්ගත ය. ඒ නිසා එය කෙනෙකුගේ සිත්ගනී. එහෙත් කෙනෙකුගේ සැබෑ උනන්දුව ඇවිස්සෙන්නේ, එම ලිපියේ පේළි අතරින් ඔහු කියන දේවල් පාදා ගැනීමෙනි. ඒ තතු යටතේ, ලංකාවේ නිල බලධාරීන්ගේ රාජ උදහසට ලක් නොවී විද්වතුන් තමන්ගේ වැඩ කරගෙන ජීවත් විය යුත්තේ කෙසේ ද යන්න හෙවත් යම් සත්‍යයක් නොකියා කියන්නේ කෙසේ ද යන්න, ඔහුගේ එම ලිපිය විශද කරයි.

ටුටෙන්කෙමෙන් සොහොන්ගෙය* ඉහත කී පුරාවිද්‍යාඥ හෝවර්ඞ් කාටර් විසින් සොයාගෙන කැනීම් කළ එකකි. එහෙත්, සමූහ මිනී වළක් හෑරීම වෙනම දෙයකි. ආචාර්ය රාජ් සෝමදේව සිය ලිපිය ආරම්භ කරන්නේම, මාතලේ රෝහල් භූමියේ තිබී හමු වූ සමූහ මිනීවළ තමන් සහ තම කණ්ඩායම විසින් හාරනු ලබන්නේ, අධිකරණ නියෝගයක් නිසා පමණක්ම බව අපට පැවසීමෙනි. භූගත භස්මාවශේෂ (මේ සන්දර්භය තුළ, මිනී ඇටකටු කියනවාට වඩා යෝග්‍ය යෙදුමක්) නුපුහුණු පිරිසක් විසින් හාරනු ලැබ තිබීම නිසා ඒ වන විටමත් ඔහුගේ කර්තව්‍යය දුෂ්කර කෙරී තිබුණි.

එසේ වෙතත්, මේ මිනී වළ, වර්ෂ 1987 ට එපිටින් හෝ 1990 මෙපිටින් පැවතුණු එකක් විය නොහැකි බව, ‘මානව කෘති’ දෙකක් මත පදනම්ව, ඔවුන්ට නිශ්චය කළ හැකි විය. එකක් වන්නේ, 1986 දී නිෂ්පාදිත ප්ලාස්ටික් බෝතලයක කෑල්ලකි. අනික, 1988 දී නිෂ්පාදනය කළ බෙහෙත් කුප්පියකි. (බි‍්‍රතාන්‍ය සමාගම මේ නිෂ්පාදනය 1989 දී නතර කොට ඇත). මේ මිනී වළ මොන කාලයට අයත්දැ යි සිතා ගැනීමට එම කරුණු ඉවහල් විය.

කෙසේ වෙතත්, මාතලේ සමූහ මිනීවළ පිළිබඳ ඒ පුරාවිද්‍යාත්මක කතාව ඊට සම්බන්ධ දේශපාලන තේමාවන්ගෙන් සපුරා වසා ගැනුණි. මනෝවිද්‍යාත්මක නිගාමි තර්ක ක‍්‍රමයක් ගැන මීට පෙර මම සඳහන් කෙළෙමි. එම විධික‍්‍රමය, විද්‍යාවේ දී මෙන්ම, ෂර්ලොක් හොල්ම්ස් සහ හර්කියුල් පුවරොට්ගේ අභිරහස් පරීක්ෂණ කතාවල උපයෝගී කරගැනේ. එමෙන්ම, ආලය වැනි කරුණුවලින් පීඩාවට පත්වූවන් ද, ‘ගැටළුවේ අරටුවටම බැසීම’ සඳහාත් උපයෝගී කර ගැනේ. නිගාමී අනුමිතිය තල දෙකක ක‍්‍රියාත්මක වෙයි. එකක් වන්නේ, න්‍යාය සහ දැනුම මත පදනම් වන තර්කනය යි. අනික වන්නේ, අන්තර්ඥානය හෙවත් සහජ ඥානය යි. විටෙක එය, දෙකට දෙකක් එකතු කිරීම හතර වැනි සරළ නිගමනයකි. එහෙත්, සැබෑ ජීවිතයේ දී සහ අභිරහස් පරීක්ෂණ කතාවල දී, මේ සරළ කාරණය එලිපිටම තිබුණත්, ඇසට නොපෙනීම පුදුමාකාර ය. එය අපට පෙනෙයි. එහෙත් එහි තේරුම අපට නොවැටහෙයි.

මාතලේ සමූහ මිනීවළ ගැන මාධ්‍ය හරහා මට ඇසුණු මුල් අවස්ථාවේම මම දෙකයි දෙක එකට එකතු කරගත්තෙමි. එය අවිද්‍යාත්මක බව මම පිළිගනිමි. එහෙත් එය තාර්කික ය. එම මිනීවළ මොන කාලයේ එකක් විය හැකි ද යන අනුමානයට එළැඹෙන්ට පවා, බරපතල විශ්ලේෂණාත්මක අධ්‍යයනයකින් තොරව, මට හැකි විය. මේ ඇටකටු, දහස් ගණන් තරුණයන්ගෙන් යම් පිරිසකගේ බවට කිසි සැකයක් නැත. (සියල්ලන්ම නොවිය හැකි වෙතත්) ඔවුන්ගෙන් බොහෝ දෙනා ආණ්ඩුව පෙරැලීමට උත්සාහ කිරීම හේතුවෙන්, රහසේ පවත්වාගෙන ගිය හමුදා සහ වෙනත් කල්ලිවල බිහිසුණු වධකාගාරවල මියගිය අයවළුන් බවට සැකයක් නැත.

ඇටකටු අතරේ යකඩ ඇණ තිබී හමු වූ බව විශ්ව විද්‍යාල ආචාර්යවරයා කියයි. (මෙය ලෝකඩ යුගයේ භූමදාන චාරිත‍්‍රයක් විය හැකි යැයි අනුමාන කිරීමට කැමැති අයෙකු වෙතොත්, එකල යකඩ තිබුණේ නැති බව මතක් කරගත යුතුව තිබේ.) මෙවැනි සිද්ධියක් වටහා ගැනීම සඳහා රටේ බදු ගෙවන්නන්ගේ මුදල් නාස්ති කරමින් කාබන්-14 පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවක් ඇත්තේ නැත. එකල අල්ලාගත්තවුන්ට ඇණ ගසා වධ දී මරා දැමුණු බව ලෝකයා දනිති.

මේ ගැන සොයා බැලීම සඳහා දැන් ජනාධිපති කොමිසමක් ගැන යෝජනා වී තිබේ. අවසානය කොයි වගේ වෙයි දැ යි ඒකෙන්ම හිතාගත හැකිය. බලයට පත් හැම ආණ්ඩුවක්ම අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බරපතල ආකාරයෙන් විනාශ කිරීමට කටයුතු කොට ඇත. ජනතා විමුක්ති පෙරමුණ/දේශවිමුක්ති ජනතා ව්‍යාපාරය උත්සාහ කෙළේ ද එයමයි. මේ මිනී වළේ ගොඩගැසුණු ඇතැමෙකු බරපතල සාපරාධී ක‍්‍රියාවන්හි නිරත වූවන් වන්නට ද පිළිවන. එහෙත්, අධිකරණය හරහා ක‍්‍රියාත්මක කෙරෙන නීතිය අපට වඩාත් අවශ්‍ය කරන්නේ එවැනි මොහෙතක ය. එය, වධකාගාරයක කළ යුත්තක් නොවේ.

මානසික සමබරතාව නැති, පරපීඩාකාමී පුද්ගලයන් අතට, ත‍්‍රස්තවාදය මැඩලීම සඳහා වන අවසර පතක් පැවරුණු විට, අප කිසිවෙකු ආරක්ෂිත නැත. ත‍්‍රස්තවාදයට ගෑවිලාවත් නැති කෙනෙකු පවා එහි දී බිල්ලක් විය හැකිය. මෙහි දී රිචඞ් ද සොයිසා නිතැතින් මතකයට එයි. මාතලේ සමූහ මිනී වළේ අයවළුන් මෙන් ඔහු නිර්නාමික නැත. ඔහුව ඝාතනය කෙරුණේ, මානව හිමිකම් ක‍්‍රියාධරයෙකු වීම නිසා ය. එහෙත් ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියාධරයෙකු විණැ යි යන ජනප‍්‍රිය හේතුවාචකය ඔහුගේ ඝාතනය යුක්ති සහගත කිරීමට පාවිච්චි කෙරුණි. වෙනත් ඕනෑම කෙනෙකුට මෙන් ඔහුට ද එදා ජනතා විමුක්ති පෙරමුණේ මිතුරන් සිටියේය. එය ඔහුව ත‍්‍රස්තවාදියෙකු නොකරනවා පමණක් නොව, අද සුඛෝපභෝගී රාත‍්‍රී ආපනශාලා ඇති කොළඹ දිසාවේ මුහුදු තීරයක වධ දී මරා දැමීමට එය මොන විදිහකින්වත් හේතුවක් නොවන්නේය.

වෙනත් අයගේ අයිතිවාසිකම් ගැන (ඔවුන්ගේ ලෝක දැක්ම සහ දේශපාලන එල්ලයන් සමග මගේ ඇයිහොඳයියක් නැතත්, මගේ ද වන අයිතිවාසිකම් ගැන) කතා කිරීම නිසා අනාගතේ දවසක කාගේ හෝ සමූහ මිනී වළක මගේ අවසානය දකින්නට මට අවශ්‍ය නැත. එවැන්නක ශක්‍යතාව දැක ගැනීමට ඩෙල්ෆි දෙවඟන* විය යුතු ද නැත. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා’ බිහිසුණු අපරාධ කරන අයවළුන්ට අනතුරු ඇඟවීමක් වශයෙන් යම් ආකාරයක නඩු විභාගයක් සහ නිවාරකයක් අවශ්‍ය කරන්නේ එබැවිනි. අවාසනාවකට, එවැන්නක සළකුණක් අදවත්, හෙටවත් පෙනෙන්ට නැත. මේ මාදිලිය අප ඉවසා පිළිගෙන සිටින තාක් කල්, ශිෂ්ට සම්පන්න රටක් වශයෙන් හඳුන්වා ගැනීමට අයිතියක් අපට නොලැබෙයි.

හැම පරම්පරාවකම වෙසෙන දහස් ගණනක් අසාධාරණ පාලකයන්ට එරෙහිව කැරලි ගසති. එවිට රටේ නීතිය ආරක්ෂා කිරීම අයාලේ යන ඝාතක කල්ලිවලට පවරා, එවැනි කැරලි තිරිසන් ආකාරයෙන් මැඩපැවැත්වෙයි. මේ සමූහ මිනී වළවල් හමුවන්නේ මාතලෙන් ද, කොක්කඩිචොලෙයි පළාතෙන් ද යන්න ද්විතීයිකයි. අවශ්‍ය කරන්නේ, ශිෂ්ට සම්පන්න රටක් වීමට නම්, මේ පුරුද්ද අවසානයක් කිරීමයි. අපේ ළඟම අසල්වාසීන් වන ඉන්දියාව සහ පාකිස්ථානය ඒ අතින් අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටී. ඉන්දියාව එසේ කෙළේ, බෙදුම්වාදී ව්‍යාපාර තුනකට සහ ඉස්ලාම් ත‍්‍රස්තවාදයටත් මුහුණදෙන ගමන් ය. පකිස්තානය සම්බන්ධයෙන් ගත් විට, එම රට ආරම්භයේ සිට මේ දක්වා ගත වූ කාලයෙන් අඩකට වැඩි කොටසක් හමුදා පාලනයන් යටතේත් පැවතුණු තතු යටතේ ය.

පරිවර්තනයේ පැහැදිළි කිරීම්:

* නිගාමි තර්කණය- උදාහරණයක් වශයෙන් මෙසේ තර්ක කිරීම ගත හැකිය: (1) සියළු මිනිසුන් මැරෙනසුළු ය. (2) ඇරිස්ටෝටල් මිනිසෙකි. (3) ඒ නිසා ඇරිස්ටෝටල් මැරෙනසුළු ය.

* මොහෙන්ජදාරෝ සහ හරප්පා ශිෂ්ඨාචාර- ක‍්‍රිස්තු වහන්සේගේ උත්පත්තියට වසර 2600 කටත් වැඩි කාලයකට පෙර පැවති දියුණු මානව ශිෂ්ඨාචාරයක නටබුන් මේ ස්ථානවලින් සොයාගන්නා ලදි. මේවා පිහිටා ඇත්තේ වර්තමාන පාකිස්ථානයේ ය.

* ටුටෙන්කෙමන්-
අවුරුදු 3000 කට වැඩි කාලයක් තිස්සේ වෙනසකට භාජනය නොවී සැඟව තිබූ ඊජිප්තු රජ කෙනෙකුගේ සොහොන්ගෙය.

* ඩෙල්ෆි දෙවඟන-
ඈත අතීතයේ විසුවේ යැයි විශ්වාස කරන, පේන කියන දෙවඟනකි.

Image Credit: dbsjeyaraj.com
__________________________________________________________________________________________

2013 අපේ‍්‍රල් 22 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ Mass Graves: The Pattern must stop if we are to call ourselves civilized නමින් පළවූ ‘කුම්භකර්ණ’ තීරු ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

නියුරම්බර්ග් නුවර සිට කොළඹ දක්වා හඹා එන යුධ අපරාධ චෝදනා

ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සැසිය තුළ ශී‍්‍ර ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙන එන ලද යෝජනාවක්, අසල්වැසි ඉන්දියාවේ ද සහාය ඇතිව සම්මත වී තිබේ. මෙකී යෝජනාවේ මුහුණත තුළ කුමක් සඳහන් වී තිබුණ ද, එහි හරය ඉඟි කරන්නේ, ශී‍්‍ර ලංකාවේ පැවති සිවිල් යුද්ධය අවසන් වීමේ දී හා ඊට පෙරාතුව ශී‍්‍ර ලංකාවේ සන්නද්ධ හමුදා අතින් සිදුවී ඇතැයි කියනු ලබන මානව හිමිකම් උල්ලංඝනයන් හා / හෝ යුධ අපරාධ සම්බන්ධයෙන් පාරදෘශ්‍ය වන්නා වූ විභාග කරලීමේ කි‍්‍රයාවලියක් හඳුන්වා දීමයි. එසේම මෙකී කරුණ අරබයා ශී‍්‍ර ලංකාව විසින් හඳුන්වා දුන් උගත් පාඩම් කොමිශම් වාර්තාවේ නිර්දේශ ප‍්‍රමාණවත් නොවන බව හෝ ප‍්‍රමාණවත් නම් දේශීය යුක්තිය පසඳලීමේ කි‍්‍රයාවලියක් අරඹන ලෙසට ද, මෙම යෝජනාව ඉඟි කරනු ලබයි. එය එසේ නොවන්නේ නම් ජාත්‍යන්තර යුක්තිය පසඳලීමේ කි‍්‍රයාවලියක් ආරම්භ කිරීම සඳහා තමන් යොමු වන බවටත්, ඒ සඳහා මූලික පියවර ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ විවිධ නිලධාරීන්ට, රටේ පවතින කි‍්‍රයාවලිය හා තත්ත්වය පිළිබඳව නිරීක්‍ෂණ කි‍්‍රයාවලියක් ආරම්භ කිරීමට මෙම යෝජනා ඉඟි කරයි.

