Colombo, Featured Articles, Features

රාම – ලක්‍ෂ්මණ, දුටුගැමුණු සහ පික්ටන් ලා ගේ සංස්කෘතිය


ඉන්දියානුවෝ තමන් ගේ ජාතිය, ආගම සහ කුලයෙහි උසස් බව ගැන පුරසාරම් දෙඩීමෙහි සැබෑ දක්‍ෂයෝ වෙති. ශ්‍රී ලාංකිකයෝ ද තම ජාතියේ සහ ආගමෙහි උසස් බව ගැන පාරම්බාන නමුත් කුලය ගැන ප්‍රසිද්ධියේ කතා නොකිරීමට ප්‍රවේසම් වෙති. ඒ තමාගේ කුලය උසස් යැයි ප්‍රසිද්ධියේ කීම ශිෂ්ට සම්පන්න නොවේ යැයි ඔවුන් සිතන බැවිනි. එහෙත් මට හමු වූ බොහෝ ඉන්දියානුවෝ තමන් උසස් කුලයකින් පැවත එන බව කිසිම පැකිළීමකින් තොරව, මහත් ආඩම්බරයෙන් ප්‍රසිද්ධියේ පවසති.

තමන් ගේ ජාතිය හෝ ආගම අන් ජාතීන් හෝ ආගම්වලට වඩා උසස් යැයි කීමත්, තමන් උපන් කුලය අන් කුලයන්ට වඩා උසස් යැයි කීමත් අතර එතරම් වෙනසක් මට නම් පෙනෙන්නේ නැත.

දිනක් මගේ උගත් ඉන්දියානු මිතුරෙකු තමන්ගේ බ්‍රාහ්මණ කුලය ගැන කයිවාරු ගැසූ අවස්ථාවක දී එයට සවන් යොමා සිටි තවත් ඉන්දියානු මිතුරෙක් ඉතා සෙමින් මගේ කණට කොඳුරා, “කතාවෙන් නම් උසස්, ඒත් උන්ගේ මිනිස්සු අපේ රටේ දී කරන්නේ අන්තිම පහත් වැඩ” යයි කීවේය. මේ අනෙක් ඉන්දියානු මිතුරා, එරට “හරිජන” යැයි සළකන කුලයකින් පැවත එන්නෙකි. (තමන් “ආදි ධර්මීන්” මිස “හරිජනයින්” නොවන බවත්, මේ හරිජන හංවඩුව ගැහුවේ බ්‍රාහ්මණ කුලයේ මහත්මා ගාන්ධි විසින් බවත් ඔහු නිතර පවසයි)

මගේ මිතුරා ගේ ප්‍රකාශයෙන් මඬනා ලද කුහුලින්, අන් දිනෙක මම මේ පිළිබඳව ඒ හරිජන මිතුරාගෙන් විමසා සිටියෙමි. එයට ඔහු දුන්නේ ඇඟේ හිරිගඩු පිපෙන ආකාරයේ එහෙත් අද ඉන්දියාවේ සාමාන්‍යයෙන් සිදුවන සිද්ධියක් පිළිබඳ විස්තර කිරීමකි.

“අපේ කුලයේ කොල්ලෙක් බ්‍රාහ්මණ කෙල්ලක් සමඟ යාළු වුණොත් හෝ විවාහ වුණොත්, ඒ බ්‍රාහ්මණ පවුලේ කොල්ලන් විසින් අර (හරිජන) කොල්ලාගේ සොහොයුරියන් සොයා ගොස් දූෂණය කරනවා. සමහරවිට එතැනින් නොනැවතී ඔවුන්ගේ රහසඟ කපා තුවාල කරනවා. මේ ගැන කියන්න පොලීසියට ගියොත් ඔවුන් කියන්නේ උඹලාගේ කොල්ලා බරපතල වැරැද්දක් කරලා තියෙන්නේ. ඒකට උඹලා ගේ මුළු පවුලටම දඬුවම් කරන්න ඕනේ. දඬුවම ලැබුනේ එකෙකුට විතරයි කියලා හිතාගෙන ගෙදර පලයන් කියලයි.”

මේ කතාව ඇසූ මා විසින් මගේ මිතුරාට දුන් පිළිතුර වූයේ, රාම – ලක්‍ෂමණ දෙවියන් වූ උඹලාගේ සංස්කෘතියේ මේ වගේ දේවල් වීම පුදුමයක් නොවන බවයි. රාම කුමරුගේ සුකුමාර පුරුෂකාය දැක වශී වී ඔහු හා රතිකෙළියෙහි ඇළුණුූ සුපර්ණිකාට, ඇයගේ මේ ස්වාභාවික ආශාවට, රාමයන්ගේ සොහොයුරු ලක්‍ෂ්මණ විසින් දුන් දඬුවම වූයේ ඇගේ නාසය හා දෙකන් පෙති කපා ඉවත් කිරීමයි.

“ලක්‍ෂ්මණ අද කැනඩාවේ හිටියා නම් වෙන්නේ රොබට් පික්ටන් එක්ක එකම කූඩුවේ ලගින්නයි” කියා මම මගේ පැහැදිලි කිරීම අවසන් කළෙමි.

වැන්කුවර් හි කොක්විට්ලම් ප්‍රදේශයේ ඌරු කොටුවක් පවත්වාගෙන ජීවත් වූ රොබට් පික්ටන් මිනීමැරුම් හතලිහකට නොඅඩු ගණනක් සඳහා සැකපිට අත්අඩංගුවේ පසුවේ. ඔහු අත්අඩංගුවට ගනු ලැබූවේ, ඉවතලන ඌරු මස් අපද්‍රව්‍ය සමඟ මිනිස් අවයව ද තිබී හමුවීමෙන් අනතුරුවය. මෙසේ මරා දැමූවන්ගේ සුවිශේෂත්වය වන්නේ පළමුව ඔවුන් සියළු දෙනාම ගැහැණුන් වීමයි. දෙවනුව ඒ සෑම දෙනාම එක්කෝ ගණිකාවන් හෝ මත්ද්‍රව්‍යයනට ඇබ්බැහි වූවන් වීමයි. මොවුන් මරා, මස් කිරීම සඳහා පික්ටන්ට අනුව සාධාරණ හේතු තිබුණි. ඒ සියළුම කාන්තාවන් දෙවියන් වහන්සේගේ නියමයන්ට එරෙහිව මිථ්‍යාචාරයන් හි යෙදුණවුන් හෙයින් ධර්මිෂ්ට සමාජයක් උදෙසා ඔවුන් තුරන් කිරීම දේවකාර්යයක් වූ බැවිනි.

රාම කුමරුන් දේවත්වයෙහි ලා සලකන මගේ මිතුරා මීට දුන් පිළිතුර වූයේ “උඹලා ශ්‍රී ලංකාවේ රාවණාගේ පව්කාර නෑදෑයෝ” යන්නයි.

#########################################################################

1983 ජූලි කලබල සමයේ මම රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ඉගෙනුම ලබමින් සිටියෙමි. මේ කාලයේ එහි සිද්ධ අංශයෙහි ඉගෙනුම ලැබූ දෙමළ කෙල්ලෝ සියළු දෙනාම වෙන කිසිවක් කර කියා ගත නොහැකිව කාන්තා නේවාසිකාගාරයෙහි කොටු වී සිටියහ. මේ දිනවල වරින් වර කඩු පොලු අමෝරාගෙන කාන්තා නේවාසිකාගාරයට පැන මේ කෙල්ලන් පැහැර ගැනීමට මාන බැලූ ඔබේසේකරපුර පාදඩයින්ගෙන් ඔවුන් බේරා ගැනීමට අපේ ශිෂ්‍යයින්ට හා මොරගස්මුල්ල ප්‍රදේශවාසී අපේ මිතුරන්ට මහත් වෙහෙසක් දරන්නට සිදු විය.

අවසානයේ වැලිකඩ පොලීසියේ ප්‍රධානීන් හා සාකච්ඡා කර කොළඹ නගරයේ ප්‍රථම සරණාගත කඳවුර එම පොලීසියේ උඩු මහලේ අරඹන්නට නේවාසිකාගාර ශිෂ්‍ය සහෝදරවරු සමත් වූහ. කාන්තා නේවාසිකාගාරයේ සිංහල හා මුස්ලිම් සොහොයුරියන් විසින් උයා පිස සකස් කරන ලද කෑම පාර්සල් රැගෙන දිනකට කිහිපවරක් මේ කඳවුරට ගිය අපට ඒ හැම විටෙකම එම පොලීසියේ කොස්තාපල්වරුන්ගේ කුණුහරුප කතා ඉවසන්නට සිදු විය. ඔවුන්ගේ කුණු හරුප භාෂාව ශිෂ්ඨ වචනවලට පෙරළා පවසන්නේ නම්, ඔවුන් හැම විටම කීවේ,

“ඔය පර දෙමළියන්ව දූෂණය කරලා මරා දාන්න ඉඩ නොදී උඹලා මොන බම්බුවක් ද මේ කළේ ?”

ආයතනයෙහි ළඟින් ඇසුරු කළ අප සියල්ලම හොඳින් දැන සිටි පරිදි, එකල කිසිදු දේශපාලන සංවේදීතාවයකින් තොර වූ මේ අහිංසක යුවතියන් දූෂණය කර මරා දමන්නට ඔවුන් යෝජනා කළේ හුදෙක් ඔවුන් දෙමළුන් වීම නිසාය. මේ සිතුවිල්ල ඔවුන් තුළ ජනිත කළේ ඊළාම් කොටි සංවිධානය විසින් කළ සැහැසි ක්‍රියා නිසා පමණක්ද?

ඉතා දැහැමි රජෙකු ලෙස අප ඉතිහාසයෙහි ප්‍රකටව සිටි මහළු එළාර රජු මරා දැමීමට තරුණ දුටුගැමුණු කුමරා ඉදිරිපත් වූයේ හුදෙක් ඔහු විදේශීය ආක්‍රමණිකයෙක් නිසා පමණක් නොවේ. ඒ ඔහු “සිංහල බෞද්ධ” රජෙකු නොවීම නිසාය. කෙතරම් දැහැමි වුවද සිංහල බෞද්ධ එක්සේසත් කළ රාජ්‍යයක් වෙනුවෙන් ඔහු මරා දැමීම අනිවාර්ය විය. අප පැවත එන්නේ ඒ පරමාදර්ශී දුටු ගැමුණු රජුගේ සංස්කෘතියෙනි.

ශ්‍රී ලාංකික අපේ හෝ ඉන්දියානුවන්ගේ පරමාදර්ශයන් වූ දුටුගැමුණු හෝ රාම-ලක්‍ෂමණ විසින් ඒ ඒ සංස්කෘතීන්ට එක් කරනු ලැබූ සැහැසිකම් සංස්කෘතිය ඇතුළත දී අවුරුදු දහස් ගණනකට පසුව වුවද සාමාන්‍ය දේවල් වෙන්නේ ඒ ආකාරයටය. කෙතරම් සාහසික වුවද අප ඒ ගැන නිහඬව අනුකූලතාව දක්වන්නේ, අපට අපේ සංස්කෘතිය රැක ගැනීමට එය බාධාවක් වේ යැයි ඇති බිය නිසාය.

සචින් අරුනෝද ජයනෙත්ති[Sachin Arunod Jayaneththi]

[Photo Credit : www.salem-news.com]

@VIKALPA