Featured Articles, Features

තවම ඇස්නෑරි කලවාන නැගිටීම


Z ස්කෝර් ප‍්‍රශ්නය ගැන මේවන විට විවිධ මාධ්‍යයන් මගින් ඕනෑ තරම් සාකච්ඡාවට බදුන් වී තිබේ. තුන්වන වතාවටත් ප‍්‍රතිපල නිකුත් වූ පසුත් මේ අලකලංචිය සමහන් වී සිසුන්ට යම්කිසි සාධාරණයක් ඇතිවන බවක් නොපෙනේ. මේ ලිපිය මා වැය කරන්නේ එම ප‍්‍රශ්නය ගැන විද්වත් සංවාදයට හවුල් වීමට හෝ නොයෙක් තර්ක ඇද බාමින් සිද්ධිය විස්තර කිරීමට නොවේ. ඒ ආකාරයේ අදහස් ලිපි ඕනෑ තරම් පළ වී තිබේ. එහෙත් ඒ කිසිවකින් සමාජයේ කතිකාවක් ආරම්භ වී ජනතාවගේ අවංක උනන්දුව ඇවිලී හෝ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් රාජ්‍ය බලධාරීන් අවංකව කැපවෙන්නට උත්සාහ ගන්නා බවක් නොපෙනේ. ආසියාවේ සෑහෙන සංවර්ධනය පෙන්වන රටක් යැයි කෑ ගහන ලංකාවේ අධ්‍යාපනයට මේ වනවිටත් සිදුව ඇති විනාශය හා ඉදිරියේදී තව තවත් බරපතල වන මේ හානියට එරෙහිව අවදියෙන් එරෙහිවන්නට රටේ සාමාන්‍ය ජනතාවට තවමත් උනන්දුවක් ඇතිබවක් නොපෙනේ.

මේ වනවිට ලංකාවේ පාසල් අධ්‍යාපනයත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් බරපතල අර්බුදයකට ලක්වී ඇති බවට ආසන්නතම සිදුවීම් ලෙස ඉසඞ් ස්කොර් අවුලත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයත් දෙස පමණක් සාවධාන වනවිට පවා පෙනේ. එම ප‍්‍රශ්නවලට දේශපාලයකයන්ගේ විකාරරූපි මැදිහත්වීම් දවසින් දවස ඉතාම විහිලුකාරී හා මර්ධනකාරී ලෙසත් වර්ධනය වෙමින් පවතී. එහි දෘෂ්ටිවාදාත්මක පක්ෂය පෝෂණය කරන්නට නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර වැනි ලාංකීය නිදහස් අධ්‍යාපනයෙන්ම බිහි කළ දෘෂ්ටිවාදී පියවරු ඉතාම බාල ලෙස තම අදහස් පළකරමින් සිටිති. එහෙත් පාසල් සිසුන් හා සමාන්‍ය ජනතාව අතර තියා විශ්වවිද්‍යාල සිසුන් හා දෙමාපියන් අතර පවා මේ ගැන හොද සංවාදයක් වර්ධනය වී නැත.

පාරිභෝජනවාදයේ ධනවාදී ත්ර්කනයට සහ මුලින්ම සමාජය කීකරු වී ඇති මේ මොහොතේ මුලු සමාජයේම අනාගත යහපත් භාවයේ සුරකිෂිතභාවය වෙනුවෙන් රටේ බුද්ධිමතුන්ගේත් විකල්ප සමාජ කි‍්‍රයාකාරකයින්ගේ මැදිහත්වීම ඓතිහාසික උවමනාවක්ව පවතී.

කලවාන නැගිටීම

ඉසඞ් ස්කෝර් විකාරය නිසා තම අනාගත සිහින කුඩුපට්ටම්කර ගෙන හඩාවැටෙමින් නිවෙස් තුළ බුදියන ලංකාවේ හැම තැනම විසිරී සිටින අසාධාරණයට ලක්වූවන්ගේ ඇස්පාදමින් කලවාන ප‍්‍රදේශයේ සිසු-සිසුවියන් පිරිසක් තම නගරයේ බස්නැවතුම් පොල මධ්‍යයේ අට්ටාලයක් ගසා ගෙන ඉටිරෙද්දක් එළාගෙන අඛණ්ඩ උපවාසයකට වාඩි වී සිටියි. මේ සටහන ලියන මොහොත වන විටත්(අගෝස්තු 01)එම සිසුහු 09 වැනි දවසත් ඉටිරෙද්දට නින්ද දියකර හරිමින් බලාපොරොත්තු දල්වා ගෙන සිටිති. ඒ මේ රටේ ආණ්ඩුව පෙරලන්නට නොවේ. විකල්ප පක්ෂයක් බලයට ගෙනෙන්ට නොවේ. අලූත අභ්‍යාසලාභී පත්වීම් ලබාගත් සංවර්ධන නිලධාරීන්ට මෙන් කරන්නට වැඩක් නැති නිසා හෝ ඒ.ජී.ඔෆිස් වල ඉඩමදි නිසා ඉන්නට තැනක් නැතිකම නිසා නොවේ. ඔවුන්ට අරගල කරන්නට සැබෑ ප‍්‍රශ්නයක් තිබේ. රටේ විද්වතුන් ද පිළිගන්නා අසාධාරණයක් ඔවුන්ට සිදුව තිබේ. එය හුදු රජය වරද්දා ගත් ඉසඞ් අගයේ ප‍්‍රශ්නයක් නොවේ. සිසුන්ගේ ජීවිතය පිළිබද ප‍්‍රශ්නයකි. මාස හතක් අටක් සරසවි සිහිනයේ සැරිසරමින් ගොඩනගා ගත් බලාපොරොත්තු කඩවී අපේක්ෂාභංගයට පත්වූ තරුණ තරුණියන් පිරිසක් කෙළින පිස්සුවක් නොවේ. එය ආචාරධර්ම පිළිබද ප‍්‍රශ්නයකි. රාජ්‍ය අධ්‍යාපනික ප‍්‍රතිපත්තිමය අවුලකි. සිංහල බෞද්ධ සදාචාරමය ප‍්‍රශ්නයකි. ආණ්ඩුවේ මතුපිට දෘෂ්ටිවාදවල සහ අභ්‍යන්තරික ක‍්‍රියාකාරීත්වයේ සිදුර තුළින් පැන නැග ඔඩු දුවන වසංගතයකි.

මේ අට්ටාලයේ අයුක්තියට එරෙහිව පෝස්ටර් රාශියක් එල්ලා තිබේ. ඒවා කියවන විට හද සසල වී යයි. නැවත සිතන්නට හිත කිතිකවයි. ”ජනාධිපතිතුමනි, රටේ සුබ අනාගතය මේකද?” මේ එක වැකියකි. ඔවුන් අසන මෙම ප‍්‍රශ්නය නම් ඒ තරම්ම හදවත් හොල්ලන-සිත් කාවදින එකක් නොවේ. ඒ අපේ රටේ දේශපාලකයින් මේ ”සුබඅනාගතය” ගැන ඔක්කාරයට එන තුරු කෑ ගසා ඇති බැවිනි. සුබ අනාගතය කියන විටම එම වචන වලින් මතුවන අර්ථය ලංකාවේ තවදුරටත් වලංගු නොවන තරම් බාල්දු වී තිබේ. එහෙත් මෙම ප‍්‍රශ්නය මේ තරුණ සිසුන් අසන්නේ විපක්ෂ මන්ත‍්‍රීවරයෙකුගේ අර්ථයෙන් නොවේ. ඒ කටහ`ඩින්ද නොවේ. රටක උසස් අධ්‍යාපනය විනාශ කරමින් කරන සංවර්ධනය මොන වර්ගයේ එකක්ද? රාජ්‍ය කරවන පාලකයින් කිසි දිනෙක පිළිතුරු නොදෙනා එහෙත් මහ ජනතාව වහවහා ප‍්‍රශ්නය වටහාගෙන පිළිතුරු සෙවිය යුතු ප‍්‍රශ්නය එයයි. පමා නොවී කඩිනමින් නැගී සිටිය යුතු ප‍්‍රපංචය එයයි.

අධික දූවිල්ලට හසුව දිනෙන් දින ලෙඩවෙමින්, වරෙක ජීවිතය පවා හැරයාමට උත්සාහ කරමින්, බලාපොරොත්තු සිද ගනිමින්, කලකිරෙමින් යළි ධෛර්යමත් වෙමින් මේ සිසු සිසුවියන් 46 දෙනා ඉල්ලන්නේ තමන්ට පෙනි පෙනී අහිමි කළ ජීවිතයයි. ඔවුන්ගේ ජීවිතය සරසවි සිහිනය ඉටුවීමයි.

රජයට දැන් මේ ප‍්‍රශ්නය විසදීමට මැදිහත් විය හැකි එකම සහ අවශ්‍යයම ක‍්‍රමය නම් මේ අසාධාරණයට ලක් වූ ලංකාව පුරා සිටින සිසුන් සියල්ලන්ටම සරසවි අවකාශය හැර දීමට හැකි උපරිමයෙන් හා ඉක්මනින් කටයුතු සූදානම් කිරීමයි.ආචාර්ය ලියනගේ අමරකීර්ති කලවාන ජනතාව අමතා කියා සිටියේමේ සියලූ සිසුන් විශ්ව විද්‍යාලයට ගැනීමට රජය වැඩපිළිවෙලක් සකස් කළ බවයි. ඒ සදහා ඕනෑ නම් තමා උගන්වන පේරාදෙණියේ සියල්ලන්ටම ඉඩ කඩ තිබෙන බවත් ඒ වෙනුවෙන් අතිරේක පැය ගණනක් වැඩකරන්නට තමන් සූදානම් බවත් ඔහු උද්යෝගයෙන් ප‍්‍රකාශ කළේය. ඒ අදහසම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි තමා උගන්වන සබරගමුවේ ඉඩඇති බවටත් වැඩකරන්නට තමන් ද සූදානම් බවත් යළි ප‍්‍රතිරාවයකලේය. මේ සිසුන් ලිඛිතව ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ඒ පොරොන්දුවයි. ඒ පොරොන්දුව මහින්ද චින්තනය ප‍්‍රමුඛ තවත් ඡන්ද පොරොන්දුවක් බවට පත්නොවීමට ලංකාවේ අසාධාරණයට ලක්වූ සියලූ සිසුන්-දෙමව්පියන්-පාසල් ගුරුවරුන්-විශ්ව විවිද්‍යාල ආචාර්යවරුන්-සිසුන්-විපක්ෂ ඇතලූ විකල්ප සමාජ ක‍්‍රියාකාරී කණ්ඩායම් පමණක් නොව සාමාන්‍ය ජනයාද පෙළ ගැසිය යුතුය. එනම් සමස්ත ලාංකික පුරවැසියා තම අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් කඩාකප්පල්කාරී රාජ්‍ය අධ්‍යාපන ප‍්‍රතිපත්තියට එරෙහිව එක හඩින් වගකීමෙන් නැගී සිටිය යුතුය. ඒ සදහා තව තවත් පමාවීම ලංකාවේ අනාගතය එන්න එන්නම අදුරින්අදුරට යාමට හේතු වනු ඇත. එවිට රටට අත්වූ ව්‍යසනයේ තමන් ද කොටස්කරුවෙකු වීමේ ඓතිහාසික වරදින් නිදහස් වන්නට ලංකාවේ කිසිම පුරවැසියෙකුට නොහැකිවනු ඇත. දැන් අර කලවානේ සිසුන් සැපයූ ආදර්ශයෙන් ආලෝකය ලබමින් සිසුන් සමග සාමාන්‍ය ජනයා ද පාරට බැසිය යුතුය. අට්ටාල ගසා ගත යුතුය. ඒ සදහා ප‍්‍රශ්නයේ කේන්ද්‍රයටම අභියෝග කරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අධයාපනයටරාජ්‍යඅංශයකරනවියදම්සියයට 06ක් දක්වාවැඩිකරනලෙසඉල්ලමින්කරනසටනසමග අනිවර්යෙන්ම අත්වැල්බැද ගන්නට සිදුවනු ඇත.නිදි මරමින් අවදියෙන් වැඩකරන්නට දැන් කාලය එළඹ තිබේ.

කලවාන දරුවන් අහිංසක ලෙස උදව් ඉල්ලනවිට බියෙන් ඇස් තද කරගන්නා සියලූ මාධ්‍යකරුවන්ට යළිත් තමා අත්හැරදමා ඇති මාධ්‍ය වගකීම් ගැන යළි සිතමින් ආචාරධර්ම ගරුකරන කි‍්‍රයාශීලි මාධ්‍යකරුවන් ලෙස වැඩට බහින්නට සිදුවනු ඇත. මේ එය මගහැර යා නොහැකි-අවශ්‍යයම කාලයයි.සියලූ පංති-පක්ෂ-වර්ග භේද පසෙක තබා තමාට රට වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නට සුදුසුම කාලයයි.

සුදර්ශන සමරවීර[Sudharshana Samaraweera]

මේ සිසු අරගලයේ Facebook පිටුවයි

@www.vikalpa.org