Colombo, Featured Articles, Features

පුරවැසි නිදහස පිළිබඳ ආරක්ෂක ලේකම්ගේ වාර්තාව


ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසට තර්ජන ඇතැයි යන්න බොරු කතාවක් බවත් සති අන්ත පුවත්පත් කියවන ඕනෑම අයෙකුට ඒ බව සනාථ වන බවත් විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මෑතදී ප‍්‍රකාශ කර තිබුණි. ඒ රජයේ නියමයෙන් පොලිස් නිලධාරීන් විසින් ශ‍්‍රී ලංකා මිරර් සහ ශ‍්‍රී ලංකා එක්ස් නිව්ස් යන වෙබ් අඩවි දෙක සහ ඒවායේ ජනමාධ්‍යවේදීන් බිය ගැන්වීමට දරන ලද නීති විරෝධී ප‍්‍රයත්නයෙන් පසුව ය.

අමාත්‍ය පිරිස්ගේ එම ප‍්‍රකාශයෙන් සති දෙකක් ඉකුත් වීමට පෙර ආරක්ෂ ලේකම් ජනාධිපති සහෝදර රාජපක්ෂ මහතා සන්ඬේ ලීඩර් කතුවරියට පරිහාසාත්මක අසභ්‍ය වචනයෙන් බැණ වැදී ජනයා විසින් ඇය මරා දමනු ඇති බවට තර්ජනයක් කළේ ය. ජනයා ලෙස ඔහු විසින් හදුන්වන ලද එම මිනීමරුවන් කව්රුන් වනු ඇත්දැයි ඔහු නිශ්චය කර නොකී නමුත් ජෑන්ස් කතුවරිය කරා මරණය ළගාවනු ඇති බව සහතික කොට කීවේ ය. කතුවරිය එම දෙබස පටිගත කොට ඇති බව එම තර්ජනය පිළිබඳව කරන ලද වාර්තාකරනයෙන් පෙනෙන්ට තිබුණි. තමාට එළෙස කේන්ති යෑම ගැන තමා කණගාටු වන බව ලේකම්වරයා පසුව වෙනත් සති අන්ත පුවත් පතකට ප‍්‍රකාශ කර තිබුණි. එමෙන්ම එම සිදුවීම ගැන ඔහු තමාගේ විග‍්‍රහය ද පුවත්පත්වලට ප‍්‍රකාශ කර තිබුණි. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කේන්තියෙන් යුතුව කරන ලද එම සාහසික බැණ වැදීම විවේචනයට ලක් කළ සියළු දෙනා යුද්ධය ජයග‍්‍රහණය කිරීමට තමා ඉටු කල කාර්්‍ය භාරය පිළිබඳ වෛරයෙන් පසුවන පිරිස් බවට ඇඟවීමක් ද ඒ මහතාගේ පුවත්පත් සාකච්ජා සියල්ළ තුළ ඇතුළත් වී තිබුණි.

සමහර විට වත්මන් ශ‍්‍රී ලංකාවෙහි ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති රාජපක්ෂ මහතාට වඩා බලවත් කවර හෝ පුද්ගලයෙක් සිටී නම් ඒ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවට සැකයක් නැත. ඔහුගේ නියෝගය ශ‍්‍රී ලංකාවේ විධායක, ව්‍යස්ථාදායක සහ අධිකරණ බලය ඉක්මවා යෑමට තරම් බලවත් ය. රජයේ නිලධාරීන්ට තහනම් වපසරියක් වන පක්ෂ දේශපාලන කටයුතුවල ඔහු යෙදෙන්නේ කිසිදු නීතිමය බාධාවක් සළකන්නේ නැතිව ය. වරක් ඔහු විපක්ෂ පාර්ලිමේන්තු මංත‍්‍රිවරයකු වන ලක්ෂ්මන් කිරිඇල්ල පවා විවේචනයට ලක් කළේ ය. එවැනි බලයක් ඇති වෙනත් අමාත්‍යාංශ ලේකම්වරයකු ශ‍්‍රී ලංකාවේ නැත. ඔහුගේ හිතවතකු ලෙස සැළකෙන අයිටීඑන් සුදර්මන් රැදලියගොඩ වරෙන්තු දෙකක් තිබියදීත් පොලීසිය විසින් අත් අඩංඟුවට ගන්නේ නැත.

ඒ මහතාගේ බලය කොතරම් ද යත් සුදුවෑන් පැහැර ගැනීම් සිදු කැරනෙ බවත් එළෙස පැහැර ගැනෙනු ලබන්නේ අපරාධකරුවන් පමණක් බව පුවත්පතකට ප‍්‍රකාශ කර තිබේ. ඒ බව ජවිපෙට සම්බන්ධ ලංකා ටෘත් වෙබ් අඩවිය වාර්තා කළේ ය. නීතිය කියා දෙයක් නීතිය ක‍්‍රියාත්මක කිරීමට සිටින පොලීසිය ද බාර ආරක්ෂක ලේකම්වරයාගේ එම ප‍්‍රකාශය තුළ නැත.

