සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

නැවත ප‍්‍රදර්ශනය කිරීමක්

එකම දේ නැවත නැවතත් දැකීම හෝ ඇසීම වෙහෙසට කරුණක් වශයෙන් අපේ ජනයා නොසලකන බව අතත්‍ය තලයක ඔප්පු කරන මාධ්‍ය ටෙලි නාට්‍ය යි. සෙම සොටු පෙරා ගත් ආලයේ බොළඳ පිටපත් විවිධ නම් යටතේ සතියේ සෑම දවසකම තලුමරමින් නැරඹීම අපට අමුත්තක් නොවේ. ආලය අන්ධ බවට මතයක් කාලයක සිට පැවතෙන්නා සේම, එම ආලයේ ආලවට්ටම්වලින් මොන ආකාරයකින්වත් වෙහෙසට පත් නොවීමට තරම් අප අන්ධ බව, රූපවාහිනිය ඉදිරියේ හැම ?කම වාඩිවීමෙන් අපි ඔප්පු කරමු. රූපවාහිනියේ මේ කාලයේ විකාශය වන යම් නාට්‍යයක් බලන්නේ යැයි කියන විට, නැත්නම් එකම වෙලාවක දී නාට්‍ය කිහිපයක් බලන්නේ යැයි කියන විට(වෙළඳ දැන්වීම අතරේ මාරු වෙමින්), බොහෝ විට කෙනෙකු කරන්නේ එම නාට්‍යය නොබැලීම යි. පෙනීම සහ නැරඹීම එකක් නොව, දෙකකි.

කෙනෙකුට පාරේ යන විට පෙනෙන දේවල් බොහෝ ය. තමා පිළිබඳ සංවේදී සහ තමාගේ ශරීර කූඩුව පිළිබඳ යම් වගකීමෙන් යුත් නූතනයේ මනුෂ්‍යයෙකු වශයෙන් එසේ දේවල් පෙනීම එම තැනැත්තාගේ භෞතික පැවැත්මට අත්‍යාවශ්‍ය යි. එසේ නොවුණහොත්, ගෙදරින් එළියට බැස්ස මොහොතේ පටන් ඕනෑම විනාඩියක දී ඔහු හෝ ඇය වාහනයකට යට වී මහ පාරේම මියයා හැකි බැවිනි. මේ නිසා, නොමැරී ජීවත් වීමට නම්, කෙනෙකුට දේවල් පෙනිය යුතු ය.

මේ පෙනෙන දේවල් අස්සේ අප දකින සහ නරඹන දේවල් ද තිබේ. යම් ප‍්‍රභූවරයෙකු පිරිවරාගෙන මහ පාරේ ඉගිල්ලෙන සත්වනක් සේනා අපි දකිමු. ඉස්සර කාලේ මග දී මුණගැහෙන රදලයා ඉදිරියේ ප‍්‍රවේණිදාසයා නියරෙන් මඩට බැස ගරුසරුවෙන් දෙකට නැමී කරේ ලේන්සුව අතට ගත්තා සේ, නූතනයේ ඉගිල්ලෙන පැජරෝ ප‍්‍රභූවරුන් ඉදිරියේ අපිත් පාරේ එකත්පස්ව නතර වෙමු.

එය, අපට පෙනෙන දෙයක් පමණක් නොව, අප දකින සහ නරඹන දෙයක් ද වෙයි. මේ දැකීම සහ නැරඹීම හරහා එම සිදුවීම පිළිබඳ විශේෂිත වූ අදහසක් අප තුළ ඇති කෙරේ. මීට වසර කිහිපයකට පෙර කෙනෙකු තුළ ඇති විය හැකිව තිබූ එම අදහස මෙවැන්නක් විය හැකිය: ‘‘ත‍්‍රස්තවාදීන්ගෙන් අපේ රට ජාතිය ගලවගන්න ඉන්න උත්තමයෙක්’’ අනතුරුව, 2009 මැයි 18 වැනිදායින් පසු කෙනෙකුට මෙසේ සිතෙන්නට ඇති: ‘‘ත‍්‍රස්තවාදීන්ගෙන් අපේ රට ජාතිය ගලවගත්ත උත්තමයෙක්.’’ අද වන විට එම දර්ශනය දකින කෙනෙකු තුළ ඇති විය යුතුව ඇති අදහස මෙවැන්නකි: ‘‘ත‍්‍රස්තවාදීන්ගෙන් ගලවාගත්ත රට මුංගෙන් අපි ගලවාගන්නේ කවදා ද?’’

