Colombo, Featured Articles, Features, Politics and Governance

“දේශපාලනික අත්තනෝමතිකත්වයට එරෙහිව, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙලගැසිය යුතුයි” [කලාකරුවන් සහ සංස්කෘතික ක්‍රියාධරයන් කියති]

ශ්‍රී ලංකාවේ අනාගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සැළකිලිමත් වන පිරිසක් වශයෙන් රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රථම සහ අවසාන මුරදේවතාවා අධිකරණය වන බවට දැඩි විශ්වාසයක් තමන් තුළ තිබෙන බව ප්‍රකාශ කරන ප්‍රවීන කලාකරුවන් සහ සංස්කෘතික ක්‍රියාධරයන් පිරිසක් වර්තමානයේ අගවිනිසුරුවරියට එරෙහිව එල්ල කොට ඇති දෝෂාභියෝගය තමන් දකින්නේ ඒ නිදහස අධිකරණයෙන් උදුරා ගැනීමේ වෑයමක් වශයෙන් බව සඳහන් කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන විශ්වාසයක් ඇති සෑම පුරවැසියෙකුම, මේ අවස්ථාවේ දේශපාලනික අත්තනෝමතිකත්වයට එරෙහිව අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙලගැසිය යුතු බව ප්‍රකාශ කරති.

මහාචාර්ය සුචරිත ගම්ලත්, ආචාර්ය ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රසන්න විතානගේ, ගාමිණී වියන්ගොඩ, මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි, ආචාර්ය ලියනගේ අමරකීර්ති, ජයතිලක කම්මැල්ලවීර, මහාචාර්ය සරත් විජේසූරිය, රන්ජන් රාමනායක, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, චන්ද්‍රගුප්ත තේනුවර, කේ. ඩබ්ලිව්. ජනරංජන, අජිත් ජිනදාස, සිරිල් ධර්මවර්ධන, මංජුල වෙඩිවර්ධන ඇතුළු කලාකරුවන් සහ සංස්කෘතික ක්‍රියාධරයන් විශාල පිරිසක් මේ ආයාචනයට අත්සන් තබා ඇත.

..”‘දිවි නැගුම’ ඇතුළු මෑතක දී අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු ආණ්ඩුවේ කෙටුම්පත් ගණනාවක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දු මාලාව සහ මේ දෝෂාභියෝගය අතර සෘජු සම්බන්ධයක් ඇති බව, අනිත් අතින්, පැහැදිළිව පෙනෙන්ට තිබේ. එසේම, චූදිතයාව විභාගයට ලක්කෙරෙන පාර්ලිමේන්තු කාරක සභාව ඇතුළු සමස්ත ක‍්‍රියාවලිය, විධායකයේ අභිමතයට ව්‍යවස්ථානුකූල මුහුණුවරක් ආරෝපණය කෙරෙන ව්‍යාජ යාන්ත‍්‍රණයකට අඩු දෙයක් නොවන බැවින්, මේ දෝෂාභියෝගය වනාහී අගවිනිසුරුවරියට පමණක් නොව, ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු සෑම සාමාජික සාමාජිකාවකටම කෙරෙන අනතුරු ඇඟවීමක් ද වන්නේය. මේ මගින් අපට ඒත්තුගන්වන වැදගත්ම පණිවිඩය වන්නේ, නීතිපති, විගණකාධිපති, මැතිවරණ කොමසාරිස් ඇතුළු පොලීසිය සහ රාජ්‍ය පරිපාලනය වැනි අනෙක් සියලූ වැදගත් හා ප‍්‍රධාන රාජ්‍ය ආයතන ස්වාධීන කොමිෂන් සභා මාර්ගයෙන් පාලනය විය යුතුය යන්නයි. අධිකරණයේ අගවිනිසුරු පත්වීම ඇතුලූ දැනට විධායක ජනාධිපති විසින් දෙනු ලබන අධිකරණයේ සියලූ පත්වීම්, වහා ඒ විධායක ධුරයේ දේශපාලනයෙන් නිදහස් කරගත යුතු බවයි. ජනාධිපතිවරයාම පත්කළ උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසම පවා, පොලීසිය සහ මැතිවරණ කොමිසම දේශපාලනීකරණයෙන් නිදහස් විය යුතු බව පෙන්වා දුනි. කොටින්ම, විධායකය හා පාර්ලිමේන්තුව යොදාගනිමින් කරන්නාවූ අහිතකර සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි කි‍්‍රයා නවතා ගත හැකි, ස්වාධීන බල ව්‍යූහයක් නව ව්‍යවස්ථාමය පදනමකින් පිහිටුවා ගත යුතු බව අපේ අදහසයි.” එම නිවේදනය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 117ක් විසින් අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් කථානායකවරයා වෙත භාර දෙන ලද අතර ඉන්පසු එම චෝදනා විභාග කිරීම සඳහා කථානායකවරයා විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමත් සමගම ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ඝට්ටනයක් ආරම්භ විය.

