සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation

‘මම චෝදනා කරන්නේ, ජනතාවගේ නායකයෝ කියාගෙන ඉන්න අයට විරුද්ධව.’ – මනෝ ගනේෂන්


දෙමළ දේශපාලන රුදවියන් වුනු නිමලරූබන් සහ දිල්රුක්ෂන් ගේ මරණයෙන් පස්සේ සහ ඒවා සම්බන්ධයෙන් යම් කිසි සුළු පිරිසක් අතර හැරුනු විට දේශපාලන සිරකරුවෝ සහ ඒ ඝාතන සම්බන්ධයෙන් ලාංකීය සමාජයේ එතරම් සාකච්ඡාවට ලක්වුනේවත් එවන් තත්ත්වයන් නැවත ඇති නොවීමට ආණ්ඩුව පාර්ශවයෙන්වත් වෙනත් පාර්ශවයන්ගෙන්වත් ඒ තරම් සාකච්ඡාවක් මතු වුනේ නැහැ. එවන් තත්ත්වයක් තුළ මේවනවිට තවත් රුදවියෙකු කෝමා තත්ත්වයෙන් රෝහල් ගත කර බවට පසුගිය සතියේදී වාර්තා විය. මේ තත්ත්වය තුළ ඒ සම්බන්ධයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක, මනෝ ගනේෂන් මහතාගෙන් ‘විකල්ප’ පුරවැසි වෙබ් අඩවිය විමසා සිටියහ. මේ ඒ පිළිබදව ඔහු දැක්වූ අදහස්..,

ඇත්තටම ඉතා දුර්වලයි තත්ත්වයක්. මොකද ඇත්තම කියනවා නම් මම ඉතාමත් කණගාටු වෙනවා, අනිත් පැත්තකින් ලැජ්ජත් වෙනවා. මේක තවමත් දෙමළ ප‍්‍රශ්නයක් ආකාරයට හෝ නැත්නම් ඒකට එහා ගිහින් කොටි සංවිධානයේ ප‍්‍රශ්නයක් ආකාරෙන් තමයි ලංකාවේ තුළ මේ ප‍්‍රශ්නය විවිධ අය දකින්නේ. විවිධ අය කියලා කියන්නේ සාමාන්‍ය ජනතාව පමණක් නෙමෙයි, දේශපාලන නායකවරුන්, දේශපාලන පක්‍ෂ සහ සිවිල් සමාජ අතරත් මේ ප‍්‍රශ්නය ගැන තවමත් උනන්දුවක් නැතැයි කියන එක තමයි මේ අවස්ථාවේදී කියන්න වෙලා තියෙන්නේ. මොකද තවමත් ප‍්‍රධාන දේශපාලන පක්‍ෂවල් අතර එක්සත් ජාතික පක්‍ෂ වේවා, සරත් ෆොන්සේකා මහත්මයාගේ නායකත්වයෙන් පවත්වන පක්‍ෂ වේවා, ආණ්ඩුව තුළ තිබෙන වාමාංශික පක්‍ෂවල් වේවා, මේ සම්බන්ධව උනන්දුවක් දක්වලා නැහැ. එමෙන්ම අනිත් පැත්තෙන් මට කියන්න වෙනවා ජනතා විමුක්ති පෙරමුණ ඒ වගේම පෙරටුගාමී සමාජවාදී පක්‍ෂ දෙක අතර යම් උනන්දුවක් තියෙනවා. ඒ පක්‍ෂ දෙකේ මේ පිළිබඳව අතීතයේ පැවතුණ ප‍්‍රතිපත්ති සහ ගමන් මාර්ගය පිළිබඳව අපිට විශාල මත බේද තිබුණත්, මේ අවස්ථාවේදී එම පක්ෂයන් වල ස්ථාවර සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. අතීත අවස්ථාවේදී අපි අතර තිබුණ මතබේද පදනම් කරගෙන අද පවතින මේ තත්ත්වය විනාශ කරන්න මම කැමති නැහැ. නමුත් එක්සත් ජාතික පක්‍ෂය නිල වශයෙන් උනන්දුවක් දක්වලා නැහැ. ජයලත් ජයවර්ධන මන්ති‍්‍රවරයා ඇතුළු තවත් මන්ති‍්‍රවරුන් කිහිප දෙනෙක් පෞද්ගලිකව සාකච්ඡා වුණත් අනිත් අය අතර සාකච්ඡාවක් නැහැ. ඒ වගේම සරත් ෆොන්සේකා මහත්මයා මේ සම්බන්ධව කිසිදු මතයක් ඉදිරිපත් කරලා නැහැ. ඇත්තම කියනවා නම් සරත් ෆොන්සේකා මහත්මයාමයි මෑතකදී නිදහස් වෙච්ච ප‍්‍රබල දේශපාලන සිරකරුවෙක්. අපි එතුමා ඇතුළේ ඉන්න අවස්ථාවේදී එතුමාගේ වේදිකාවට නැගලා කතා කළා. ඇත්තටම සරත් ෆොන්සේකා මහත්මයා නිදහස් කරන්නට කියලා තිබුණ ජාතික ව්‍යාපාරයෙ වේදිකාවට මම නැගලා, එම ව්‍යාපාරයට දෙමළ වර්ණයක් ලබා දුන්නා. නමුත් ඒකට ප‍්‍රතිචාරයක් තවම අපිට ලැබිලා නැහැ. ඒ ගැන කණගාටු වෙනවා.

අනිත් පැත්තකින් බලන කොට, අපි අත දික් කරලා වැරදිකරු කියලා කියන්නේ ආණ්ඩුවට තමයි. නමුත් ආණ්ඩුව තුළ තිබෙන වාමාංශික පක්‍ෂ පිළිබඳව හැමදාම අපිට යම්කිසි බලාපොරොත්තුවක් තිබුණා. මොකද ඒ අය වාමාංශික නිසා, මාක්ස්වාදීන් නිසා. දැන් බලන්න මේ දේශපාලන සිරකරුවන්ගේ විෂයභාර, බන්ධනාගාර සහ පුනරුත්ථාපන, ඇමතිවරයා කවුද? චන්ද්‍රසේකර ගජධීර ඇමතිතුමා. එතුමා ශී‍්‍ර ලංකා කොම්යුනිස්ට් පක්‍ෂයේ මන්ති‍්‍රවරයෙක්. දැන් ඇමතිවරයෙක්. ඉතින් එතුමා හට ඇමැතිවරයෙක් හැටියට, වාමාංශික නායකයෙක් හැටියට වගකීමක් තියනවා. නමුත් මම ඉතාම කණගාටු වෙනවා, අද වෙනකම් එතුමාගෙන් අපිට සුබවාදී ප‍්‍රතිචාරයක් මේ සම්බන්ධයෙන් ලැබිලා නැහැ. මේ බන්ධනාගාර පිළිබඳව, පුනරුත්ථාපන පිළිබඳව, නැවත පදිංචි කිරීම් පිළිබඳව ආණ්ඩුව හැමදාම පත් කරන්නේ වාමාංශික ඇමැතිවරයෙක්. ඊට පෙර සිටියේ ඩිව්. ගුණසේකර ඇමැති තුමා. භාෂා පිළිබඳව වාසුදේව නානයක්කාර මහත්මයා ඉන්නවා. මං දන්නේ නැහැ ආණ්ඩුව මේ කරන්නේ කුමන්ත‍්‍රණයක් ද කියලා. වාමාංශික පිරිස දාලා, අපි මේ ඉතාම සුබවාදී විධියට නැත්නම් සාධාරණ විධියට මේ විෂය පිළිබඳව හැසිරෙනවා කියලා පෙන්නන්න හදනවාද දන්නේ නැහැ.

