Colombo, Featured Articles, Features

සුදු වෑන් වලින් ගෙන ගොස් දේශපාලන විද්‍යාව කියා දීම


සුදු වෑන් වලින් ඉස්සුවාට පසු සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව මෑතක් වන තුරු කිසිවෙකුට පැහැදිලි අදහසක් තිබුණේ නැත. බොහෝ අය සිතුවේ සුදු වෑන් වලින් ඉස්සුවාට පසු ඒ අය වාෂ්ප වෙනවා කියාය. මෑතකදි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් දෙදෙනෙක්ගේ සුදුවෑන් ගමනෙන් පසු එය එසේ නොවන බව බොහෝ අයට වැටහිණි. සුදු වෑන් වලින් ඉස්සීමේ ප්‍රධාන අරමුණ දේශපාලන විද්‍යාව පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා දීම බව දිමුතු ආටිගල මුහුණ දුන් අත්දෑකීම් වලින් පැහැදිලි වේ.

“ඔයාගෙ ගෙදර කවුද ඉන්නෙ? ඒ අය මොකද කරන්නෙ? බලන්න ඔයාගෙ ජීවිතේ දේශපාලනේ නිසා නිකං නාස්ති කරගන්නවනෙ. ඔයා ඕස්ට්‍රේලියා යන්න.”

එදා දිමුතු ආටිගල මාධ්‍ය සාකච්ඡාවේදී පැවසූ ආකාරයට, සුදු වෑන් බලකාය විසින් කියන්නේ මේ වගේ දේවල්ය.

එක් පැත්තකින් බැලූ විට සුදු වෑන් යනු භීතියට කරුණක් නොවේ. එය දේශපාලන විද්‍යාව පාඨමාලවක් පවත්වන අළුත්ම ක්‍රම වේදයකි. ආණ්ඩු විරෝධී නොවී දේශපාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දීම මෙම පාඨමාලාවේ අරමුණයි. ඇස් දෙක බැඳ සිදු කරන මේ පාඨමාලාව සඳහා කිසිදු මුදලක් අය නොකරන අතර පාඨමාලාවෙන් පසු නැවතත් ත්‍රී විල් එකකින් ගෙදර යාමට මුදල් ලබා දීමට තරම් මේ පිරිස කාරුණික වෙති. සුදු වෑන් බලකාය තමන්ව හඳුන්වනු ලබන්නේ කිසිදු ආකාරයකින් ආණ්ඩුවට සම්බන්ධ නොවන පිරිසක් වශයෙනි. නමුත් මොවුන් පුන පුනා කියන්නේ ආණ්ඩුවට විරෝධී අරගල වල නම් යෙදෙන්නට එපා කියාය. මේ අනුව බලන කල මෙම සුදු වෑන් බලකාය ආණ්ඩුවට සම්බන්ධ නැති රාජ්‍ය නොවන සංවිධානයක ව්‍යාපෘතියක් ලෙස හඳුනාගත්තාට වරදක් නැත. මීට අමතරව මෙම සුදු වෑන් බලකාය විසින් තම සංවිධානයේ එක් එක් අයගේ ගෙවල්වලට යන පාරවල් පිළිබඳව විස්තර ලබා ගත් බව දිමුතු පවසයි. එලෙස තොරතුරු ලබා ගන්නා හේතුව දැන් හොඳටම පැහැදිලිය. ඉදිරියේදී මේ පාඨමාලාවට සාමාජිකයන් සම්බන්ධ කර ගැනීමේදී මේ අයව අතුරුදහන් කිරීමට සුදුසු ස්ථාන සැලසුම් කර ගැනීමට එසේ කරනවා විය හැකිය. ඉතින් තවත් නම් අප සුදු වෑන් වලට බිය විය යුතු නැත.

මීට අමතරව සුරා බදු දෙපාර්තමේන්තුව විසින්ද මිනිසුන් අතුරුදහන් කරන බව මේ මෑතකදී ආරක්ෂක ලේකම් වරයා විසින් අනාවරණය කළේය. නමුත් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මිනිසුන් අතුරුදහන් කිරීමට භාවිතා කරන්නේ සුදු වෑන් නොවන බවත් ඒ සඳහා භාවිතා කරන්නේ නිල් වෑන් පමණක් බවත් ලේකම්වරයා සොයා ගෙන ඇත. ආරක්ෂක ලේකම් වරයාගේ මේ සුවිශේෂී දොරමඩලා අනාවරණයෙන් පසු සුදු වෑන් සම්බන්ධයෙන් තවත් නිගමන කිහිපයකට පැමිණිය හැකිය. එකක් නම් සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ඉස්සූ පසු එය සුදු වෑන් ගිණුමට බැර කිරීමේ කට කතාවලට නොරැවටෙන ලෙසය. අනික නම් බැරි වෙලාවත් නිල් වෑන් එකකින් ඉස්සුවොත් එසේ කරන්නේ සුරා බදු දෙපාර්තමේන්තුවෙන් බවය.

සුදු වෑන් සම්බන්ධයෙන් මෑතකදී සිදු වූ මෙම අනාවරණයන්ගෙන් පසු, දිමුතුලා,කුමාර්ලාට පෙර අතුරුදහන් වූ අය පිළිබඳවද පැහැදිලි අදහසකට පැමිණිය හැකිය. එනම් මේ අය සුදු වෑන් වලින් ඉස්සුවා නම්, මේ වන විටත් සුදු වෑන් බලකායෙන් දේශපාලන විද්‍යාව ඉගෙන ගනිමින් සිටින බවයි. තවමත් මොවුන් එලියට ඒමට ප්‍රමාද වන්නේ පාඨමාලාව අවසන් කර නොමැති නිසාය. මේ අය නිල් වෑන් වලින් ඉස්සුවා නම්, මේ අය සුරා බදු දෙපාර්තමේන්තුවේ සිටිනා බවත්, තවමත් මේ අය ප්‍රමාද වන්නේ අදාල දඩ මුදල ගෙවා නොමැති නිසාත් බව සිතා ගත යුතුය. ඉතින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් කළ යුත්තේ මානව හිමිකම් පස්සේ යන්නේ නැතිව මොවුන්ව ඉස්සූ වාහනයේ පාට කුමක්දැයි සොයා ගැනීමය.

මේ අඹ ගස හැර වෙනත් අඹගස් තිබේද?

ලංකා ඉතිහාසයට අනුව, මිහිඳු හාමුදුරුවෝ ලංකාවට පැමිණි පසු, දේවානම්පියතිස්ස රජුගෙන් උයනේ තිබූ අඹ ගසක් ගැන ප්‍රශ්න කිහිපයක් අසා ඇත. මිහිඳු හාමුදුරුවෝ ඒ ඒ ප්‍රශ්න ඇසුවේ හුදෙක් අඹ ගස ගැන තොරතුරු දැනගැනීමට නොව දේවානම්පියතිස්ස රජුගේ බුද්ධි මට්ටම පරීක්ෂා කිරීමට බව පැහැදිලිය. ඒ මිහිඳු චින්තනයයි. ඒ අකාරයටම දිමුතුව තකහනියක් සුදු වෑන් එකකින් උස්සාගෙන ගොස්, ගෙදර කවුද ඉන්නෙ? පක්ෂයේ සාමාජිකයින්ගෙ ගෙවල් තියෙන්නෙ කොහේද? වැනි ප්‍රශ්න අසන්නේ ඇයි? සුදු වෑන් බලකාය විසින් මෙලෙස ප්‍රශ්න ඇසීමේ අරමුණ ඇත්තටම අඹ ගස පිළිබඳව දැන ගැනීමද නැතිනම් වෙනත් දෙයක්ද යන්න පිළිබඳව සිතා බැලිය යුතුය. එලෙස කරන්නේ දිමුතුගෙන් තොරතුරු දැනගැනීමට යැයි සිතන්නේ නම් එය මුලාවකි. මන්ද දිමුතුලාගේ ඕස්ට්‍රේලියාවේ නෑදෑයෝ ගැන, පක්ෂයේ සාමාජිකයන්ගේ ගෙවල් තියෙන තැන් ගැන සොයා ගැනීමට දිමුතුව ඉස්සීමට අවශ්‍ය නැත. මෙහි ඇති නිශ්චිත දේශපාලන මොහොත වන්නේ සුදු වෑන් එකකින් ඉස්සීමයි. යමෙක් මේ රට තුළ ආණ්ඩුවට විකල්ප දේශපාලනයක නිරත වන්නේ නම් ඒ තැනැත්තා සුදු වෑන් එකකින් ඉස්සීමට නියමිතය යන දේශපාලන සවිඥානකත්වය ජනතාවට ලබා දීම මෙහි අරමුණයි. මෙය ඔබ හෙල්මට් එකක් නැතිව බයිසිකලයක ගොස් මාර්ග නීතියක් කඩකරනවා වාගෙම වරදක් බව ජනතාවට ඒත්තු ගැන්වීම මෙම ඉස්සීමේ ක්‍රියාවේ අරමුණයි. රටක පොලීසිය, හමුදාව සිටින්නේ ඒ රටේ යමෙක් නීතියට අනුකූල නොවන ආකරයට හැසිරෙයි නම් ඒ තැනැත්තා මර්ධනය කිරීමටය. නමුත් යමෙක් ආණ්ඩුවට විකල්ප දේශපාලනයක නිරත වීමට උත්සාහ කරන්නේ නම් එය නීත්‍යාණුකූල නොවන ප්‍රවේශයක් නොවන බැවින් පොලීසියට, හමුදාවට කිසිවක් සිදු කළ නොහැකිය. ඒ සඳහා වෙනත් මර්ධන ආයතනයක් සැකසිය යුතුය. අද අප සුදු වෑන් ලෙස දකින්නේ ඒ මර්ධන ආයතනයයි. මොවුන් විසින් කරන්නේ නීත්‍යාණූකූලව මර්ධනය කළ නොහැකි පුද්ගලයාව උස්සා ප්‍රශ්න කිරීමයි. මෙහිදී ගෙදර දොරේ ප්‍රශ්න ඇසුවත් ඊළඟ මොහොතේ ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට කුමක් සිදුවේද යන්න පිළිබඳව අවිනිශ්චිතය. එය තීරණය වන්නේ චූදිතයාගෙන් අසන ප්‍රශ්න වලට දෙන පිළිතුරු අනුව නොව, ඉහළින් එන අණ අනුවය. ඒ අණට අනුව මේ පුද්ගලයා නිදහස් වීමටත්, වාෂ්ප වීමටත් ඉඩ ඇත. එබැවින් සුදු වෑන් වලින් උස්සා දිමුතුගෙන් සහ කුමාර්ගෙන් ඇසූ ප්‍රශ්න පසු පස නොගොස් සුදු වෑන් වලින් ඉස්සීමේ ක්‍රියාව දෙසට අවධානය යොමු කළ යුතුය. මෙය පශ්චාත් යුධ ලංකාවේ නවතම මර්ධන ආයතනයයි. 18 වන ව්‍යවස්ථා සංශෝධනය රිසි සේ භුක්ති විඳීමට නම් මේ මර්ධන ආයතනයත් පොලීසිය,හමුදාව මෙන් සමාජයට සාමාන්‍යකරණය කිරීම අද අත්‍යවශයය. මෙම නවතම දේශපාලන භාවිතාව අපට බලකරන්නේ, පොලීසියෙන් බලා ඉන්නා නිසා හෙල්මට් දමාගෙන යන ආකාරයටම, සුදු වෑන් බලා ඉන්නා නිසා විකල්ප දේශපාලනයන්ගෙන් ඈත් වී පාලකයන් දෙන දෙයක් කා, කියන දෙයක් අසා සිටිනා ලෙසය.