සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

අතුරුදහන්කරවීම ශ‍්‍රී ලංකා රාජ්‍යයේ මර්දනකාරී අවි ගබඩාවෙහි සදාතනික අවියක් බවට පත්ව තිබේ

[අගොස්තු 30: බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය වෙනුවෙනි]

සෑම වසරකම අගොස්තු 30 වැනි දින බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. සැම වසරකදීම අතුරුදහන් කිරීම වනාහි මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් බවටත් ගැටුම්කාරී තත්ත්වයන්ට මහුණ දීම පිණිස අතුරුදහන්කරවීම් යොදා නොගත යුතු බවටත් මතයක් ඇති කිරීම පිණිස මෙම දිනය යොදා ගනු ලැබේ. මෙම වසරෙහිදී ද ලොව පුරා අතුරුදහන්වීම්හි ගොදුරුබවට පත් වුවන්ට යුක්තිය ඉටු කරන සේ සහ දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය අවසන් කරන සේ ඉල්ලා සිටිමින් මෙම අදට(අගෝස්තු 30) යෙදෙන එම දිනය සැමරේ.

ශ‍්‍රී ලාංකික ජනමාධ්‍යවේදින්ගේ සහ මානව හිමිකම් ක‍්‍රියාකාරීන්ගේ ජාලයක් වන අයිතීන් සඳහා එකමුතුව ශ‍්‍රී ලංකාවේ දිගින් දිගටම සිදුවන බලහත්කාර අතුරුදහන් කරවීම් සහ රටෙහි පවත්නා දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය නොපැකිළව හෙළා දකිමින් මෙම දිනයෙහි ලොව පුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් අගය කරන්නා වූ ජනයා සමඟ සිය සහයෝගය ප‍්‍රකාශ කරයි. පසුගිය දශක හතර පුරා ශ‍්‍රී ලංකාවේ බලයට පත් සියළු ආණ්ඩු බලහත්කාර අතුරුදහන්කරවීම් සුජාතක විසංවාදය මැඩලීමේ සහ අභ්‍යන්තර සන්නද්ධ ගැටුම් මර්දනය කිරිමේ අවියක් ලෙස යොදා ගෙන තිබේ.

1971 සිංහළ තරුණ කැරුල්ලේ සිට 2009 මැයි මාසයේ දී උතුරු නැගෙණහිර පැවැති සිවිල් යුද්ධය අවසන් කැරෙන තුරුම සහ ඉන් පසුව ද ශ‍්‍රී ලංකාවේ සියළු ආණ්ඩු බලහත්කාර අතුරුදහන්කරවීම් යුද අවියක් ලෙස යොදා ගෙන තිබේ. 1971 දී අත් අඩංඟුවට ගන්නා ලද විශාල ගණනාවක් වූ සිංහල තරුණ පිරිස් ඝාතනය කරන ලදී. සිය ගණනින් පුළුස්සා හෝ වෙඩි තබා මරා දමන ලදුව සිරුරු විනාශ කරන ලද්දේ කිසිදු මරණ පරීක්ෂණයකින් තොරවය. යළිත් වතාවක් 1988 – 1990 සමයෙහි සැකපිට අත්අඩංඟුවට ගන්නා ලද දහස් ගණන් සිංහල තරුණ පිරිස් නඩු විභාගයකින් තොරව මරා දමන ලදී. ඒ වනාහී භිෂණ සමය යැයි නම් පටබැඳි බියජනක කාලයේ දී ය. 1980 ගණන් මුල සිට ඇරඹුණු දෙමළ සටන්කාමී සංවිධාන සමඟ යුද්ධයේ දී සටන්කාමීන් මර්දනය කිරීමේ මූලෝපායක් ලෙස ශ‍්‍රී ලාංකික රාජ්‍ය විසින් බලහත්කාර අතුරුදහන් කරවීම් යොදා ගන්නා ලදී. 2009 මැයි මාසයේ දී කෙළවර වූ යුද්ධයේ අවසන් භාගයේ දී දහස් ගණනින් නොවේ නම් සිය ගනනින් රජයේ හමුදාවන්ට යටත් වූ හෝ ඒ විසින් අත් අඩංඟුවට ගැනුනු දෙමළ තරුණ පිරිස් කිසිදු හෝඩුවාවක් නැතිව අතුරුදහන් කරවන ලදී.

බලහත්කාර අතුරුදහන්කරවීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කණ්ඩායම හමුවෙහි නොවිසඳුනු වැඩිම අතුරුදහන්වීම් ඇත්තේ ශ‍්‍රී ලංකාවෙහි ය. මෙම තත්ත්වය පිළිබද විමසා බැලීම පිණිස ශ‍්‍රී ලංකාවට පැමිනීමට අවසර ඉල්ලා බලහත්කාර අතුරුදහන්කරවීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා විසින් පසුගිය තෙවසර පුරා කරන ලද ඉල්ලීම්වලට ශ‍්‍රී ලංකාණ්ඩුව කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැත.

