සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

13 වන සංශෝධනය සහ විමල් වීරවංශගේ රට බෙදන ජනමත විචාරණය

ජනාධිපතිවරයාගේ ලොකු පුත‍්‍රයා ලෙස විරුදාවලී ලත් පාර්ලිමේන්තු මංත‍්‍රී විමල් වීරවංශ මහතා වැදගත් යෝජනාවක් කර තිබේ. එනම් 13වන ව්‍යවස්ථාව අහෝසි කිරීම පිණිස ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ය. එම යෝජනාවට පක්ෂව දැනටමත් අන්තවාදී සිංහල පක්ෂ සහ කණ්ඩායම් සහයෝගය පළ කරනු ලැබ ඇත.

වීරවංශ මහතා සිය යෝජනාවට සහාය ගොනු කරමින් සිටින්නේ රාජපක්ෂ ආණ්ඩුවේ ජනමාධ්‍ය ප‍්‍රකාශක වන ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල 13වන සංශෝධනය අහෝසි කිරීමට ආණ්ඩුවට බලාපොරොත්තුවක් නැතැයි ප‍්‍රසිද්ධියේ කරන ලද ප‍්‍රකාශයට අභියෝගයක් වන පරිද්දෙනි.

රජයේ ප‍්‍රබල අනුමැතියක් නොමැතිව වීරවංශ වැනි තමන්ගේම ජනබලයක් නැති දේශපාලනඥයකු මෙවැනි දේශපාලන ව්‍යාපාරයක් ගෙන යනු ඇතැයි සිතීම දුෂ්කර ය. මෙම යෝජනාවේ ආරම්භකයා වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා තෙවැනි වතාවටත් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ තමා පමණක් නොව තවත් බොහෝ පිරිස් ද 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළ යුතු බවට එකඟ වී ඇති බවයි.

එපමණක් නොව පසුගිය දා මල්වතු අස්ගිරි මහනා හිමිවරුන් හමුවට සිය උද්ඝෝෂණය රැගෙන ගිය වීරවංශ 13වන ව්‍යවස්ථාව අහෝසි කළ යුතු බවට අනුමැතියක් ලබා ගත්තේ ය. එම හිමියන්ගේ එකී ප‍්‍රකාශය ආණ්ඩුවේ ඬේලි නිව්ස් පුවත්පතෙහි විශාල පුවතක් ලෙස ප‍්‍රසිද්ධියට පත් කර තිබුණි.

රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන අධිකාරය යටතේ පාලනය වන කිසිදු රජයේ මාධ්‍යයක් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කරන බවට හෝ කළ යුතු බවට හෝ එකද කතු වැකියක් හෝ ලීවේ නැත.

මෙම සියළු කරුණු වලින් පෙන්නුම් කරන්නේ 13වන සංශෝධනය අහෝසි කිරීමේ ජනමත විචාරණ යෝජනාවට රාජපක්ෂ ආණ්ඩුවේ විරෝධයක් නැති බව යි.

එබැවින් හැකිනම් මෙම යෝජනාව එනම් 13වන ව්‍යවස්ථාව අහෝසි කිරිමේ ජනමත විචාරණ යෝජනාව ක‍්‍රියාත්මක කරන ලෙස අප විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශවකරුවන්ට අභියෝග කළ යුතු ය.

එවැනි ජනමත විචාරණයක් විසින් ශ‍්‍රී ලංකාවේ දෙමළ සහ මුස්ලිම් ජනයාගේ දේශපාලනය අභිලාශයන් කුමක්ද යන්න සමස්ත ලෝකයටම නොවරදින ලෙස පෙනී යනු ඇති බව නිසැක ය. එමෙන්ම දෙමළ සහ සිංහල ජනයා බලය බෙදීම සම්බන්ධයෙන් දක්වන වෙනස් මතවාදයන් ද එමගින් අපට පැහැදිළි වනවා ඇත.

අනෙක් අතට එවැනි ජන මත විචාරණයක් මගින් රාජපක්ෂ පාලය රඳා පවත්නා දේශපාලන සන්ධානය යලි පිරිද්දිය නොහැකි වන පරිදි දෙදරා යනු ඇති බව ද දැනටම පෙනෙන්නට තිබේ. දැනටමත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය වීරවංශ – ජනමත විචාරණ යෝජනාවට විරුද්ධව ක‍්‍රියා කරනු ඇති බව ප‍්‍රසිද්ධියේ ම ප‍්‍රකාශ කොට තිබේ. එපමණක් නොව රාජපක්ෂ ආණ්ඩුවේ දීර්ඝ කාලීන යුද්ධ හවුල්කරුවකු වන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මෙම ජනමත විචාරනයට විරුද්ධව ජන්දය පාවිච්චි කරනු ඇත. මන්ද යත් තමා පෙනී සිටින්නේ 13 වන සංශෝධනය වෙනුවෙන් බව ඔහු ඊයේ පෙරේදා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ නිසා ය. බොහෝ දුරට කඳුරට දෙමළ ජනයා නියෝජනය කරන දේශපාලන පක්ෂ ද සිය කැමැත්ත ජනමත විචාරණයකට විරුද්ධව පාවිච්චි කරනවා ඇත.

සිංහලයාගේ ප‍්‍රාථමික හැගීම්වලට කතා කිරීම මගින් සිංහල ජනයා අතර බහුතර ජන්දයක් දිනා ගැනීමට මෙවැනි ජනමත විචාරණයකට හැකි වීමට ඉඩ තිබේ. දැනටමත් ප‍්‍රකාශ වී ඇති පරිදි හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, ගෝඨාභය රාජපක්ෂ, ඇතුළු තවත් බොහෝ සිංහල රාජ්‍ය නිලධාරීන් ද ගුණදාස අමරසේකර, එස්.එල්. ගුණසේකර, නලින්ද සිල්වා, ඇල්ලේ ගුණවංශ හිමි යනාදී පිරිස් ද විමල් වීරවංශ මහතාගේ සහායට පාරට බසිනවා ඇත. ඔවුන් පිටුපසින් රාජපක්ෂ හෝදරයින් දෙදෙනෙකු සිටින බව පැහැදිළි ය. ඒ වනාහී එක් කඳවුරකි.

දෙමළ ජනයා සහ මුස්ලිම් ජනයා අතර අති බහුතරය එවැනි ජනමත විචාරණයක දී ජන්දය පාවිච්චි කරනු ඇත්තේ 13වන සංශෝධනය අහෝසි කිරීමට නොව පවත්වා ගැනීමට ය. දකුණු පළාත්හි දී 13 වන ව්‍යවස්ථාසංශෝධනය අනවශ්‍ය බවට ජන්දය ලැබෙන විට උතුරු සහ නැගෙනහිර පළාත්වලදී ද අවශේෂ දෙමළ සහ මුස්ලිම් ජනගහණයන් අතර ද ජන්දය (එය සාමකාමී සහ නිදහස් මැතිවරණයක් වුව හොත්) පාවිච්චි වනු ඇත්තේ එම ව්‍යවස්ථාවට පක්ෂව ය.

එහි දේශපාලන තේරුම වනු ඇත්තේ ශ‍්‍රී ලංකාව ජාතීන් අනුව බෙදී ගිය රටක් බවත් දෙමළ සිංහල අපේක්ෂා පෑහිය නොහැකි පරිදි එක්නෙකට වෙනස් බවත් ය. දෙමළ ජනයා ස්වයං පාලනයක් ඉල්ලා සිටින අතර සිංහල ජනයා ඊට විරුද්ධ බව ය. එමෙන්ම එවැනි ජනමත විචාරණයක සංඛ්‍යාත්මක ප‍්‍රතිපලය වනු ඇත්තේ 13 වන සංශෝධනය අහෝසි කල යුතු බවයි. ඒ එකම හේතුවක් නිසා ය. එනම් සිංහල ජනයා බහුතරය වීම යි. එවැනි ජනමත විචාරනයක් මගින් 13වන සංශෝධනය එනම් බලය බෙදීම සහ පළාත් සභා ක‍්‍රමය අහෝසි කිරීමෙන් ඇඟවෙනු ඇත්තේ ශ‍්‍රී ලංකාවේ දෙමළ සහ මුස්ලිම් ජනයාට සංහල බහුතරයේ කැමැත්ත අනුව මෙරට ජිවත්වීමට සිදුවන බව යි. එවැනි දේශපාලන භාවිතයක් අද ලෝකයේ පිළිගැනෙන්නේ නැත. බහුතරයේ කැමැත්ත සුලූතරය මත පැටවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොව බලහත්කාරය යි.

අනෙත් අතට වීරවංශගේ මෙම ජනමත විචාරණය දෙමළ ජනයා අතර මුල් බැස ගනු ඇත්තේ සිය ඉරණම තීරණය කිරීමට ලැබෙන අවස්ථාවක් ලෙස ය. ශ‍්‍රී ලංකාවේ සිය ජනයාගේ අයිතීන් ඉල්ලා ලොව පුරා උද්ඝෝෂන මෙහෙයවන විදේශ ගත දෙමළ ප‍්‍රජාවේ එක් ප‍්‍රධාන ඉල්ලීමක් නම් උතුරු නැගෙනහිර පළාත්හි එක්සත් ජාතීන්ගේ නිරීක්ෂනය යටතේ එම ජනයාට වෙනම රටත් අවශය ද නැත් දයන කරුණ උඩ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි. එවැනි පිරිස් මෙම වීරවංශ ජනමත විචාරණය කැමැත්තෙන් පිළිගනු ඇති අතර එහි ප‍්‍රතිඵලය වෙනම රටක් උදෙසා වන දෙමළ ජනයාගේ කැමැත්ත ප‍්‍රකාශ වීමක් ලෙස අර්ථකථනය කරනවා ද ඇත. ඉතාම පැහැදිළි ලෙස වීවරවංශගේ ජනමත විචාරණය ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයාට වෙනම රටක් අවශ්‍ය බව ප‍්‍රකාශ කිරීමට ලැබෙන අවස්ථාවක් බවට පත් වීමට බෙහෝ දුරටම ඉඩ තිබේ.

එම තත්ත්වය වෙනස් කළ හැකිවනු ඇත්තේ එනම් ජන්ද ප‍්‍රතිඵලය උතුරු නැගෙනහිර දී රාජපක්ෂවාදී කරගත හැකිවනු ඇත්තේ විවෘතවම මැතිවරණය දූෂිත සහ ප‍්‍රචණ්ඩ එකක් බවට හරවා එය හොර ජන්දයක් බවට පෙරළීමෙන් පමණ ය. එසේ වුව ද එහි විපාකය වනු ඇත්තේ ද ශ‍්‍රී ලංකා රාජ්‍යය මෙරට දෙමළ ජනයාට විශම ලෙස සළකන්නේය යන්න ලොව හමුවෙහි සනාථ වීම යි.

වීරවංශ ජනමත විචාරණය නිදහස් සහ සාමකාමී ලෙස දේශීය සහ අන්තර් ජාතික නිරීක්ෂකයින් හමුවෙහි පැවැත්වෙන්නේ නම් එහි ප‍්‍රතිඵලය සිංහල අන්තවාදි පිරිස් ලබන අවසාන ජයග‍්‍රහණය සහ පරාජයන් මාලාවක පළමුවැන්න වීමට ඉඩ තිබේ. ඒ විසින් රාජපක්ෂ පාලක හවුල බිදී ගොස් එම පාලනය දැවැන්ත ලෙස දුර්වල කරනවා ද ඇත.

අවසානයේ දී පුරාවෘත්ත ගත කතාවේ මෙන් රජතුමාගේ ඇගේ වැසූ මැස්සාට කඩු පහර දී රජතුමාගේ හිස කදින් වෙන් කළ අඥාන වඳුරා මෙන් වීරවංශ ද පුරාවෘත්ත ගත වනු ඇත්තේ ශ‍්‍රී ලංකාව බෙදීමට තීරණාත්මක ජනමත විචාරණය දියත් කළ අඥාන ආරක්ෂකයා ලෙස ය.


සුන්නද දේශප‍්‍රිය[Sunanda Desapriya]