රටක පාලකයන් වශයෙන් ගත් කළ මෙය බෙහෙවින් අප‍්‍රසන්න කි‍්‍රයාවලියක් බව නොරහසකි. එසේම එකී කි‍්‍රයාවලියෙහි ප‍්‍රතිඵලයක් ලෙස රටේ පුළුල් ජනතාවට අප‍්‍රසන්න හා අමිහිරි අත්දැකීමක් ඇති කරනු නියතය. මෙවැනි කරුණක් අරබයා අපට පවතින ආසන්නතම අත්දැකීම වූයේ යුරෝපියානු සංගමයේ ඨීඡු තීරු බදු සහනය අරබයා රටේ පාලකයන් අනුගමනය කරනු ලැබු අමනෝඥ ආවේගශීලී සහ හිතුවක්කාරී පිළිවතයි. ඒ හරහා අපට එකී තීරු බදු සහනය අහිමි කරනු ලැබුයේය. ඒ නිසාම මේ වනවිට අපට විවිධ වූ ආර්ථික හා සමාජීය අසනහනකාරී තත්ත්වයන් ඇති කරලමින් තිබේ. මේ වනවිට යුරෝපීය වෙළඳපල පදනම් කොට ගත් දේශීය ඇඟලූම් කර්මාන්ත රාශියකට, සිය තරඟකාරීත්වය එසේ තීරු බදු සහන ලැබෙන බංගලාදේශය, කාම්බෝජය, වියට්නාමය වැනි රටවල් සමග පවත්වා ගැනීමට නොහැකි වීම නිසා, ඒවා වසා දැමීමට සිදුවී තිබේ. ඒ නිසාම රට තුළ රැුකියා අවස්තා නැතිවීම මෙන්ම, අපනයන ආදායම අඩුවීම නිසා වෙළඳ ශේෂයේ පළල් වීමත්, ඒ නිසා ඊට අනුපාතිකව ඩොලරය ඉහළ ගොස් රටේ ආනයන වියදම් වැඩිවන තත්ත්වයක් ඇතිවී තිබේ. එහි සෘජු ප‍්‍රතිඵලය වී ඇත්තේ අපගේ ජීවන වියදම සීඝ‍්‍රයෙන් ඉහළට ගමන් කිරීමයි. සාපේක්‍ෂව බලන කළ ඨීඡු සහන නැතිවීමට වඩා ඇමරිකානු – ඉන්දියානු ජිනීවා යෝජනා වලට එරෙහි වීම හේතු කොට ගෙන ඇති විය හැකි තත්ත්වය බරපතල බව බොහෝ ජාත්‍යන්තර කටයුතු විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

ඒ නිසාම ආවේගයෙන් හා අමනවාදී හැඟීමෙන් තොරව මෙකී කි‍්‍රයාවලියට මුහුණ දීමේ වැදගත් කමක් පවතී. මෙකී කි‍්‍රයාවලිය තුළ ඇතිවිය හැකි පළමු අවාසිය වන්නේ රට තුළ වෙසෙන සිංහල – දෙමළ ජනතාවගේ සමාජ සබඳතා නැවත වරක් බරපතල ලෙස පිරිහීමකට ලක් වීමයි. එය එසේ යයි කියන විට යෝජනා කරන්නේ දැනට එකී ජාතීන් අතර ධනාත්මක සබඳතාවයක් පවතින්නේ යයි නොවේ. නමුත් මෙකී කි‍්‍රයාවලිය තුළ එය බරපතල ලෙස හානි වීමේ අවධානමක් පවතී. නමුත් එසේ හානි වෙන්නේ යයිද ඒ නිසාම යුද්ධ සමයේ දී මිය ගිය අහිංසක දෙමළ ජනතාවගේ ජීවිත වලට සාධාරණයක් ඉටු නොවිය යුතු යයි අපට තර්ක කිරීමට ද නොහැකිය. ඒ නිසාවෙන්ම ජාත්‍යන්තර යුධ අපරාධ නීතිය පිළිබඳව අවබෝධයක් මෙන්ම, එකී නීති මූල ධර්ම ලංකාවේ තත්ත්වයනට ගැලපෙන අයුරින් අදාළ කර ගැනීමේ දී, ඊට අදාළව දෙපාර්ශවය අතරම පවතින ආවේගී බව මෙන්ම, එකී කටයුත්ත ජනවාර්ගික කෝණයෙන් ඉවතට ගෙන නීතියේ බලය හා යුක්තිය පසඳලීමේ කෝණයෙන් ගෙන කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කරමු. මේ සඳහා ගත හැකි හොඳම ජාත්‍යන්තර උදාහරණය වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව, එකී යුධ සමයේ සිදුවූ මනුෂ්‍යත්වයට එරෙහිව දියත් කෙරුනු කි‍්‍රයා කලාපයන් සම්බන්ධයෙන්, මිත‍්‍ර ජාතීන් කි‍්‍රයා කළ ආකාරයයි. ඒ සඳහා වූ යුධ අධිකරණ දෙකක් ජර්මනියේ නියුරම්බග් නුවර දී ද, ජපානයේ තෝකියෝ නුවරදී ද පිහිටුවනු ලැබුහ. නියුරම්බර්ග් නුවර දී අධිකරණය ඉදිරියට ඉදිරි පත් කරනු ලැබුයේ ජර්මන් නාසි පක්‍ෂයේ සාමාජිකයන් වූ අතර, තෝකියෝ නුවර අධිකරණයට ඉදිරියට පමුණුවනු ලැබුයේ, ජපන් පාලක පක්‍ෂයයි.

නියුරම්බර්ග් අධිකරණයේ දි නඩු අසා ජර්මන් නාසි පක්‍ෂයේ දෙවැන්නා වූ ගෝරි ඇතුලූ නාසින් විශාල සංඛ්‍යාවකට දඬුවම් පමුණුවන ලැබූහ. එකී අධිකරණයට මුහුන දුන් බොහෝ අයවලූන්ගේ විත්තිවාචකය වූයේ තමන්ට වගකීමක් නොමැති බවත්, තමන්ට හිට්ලර් අණ දුන් නිසා එලසෙ කි‍්‍රයා කළ බවයි. මෙහිදී අනුගමනය කරනු ලැබු නීති ආප්තය වූයේ, හිට්ලර් ඒ සඳහා තමන්ට අණ දුන්නේ හමුදා, අදාල යුධ අපරාධය සිදු කිරීමේ දී, තමන්ගේ හෘද සාක්‍ෂිය වැදගත් වන බවත්, එවැනි මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු කිරීමේ දී, තවත් මානවයකුට එරෙහිව අපරාධයක් කිරීමේ දී, තමන්ගේ හෘද සාක්‍ෂියට එරෙහිව කටයුතු කිරීම, දණ්ඩනයට හේතු වන බවය. යුද අපරාධ සම්බන්ධයෙන්, අදත් භාවිතා වන නියුරම්බර්ග් ප‍්‍රතිපත්තිය ලෙස සැලකෙන්නේ මෙයයි. නමුත් නියුරම්බර්ග් අධිකරණයේ සිට තෝකියෝ අධිකරණය ඉදිරියට යනවිට ෂෂ ලෝක යුද්ධයට මුල් වූ හිරෝහිතෝ අධිරාජ්‍යයා ජීවමානව ඇමරිකානු යුධ හමුදා අඩස්සියේ සිටින ලදි. ඇමරිකානුවන්ට අවශ්‍ය නම්, හිරෝහිතෝ අධිරාජ්‍යා තෝකියෝ යුද අධිකරණය ඉදිරියට පමුණුවා විනිශ්චයට ලක් කිරීමේ හැකියාව තිබුණේය. නමුත් ඇමරිකානු මැක් ආතර් සෙනවියා එසේ දතට – දතක්, ලෙයට ලේ ඉල්ලීමකට වඩා, ජපාන සමාජයේ ස්ථාවරත්වය අපේක්‍ෂා කළේය. ඇමරිකාව සම්බන්ධයෙන් ගත් කළ ඇමරිකානු හමුදාවට බරපතල හානිය සිදු කර තිබුණේ හිරෝහිතෝ අධිරාජ්‍යාගේ අණසක යටතේ කි‍්‍රයා කළ ජපාන හමුදාවයි. නමුත් හිරෝහිතෝ අධිරාජ්‍යා අධිකරණය ඉදිරියට නොපැමිණ වීමට ඇමරිකානුවන් වගබලා ගත්තේය. ඒ වෙනුවට ජපන් යුධ සමයේ ජපාන අගමැති ලෙස කි‍්‍රයා කළ ටෝරජර් ජපානය වෙනුවෙන් වරද පිළි ගත්තේය. එතැන් සිට අලූත් ජපානයක්, ඇමරිකාවේ සහාය ඇතිව පිහිටුවන්නට පශ්චාත් ෂෂ ලෝක යුද්ධයේ ලෝක නායකයන්ට හැකි වූයේය. ශී‍්‍ර ලංකාවට එල්ල වෙන යුධ අපරාධ සම්බන්ධයෙන් මෙවැනි මොඩලයක් ලංකාවට ද අදාළ කර ගත නොහැක්කේ ද යන්න අප හමුවේ පවතින අභියෝගයයි.

@Image: Channel 4′s new documentary on Sri Lanka, Sri Lanka’s Killing Fields: War Crimes Unpunished aired for the first time in the UK last night. Before it is even available on Channel 4′s official web based on-demand service, it’s now up on YouTube.|www.groundviews.org

ශිරාල් ලක්තිලක | Shiral Lakthilaka

මහාවංශය හොල්මන් කිරීම

‘එක කණ්ඩායමක වෛරය වෙනත් අයගේ වෛරයට තුඩුදිය හැකිය’
-අමාර්ත්‍යා සෙන් (‘වාදශීලී ඉන්දියානුවා’ කෘතියෙන්)

ශ‍්‍රී ලංකාවේ මිථ්‍යා ප‍්‍රබන්ධය සහ ඉතිහාසය අතර මායිම් ඉර, භයානක ලෙස අනියතාකාර හැඩයක් ගනී. ලාංකීය දේශපාලනය තුළ ඒ ගොම්මන් ලෝකය රඟපාන භූමිකාව ඉතා තීරණාත්මක ය.

ඉන්දු-ආර්ය කුමාරිකාවක් සිංහයෙකු සමග පැන යාමෙන් ජාතක වූ ජාතියකට තමන් අයත් වෙතැ යි සිංහල පාසල් ළමුන්ට උගන්වනු ලැබේ. ළමුන් මෙය ඉගෙනගන්නේ, කතන්දර පාඩමක් වශයෙන් නොව, ඉතිහාස පාඩමක් වශයෙනි.

මේ සිංහ මිථ්‍යාව එන්නේ, බොහෝ සිංහල-බෞද්ධයන් පූජනීය මෙන්ම ඉතිහාස පොතක් වශයෙන් ද සම්භාවනාවෙන් සළකන මහාවංශයෙනි. සිංහල ජාතියේ ප‍්‍රාරම්භකයා සේ මහාවංශය ඉදිරිපත් කරන්නේ, අර කුමාරිකාව සහ සිංහයාගේ මුනුපුරා වන විජයව යි. මහාවංශයටම අනුව, විජය යනු, ‘සැහැසි චර්යාවක්’ ඇත්තෙකි. ඔහු සහ ඔහුගේ සහචරයන් මොන තරම් ප‍්‍රචණ්ඩ සහ බිහිසුණු අපරාධවල නියැළුණේ ද යත්, විජය සමග ඔවුන් සියල්ලන් පිටුවහල් කිරීමට පිය රජතුමාට සිදුවිය.

ප‍්‍රවාදයේ හැටියට, මෙසේ පිටුවහල් කළ විජය සහ ඔහුගේ සහචර සේනා සිය මුහුදු ගමන අවසානයේ ලංකාවට ගොඩබසින්නේ, බුදුන්වහන්සේ පිරිනිවන්පාන දිනයේමයි. මහාවංශයට අනුව, බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයේ සිට, දෙවියන්ට අධිපති ශක‍්‍රදේවේන්ද්‍රයා අමතා මෙසේ දේශනා කොට ඇත: ‘ලාල දේශයෙහි සිංහබාහු නිරිඳු පුත් විජය, සත් සියයක් අනුගාමිකයන් විසින් පිරිවරන ලදුව ලංකාවට පැමිණියේය. ලංකාවේ මගේ ශාසනය පිහිටන්නේය. එහෙයින් සක්දෙව් රජුනි, පිරිවර සහිත ඔහු ද, ලංකාව ද, මැනවින් ආරක්ෂා කරන්න.’

මේ ආකාරයෙන්, ‘පූජනීය අවකාශයක්’ සඳහා ‘තෝරාගත් ජාතියක’ මිථ්‍යාව මහාවංශයෙන් බිහි විය. මා හඳුන්වන ලංකාවේ ‘සත්කාරක සහ ආගන්තුක’ සංකල්පයේ පදනම වන්නේ මේ මිථ්‍යාවයි. මීට අනුව, ලංකාව හිමිවන්නේ, සිංහල=බෞද්ධයන්ට යි. එහි එකම සහ සැබෑ හිමිකරුවෝ ඔවුහූ ය. හිංසාව ඇතුලූ ඕනෑම ක‍්‍රමයක් භාවිත කොට, මේ ‘ශුද්ධ වූ දායාදය’ ආරක්ෂා කළ යුතු වන්නේය.

