සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

‘‘කොළඹ ඉන්න කොට එයාගෙ ඇස් දෙකම හොඳට පෙනුණා.”


‘සියළු සිරකරුවෝ මනුෂ්‍යයෝය.’ යන ප‍්‍රකාශය ගැන, ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය සමරන අද(12) දින නැවත සිතා බැලීමට සිදු වී ඇත්තේ, සිරකරුවන් සම්බන්ධයෙන් ලංකාව තුළ කටයුතු සිදුවන ආකාරය නිසාය. සියළු සිරකරුවන් කෙසේ වෙතත් දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ආණ්ඩුව හැසිරෙන අමානුෂික ආකාරය පෙන්වා දෙන්නේ දෙමළ සිරකරුවන් තව දුරටත් මනුෂ්‍යන් නොවන බවය. නිමලරූබන්ගේ, දිල්රුක්ෂන්ගේ ඝාතනයෙන් පසුව අද ජීවිතයත් මරණයත් අතර සටන් කරන්නේ සුන්දරම් සදීශ් කුමාර්ය. ඔහුගේ අසාධ්‍ය තත්ත්වය පිළිබඳව බිරිඳ කවිතා විසින් ‘විකල්ප’ සමග පැවසූ අදහස් කිහිපයක් මෙසේ පල කරන්නේ, ‘ලෝක ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ මානව හිමිකම්වලට ලංකාව ආදර්ශයක්’ බවට පාරම්බාන ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ මානව හිමිකම්වල තරම එයින් පිළිඹිබුවන බැවිනි.

”පසුගිය මාසයේ 27 වෙනිදා ගාල්ල කරාපිටිය රෝහලේ සිට කොළඹ රෝහලට මාරු කළ මගේ ස්වාමිපුරුෂයා වන සුන්දරම් සදීශ් කුමාර්ව පසුගිය 09 වෙනිදා වෙන තුරු මම රෝහලට ගිහින් බැලූවා. 10 වෙනිදා දුවව පාසැලට රැගෙන යාම සඳහා වව්නියාවට යන්න සිදුවුණා. ඊයේ(11) කොළඹ රෝහලට ඇවිත් බලන විට මගේ ස්වාමිපුරුෂයා රෝහලේ සිටියේ නැහැ. පසුව හොයලා බලනකොට එයාව මටත් නොදන්වා මැගසින් බන්ධනාගාරයට රැගෙන ගිහිල්ලා.”

”මම අද(12) බන්ධනාගාරයට ගිහින් එයාව බැලූවා. නමුත් එයාව බලන්න විනාඩි 10ක් වත් ඒ නිළධාරීන් මට ඉඩ දුන්නෙ නැහැ. එහි සිටි නිළධාරීන් තිදෙනෙක් මට මගේ ස්වාමිපුරුෂයාට ලංවෙන්න වත් ඉඩ දුන්නේ නැහැ. දුර සිට එයාව බලන්න කියලා එයාලා මට නියෝග කළා. දකුණු ඇස එක් අතකින් වහගෙන, වම් ඇසෙන් තමයි එයා මා දිහා බැලූවෙ. එයාට පැහැදිලිව කිසි දෙයක් පේන්නෙ නැහැ කියලා අතින් සංඥා කරමින් ඇඬුවා. නමුත් කොළඹ මහ රෝහලේ ඉන්න කොට එයාගෙ ඇස් දෙකම හොඳට පෙනුණා.”

”කූල් බීම බෝතලයකුයි, පැටිස් දෙකකුයි මම අරගෙන ගියේ එයාට කන්න හොඳ මොන කෑමද කියලා දන්නෙ නැති හින්දයි. නමුත් කූල් බීම දෙන්න බැහැ කියපු නිළධාරීන් පැටිස් දෙක විතරක් ගත්තා. මම බත් ගෙනැල්ලා කවන්නද කියලා ඔවුන්ගෙන් ඇහුවා. දවසකට එක පාරයි බලන්න පුළුවන් කියලා ඒක ප‍්‍රතික්ෂේප කළා. එයා ලඟ කමිසයකුයි, සරමකුයි විතරයි තිබ්බෙ.”

”එයාට නල මාර්ගයෙන් තමා වැසිකිලියටත් යන්න වෙලා තියෙන්නෙ. මම කතා කරන දේ එයාට ඇහෙන්නේ නෑ කියලා අත උස්සලා කිව්වා. එහෙම තිබුණත් මට එයාගෙ ලඟට යන්න නිළධාරීන් ඉඩ දුන්නේ නෑ. ගිය මාසේ 23වනදා සිට අද දක්වා එයා එක වචනයක්වත් තාම කතා කළේ නෑ. අදත් එයාට කතා කරන්න බැහැ කියලා එයා මට අතින් කිව්වා. මෙච්චර අසරණ වුණ මගේ ස්වාමිපුරුෂයාව ඇයි මෙහේ ගෙනත් තියාගෙන ඉන්නේ?”