Colombo, Featured Articles, Features

අධ්‍යාපනයට 6%ක් ඉල්ලීම, මේ රටේ ජනතාවගේ අරගලයක්.


”මේ විශ්ව විද්‍යාල ආචාර්යවරු ඉල්ලලා තියෙන, අධ්‍යාපනයට සියයට 6ක් වෙන්කරන්න කියන ඉල්ලීම, මේ රටේ ජනතාවගේ අරගලයක්. කොහොමද ඒක ජනතාවගේ අරගලයක් වෙන්නෙ? ඔවුන් මේ ඉල්ලා සිටින්නේ ජනතාවගේ පඩි වැඩි කරන්න කියලයි. කොහොමද ඒ ඉල්ලීම ලැබුණොත් ජනතාවගේ පඩි වැඩි වෙන්නෙ? මේ වෙන කොට මේ රටේ අධ්‍යාපනයට වැඩි මුදලක් වැය කරන්නේ අපේ රටේ දෙමව්පියො. අද ආණ්ඩුව කරන්නේ ගුරුවරුන්ට පඩි දෙන එක විතරයි. අධ්‍යාපනයට ඒ අය මුදල් වෙන් කරලා නැති නිසා අද මේ රටේ ජනතාව පිට ඒ බර දාලා තියෙනවා. ලැබෙන පඩිය ජීවත් වෙන්නෙ මදි වෙන කොට තවත් බර දාලා තියෙන නිසා මේ සියයට 6 ඉල්ලීම ලැබුණොත් ඒ බර අපේ රටේ ජනතාවගෙන් අඩු වෙනව නම් ඒක මේ රටේ ජනතාවගේ පඩි වැඩි වීමක් හැටියට තමයි සලකන්න වෙන්නෙ.”

‘අධ්‍යාපනයට සියයට 6ක් වැඩි කරනු,’ ‘රාජ්‍ය අධ්‍යාපනය රැක ගනිමු’ යන සටන් පාඨය සමග වෘත්තීය සමිති සහයෝගිතා කමිටුව විසින් ඊයේ (13) කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේදී සංවිධානය කළ සමුළුවේදී මෙසේ අදහස් ප‍්‍රකාශ කලේ, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් විසිනි.

‘රාජ්‍ය අධ්‍යාපනය රැකගනිමු’ යන්න සමස්ත රටේම සටන් පාඨයක් බවට පත් කිරීමේ අරමුණින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් ගෙන යන වැඩ වර්ජනයට, ලංකවේ සමස්ත වෘත්තීය සමිති පද්ධතියම සහය පළ කිරීම සුවිශේෂී තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

”මේ රටේ වැඩ කරන පන්තියේ පෞද්ගලික අංශයේ ලක්ෂ 65ක් ඉන්නවා. රාජ්‍ය අංශයේ ලක්ෂ 12ක් ඉන්නවා. ඒ ලක්ෂ 77න් අති බහුතරය මෙතන නියෝජනය කරනවා. මේ විශ්ව විද්‍යාල අචාර්යවරුන්ගේ වැඩවර්ජනය විසඳන්න ආණ්ඩුව උත්සාහ කරන්නෙ නැත්නම් ඒක මර්ධනය කරන්න ආණ්ඩුව උත්සාහ කරනව නම්, ඒ හරහා මේ රටේ වැඩකරන පන්තියට මරු පහරක් එල්ල කරන්න ආණ්ඩුව සූදානම් නම්, මේ වෘත්තීය සමිති නියෝජිතයේ ලෑස්තියි දැවැන්ත වැඩ වර්ජනයකින් ආණ්ඩුවට උත්තර දීලා මේ ප‍්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න.”රජයේ හෙද සේවා සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය විසින් ඊයේ සමුළුවේදී කළ මේ ප‍්‍රකාශය තුළින් පැහැදිලි වන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරන්ගේ අරගලයට, වෘත්තීය සමිති සහයෝගීතාවය එකතු වීමේ වැදගත් කමයි.

”යුද්ධයෙන් පස්සේ ආණ්ඩුව සංවර්ධනය ගැන උදේ සිට ? වෙනකන් කතා කරනවා. යුද්ධ ජයග‍්‍රහණය ජප කරමින් ආණ්ඩුවට සහයෝගය දෙන්න, ආණ්ඩුවට දොස් කියන්න එපා, එහෙම කරන අය ආණ්ඩු විරෝධී ආදී වශයෙන් කියමින් හැමතැනම යනවා. උසස් අධ්‍යාපනයේ නියැලෙන විද්වතුන් නොසලකා හරිමින් රටක් දියුණු කරන්නෙ කොහොමද? මේ විදිහට රටේ උගත්ම පිරිසට බල්ලන්ට වගේ සලකන මේ මොන ආණ්ඩුවක්ද මේ? මේ ආණ්ඩුව සංවර්ධන සැලැස්මක් තියෙනවද? මේ ආණ්ඩුවට සංවර්ධන සැලැස්මක් නැහැ.” ලංකාවේ සමස්ත වෘත්තීය සමිති පද්ධතියම නියෝජනය කරමින් සංවිධානය වූ මේ සමුළුවේදී මෙසේ අදහස් ප‍්‍රකාශ කළේ වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් ටී.ඩබ්ලිව්. සුබසිංහ විසිනි. වෘත්තීය සමිති නියෝජිතයන්, සාමාජිකයන්ට අමතරව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දේශපාලන පක්ෂ නියෝජිතයන් ආදී විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය. මෙම සමුළුව පිළිබඳව සැකසූ වීඩියෝව සඳහා පහත බලන්න.

[youtube]http://www.youtube.com/watch?v=dPX1QWnkgNc&feature=plcp[/youtube]

@VIKALPA