ගෞතම බුදුන්ගේ දේශනාවන් තුළ ශුද්ධ වු යුද්ධයක් පිළිබඳ සංකල්පයක් නැත. ධර්මය හෝ එම ධර්මය පිළිපදින්නන් ආරක්ෂා කිරීම සඳහා බලහත්කාරය/හිංසාව පාවිච්චි කිරීමට ඉඩක් ද එය තුළ නැත. සතෙකුගේ ජීවිතය පවා නැති කිරීමට මොනම අවසරයක්වත් නැති ධර්මයක, ‘බුද්ධාගම ආරක්ෂා කිරීම සඳහා’ මිනිසුන් මැරීම යුක්ති සහගත කර ගැනීමට නම්, එම දහමට ප‍්‍රධාන පෙළේ අළුත් පරිච්ෙඡ්දයක් එකතු කළ යුතු වන්නේය. බෞද්ධ දුටුගැමුණු සහ හින්දු එළාර අතර දේශපාලන ආධිපත්‍යය සඳහා කෙරුණු යුද්ධය, ‘සිංහල පුණ්‍ය යුද්ධයක්’ වශයෙන් ගෙනහැර පෑමෙන් මහාවංශ කතුවරයා කෙළේ හරියටම එයයි.

මහාවංශයට අනුව, එළාර යනු, මිනිසුන් සේම දෙවියන්ගේ ද ප‍්‍රශංසාවට පාත‍්‍ර යුක්තිගරුක රජෙකි. ඔහු, යහපත් සහ සාධාරණ පාලකයෙකු මිස, ප‍්‍රචණ්ඩ කොල්ලකාරීත්වයට නැමුණු ආක‍්‍රමණිකයෙකුවත්, රාජකීය පාදයෙන් ජනතාව පාගාගෙන සිටි දුෂ්ට පාලකයෙකුවත් නොවේ. එහෙත් එළාරගේ මේ ප‍්‍රශංසනීය ගති පැවතුම්වල, වැදගත්කමක් හෝ අදාළත්වයක් නැත. මන්ද යත්, ඔහු ‘මිථ්‍යා දෘෂ්ටිකයෙකු’ වූ බැවිනි. එනිසා, සිංහල=බුද්ධාගමත් ඒ සඳහා තෝරාගත් දේශය වන ලංකාවත් පිටස්තර සතුරන්ගෙන් ආරක්ෂා කිරීමේ පූජනීය ව්‍යාපෘතියේ අනිවාර්ය අංගයක් වශයෙන්, ඔහුව පළවා හැරිය යුතුව තිබුණි. ඝාතනය කළ යුතුව තිබුණි.

මහාවංශයේ තාරකාව දුටුගැමුණු ය. ඉන් පසු බලයට පත් සෑම රජෙකුගේම ප‍්‍රමිතිය බිහි කළ, සිංහල=බුද්ධාගමේ වීර=රජු ඔහු ය. මහාවංශයට අනුව දිග හැරෙන ඔහුගේ ජීවිත කතාව තුළ ඇති, ස්වාභාවික සහ අධිතාත්වික, මානව සහ දිව්‍යමය සංසිද්ධීන්හි සංකලනය, නූතන යුගයේ ශ‍්‍රී ලංකාව තුළ පවා සැළකෙන්නේ, සැබෑ ඉතිහාසයක් වශයෙනි. නිර්මල ආකාරයකින් පිළිසිඳගත් බව කියන ඔහුට, දිවයිනේ බෞද්ධ පාලනය ස්ථාපිත කිරීමේ දිව්‍යමය වගකීමක් පැවරී තිබුණු බව කියැවේ. ‘බුද්ධ දායාදය’ පිළිබඳ අභූත කතා වස්තුව මගින් ‘සත්කාරක සහ ආගන්තුක’ සංකල්පයේ දෘෂ්ටිවාදීමය පදනම සැපයෙන අතර, පවතින ‘රෙගුලාසි’ උල්ලංඝණය කරන ‘ආගන්තුකයන්ට’ සැළකිය යුත්තේ කෙසේ ද යන්න දුටුගැමුණු කතා වස්තුවෙන් පෙන්වා දෙයි.

කලල බිළිඳෙකු මෙන් නිදා ඉන්නේ මන්දැ යි මවගේ විමසිල්ලට ගැමුණු කුමරා දෙන පිළිතුර, භූමිය සහ වාසාවකාශය පිළිබඳ ගැටළුව පෙන්වන්නකි: ‘මෑණියනි, ගෙඟන් එතෙර දෙමළු ය. අනික් පසින්, මහ මුහුද ය. කෙසේ නම් මම අත්පා දිග හැර සුවසේ නිදන්නෙම් ද?’

ඒ සමගම, ගැමුණු කුමාරයා පිළිසිඳ සිටියදී විහාර මහා දේවියට ඇති වූ දොළදුක් තුන පිළිබඳ කතාවෙන් සතුරා හඳුනාගැනේ. සිය ස්වාමී වූ රජතුමාට ඉන් එක් දොළදුකක් ඇය දන්වා සිටින්නේ මෙසේය: ‘ලංකාද්වීපයෙහි රමණීය වූ අනුරාධපුරයෙහි එළාර රජුගේ ප‍්‍රධාන යෝධයාගේ ගෙල සිඳ අසිපත සේ¥ වතුර රන් තලියක බහා, එම ප‍්‍රධාන යෝධයාගේ හිස මත සිට පානය කරන්නෙමි..’ මේ ගැන රජතුමා නිමිති කියන්නන් විමසුවේය. ඔවුන් එවිට මෙසේ කීහ: ‘දේවයිනි, ඔබගේ පුතා දමිළයන් නසා, රාජ්‍යය එක්සේසත් කොට, සසුන බබුළුවන්නේය.’

යුද්ධයේ දී තමන්ගේ අතින් මරණයට පත් සතුරන්ගේ ජීවිත ගැන දුටුගැමුණු රජතුමා තුළ ඇති වූ චිත්ත වේදනාව ගැන ඇසූ රහතන් වහන්සේ අට නමක්, රජතුමාගේ හිත සනසමින් කළ දේශනාව, ‘සිංහල/පුණ්‍ය යුද්ධය’ පිළිබඳ සංකල්පයට උදාහරණයකි. ඒ මෙසේය: ‘රජතුමනි, බිය නොවන්න. තිසරණයෙහි සහ පන්සිල්හි පිහිටි කිසිවෙක් මේ ලෝකයේ වෙත් නම් ඔවුහූ මනුෂ්‍යයෝ වෙති. මෙම කර්මයෙන් ඔබගේ ස්වර්ග මාර්ගයට හානියක් ද නොවේ. යුද බිම වන් අක්ෂෞහිණියක් සේනාව අතර ඝාතනය කරන ලද්දේ මිනිස්සු එකහමාරකි. සරණ ශීලයෙහි පිහිටි, එකෙකි. අනෙකා, පන්සිල්හි පිහිටියේය. මිථ්‍යා දෘෂ්ටි ගත් සෙස්සෝ දුශ්ශිලයෝය. තිරිසනුන් හා සමානයෝය..’

සිද්ධාර්ථ ගෞතමගේ බුද්ධාගම, සිංහල=බුද්ධාගම බවට පරිවර්තනය කෙරුණු මොහොත එයයි. එය, මහාවංශය නැමති පොතෙන් බිහි කළ නව ආගමකි. මිථ්‍යා දෘෂ්ටිකයන්ට එරෙහි යුද්ධය, මේ නව ආගම තුළ, පවක් නැති පුණ්‍ය කර්මයක් බවට අර්ථවත් කෙරුණි. එය, කුරුස යුද්ධ සහ ජිහාඞ් යුද්ධවලට සමානව, දිව්‍යමය ප‍්‍රමෝදයට කෙලින්ම ප‍්‍රවිශ්ඨ විය හැකි මාර්ගයක් විය. දුටුගැමුණු ඉහළම දිව්‍ය ලෝකයේ උපත ලැබුවා පමණක් නොව, මහාවංශයට අනුව, ඔහු: ‘මෛත‍්‍රිය බුදුන්ගේ අග‍්‍රශ‍්‍රාවක වන්නේය… ඔහුගේ පියාණන් වූ කාකවණ්ණ තිස්ස රජු, මෛත‍්‍රිය බුදුරදුන්ගේ පියා වන්නේය. ඔහුගේ මව වූ විහාර දේවිය එම බුදුරදුන්ගේ මව වන්නීය… ඔහුගේ කණිටු සොහොයුරු වූ සද්ධාතිස්ස රජු, මෛත‍්‍රිය බුදුරදුන්ගේ දෙවැනි අග‍්‍රශ‍්‍රාවක වන්නේය. ඔහුගේ පුතා වූ සාලිරාජ කුමරු, මෛත‍්‍රීය බුදුරදුන්ගේ පුත‍්‍රයා වන්නේය.’

පුණ්‍ය යුද්ධයේ ආනිශංස, ශුද්ධවන්ත රණශූරයාට පමණක් නොව, ඔහුගේ මුලූ පවුලටමත් ලැබෙන බව පෙන්වමින් මහාවංශය තර්ක කරන්නේ, බුද්ධාගම සඳහා දියත් කෙරෙන එවැනි පුණ්‍ය යුද්ධයක ඇති ආනුභාවයයි.

දේශපාලන ව්‍යාපෘතියක් සහිත බෞද්ධ භික්ෂුවක් අතින් මහාවංශය ලියැවෙන්නේ, දුටුගැමුණු=එළාර යුද්ධයෙන් සියවස් හතකට පමණ පසුව ය. අර්හත් භාවයට පත්වීමට සියලූ ඇලීම්වලින් මිදීම අත්‍යාවශ්‍යක වන බව, ගෞතම බුදුන්ගේ ධර්මය පිළිබඳ අවම දැනුමක් ඇත්තෙකු පවා දන්නා දෙයකි. කිසිවකට ඇලෙන පිරිමියෙකු හෝ ගැහැනියක්, ඒවා මොන තරම් යුක්ති සහගත වෙතත්, ඒ බැඳීම්වලින්ම සංසාරයට ගැටගැසෙයි. අර්හත් භාවයට පත්වන තැනැත්තා, රට, ජාතිය හෝ ආගම ඇතුලූ කිසිවකට නොඇලෙයි. කිසි ඝාතනයක් අනුමත කිරීමට ද ඔවුන්ට නොහැක්කේය. එවැනි අර්හත් භාවයට පත් භික්ෂූන් වහන්සේ විසින් ආගමේ නාමයෙන් මිනිස් ඝාතනය සාධාරණීකරණය කෙළේ යැයි මහාවංශ කතුවර මහානාම හිමියන් පැවසීම, හෙණගහන බොරුවකි. එහෙත්, පළමු ශික්ෂා පදයම පරයා අද අභිෂේක වී ඇත්තේ ඒ මහා බොරුවයි.

සාමයේ මිනිසෙකු වූ යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේව යුද්ධයේ කුමාරයෙකු කිරීමට කොන්ස්ටන්ටයින් රජුට සහ ඔහුගෙන් පැවත එන්නන්ට හැකි විය. ඒ සඳහා ඔවුන් යොදාගත්තේ, පරණ තෙස්තමේන්තුවේ සිටි පස්සෙන් එලවමින් පළිගන්නා දෙවියෙකු පිළිබඳ සංකල්පය යි. මහනාම හිමියන්ට එවැනි සංකල්පීය පිළිසරණක් ගෞතම බුදුන්ගේ ධර්මයෙන් නොසැපයුණි. ඉතිං ඔහු කෙළේ තමා විසින්ම එම සංකල්පය නිර්මාණය කර ගැනීමයි. ජාතික හෙළ උරුමය සහ බොදුබල සේනා නායකයන්ගේ සැබෑ ශාස්තෘවරයාණන් වන්නේ, ඔහු මිස බුදුන් වහන්සේ නොවේ.


මිථ්‍යාව, ඉරණම කරගැනීම

මහාවංශ කතාන්තර යනු, හුදෙක් පුරාතන වංශකතාවක එන ජනප‍්‍රිය පුරාණෝක්ති පමණක්ම නොවේ. නූතන ශ‍්‍රී ලංකාවේ ගමන් පථය නිර්ණය කර ඇත්තේ ද ඒවා මගිනි.

අනගාරික ධර්මපාලගේ නාථකත්වය යටතේ 19 වැනි සියවසේ දියත් වූ බෞද්ධ පුනරුද ව්‍යාපාරය තුළ පැවති සුළුතර විරෝධී ස්වභාවය පන්නරය ලද්දේ මහාවංශ මිථ්‍යාවන් මගිනි. ඒ මිථ්‍යාවන්ගේ වහලෙකු බවට පත්ව, එයින් විකෘති වී ගිය සිංහල=බුද්ධාගම, දෙමළ ජනයාට ආමන්ත‍්‍රණය කිරීමේ ජවය නැති කරගත්තේය. ලාංකේය ආචාර්ය අම්බෙඞ්කාර් කෙනෙකු බිහිකර ගැනීමට අසමත් වුණේය. සංඝ සාසනය තුළින් නැගෙන හඩක් වශයෙන්, දෙමළ බෞද්ධයන් ප‍්‍රමාණවත් කොටසක් එදා බිහි වී තිබිණි නම්, අපගේ පශ්චාත්-නිදහස් ඉතිහාසය, මීට වඩා අඩු විනාශකාරී මාවතක් ගන්නට තිබුණි. කෙසේ වෙතත්, දෙමළ ජනයාට ආමන්ත‍්‍රණය කිරීමට නම්, සිංහල ස්වෝත්තමවාදී අනන්‍යතා ලාංඡුනය පසෙක ලා, මහාවංශයට කලින් බුද්ධාගම තුළ පැවති විශ්ව විභවය නැවත අත්පත් කරගත යුතුව ඇත්තේය.

‘මිත‍්‍රත්වයෙන් නොවේ නම්, අඩු වශයෙන් ඉවසීමෙන්වත් සහජීවනය කරන්නට අපට හැකි වන ආකාරයේ යම් වැඩපිළිවෙලක් ඇති කර ගැනීම අප ඉදිරියේ ඇති අභියෝගයයි’ යනුවෙන්, ප‍්‍රංශ ජාතික නවකතාකරු අන්ද්‍රේ මල්රෝ අමතා, ජවහල් ලාල් නේරු කීවේය. බහුත්වවාදී ඕනෑම රටක් මුහුණදෙන අභියෝගය එයයි. මහාවංශ මිථ්‍යා තුළ ගැලී සිටින තාක් කල්, ඒ අභියෝගය ජය ගැනීමට ශ‍්‍රී ලංකාව අසමත් වනු ඇත.

තිසරණී ගුණසේකර | Thisarani Gunasekara

[2013 මාර්තු 17 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Haunted by Mahavamsa ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්]

මැරයින්ගේ බාධා සහ මහවැසි නොතකා විශාල ජනතාවක් දෝෂාභියෝගයට විරැද්ධව පාගමනට එක්වෙයි.[Video]


‘‘අද අලුත්කඩේට උදේපාන්දර ආවාහම අපි දැක්කේ මැරයො පොලු අරගෙන ආණ්ඩුවේ ආරක්ෂාව යටතේ සිවිල් ආරක්ෂක බලකාය සිවිල් විදිහට ඇදගෙන පහර දෙන්න බලාගෙන හිටියා. අපි ඒ වගේම දැක්කා ඒ හැමදෙනාටම රාජ්‍ය ආරක්ෂාව ලැබුනා.‘‘ යැයි ඊයේ(10) දෝෂාභියෝගයට විරැද්ධව පැවති විරෝධතා පාගමනේ දී අදහස් දැක්වූ නීතිඥ සංවිධාන එකමුතුවේ, නීතිඥ ජේ. සී වැලිඅමුණ මහතා ප්‍රකාශ කළේය.

