සිංහල, Colombo, Democracy, Education, Governance, Human Rights, Identity, International Relations, Life quips, Politics and Governance

නාසි ජර්මනියේ සුදු රෝස පුරාවෘත්තය(01) – ‘සෑම අවංක අයෙක්ම අද තම ආණ්ඩුව ගැන ලැජ්ජාවන බව නිසැකය.’


දිනය -1943 පෙබරවාරි 22 වැනිදා

ස්ථානය – ස්ටැඩල්හයිම් බන්ධනාගාරය

ජර්මනියේ අඩොල්ෆ් හිට්ලර්ගේ පාලනයට එරෙහිව රාජද්‍රොහී කටයුතුවල නිරත වූ වරද කරුවන් තිදෙනෙකු එදින සවස් භාගයේදී මරණයට පත් කිරීමට නියමිතව තිබිණී. මේ අයුරින් මරා දැමීමට නියමිතව සිටියේ නාසි විරෝධී, සුදුරෝස ව්‍යාපාරයේ නියමුවන් වූ හාන්ස් ෂෝල්, සොෆී ෂෝල් සහ කි‍්‍රසිටෝප්ස් ප්‍රොබ්ස් ය.

‘‘ඔවුන් සංසුන්ව සහ එඩිතරව සිය අවසාන මොහොතට මුහුණ දුන්හ. කැළඹීමක ලකුණකුදු ඔවුන් තුළ දක්නට නොවීය.’’ යි ඔවුන් තිදෙනාට අවසන් මොහොතේදී එකිනෙකා මුණ ගැසීමට නාසි පාලනයට හොරෙන් අවස්ථාව සළසා දුන් බන්ධනාගාර නිළධාරියෙකු පසු කලෙක පැවසීය.

සුදු රෝස ව්‍යාපාරය වූ කලී ජර්මනියේ නාසි පාලනයට එරෙහිව මියුනික් සරසවිය පදනම් කරගෙන බිහි වූ ප‍්‍රතිවිරෝධී ව්‍යාපාරයයි. මියුනික් සරසවියේ ශිෂ්‍යාවක වූ සොෆී ෂෝල් ඇගේ සොයුරා වූ හාන්ස් ෂෝල් සහ ඔවුන්ගේ මිතුරන් වූ ක‍්‍රිස්ටෝෆ් ප්‍රොබ්ස්, ඇලෙක්ස් ෂ්මොරෙල්, විලී ග‍්‍රාෆ්, යන සිසුන් ද කර්ට් හියුබර් නම් මහාචාර්ය වරයාද මෙහි පුරෝගාමීන් ලෙස කටයුතු කළහ. 1943 දී මෙම සියලූ සාමාජිකයන් ගෙස්ටාපෝ විශේෂ පොළිස් බලකායේ අත්අඩංගුවට පත් වූ අතර ගිලටීනයෙන් හිස ගසා දැමීම මගින් ඔවුන් මරණයට පත් කරන ලදි. ඔවුන්ගේ අවසන් පත‍්‍රිකාවේ අත් පිටපත ඔවුන්ගේ මරණීන් පසුව ජර්මනියෙන් රහසින් පිටකරන ලදුව ස්කැන්ඩිනේවියාව හරහා එංගලන්තයට ගෙන යන ලදි.

1943 ජූලියේදී ‘‘මියුනික් සරසවි සිසුන්ගේ ප‍්‍රකාශනය’’ නමින් මද්‍රණය කරන ලද මෙම පත‍්‍රිකාව මිත‍්‍ර හමුදාවල ප‍්‍රහාරක ගුවන් යානා මගින් ජර්මනිය පුරා ලක්ෂ ගණනින් විසුරුවා හරින ලදි.

