සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Puttalam

මුල්ලිවෛයිකාල් ක‍්‍රමය වැලිකඩට පැමිණීම


2009 වසරේ මැයි 18 වැනිදා ගෙවන විට සුවහසක් දකුණේ සිංහල ජනතාව සිහින මවමින් සිටියේ තමන්ගේ සිහින පුරය නොහොත් කේතුමතිය දහස් ගණනක් දෙමළ ජනයාගේ මළකඳන් මතින් හෝ ඉදි කිරීමට ය.කේතුමතිය ගොඩනැඟීමට,දරුවන්ට හරියට බෙහෙත් ටිකක් දීමට,හරියට කෑම වේලක් කෑමට,නිදහසේ අධ්‍යාපනය ලැබීමට පමණක් නොව නිදහසේ ශරීරකෘත්‍ය ක‍්‍රියා කිරීමට පවා ඇති බාධකය ලෙස සිංහල ප‍්‍රජාව මවාගෙන සිටියේ දෙමළ ජාතික විමුක්ති අරගලයයි.

අවසන් දින කීපය තුළ දෙමළ සාමාන්‍ය වැසියන් ලක්ෂ ගණනක් අතිමිලේච්ඡ ලෙස ඝාතනය කරද්දී පවා දකුණ සිය ජාතිමාමකත්වයෙන් ඔදවැටී උන්හ.ඔවුන්ගේ වචනයයෙන්ම කියනවානම් ඔවුන් සිටියේ ඔවුන්ගේ කොල්ලන් නන්දිකඩාල් කලපුවේ සිංහ කොඩිය දමන තුරු බලා ගෙනය.

අවසානයේ දෙමළ ජාතික විමුක්ති අරගලය සන්නද්ධව පාරාජය කරමින් ලක්ෂ ගණනක් ජීවිත විනාශ කරමින් ඔවුන්ගේ කොල්ලන් මුල්ලිවෛයිකාල් භූමියේ සිංහ කොඩිය දැමූහ.

යුධ අපරාධ සහ දකුණේ ඝාතන

මේ සියවසේ වැඩිම ජනඝාතනය වූ ‘මුල්ලිවෛයිකාල් සංහාරය’ ගැන මාතෘකාවට පැමිණෙන විටම බොහෝ දකුණේ වාමාංශිකයන්, සමාජ ප‍්‍රජාතාන්ත‍්‍රවාදීන් වෙනත් ප‍්‍රගතිශීලීන් පවා එය තමන්ගේ වැඩක් නොවේ එය දෙමළ ඩයස්පෝරාවේ කාර්යක් ලෙස නම්කරමින් එයින් ඉවත් වී යයි. විශේෂයෙන්ම ඔවුන් විසින් ගෙන එන තවත් තර්කයන් වන්නේ එල්ටීටීඊ සංවිධානයත් යුධ අපාරාධ කළානේ යනුවෙනි. එහි යට අරුත තේරුම් ගැනීමට තරම් අප උකඨලී නොවෙමු.

නමුත් මේ සියලූ මධ්‍යස්ථ මතධාරීන්ගේ සහ වාමාංශිකයන්ගේ සැබෑ ස්වරූපය මැන ගැනීමට අවස්ථාවක් රාජපක්ෂ ආණ්ඩුව විසින් ලබා දී තිබේ.

බොහෝ සිවිල් සංවිධාන,වාමාංශිකයින්, මධ්‍යයස්ථ මතධාරීන් සියල්ලෝම වැලිකඩ දී සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් දක්වන්නේ මුල්ලිවෛයිකාල් ජනසංහාරයට වැඩි උනන්දුවකි. ඔවුන් සියල්ලෝ මේ දිනවල සාකච්ඡා කරන්නේ අපි මොකද්ද කරන්නේ?

ශ‍්‍රී ලංකා හමුදාවට හෝ ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව යුධ අපරාධ චෝදනා නැගීමේ කිසිදු උත්සාහයකට තම පක්ෂයේ සහාය හිමි නොවන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. – ( බීබීසී සිංහල සේවය / 2012 ඔක්තෝබර් 28 ඉරිදා )

දෙමළ ජන සංහාරය සම්බන්ධයෙන් ඉහත ස්ථාවරත්වය දරණ එක්සත් ජාතික පක්ෂය වැලිකඩ සිරකරුවන් ඝාතනය කිරීම පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස අවධාරණ කර සිටියි.

සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධය වහාම මාධ්‍ය නිවේදනයක් යොමුකළ පොරටුගාමී සමාජවාදී පක්ෂයද තවම මුල්ලිවෛයිකාල් සංහාරය සම්බන්ධව සම්බන්ධව කිසිදු වචනයක් ප‍්‍රකාශ නොකර සිටින්නට පරිස්සම් වී සිටියි.

දකුණේ බොහෝ වැසියන්ද සිරකරුවන් මරාදැමීම පිළිබඳ කම්පාවට පත්වී ඇති අතර ම මේ සිටින්නේ එදා ඔවුන් උත්සව තබා පිළිගත් රණවිරුවන්ම බව දැනුවත්ව අමතකර කර සිටිති.

