Colombo, end of the War, Featured Articles, Features

‛LLRC නිර්දේශ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිචාරය ඉතාමත්ම කණගාටුදායකයි’


උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම පත්කළේ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ දරුස්මාන් වාර්තාවට විකල්පයක් සඳහා තමයි මෙම කොමිසම පත්කළේ. අපිට විදේශීය නිර්දේශයන් අවශ්‍ය නැහැ කියලා ආණ්ඩුවෙ පාර්ශවයෙන් කිව්වා. දේශීය විසඳුමක් සොයාගැනීම සඳහා අපි මේ එල්.එල්.ආර්.සී කොමිසම පත් කරනවා, ඒ කොමිසමේ නිර්දේශ ලැබුණාම අපි ඒක ක්‍රියාත්මක කරනවා කියලා ආණ්ඩුව කිව්වා.

ඇත්ත වශයෙන්ම ඒ කොමිසමේ වාර්තාව දැන් නිල වශයෙන් එලියට ඇවිත් තියෙනවා. දැන් ඒක නිල වශයෙන් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ එල්.එල්.ආර්.සී වාර්තාවේ සඳහන් නිර්දේශයන් පිළිබඳව බොහෝ දෙනෙක්ගෙ ප්‍රසාදයක් තිබෙනවා. විශේෂයෙන් ඒ වාර්තාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන, නීතිය හා සාමය ගැන ඒ වගේම රටේ නීති විරෝධී අවි ආයුධ නිරායුධ කිරීම පිළිබඳව බොහෝ කරුණු තිබෙනවා. විශේෂයෙන්ම වැදගත්ම කාරණය තමයි රාජ්‍ය අංශයේ ස්වාධීනත්වය ඇතිකිරීම සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් බොහෝ දේවල් සඳහන් වෙලා තියෙනවා. අපි දැන් උතුරට දේශපාලන විසඳුමක් ගැන කතා කරන වෙලාවක එල්.එල්.ආර්.සී වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කළහොත්, අපිට විශ්වාසයක් ගොඩනගාගන්න පුළුවන්. පසුගිය කාලයේ එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරපු යෝජනාවෙ එක පදනමක් තමයි එල්.එල්.ආර්.සී වාර්තාව ක්‍රියාත්මක කරන්න මූලික ක්‍රියාදාමය ආරම්භ කරන්න කියන එක. ඉතින් මානව හිමිකම් ගැන වුණත්, නීතිය හා සාමය ගැන වුණත්, එහෙම නැත්නම් වෙනත් කරුණු ගැන වුණත් රටේ යහපතක් තිබෙනව නම් ඒ යහපත් ක්‍රියාවලිය ආරම්භ කිරීමේ කිසිම වැරැද්දක් නැහැ.

එක්සත් ජාතික පක්ෂය හැටියට එල්.එල්.ආර්.සී වාර්තාව ක්‍රියාත්මක කිරීම සඳහා අපේ පූර්ණ සහයෝගය දෙනවා. ඒකෙ ආණ්ඩුවෙ යෝජනාවක්. එල්.එල්.ආර්.සී වාර්තාව ගැන සමහර මැති ඇමතිවරු වෙන කොහෙන් හරි ගෙනාපු යෝජනාවක් හැටියට කතා කරනවා. මේක ජනාධිපතිතුමා විසින් පත්කරපු කොමිසමේ වාර්තාව. එසේ නම් එල්.එල්.ආර්.සී වාර්තාව කියන්නෙ දේශීය වාර්තාවක්. මේක කොහෙන්වත් ආනයනය කරපු වාර්තාවක් නෙමෙයි. එල්.එල්.ආර්.සී වාර්තාවේ ක්‍රියාත්මක කළ හැකි බොහෝ කරුණු සඳහා අණ පණත් සම්මත කරන්න වුවමනා නැහැ. දැන් තිබෙන්නෙ එල්.එල්.ආර්.සී වාර්තාවෙන් යෝජනා කරන මේ නිර්දේශයන් ක්‍රියාවට නංවන්න අවශ්‍ය යාන්ත්‍රණය ගොඩනැගීම පමණයි.

මේක ක්‍රියාත්මක කිරීම පිණිස ආණ්ඩුව පියවර ගන්නවා නම් අපිට යහපත් ප්‍රතිචාර ගණනාවක් ලැබෙනවා. එකක් තමයි එල්.එල්.ආර්.සී වාර්තාව හරහා අපි මේකට අවතීර්ණ වුණා කියන කාරණය පණිවිඩයක් විදිහට ලබා දෙමින්, ජාත්‍යන්තර මානව හිමිකම් සංගමය සම්මත කරලා තිබෙන මානව හිමිකම් යෝජනාව ක්‍රියාවට නැංවීම සඳහා අපට බලකරන එක අවම කරගන්න පුළුවන්. දෙවෙනි කාරණය තමයි, එල්.එල්.ආර්.සී වාර්තාව ක්‍රියාත්මක කිරීමෙන් සිදුවන විශ්වාසය ගොඩනැගීම මත, ආණ්ඩුව යෝජනා කරන තේරීම් කාරක සභාව සාර්ථක කර ගන්න පුළුවන්. තුන්වෙනුව අද යහපාලනය පිළිබඳව ලොකු සැකයක් මතු වෙලා තිබෙනවා. සුදු වෑන් ඇවිත් මිනිස්සුන්ව උස්සගෙන යනවා, අමු අමුවෙම නීතිය උල්ලංඝනය කෙරෙනවා, පොලීසියේ ස්වාධීනත්වය නැහැ, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය නැහැ. ඒ නිසා තමයි එල්.එල්.ආර්.සී වාර්තාවේ ස්වාධීන පොලිස් කොමිසම ගැන සඳහන් කරන්නෙ. කොපමණ ස්වාධීනත්වය නැද්ද කියලා කියනවනම්, අද පොලීසියට, හමුදාවට කරන්න වෙලා තියෙන්නෙ තමන්ගෙ රාජකාරිය නෙමෙයි. පොලිස් විශේෂ කාර්ය බලකාය අනුරාධපුරයෙදි නිදන් හාරන්න ගියා. මේක ගැන මොන කතා කිව්වත් මේ නියෝගය වැරදියිනෙ. විශේෂ කාර්ය බලකායෙ වගකීම වෙන්නෙ නිදන් හෑරීම, නිදන් ආරක්ෂා කිරීම නෙමෙයි. මෙවැනි තත්ත්වයකට ඇයි පත්වෙලා තියෙන්නෙ? පොලීසිය දේශපාලනීයකරණය වෙලා. එල්.එල්.ආර්.සී වාර්තාවෙ මේක තියෙනවා.

එල්.එල්.ආර්.සී වාර්තාවේ සියලු නිර්දේශයන් ක්‍රියාත්මක කරන්න කියලා අපි කියන්නෙ නැහැ. නමුත් විපක්ෂයයි, ආණ්ඩුවයි එකඟ වෙන්න පුළුවන් නිර්දේශ ටික මුලින් ක්‍රියාත්මක කරලා මේක ආරම්භ කරමු. අපිට මීට වඩා වැදගත් කාරණයක් තිබෙනවා. ඒ තමයි උතුරට යෝජනා කරන දේශපාලන විසඳුම. එල්.එල්.ආර්.සී යෝජනාව ක්‍රියාත්මක කරනවා කියන සහතිකය සහ ඒ ක්‍රියාව අපි ආරම්භ කෙරුවොත්, දේශපාලන විසඳුමක් සඳහා උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ටී.එන්.ඒ එක කැඳවගන්න හොඳ අඩිතාලමක් අපිට ලැබෙනවා. ඒ වගේම ලබන සැප්තැම්බර් මාසයේ ජාත්‍යන්තර මානව හිමිකම් සංගමයේ මීළඟ රැස්වීමට ප්‍රථම, අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පෙන්වුවොත්, අපිට විරුද්ධව එවැනි සංවිධානයක් යෝජනාවක් සම්මත කිරීමට උත්සාහ කරන එකක් නැහැ.

නමුත් ඇත්තටම ආණ්ඩුවේ පාර්ශවයේ ප්‍රතිචාරය ඉතාමත්ම කණගාටුදායකයි. හරියට ආණ්ඩුවෙ සමහර මැති ඇමතිවරු කතා කරන්නේ මේක ආණ්ඩුවේ යෝජනාවක් නෙමෙයි කියලා. මේක මේ වෙන කාගෙ හරි වුවමනාවකට ලියලා තියෙන්නෙ කියලා විමල් වීරවංශ ඇමතිවරයා ප්‍රකාශකරලා තියෙනවා. එල්.එල්.ආර්.සී වාර්තාව සීමාවෙන් පිට ගිහිල්ලා කියලා චම්පික රණවක ඇමතිවරයා කියලා තිබුණා. තමන්ගෙම නායකයා වන ජනාධිපති රාජපක්ෂ පත් කරපු කොමිසමක් ගැන මේ විදිහට ආණ්ඩුව ඇතුළෙම විරෝධය පළ කිරීම, විවේචනය කිරීම සාධාරණ නැහැ කියලා අපි කියනවා. එල්.එල්.ආර්.සී කොමිසම හමුවට අපි ගියෙ නැහැ. ඒකට සාක්ෂි ඉදිරිපත් කළේ ආණ්ඩුවෙම කණ්ඩායම්. මෙහි ඩග්ලස් දේවානන්ද ඇමතිවරයාට, පිල්ලෙයාන් ඇමතිවරයාට, එරෙහිව බරපතල චෝදනා කරලා තිබුණා.සුදු වෑන් සංස්කෘතිය ගැන බොහොම පැහැදිලිව සඳහන් කරලා තිබුණා. ඉතින් මේ වගේ චෝදනා වලින් නිවැරදි වීම යහපාලනයට හොඳ දෙයක්නෙ. කවුරුහරි කියනව නම් මේ වාර්තාව කාගෙ හරි උවමනාවට ලිව්වා කියලා ඒ කිව්වෙ ඇත්ත. මොකද ඒක ලියලා තියෙන්නෙ ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගෙ උවමනාවට. ඒක නිසා මේක විවේචනය කරලා වැඩක් නැහැ. කළ යුතුව ඇත්තේ මේ වාර්තාව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය යාන්ත්‍රණය සැකසීම පමණයි.

දරුස්මාන් වාර්තාව ඉදිරිපත් වුණාම රටේ දැඩි විරෝධයක් මතු වුණා. ඒක එක්තරා කණ්ඩායමක වුවමනාවකට ලියපු විදේශ වාර්තාවක් කියලා තමයි කිව්වෙ. එහෙත් එල්.එල්.ආර්.සී වාර්තාවට එහෙම කියන එක වැරදියි. අපි නෙමෙයි එල්.එල්.ආර්.සී වාර්තාව ආරක්ෂා කරන්න ඕනෙ ආණ්ඩුව. අපි කියන්නෙ මේ වාර්තාවේ සියළු නිර්දේශ ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙන්නෙ නැහැ. නමුත් ඒකෙ තියෙන යහපාලනයට අදාල කාරණා ක්‍රියාත්මක කරන්න, විශේෂයෙන්ම 17 වෙනි වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණු ඒ ස්වාධීන කොමිෂන් සභා ටික ක්‍රියාත්මක කරලා, සුදු වෑන් සංස්කෘතිය නවත්වලා නීතිය හා සාමය ස්ථාපිත කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ටික ගත්තාම ලෝකයටයි, රටටයි පේනවා යහපත් ක්‍රියාවලියක් ආරම්භ වුණා කියලා.

එල්.එල්.ආර්.සී වාර්තාවේ පෙන්වලා දීලා තියෙන පරිදි නීති විරෝධීව යමක් සිදුවෙලා තියෙනව නම්, මානව හිමිකම් උල්ලංඝනය වන පරිදි යම් යම් පියවර අරගෙන තිබෙනව නම්, අපේ කීර්තිනාමය ආරක්ෂා කරන්න ඒව පිළිබඳව හොයලා බලන එක හොඳයි. ඒ වගේම යුධ නීතිය ඉක්මවලා යම් යම් සිදුවීම් සිදුවෙලා තියෙනව නම් ඒව පිළිබඳව ක්‍රියා මාර්ග ගැනීම රටක් හැටියට හොඳයි. ඇත්තටම යුද්ධයෙදි නොයෙක් දේවල් සිදුවෙනවා. ඒක මානුෂික ක්‍රියාවලියක් නෙමෙයි. නමුත් හිතාමතාම මෙවැනි දේවල් සිදුවෙලා තියෙනව නම් ඒවා පිළිබඳව නිශ්ශබ්දව ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ යෝජනා දෙස යහපත් ආකාරයෙන් බලලා එල්.එල්.ආර්.සී වාර්තාවෙ සඳහන් කරලා තියෙන මේ නිර්දේශයන් සාධනීය මට්ටමකට රැගෙනයන්න ආණ්ඩුවට පුළුවන්. අපි මේව ගැන නොබලා හිටියොත්, පිටරට බලපෑම් වලට අපි යට වෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ වැඩකටයුතු වලට ජාත්‍යන්කර සංවිධාන ඇඟිලි ගහන්න ඉඩ තිබෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් වලකා ගැනීමේ වගකීම තිබෙන්නෙ ආණ්ඩුවටයි.

තිස්ස අත්තනායක
මහලේකම්, එක්සත් ජාතික පක්ෂ
(සාකච්ඡාවක් ඇසුරෙනි)