නීතිඥ සංවිධාන එකතුව, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන මෙන්ම වෘත්තීයවේදීන් ඒක්ව රාජපක්ෂ ආණ්ඩුව විසින් අගවිනිසුරැවරියට විරැද්ධව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගයට විරැද්ධව පැවති විරෝධතා පාගමන මහ වැසි මෙන්ම මැරයින්ගේ බාධා කිරීම් හමුවේ විශල ජන සහභාගීත්වයකින් අද පැවැත් විය.

උදෑසන සිට මැරයින්ගේ බාධා කිරීම් සිදු වුවද අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ සිට විශාල ජනතාවක් හිල්ටන් හෝටලය අසල වටරවුම දක්වා පැමිණියේය. විරෝධතා පාගමනට ඉන් ඉදිරියට යාමට පොලීසිය විසින් අවහිර කිරීමෙන් පසු එම ස්ථානයේ රැස්වීමක් පවත්වා නැවතත්, අලුත් කඩේ උසාවි සංකීර්ණයට පැමිණ එම විරෝධතාවය අවසන් කලේ ය.

මේ එම විරෝධතාවයේ අවස්ථාවන් පිළිබදව ‘විකල්ප‘ තබන රෑපමය සටහනක්.

YouTube Preview Image

සම්පූර්ණ ඡායාරෑප සටහන

රිසානා, ඔබේ කතාව අවසන්…..හෙට අපි…?

ඊයේ(09) උදෑසන සෞදි අරාබියේ ඩවාඩමි නගරයේදී රිසානා නෆීක්ව හිස ගසා මරා දැමූ පුවත අප වෙත ලැබුණි. අවුරුදු හතක් තිස්සේ එහා මෙහා විසී කරමින් තිබුණු, ඇගේ ජිවිතය එසේ අවසන් විය. මීට දින කිහිපයකට පෙර අපේ ජනාධිපති, රිසානාට සමාව දෙන ලෙස ඉල්ලා සෞදි රජුට ලියුමක් යැවූ ප‍්‍රවෘත්තිය මාධ්‍යවල පළවිය. රිසානාව කොයි මොහොතේ හෝ හිස ගසා මරා දැමිය හැකි බැවින්, ශ‍්‍රී ලංකා ආණ්ඩුව වහා මැදිහත් වී ඇය බේරා ගැනිම සඳහා රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් කළ හැකි සියළු දේ කළ යුතුයැයි මතක් කරමින්, බී බී සී සංදේශයේ සහ වෙනත් වෙබ් අඩවිවල පළ වුණු පුවතකට ප‍්‍රතිචාර ලෙස මේ ජනාධිපතිගේ ලියුමේ කතාව පළ විය. මීට මාසයකට පමණ ඉහතදී ලොකු අකුරින් පත්තරවල මුල් පිටුවේ ශීර්ෂය ලෙස පළ වූ පුවතත් වූයේ, ‘‘රිසානාට ළඟදීම නිදහස’’ යන්නයි. ශ‍්‍රී ලංකා ආණ්ඩුව ඇය නිදහස් කර ගැනීම වෙනුවෙන් දිගින් දිගටම කටයුතු කරන බවත්, ඒවා සෑහෙන දුරට සාර්ථක වී ඇති බවත් කියමින් ඒ පුවත පළ විය. රිසානාට නිදහස ලබා ළඟදීම ශ‍්‍රී ලංකාවට එන්නට හැකි වෙනු ඇතැයි එයින් කියැවිණි. ඩිලාන් පෙරේරා ඇමතිවරයාත්, තවත් රජයේ මැති ඇමතිවරුනුත් මේ ගැන උනන්දුවෙන් වැඩ කරන බව සඳහන් වී තිබුණි.

කෙසේ හෝ, රිසානාව මරා දැමුණි. තමන් නොකළ මිනී මැරුමකට, තමන්ට නොතේරෙන අධිකරණ තීන්දුවකින් වරදකරු කොට, නානඳුන රටක, දන්නා හඳුනන කිසිවෙකුත් නැති හිරගෙදරක අවුරුදු හතක් පුරා රඳවා තබා ගෙන හිඳ අවසානයේ, ඇයව ම්ලේච්ඡ ලෙස, මරා දමනු ලැබුවාය. ඇගේ මරණය ආරංචි වූ විට, අපේ පාර්ලිමේන්තුවේ මැති සබය ඈ වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් පිරූ බව නිව්ස් ඇලර්ට් වලින් කියවිණි.

දැන් ඒ පරිච්ඡේය අවසන්ය. වරින් වර, මානව හිමිකම් සංවිධාන විසින්, රිසානා නිදහස් කරගන්න මොනවහරි කරන්නැයි කියමින් ඇති කරන කන් කරච්චලය දැන් නවතිනු ඇත. එක හිසරදයකින් නිදහස් වුණා කියා අපේ ආණ්ඩුවට හිතෙනවා විය හැකියි.

රිසානා සෞදි ආරාබියේ මෙහෙකාරකමට යන්නේ මහින්ද රාජපක්ෂ ශ‍්‍රී ලංකාවේ ජනාධිපති පදවියට පත් වූ අවුරුද්දේයි. තමාගේ රැකවරණයේ සිටි සිවු මස් වියැති බිළිඳෙකුව ඝාතනය කළා යැයි කියමින් ඇයට එරෙහිව එල්ල වූ චෝදනා වලින් වරදකරු කොට මරණ දඬුවමට නියම කරන්නේත් ඒ වසරේදීමයි. එතැන් පටන් අද දක්වා වසර හතක් පුරා ඇය ගත කළේ ඒ හිර ගෙදරයි. ඇයට එරෙහිව එල්ල වූ මිනී මැරැම් චෝදනාව සාවද්‍ය බවත්, නඩු ඇසීමේදී ඇයට කිසිදු සාධාරණයක් ඉටු නොවූ බවත්, ඇගෙන් බලහත්කාරයෙන් ලබා ගත් පාපොච්චාරණයක් මත පදනම්ව තීන්දුව දුන් බවත්, අඩුම තරමින් ඇයට භාෂා පරිවර්තකයෙකුවවත් සපයා දී නොතිබුණු බවත් ඇය වෙනුවෙන් පසුව පෙනී සිටි මානව හිමිකම් සංවිධාන හෙළි දරවු කර තිබුණි. පළමු නඩු තීන්දුවෙන් පසු, අභියාචනයක් ඉදිරිපත් කරන්නට අවශ්‍ය නඩු ගාස්තු ඇය වෙත යවන්නටවත් ශ‍්‍රී ලංකා ආණ්ඩුව උනන්දු නොවූ බැවින්, ආසියානු මානව හිමිකම් කොමිසම ඇය වෙනුවෙන් ඒ මුදල එකතු කොට යැවූ බවත් දැන් කවුරුත් දන්නා කාරණයයි. කෙසේ හෝ මානව හිමිකම් සංවිධානවල බරපතල මැදිහත්වීම හමුවේ, ඇගේ මරණ දඬුවම ක‍්‍රියාත්මක වීම වසර ගණනාවකින් කල් ගියේය. නමුත්, මනුෂ්‍යත්වය පරදා, ම්ලේච්ඡත්වය ජය ගත්තේ, ඒ අහිංසක දැරිය තිරිසන් ලෙස මරා දැමීමෙනි. ඈ වෙනුවෙන්, ශ‍්‍රී ලංකාණ්ඩුවෙන් විශාල මැදිහත්වීමතක් සිදු නොවූ බව, ඒ හා ඈඳුණු මුළු ක‍්‍රියාවලිය දෙසම බලන විට පැහැදිලි වෙයි. එසේ මැදිහත්වීමක් කරන්නට තරම් වටිනා චරිතයක් නොවන නිසා වෙන්නට ඇති රිසානා.

රිසානා, ආරාබියේ මෙහෙකාර කමට යන්නේ වයස අවුරුදු 17දීයි. එනම් තවමත් ළමයෙක් ලෙස සිටියදීයි. විදේශ ගමන් බලපත‍්‍රයේ සාවද්‍ය ලෙස ඇගේ වයස වෙනස් කර තිබුණි. අන්ත අසරණ දුප්පත් පවුලක වැඩිමහල් දියණිය ලෙස උපන් රිසානා, තමන්ගේ සහෝදර සහෝදරියන් ජීවත් කරවන්නට කළ හැකි දෙයක් කරන්නට සෞදි ආරාබියේ වැඩකාරකමට ගියාය. ඈ ගියේ ඇයත් අදහන දෙවියන්ට වඳින මිනිසුන් සිටින රටකටයි. නමුත් ඒ දෙවියන් රිසානාට පිහිට වූයේ නැත. 2004 සුනාමියෙන් තමන් සන්තකයේ තිබූ සියලූ දේ විනාස වී ගිය පසු, කළ හැකි වෙන කිසිවක්ම නැති නිසා වැඩිමහල් දියණිය අරාබියේ සේවයට යැවූ බව රිසානාගේ අසරණ පියා ඇගේ සෞදි හාම්පුතුන් වෙත යැවූ අයාචනාත්මක ලිපියේ සඳහන් වී තිබුණි.

දැන් සියල්ල අවසන්ය. අඩුම තරමින් තමන්ට තම දියණියගේ මිනියවත් ගෙනැවිත් දෙන්නැයි රිසානාගේ අම්මා ඉල්ලා සිටින බව පත්තරවල පළ වී ඇත. අද තඩි පොල් අකුරෙන් ශීර්ෂ පාට යොදන්නට අපේ මාධ්‍යවලට ප‍්‍රවෘත්තියක් ලැබී ඇත. ‘‘පවුල බේරා ගන්නට රට ගිය දියණියගේ සිහිනය බොඳ විය – රිසානා ගෙල සිඳ මරා දමයි’’ ඒ අද ලංකාදීප පුවත්පතේ ශීර්ෂයයි. රිසානාගේ මුතූර්හි අතු පැලත්, ඇගේ කුඩා කළ පින්තූරයතුක්, අසරණ අම්මා තාත්තාගේ ඡායාරූපත් සමග ඒ පුවත පළ කර ඇත. රිසානාගේ මව උහුලා ගත නොහැකී වේදනාවෙන් වැළපෙන ආකාරය හැඟීම්බරව ලියා ඇත. අනෙක් පත්තරවලත්, ‘‘බෙල්ල කපා රිසානාව මරයි’’, ‘‘අහිංසක තරුණියගේ සිහින සැබෑ නොවුණි‘‘ වැනි පුහු, අප‍්‍රිය වදන් රොතු වලින් ලියන පිළුණු ප‍්‍රවෘත්ති පළ කර ඇතිවාට සැක නැත. මැද පිටු පුරා රිසානාගේ ළමා කාලය ගෙවුණු හැටිත්, ඇය ගමේ කාගේත් සිත් ගත් දරුවෙක්ව සිටි හැටිත්, ඇගේ පවුලේ දුප්පත්කමේ තරමත් ගැන භාවාතිශය ලියුම් පළවෙනු ඇත. රිසානා බෙල්ල කපා මරා දමන ආකාරයේ වීඩියෝ දර්ශනත්, ලේ විලක ඇගේ හිස සුන් සිරුර වැටී ඇති ආකාරය පෙන්නන ලොමු දැහැ ගැන්වෙන ඡයාරූපත් නැති බැවින් මාධ්‍යකරුවන්ට විශාල අඩුවක් දැනෙනවා විය යුතුය. ඇහැට පේන්නට ලොකුවට දාන්නට ඉමේජර්ස් නැති නිසා රිසානාගේ පුවත ඉක්මනට වාෂ්ප වී යනු ඇත.

මේ එකදු මාධ්‍යක්වත් මේ ඛේදනීය පුවත පිටුපස ඇති කතන්දරය කතා නොකරනු ඇත. රිසානා බේරා ගන්නට මේ තරම් කාලයත් පුරා ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් සැබෑ ලෙසම කළේ මොනවාද?, කළ හැකිව තිබුණේ මොනවාද? රටට වැඩිම විදේශ විනිමය උපයා දෙන මැද පෙරදිග සේවයට යන අසරණ දුප්පතුන් වෙනුවෙන් ආණ්ඩුව කරන්නේ මොනවාද? මේ දේවල් කතා කරන්නට සංයමයක්, උවමනාවක් මාධ්‍යයට ඇති බවක් පේන්නේ නැත.

ආරාබියේ සේවයට ගිය ශ‍්‍රී ලාංකිකයින්ට විඳින්නට සිදු වූ ම්ලේච්ඡ හිංසනයන් ගැන පහුගිය කාලයේ බෙහෙවින්ම කතා බහට ලක්විය. රිසානා, තවත් එවැනි එක් කතාන්දරයක් පමණි.

හෙට අනිද්දාටත් අරාබියේ හාම්පුතුන්ගෙන් ඇණ ගසාගෙන, ම්ලේච්ඡ ලිංගික අතවරවලට ගොදුරු වීගෙන, ශරීරය පුළුස්සාගෙන, අත පය අවලංගුව, මානසික ලෙඩුන්ව මෙරටට පැමිණෙන අය ගැන තඩි පොල් අකුරින් පත්තරවල පලවෙනු ඇත. ඔවුන්ගේ තුවාලවල සමීප ඡායාරූපත්, ගෙවල් දොරවල්වල ඡායාරූපත් සමග හැඟීම්බර ලිපි මැද පිටුවේ යනු ඇත. පුදුමයක්…..සමහරවිට ඇමති කෙනෙක් රිසානාගේ පවුලට පුංචි ගේ කෑල්ලක් හදා දී ඇති පුවත තව සති දෙක තුනකින් ලොකුවට පලවෙනු ඇත.

‘‘ඒ අයගෙ කරුමෙ තමා’’, ‘‘ලබා උපන් හැටි තමා’’, ‘‘පෙර පව් වෙන්ඩ ඇති’’ කියමින් වරක් දෙකක් හූල්ලා අපි අපේ කෙටි යුතුකම ඉටු කර, අපේ වැඩක් බලා ගමු….

