සිංහල, Colombo, Life quips, Media

තිලක් ජයරත්න: පුරෝගාමියකුගේ නික්ම යෑම


අද(07) උදෑසන නික්ම ගිය තිලක් ජයරත්න නූතන ශ‍්‍රී ලාංකික කලා සහ ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ පුරොගාමී මෙහවරක් ඉටු කළ අල්පයක් බහුශ‍්‍රැතයින් අතර සිය මුද්‍රාව නොමැකෙන ලෙස සටහන් කළ අපේ එකෙකි.

තිලක් අප බොහෝ දෙනෙකුට සගයෙකි. සහෝදරයෙකි. ගුරුවරයෙකි. ඔහු නික්ම ගියද ඔහුගෙන් අප උගත් දෑ නික්ම නොයනු ඇත.

ගුවන් විදුලි සේවාවන් මහජන සේවා බවට පත් කිරීමට සිංහල සේවා අධ්‍යක්ෂක වශයෙන් ඔහු තැබූ පියවර සාක්ෂාත් නොවූවද මෙරට දී අසන්නාගේ හඬ ප‍්‍රථමයෙන්ම ගුවන් විදුලි තරංග කරා ගෙන ආවේ ඔහු ය. අද අසන්නට නැති ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යාපන සේවය ස්වාධීන විචාරත්මක වැඩ සටහනක් ලෙස ගොඩ නැගුවේ ඔහු ය.

අද්විතීය පුරෝගාමී පියවරක් වූ ටෙලි නාට්‍ය කලාවෙහි නව මං සෙවූ කඬුල්ල රූපවාහිනී සිත්තම ඔහු අපට දුන් සදාතනික දායාදයකි. ඒ මෙරට රූපවාහිනියේ ආරම්භක අවදියේදී ම ය.

බිදුණුවැව දෙමළ සැකකරුවන් ඝාතනයේ ජනමාධ්‍ය ආවරණය විමර්ශනය කරමින් ලියන ලදල අධිපති ජනමාධ්‍ය වාර්තාකරනය විඛණ්ඩනය කළ බිදුණු වැව ජනමාධ්‍ය අඛ්‍යානය ගැටුම් වාර්තාකරනයේලා සදාකාලික අත් පොතකි. ජනමාධ්‍ය නිරීක්ෂනය සඳහා අත් වැළකි.

මැතිවරණ ආවරණය උදෙසා ඔහු විසින් සකස් කල ජනමාධ්‍ය මඟ පෙන්වීම් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගනු ලැබූයේ කළකට පෙර ය. ඒ මඟ පෙන්වීම් ක‍්‍රියාවට නැගුනේ නම් මැතිවරණ ක‍්‍රියාවලිය නිදහස් සහ සාධාරණවීමට මහඟු සහායක් වන්නට තිබුණි.

මෑත කාලීන ශ‍්‍රී ලංකාවේ එකම මහජන සේවා ජනමාධ්‍ය ආයතනය යැයි කිව හැකි ඌව ප‍්‍රජා ගුවන් විදුලි සේවය පිහිටුවා එහි ජනමාධ්‍යවේදී පරපුර පුහුණු කරන ලද්දේ තිලක් ජයරත්නය.

ඔහුගේ ලබැඳි සිහිනයක් වූ ප‍්‍රජා ගුවන් විදුලි සේවා යතාර්ථයක් වීම සැම වරණයකම දේශපාලඥයින් විසින් වළක්වන ලද නමුත් ඒ සිහිනය සැබෑ වන දිනෙක තිලක් නැති අඩුව පිරිමැසිය නොහැකි වනු නොඅනුමානය.

තිලක් ජයරත්න ශ‍්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ ප‍්‍රථම අධ්‍යක්ෂවරයා විය. එනමුත් අවාසනාවකට මෙන් ඔහුගේ සේවය පවත්වා ගැනීමට ආයතනය අසමත් වුයේ ජනමාධ්‍ය ව්‍යාපාරිකයින්ට ඔහු නොගැලපුන නිසා ය.

තිලක් සිය අරමුණු අතර සමාජ සාධාරණත්වයත් සහ ධනවාදයට විකල්පයක් ලෙස සමාජවාදයත් සෑමවිටම පවත්වා ගත්තේ ය.

තිලක් ජයරත්නගේ නික්ම යෑම පිරිමැසිය නොහැකි ය.
එනමුත් ඔහු විසින් තබා ගිය පිය සටහන් ජනමාධ්‍යයේ යෙදී සිටින අප බොහෝ දෙනෙකුට උදා තරු වැන්න.

තිලක් ආයුබෝවන්. නැවත හමුවෙමු.

සුනන්ද දේශප‍්‍රිය

07.09.2012