කටුනායක වෙළඳ කළාපයේ පුද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුපට එරෙහි විරෝධතාවයේදී රොෂේන් චානක ද හලාවත ධීවර උද්ඝෝෂණයේදී ධීවරයෙකු වූ ඇන්ටනි ප‍්‍රනාන්දු ද මරාදැමුවේ ද මේ රණවිරුවන්ම විසිනි.

වව්නියාව බන්ධනාගාරයේදී දෙමළ දේශපාලන රැඳෙවියන් මිලේච්ඡ අන්දමින් පහරදී ඝාතනය කරන විට දකුණේ බොහෝ පිරිස් නිහඬවම උන්හ.

ලංකා ඉතිහාස පුරාම පාලකයන්ගේ විසින් විවිධ කණ්ඩායම් පුද්ගලයන් ඝාතනය කරන විට දී , ලංකීය ජනයා සිදුකර ඇත්තේ එම ඝාතන සංස්කෘතියට නිහඬ සහයෝගයක් ලබා දීම හෝ ඔවුන්ට විවිධ නම් පටබඳිමින් එම ඝාතන ක‍්‍රියාවලියට සක‍්‍රීය දායකත්වයක් ලබාදීමයි.

1971 දී පැණනැගුණු තරුණ කැරුල්ලේදී 20,000 පමණ තරුණ පිරික් රාජ්‍ය මර්ධන යාන්ත‍්‍රණය මගින් ඝාතනය කිරීම එවකදී චේගුවේරාකාරයින් මර්ධනය කිරීම ලෙසද ඉන්පසුව 1988-89 තරුණ නැගිටීමේදී 60,000 කට අධික ප‍්‍රමාණයක් ඝාතනය කිරීමද චේගුවේරාකාරයින් මර්ධනය කිරීමක් වූ අතර 2009 වර්ෂයේදී දෙමළ ජාතික විමුක්ති අරගලය විනාශ කරමින් 100,000ට අධික දෙමළ වැසියන් ඝාතනය කිරීම ත‍්‍රස්තවාදීන් මර්ධනය කිරීම යනුවෙන්ද නාමකරණය විය.

පසුගිය කාලය පුරාම විශේෂ කාර්ය බලකාය මගින් විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ආයුධ පෙන්වීමට යාමේදී සැකකරු විසින් වෙඩිතැබීමට උත්සහ දැරීම නිසා වෙඩි තබා මරාදැමුවාය යන ප‍්‍රබන්ධයේදී එම ඝාතනය වූ සියලූ පුද්ගලයන් පාතාල සාමාජිකයන් විය. එම නිසා ඔවුන් ඝාතනය කිරීම කිසිදු ලෙසකින් ප‍්‍රශ්ණ කිරීමට ලක් නොවීය.

ඉතිහාසය පුරාම රාජ්‍යයේ විවිධ මර්ධන යාන්ත‍්‍රණ මගින් විවිධ කණ්ඩායම් ඝාතන කරන විට එය විවිධ නාමකරණයක් කරමින් පාලකයන් විසින් සාධාරණීකරනය කළ අතර ජනතාව ද ඒ පිළිබඳ කිසිදු ප‍්‍රශ්ණ කිරීමක් නොකළහ.

රාජ්‍ය සිදුකළ ඝාතන සියල්ල අතුරින් ඔවුන්ට මදක් හෝ ප‍්‍රශ්ණයක් වී ඇත්තේ මුල්ලිවෛයිකාල් සංහාරය පිළිබඳ මේවනවිට ලෝක මට්ටමේ කතිකාවක් බවට පත්වෙමින් සිටින බැවිනි.

එම සංහාර සිදුවෙමින් පවතිද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටි බවට සඳහන් වන වාර්තා බව එළියට පැමිණ තිබේ.

දහස් ගණනක් ඡායාරූපද තවත් විඩියෝ දර්ශණද සාක්ෂි ලෙස ඉදිරිපත් වී ඇති මොහොත දකුණේ ප‍්‍රගතිශීලීන් තවමත් මුල්ලිවෛයිකාල් සංහාරය පිළිබඳ කතාකිරීමට මැලිකමක් දක්වති.

නමුත් අප වටහා ගත යුත්තේ උතුරේ දෙමළ ජනයාට එල්වූ සියලූ අවි දැන් දකුණේ ජනයට එල්ලවී ඇති බවයි. කටුනායක රෝෂාන්ට, හලාවත ඇන්ටනිට මෙන්ම වැලිකඩ සිරකරුවන්ටද වෙඩි තැබුවේ ඒ අවි මගිනි.

ඝාතනය වූ සියලූ ජීවිත වලට අයුක්තිය ඉල්ලා සිටින්නේම් මුල්ලිවෛයිකාල් සංහාරයේදී ඝාතනය කළ දහස් ගණනක් වන දෙමළ මිනිසුන් සහ ගැහැණුන්ගේ ජීවිතවලද යුක්තිය අවශ්‍යබව මගහැරයා නොහැකි සත්‍යකි. එසේ නොමැතිනම් මුල්ලිවෛයිකාල් ක‍්‍රමය මේ මිනීමරු පාලකයන් විසින් තවදුරටත් ක‍්‍රියාත්මක කරනු නො අනුමානය.

ක‍්‍රිශාන් රාජපක්ෂ[Krishan Rajapakshe]