රිසානා, නුඹේ ජිවිතය අපට කියා ගිය කතාව අතිශය ඛේදනීය එකක්. කුඩා කළ පටන්ම අන්ත අසරණ ජිවිතයක් ගෙවා යාන්තං ගැටවර වියට එළඹෙද්දි, පවුලේ බර කරට ගන්නට ඉටාගෙන තවමත් ගෝත‍්‍රික ම්ලේච්ඡත්වය ප‍්‍රසිද්ධ භාවිතයේ තිබෙන, රටක, හිත් පිත් නැති හාම්පුතුන් ළඟ සේවයට ගියා. අන්ත අසාධාරණ නඩු තින්දුවකින්, වරදකරු වී වසර හතක් පුරා අඳුරු හිර ගෙදරක සිර වී හිඳ, අවසානයේ කෘර මරණයකට මුහුණ දුන්නා.

ලෝකය අයිති බලවතුන්ටයි. බලරහිත වුන්ව ජිවත් කරවීම හෝ මරා දැමීම තියෙන්නේ ඔවුන් අතේයි. එක රැයකින් දාස් ගානකට වෙඩි තබා මරා දාන්නට අණ දෙන්නට හැකි රට කරවන මහා බලැත්තන්ට ඔබ වැනි කුඩා ජීවිතයක් බේරා ගන්නට බැරි වීම පුදුමයක්…….

රිසානා නංගි, ඔබේ ජිවිතය අවසන්. ඔබේ වේදනාවත් අවසන්. හෙට අපි අහන්නේ කාගේ වේදනාබර කතාවද?

ආණ්ඩුවේ කුලීකාර මැරයින් අලුත්කඩේ යුද පිටියක් කරයි – පොලීසිය බලා සිටියි.[Video/Photos]

January 10, 2013 by  
Filed under Featured Articles, Features


අද(09)කොළඹ අධිකරණ සංකීර්ණය අසල දී නීතිඥ සංවිධාන එකතුව විසින් දෝෂාභියෝගයට විරැද්ධව පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට, රාජපක්ෂ ආණ්ඩුවේ කුලීකාර මැරයින් විසින් බාධා පමුණුවනු ලැබූ හ.

එම විරෝධතා පාගමන ආරම්භ කිරීමට පෙර සිටම පොලු, ගල් සහ මුගුරැ රැගත් මැරයින් අධිකරණ සංකීර්ණය අවට සෑම මංසංදියකම ‘කාගෙද මේ බලවේගේ ජනපතිතුගේ බලවේගේ…‘‘ යැයි කියමින් සිටි අතර, රාජපක්ෂ ආණ්ඩුවේ පොලීසීය සහ විශේෂ කාර්ය බලකාය එම මැරයින් නොදුටු සේ සිටියේ ය.

එම මැරයින් අධිකරණය ඉදිරිපිට මාර්ගය හරස් කරමින් නීතිඥයින්ගේ විරෝධතා පාගමන වලක්වමින් සිටි අතර පොලීසිය නිශ්ශබ්ද්ධව සිටි බවක් දක්නට ලැබිනි. කෙසේ නමුත් නීතිඥයින් වෙනත් මාර්ගයකින් සිය විරෝධතා පාගමන ආරම්භ කිරීමට තීරණය කිරීමත් සමග පැමිණ සිටි මැරයින් විවිධ දිශාවට ගමන් කරමින් විරෝධතා පාගමනට ඒක්වීමට පැමි‍ණෙන පිරිස් වෙත සිය මුග්ද ප්‍රහාරය එල්ල කරනු ලැබූවේ පොලීසියට පෙනෙන ලෙසම පොලු, මුගුරැ, ගල් සහ ටියුබ් ලයිට් භාවිතා කරමිනි.

(මේ ජනාධිපතිතුමාගේ බලවේගය විසින්, දෝෂාභියෝගයට විරැද්ධව පාගමනට එක් වීමට පැමිණෙන විරෝධතා කරැවන්ට එල්ල කරන ලද ප්‍රහාරයන් විකල්ප කැමරාවේ සටහන් වූයේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම මැනවින් කියා පාමිනි.)

YouTube Preview Image

Full Photo Collection

ව්‍යවස්ථාමය හිරවිල්ල දේශපාලනික පොල්ලෙන් ගසා කුඩුපට්ටම් කිරීම?

January 10, 2013 by  
Filed under Colombo, Featured Articles, Features

Sri Lankan President Mahinda Rajapaksa in Colombo on July 10, 2009[

ජනවාරි 5 වැනි දා රෑ හසිත මඩවල, ඔහුගේ නිවෙස අසළ දී වෙඩි තබා ඝාතනය කෙරිණ. හිස්වැසුම්වලින් මුහුණු ආවරණය කරගෙන මෝටර් සයිකලයක ආ මිනීමරුවෝ ඔහුව ඝාතනය කර පළා ගියහ.

මඩවල, විරුද්ධ පක්ෂ සාමාජිකයෙකුවත්, රාජපක්ෂ විරෝධියෙකුවත් නොවේ. භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මෙන් ඔහු ද, පක්ෂපාත ශ‍්‍රී ලංකාකාරයෙකි. එසේම, කැළණිය ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකි. ඔහුගේ රුදුරු ඉරණම මගින් පෙන්නුම් කරන්නේ, රාජපක්ෂ පාලනය යටතේ, රාජපක්ෂවරුන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ මිස වෙනත් ඕනෑම කෙනෙකුගේ ජීවිතය ඉතා කෙටි විය හැකි බවත්, මරණය ඉතා කෲර විය හැකි බවත් ය.

මීට වසරකට කලින්, 2012 ජනවාරි 7 වැනි දා රෑ, මඩවල මැරීමට තවත් ප‍්‍රයත්නයක් ගැනුණි. ‘ඔහුවත්, ඔහුගේ ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාව, උප සභාපතිවරයාව සහ ප‍්‍රාදේශීය සභාවේ තවත් සාමාජිකයෙකුව ඝාතනය කිරීමට අමාත්‍ය මර්වින් සිල්වා නියෝග දී ඇති බව ඔහු ප‍්‍රකාශ කෙළේය. කුප‍්‍රකට පාතාල අපරාධකරුවන් වන හික්කඩුවේ රොෂාන්තට සහ මාලිගාවත්තේ මජීඞ්ට තමන් මැරීමට කොන්ත‍්‍රාත් දී ඇති බවට මඩවල චෝදනා කෙළේය. ශ‍්‍රී ලංකා මිරර්, 8.1.2012)

ඝාතනය වීමට කලින්, නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මුලසුනේ සිටි රැස්වීමක දී ‘නොහික්මුණු අයුරින් හැසිරුණේ’ ය යන චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි. එහි දී ඇප දීමට පවා පොලීසිය විරුද්ධ විය. බලවතුන්ගේ අනුග‍්‍රාහක වළල්ලෙන් මඩවල වීසි වී සිටි බවත්, ආරක්ෂිත සත්ව කොට්ඨාශයේ සාමාජිකත්වයෙන් ඉවත් කොට තිබුණු බවත්, ඒ හේතුවෙන්, ලංකාවේ වෙසෙන සෙස්සන් සේ ඕනෑම මොහොතක දේශපාලනික අපහරණයට ලක්විය හැකි කෙනෙකු බවට පත්ව සිටි බවත්, එම සිද්ධියෙන් පෙන්නුම් කෙරේ. අනිත් අතට, මේ මාසයේ විශ‍්‍රාම යාමට නියමිතව සිටි නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට තව වසරක සේවා දිගුවක් ලැබුණේ ද මේ සතියේ ය.

ජීවිතේ සතුට, ආරක්ෂාව සහ ධනය සපිරි පාරාදීසයක් පාලක දූදරුවන්ට සහ නෑයින්ට පමණක් සහතික කෙරෙන, වෙන කිසි රටකට සම කළ නොහැකි රාජපක්ෂ ශ‍්‍රී ලංකාව සැරදේවා. අනිත් සෑම කෙනෙකුටම, රාජකීය පරිවාරකයන්ට පවා, එය වනාන්තරයක් වන්නේය. නැතහොත් එසේ විය හැක්කේය.

දෝෂාභියෝග රංගනයත්, රාජපක්ෂවරුන් විසින් එය පවත්වාගෙන යන අතාර්කිකත්වය සහ පළිගැනීමේ ආශක්තයත්, මේ සන්දර්භය තුළ හොඳින්ම පැහැදිළි වන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වශයෙනුත්, අගවිනිසුරුවරිය වශයෙනුත් ශිරානි බණ්ඩාරනායක, රාජපක්ෂගේ දේශපාලන ඉල්ලීම සපුරාලීමට පෙළඹුණාය. ජෙනරාල් ෆොන්සේකාට ඇප ඉල්ලා සිටී පෙත්සම ප‍්‍රතික්ෂේප කළ, පැය විසිහතරෙන් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ව්‍යාපාර පවරා ගැනීමේ පනත අනුමත කළ, නායකත්ව පුහුණුව සහ ආණ්ඩු විරෝධී වෙබ් අඩවි අවහිර කිරීමට විරුද්ධව පවරා තිබූ පෙත්සම් නිෂ්ප‍්‍රභා කළ විනිසුරු මඩුලූවල ඇය මූලාසනය දැරුවාය. ඇමරිකානු තානාපතිවරයා යැවූ රහස් කේබල් පණිවිඩයක(විකිලීක්ස් මගින් හෙළි කළ) සඳහන් පරිදි, ආචාර්ය ශිරානී බණ්ඩාරනායක, ‘රාජපක්ෂ හිතවාදිනියක්’ විය.

එහෙත් ඒ සියළු පක්ෂපාතීකම් අවසානයේ දී බිංදුවට වැටුණි. රාජපක්ෂගේ අවශ්‍යතාවට පටහැනිව ඇය එක වරක් තීන්දුවක් දුන්නාය. ඉන් පසු, පාලක සහෝදරයෝ ඈට හිටු කියා තඩිබාන්නට වූහ. නගර හා ග‍්‍රාම සැලසුම් (සංශෝධිත) පනත සහ ‘දිවි නැගුම’ පනත ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කෙළේ නම් එසේ කරන්නට වන්නේ, ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මහදවල් උල්ලංඝණය කරමිනි. එහෙත් එවැනි තර්ක රාජපක්ෂවරුන්ට වැඩක් නැත. ඔවුන් විශ්වාස කරන පරිදි උත්තරීතර වන්නේ ව්‍යවස්ථාව නොව, ඔවුන්ගේ අභිමතය යි.

සෑම උසස් නිලධාරියෙකුම, විශේෂයෙන් විනිශ්චයකාරවරු මේ පාඩම මතකයේ තබාගත යුතුය. රාජපක්ෂවරුන්ට අවශ්‍ය කරන්නේ පක්ෂපාතී ආධාරකරුවන් නොව, අඥානයන් ය. කියන දෙයක් කරන, යටහත් ප‍්‍රවේණිදාසයන් ය. ජීවිත කාලයක පක්ෂපාතීත්වයක් වුව, එක ‘අපක්ෂපාතීත්වයක්’ නිසා බිංදුවට වැටෙන්නේය. ඊළඟ අගවිනිසුරුවරයාට රාජපක්ෂගේ සෑම ඉල්ලීමකටම= ඒවා මොන තරම් නීති විරෝධී වුවත්= එකඟත්වය පෑමට සිදුවේවි. අගවිනිසුරු ධුරය භාරගෙන මාස කිහිපයකින් පසු දෝෂාභියෝගයකට මුහුණනොදී ඉන්නට හැකි වන්නේ, පුද්ගල නම්බුව, ගරුත්වය සහ හෘද සාක්ෂිය අතහැර දැමූ ගැහැනියකට හෝ පිරිමියෙකුට පමණි. අගවිනිසුරුවරිය වෙනුවෙන් කරන අරගලය, යුක්තිය වෙනුවෙන් කරන අරගලයකි.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය කිසි දවසක නීතිමයක් කාරණයක් වශයෙන් සැළකීමේ අරමුණක් පාලකයන්ට නොතිබුණි. එය අරමුණු කෙළේත්, සැලසුම් කළේත්, ක‍්‍රියාවට නැංවූයේත්, දේශපාලනික අභ්‍යාසයක් වශයෙනි. එහි ඉලක්කය, සත්‍යය නිරාවරණය කරගැනීමවත්, යුක්තිය ඉෂ්ට කිරීමවත් නොවුණි. ශ‍්‍රී ලංකාවේ රාජකීය ආදේශකයන්ගේ අභිමතයට අකීකරු වූ තැනැත්තියක්ව දණ්ඩනීය ආකාරයකින් පන්නා දැමීම පමණකි. අකීකරු මෙවලම් රාජපක්ෂවරුන්ට පෙන්නන්නට බැරි ය. ශිරානී බණ්ඩාරනායකව පැන්නිය යුත්තේ, ඉදිරියේ දී ඇගේ අඩි පාරේ ගමන් කළ හැකි ඕනෑම කෙනෙකු අධෛර්යමත් කෙරෙන ආකාරයෙනි. දෝෂාභියෝග ක‍්‍රියාපරිපාටිය මුල සිටම මේ තරම් අසාධාරණ සහ අයුක්ති සහගත ආකාරයෙන් ගෙන ගියේ එබැවිනි. එහි තිබුණේ කිසිවෙකු තුළ සාධාරණත්වය මේ යැයි ඒත්තු ගැන්වීමේ උවමනාවක් නොව, තර්ජනයෙන් සහ ගර්ජනයෙන් බියගන්වා, අනතුරු ඇඟවීම ය.

දෝෂාභියෝග නාඩගම පටන්ගත් විට ලොකුම ප‍්‍රශ්නය වුණේ, රාජපක්ෂ දඩුඅඩුවට මුහුණදීමට හයියක් අධිකරණයට සහ අගවිනිසුරුවරියට තිබේ ද යන්නයි. රාජපක්ෂවරු සිතුවේ සහ අප වැනි රාජපක්ෂවරුන්ට හරස්ව සිටියවුන් එදා අනුමාන කෙළේ, අගවිනිසුරුවරියව බියගන්වා පළවා හැර, තර්ජනයේ සහ අනුග‍්‍රහයේ සුසංයෝගයක් හරහා අධිකරණය මිටියම් කිරීමට රාජපක්ෂවරු සමත් විය හැකි බවයි. කෙසේ වෙතත්, ඒ නරකම අංකය රඟදැක්වුණේ නැත. අගවිනිසුරුවරිය නොසැලී කෙලින් සිටින අතර, අධිකරණය නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීමට වික‍්‍රමාන්විත සටනක් දෙයි. ඒ ධෛර්ය සම්පන්න විරෝධය, මේ දෝෂාභියෝගයටත්, අධිකරණයේ ස්වාධීනත්වය සහ මූලික අයිතීන් ආරක්ෂා කරගැනීමටත් ගෙන යන ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගලට පරමාදර්ශී වේදිකාව සපයා දී ඇත.

