Colombo, Featured Articles, Features

‘මුස්ලිම් අහිංසකත්වය’ ගෙනෙන ඇදහිල්ලේ අභියෝගය

ඇමෙරිකාවෙහි ජීවත්වන භූතයකු විසින් ඉස්ලාම් දහමට සහ මොහොමඞ් නබිතුමාට අපහාස කැරෙන තුට්ටු දෙකේ විත‍්‍රපටියක් නිර්මානය කරන ලදී. එහි රඟ පෑ පුද්ගලයින් වෘත්තීය නළු නිළියන් නොවූ අතර ඔවුන්ට ගෙවන ලද්දේ දවසකට ඩොලර් 75ක් පමණි. මා දැනට ජීවත්වන ජීවත්වන ජිනීවා නගරයේ ලාබම සේවාවක් ලෙස සැළකෙන නිවෙස් පිරිසිදු කිරීමෙන් පමණක් වුවත් දවසකට ඊට වැඩි මුදලක් උපයා ගත හැකිය. එමෙන්ම මෙම රඟ පෑ පිරිස් වලට කියා සිටියේ මෙය ඉතිහාසීය විත‍්‍රපටයක් බවයි. මෙම විත‍්‍රපටය ඉස්ලාමීය දහමට නිගරු කිරීම පිණිස නිපදවන බවක් ඒ අය දැන සිටියේ ද නැත. මෙම විත‍්‍රපටය නිපදවා ඇත්තේ රෑගත කිරීම්වලින් පසු සහමුලින්ම වෙනස් දෙබස් කැවීමෙන් බව එහි රඟ පෑ 60 දෙනාම ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියහ.

මෙම අපහාසාත්මක අඩු වියදම් විත‍්‍රපටය නිපදවන ලද්දේ නකෝලා බසේලි නකෝලා මුස්ලිම් විරෝධී අන්තවාදී මත දරන්නකු විසිනි. බැංකු වංචාවක් සම්බන්ධයෙන් කැලිපෝනියා අධිකරණකින් වරදකරු කරනු ලදුව ඔහුට විසි එක් මසක් අත් හිටවූ සිර දඩුවමක් ද ඩොලර් 790,000ක දඩයක්ද නියම කරනු ලැබ තිබේ.

‘මුස්ලිම් අහිංසකත්වය’ යනුවෙන් නම් කරන ලද මෙම විත‍්‍රපටයේ මුල් දර්ශණය පැමිනීමට පැමිණියේ අතලොස්සකි. ඉන් පසු විනාඩි 14ක සංස්කරනය කරන ලද කොටසක් යූ ටියුබ් නම් අන්තර් ජාල නාලිකාවට එක් කරන ලදී. සැප්තැම්බර් මුල් වන තුරු යූ ටියුබ් නාලිකාවෙහි එය නරඹා තිබුනේ 50 දෙනෙකුට අඩු පිරිසකි.

අනතුරුව එයට ප‍්‍රසිද්ධිය ලබා ගැනීම පිණිස නකෝලා ඉස්ලාමීය ආගමික පුස්තකය වන කුරානය ප‍්‍රසිද්ධියේ පිළිස්සිය යුතු බවට ව්‍යාපාරයක් ගෙන ගිය මුස්ලිම් විරෝධි අන්තවාදී කිතුණු පූජකයකු වන ටෙරි ජෝන්ස් සම්බන්ද කර ගත්තේ ය. ඔහු සහ ඔහුගේ සහචර පිරිස් විද්යුත් ලිපින දහස් ගණනාවකට යූ ටියුබ් නාලිකාවේ ප‍්‍රසිද්ධ කර තිබූ විත‍්‍රපට කෑල්ල යැවූහ. එසේ තිබියදීත් මෙම විත‍්‍රපටය එහි කසි කබල් බව නිසාම කිසිදු හාහෝවක් ඇති කලේ නැත. ඇත්ත වශයෙන්ම නම් එය නිහඬ මරණයකට ගොදුරු වෙමින් තිබුණි.

මේ අතර වාරයේ අරාබි බසින් හඬ කැවූ එම විත‍්‍රපට කොටස මැද පෙරදිග ජනමාධ්‍යවේදීන්ගේ විද්්‍යුත් ලිපින කරා යැවුනි. ඊජිප්තුවේ රූපවාහිනී නාලිකාවක් එහි කොටසක් විකාශණය කළේ ය. මුස්ලිම් පුජකවරුන් අනතුරු හැඟවූහ. දේශපාලනඥයෝ විරෝධතා පවත්වන සේ කියා සිටියහ. කයිරෝ නුවර ඇමෙරිකා සහ බටහිර විරෝධයෙන් ගිනි ගැනුනි. ලිබියාවෙහි ඇමෙරිකානු තානාපති කාර්යාලය විනාශ කළ විරෝධතාකරුවෝ එහි තානාපති බිම දිගේ ඇද ගෙන ගොස් මරා දැමූහ. මුස්ලිම් ලෝකයම ගිනි ගන්නට පටන් ගත්තේ විත‍්‍රපටය ඇමෙරිකානු සහ බටහිර රාජ්‍යන්හි නිශ්පාදනයක් ලෙස සළකමිනි.

1989 දී ඉන්දීය ලේඛක සල්මන් රුශ්ඩි විරෝධය, ඉන්පසු බංගලදේශ ලේඛිකා තස්ලීමා නස්රින් විරෝධය, 2005 දී නබිතුමා මූලික කරගත් ඩෙන්මාර්කයේ පුවත්පත් කාටූන් විරෝධය, සහ දැන් ‘මුස්ලිම් අහිංසකත්වය’ විත‍්‍රපටය විරෝධය යනාදී වශයෙන් ප‍්‍රචණ්්ඩ විරෝධතා මාලාවක්ම මුස්ලිම් ප‍්‍රජාවන් අතරින් මතුවනු කෙරෙන් ලෝකය දැක තිබේ. ඉස්ලාමීය භක්තියෙහි නබිතුමා සහ ශුද්ධ වූ කුරානය සැළකෙන්නේ අනුලංඝනීය දේවත්වයකිනි. එවැනි ආත්මීය සංකේත ඉතාම තුච්ච මට්ටමේ අවලාද ප‍්‍රහාරයන්ට ලක්කළ විට බැතිමතුන් මහත් කම්පනයකට ලක්වීම තේරුම් ගැනීමට අමාරු නැත. එනමුත් තේරුම් ගැනීමට අමාරු දෙය නම් එම කම්පනය අතෝරක් නැති ප‍්‍රචණ්ඩත්වයක් බවට පත්වීම යි.

කිසිවකු නොදැන සිටි නකෝලා නම් භූතයා විසින් සිය නිවෙසෙහි දී නිශ්පාදනය කරන ලද මෙම විත‍්‍රපටයෙන් කියන්නට යන්නේ ඉස්ලාමීය දහම ප‍්‍රචණ්ඩත්වයට උඩ ගෙඩි දෙන භයානක ඇදහීමක් බවයි. කණගාටුවකට මෙන් ලොව පුරා බොහෝ තැන්හිදී මෙම විත‍්‍රපටයට එරෙහිව විදී බට මුස්ලිම් ජන පිරිස් විසින් ලෝකයාට පෙන්නුම් කරන ලද්දේ ද එම කරුණ ය. විත‍්‍රපටය විසින් ඉස්ලාමීය දහමට කැරුණූ අපහාසයට වඩා දහස් වාරයක් බලගතු හානියක් මෙම ප‍්‍රචණ්ඩ උද්ඝෝෂන විසින් දැන් ඇති කරනු ලැබ තිබේ.

ඉස්ලාම් භක්තිකයින් ප‍්‍රචණ්ඩත්වය නිතැනින්ම රැගෙන එන්නේ යැයි මුස්ලිම් විරෝධී අන්තවාදිහු කියති. දැන් ලොව පුරා මුස්ලිම් පිරිස් විසින් මෙහෙයවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් දෙස ඇඟිල්ල දිගු කරන ඔව්හු අප කීවා හරි යැයි කියති.

අන්තර් ජාලය ලොව පුරාම විහිදී ගිය මෙවැනි යුගයක කවර හෝ විකෘති මනසක් ඇති අන්තවාදියකුට කවර හෝ විශ්වාශයකට, ලබ්දියකට හෝ ඇදහිල්කට එරෙහිව මෙවැනි විත‍්‍රපටයක් නිපදවා ප‍්‍රචාරය කිරීම කජ්ජකි. ලොව පවත්නා සියළු ආගම් තර්කානුකූල විවේචනයන්ට හසු කරන මෙන්ම දරුණූ සහ අනිසි ප‍්‍රහාරයන්ට ලක් කරන වෙබ් අඩවි සහ නිශ්පාදන අන්තර් ජාලයෙහි දුලභ නැත. කිතුනුවන්ගේ ආගමික පුස්තකය වන බයිබලය දරුණූ විවේනයන්ට හසු කැරෙන එමෙන්ම දෙවියන් පිළිබඳ විශ්වාසයට පහර දෙන වෙබ් අඩවි පවා ඒ අතර තිබේ.

මෙම විත‍්‍රපටය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රචාරය කළේ සිංහල ජාතිකවාදී විමල් වීරවංශවාදී වෙබ් අඩවිය යි. එම විත‍්‍රපට කෑල්ල දැන් එම වෙබ් අඩවියෙන් ගලවා ඇත්තේ ශ‍්‍රී ලංකාණ්ඩුව එය තහනම් කළ නිසා ය. එයට පෙර එම වීරවංශවාදී වෙබ් අඩවියෙහි විත‍්‍රපට කෑල්ලට සහායක් වශයෙන් මුස්ලිම් විරෝධි සටන්පාඨ පුරවා තිබුණි.

මා උපතින් අයත් වු බුදුදහමෙහි නිර්මාතෘ වූ ගෞතම සිද්ධාර්ථට එරෙහිව ඔහුගේ කාලයේ දී දරුණූ අවලාද ඇති වූ බවත් කායික තර්ජන පවා එල්ල වූ බවත් බෞද්ධ ඉතිහාසය කියයි. බුදුහු ඊට දැක් වු ප‍්‍රතිචාරය වූයේ සත්‍ය ජය ගන්නා තුරු ඉවසන්න යනු ය. තමන්ට එරෙහිව අවලාද නගන පිරිස් අත් අඩංගූවට ගෙන දඟ ගෙයි ලෑ යුතුයැයි බුදුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ හෝ ඔවුන්ට පහර දෙන්නැයි සිය බැතිමතුන් පෙළඹ වූයේ හෝ නැත. නබි තුමාද එවැනි ආකල්පයක් දැක්වූ බව මම අසා ඇත්තෙමි. එනමුත් අද සිදුවන්නේ එවැනි ශෘස්තෘවරයන් නමින් මරණිය ව්‍යාපාර ඇති කිරීමයි.

බුදුන්ගේ උපන්බිම වන නේපාලයෙහි ‘බුද්ධ තැබෑරුම්’ පවා තිබේ. බුද්ධ යන වචනය එහි සෑම ආර්ථික ව්‍යාපාරයකට ම යොදා තිබෙනු දක්නට හැකිය. යුරෝපයෙහි බොහෝ කෞතුක වෙළද සැල්හි දර්ශනීය බුදු පිළිම ඉහළ මිල ගනන්වලට අළෙවි වෙයි. ඒ අතර ම බුදුරුව වෙළද ප‍්‍රචාරයන්ට ද යොදා ගැනෙයි. මේ කවරක් නිසා හෝ නිසා බුද සමයට වන හානියක් නැත.

කිසිවකු ගනන් නොගන්නා භූතයකු විසින් කරන ලද මෙවැනි කසිකබල් විත‍්‍රපටයකින් ලොව පුරා මුස්ලිම් බැතිමතුන් අවේශ වී ඒ පුද්ගලයා විසින් කරන ලද ක‍්‍රියාවක් වෙනුවෙන් එකී රටවලට එරෙහිව වීදි බසින්නේ ඇයි? භක්තිකයින් ප‍්‍රකෝප කිරිමේ අරමුණින් ම කැරෙන මෙවැනි මුග්ද ක‍්‍රියා මගින් සිය දෙවියන් අවමානයට පත් වන්නේ යැයි අප සිතිය යුතු ද? කවරකු හෝ පරිඝණකයක් ඉදිරිපිට වාඩි වී නබිතුමා අපහාසයට පත් කැරෙන කාටූන් පෙළක් සකස් කර ලොව පුරා බෙදා හැරිය හොත් ඊට එම පුද්ගලයා ජීවත්වන රට වග කිව යුත්තේ ඇයි? දැනටමත් පෙනී ගොස් ඇති පරිදි පසුගිය දිනයන්හි මුස්ලිම් පිරිස් විසින් දක්වන ලද ආවේගාත්මක වියරුවෙහි විපාකය වී ඇත්තේ ඉස්ලාම් දහමට විරුද්ධ තව තවත් ප‍්‍රචාරයන් ඇති වීමයි.

ලොව කිසිදු දෙයක් සදාකාලයෙහි ම සහ සෑම තැනක ම ශුද්ධ වූ වස්තුවක් ලෙස පැවත නැත. මුස්ලිම් රාජ්‍යයක් වන ඉන්දුනීසියාවේ බෞද්ධ පුරාවස්තූන් පිරි බෝරෝ බුදූර්හි දහස් ගණනාවක් වන බුදු පිළිම විවේකයට වාඩිවී සිටිය හැකි දේ බවට පත්ව තිබෙනු ද පකිස්ථානයෙහි එවැනි ම බෞද්ධ නගරයක් වූ තක්ශිලාවෙහි ඇත්තේ ද එවැනි තත්ත්වයක් බව ද මම සියැසින් දැක ඇත්තෙමි. අද අනාගමික රාජ්‍යයක් වන නේපාලයෙහි කත්මන්ඩු නුවර සමහර පැරණි බෙෘද්ධ ආරමයන්හි නොකෙරෙන ජාවාරමක් නැති තරම් ය. ශ‍්‍රී ලංකාවෙහි මුස්ලිම් සහ කිතුණු දේවස්ථාන විනාශ කරන බෙෘද්ධ පිරිස් සිටිති.

වර්ථමානයෙහි විවිධ භූතයින් විසින් මෙවැනි මුග්ධ විත‍්‍රපට සෑදීමත් ප‍්‍රසිද්ධ කිරීමත් වැළැක්විය නොහැකිය. විරුද්ධ මත, සමහර විට එම අදහස් දැරු පුද්ගලයින්ගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදු වූ අදහස් ප‍්‍රසිද්ධ වීම සහමුලින් වැළැක්වීමට ලොව කිසිදු දිනෙක සමත් වී නැත. විරුද්ධ මත පල කිරීම මානව සමාජය තරම් ම පැරණි ය. විරුද්ධ මත ප‍්‍රකාශයට පත්වීම වැලැක්වීම ආරම්භ වුවහොත් එය අවසානයක් නැති ක‍්‍රියාදාමයක් බවට පත්වෙයි. මන්ද යත් විරුද්ධ මතය යන්න අර්ථ දැක්වෙන්නේ බලයේ සිටින්නේ කවරකුද යන කරුණ උඩ නිසා ය. එවිට ඉතිරි වන්නේ පාලක මතවාද පමණි.

මාධ්‍යයේ නිදහස පැවැතිය යුත්තේ බලයේ සිටින සහ බහුතරය අදහන අදහස් ආරක්ෂා කිරීමට නොවේ. මන්ද යත් ඒවා නිසඟයෙන්ම ප‍්‍රකාශ වන නිසා ය. මාධ්‍යයේ නිදහස පැවැතිය යුත්තේ විරුද්ධ, සුලූතර සහ සමහර විට විකාරයක් සේ පෙනෙන අදහස් පවා ආරක්ෂා කිරීම පිනිස ය. ඉතිහාසය අපට පෙන්වන්නේ මිනිස් සමාජය ඉදිරියට යෑම පිණිස විරුද්ධ සහ අසම්මත අදහස් ද බොහෝ සෙයින් ඉවහල් වූ බව ය. අදහස් යටපත් කිරීමෙන් පැරදවිය නොහැක. ඒ බව පෙන්වූ මෑත උදාහරණය මුස්ලිම් ප‍්‍රජව අතුරින්ම මතු වූ අරාබි වසන්තය යි.

එමෙන්ම නකෝලා වැනි ආතක් පාතක් නැති භූතයිනගේ අපහාසාත්ම ක‍්‍රියා විසින් හෝ දෙවියන් ගේ පැවැත්ම පිළිබඳ කැරෙන තර්කානුකූල විවාදයන් මගින් හෝ නිර්මානාත්මක කලා කෘතීන් මගින් හෝ සිය ඇදහිල්ල අභියෝගයට ලක් කැරෙන අවස්ථාවන්හිදී ඉවසීමත් සහ සිය අදහස් සාමකාමීව ප‍්‍රකාශ කිරීමත් අද ලෝකයට අත්‍යවශ්‍ය ගුණයකි. එය හුදෙක් ඉස්ලාමීය බැතිමතුන්ට අදාළ වූවක් නොවේ. සෑම භක්තිවන්තයකුටම සෑම ලබ්දියකට ම අදාළ ය. අදාළ ය. කාටූනයකට හෝ විත‍්‍රපටයකට හෝ සඟරා කවරයකට කවර හෝ ආගමක් යටපත් කළ හැකි යැයි අප සිතන්නේ නම් ඒ වරද ඇත්තේ අපේ විශ්වාසයේ සහ ඇදහිල්ලේ ය.

සුනන්ද දේශපි‍්‍රය[Sunanda Deshapriya]

###
[Image | www.vikalpa.org]