සිංහල, Colombo, Democracy, Education, Governance, Human Rights, Media

අධ්‍යාපනයේ නිදහස හෙවත් නිදහසේ අධ්‍යාපනය

‘වැරදුනු ඉසෙඞ් ස්කෝර් සමීකරණය නිසා අපගේ ජීවිත සමීකරණය වැරදිලා. අපගේ ජීවිත අසමතුලිතතාවයකට පත්වෙලා. එය මුළු රටම දන්න කාරණයක්. සුවිශේෂී කඩඉමක් හැටියට අපි උසස් පෙළ විභාගය ලියන්නෙ විශ්ව විද්‍යාල සිහිනය සැබෑ කර ගැනීමටයි. නමුත් නොකළ වරදකට දඬුවමක් ලෙස 2011 වර්ෂයේ ඉසෙඞ් ස්කොර් අර්බුදය හමුවේ අපි සියළු දෙනාම නොසිතූූ ලෙස අසාධාරණයකට ලක් වුණා. තේ දළු නෙලා අපිව පෝෂණය කර රටට, ජාතියට වැඩක් කිරීමට අපගේ දෙමව්පියන් අපව විශ්ව විද්‍යාලයට යැවීමට දරන මෙහෙයට ලබා දෙන කලගුණ සැලකීමක් වශයෙන් උසස් පෙළ සමත් වී උසස් ප‍්‍රතිපලයක් ලබා ගත්තාට, අප රටට අපව විහිළුවක් වී හමාරයි. මෙය සිදු වූයේ කාගේ වරදින්ද? අප දුටු විශ්ව විද්‍යාල සිහිනය නොසිතූ ලෙස අපව තෙවරක් අවදි කළා. තුන්වෙනි වතාවේ අප නොසිතූ නොවිරූ ලෙස දැඩි අසාධාරණයකට ලක් වූවා. මේ ප‍්‍රශ්නය දෙස අප පිටත සිය බැලූවොත් මේ ප‍්‍රශ්නය අයිස් කන්දක් ලෙස මට හඳුන්වා දෙන්න පුළුවන්. එනම් පෙනෙන්නේ මුදුනත පමණයි. නමුත් රටේ නිදහස් අධ්‍යාපනය මහා වියරුවකට ලක් වී අවසානයි.’

උසස් පෙළ ඉසෙඞ් ස්කෝර් ගැටළුව නිසා අසාධාරණයකට පත් වූ ශිෂ්‍යාවකගේ මෙසේ පැවසුවේ ඊයේ (15) විහාර මහ දේවී එළිමහන් රංග පීඨයේදී ‘නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත්’ පිළිබඳව අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය විසින් සංවිධානය කළ රැළියේදීය. උතුරේ ජීවිත ගණනාවක් නැති කරගනිමින් ගෙන ගිය යුද්ධයෙන් ආණ්ඩුව ඉතිරිකරගත් එකම දෙය වූයේ මිල්ටරීකරණය පමණි. මිල්ටරීකරණය රාජපක්ෂ රෙජිමයේ සුපිරිතම වස්තුව විය. ආණ්ඩුව යුද්ධය අවසන් වූවාට පසු දකින දකින හැම තැන තම සුපිරිතම වස්තුව වූ මිල්ටරීකරණයේ වර්ණ ඉසින්නට විය. අවසානයේ මිල්ටරීකරණය අධ්‍යාපනය වෙතද ආවේය. ඉසෙඞ් ලකුණ සමස්ත අධ්‍යාපනය මත පතිත වූයේ, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නායකත්ව පුහුණුව ලබා දීමට, විදුහල්පතිවරු කර්නල් වරු බවට පත් කිරීමට එහා ගිය අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් ලංකාවේ ආණ්ඩුව නොදකින අවස්ථාවකය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය දැන් මාස ගණන් ඇදෙමින් පවතී. නමුත් තවමත් කිසිදු විසඳුමක් ලබා දීමට බලධාරීන් ක‍්‍රියාමාර්ග ගන්නා බව පෙනෙන්නේ නැත. නන්දිකඩාල් වලට ගැසූ ෂෙල් කලාවානේ සත්‍යග‍්‍රහයට යැවීමට නොහැකි තැන, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට කපිතාන් පුහුණු දීමටද නොහැකි තැන ඇමතිවරුන්ට ඉතිරිව ඇත්තේ කෝලං නැටීම පමණි. අර්බුද හමුවේ පිස්සු නටන ඇමතිවරුන් ගෙදර යැවීම වෙනුවට ආණ්ඩුව අද පසුවන්නේ මර නින්දකය. හොරට නිදියගත් මිනිසුන් ඇහැරවීමට අමාරුය. හොරට නිදියගන්නා ආණ්ඩුවක් ඇහැරවීම බෙහවින්ම අමාරුය.

මර නින්දේ පසුවෙමින් නිදහස් අධ්‍යාපනය පිළිබඳ වූ තම වගකීම දෙමව්පියන්ට පවරන්නට ආණ්ඩුව ගන්නා උත්සාහයේ ස්වභාවය, සමස්ත ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලීන් ඊයේ පැවති රැළියේදී අනාවරණය කරනු ලැබුවේ මෙසේය.

‘අද පාසැල් 9662න් 6000ක් සංවර්ධනය කරන, ඉතුරු පාසැල් වහලා දාන සැලැස්මක් ක‍්‍රියාත්මක කරමින් ඉන්නවා. දෙමව්පියන්ගෙ විරෝධතාවය මැඩගෙන මේ තත්ත්වය ඉදිරියට ගෙන යනවා. කුරුණෑගල සාලින්ද දිසානායක ඇමතිවරයාට විරුද්ධව දෙමව්පිය උද්ඝෝෂණය, මොණරාගල අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයාට එරෙහි උද්ඝෝෂණය, දිඹුලාගල දෙමව්පියන්ගෙ උද්ඝෝෂණය අපි දැක්කා. මේ පාසැල් වහන්න එපා කියලා හැමතැනම දෙමව්පියො උද්ඝෝෂණය කරනවා. ඇයි මේ විදිහට පාසැල් වහන්නෙ? සම්පූර්ණයෙන්ම අධ්‍යාපනයේ වියදම අඩුකර ගැනීම සඳහා. දේවි බාලිකා විද්‍යාලයට උසස් පෙළ ළමයෙක් ඇතුළුවෙන කොට අය කරගන්නා ගාස්තුව පිළිබඳ විස්තරයක් මා ගාව තියෙනවා. පුස්තකාල ගාස්තු රුපියල් 500යි, ක‍්‍රීඩා ගාස්තු 600යි, විභාග ගාස්තු 1600යි, ආරක්ෂක ගාස්තු 1600යි, පහසුකම් හා සේවා ගාස්තු 120යි, පරිගණක ගාස්තු 150යි, විද්‍යාගාර ගාස්තු 1500යි මේ ආකාරයට මුළුගාණ අටදාස් ගාණක් වෙනවා. එතකොට රජය මොකක්ද කරන්නෙ? යටිතල පහසුකම් රජයෙන් දෙනවා නම් මොකටද වෙනම සල්ලි එකතු කරන්නෙ? දැන් ආණ්ඩුව, ගුරුවරුන්ට පමණක් වැටුප් ගෙවමින් අනික් සියළු දේවල් දෙමව්පියන්ගෙන් අයකරගන්නවා. එතකොට පාසැල් අධ්‍යාපනය සිදුවන්නේ දෙමව්පියන්ගෙ මුදලින්. අධ්‍යාපනයට වියදම් කරන මුදල කපා හරින තත්ත්වයක් යටතේ ඒ වියදම දරන්න දෙමව්පියන්ට සිදු වෙලා තියෙනවා.’

වැටුප් වැඩි කිරීමේ ඉල්ලීමකින් ඇරඹි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක‍්‍රියා මාර්ගය, ආණ්ඩුව විසින් අධ්‍යාපනය වෙනුවෙන් කරන වියදම ප‍්‍රශ්න කරනා තත්ත්වයකට පැමිණ ඇත. ඒ පිළිබඳව ඊයේ පැවති රැළියේදී විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මෙසේ අදහස් පළ කළේය.

‘අධ්‍යාපනයට කරන වැය සලකා බැලිය යුත්තේ රාජ්‍ය පමණක් කරන වැය සලකා බලලා නෙමෙයි, පෞද්ගලික අංශය සහ දෙමව්පියන් කරන වියදමද සලකා බලමින් මේ සියයට හය ගණන් බැලිය යුත්තේ කියන අදහස තමයි ආණ්ඩුව ගේන්නෙ. මේ අය මෙතනදි අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ අයගේ ස්ථාවරය මොක්කද කියලා ඉතාම පැහැදිලිව කියනවා. සියයට හය මේ විදිහට ගණන් බැලූවට පස්සෙ, රාජ්‍ය වියදම් කොයිතරම් මුදලකින් වැඩි කරනවද කියලා, රාජ්‍යට කිසිම බැඳීමක් ඇතිකර ගත යුතු නැහැ. ස්ටාලින් සහෝදරයා ඉදිරිපත් කළා ලැයිස්තුවක්. මේ ලැයිස්තුවෙන් පැහැදිලි වෙනවා අධ්‍යාපනය සඳහා කරන වියදම කොයිතරම් දුරට දෙමව්පියන් මත පටවලාද කියලා. ඇත්ත තත්ත්වය මීටත් වඩා බරපතලයි. අධ්‍යාපනයට කරන වියදම මේ ආකායටම නිර්වචනය කිරීම අහිංසක දෙයක් නෙමෙයි. මේ පසුපස කිසියම් ආර්ථික දැක්මක් තිබෙනවා. අනික තමයි මේ ආකාරයට ගණන් බැලීම තුළ ඇති වන සමාජ ප‍්‍රතිවිපාක තිබෙනවා. මේවා අමතක කර මෙම තත්ත්වය හුදෙක් සංඛ්‍යා ලේඛන වලට පමණක් සීමාකිරීම ඉතාම කණගාටුදායක තත්ත්වයක්.’

අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය විසින් සංවිධානය කළ මෙම රැළියට විවිධ පක්ෂ සාමාජිකයන්, වෘත්තීය සමිති නියෝජිතයන්, විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයන් ඇතුලු විශාල පිරිසක් සහභාගීවී සිටියේ ය. මේ සියලූ දෙනා රැස්ව, ජනතාව අබිමුව නැවත නැවතත් කියා සිටියේ ලාංකීය අධ්‍යාපනය පිළිබඳව අරගලයක අවශ්‍යතාවයයි. එමෙන්ම මෙය හුදෙක් ආණ්ඩු පෙරලීමකට එහා ගිය අරගලයක් විය යුතු බව කථිකයෝ අවධාරණය කර සිටියහ.

නමුත්, අරගල කරන්නට පෙර……..

අප මේ අරගල කරන්නට ආරාධනා කරන්නේ විධායකය අතිශයින්ම බලවත් වූ භූමියක සිටය. එය හුදෙක් තනි පුද්ගලයෙක් මත පමණක් නොව අතිශයින්ම කූට ලෙස සංවිධානය වූ සහෝදර සමාගමක් අත ඇති විධායක් වීම බරපතලම තත්ත්වයයි. මෙබඳු සුවිශේෂී විධායකයට නොකල හැකි දෙයක් නොමැත. ඔවුන්ට ඕනෑම මොහොතක ඕනෑම පුද්ගලයෙක් ත‍්‍රස්තවාදියෙක් ලෙස නාමකරණය කළ හැකිය. විධායකය කියනා ඕනෑම දෙයක් එසේ බැව් ජනතාවට ඒත්තු ගැන්වීමට අධම මාධ්‍ය නඩයක්ද අප අරගල කරන්නට තැත් කරනා භූමිය තුළ සැදී පැහැදී සිටිනා බව අප අමතක නොකළ යුතුය. එමෙන්ම අප අරගල කරන්නට ආරාධනා කරන භූමිය තුළ වෙසෙන බහුතරයක් දෙනා අද පසුවන්නෙ තම ජාතිය, ආගම පිළිබඳව වූ සුපිරිතම සිහිනයක් දකිමිනි. අප අරගලය වෙනුවෙන් ඔවුන්ව ඇහැරවන ඕනෑම මොහොතක, ඔවුන්ව නැවත සුපුරුදු නින්දේ හොවන්නට හැකි ජාත්‍යාලීය ඖෂධයක් ආණ්ඩුව සතුව පවතී.

එමෙන්ම බෙහෝ දෙනා ඉසෙඞ් ඉස්කොර් වෙනුවෙන්, වැටුප වැඩි වීම වෙනුවෙන් එකතු වන්නේ නැවතත් මේ වෙළඳපොළ ආර්ථිකය තුළ ස්ථානගත වීමට අවශ්‍ය මූලික සුදුසුකම් සැපිරීමට මිස දේශපාලන අවශ්‍යතාවයකින් නොවන බව මතක තබා ගත යුතුය. ඔවුන් ඕනෑම මොහොතකම අරගලය අතහැර කුටුම්භගත වීමට සූදානම්ය. අද අප අරගල කරන්නට සූදානම් වන භූමියේ යාථාර්තය මෙයයි. එම යථාර්තය පැහැදිලිව තේරුම් නොගන්නා අරගල හුදෙක් සටන් පාඨ පමණක් වන අතර, අරගල සම්බන්ධයෙන් ජනයාගේ විශ්වාසය තව දුරටත් පලූදු කිරීමට හේතු වනු ඇත. එබැවින් ඉලක්කය පැහැදිලි විය යුතුය. නැතිනම් නැවතත් ඉතිහාසය මුල සිට ඇරඹෙනු ඇත.

සටහන සහ ඡායාරෑප – චමිල ප‍්‍රියංක | සෙල්වරාජ් රාජසේකර්