පුද්ගලයින් අතුරුදහන්වීම පිළිබඳ සොයා බලා නීතිමය පියවර ගැනීම පිණිස ඊට වගකියයුතු අපරාධකරුවන් හදුනා ගැනීම පිණිසත් අනාගතයෙහි මෙවැනි සිදුවීම් ඇතිවීම වළක්වනු පිණිසත් නිර්දේශ යෝජනා කිරිම පිණිසත් 1994න් පසු කොමිෂන් සභා ගණනාවක්ම පත් කරන ලදී. අතුරුදහන්කරවීම් හේතුවෙන් වින්දිතයින් බවට පත් පවුල්වලට වන්දි ලබා දීමට නිර්දේශ යෝජනා කරන ලෙසත් මෙම කොමිසන් සභාවන්ට පවරන ලදී. 1994 සහ 1998 අතරතුර පත් කරන ලද කොමිෂන් සභා හතරෙහි වාර්තා ප‍්‍රසිද්ධ කරන ලද නමුත් එම වාර්තා මගින් හදුනාගත් අපරාධ කරුවන්ට එරෙහිව කිසිදු පියවරක් ගැනුනේ නැත. තවද අනාගතයෙහි එවැනි සිදුවීම් වැළැක්වීමට කරන ලද නිර්දේශ කිසිවක් ක‍්‍රියාත්මක කැරුනේ ද නැත. ඉන් අනතුරුව පත් කරන ලද කොමිෂන් සභාවන්හි වාර්තා කිසිවක් ප‍්‍රසිද්ධ කර නැත. යුද්ධ කාලයන්හිදී මෙන් පුළුල්ව නැතත් අතුරුදහන්කරවීම් තවමත් සිදුවෙයි.

මෑතදී ප‍්‍රකාශයට පත් උගත් පාඩම් සහ ප‍්‍රතිසංධාන කොමිෂමේ නිර්දේශ මගින් ද යුද්ධාවසානයේ දී සිදුව ඇති අතුරුදහන්වීම් පරීක්ෂා කළ යුතු බව දැක්වුණි. එනමුත් ඒ අරභයා ආණ්ඩුව මේතාක් කිසිදු පියවරක් ගෙන නැත.
බලහත්කාර අතුරුදහන්වීම් දිගටම පවත්වා ගනිමින් ඊට වගකිව යුතු අපරාධකරුවන් ආරක්ෂා කරමින් ශ‍්‍රී ලංකා රාජ්‍ය ගෙනයන පිළිවෙත විසින් පෙන්වා ලන්නේ මේ වනාහි ශ‍්‍රී ලංකා රාජ්‍යයේ ගැඹුරටම මුල් බැස ගත් අපරාධකාරී ව්‍යාධියක් බවය. එය අවසන් කිරීමට ශ‍්‍රී ලංකා රාජයට කිසිදු උවමනාවක් ඇති බවත් නොපෙනේ. පුද්ගලයින් අතුරුදහන්කරවීම පිළිබඳ එක්සත් ජතීන්ගේ ප‍්‍රඥාප්තියට අත්සන් තැබීමට ආණ්ඩුව දක්වන අකමැත්ත මෙම ස්ථාවරයේ පිළිඹුවකි.

වර්ථමානයෙහි ශ‍්‍රි ලංකාවේ නීතිය ක‍්‍රියාත්මක කිරීමේ ආයතන අකාර්ෂම වී ඇති බවත් රටෙහි නීතියේ පාලනයක් නැති බවත් පරසිදු කරුනකි. මෙම තත්ත්වය අවබෝධ කරගත් උගත් පාලන සහ ප‍්‍රතිසංධාන කොමිසම පොලිස් දෙපාර්ථමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කර එය ස්වාධීන පොලිස් කොමිසමක් යටතට පත් කළ යුතු යැයි නිර්දේශ කළේ ය. මෙම නිර්දේශය හෝ තවමත් ක‍්‍රියාත්මක කර නැති අතර ඊට සූදානමක් ද නොපෙනේ. නීතියේ පාලනය, අධිකරණ ස්වාධීනත්වය, පොලිස් කොමිසමෙහි සහ මානව හිමිකම් කොමිසමෙහි ස්වාධීනත්වය තහවුරු කැරෙන තුරු ශ‍්‍රී ලංකාවෙහි බලහත්කාර අතුරුදහන්වීම් දිගටම සිදුවනු ඇති අතර ඊට කිසිදු දඩුවමක් නොලැබෙනු ඇත.

සමාන අදහස් දරන කණ්ඩායම් සහ පුද්ගලයින් සමඟ එක්ව කටයුතු කරමින් ශ‍්‍රි ලංකාවෙහි සිදුවන බලහත්කාර අතුරුදහන්වීම් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමටත් ලේඛණ ගත කොට බෙදා හැරීමටත් එමගින් මෙම අපරාධය ශ‍්‍රී ලංකාවෙහි අතීතයට අයත් කරුණක් බවට පත් කිරීමටත් අයිතීන් සඳහා ජාලය කටයුතු කිරීමට බලාපොරොත්තු වෙයි.

[2012 අගෝස්තු 30 | අයිතීන් සඳහා එකතුව විසින් නිකුත් කළ ප්‍රකාශයකි.]

[Image:VIKALPA File]