සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

‘තුන්වනදා රාත්‍රි‍යේ නිමලරෑබන් වේදනාවෙන් කෑ ගහලා තියනවා ’

[Photo by – www.jdslanka.org
වව්නියාව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු මහර බන්ධනාගාරයට මාරු කරන ලද දෙමළ දේශපාලන සිරකරුවන් තිස් දෙදෙනාගෙන් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුල් කළ සිරකරුවෙක් පසුගිය අඟහරුවාදා (03) මිය ගියේය. මෙසේ මිය ගොස් ඇත්තේ වව්නියාව,නෙළුම්කුලම් ප්‍රදේශයේ පදිංචි ගනේෂ් නිමලරූබන් (28) නැමැත්තෙකි. බන්ධනාගාර නිළධාරීන් විසින් එල්ල කළ දරුණු ප්‍රහාරයන්, නිමලරූබන්ගේ මරණයට හේතු වූ බව මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ අදහසයි.

මේ අතර, දරුණු ප්‍රහාරයට ලක් වූ තවත් දේශපාලන සිරකරුවන් දස දෙනෙක් මහර සහ රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා වේ. අජිත්, කිරිෂ්රි, කන්නන්, කුලේන්ද්‍රන්, කර්නන්, විග්නේෂ්වරන් යන අය මහර රෝහලේ ද එස්.ජෙබනේෂන්, එස්.සසි, පී.වේලායුධම්, එම්.දිල්රුක්ෂන් යන අය රාගම රෝහලේ ද ප්‍රතිකාර ලබමින් සිටිති.

පසුගිය සිකුරාදා (ජුනි 29) වව්නියා බන්ධනාගාරයේ රැඳවුම් භාරයේ සිටි දේශපාලන සිරකරුවන් විසින් තමන්ගේ ඉල්ලීම් ඉටුකරන ලෙස ඉල්ලා බන්ධනාගාර නිළධාරීන් තිදෙනෙක්ව තමන් භාරයේ රඳවා තබා ගෙන සිටින ලදී. පසුව පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය කැඳවා, සිරකරුවන් භාරයේ සිටි බන්ධනාගාර නිළධාරීන්ව නිදහස් කර ගත් අතර, මෙම අවස්ථාවේදී පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය විසින් එල්ල කරන ලද ප්‍රහාරයන් නිසා දෙමළ දේශපාලන සිරකරුවන් බොහොමයක් බරපතල ලෙස තුවාල ලැබූහ.

මෙම සිදුවීමෙන් පසු දේශපාලන සිරකරුවන්ව අනුරාධපුර බන්ධනාගාරයට රැගෙන ගොස් ඇත. එහිදී බන්ධනාගාර නිළධාරීන් විසින් සිරකරුවන්ට දරුණු ලෙස ප්‍රහාර එල්ල කළ අතර, පසුව මහර සහ නුවර,බෝගම්බර බන්ධනාගාරවලට වලට සිරකරුවන්ව මාරු කර යවා ඇත.
(උපුටා ගැනීම – උදයන් 2012 ජූලි 05)

මේ අතර අද(05) තිනක්කුරල් පුවත්පත වර්තා කරන්නේ, මිය ගිය නිමලරූබන් නැමැති සිරකරුවාට අමතරව, තවත් සිරකරුවෙක් ‛කෝමා’ තත්ත්වයේ සිටින බවත්, ඊට අමතරව අත් සහ පය බිඳී ඇති සිරකරුවන් බොහෝ දෙනෙක් රාගම රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් පැවසූ බවය.

නිමලරූබන් නැමැති පුද්ගලයා මහර සිරකඳවුරු රෝහලේ දීම මිය ගිය බවත් රාගම රෝහලට මාරු කර ඇත්තේ ඔහුගේ මළ සිරුර බවත්, මහර සිරකඳවුරු රෝහලේ සිටි දේශපාලන සිරකරුවන් තමා සමග පැවසූ බව මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් ප්‍රකාශ කර සිටියේය. මේ පිළිබඳව වැඩි දුර අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ,

“වව්නියාව සිට අනුරාධපුර බන්ධනාගාරයට රැගෙන ගිය සිරකරුවන්ට එදින රාත්‍රියේ 11 සිට පාන්දර 02 දක්වා පොලු, වයර්, චේන් භාවිතා කරමින් බන්ධනාගාර නිළධාරීන් විසින් දරුණු ලෙස පහර දීලා තියෙනවා. මෙහිදී බරපතල තුවාල ලැබූ නිමල්රූබන් මහර සිරකඳවුර රෝහලට ඇතුළත් කරලා තියෙනවා. පසුගිය අඟහරුවාදා (03) රාත්‍රියේ තමන්ට වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය බවත්, තමන්ව මෙම ස්ථානයේ සිට වෙනත් ස්ථානයකට මාරු කරන ලෙසත් ඉල්ලමින් නිමල්රූබන් වේදනාවෙන් කෑගහලා තියෙනවා. නමුත් පසු දින (04) පාන්දර 5.20 ට පමණ ඔහු මිය ගියා. ඔහුගේ මළසිරුර රාගම රෝහලට මාරු කරලා තියෙන්නේ ඊට පස්සෙ බව සිරකරුවන් කියනවා.”

“රාගම රෝහලේ ප්‍රතිකාර ලබන දේශපාලන සිරකරුවන් හතරදෙනෙකුගෙන් එක් අයෙකු ‛කෝමා’ තත්ත්වයේ ඉන්නවා. තවත් එක් අයෙකුගේ කකුල් දෙකම බිඳීලා. තවත් අයෙකුගේ එක් කකුලක් බිඳිලා. තමන්ට ඉදිරියේදී කොයි ආකාරයේ තර්ජනයක් එල්ල වේ දැයි බයෙන් දේශපාලන සිරකරුවන් කල් ගෙවනවා.”

මෙම දේශපාලන සිරකරුවාගේ මරණය හෙලා දකිමින් මේ පිළිබඳව නිසි පරීක්ෂණයක් පවත්වන ලෙස මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර තිබේ.(උපුටා ගැනීම තිනක්කුරල් – 2012 ජූලි 05)