සිංහල, Colombo, Governance

රියෝ සමුළුව : තිරසාර අනාගතයකට හුදකලා චාරිකාවක්?


පරිසරය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවක් බ‍්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවර පැවැත් වෙනවා. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, අමාත්‍යවරුන් හා රාජ්‍ය නායක මට්ටමින් පවත්වන අන්තර්-රාජ්‍ය නායක රැස්වීම්වලට අමතරව විද්‍යාඥයන්, පරිසරවේදීන් හා වෙනත් විද්වතුන් එක් රැස් කරන සාකච්ඡා, වැඩමුළු, සම්මන්ත‍්‍රණ රාශියක් ද මේ දිනවල එම නගරයේ සංවිධානය කැරෙනවා.

1955 සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජ්‍ය මට්ටමින් සාමාජිකත්වය දරන (සහ ඒ සඳහා වාර්ෂිකව සාමාජික ගාස්තුවක් මහජන මුදලින් ගෙවන) ලක් රජය ද මේ සමුළුවට රාජ්‍ය මට්ටමින් සහභාගි වනවා.

මෙය හුදෙක් හරිත ප‍්‍රශ්න පිළිබඳ පාරිසරික සමුළුවක් නොවෙයි. ලෝකයේ දුගී දුප්පත්කම, සමාජ අසමානතා හා විසමතා දුරු කිරීමට ආර්ථික සංවර්ධනය අත්‍යවශය බවත්, එම සංවර්ධනය තිරසාර කරගැනීමට ක‍්‍රමවේදයන් සකසා ගත යුතු බවත් රියෝ සමුළුවේදී එයට සහභාගි වන රටවල් ප‍්‍රතිපත්ති මට්ටමින් පිළිගන්නවා.

ලක් රජයේ ඇතැම් කොටස්කරුවන් නොදන්නාකමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දැක්කත්, මේ සමුළුවේ වැදගත්කම අවබෝධ කරගත් මෙරට පරිසර අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය මාස ගණනාවක් තිස්සේ ඒ සඳහා නිල සූදානමක් සිදු කළා. එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන රටවල් 193න් එකක් හැටියට රියෝ සමුළුවේදී ශ‍්‍රී ලංකාව ද තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් දේශීය මට්ටමේ ප‍්‍රගතිය හා ඉදිරි දැක්ම කැටි කැරෙන වාර්තාවක් ඉදිරිපත් කරනු ඇති.

මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ රාමුව තුළ අනවශ්‍ය ලෙස ගැටුම් ඇති කර ගන්නා ලක් රජය, අනාගත මානව සුබසිද්ධිය ගැන ලෝක මට්ටමින් කථාකබහ කරන මේ සමුළුවේ දී වඩාත් සුබවාදී ලෙසින් සහභාගි වීම අගය කළ යුතුයි.

රියෝ සමුළුවේ එක් ප‍්‍රධාන තේමාවක් වන්නේ වර්තමාන ආර්ථික රටාව වඩාත් පරිසරයට හා මානවයන්ට හිතකර එකක් බවට පත්කර ගන්නේ කෙසේ ද යන්නයි. මෙයට Green Economy හෙවත් හරිත ආර්ථිකය යයි කීව ද මෙහිදී ‘හරිත’ යන්න විග‍්‍රහ කැරෙන්නේ වඩාත් පුළුල් අරුතින්. අපේ ඇතැම් හරිතවේදීන් බහුලව යොදා ගන්නා ගස්කොළ, වනසතුන් හා සොබාදහම යන පටු අරුතින් නොවෙයි.

එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන(UNEP) හරිත ආර්ථිකය විග‍්‍රහ කරන්නේ, ‘මානව උන්නතිය හා සමාජ සාධාරණත්වය ප‍්‍රවර්ධනය කරන අතර ම පාරිසරික අවදානම් අඩු කරමින් සොබා සම්පත් නැණවත්ව පරිහරණය කරන අන්දමේ ආර්ථික ක‍්‍රමයක් හැටියටයි.

එබදු ආර්ථිකයක මූලික ගුණාංග හා අරමුණ තුනක් හඳුනාගෙන තිබෙනවා.

* පාෂාණිභූත ඉන්ධන (පෙට‍්‍රල්, ගල්අඟුරු හා ගෑස්) වඩාත් අඩුවෙන් දහනය කරමින් මිහිතලය උණුසුම් කරන කාබන්ඩයොක්සයිඞ් අඩුවෙන් පිට කරන ආර්ථිකයක්.

*සොබා සම්පත් අරපිරිමැස්මෙන් භාවිත කරන නාස්තිය අවම කළ වඩාත් කාර්යක්ෂම ආර්ථිකයක්.

* සංවර්ධනයේ ප‍්‍රතිලාභ දුප්පත් හා පොහොසත් හැම අතර සාධාරණව බෙදා ගන්නා ආර්ථිකයක්.

මෙයින් තෙවැනි අරමුණ ඉටු කර ගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. සියවස් ගණනාවක් තිස්සේ යුතෝපියානු (Utopian) ඉලක්කයක් ලෙස සැලකුණු මේ සමානාත්මතාව, ධනවාදය තුළත් හෝ සමාජවාදය තුළින් හෝ ළඟා කර ගන්නට නොහැකිව තිබෙනවා. මේ සදාතනික පැතුමට හරිත ආර්ථිකයෙන්වත් නව ජවයක් ලැබෙයිද? එය කියන්නට බැහැ. එයට මුල් වන්නේ දේශපාලනික හා සමාජයීය සාධක නිසා.

ඉහත පළමු හා දෙවැනි අරමුණු සඳහා නම් විද්‍යාව හා තාක්ෂණය නැණවත්ව හා ක‍්‍රමවත්ව යොදා ගත හැකියි. එහෙත් හරිත ආර්ථිකයක් වසරකින් හෝ දශකයකින් එකවර පැන නැගෙන්නේ නැහැ. එය සෙමෙන් හා ක‍්‍රමයෙන් ගොඩ නැගිය යුතු ක‍්‍රමීය වෙනසක්. සොබාදහම රැක ගැනීමට පමණක් ලඝු කළොත් එය සිදුවන්නේත් නැහැ. හරිත ආර්ථිකයකට යොමු වීම හරහා රටක, ප‍්‍රජාවක මෙන් ම පවුලක ආර්ථිකයකටත් ලාබදායී හා ප‍්‍රයෝජනවත් වියයුතුයි.

විශේෂයෙන් බලශක්ති සම්බන්ධයෙන් හරිත ආර්ථිකයකට යොමු වීමේ වැඩි නැඹුරුවක් ඇතැයි UNRP කියනවා. මෙයට එක් ප‍්‍රධාන හේතුවක් නම් ඉහළ යන තෙල් මිලයි. ඛනිජ තෙල් වඩාත් පිරිමැසුම්දායක ලෙස භාවිත කරන අතර පුනර්ජනනීය ඉන්ධන ප‍්‍රභවයන් (Renewable energy sources) වෙත යොමු වීමේ හදිසි අවශ්‍යතාව අද ලෝකයට ම තේරුම් ගොස් තිබෙනවා.

සූර්ය, සුළං හා ජෛව ඉන්ධන බලශක්තිය වඩාත් කාර්යක්ෂමව ජනනය කොට, ගබඩා කොට, ප‍්‍රයෝජනයට ගැනීමේ තාක්ෂණයන් දියුණු කරන්නට ඉන්දියාව, චීනය, ජපානය, අමෙරිකාව, බ‍්‍රසීලය වැනි රටවල් අද විශාල ලෙස පර්යේෂණ කරනවා. මුදල් ආයෝජනය කරනවා.

එහෙත් හරිත ආර්ථිකයක් බිහිවීමට නවීන තාක්ෂණයන් හා ක‍්‍රමවේදයන් පමණක් සෑහෙන්නේ නැහැ. එයට හිතකර ප‍්‍රතිපත්ති රාමුවක් හා සමස්ත රාජ්‍ය ක්ෂේත‍්‍රයේ ම කැපවීම අවශ්‍යයි. මෙරට පුනර්ජනීය බලශක්ති ප‍්‍රවර්ධනය කරන පෞද්ගලික සමාගම් මෙන් ම ස්වෙච්ඡා ආයතනවලටත් කලක් තිස්සේ තිබෙන ගැටලූවක් නම් එබඳු පැහැදිලි හා හිතකර ප‍්‍රතිපත්ති රාමුවක් නොතිබීමයි.

මේ තත්ත්වය කෙමෙන් හොඳ අතට හැරෙන බව ද කිව යුතුයි. විදුලි හා බලශක්ති අමාත්‍යාංශය පුනර්ජනනීය බලශක්තිය නිපදවන තනි පුද්ගලයන්ගෙන් හා සමාගම්වලින් අතිරික්ත විදුලිය ලබා ගැනීමට කැමති වීම එක් මෑත හොඳ ප‍්‍රවරණතාවක් Net Metering (http://tiny.cc/metM) ලෙස හැඳින්වෙන මෙය ජාතික විදුලිබල ජනන ජාලය මත දැනට ඇති පීඩනය යම් තරමකට හෝ සැහැල්ලූ කිරීමට උදවු වනු ඇති.

තිරසාර සංවර්ධන ගැනත්, අලූත් ආර්ථික ක‍්‍රමයක දැඩි අවශ්‍යතා ගැනත් මීට වසර 40කට පෙර පෙන්වාදුන් ජර්මානු – බි‍්‍රතාන්‍ය ආර්ථික විද්‍යාඥ අර්න්ස්ට් ෂූමාකර්ගේ (Ernst Schumacher) ජන්ම ශත සංවත්සරය සමරන්නට මාර්තුවේ කොළඹ දී වැඩමුළුවක් පැවැත් වූණා. අසීමිත ලෙස ආර්ථික වර්ධනය පසුපස හඹා යාම සොබා සම්පත්වලට හා මානව සමාජයට දිගුකාලීනව දරා ගැත නොහැකි බව කල් තබා වටහාගෙන ලෝකයට අනතුරු ඇඟවූ අසාමාන්‍ය ගණයේ විද්වතකු හැටියට ෂූමාකර් පිළිගැන්නෙවා.

එහෙත් ‘පුංචි නම් ලස්සනයි’ (Small is Beautiful) නමින් 1973 දී ඔහුගේ වඩාත් ම ප‍්‍රකට කෘතිය ලියූ වකවානුවේ එබඳු සංකල්ප මතුකරන්නන් දෙස බොහෝ දෙනා බැලූවේ සැකයෙන් හා අවඥාවෙන්. මානව චින්තනය වෙනස් කරන්නට අසම්මත ලෙස සිතු හා අදහස් පළ කළ බොහෝ දෙනා මෙන් ෂූමාකර් ද තමන් ජීවත් වූ යුගයට වඩා ඉදිරියෙන් සිටි බව කොළඹ වැඩමුළුවේ කථිකයන් කියා සිටියා.

එහිදී කථා කළ බලශක්ති සංසදයේ විධායක අධ්‍යක්ෂ හා බලශක්ති අමාත්‍යාංශයේ උපදේශක අසෝක අබේගුණවර්ධන කීවේ මෙරට බලශක්ති ජනනයට සිදු කැරෙන කාබන් ඩයොක්සයිඞ් විමෝචනය ටිකෙන් ටික සීමා කිරීමේ උවමනාව හඳුනාගෙන ඇති බවත්. ඒ සඳහා 2020න් පසුව ක‍්‍රමානුකූලව යොමු වනු ඇති බවත්. එහෙත් මේ ඉලක්කය වෙත ළඟා වීමට හරස්වන තාක්ෂණික හා ආර්ථික බාධක ඉවත් කළ යුතුව ඇතැයි ද ඔහු සඳහන් කළා. (මේ බාධක මොනවාදැයි ඔහු විස්තර කළේ නැහැ.)

තිරසාර සංවර්ධනයට මෙරට තිබෙන ලොකුම බාධකයක් ලෙස හඳුනාගෙන ඇත්තේ රජයේ විවිධ ආයතන අතර සම්බන්ධිකරණයක් නැතිවීමයි. මේ සම්බන්ධීකරණය ඇති කිරීමට තිරසාර සංවර්ධනය සඳහා ජාතික කවුන්සිලයක් (National Council for Sustainable Development) 2008 දී පිහිටුවනු ලැබුවා. ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් එහි ආර්ථික ක්ෂේත‍්‍රයට අදාළ අමාත්‍යාංශ 22ක් නියෝජනය වනවා. රජයේ පාරිසරික ප‍්‍රතිපත්ති හා හරිත ලංකා පාරිසරික වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට සහය වීම මේ කවුන්සිලයේ වගකීමයි. හරිත ලංකා වැඩසහටන යටතේ පුළුල් ඉලක්ක 10ක් ප‍්‍රකාශයට පත් කොට තිබෙනවා. සැමට පිවිතුරු වාතය ලබාදීම, වගකීමක් සහිත ඉඩම් පරිහරණය, නාගරික ප‍්‍රදේශවල පාරිසරික තත්ත්ව පාලනය, කාර්මික ක‍්‍රියාවලින් පාරිසරික බලපෑම් කළමනාකරණය, දේශගුණ විපර්යාසවලට මුහුණදීම ආදිය ඒ අතර තිබෙනවා.

නම සඳහන් නොකිරීමේ එකඟත්වය මත පරිසර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කීවේ මේ උතුම් අරමුණු සඳහා රජයේ සෙසු අමාත්‍යාංශ හා ආයතන ඒකාරාශි කොට සම්බන්ධීකරණය කිරීම ඉතා අපහසු වී ඇති බවයි. ඉඩම්, ජලය, කෘෂිකර්මාන්තය, බලශක්ති ජනනය, කර්මාන්ත, ප‍්‍රවාහනය ආදී ප‍්‍රධාන ප‍්‍රවාහයේ ක‍්‍රියාකාරකම් සියල්ල සිදු වන්නේ පරිසර අමාත්‍යාංශයෙන් පරිබාහිරවයි.

මේ යථාර්ථය තුළ තිරසාර සංවර්ධනයක් ඇති කරන්නට නම් සොබා සම්පත් කළමනාකරණය කරන හෝ පාරිසරික බලපෑම් ඇතිකරන හෝ දැවැන්තයන්ගෙන් දායකත්වය අත්‍යවශ්‍යයි. එය හුදෙක් පරිසරය දිනයකට. මිහිතල දිනයකට හෝ හරිත ලියවිල්ලකට සීමා නොවිය යුතුයි.

මෑත උදාරහණයක් ගනිමු. හරිත ලංකා වැඩසටහනේ එක් ඉලක්කයක් නම් 2016 වන විට මෙරටට අවශ්‍ය ඛනිජ තෙල් ප‍්‍රමාණයෙන් 10%ක් ජෛව ඉන්දනවලින් (Bio-fuel) නිපදවා ගැනීමයි. (පෙට‍්‍රල් වාහනවල එන්ජින් වෙනස්කමක් නොකොට, එන්ජින්වලට හානියක් ද නොවී 10-15% ක් ඊතයිල් මධ්‍යසාරය මිශ‍්‍ර කළ හැකියි. වාහනවල ඛනිජ තෙල් බිල අඩුකර ගන්නට ඒවාට මධ්‍යසාර මිශ‍්‍ර කිරීම විද්‍යාත්මකව අත්දුටු ක‍්‍රමයක්).

එහෙත් මෑතකදී මාධ්‍ය වාර්තා කළේ මෙරට අතිරික්ක බඩඉරිඟු ටොන් 10,000ක් කැනඩාවට හා තායිවානයට විකිණු බවයි. එය අපේ කෘෂිකර්මයේ හා ජාත්‍යන්තර වෙළෙඳාමේ ජයග‍්‍රහණයක් ලෙස හුවා දක්වා තිබුණා. බඩඉරිඟු ටොන් 10,000 අලෙවියෙන් මෙරට කොපමණ විදේශ විනිමයක් ලැබෙනවා දැයි ප‍්‍රකාශිත නැතත්, මේ අතිරික්තය ජෛව ඉන්ධන නිපදවීමට යොදා ගත්තා නම් කොපමණක් වටිනා ඛනිජතෙල් සඳහා ආදේශ කළ හැකිව තිබුණාද?

බඩඉරිඟු පැසවීමෙන් ජෛව ඉන්ධන මධ්‍යසාර නිපදවා ගත හැකියි. රියෝ සමුළුවට බ‍්‍රසීලයට යන අපේ නිලධාරීන්ට හා අමාත්‍යවරුන් එරට ජෛව ඉන්ධන අත්දැකීමද දැක බලා ගතහැකි නම් අගෙයි. බහුලව වවන උක් යොදා ගෙන ජෛව ඉන්ධන නිපදවා ඛනිජතෙල්වටල මිශ‍්‍ර කිරීම බ‍්‍රසීලය ඇරඹුවේ 1976 දී. අද දියුණු වන රටවල් අතර ජෛව ඉන්දන බහුලව ම භාවිත කරන රටත්, ඒ සඳහා හොඳම තාක්ෂණික හැකියාව ඇති රටත් බ‍්‍රසීලයයි.

තිරසාර සංවර්ධනය කරා යන ගමන පරිසර අමාත්‍යාංශයට පමණක් තනිව යා හැකි හුදකලා චාරිකාවක් නොවෙයි. පරිසර අමාත්‍යාංශයට හැක්කේ ඒ සඳහා ගමන් මඟ හෙළි පෙහෙලි කොට, පෙර ගමන්කරුවන් වීම හා මාර්ගෝපදේශනයයි. අන්තිමේදී එය පාළු මාවතක් බවට පත් නොකර තිරසාර අනාගතකට දිවෙන සක‍්‍රිය මාර්ගයක් කිරීමේ වගකීම රාජය ක්ෂේත‍්‍රයේ මෙන් ම පෞද්ගලික හා විද්වත් ක්ෂේත‍්‍රවල ආයතන හා තීරක හැම දෙනාට පැවරෙනවා.

අභියෝගයේ බැරුරුමකම හරිහැටි හඳුනා ගෙන, මනා පෙළගැස්මකින් තිරසාර ගමන ගියොත් රියෝ සමුළුවෙන් ඔබ්බට ශ‍්‍රී ලංකාවට බොහෝ දුර යා හැකියි. එහෙත් හිස් වදන් හා ප‍්‍රකාශවලට සීමා වී එක තැන පල් වුණොත් , සමුළුවෙන් සමුළුවට ගොස් එකම තනුව වාදනය කරන පිරිසක් බට පත්වීමේ අවදානම ද තිබෙනවා.

දැන ගියොත් රියෝ. නොදැන ගියොත් අනාථයි.

නාලක ගුණවර්ධන[Nalaka Gunawardhana]
රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී.