සිංහල, Colombo, Democracy, Governance, Media

දැන් ඉතින් අපි රග්බි ගහමු….

‛විමසිලිමත් වන්න, සැකකටයුතු පුද්ගලයෙක් දුටුවොත් වහාම පොලීසියට දන්වන්න, මෙය ඔබේ සමාජ වගකීමකි.’ පසුගිය යුධ සමයේ ආණ්ඩුව විසින් දකුණේ ජනතාවගෙන් නිරන්තරයෙන් ඉල්ලා සිටියේ මෙයයි. වෙනත් ආකාරයට කියනවා නම් ආණ්ඩුව දකුණේ ජනතාවට කියා සිටියේ, ‛අපි මේ යුද්ධය කරන්නේ උඹලා වෙනුවෙනි. උඹලාගේ නිදහස වෙනුවෙනි. ඉතින් උඹලාට නිදහස අපිට පමණක් ලබා දිය නොහැකිය. ඒ සඳහා උඹලාද උපකාර කළ යුතුය. එබැවින් පුළුවන් තරම් විමසිල්ලෙන් ඉඳපල්ලා’ යන්නයි. ඉතින් ජනතාව හැකි තරම් විමසිලිමත් වන්නට විය. හැකි තරම් සැකකටයුතු පුද්ගලයන් සොයන්නට විය. එලෙස කළේ තමන්ගේ නිදහස වෙනුවෙනි. ඉතින් ජනතාවට සැකකටුයතු පුද්ගලයන් හමු විය. අවාසනාවකට ඒ සියල්ලෝම දෙමළ ජාතිකයන් විය. අවසානයේදී මීට අවුරුදු තුනකට පමණ පෙර එක් දිනයක ආණ්ඩුව ජනතාව නිදහස් වූ බව ප්‍රකාශයට පත් කළේය. නමුත් තවමත් දකුණේ ජනයා දෙමළ ජාතිකයා දෙස බලන්නේ ‛මුන් කොයි වෙලේ හෝ ආපහු අපිට වැඩේ දෙන්නට බැරි නැතැයි’ යන හැඟීමෙනි. ඉතින් එවන් බයක් ඉතිරි කර අවසන් වූ යුද්ධයක් තුළින් ජනතාව ලැබූ නිදහස පිළිබඳව ප්‍රශ්නයක් ඇත. ඇත්තටම පවසන්නේ නම් ජනතාව තවමත් නිදහස් නැත. යුධ සමයේ දුටු දෙමළ ජාතිකයාගේ අවතාරය තවමත් දකුණේ ජනතාවගේ මනසින් ඉවත් වී නැත.
‛අප ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේදී ඔබගේ බලවත් කැපවීම අපට අවශ්‍ය බවයි’ පසුගිය යුධ සමයේදී ආණ්ඩුව විසින් දකුණේ ජනතාවගෙන් නිරන්තරයෙන් මෙම ඉල්ලීම කළේය. වෙනත් ආකාරයකට කියනවා නම් ‛අපි මේ යුද්ධය කරන්නේ උඹලා වෙනුවෙනි. උඹලාගේ නිදහස වෙනුවෙනි. ඉතින් උඹලාට නිදහස අපට පමණක් ලබා දිය නොහැකිය. ඒ සඳහා උඹලා කැපවීම් කළ යුතුය. ඉහළ යන ජීවන වියදම දරා ගත යුතුය. නැතිනම් උඹලාගේ නිදහස හුදෙක් සිහිනයක්ම වනු ඇත.’ යනුවෙන් ආණ්ඩුව දකුණේ ජනතාවට කියා සිටියේය. ඉතින් ජනතාව බඩ ගැන නොසිතා තම නිදහස ගැන සිතන්නට විය. අවසානයේ බඩ පිටට කොපමණ ඇලුනත් වචනයක් වත් නොකියා නිදහස එන තෙක් බලා සිටියේය. අවසානයේදී මීට අවුරුදු තුනකට පමණ පෙර එක් දිනයක ආණ්ඩුව විසින් ජනතාව නිදහස් වූ බව කියා සිටියේය. නමුත් තවමත් ජනතාවගේ බඩ පිටටම ඇලී ඇත. එදාටත් වඩා අද ගෑස් ටැංකිය බරය. තෙල් ටැංකිය පුරවන්නට ගෙන යන නෝට්ටු ප්‍රමාණය එදාටත් වඩා බරය. ඉතින් බරක් ඉතිරි වී අවසන් වූ යුද්ධයක් තුළින් ජනතාව ලැබූ නිදහස පිළිබඳ ප්‍රශ්නයක් ඇත. ඇත්තටම පවසන්නේ නම් ජනතාව තවමත් නිදහස් නැත. යුධ සමයටත් වඩා වැඩි කැපවීමක් කරන්නට, අද ජනතාවට සිදු වී ඇත.

ජනතාවගේ ආර්ථික සහ සමාජීය නිදහස මෙසේ සිරගත වෙද්දී ජනතාවගේ රස වින්දනයේ නිදහස පවා අද ඇත්තේ දඟ ගෙයකය. ජනතාව බැලිය යුතු සිනමාව තීරණය කරන්නේ ජනතාව නොව වෙනත් පිරිසකි. මේ මොහොතේ සිනමාව ඔස්සේ ජනතාව නැරඹිය යුත්තේ ජාතක කතා පමණි. රූපවාහිනිය තුළ තත්ත්වය මීටත් වඩා දරුණුය. හුදු ප්‍රේම කතා, ඕපා දූප වලින් එහාට ගිය නිර්මාණයක් නැරඹීමට රූපවාහිනී රසිකයාට තහනම්ය. ජීවිතයේ ගැඹුර හෝ පවතින සමාජ, දේශපාලන යථාර්තයන් පිළිබඳ කතිකාවක් සිනමාව හෝ රූපවාහිනිය තුළ දිග හැරීම ජාතික ද්‍රෝහී කමක් බවට පත් වී ඇත. ඉතින් මෙවන් තත්ත්වයක් තුළ ජනතාව විඳින නිදහස පිළිබඳව ප්‍රශ්නයක් ඇත. ජනතාව විඳිය යුතු කලාව මෙසේ තෝරා දෙන අතරම ජනතාවගේ ක්‍රීඩාව පවා දැන් තෝරා දෙන්නේ වෙනත් පිරිසකි. අද ජනතාවගේ ක්‍රීඩාව රගර් බවට පත් කර ඇත. ඉතින් ඔවුන් රගර් ගසන්නට කතා කරන විට ජනතාව රගර් ගැසිය යුතුය. ඔවුන් රගර් පෙන්වන විට ජනතාව රගර් බැලිය යුතුය. රගර් බලන ජනතාවට ප්‍රීති සින්ටා, බිපාෂා වැනි මානසික අල්ලස් දීමට ඔවුන් අද පෙළඹී ඇත. ඉතිහාසයේ කවරදාටත් වඩා අද ජනතාවගේ නිදහස සිර වී ඇතැයි පවසන්නේ එහෙයිනි.

යුද්ධයනේ පසු ජනතාවගේ සකලවිධ ශරීරයේ නිදහසම මෙසේ බන්ධනාගාර ගත් වෙද්දී එක් අයෙක් සහ ඔහුගේ ගෙදර පිරිස පමණක් නිදහස භුක්ති විඳිති. ඔහුට සහ ඔහුගේ පවුලට දෙමළ අවතාර පිළිබඳව කලබල වන්නට අවශ්‍ය නැත. මන්ද ඔහුව ආරක්ෂා කිරීමට දහස් ගණණක් ඔහු වටා සිටින හෙයිනි (ඔහුව ආරක්ෂා කිරීමේ නාමයෙන් දහස් ගණනක් දෙනා තම නිදහස අහිමි කර ගෙන ඇත). එබැවින් ඔහු සහ ඔහුගේ පවුල නිදහස්ය. ඔහුගේ සහ ඔහු පවුලේ බඩවල් පිටට ඇලෙන්නේ නැත. මන්ද ඔහු වෙනුවෙන් ජනතාව බදු ගෙවන හෙයිනි. එබැවින් ඔහු නිදහස්ය. අද ඔහුගේ අනාගත ආරක්ෂාව වෙනුවෙන් නිපදවෙන කලා නිර්මාණ පමණක් ජනතාව රසවිඳිය යුතුය. එනම් ඔහුගේ නිදහස වෙනුවෙන් ජනතාවගේ රසඥතාවය ජාතක කතා වලට, ඕපා දූප වලට, ප්‍රේම කතා වලට පමණක් සීමා කර ගත යුතුය. ඔහු සහ ඔහුගේ පවුලේ අය කැමති ක්‍රීඩාව පමණක් ජනතාවගේ ක්‍රීඩාව විය යුතුය. ඔහු සහ ඔහුගේ පවුලේ අය සිහිනෙන් දකින සිනමා තරු ගෙන්වන්නට ජනතාව බදු ගෙවිය යුතුය. ඉතින් අද අප පසු කරන්නේ යුද්ධයෙන් පසු නිදහස ලැබූ එක් අයෙක්ගේ ආශාව වෙනුවෙන් සමස්ත ජනතාවගේම නිදහස උගස් තැබූ යුගයකි.

[Photos by – http://www.gossip9.com]