ව්‍යවස්ථාමය හිරවිල්ල, නීතියේ පදනම මත නිරාකරණය නොකෙරෙනු ඇත. දේශපාලන බලයෙන් එය කුඩුපට්ටම් කෙරෙනු ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයට අවනත වීම වනාහී ස්වකීය බල ව්‍යාපෘතිය ඇතුළෙන් ඛාදනය කිරීමේ පූර්වාදර්ශයක් විය හැකි බැවින් රාජපක්ෂ සහෝදරවරු ඒ විනිශ්චයට කන් නොදෙනු ඇත. ශ‍්‍රී ලංකාවේ මහා ආණ්ඩු විශාරදයා බවට පත්ව ඇති කතානායකවරයාත්, ඊට නොදෙවැනි නියෝජ්‍ය කතානායකවරයාත්, ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව උත්තරීතර බවට නිගමනය කරනු ඇත. අනතුරුව දෝෂාභියෝගය ගැන ‘විවාද’ කරන පාර්ලිමේන්තුව, ආණ්ඩු පක්ෂ ඡුන්දය ගෙඩිය පිටින්ම ගෙන, අගවිනිසුරුවරියට එරෙහි අවසානයකට පැමිණෙනු ඇත. එම තීන්දුව ජනාධිපතිවරයා වෙත යවන ලදුව, ඔහු විසින් වහාම අගවිනිසුරුවරියව නෙරපා හැර එම තනතුරට තමාට අවනත අළුත් හෙංචයියෙකු පත්කරනු ඇත.

නව අගවිනිසුරුවරයා/වරිය පත්කළ වහාම, ඒ නීති විරෝධී සහ අවජාතක පත්වීම නොපිළිගන්නා ක‍්‍රියාකාරීකයන්, නීතිඥයන් සහ විනිසුරන් පාලනය කිරීම සඳහා පාවිච්චි කරනු ඇත්තේ නිරුවත් බලය යි. ඕනෑම විරෝධයක්, නීතියේ කුමන්ත‍්‍රණයකට සමාන කොට, පොලීසිය, හමුදාව සහ ත‍්‍රස්ත විරෝධී පනත උපයෝගී කරගනිමින් ඒ සියලූ බලවේග යටපත් කෙරෙනු ඇත.

අගවිනිසුරුවරියත්, අධිකරණයත් ඔවුන්ට යා හැකි උපරිම දුර ගොස් තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව උල්ලංඝනය කිරීමෙන් මේ පාලකයන්ව වැලැක්වීමේ කාර්යය පැවරෙන්නේ අපට යි. එනම්, රාජපක්ෂලාට යට නොවුණු දේශපාලනික සහ සිවිල් සමාජයේ කොටස්වලට යි. මෙහි දී විරුද්ධ පක්ෂය දෝෂාභියෝග විවාදය වර්ජනය කළ යුතුව තිබේ. මන්ද යත්, ඊට සහභාගී වීම මේ අනීතික ක‍්‍රියාවට ගෞරවනීයත්වයක් සපයන බැවිනි. අරගලයේ ඉතිරි අදියර අධිකරණමය කාරණයකට වඩා දේශපාලනික කාරණයකි.

එම නිසා එම අරගලය දියත් කළ යුත්තේ, මාධ්‍ය තුළ, පාර්ලිමේන්තුව තුළ, පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා තුළ සහ ආණ්ඩු පක්ෂය තුළ සහ වීදිවල ය. ඊට අමතරව, ජාත්‍යන්තර තලයේ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පොදුරාජ්‍ය මණ්ඩලය වෙතට මේ සටන රැුගෙන යා යුතුව තිබේ. ව්‍යවස්ථාමය සිරවීමක් දේශපාලනික පොල්ලෙන් ගසා මෙල්ල කිරීමේ අනතුර රාජපක්ෂවරු තේරුම්ගනු ඇත්තේ, එය හම්බන්තොට පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට බලපාන ආකාරයෙන් පමණි. එම සමුළුව මහා මංගල්‍යයක් කර ගැනීම රාජපක්ෂගේ ලොකුම ලාලසාවයි. දෝෂාභියෝග නාටකය අනීතික සහ සාහසික ලෙසින් නිමා කිරීම, හම්බන්තොට සමුළුවේ ප‍්‍රාර්ථනාවලටවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ ණය ලබා ගැනීමට ඇති අවකාශයටවත් රුකුලක් නම් නොවනු ඇත.

තිසරණී ගුණසේකර[Tisaranee Gunasekara]

[Photo Credit:www.time.com]

‘අධිරාජ්‍යවාදී බලවේග’ ඉදිරියේ අපේ ‘ජනතාවාදී’ පාලකයෝ


අපේ පාලකයන් තමන්ව හඳුන්වා ගන්නේ ජනතාවාදී පාලකයන් වශයෙනි. අධිකරණයේ ස්වාධීනත්වයට විරුද්ධව වේවා, වෙනත් ඕනෑම බලවේගයකට විරුද්ධව වේවා, තමන්ගේ ස්ථාවරය සනාථ කිරීම සඳහා මේ පාලකයෝ තමන්ගේ තෝම්ඹුවට ‘ජනතාවාදී’ සහතිකය අලවා ගනිති.

ඊළඟට, තමන්ට එරෙහි වන ඕනෑම ප‍්‍රපංචයක් හැඳින්වීමට ඔවුන් පාවිච්චි කරන පොදු වචනය වන්නේ ‘අධිරාජ්‍යවාදී’ යන්නයි. එම වචනය කියූ පමණින් ඉතා නරක චිත‍්‍රයක් අපේ සිතේ මැවී යයි. බොහෝ විට මේ ගනයට වැටෙන්නේ බටහිර දියුණු රටවල් ය. එහෙත්, ඊට අමතරව, මානව හිමිකම් වැනි වෙනත් ඕනෑම ක්ෂේත‍්‍රයක ජාත්‍යන්තර සංවිධානයක් ද ඊට අයත් විය හැකිය. කොටින්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා, ඇතැම් අවස්ථාවල ‘අධිරාජ්‍යවාදී’ යැයි අපේ පාලකයෝ කියති. මේ වන විට ලංකාවේ අගවිනිසුරුවරියත්, අපේ පාලකයන්ට අනුව, ‘අධිරාජ්‍යවාදයේ බළල් අතකි.’

අද අප පාවිච්චි කරන මෙවැනි බොහෝ යෙදුම් අපේ පැරණි මාක්ස්වාදී ව්‍යාපාරවලින් දායාද කෙරුණු ඒවා ය. එදා ඒවාට නිශ්චිත අදහසක් පමණක් නොව, ඒ අදහස තුළ පැහැදිළිව ග‍්‍රහණය කරගත හැකි යථාවාදී අරුතක් ද තිබුණි. මේ අරුත අද වන විට ජාත්‍යන්තර තලයේ මූලික වෙනසකට ලක්ව ඇතිවා පමණක් නොව, මෙම අරුත වහරන දේශීය වාමාංශික ව්‍යාපාර ද අද වන විට බරපතල රූප පරිණාමයකට පත්ව ඇත්තේය. උදාහරණයක් වශයෙන්, ජාත්‍යන්තර තලයේ ‘අධිරාජ්‍යවාදය’ තුළ, එහි සියලූ දුර්විපාක මධ්‍යයේ, ඉස්සරට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ මානව හිමිකම් අන්තර්ගතය ශක්තිමත්ව තිබීම දැකිය හැකිය. අනිත් අතට බලන කල, දේශීය තලයේ සමාජවාදී ව්‍යාපාරය තුළ ඉස්සර තිබූ ජනහිතකාමී හරය මුළුමණින් කනපිට පෙරැලී ඇති සැටි ද දැකගත හැකිය. එන්. එම්. පෙරේරා වැන්නන් වෙනුවට අද අපට ඉන්නේ තිස්ස විතාරණ වැනි පතෝල නායකයන්ය. සරත් මුත්තෙට්ටුවගම වෙනුවට ඉන්නේ වාසුදේව නානායක්කාර වැනි නැට්ටුවන් ය.

අධිරාජ්‍යවාදය යනුවෙන් හැඳින්වෙන ප‍්‍රපංචය, කොල්ලකෑම ආත්මය කොට පවතින්නකි. එය, දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතිකමය වශයෙන් සිදුවන කොල්ලයකි. බලවතාගේ මේ කොල්ලයට ලක්වන්නේ දුබලයා ය. ඉතිං, පරිවාරයේ රටක කර්තව්‍යය වන්නේ, අර අධිරාජ්‍යවාදී බලවතාගෙන් තමන්ගේ දුබල රට සහ ජනතාව ආරක්ෂා කර ගැනීම විනා අධිරාජ්‍යවාදයේ කොටි හමක් ගෙයි තියාගෙන ඊට තැලීම නොවේ.

එහෙත් අද අපේ පාලකයන්ගේ ගමන් මග එවැන්නක් ද? ඊට පිළිතුරක් සොයා ගැනීම සඳහා, මේ ‘අධිරාජ්‍යවාදී’ බලවතුන් අපෙන් ඉල්ලා සිටින දේවල් සහ අපේ පාලකයන් ඒ ඉල්ලීම්වලට දක්වන ප‍්‍රතිචාරයන් කවරේ දැ යි විමසා බැලීම වටී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සෑම අවුරුදු හතරකට වරක් ‘වකවානු විමර්ශනයක්’ කරයි. වකවානු විමර්ශනයක් යනු, රටක මානව හිමිකම් ක්ෂේත‍්‍රය පිළිබඳව කෙරෙන අධ්‍යයනයකි. ලංකාවට අදාළ මේ අධ්‍යයනයේ අවසාන වාර්තාව ආවේ 2012 නොවැම්බර් මාසයේ ය. ලංකාව පිළිපැදිය යුතු බවට නිර්දේශ 210 ක් ඒ වාර්තාව මගින් ඉදිරිපත් කෙරුණි. ඒවා අතරින් ලංකා ආණ්ඩුව පිළිගත්තේ නිර්දේශ 110 ක් පමණි. එනම්, නිර්දේශ 100 ක්ම ලංකා ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කෙළේය. දැන්, ලාංකිකයන් වශයෙන් අපට හැෙඟන්නේ, අපේ නායකයන් විසින් එසේ ප‍්‍රතික්ෂේප කරන ලද්දේ අපේ රටටත්, ජනතාවටත් හානිකර නිර්දේශ විය යුතු බවයි. ඒ මොනවා ද?

1. රාජ්‍යය සහ අධිකරණය අතර පැවතිය යුතු සහයෝගීතාව සහතික කෙරෙන නීති සම්පාදනය කිරීම.
ආණ්ඩුව සහ අධිකරණය අතර වර්තමානයේ හටගෙන ඇති අර්බුදය අපි දනිමු. මේ අංශ දෙක අතර පැවතිය යුතු සහයෝගීතාව ලංකා ඉතිහාසයේ පහළම මට්ටමට මේ වන විට වැටී තිබේ. එහෙත්, අර කියන ‘අධිරාජ්‍යවාදී’ රටවල් ඒ සහයෝගීතාව ආරක්ෂා කෙරෙන නීති සම්පාදනය කරන්නැ යි අපට නිර්දේශ කරන විට අපේ නායකයෝ එය ප‍්‍රතික්ෂේප කරති.

2. සුදු වෑන්වලින් කෙරෙන පැහැරගෙන යාම් නතර කෙරෙන බව සහතික කරනු වස්, ‘බලහත්කාර පැහැරගෙන යාමෙන් සියළු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතියට’ අත්සන් කිරීම.

අවශ්‍ය වන විටක, තමන්ගේ විරුද්ධවාදීන්ව සුදු වෑන් රථ යවා උස්සාගෙන යාමට තමන්ට ඇති ‘‘අයිතිය’’ පාවා දීමට නොකැමැති අපේ පාලකයෝ එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළහ. එනම්, බලහත්කාරයෙන් පුද්ගලයන් පැහැරගෙන යාමේ අවශ්‍යතාවක් ඇති බව අපේ පාලකයෝ සිතති.

3. ලංකාවේ මානව හිමිකම් කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කරනු වස්, ඊට පුද්ගලයන් පත්කිරීමේ නෛතික ප‍්‍රමිතීන් ඇති කිරීම.
කෙසේ නම් එසේ කරන්න ද? එවිට, පාලකයාට කත්අදින පුද්ගලයන්ගෙන් ලංකාවේ මානව හිමිකම් කොමිසම පිරවිය නොහැකි වනු ඇත. ඉතිං, අපේ නායකයෝ ඒ නිර්දේශයත් ප‍්‍රතික්ෂේප කළහ.

4. ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ මුළුමණින් ක‍්‍රියාවට නැගීම.
මේ කියන කොමිසම පත්කෙළේ වෙන කිසිවෙකු නොව. ජනාධිපතිවරයාම ය. එහි අරමුණ, අතීතයේ අප අත්විඳි කටුක පාඩම්වලින් අනාගතයට ආදර්ශයක් ගනු පිණිස යැයි කියැවුණි. දැන් අර කියන ‘අධිරාජ්‍යවාදීන්’ ඉල්ලා සිටින්නේ, ඒ කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙස යි. එහෙත් අපේ නායකයෝ බැහැ කියති.

5. වධ හිංසා සහ වෙනත් කෲර සහ අමානුෂික දඩුවම් හෝ සැලකීම්වලින් රටවැසියන් ආරක්ෂා කෙරෙන බවට වගබලා ගන්නා ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කිරීම.

වධ හිංසාව සහ කෲර සැලකිලිවලට ලක්වන්නේ සාමාන්‍ය ජනතාව ය. ජනතාවට එසේ සැළකීම පාලනයකට අත්‍යාවශ්‍ය නිසාදෝ, අපේ පාලකයෝ එම ‘ජනතාවාදී’ නිර්දේශයත් ප‍්‍රතික්ෂේප කළහ.

6. ස්ත‍්‍රීන්ට එරෙහි කෙනිහිලිකම් උපුටා දැමීම සඳහා වන ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය රටේ නීතිය තුළට අන්තර්ග‍්‍රහණය කර ගැනීම.
මේ රටේ එක පුරවැසි කොට්ඨාශයක්, තමන් ගැහැනුන් වීම නිසා අත්විඳින ගැහැටින් නිදහස් කර ගැනීම රාජ්‍යයක වගකීම වශයෙන් පවතිද්දී, අපේ පාලකයෝ පුරුෂවාදී දෘෂ්ටියක සිට එවැන්නක් අවශ්‍ය නැතැ යි කියති.

7. සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කෙරෙන නීති සම්පාදනය කිරීම.
රටේ බරපතල අපරාධයක් හෝ වෙනත් එවැනි කාරණයක දී සාක්ෂිකරුවන් වශයෙන් ඉදිරිපත් වන අයවළුන්ට නිසි ආරක්ෂාව නැතොත්, කෙනෙක් සාක්ෂි දීමට ඉදිරිපත් වන්නේ නැත. එයින් සිදුවන්නේ, බොහෝ අපරාධකරුවන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ ලැබීමයි. එවැනි නීතියක් තිබුණි නම්, මීගමුවේ ජෙරාඞ් පෙරේරා වැනි අහිංසක මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරගත හැකිව තිබුණා පමණක් නොව, පසුගිය කාලයේ උතුරේ කරන ලද බොහෝ මිනිස් ඝාතනවලට සම්බන්ධ අපරාධකරුවන් ද, බොරුවට නොව හැබෑවටම, නීතිය ඉදිරියට පැමිණවිය හැකිව තිබුණි.

මේ සඳහන් කෙළේ, උතුරු නැගෙනහිර ජීවත් වන අපේ සහෝදර ජනතාව මුහුණදෙන ප‍්‍රශ්න සම්බන්ධයෙන් අර කියන ලෝක බලවතුන් ඉල්ලා සිටි විශේෂ නිර්දේශ නොව. දකුණේ සිංහල=බෞද්ධයාවත් ආරක්ෂා කෙරෙන නිර්දේශයන් ය. ඒවා පවා අද ප‍්‍රතික්ෂේප කොට ඇත්තේ, සිංහල=බෞද්ධයාව ආරක්ෂා කිරීමට වරම් ලැබ සිටින්නේ යැයි කියන පාලක පංතියක් විසින්ම ය.

ගාමිණී වියන්ගොඩ[Gamini Viyangoda]

‘දෝෂාභියෝගය හකුලා ගනු..!‘ | දහස් ගණන් වීථි බසී[Photos/Video]

January 7, 2013 by  
Filed under Colombo, Featured Articles, Features


දෝෂාභියෝගය හකුලා ගන්නා ලෙසත්, දෝෂාභියෝගයෙන් නැති වන්නේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් බව පවසමින් අද(07),ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා ජනතා ව්‍යාපාරය විසින් විරෝධතාවයක් පැවැත්වීය. එම විරෝධතාවය බොරැල්ල කැම්බල් පිටියේ සිට මරදාන හරහා හයිඞ් පිටියට පැමිණි අතර එම විරෝධතාවයට ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්, නීතිවේදීන්, වෘත්තීයවේදීන් ඇතුලූ විශාල පිරිසක් සහභාගී වී සිටියේ ය.

මේ එම විරෝධතාවයේ ඡායාරූප සහ වීඩියෝ සටහන්

Full Image for Flicker

Video

YouTube Preview Image

අනුර බණ්ඩාරනායකගේ තීන්දුව අදට වලංගු ද?


අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පිළිබඳ වර්තමාන විවාදය තුළ පවතින ඇතැම් දුර්මත නිසා, විවිධ ව්‍යකූලතා සහ ඇතැම් විකෘතීන් ද ඇති වෙමින් තිබෙන බවක් පෙනේ.

පාර්ලිමේන්තුව තිබෙන්නේ නීතියට ඉහළින් ද?

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු නීතියට ඉහළින් සිටින බවක් සහ අධිකරණ බලයට ඔවුන් යටත් නැති බවටත් වන හැඟීමක් ඇතැම් කොටස් තුළ තිබේ. මේ විශ්වාසය සහමුලින්ම දෝෂ සහගත ය. මේ හැඟීම ඇති වී තිබෙන්නේ, සමහරවිට, 1972 ව්‍යවස්ථාව තුළ තිබූ එක්තරා වගන්තියක් නිසා විය හැකිය. ඒ මෙසේය: 30 වැනි වගන්තිය: ‘‘ජාතික රාජ්‍ය සභාවේ පරිපාටිකරය හෝ එම රාජ්‍ය සභාව විසින් කරන ලද හෝ කිරීමට අරමුණු කරන ලද හෝ නොකරන හරින ලද කිසිවක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලයක්, යුක්තිය පසිඳලන අධිකරණයකට හෝ වෙනත් ආයතනයකට නැත්තේය.’’

1972 ව්‍යවස්ථාව තුළ මේ විධානය පැනවෙන්නේ, ‘රාජ්‍ය බලයේ උත්තරීතර මෙවලම’ ජාතික රාජ්‍ය සභාව වන්නේය යන සන්දර්භය තුළයි. එම ව්‍යවස්ථාවේ මේ 30 වැනි වගන්තියට සමාන වගන්තියක් වර්තමාන ව්‍යවස්ථාවේ නැත. වර්තමාන ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව එවැනි උත්තරීතර භාවයක් භුක්ති නොවිඳියි.

අනුර බණ්ඩාරනායකගේ නියෝගය අදට වලංගු ද?

අධිකරණමය නියෝගයකට යටත් නැති වරප‍්‍රසාදිත තත්ත්වයක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ඇත්තේය යනුවෙන් අද මන්ත‍්‍රයක් සේ ජප කරන අදහස එන්නේ, 2001 ජුනි 20 වැනි දා කතානායක අනුර බණ්ඩාරනායක දෙන ලද තීන්දුවක් ආශ‍්‍රයෙනි. විරුද්ධ පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නියමිත සංඛ්‍යාවකගේ අත්සන් සහිත යෝජනාවක් එදා කතානායකවරයා වෙත ලැබී තිබුණි. එම යෝජනාවෙන් ඔවුන් ඉල්ලා තිබුණේ, එදා අග‍්‍රවිනිශ්චයකාර සරත් එන්. සිල්වාගේ විෂමාචාර පැවැත්ම පිළිබඳ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසයි. ඒ වන විට අධිකරණය ඉදිරියේ පැවති මූලික අයිතිවාසිකම් නඩුවක් අවසන් වන තෙක්, මේ කියන යෝජනාව සම්බන්ධයෙන් කටයුතු නොකරන්නැ යි කතානායකවරයා වෙත අධිකරණයෙන් අතුරු නියෝගයක් පැනවුණි. එවැනි අතුරු නියෝගයක් නිකුත් කිරීමට බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට නැති බවටත්, ඒ හේතුවෙන් අධිකරණ නියෝගය පිළිපැදීමට තමන් බැඳී නැති බවටත් කතානායකවරයා තීන්දු කෙළේය. එම තීරණය සඳහා මෙහි දී ඔහු පදනම් කරගත්තේ 1953 පාර්ලිමේන්තු පනතේ (බලතල සහ වරප‍්‍රසාද) 3 වැනි වගන්තියයි:

‘‘පාර්ලිමේන්තුව තුළ, කතා කිරීමේ, වාද කිරීමේ සහ පරිපාටිකරයේ නිදහස ඇත්තේය. ඒ නිදහස අභියෝගයට ලක්කිරීමට හෝ ප‍්‍රශ්න කිරීමට කිසිම අධිකරණයකට හෝ පාර්ලිමේන්තුවෙන් පිටස්තර වෙනත් කිසි ස්ථානයකට හෝ බලයක් නැත්තේය.’’

මන්ත‍්‍රීවරුන්ගේ නියමිත අත්සන් ප‍්‍රමාණයක් සහිත යෝජනාවක් ලැබුණු පසු තේරීම් කාරක සභාවක් පත්කිරීම කතානායකවරයාගේ වගකීමක් බවත්, මෙය අධිකරණයකට ප‍්‍රශ්න කළ නොහැකි, පාර්ලිමේන්තුවේ ‘පරිපාටිකරය’ පිළිබඳ කාරණයක් බවත්, අනුර බණ්ඩාරනායකගේ මතය විය. ඇත්ත වශයෙන්ම, 3 වැනි වගන්තියෙන් ආරක්ෂා කෙරෙන්නේ කතා කිරීමට, වාද කිරීමට සහ පරිපාටිකරයට ඇති ‘නිදහස’ පමණි.

පාර්ලිමේන්තුවේ කටයුතු නියාමනය කිරීම කතානායකවරයාගේ නෛතික බල ප‍්‍රදේශය වන බැවින් ඔහුගේ එම තීරණය නිවැරදි විය හැකිය. වෙනත් විදිහකින් කිවහොත්, ස්ථිරසාර සහ බලසහිත නියෝගයක් දීමට බලය ඇති විනිශ්චය සභාවක් තවම පාර්ලිමේන්තුව විසින් පිහිටුවා නොතිබුණි. ඒ නිසා, ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගය, පමණට වඩා ඉක්මන්, නොමේරූ එකක් වුණා විය හැකිය.

අද අප ඉදිරියේ ඇති ප‍්‍රශ්නය, එදා කතානායක අනුර බණ්ඩාරනායක මුහුණදුන් ප‍්‍රශ්නයට ඉඳුරා වෙනස් ය. අද අභියාචනාධිකරණය ඉදිරියේ තිබෙන්නේ, තේරීම් කාරක සභාවේ ‘තීන්දුව’ අවලංගු කෙරෙන සර්ටියොරාරි නියෝගයක් ඉල්ලා අගවිනිසුරුවරිය ඉදිරිපත් කළ ඉල්ලීමකි. මේ තීන්දුව ඇගේ නෛතික අයිතිවාසිකම් කෙරෙහි බලපායි. ඕනෑම ආයතනයක හෝ පුද්ගලයෙකුගේ වාර්තා පිරික්සා බැලීමේ ‘පූර්ණ බලය සහ අධිකාරයත්’, නීතියට පටහැනි ඕනෑම තීන්දුවක් නිෂ්ප‍්‍රභා කෙරෙන සර්ටියොරාරි තීන්දුවක් දීමටත් අභියාචනාධිකරණය වෙත අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම බලය පවරා තිබේ. යම් තීන්දුවක් නීතියට පටහැනි විය හැකි විවිධ හේතුන් තිබේ: තීන්දු ගන්නා මණ්ඩලය පක්ෂපාතී වීම, ස්වභාවික යුක්ති ධර්මයේ ප‍්‍රතිපදාව අනුගමනය නොකිරීම, නීතිය ගැන හෝ අදාල කාරණා ගැන විනිශ්චය මණ්ඩලය වැරදි වැටහීමක සිටීම ආදිය උදාහරණ වශයෙන් ගත හැකිය. මේ නිසා, සෑම පුරවැසියෙකුටම තමාට හානිකර ඕනෑම තීන්දුවක් නැවත සළකා බලන ලෙස (අධිකරණ විමර්ශනයක්) ඉල්ලා සිටීමේ අයිතිය ඇත්තේය.

තේරීම් කාරක සභා වාර්තාව අධිකරණ විමර්ශනයකට යටත් ද?

තේරීම් කාරක සභාවක නිගමන අධිකරණ විමර්ශනයට ලක්කිරීමේ ව්‍යවස්ථාපිත අයිතියක් පවතින බව 2002 දී ලංකා ආණ්ඩුව පිළිගෙන තිබේ. විනිශ්චයකරුවෙකුගේ හැසිරීම පිළිබඳ විභාග කිරීමට බලයක් සැපයෙන 78 ඒ. නැමති ස්ථාවර නියෝගයට අදාළව, සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය යටතේ පිහිටුවන ලද මානව හිමිකම් කමිටුව විසින් ප‍්‍රශ්න කරන ලදුව, එදා ලංකාවේ ආණ්ඩුව විසින් පහත සඳහන් සහතිකය එම මානව හිමිකම් කමිටුව වෙත ලියා දන්වන ලදි.

‘‘විභාග කිරීමේ කමිටුව මගින් ස්වභාවික යුක්තියේ නියාමයන් අනුගමනය කොට නැත්නම් එය අධිකරණ විමර්ශනයට ලක්විය යුත්තේය. ඇත්තෙන්ම, විභාග කිරීමේ කමිටුව එළැඹෙන තීන්දු අධිකරණ විමර්ශනයට ලක්කිරීම බැහැර කිරීමක්, ව්‍යවස්ථාවේ අදාළ විධිවිධාන හෝ ස්ථාවර නියෝග මගින් අපේක්ෂා කරන්නේ නැත. එබැවින්, විභාග කිරීමේ කමිටුව නීතිය වරදවා ගන්නේ නම් හෝ ස්වභාවික යුක්ති ධර්මයේ නියාමයන් උල්ලංඝනය කරන්නේ නම් හෝ එම කමිටුවේ තීන්දු අධිකරණ විමර්ශනයට යටත් කළ හැකි බව පිළිගැනේ.’’

ස්ථාවර නියෝග 78 ඒ. යටතේ පිහිටුවන තේරීම් කාරක සභාවක වාර්තාවක් අභියාචනාධිකරණයේ විමර්ශනයට යටත් බවට ශ‍්‍රී ලංකා ආණ්ඩුව ගරුගාම්භීරවත්, නිල වශයෙනුත් එසේ පිළිගන්නා ලදි. ‘‘නීතිය මගින් ස්ථාපිත කරන ලද බලය ලත්, අපක්ෂපාතී, ස්වාධීන විනිශ්චය සභාවක සාධාරණ සහ ප‍්‍රසිද්ධ විභාගයකට සෑම කෙනෙකුටම අයිතිය ඇත්තේය’’ යන ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ 14 වැනි වගන්තියට තමන් එකඟ බවට ලංකා ආණ්ඩුව එසේ සපථ කොට තිබේ.

තේරීම් කාරක සභාවකින් නඩු විභාග කිරීම සඳහා පාර්ලිමේන්තුව නීති සැකසුවේ ඇයි?

1984 ඔක්තෝබර් මාසයේ විශ‍්‍රාම යාමට නියමිතව සිටි අග‍්‍රවිනිශ්චයකාර නෙවිල් සමරකෝන් එම වසරේ මාර්තු 14 වැනි දා පුද්ගලික ටියුෂන් පංතියක දී නොමනා ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කෙළේය. එම ප‍්‍රකාශයෙන් ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් විවේචනයට ලක්විය. ඉතා ක්ෂණිකව ඊට ප‍්‍රතිචාර දැක්වු ආණ්ඩුව, ඔහුව පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන ඒමට තීරණය කළ ද, එවැන්නක් සඳහා වන විධික‍්‍රමයක් ව්‍යවස්ථාවේ සඳහන්ව නැති බව වටහාගත්තේය. ඒ අනුව, එක විට පියවර දෙකක් ගැනුණි. මාධ්‍ය මගින් වාර්තා කරන ලද ප‍්‍රකාශය අගවිනිසුරුවරයා කර ඇත්තේ ද, එසේ නම්, ඒ අරභයා ගත යුතු පියවර කවරේ ද යන්න නිර්දේශ කිරීම සඳහා, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78 යටතේ තේරීම් කාරක සභාවක් පත්කිරීමට 1984 අප්‍රේල් 3 වැනි දා පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරගත්තේය. ඕනෑම කාරණයක් විභාග කිරීමටත්, වාර්තා කිරීමටත් තේරීම් කාරක සභාවක් පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට බලය ඇති නිසා එය සුජාත අභ්‍යාසයක් විය. තවත් විදිහකින් කිවහොත්, එය කරුණු සොයා බැලීමේ අභ්‍යාසයකි.

1984 අපේ‍්‍රල් 4 වැනි දා පාර්ලිමේන්තුව 78 ඒ. නමින් තවත් ස්ථාවර නියෝගයක් පනවා ගත්තේය. ඒ මගින්, ඉහළ උසාවියකෙ විනිසුරුවරයෙකුගේ අබලතාවක් හෝ විෂමාචාරයක් පිළිබඳ පැමිණිල්ලක් විභාග කොට වාර්තා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කිරීමේ බලය කතානායකවරයාට පැවරුණි. සත්‍ය වශයෙන්ම, වරදක් පිළිබඳ නඩු විභාගයක් සඳහා වන බලයක් එසේ තමන් වෙත පවරා ගැනීම, පැහැදිළිවම පාර්ලිමේන්තු බලතලවලට පරිබාහිර දෙයකි. පාර්ලිමේන්තු පනත (බලතල සහ වරප‍්‍රසාද) යටතේ පවා, පාර්ලිමේන්තුවට කෙලින්ම කටයුතු කළ හැක්කේ, පාර්ලිමේන්තු භූමි භාගය තුළ නොමනා ලෙස හැසිරීම හෝ පාර්ලිමේන්තු සැසි වාරයක දී කලබල ඇති කිරීම වැනි සුළු කාරණා සම්බන්ධයෙන් පමණි. තමන් සතු එවැනි ‘අධිකරණ බලයක්’ පාවිච්චි කරමින් පවා පාර්ලිමේන්තුවට දිය හැක්කේ, අවවාද කිරීම හෝ පාර්ලිමේන්තු භූමියෙන් ඉවත් කිරීම වැනි සුළු දඩුවමක් ය. පාර්ලිමේන්තු වරප‍්‍රසාද උල්ලංඝනය වීමේ බොහෝ කාරණා පිළිබඳ නඩු ඇසිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණි.

අගමැති පේ‍්‍රමදාසගේ සභාපතිත්වයෙන් යුත් පළමු තේරීම් කාරක සභාව 1984 අප්‍රේල් 17 සහ ජුලි 20 දක්වා හය වාරයක් රැස්වුණේය. තමා කළේ යැයි කියන ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප නොකළත්, මේ කාරක සභාව ඉදිරියේ පෙනී සිටීම අගවිනිසුරුවරයා ප‍්‍රතික්ෂේප කෙළේය. ඒ, අළුතෙන් පනවා ගත් ස්ථාවර නියෝග 78 ඒ. සම්බන්ධයෙන් වන ඔහුගේ විරෝධය පළ කිරීමක් වශයෙනි. 1984 අගෝස්තු 9 වැනි දා තේරීම් කාරක සභාව සිය නිර්දේශය ඉදිරිපත් කෙළේය. පවත්වන ලදැ යි කියන කතාව අගවිනිසුරු තනතුරට නොගැළපෙන බවත්, ඒ සම්බන්ධයෙන් ගත යුතු නිසි පියවර පිළිබඳ සළකා බැලිය යුතු බවටත් ඒ මගින් නිර්දේශ කෙරුණි. 1984 සැප්තැම්බර් 5 වැනි දා, අගවිනිසුරු නෙවිල් සමරකොන් ඉවත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු ආමන්ත‍්‍රණයක් ඉල්ලා සිටිමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 57 දෙනෙකුගේ අත්සනින් යුත් යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරුණි. ඊට පසුව දා, අළුතෙන් පනවා ගත් ස්ථාවර නියෝග 78 ඒ. ප‍්‍රකාරව, කතානායකවරයා විසින් අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලිගේ සභාපතිත්වය යටතේ තේරීම් කාරක සභාවක් පත්කරන ලදි. එහි ප‍්‍රථම රැස්වීමේ දී, තේරීම් කාරක සභාව නියෝජනය කළ විරුද්ධ පක්ෂ මන්ත‍්‍රීවරු, එනම්, සරත් මුත්තෙට්ටුවෙගම, අනුර බණ්ඩාරනායක සහ දිනේෂ් ගුණවර්ධන, මූලික විරෝධයක් මතු කළහ. ඒ අනුව, අධිකරණමය වශයෙන් කලින් ඔප්පු කොට නැතොත්, ‘ඔප්පු කරන ලද අබලතාවක් හෝ විෂමාචාරයක්’ ගැන තේරීම් කාරක සභාවකට තීරණය කළ නොහැකි බව ඔවුන් පෙන්වා දුනි.

1984 සැප්තැම්බර් 11 සහ නොවැම්බර් 27 අතර කාලය තුළ මේ තේරීම් කාරක සභාව සැසිවාර 14 ක් පවත්වන ලදි. අගවිනිසුරුවරයා වෙනුවෙන් පෙනී සිටි රාජනීතිඥ එස්. නඬේසන් සහ ඔහුගේ නීතිඥ කණ්ඩායම, ඒ සෑම අවස්ථාවක දීම, මේ තේරීම් කාරක සභාව ව්‍යවස්ථා විරෝධී මණ්ඩලයක් බවට තර්ක කළහ. කෙසේ වෙතත්, තේරීම් කාරක සභාව අවසාන තීන්දුවට එළැඹීමට කලින් අගවිනිසුරුවරයා විශ‍්‍රාම වයසට ලඟා විය. එසේ තිබියදීත්, තේරීම් කාරක සභාවේ අවසාන තීරණය වුණේ, විෂමාචාරය සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා වරදකරු නොවන බවයි.

අධිකරණ ක්ෂේත‍්‍රයේ අත්දැකීමක් නැති නීතිඥවරයෙකු අධිකරණයේ ඉහළම තනතුරට පත්කළ පසු එසේ උපකාර කළ පුද්ගලයා පිළිබඳ විවේචනාත්මක වීම, මෙසේ හදිසියේම එම අධිකරණ ප‍්‍රධානියාට එරෙහිව කෙටි කාලයක් තුළ දෝෂාභියෝගයක් ගෙන ඒමට හේතු වූ බව පැහැදිළි ය. කෙසේ වෙතත්, අගවිනිසුරු නෙවිල් සමරකෝන් විශ‍්‍රාම යාමට කලින්, මෙසේ නීති පැනවීමෙන් සහ විශේෂ විමර්ශන පැවැත්වීමෙන් බලාපොරොත්තු වූ අපේක්ෂාව ඉෂ්ට කර ගැනීමට නොහැකි විය.

අධිකරණයේ නොතීසිය නොසළකා හැරීමට තේරීම් කාරක සභාවට පුළුවන් ද?

අධිකරණ විමර්ශණයක් සඳහා ඉදිරිපත් කර ඇති අයදුම්පතක් සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ට අධිකරණය දැනුම් දී ඇතත් ඔවුන් ඊට ප‍්‍රතිචාර නොදක්වනු ඇතැ යි නියෝජ්‍ය කතානායකවරයා කී බවක් වාර්තා විය. සත්තකින්ම, තමන්ම හෝ නීතිඥයන් මාර්ගයෙන් හෝ එසේ ප‍්‍රතිචාර නොදක්වා සිටීමට කෙනෙකුට බැරි කමක් නැත. සෑම පුරවැසියෙකුටම සිය ක‍්‍රියාකාරකම් යුක්ති සහගත කර ගැනීම සඳහා අධිකරණයකට ඉදිරිපත් නොවී සිටීමට අයිතිය තිබේ. එසේ වුව ද, තේරීම් කාරක සභාවේ නිගමන අධිකරණය මගින් අවලංගු කරනු ලැබුවහොත්, එම තීන්දුව සියල්ලන් කෙරෙහි බලාත්මක වෙනවා පමණක් නොව, අදාළ කරුණ සම්බන්ධයෙන් එය ආඥාත්මක තීන්දුවක් ද වන්නේය. එම තීන්දුවත් නොසළකා හැර, අගවිනිසුරුවරිය නෙරපා හැරීමේ දෝෂාභියෝගය ඉදිරියට ගෙන යාමට පාර්ලිමේන්තුව පියවර ගතහොත් සිදුවන්නේ ඉතා බරපතල ව්‍යවස්ථා අර්බුදයකට මගපෑදීමයි. එය අපේ සමස්ත අධිකරණ පද්ධතියේ සුජාත භාවය කෙරෙහි බලපාන නපුරක්ම වනු ඇත.

අපේ රටේ ස්ථාවරත්වය රැඳී ඇත්තේ රාජ්‍ය ක‍්‍රමයේ මහා කුළුණු තුනක් මත ය: ඒ, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යි. මේ කුළුණු තුන එකිනෙකට පරායත්ත ය. රාජ්‍ය ක‍්‍රමයේ තුලන සහ සංවරණ දාමයත්, රාජ්‍යයේ මනා පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය වගවීමත් සහතික වන්නේ, මේ කුළුණු තුනේ අන්‍යොන්‍ය සම්බන්ධය මතයි. විශේෂයෙන්, එක කුළුණක ප‍්‍රහාරයක් නිසා තවත් කුළුණක් දුර්වල වුවහොත් සමස්ත ව්‍යුවහයම නියත වශයෙන් කඩා වැටෙනු ඇත. ඇතැමුන් විසින් යෝජනා කොට ඇති පරිදි පාර්ලිමේන්තුවේ සැසිවාරය හමාර කළොත් ඒ මගින් සිදු වනු ඇත්තේ මේ ස්වයං=විනාශකාරී ගැටුම කල් දැමීමක් පමණි. ඇත්ත වශයෙන්ම, අපේ ව්‍යවස්ථාව අනුව, සැසිවාරය කල් දැමීමෙන්, පාර්ලිමේන්තුව ඉදිරියේ දැනට ඇති පොරොත්තු කාරණා අහෝසි වන්නේ නැත. ඒවා ඊළඟ සැසිවාරයට ගෙන යා හැකිය. කළ යුතුව ඇත්තේ මේ ගැටුම අවසන් කිරීමයි.

අතීතයේ දෙන ලද අධිකරණ තීන්දු නිසා එදා පැවති ආණ්ඩු යම් අපහසුතාවකට පත් විට කටයුතු කළ ආකාරය, අද බලයේ සිටින්නන් සැලකිල්ලට ගැනීම ප‍්‍රඥාගෝචර ය. 1962 සහ 1966 කුමන්ත‍්‍රණ නඩු තීන්දු මේ අවස්ථාවේ මතකයට එයි. තමන්ට හිතකර නැති එවැනි තීන්දු බාර ගැනීමේ දී එදා පාලකයන් දැක්වු පරිණත භාවයෙන් පෙන්නුම් කෙළේ, නීතියේ ආධිපත්‍යයට ගරු කිරීමට ඔවුන් තුළ තිබූ කැමැත්තයි. අපේ ව්‍යවස්ථාව යටතේත්, රාජ්‍ය පාලන ක‍්‍රමය යටතේත්, අවසාන බේරුම්කරුවා වන්නේ අධිකරණය යි. එය පිළිගත යුතුය. ඊට ගරු කළ යුතුය.

මේ නිසා ඇති විය හැකි ජාත්‍යන්තර බලපෑම කුමක් ද?

දෝෂාභියෝගයට එරෙහිව ජාත්‍යන්තරයෙන් මතුවෙමින් පැවති ඉතා නරක ප‍්‍රතිචාරය රටේ ජනතාවගෙන් වසං කිරීමට පසු ගිය මාසය පුරා රාජ්‍ය මාධ්‍ය වෙර දැරීය. ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ම, පැමිණිලිකරුවන්සේම විනිශ්චයකරුවන් වශයෙන් ද කටයුතු කළ එකී දෝෂ සහගත දෝෂාභියෝග කි‍්‍රයාපරිපාටිය කෙරෙහි පමණක් නොව, මේ ‘විනිසුරන්’ තමන්ගේ ‘විනිශ්චය’ පිළිබඳව දේශපාලනික වේදිකාවල කරුණු දැක්වීම කෙරෙහි ද ජාත්‍යන්තරයෙන් කණස්සල්ල පළ විය. මේ සම්බන්ධයෙන්, අන්තර්ජාතික සංවිධාන, ජාතික ආණ්ඩු සහ විවිධ රටවල මහජන මන්ත‍්‍රී මණ්ඩල මෙන්ම ජාත්‍යන්තර වෘත්තීයවේදීන්ගේ සංවිධාන ද වෙතින් පළවූ විවේචනාත්මක ප‍්‍රතිචාර ශී‍්‍ර ලංකාවේ ජනතාවගෙන් වසං කරන ලදි. පොදුරාජ්‍ය මණ්ඩලීය ආයතන වෙතින් පළවූ විවේචන එහි දී වඩාත් වැදගත් වෙයි. පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව 2013 දී පැවැත්වීමට නියමිතව ඇත්තේ ලංකාවේ ය. මෙහි දී එහි සභාපතිත්වය ලංකාවට පිරිනැමෙන අතර, ඉදිරි වසර දෙක තුළ එම එකමුතුවේ දේශපාලන හරපද්ධති සහ ප‍්‍රතිපත්ති ආරක්ෂා කිරීමේ වගකීම ද ලංකාවට පැවරෙයි. පහත සඳහන් වන්නේ එම ප‍්‍රතිපත්තිවලින් එකකි:

‘‘විනිශ්චයකරුවෙකු සේවයෙන් නෙරපා හැරීමේ අවදානමට ලක්වූ විට, තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳව සම්පූර්ණයෙන් දැනුවත් වීමේ අයිතියත්, එවැනි විමර්ශනයක දී තමන්ව නියෝජනය කිරීමටත්, එහි දී ස්වකීය ආරක්ෂාව වෙනුවෙන් කරුණු දැක්වීමට සේම, ස්වාධීන සහ අපක්ෂපාතී විනිශ්චය සභාවකින් තමන් පිළිබඳ විනිශ්චයක් බලාපොරොත්තු වීමටත් ඔහුට හෝ ඇයට පූර්ණ අයිතිය ඇත්තේය.’’ දැන් හැම පැත්තකින්ම මතුවෙමින් තිබෙන්නේ, එවැනි වගකීමක් ශ‍්‍රී ලංකා ආණ්ඩුවට දැරීමට හැකියාවක් ඇත් ද යන ප‍්‍රශ්නය යි.

ආචාර්ය නිහාල් ජයවික‍්‍රම[Dr. Nihal Jayawickrama]

Next Page »

1 2 3 49