1930 ගණන්වල අගභාගය වන විට හාන්ස් සහ සොෆී යෞවනයන් වූහ. අනේක ජර්මානු යෞවනයන් මෙන්ම ඔවුන් ද හිට්ලර්ගේ තරුණ සංවිධානයට බැදී සිටියහ. ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනිය ශ්‍රේෂ්ඨත්වය කරා(ආශ්චර්ය) රැගෙන යනු ඇතැයි ඔවුහු මුලදී විශ්වාස කළහ. නමුත් ඔවුන්ගේ දෙමව්පියන් තුළ නාසිවාදය පිළිපදව මුල සිටම පැදීමක් නොවී ය. පියා වූ රොබර්ට් ෂෝල් ගේ අදහස වූයේ හිට්ලර්, ජර්මනිය විනාශය කරා රැගෙන යනු ඇති බවයි. ‘‘යුද්ධය…? දැනටමත් පරාදයි. හිට්ලර් යනු මිනිසාට දඩුවම් කිරීම සදහා දෙවියන් විසින් එවන ලද යක්ෂයෙක්. යුද්ධය දැන්ම නතර නොවන්නේ නම්. රුසියානුවන් බර්ලිනයේ සිටින අයුරු අපට ඉක්මනින් දැක ගන්නට හැකි වනු ඇත.’’ යි පසු කලෙක එනම් 1942 දී ඔහු නාසි බන්ධනාගාරෙයේ සේවයේ නිරතව සිටියදී තම ලේකම්වරයා සමග පැවසූ බව සදහන් වේ. සොෆී සහ හාන්ස් තම පියාගේ ස්ථාවරය නිවැරදි බව අත්දැකීම් ඇසුරෙන් ක‍්‍රමානුකූලව තේරුම් ගත් හ. හිට්ලර් සහ නාසිවාදය විසින් ‘‘නිදහසේ සහ ජර්මානු ශ්‍රේෂ්ඨත්වයේ’’ නාමයෙන් ජර්මන් ජනතාව විනාශය සහ වහල් භාවය කරා ඇද දමමින් සිටින බව හාන්ස් සහ සොෆී අවසන් වශයෙන් නිගමනය කළ හ. හාන්ස් සහ සොෆීගේ විශිෂ්ඨත්වය වූ කළී තමන් වටහා ගත් සත්‍ය වෙනුවෙන් කවර දුෂ්කර තත්ත්වයන් යටතේ වුවද සටන් කිරීමට ඔවුන් තුළ තිබූ අධිෂ්ඨානයයි.

සුදු රෝස ව්‍යාපාරයේ පළමු පත‍්‍රිකාවෙන්

සෑම අවංක ජර්මානුවෙකුම අද තම ආණ්ඩුව ගැන ලැජ්ජාවන බව නිසැකය. අධම සහ පහත් ආශාවන්ට නතු වූ වගකීම් විරහිත පාලක කල්ලියකට තමන්ව පාලනය කිරීමට ශිෂ්ඨ සමාජයක් විසින් කිසිදු ප‍්‍රතිරෝධයකින් තොරව ඉඩ හැරීම තරම් අයහපත් දෙයක් තවත් නැත. අපගේ දෑස වසා දමන ලද කඩතුරාවන් ගැලවී ගොස් හිරු එළිය තුළ අප නිරාවරණය වන යම් දිනයෙකදී, මිනිසත් බවට නොගැලපෙන මේ මහා අපරාධයන් පිළිබදව අපගේ අනාගත පරම්පරාවන්ට මුහුණ දීමට සිදු විය හැකි අවමානය ගැන අප අතර කසිවෙකුට හෝ වැටහීමක් තිබේද?

ජර්මානු ජනතාව දැනටමත් දූෂණය වී හමාර නම්, අධ්‍යාත්මකව බිද වැටී ඇත්නම් ඔවුහු ප‍්‍රශ්ණ කල යුතු ඉතිහාසයේ රීතීන් කිසිදු ප‍්‍රතිවිරෝධයකින් තොරව මුග්ධ ලෙස විශ්වාස කරනු ඇත. දෙවියන් විසින් මවන ලද සෙසු සත්වයන්ට වඩා මිනිසා ඉහලින් සිටිනුයේ ඔහුගේ නිදහස් චින්තනය නිසාය. ඉතිහාසයේ චක‍්‍රය හැසිරවීඹ සදහා තීරණාත්මක ක‍්‍රියාමාර්ගයක් ගැනීම සදහා තිබිය යුතු අධිෂ්ඨානය ඔවුන් විසින් අත් හැර දමන්නේ නම් ද, එය ඔවුන්ගේ සබුද්ධික තීරණයන්ට යටත් නොකරන්නේ නම්ද, පුද්ගල නිදහස පිළිබද හැගීම් අත්හැර දමනු ලබන්නේ නම්ද, ආත්මයක් රහිත සහ බියගුලූ ජනතාවක් බවට පත්වීමේ මාවතේ ඔවුහු තවදුරටත් ගමන් කරනු ඇත.