සම්පූර්ණ නිවේදනය සහ අත්සන් කළ කලාකරුවන් සහ සංස්කෘතික ක්‍රියාධරයන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.


ජනතා විශ්වාසය සහිත ස්වාධීන අධිකරණයක් වෙනුවෙන් පෙනීසිටිමු | කලාකරුවන්ගේ හා සංස්කෘතික ක‍්‍රියාධරයන්ගෙන් ප‍්‍රකාශයක්

අගවිනිසුරුවරියගේ තනතුරේ ගෞරවය සහ ඇගේ සැමියා ආණ්ඩුවේ දේශපාලන පත්වීම් ලැබීම අතර මුල සිටම නොපෑහීමක් පැවති බව නොරහසකි. මේ සම්බන්ධයෙන් ආරෝපණය කෙරෙන සදාචාරමය දෝෂදර්ශනය, අගවිනිසුරුවරියට තරමටම, එම පත්වීම කළ ජනාධිපතිවරයා වෙත ද පැවරේ.

පසු ගිය කාලයේ ලංකාවේ අධිකරණය දේශපාලනීකරණය වීම, මේ රටේ සමස්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි ඉතා හානිකර ලෙස බලපෑවේය. විධායකය විසින් තමන්ගේ දේශපාලන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීමේ තවත් එක් ආයතනයක් වශයෙන් අධිකරණය පාවිච්චි කළ අවස්ථා විරල නැත. එය වර්තමාන ජනාධිපතිවරයාගේ සහ වර්තමාන අගවිනිසුරුවරියගේ පූර්වගාමීන් දක්වා දිවෙන කැලැල් සහිත දීර්ඝ ඉතිහාසයකි.

වර්තමාන දෝෂාභියෝගය, තවත් පිම්මකින් එම තත්ත්වය උත්සන්න කිරීමක් වශයෙන් අපි දකිමු. අධිකරණය හීලෑ කර ගැනීමේ ඕනෑම ව්‍යාපෘතියක් රටේ සමස්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය, විධායකයේ ගොදුරක් කර ගැනීමේ අවසාන කඩඉම වන්නේය. අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට පහර දුන් කිසි මැරයෙකු මේ දක්වා නීතිය ඉදිරියට පමුණුවා නැත. ‘දිවි නැගුම’ ඇතුළු මෑතක දී අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු ආණ්ඩුවේ කෙටුම්පත් ගණනාවක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දු මාලාව සහ මේ දෝෂාභියෝගය අතර සෘජු සම්බන්ධයක් ඇති බව, අනිත් අතින්, පැහැදිළිව පෙනෙන්ට තිබේ.

එසේම, චූදිතයාව විභාගයට ලක්කෙරෙන පාර්ලිමේන්තු කාරක සභාව ඇතුළු සමස්ත ක‍්‍රියාවලිය, විධායකයේ අභිමතයට ව්‍යවස්ථානුකූල මුහුණුවරක් ආරෝපණය කෙරෙන ව්‍යාජ යාන්ත‍්‍රණයකට අඩු දෙයක් නොවන බැවින්, මේ දෝෂාභියෝගය වනාහී අගවිනිසුරුවරියට පමණක් නොව, ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු සෑම සාමාජික සාමාජිකාවකටම කෙරෙන අනතුරු ඇඟවීමක් ද වන්නේය.

මේ මගින් අපට ඒත්තුගන්වන වැදගත්ම පණිවිඩය වන්නේ, නීතිපති, විගණකාධිපති, මැතිවරණ කොමසාරිස් ඇතුළු පොලීසිය සහ රාජ්‍ය පරිපාලනය වැනි අනෙක් සියලූ වැදගත් හා ප‍්‍රධාන රාජ්‍ය ආයතන ස්වාධීන කොමිෂන් සභා මාර්ගයෙන් පාලනය විය යුතුය යන්නයි. අධිකරණයේ අගවිනිසුරු පත්වීම ඇතුලූ දැනට විධායක ජනාධිපති විසින් දෙනු ලබන අධිකරණයේ සියලූ පත්වීම්, වහා ඒ විධායක ධුරයේ දේශපාලනයෙන් නිදහස් කරගත යුතු බවයි. ජනාධිපතිවරයාම පත්කළ උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසම පවා, පොලීසිය සහ මැතිවරණ කොමිසම දේශපාලනීකරණයෙන් නිදහස් විය යුතු බව පෙන්වා දුනි. කොටින්ම, විධායකය හා පාර්ලිමේන්තුව යොදාගනිමින් කරන්නාවූ අහිතකර සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි කි‍්‍රයා නවතා ගත හැකි, ස්වාධීන බල ව්‍යූහයක් නව ව්‍යවස්ථාමය පදනමකින් පිහිටුවා ගත යුතු බව අපේ අදහසයි.

