සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance

6% වෙනුවෙන් FUTA සමග දැවැන්ත ජන සහයෝගයක්


[Photos|Video] ‘මෙතෙක් කලක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යනුවෙන් සැලකුවේ මැතිවරණ දවස්වල අපේක්ෂකයින් වෙනුවෙන් මනාප ඉල්ලා පත්තර පිටුගණන් අත්සන් එකතු කරන පුද්ගලයින් ලෙසයි. නමුත් පසුගිය මාස 03 ඇතුලත පවත්වාගෙන ගිය අරගලය හේතුවෙන් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යවන්න බැරි පිරිසක් කියලා. මෙම අරගලය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සුභ ලකුණක්. සමාජයට බුද්ධිමය නායකත්වයක් සැපයීම විශ්වවිද්‍යාල ආචර්යවරුන්ගේ වගකීමක්. ඒ වෙනුවෙන් ඉදිරියට ඒම ඔවුන්ගේ යුතුකමක්. සමහරුන් කියනවා අධ්‍යාපන‍යේ මූලික වගකීම අපි අත්හැරලා කියලා. නමුත් දේශන ශාලාවල, පංති කාමරවල, පරීක්ෂණාගාර තුළ සිදුකළ මෙහෙවරට වඩා උසස් දෙයක් දැන් කරමින් ඉන්නවා. නිදහස් රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් ආයෝජනය කරලා තිබෙන මේ බලය ඉදිරියට නොනැසී පවතියි කියලා අපි විශ්වාස කරනවා. දේශපාලන වශයෙන් එකතු කළ නොහැකි බලවේගයක් අද එක් වේදිකාවකට රැස්කරන්න අප සමත් වෙලා තියෙනවා.‘ යැයි නිර්මාල් රංජිත් දේවසීරි මහතා ඊයේ(28) හයිඩ්පිටියේ පැවති රැළියේ දී ප්‍රකාශ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කලේ, රාජ්‍ය අධ්‍යාපනය රැකගනිමු යන තේමාව යටතේ විශ්ව විද්‍යාල ආචාර්යවරැන් දියත් කරන ලද අරගලයේ පාගමන දින 05ක් පුරා ගාල්ල සිට කොළඹ තෙක් පැමිණ ඊයේ(28) කොළඹ හයිඩ් පිටියේ පැවැති රැලිය අමතමිනි.

ඊයේ පෙරවරු 9.00ට මොරටුව නගරයෙන් ගමන් ආරම්භ කළ මෙම පාගමන හයිඩ් පිටියට ගමන් කළ අතර දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන, ශිෂ්‍යන් ඇතුලු විශාල පිරිසක් මෙම පාගමනට එක්වූ අතර හයිඩි පිටියේ පැවති මෙම රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිර්මාල් රංජිත් දේවසිරි මහතා..

අධ්‍යාපනය සීග්‍රයෙන් වෙළෙඳපොළකරණය වෙලා තිබෙනවා. රජය නාස්තිකාර ව්‍යාපෘති සහ අනවශ්‍ය වියදම්වලට වැයකරන ප්‍රමාණය සීග්‍රයෙන් වැඩිකරමින් ඉන්නවා. ඒ නිසාම අධ්‍යාපනයේ විශාල අර්බුදයක් නිර්මාණය කරලා තියෙනවා. අතීතයේ විශිෂ්ඨ දායාදයන් අනාගත පරපුරට දායාද කිරීම අධ්‍යාපනයෙන් ඉටු කරනවා. නමුත් අද ඊට බාධා එල්ල වෙලා තියෙනවා. එම උසස් පරමාර්ථයන් ඉටුකිරීමට තමයි අද අපි මේ අරගලය සිදුකරමින් ඉන්නේ.

රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් 6%ක් වෙන්කරන්න කියලා අපි රජයට බලකරනවා ඒ වගේම අද විශේෂ දෙයක් පැවසිය යුතුව තිබෙනවා. ඉදිරියේදී බලයට පැමිණෙන කුමන හෝ දේශපාලන පක්ෂයක් අධ්‍යාපනය වෙනුවෙන් මෙම මුදල වෙන්කිරීමට ප්‍රතිඥා දිය යුතු බවද අපි අවධාරණය කරනවා. කෙසේ වෙතත් අද 6% සටන් පාඨය පිළිගැනීමට සිදුව තිබෙනවා පාලකයින්ට. ඒ නිසා ඔවුන් කියන්න පටන් අරගෙන තියෙනවා විවිධ අයුරින් අධ්‍යාපනයට වෙන්කරලා තියෙන මුදල දැනට රාජ්‍ය ආදායමෙන් 6% පමණ වෙනවා කියලා. එක් පැත්තකින් උසස් අධ්‍යාපන ඇමතිවරයා අපිට උදව් කළා මේ සටන මෙතරම් ජවයක් ලබාදෙන්න. අපි කියනවා මේ මොහොතේ රටේ නායකයාට තීරණය කිරීමට දෙයක් තිබෙනවා. මේ රටේ විශිෂ්ඨ සංස්කෘතියට පිටුපාමීන් ඉතිහාසයේ කුණු බක්කියට වැටෙනවද නැතිනම් මෙම සාධාරණ අරගලයට විසදුමක් දීමට අවධානය යොමු කරනවද කියලා.

Video[2012 September 28]
[youtube]http://www.youtube.com/watch?v=SlgD4g4w2yo[/youtube]