අධිකරණයෙන් නිදහස් වූ යම් යම් පුද්ගලයින් සම්බන්ධයෙන් (උදා: මුනුසාමි පරමේශවරී) අදහස් දක්වමින් ඔහු අවස්ථා ගණනාවකදීම ප‍්‍රකාශ කර සිටියේ එළෙස නිදහස් වුවද ඔවුන් නිර්දෝශී පුද්ගලයින් ලෙස තමන් නොසළකන බවයි. කෙටියෙන් කියන්නේ නම් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද භුක්ති විදින්නේ සීමා රහිත බලාධිකාරයකි. ආරක්ෂක අංශ පාලනය කරන එවැනි දේශපාලන නිලධාරියකු විසින් කරනු ලබන කවර හෝ තර්ජනයක් බලපාන්නේ එම තර්ජනය එල්ල වන පුද්ගලයාට පමණක් නොව සමස්ත ප‍්‍රජාවටම ය.

සන්ඬේ ලීඩර් කතුවරිය සම්බන්ධයෙන් කේන්ති යෑම පිළිබඳව සිය කණගාටුව ප‍්‍රකාශ කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එම ප‍්‍රකාශය යහපත් වර්ධනයකි. එනමුත් කණගාටුවට කරුණ වන්නේ මෙයට පෙර කිසිදු අවස්ථාවක ඔහු විසින් තර්ජනය කරන ලද ජනමාධ්‍යවේදීන් හෝ විද්වතුන් හෝ අවශේෂ පුරවැසියන් සම්බන්ධයෙන් හෝ එවැනි කණගාටුවීමක් ඒ මහතා විසින් ප‍්‍රකාශයට පත් කර නොමැති වීමයි.

එවැනි සිදුවීම් ගණනාවක් ලෙහෙසියෙන්ම අපේ මතකයට නඟා ගතහැකි ය.

පසුගිය ජූනි 22 දින ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට දුරකථනයෙන් කතා කළ ආරක්ෂ ලේකම්වරයා තර්ජනාත්මක ස්වරයෙන් කීවේ ආරක්ෂක අමාත්‍යාංශය විවේචනය කරන්නේ නැතිව කට පියා ගෙන ඉන්නා ලෙස ය. ඊට හේතුව වූයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් දියත් කර තිබූ උද්ඝෝෂන ව්‍යාපාරය හමූයේ ආචාර්ය දේවසිරි දිගින් දිගටම මරනීය තර්ජනයන්ට මුහුණ දෙන බවට කරන ලද පැමිණිළි ය. ‘ මම තමා කව්ද කියළ දන්නෙත් නෑ, තර්ජන කරන්න ඕන කමකුත් නෑ’ යැයි රාජපක්ෂ මහතා තර්ජනාත්මක හඩින් දේවසිරිට කීවේ ය. ආචාර්ය දේවසිරි සහ ඔහුගේ පවුලට එල්ල වන තර්ජන තවම නිමා වී නොමැත.

2010 ජනවාර් 28වන දින ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතාට දුර කථනයෙන් කතා කොට මරණිය තර්ජනයක් එල්ල කරමින් කියා සිටියේ අමරසිංහ මහතාගේ ලංකා පුවත් පතට තමන් ගිනි තියන බවත් ය: ‘ ලංකා පත්තරේට මම ගිනි තියනවා. තමුසෙත් ප‍්‍රවේසම් වෙනවා’ යැයි තමාට තර්ජනය කළ බව එදිනම පුවත්පත් සාකච්ජාවක් කැදවූ ජවිපෙ නායකයා ප‍්‍රසිද්ධියට පත් කළේ ය. ගිනි නොතබන ලද නමුත් කිසිදු චෝදනාවක් නොමැතිව පුවත් පතට සීල් තබා එහි කතුවරයා වූ වන්දන සිරිමල්වත්ත අත් අඩංගුවට ගන්නා ලදී.

කොළඹ සිට පළ කරනු ලබන සුඩර් ඕලි නම් දෙමළ භාෂා පුවත්පතෙහි කර්තෘ එන්. විද්‍යාදරන් 2009 පෙබරවාරි 26 දින පොලිස් කණ්ඩායමක් විසින් පැහැර ගන්නා ලදී. එම අවස්ථාවෙහි ආරක්ෂ ලේකම්වරයා විසින් ප‍්‍රසිද්ධියේ කියා සිටියේ ‘ඔහු එල්ටීටීඊ කාරයෙක් බව සහතිකයි. අපට සාක්ෂි තියෙනවා. අපි ඔහුට නඩු දානවා. කව්රුහරි ඔහු ආරක්ෂා කරන්න ආවොත් ඒත් එල්ටීටීඊ කාරයෙක්’ කියා ය. එසේ නමුත් ඔහු අධිකරණයෙන් ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී. පසුව විධ්‍යාදරන් මහතා ජනමාධ්‍ය වෘත්තිය හැර ගියේ ය.

2008 මැයි 26 දින එවකට ශ‍්‍රී ලංකා පත‍්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපති සහ ලේකම් වූ සනත් බාලසූරිය සහ පොද්දල ජයන්ත කැඳවූ ආරක්ෂ ලේකම් රාජපක්ෂ කියා සිටියේ ‘යුද හමුදාව විවේචනය කළ හොත් ආරක්ෂ ප‍්‍රධානීන්ට හිතැති පිරිස් විසින් ඔවුන් මරා දමනු ඇති බවයි’. ඒ වසර හතරකට පෙර මෙදා සන්ඬේ ලීඩර් කතුවරියට කරන ලද තර්ජනයම ය. එමෙන්ම ඬේලි මිරර් කතුවරියට කරන ලද තර්ජනයේ දී පරිදි මෙසේ ද කීවේ ය: ‘ කව්රුන් හරි තමුන්ව මරා දාන්න ආවොත් මම හරි ආරක්ෂ හමුදා හරි ඒක වළක්වන්න එන්නේ නැහැ’ ආරක්ෂාව පිණිස දෙමසක් ඉන්දියාවේ ගත කර යළි ශ‍්‍රී ලංකාවට පැමිණි පෝද්දල ජයන්ත පැහැර ගෙන ගොස් මරණීය තුවාල සිදු කොට අතහැර දමන ලද්දේ 2009 ජූනි 01දා ය. ඔහු බේරා ගැනීමට හෝ ඝාතක කණ්ඩායම අල්ලා ගැනීමට හෝ ආරක්ෂක අංශ ඉදිරිපත් වූයේ නැත.

2007 අපේ‍්‍රල් 17වන දින නැගෙනහිර පළාතේ සිට ඬේලි මිරර් කතුවරිය වූ ලියනාරච්චි මෙනවිය වෙත දුර කථන ඇමැතුමක් ගත් රාජපක්ෂ මහතා දරුණු ස්වරයෙන් කියා සිටියේ ‘කරුණා කණ්ඩායම ගැන ඇයගේ පුවත් පතෙහි පළව ඇති වාර්තා නිසා එම පිරිස් කෝප වී ඇති බවත් ඔවුන් ඇයට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය මුදා හැරිය හොත් රජයෙන් ආරක්ෂාවක් අපේක්ෂා නොකළ යුතු බවත්’ ය.

මේ අප දන්නා සිදුවීම් පමණකි. එවැනි තර්ජනයන්ට ලක්ව කටපියා ගෙන ජීවත්වීම යහපත් බවට තීරණය පුද්ගලයින් ද සිටින බව දැනගන්නට තිබේ. ඇත්ත වශයෙන්ම නම් වත්මන් ශ‍්‍රී ලංකාවෙහි වඩාම බියක් ජනනය කරන දේශපාලන නිලධාරියා ගෝඨාභය රාජපක්ෂ මහතා ය. මෙම බිය ජනනය කරන භූමිකාව පශ්චාත් යුද්ධ සමාජයකට නොගැලපෙන බව ඒ මහතා විසින් තේරුම් ගත යුතු කාලය එළඹ තිබේ. යහපත් සහ දක්ෂ දේශපාලන නිලධාරියකුගේ ලක්ෂනය වන්නේ විශ්වාසය සහ අවබෝධය මත මිස බිය ජනනය මත පදනම් වූ ක‍්‍රියාකාරිත්වයක් නොවේ.

ආරක්ෂක ලේකම්වරයා සන්ඬේ ලීඩර් කතුවරිය සම්බන්ධයෙන් තමාට ඇති වූ කේන්තිය අඩුම වශයෙන් අනවශ්‍ය දෙයක් සේ පිළිගත් පරිදිම මෙයට පෙර අවස්ථාවන්හිදී එළෙස දක්වන ලද බිය ජනක ප‍්‍රතිචාරයන් ද අනවශ්‍ය කේන්ති යෑම් බව පිළිගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකිවනු ඇත් ද?

සුනන්ද දේශප‍්‍රිය [Sunanda Deshpriya]

[Photo courtesy: www.tbcuk.net]