Batticaloa, Featured Articles, Features

නැගෙනහිර පළාත් සභාව පිහිටුවන්න ආණ්ඩුවට වරමක් නෑ – ටීඑන්ඒ


නැගෙනහිර පළාත් සභාවේ පරිපාලනය පිහිටුවීමට ආණ්ඩු පක්ෂයට වරමක් ලැබී නැතැයි දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) පවසයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, එක්සත් ජාතික පක්ෂය සහ තමන් මැතිවරණයට තරඟ වැදුනේ ආණ්ඩුවට එරෙහිව බව පවසන ටීඑන්ඒ සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා තම පක්ෂ තුනට නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රී ධූර 22 ක් හිමි වී තිබෙන බවද සඳහන් කළේය.

ඒ අනුව මන්ත්‍රී ධූර 37 ක් සහිත නැගෙනහිර පළාත් සභාවේ බහුතරය විපක්ෂයට ලැබී තිබෙන අතර ආණ්ඩුවට හිමි වී තිබෙන්නේ ආණ්ඩුවේ පාර්ශවකාර ජාතික නිදහස් පෙරමුණේ ආසනයද ඇතුළුව මන්ත්‍රී ධූර 15 ක් පමණක් බවද පෙන්වා දෙයි.

එබැවින් නැගෙනහිර පළාත් සභාවේ බලය අත්පත් කර ගැනීමට ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නැති බවයි ඔහු පවසා සිටියි. දෙමළ ජාතික සන්ධානයේ නායකයා මේ බව පැවසුවේ මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව බීබීසී දෙමළ සේවය සමඟ අදහස් දක්වමින් ය.

මේ තත්ත්වය යටතේ පළාත් සභාවේ බලය පිහිටුවීම සඳහා ආණ්ඩුවට වරමක් ලැබී නැති බව තමන් නැගෙනහිර ආණ්ඩුකාරවරයාට දැනුම් දුන් බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

‘සහාය දෙනවා’

නැගෙනහිර පළාත් සභාවේ පාලන බලය ලබා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයට කොන්දේසි සහිත සහායක් ලබා දෙන බව එජාපය පවසයි.

මේ අතර සමස්ත මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව විග්‍රහයක යෙදෙන එක්සත් ජාතික පක්ෂය පවසන්නේ පසුගිය මහ මැතිවරණයේදීට වඩා සිය පක්ෂය අදාළ පළාත්වල ඡන්ද ප්‍රමාණය වැඩිකර ගෙන ඇති අතර ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණය අඩු වී ඇති බවයි.

එය ඡන්දදායකයන් ආණ්ඩුවට රතු එළියක් පෙන්වීමක් ලෙසිනුයි පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා විග්‍රහ කරනු ලැබූවේ.

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රයත්නයක යෙදුනද ආණ්ඩුවෙන් එල්ල වූ බලපෑම් නිසා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමේ උත්සාහය අසාර්ථක වූ බවද එක්සත් ජාතික පක්ෂය පවසයි.

නැගෙනහිර පළාත් සභාවේ පාලන බලය ලබා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයට කොන්දේසි සහිත සහායක් ලබා දෙන බවද කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තම පක්ෂයේ අනන්‍යතාවය සහ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන එම සහාය ලබාදෙන බවයි, ඔහු පවසන්නේ.

“දෙවනුව රටේ භෞමික අඛණ්ඩතාවයත් ස්වෛරීත්වයත් ශක්තිමත් කරන්න ක්‍රියා කරනවයි කියන ප්‍රතිඥාව අපිට ඕනේ. ඒ විතරක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදය, යහ පාලනය, නීතියේ සාධාරණත්වය ස්ථාපිත කරනවයි කියන ප්‍රතිඥාව ලැබුනොත් පමණයි අපි සහයෝගය ලබා දෙන්නේ,” ඔහු පැවසීය.

©BBC