ඒ පුළුල් දර්ශනය තුළ හිඳිමින්, කලාකරුවන් සහ සංස්කෘතික ක‍්‍රියාධරයන් වශයෙන් මේ රටේ අනාගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන අපි සැළකිලිමත් වෙමු. රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රථම සහ අවසාන මුරදේවතාවා අධිකරණය වන බවට දැඩි විශ්වාසයක් අප තුළ තිබේ.

වර්තමාන දෝෂාභියෝගය අප දකින්නේ ඒ නිදහස අධිකරණයෙන් උදුරා ගැනීමේ වෑයමක් වශයෙනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන විශ්වාසයක් ඇති සෑම පුරවැසියෙකුම, මේ අවස්ථාවේ දේශපාලනික අත්තනෝමතිකත්වයට එරෙහිව අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙලගැසිය යුත්තේ එබැවිනි.

අත්සන් කළ කලාකරුවන් සහ සංස්කෘතික ක්‍රියාධරයන්ගේ නාම ලේඛනය

ආචාර්ය ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක, පරාක‍්‍රම නිරිඇල්ල, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ප‍්‍රසන්න විතානගේ, මහාචාර්ය සුචරිත ගම්ලත්, මහාචාර්ය එච්.එල්. සෙනෙවිරත්න, මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ආචාර්ය ලියනගේ අමරකීර්ති, කේ. බී. හේරත්, ආචාර්ය සිවමෝහන් සුමති, ඩබ්ලිව්. ජයසිරි, කුසල් පෙරේරා, මහාචාර්ය සරත් විජේසූරිය, රන්ජන් රාමනායක, පියල් කාරියවසම්, චන්ද්‍රගුප්ත තේනුවර, සුනිලා අබේසේකර, ඩබ්ලිව්. ඒ. අබේසිංහ, උපුල් ශාන්ත සන්නස්ගල, කපිල කුමාර කාලිංග, එම්.ඞී. මහින්දපාල, දීප්ති කුමාර ගුණරත්න, ගාමිණී වියන්ගොඩ, විජයානන්ද ජයවීර, බුද්ධදාස ගලප්පත්ති, ජයතිලක බණ්ඩාර, ප‍්‍රදීපන් රවින්ද්‍රන්, මංජුල වෙඩිවර්ධන, සුදර්ශන ගුණවර්ධන, කේ.ඩබ්ලිව්.ජනරංජන, ලක්‍ෂ්මන් මෙන්ඩිස්, ගුණසිරි සිල්වා, අතුල පතිරණ, අනෝමා රාජකරුණා, අජිත් ජිනදාස, ජයතිලක කම්මැල්ලවීර, කැත්ලින් ජයවර්ධන, චූලානන්ද සමරනායක, තුමිඳු දොඩන්තැන්න, ගිහාන් ඩි චිකේරා, සිරිල් ධර්මවර්ධන, අජිත් ගලප්පත්ති, ප‍්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා, මහේෂ් මුණසිංහ, කුමාරි කුමාරගමගේ, ජගත් මනුවර්ණ, සම්පත් ජයවීර, සමන් ලියනගේ, ගාමිණී විජේසිංහ, පූජිත ද මැල්, චන්න ඒකනායක, සීතා රංජනී, ජනක ඉණිමංකඩ, හරීන්ද්‍ර බී දසනායක, ඉන්දික උඩුගම්පොළ, හිනිදුම සුනිල් සෙනෙවි, සුදේශ් මන්තිලක, සංජීව පුෂ්පකුමාර, අතුල සමරකෝන්, ප‍්‍රියන්ත ෆොන්සේකා, මහින්ද කුමාර දළුපොත, සුනිල් ද කේ ගුණරත්න, සුනන්ද කරුණාරත්න, ටෙනිසන් පෙරේරා, කරුණාසිරි විජේසිංහ, සුගතපාල සෙනරත් යාපා, මැල්කම් මචාඩෝ, චින්තක රණසිංහ, මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල