Colombo, end of the War, Featured Articles, Features

බලු නැට්ට කැපීම


බල්ලන්ගේ නැට්ට කපනු ලබන්නේ තම සතුරා වඩාත් දරුණු ලෙස සපා කෑම සඳහා යැයි එන සම්ප්‍රදායික කියමනකි. දේශපාලනයේදී ද තම විරුද්ධවාදීන් තමන්ගේ දූෂිත මුදලින් කුලියට ගෙන ඔවුන්ගේ නැට්ට කපා අනෙකාව සපා කෑම සඳහා පුරුදු කිරීම රාජපක්ෂ පමණක් සිදු කළ දෙයක් නොවේ. වෙනස රාජපක්ෂ එය වඩාත් විශාල ප්‍රමාණයකින් සිදු කරනු ලැබීමයි. ඒ සඳහා තමන්ගේ පෞද්ගලික ධනය මෙන් මහජන බදු මුදල් විශාල ප්‍රමාණයක් වැය කිරීමයි. පසුගියදා වෙබ් අඩවි දෙකකට අයත් කාර්යාලය හදිසියේ වැටලීම සහ ඒවායේ සේවය කළ කම්කරුවන් පවා කුදලාගෙන ගොස් මහා පුවතක් නිර්මාණය කරනු ලැබුවේ අදාළ මෙහෙයුමේ ඝාතක ඉලක්කය නිවැරදිව අල්ලා ගැනීමට නොහැකි වූ නිසා විය හැකිය. සැබවින්ම රටේ ලක්ෂ ගණනින් මිනිසුන් ඝාතනය කොට පොදු දේපල විනාශ කිරීමට ඍජුවම වග කිව යුතු කේ. පී වැන්නකු රාජපක්ෂගේ බුරුල්ලෙන් තවමත් කිරි උරා කිසිඳු ප්‍රසිද්ධ විභාග කිරීමකට හෝ දඬුවමකට ලක් නොකර සිටින අවස්ථාවක රටේ නායකයාගේ සහ ඔහුගේ අනුගාමිකයින්ගේ චරිත ඝාතනය කළේ යැයි චෝදනා කිරීම හාස්‍ය ජනක වන්නාසේම, මෙකි දවල් මිගෙල් රෑ ඩැනියෙල් චරිත රඟපාන දේශපාලකයින්ට ඝාතනය කිරීම සඳහා චරිතයක් තිබේද යන්නද දෙවැනිව කල්පනා කළ යුත්තකි.

මහජන බදු මුදලින් යැපෙමින්, රටේ අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය විනාශ කරමින් ඇති කොට ඇති පිළිකුල් සහගත දේශපාලන සංස්කෘතිය කොටින්ගේ වරදක් නිසා සිදු වූයේද නොමැතිනම් ඇතැම් තක්කඩියන් කියන්නා සේ රට පාවා දෙන්න වුන් විසින් සිදු කරන්නක්ද යන්න නිවැරදිව වටහා ගැනීමට තරම් මොළයක් අපට නැත්තම් අවුල තියෙන්නේ අප තුළම මිස අපව වහලුන් මෙන් පාවිච්චි කරන්නාගෙ නොවේ. අපි උප්පතියෙන්ම ණයකාරයින් වන්නෙමු. විලි ලැජ්ජාවක් තිබේනම් පාලකයා කටයුතු කළ යුත්තේ මේ ලෝකෙට ණයකාර ජාතියක් වී සිටින අප ඉන් ගලවා ගැනීම සඳහා කටයුතු කිරීම මිස වෙනත් පුද්ගල වෛරයන් පිරිමසා ගැනීම සඳහා නොවේ. සිදුවන්නේ “දේශප්‍රේමියත්වය” නමැති අඹුඩයෙන් ණය නමැති අතීසාරය සුවකිරීමට හැකි යැයි සිතා බේබදු සිහිනයකින් ජීවත් වීමය. එය දරුවන් සහිත පියෙක් තම බිරියද රවටා පර ස්ත්‍රියන් වෙත ගොස් ඔවුන්ගේ පහස ලබා තම මිල මුදල් සියල්ලම නාස්ති කොට තම වගකීම් වලින් නිදහස් වීම සඳහා හාමතේ සිටින දරුවන්ට කාම මිථ්‍යාචාරයෙන් වැළකීම සඳහා බණ දේශනා කිරීම හා සමානය.

සරල උදාහරණයක් ගෙන බලමු. රාජපක්ෂ විසින් චීනය සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව ප්‍රසිද්ධ කාරණයකි. නමුත් ලංකාවේ ගුවන් බලපත්‍රයක් හිමි සාමන්‍ය පුරවැසියෙකුට චීනයට යෑම සඳහා කෙතරම් කොන්දේසී ප්‍රමාණයක් ඉල්ලන්නේද ඒවායේ ඇති තාත්වික බාවය කෙබඳුද යන්න සහ ලංකවේ පොදු ප්‍රතිරූපය චීනය විසින් දකින්නේ කෙසේද යන්න තේරුම් ගැනීමම අදාළ කරණය නිවැරදිව හඳුනා ගැනීම සඳහා ප්‍රමාණවත් වේ. රටක නායකයෙකු තවත් රටක තානාපති සම්බන්ධතා ඇති කිරීම වූ කලී හැකි තරම් හොරා කෑම සඳහා කළු වෙළඳ පොලක් නිර්මාණය කිරීම නොවේ. එනම් රටේ සෑම පුරවැසියෙකුගේම ආත්ම ගරුත්වයට සහ රටේ ප්‍රතිරූපයට හානි දායක නොවන අන්දමින් කටයුතු කිරීමයි. ලංකාවේ තානාපති සේවය පසුගිය දශකයක කාලය තුළදී අන් කිසිඳු කාලයකට වඩා පිරිහීමකට ලක් විය. එසේම දේශීය වශයෙන් පවතින අර්බුද වලට හේතුවද රටේ පවතින දේශපාලනයේ අවුලක් මිස එය භාහිර සාධකයක් නිසා නිර්මාණය කරනු ලැබුවක් නොවේ. විශ්ව විද්‍යාල වල පවතින දැඩි අර්බුදය සඳහා මුලික හේතුව රටේ අය වැයෙන් නිසි ලෙස මුදල් වෙන් නොකිරීමයි. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිරිහීමට සහ දුෂිතම ආයතන වලින් එකක් වීමට හේතුව ආණ්ඩුව විසින් නිසි ලෙස මුදල් වෙන් නොකිරීම සහ වෙන් කරන මුදලත් ධූරාවලියේ ඉහල ඉන්න වුන් විසින් සූරා කෑමයි. මෙය රටේ පවතින පොදු තත්වය මිස මෙයට වෙනත් රටකට හෝ විපක්ෂ දේශපාලකයින්ට චෝදනා කිරීම හෝ වෙනත් ප්‍රකාශනයකට චෝදනා කිරීම තම හෙළුව වසා ගැනීමක් මිස වෙන කිසිවක් නොවන බව ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යකි.

මින් ගොඩ ඒම සඳහා විශාල කාලයක් මෙන්ම ශ්‍රමයක් අවශ්‍ය වේ. මෙහි ඇති භයානකම කාරණය වන්නේ පවතින සමාජ වියෝජනය පුර්ව නිගමන වලින් තොර වෙනස්ම මාදිලියක විකල්ප සඳහා හේතු වනු ඇත. සමාජීය ගැටලු විසඳා ගැනීම සඳහා පෘතුල සහයෝගීතාවයක් අවශ්‍ය වන අතර එය බල තණ්හාවෙන් පිරුණු සොරකම් කිරීමට පුරුදු වූ පාර්ශව වලට කළ නොහැකිය. සැබවින්ම කොටි සංවිධානයේ නැගීම මෙන්ම බැසීම නිවැරදිව තේරුම් ගත යුත්තේ මේ නිසාය.

රටේ සියලුම් වෙනස්කම් සිදු කළ හැක්කේ මිලිරියෙන් පමණක් බව සිතීම සහ මිලිටරිය හැම කටයුත්තක් සඳහාම ඈඳා ගැනීම කොටි සංවිධානය විසින් වසර තිහක් තිස්සේ සිදු කළ මුලික ක්‍රමෝපායන් වලින් එකකි. එය ඒ ආකාරයෙන්ම ” සිංහල දේශප්‍රේමියත්වයකට” පරිවර්තනය කොට රාජපක්ෂ විසින් සිදු කරමින් සිටින්නේය. මෙම සන්දර්භය තුල රාජපක්ෂ තව දුරටත් අන් මත නොඉවසන හැකි පමණින් තමන්ගේ ගුණ වැයීම් සඳහා මහජන මුදල් නාස්ති කරමින් තම ප්‍රතිරූපය පුම්බා ගන්නා චරිතයක් බවට පත් වනු ඇත. එය ඔහුට ඇති බල තණ්හාව මෙන්ම සමගාමිව අත්‍යවශ්‍ය වන ප්‍රභල කාරණයක් බවට පත් වී තිබේ. අදාළ කාරණය කෙතරම් දුරට ඔහුට සහ ඔහුගේ අනුගාමිකයින්ට එන්නත් වී ඇත්ද යන්න ඔවුන් විසින්ම මෙහෙයවන වෙබ් අඩවි වලට ඇතුලත් වීමෙන් නිගමනය කළ හැකිය. මෙම වටපිටාව හමුවේ විපක්ෂය විසින් මෙහෙවන අදාළ වෙබ් අඩවි දෙක රාජපක්ෂ වෙනුවෙන් ගුණ ගී නොගැයීමේ වරදට ” දේශද්‍රෝහීන්” යැයි ලේබල් ගසා වසා දැමීමේ ඇත්ත තේරම් ගැනීම කිසිවෙකුට අපහසු නැත. අප්‍රිකාවේ බොගාසාට හෝ පිලිපීනයේ මාකෝස්ට වඩා රුසියාවේ ස්ටාලින්ගේ පාලනයට වත්මන් ලංකා ආණ්ඩුවේ බොහෝ සාමානකම් ඇති බව මේ සියල්ලෙන්ම උගන්වන මුලික පාඩම වේ. අපි දේශප්‍රේමී කට්ටියනේ, ඒ නිසා වෙන කුමක් කරන්නද?

නිලන්ත ඉලංගමුව[Nilantha Ilangamuwa]