ග‍්‍රීකයන් සහ යුදෙව්වන් මෙන් ජර්මානුවන්ද, බේද සම්පන්න ජාතියක් යැයි ගොතේ පැවසීය. නමුත් අද පෙනී යන්නේ ඔවුන් ඇට මිදුලූ දක්වාම උරා බී, ස්ථායීභාවයේ කේන්ද්‍රය උරාගනු ලැබ, දුවන්නන් වාලේ දුවන, විනාශය කරා දක්කනු ලබමින් සිටින, කොදු ඇට මෙන්ම අධිෂ්ඨානයක් රහිත රංචුවක් බවට පත්ව ඇති ආකාරයයි. සත්‍යය යනු හුදු දත්‍ෂ්‍යමානයම නොවේ. ක‍්‍රමානුකූලව ඔවුහු දූෂණය කොට ඇත්තේ ද්‍රෝහී ක‍්‍රමය විසිනි. එය විසින් සෑම මිනිසෙකුම අධ්‍යාත්මික බන්ධනාගාරයක සිර කොට තිබේ. ඔහු තම ඉරණම ගැන අවධානය යොමු කරන්නේ නම් විනාශකාරී තර්ජනයන් සහ වික‍්‍රමාන්විත අනතුරු ඇගවීම් සදහා ලැබී ඇති ත්‍යාගය මරණය බව හදුනාගත හැකි වනු ඇත. මේ මිනිසුන්ගේ ඉරණම ගැන කියන්නට අපට බොහෝ දේ තිබේ. වෙනත් අය යමක් පටන් ගනු ඇතැයි සෑම මිනිසෙකුම බලා සිටින්නේ නම් පළිගන්නා සුලූ නෙමිසිස් අවතාරයේ නියෝජිතයන් අප කරා සිථීර ලෙසම ළගා වනු ඇත. අවසානයට ගොදුරු වන්නා යක්ෂයාගේ කුස තුළට වැටෙනු ඇත්තේ හැගීම් විරහිතවය.

එනිසා බටහිර ශිෂ්ඨාචාරය සහ ක‍්‍රිස්තියානි සමාජයේ සාමාජිකයන් ලෙස සිය වගකීම් පිළිබද සවිඥාණික සෑම අයෙකුම මේ තීරණාත්මක පැයේ දී තම හෘද සාක්ෂිය රැක ගැනීමට අරගල කල යුතුය. ඔහු මිනිස් වර්ගයාට එරෙහි හිංසනයට විරුද්ධ විය යුතුය. පැසිස්වාදවයට සහ එබදු සියලූ ආඥාදායකත්වයන්ට එරෙහි විය යුතුය. මෙම යුද යන්ත‍්‍රය තවත් ව්‍යාප්ත වීමට පෙර, ඔබ සිටින්නාවූ තැන කුමක් වුවද එහි සිට සක‍්‍රීය ලෙස විරෝධය දැක්විය යුතුය. ජාතියේ අවසාන යෞවනයාද අමානුෂිකත්වයේ උද්දච්ඡකම වෙනුවෙන් නොදන්නා බිමකදී ස්වකීය රුධිරය වැගිරවීඹට පෙර, කොලෝනය මෙන් අවසාන නගරයද නටඹුන් වීමට පෙර ඔබ ක‍්‍රියාත්මක විය යුතුය.

මෙහි ඊලග කොටස ලබන සතියේ බලාපොරොත්තු වන්න