අද දකුණේ ඉන්න, වරෙන්තු 50ක් 100ක් ලබා ගත්තට පසුවත්, භාර නොවී නිදහසේ ගමේ ජීවත් වුණු, නැවත නැවත වැරදි කළා කියලා චෝදනා එල්ල වුණු, මිනිමරුවෙක් කියන චෝදනාව එල්ල වුණු අයෙක්, ලඟකදී දකුණේ ජනතා විමුක්ති පෙරමුණ රැළියකට පහර දීලා මිනිමැරුමකට සම්බන්ධ වුණා. මේ පුද්ගලයාගේ අතීතය ගැන අපිට දැන ගන්න ලැබිලා තියෙනවා. ඒ කාලේ දකුණේ බන්ධනාගාරේ මේ පුද්ගලයා උපවාස කරලා තියනවා. විශාල උද්ඝෝෂණයක් කරලා තියෙනවා. එවිට පොලිස් විෂයභාර ඇමැති එතැනට ගිහිලා එයා සමග සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම එවිට විපක්‍ෂ නායකයා වුණු, වර්තමානයේ ජනාධිපති තුමා ගිහිල්ලා ඒ සිරකරුවා සමඟ සාකච්ඡා කරලා තියනවා. මං ඒක වැරැදි කියලා කියන්නෙ නැහැ. යම් කිසි විධියක ප‍්‍රශ්නයක් ඇති වෙනකොට ඒ ගැන සාධාරණ අකාරයට, සමකාමි ආකාරයට විසඳන්න උත්සහ කරන්න ඕනෑ. නමුත් ඇයි එම උත්සාහය වව්නියාවෙදි කළේ නැත්තේ? දෙමළ නිසා නේද? දෙමළ නිසා නේද කියලා මම අහන්න නැහැ. දෙමළ නිසා තමයි කියලා මම දන්නවා. දෙමළ නිසා තමයි ඒ අයට ගහලා, මරලා විනාශ කරලා තියෙන්නේ. නමුත් සිංහල වෙනකොට එසේ කරන්නේ නැහැ. අද රටේ වෙනස මෙන්න මේකයි. මම සිංහල මිනිසුන් වෙනුවෙන් පමණක් පෙනී සිටිනවා නෙමෙයි. දෙමළ, සිංහළ, මුස්ලිම් සියල්ලෝම ශී‍්‍ර ලාංකික හැටියට සලකනවා කියලා ලොකු ලොක්කන් වේදිකාවට නැගලා කියනවා වුණාට ඒවා කතා විතරයි. නමුත් ප‍්‍රායෝගිකව බලන කොට එසේ කරන්නේ නැහැ. දෙමළ මිනිසුන්ට වෙන නීතියක් තියෙනවා. සිංහල මිනිසුන්ට වෙන නිතියක් තියෙනවා. මම චෝදනා කරන්නේ, සිංහල සාමාන්‍ය ජනතාවට නෙමෙයි, ජනතාවගේ නායකයෝ කියාගෙන ඉන්න අයට විරුද්ධව.

දැන් ඇත්තටම දේශපාලන සිරකරුවෝ කියලා අද ඉන්න අය කරපු වැරදිවලට සමානවම චෝදනා එල්ල වුණු, සමහර අවස්ථාවල චෝදනා ඔප්පු වුණු, සමහර අය දැන් නිදහස් වෙලා ආණ්ඩුව සමඟ වැඩ කරනවා. පාර්ලිමේන්තුවේ තුළත් ඉන්නවා. ආණ්ඩුවේ පක්‍ෂ තුළත් ඉන්නවා. විශේෂ වරප‍්‍රසාද ලබාගන ඒ අය දැන් දේශපාලන කරගෙන සිටිනවා. මං ඒක වැරැද්දක් කියලා කියන්න නැහැ. ආණ්ඩුවට එසේ වුවමනාවක් තියෙනවා නම් එසේ කළාවේ. සමාව දුන්නා නම් සමාව දීපුවාවේ. ප‍්‍රශ්නයක් නැහැ. නමුත් ඒ සමාව, ඒ වරප‍්‍රසාදය, ඒ අවස්ථාව, ඒ අවකාශය ඇයි අනිත් අයට දෙන්නෙ නැත්තෙ? මොකද සමහර අය නිදහස් කළේ ආණ්ඩුවෙ දේශපාලන උවමනාවට නම්, අනිත් අය ඇතුළෙ තියාගෙන ඉන්න එකත් දේශපාලන කාරණාවක් තමයි. ඒ නිසා තමයි අපි කියන්නේ ඒ අය දේශපාලන සිරකරුවන් කියලා. ඒක තේරුම් ගන්නට ඕනෑ. ඒක මම ගජධීර වාමාංශික ඇමැතිතුමාටත් කියනවා. කරුණාකරලා දේශපාලන සිරකරුවෝ නැහැ කියලා අපිට කියන්න එපා කියලා ඇමැතිතුමා සමඟ දේශපාලනය කරන අනිත් අයටත් කියනවා.දේශපාලන සිරකරුවෝ කියලා පිළිඅරගෙන තමුනාන්සෙලා සමඟ දැන් පාර්ලිමේන්තුවෙත්, පාර්ලිමේන්තුවෙ පිටතත් එකතුවෙලා දේශපාලන කරන අයට ලබා දුන්නු අවස්ථාව අනිත් අයටත් ලබා දෙන්න කියලා මම කියනවා.

මනෝ ගනේෂන්
නායක – ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ
(සාකච්ඡාවක් ඇසුරෙනි)

මේ එම සාකච්ඡාවේ වීඩියෝ සටහනයි.
[youtube]http://www.youtube.com/watch?v=MMVk2EJxZj0&feature=plcp[/youtube]