එහෙත්, ?ට රූපවාහිනියක් ඉදිරියේ වාඩි වී ටෙලි නාට්‍යයක් බලන මුත් නොනරඹන ලක්ෂ ගණන් පේ‍්‍රක්ෂකයන් මෙන්, අද මහ පාරේ යන ලක්ෂ සංඛ්‍යාත පුරවැසියා ද, දේවල් පෙනෙන කෙනෙකු මිස දේවල් දකින කෙනෙකු නොවන්නේ ද යන ප‍්‍රශ්නාර්ථයක් අප ඉදිරියේ තිබේ.

එම ප‍්‍රශ්නයට උත්තර කිහිපයක් තිබේ. පෙනෙන දෙයට එපිටින් ඇති දෙය දැකීම, කිසිවක් නොපෙනී පාර හරහා පැනීමට වඩා අනතුරුදායක බවට හැඟීමක් නිසා එසේ සිදුවන බව එක උත්තරයකි. ඊට ඕනෑ තරම් පූර්වාදර්ශ තිබේ. නිර්නාමික මිනිස් ජීවිත දහස් ගණනක් නොවේ නම්, සිය ගණනක් අතර, ලසන්ත වික‍්‍රමතුංග සහ ප‍්‍රගීත් එක්නැලිගොඩ වැනි නම් අපේ මතකයට එයි. මේ නිසා, දැක්කත් නොදැක්කා සේ සිටීම හෙවත්, ‘‘වෙන කරන්නට දෙයක් නැති නිසා ටෙලිනාට්‍ය බලන’’ ආරයේ, ස්වයං ආරක්ෂණ ප‍්‍රතිපදාවක බොහෝ මිනිසුන් ගැලී සිටිනවා විය හැකිය. එහෙත්, ඔවුන් හැරුණු කොට, මතුපිටින් පෙනෙන බොරුව සත්භාවයෙන්ම සැබෑවක් යැයි ගන්නා පිරිස ද අල්ප නොවේ. එහි කීර්තිය හිමි විය යුත්තේ බොරුවේ නිර්මාපකයාගේ කුසලතාවට යි.

මෑත ඉතිහාසයේ ලංකාවේ ශිෂ්ට සම්පන්න භාවයේ හිරිඔතප් මහ දවල් කෙළසූ තනි පුද්ගලයා මර්වින් සිල්වා බව කීම, කවුරුත් දන්නා සත්‍යයක් අනවශ්‍ය ලෙස පුනරුච්චාරණය කිරීමක් බව නොකිවමනා ය. මර්වින් සිල්වාගේ ආකර්ශණීය පිටපත විවිධ පසුබිම් සහ සිදුවීම් ඔස්සේ නා නා වාසගම් සහිතව මේ වන විට කිහිප වරක් විකාශනය වී තිබේ. ඒ සියල්ලේ රචකයා එක් අයෙකි. ඔහුගේ නම, මහින්ද රාජපක්ෂ මිස මර්වින් සිල්වා නොවේ.

මෙය සරළ සත්‍යයකි. එහෙත් එම සරළ සත්‍යය ඉබේ නිරාවරණය වීම වළක්වන විශාල කඩතුරාවක් තිබේ. මේ කඩතුරාව ඉරාගෙන දේවල් දැකීමට නම්, පෙනෙන මතුපිටට එපිටින් ඇති පරාසය ග‍්‍රහණය කරගත හැකි පේ‍්‍රක්ෂකයෙකු අවශ්‍ය කෙරේ.

පන්සලක සිටිය දී අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීම අශෝභන යැයි කියන ඇමතිවරුන්, දීර්ඝ පරීක්ෂණවලින් පසුව මිස අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නුපුළුවන් බව කියන නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ වින්දිතයා විසින්ම චූදිතයාව නිදොස් කොට නිදහස් කරන ‘රණවිරු මේජර්වරු’ වැන්නන් හරහා ඉදිරිපත් කෙරෙන සමස්ත ජවනිකාව ප‍්‍රහසනයක් ද, විගඩමක් ද?

රූකඩ සංදර්ශනයක් ත‍්‍රිවිධ ආකාරයකින් දර්ශනය කළ හැකි බව අපි දනිමු. එකක් වන්නේ, නැටවෙන රූකඩය සතුව යම් හාස්කමක් ඇතැ යි විශ්වාස කිරීම යි. බොහෝ පුංචි ළමෝ එසේ සිතති. දෙවැන්න වන්නේ, රූකඩය ගැටගැසී ඇති නූලේ ඇති මහිමය තේරුම් ගැනීම යි. නූල නැටවෙන තාලයට මිස වෙනත් ආකාරයකට රූකඩය නැටවෙන්නේ නැති බව එහි දී කෙනෙකුට අවබෝධ වෙයි. තෙවැන්න වන්නේ, එම නූල කෙළවරේ ඇති ඇඟිල්ලේ බලය තේරුම් ගැනීම යි. සැබෑ දැකීම යනු, මෙම තෙවැනි අදියර දක්වා සිදුවන ක‍්‍රියාදාමයේ අන්‍යොන්‍ය සහසම්බන්ධතාව අවබෝධ කර ගැනීම යි.

රජයේ රූපවාහිනියට කඩා වැදී යකා නැටූ දවසේ සිට රජයේ සේවකයෙකු ගස් බැඳීම දක්වා වූ මර්වින් සිල්වාගේ කල්ක‍්‍රියාව ගැන විවිධ පොලිස් පරීක්ෂණවල සිට ආණ්ඩුවේ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර පරීක්ෂණ දක්වා, රටේ ජනතාව හුස්ම ඉහලට අල්ලාගෙන ‘‘ප‍්‍රතිඵලයක්’’ බලා සිටි කාලයක් තිබුණි. මෙවර නම් ඔහුට ‘‘නිසි දඩුවම්’’ ලැබෙනු ඇතැ යි බොහෝ දෙනා සිතූහ. එහෙත් ඒ සෑම සිදුවීමක් අවසානයේම ඔහු නතර වුණේ අහිංසක මී පැටියෙකු බවට රූපාන්තරණය වීමෙනි.

ඔහුගේ පුතා ‘රණ විරුවෙකුට’ පහර දීමේ සිදුවීමේ දී නම්, ඊට ඉහත අවස්ථාවලින් සපුරා වෙනස් ප‍්‍රතිඵල අත්කර දෙනු ඇතැ යි, අර කී ටෙලිනාට්‍ය පේ‍්‍රක්ෂකයෝ නැවතත් අපේක්ෂා දැල්වූහ. පහර කෑමට භාජනය වී ඇත්තේ රණ විරුවෙකු නිසා, ‘ගෝඨාභය රාජපක්ෂගෙන් සමාවක් ලැබෙන්නේ නැහැ’ යන්න මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ තිබූ සොඳුරු අපේක්ෂාවකි. ‘රණවිරුවා’ යන්න වැරදියට අර්ථගන්වා ගත් ජාතියක් එසේ අපේක්ෂා කිරීම වැරදි නැත. එහෙත් ‘රණවිරුවා’ යන්න පමණක් නොව, ප‍්‍රජාතන්ත‍්‍රවාදයමත් කඬේ යවන පාලනයකින් සාධාරණත්වයක් අපේක්ෂා කිරීමට තරම් නෝන්ජල් වීම තුළින් කියාපාන්නේ කුමක් ද?

පාලකයාගේ නුවණ ද, අපේ මුග්ධ භාවය ද?

ගාමිණී වියන්ගොඩ[Gamine Viyangod]