සිංහල, end of the War, Featured Articles, Features, Kilinochchi

‘එක ගෙදරක… එක් කාමරයක අවමඟුලකි, තවත් කාමරයක උපන්දින සාදයකි’

[Photo by – Sampath Samarakoon]
වෙලාව උදෑසන 10 පසු වී ඇත. ඒ (ඊයේ)මැයි මස 18 වනදා ය. උතුරේ අහස නිසොල්මන්ව කිසිදු වලාකුළකින් තොරව කියන්නට බොහෝ දෑ තිබියදී රහසේ හඬමින් සිටිනවා සේය. කිලිනොච්චි නගරයෙන් මදක් ඔබ්බට වන්නට රුද්‍රපුලම් කතෝලික පල්ලියට විශාල සෙනඟක් ඇදෙමින් තිබිණි. ඒ පැමිණෙන සියලු දෙනාගේ දෑස්වල ඇත්තේ කියාගැනීමට නොහැකි මහා වේදනාවක් යැයි සිතිනි.

පල්ලිය ආසන්නයේ අලුතින් තැනූ ස්මාරක දෙකක් මතට මල්මාලා දමමින් සිටි තරුණයෙක් මාදෙස බලා එකවරම කුමක් හෝ මතක් වූ ලෙසින් වෙනතක බලා ගත්තේ ය. මීට වසර 3කට පෙර මේ ප්‍රදේශයට මානුෂික මෙහෙයුම යැයි පවසමින් ඔවුන් මතට එල්ල කල රුදුරු පීඩනයට අපිත් වරදකරුවෝ නොවේදියි එවිට මට සිතිනි. 2009 මැයි මස 19වනදින දකුණේ කිරිබත් කමින් සිංහ කොඩි පොරව ගනිමින් වීථි පුරා දැමූ ජෝගිවලට අප සම්මාදම් වූයේ නැත. නමුත් ඒ වන විට මෙහි අද සිටින මිනිසුන් සහ ගැහැණුන් දිය බිඳක් නොමැතිව සැතපුම් ගණනක් දිවි බෙරා ගන්නට දිව යද්දි, තම සමීපතමයින් තම දෙපාමුලම වෙඩි වැදී ඇද වැටෙද්දි, තම එකම දරුවා තම උකුලෙන් ගිලිහෙද් දී, හෘද සාක්ෂියක් නැති දකුණේ බොහෝ පිරිස් සති ගණන් ජයග්‍රහණය සැමරීය.

නමුත් ඒ අමතක කළ නොහැකි වේදනාත්මක අත්දැකීම් සමඟ වසර 3කට පසුවද මේ සහෝදර ජනයාට යුක්තිය ඉටු වී නැත.

මේ ස්මාරකය මොකද්ද? අසල සිටි පියතුමෙකුගෙන් අපි විමසූවෙමු. ‛‛මේ පියතුමාගේ නම සරාජීවන්. මේ පල්ලියේ තමා යුද්ධය දවස්වල හිටියේ. ඒත් මේ ප්‍රදේශයේ ඉන්න බැරි තරමට යුද්ධය දරුණු වෙනකොට පියතුමාත්, මෙහෙ සිටි අනෙක් මිනිසුනුත් මෙයින් යන්න තීරණය කළා. ඔවුන් යුද්ධයේ අවසන් අදියර පැවති මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් හමුදාවත් සමඟ පිටත් වෙනකොට දැඩි වෙහෙසත්, පීඩනයත් නිසා හෘදයාබාධයකින් මේ පියතුමා මිය ගියා. ඒ පියතුමා ස්මරනය කරන්න තමා ඒක හදලා තියෙන්නේ. යුද්ධයෙන් මිය ගිය සියලු අය සිහිවෙන්න තමා අනිත් ස්මාරකය හදලා තියෙන්නේ. අද මේ මිනිස්සු ඔක්කොම සරාජීවන් පියතුමාව ඇතුලු යුද්ධයෙන් මිය ගිය සියලු දෙනා සමරනවා.’’ ඒත් තවමත් යුද්ධයෙන් මිය ගිය අය සිහි කරන්නවත් නිදහසක් මේ මිනිසුන්ට නෑ. විවිධ තර්ජන එල්ලවෙන අවස්ථාත් තිබෙනවා. ඔහු කීවේ ගැඹුරු වේදනාවකින් යැයි මට සිතිනි.

පල්ලියේ ඝාංඪාරය නද දෙද්දී පල්ලිය තුළින් ඇසුනු ගීතිකා හඬත් සමඟ මිනිසුන්, ගැහැණුන් සහ ළමුන්ගෙන් පල්ලිය පීරි යමින් තිබිණි. ඝාතනය කරන ලද සියලු දෙනා වෙනුවෙන් අනුස්මරණ පූජාව පල්ලිය තූළ ඇරඹෙද්දී ඇතැම් අම්මාවරුන්ගේ ඇස්වලින් කදුඑ කැට කඩා හැලෙන්නට විය. එය බලා සිටීමට අපේ ඇස් ඒ තරම්ම අවාසනාවන්ත විය.

දෙවියන් ඉදිරියේ පොල් ගසා යුක්තිය පැතූ අම්මාවරුන්

නිසොල්මන්ව බලා සිටින කිලිනොච්චි අහසත්, පල්ලියේ අනුස්මරණ පූජාවේ සිටි මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ ඇස්වල තිබූ කිව නොහැකි වේදනාවත් සමඟ කිලිනොච්චි කෝවිල, සහෝදර, සහෝදරියන් සහ අම්මාවරුන්ගෙන් පිරී යමිනි තිබිණි. කොවිලේ හඬ දුන් ඝාංඨාර නාදයත්, පල්ලියේ රැව්දුන් ඝාංඪාර නාදයත් එක විට කියා සිටියේ ආගම් පසෙකලා මීට වසර 3කට, ඊටත් පෙර සිට මරා දැමූ දමිළ ආත්මයේ නිදහස සහ යුක්තිය වෙනුවෙන් එක් විට පෙනී සිටින බව යැයි මට හැඟුනේ, එකම දින පල්ලියේත් සිටි, කෝවිලටත් පැමිණ සිටි අතුරුදහන් කරුනු ලැබූ තම සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින පල්ලියේදී අපත් සමඟ කතාකල කාන්තාවකගේ රුව දැකීමෙන් ය.

කෝවිල තුළ යාථිකා හඬත්, පහන්වල තෙල් සුවදත් ඔවුන්ට ටික වේලාවකට හෝ නිදහස දුන්නා මෙන් ඔවුන් සියලු දෙනා දෙවියන් ඉදිරියේ තමන්ට යුක්තිය ඉල්ලා සිටියේය. අතුරුදහන්කලවුන් නැවතත් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය. පසුව කෝවිල ඉදිරිපිට පොල් ගෙඩි විශාල ගණනක් ගොඩ ගැසෙමින් තිබිණි. විනාඩි ගණනක් යන්නට පෙර පොල් ගෙඩි සියල්ල දෙවියන් ඉදිරියේ බිඳෙමින් තිබුණේ දින, මාස, වසර ගණනාවක තමන්ගේ සිතු තුළ බුර බුරා නැගුණු වේදනාවත්, ඒ වේදනාවට ගිණිදල්වා සිටි ඝාතකයින්ටත් එරෙහිවය.

යුද්ධයෙන් වසර 3ක් ගෙවී යන මොහොතෙත් ඝාතනය කළ, අතුරුදහන්කළ තම සමිපතමයින් තම කෝවිල තුළ සමරද්දි සිවිල් ඇඳුමින් සැරසුනු බුද්ධි අංශ නිළධාරීන් බලා සිටියේ කෝවිල තුළ සිටියේ වරදකරුවන්ගේත් වරදකරුවන් ලෙසිනි. දැන් ඕනෑම තැනක නිදහස ඇතැයි කියනා බළධාරීන් යුද්ධයේදී ඝාතනයට ලක්වුනු තම සමීපතමයින් සමරන්නට ‛නිදහස’ දෙන්නේ එලෙසය. නමුත් උතුරේ කාන්තාවන් පොල් ගසා යුක්තිය සහ නිදහස දෙවියන් ඉදිරියේ යදින විට ‛ජයග්‍රහණය’ සමරා දකුණේ රණ ගී ගයා, යුද්ධයට භාවිතාකල අවි ආයුධ ‛ඊනියා දේශප්‍රේමයේ’ සඑවෙන් ඔතා ‛කලේ මෙහෙමයි’ කියමින් අලුත් ලංකාවක් පතමින් ඇත. ලංකාවේ එක් කොනක ජිවිත අහිමි කිරීමේ කඳුලුත්, තවත් කොනක ‛අහිමිකිරීම’ ජයග්‍රහණයක් යැයි සිතමින් සවුදිය පුරන විට, යාපනයේ එක් කාන්තාවක් කීවේ ‛ එක ගෙදරක එක් කාමරයක අවමඟුලකි, තවත් කාමරයක උපන්දින සාදයකි.’ කියා ය.

වසර 30කට පසුත් ‛අහිමිකිරීමේ ජයග්‍රහණය’ වෙනුවෙන් වන උපන්දින සාදයට ඉදිරියෙදීත් බොහෝ ලාංකිකයින් සහභාගී වනු ඇත. නමුත් ඒ උපන්දින සාදයේ ඇත්තේ ‛ලේ සුවඳ’ මිස ‛මල් සුවඳ’ නොවේ යැයි කවදා නම් ලාංකිකයනි වටහා ගනු ඇති ද?

Video
[youtube]http://www.youtube.com/watch?v=QXEV1HK3JBY[/youtube]

සම්පත් සමරකොන්
යාපනයේ සිට