සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media, Media and Communications, Peace and Conflict

නිදහස් මාධ්‍ය, ජිඑස්පී ප්ලස් සහ ලැප් ටොප්


යුරෝපීය සංගමයෙන් ලද ජීඑස්පී බදු සහනය යළි ලබා ගැනීමට ශ‍්‍රී ලංකාණ්ඩුව කටයුතු කළ යුතුයැයි ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වන යොහාන් ලොරන්ස් කියා සිටින බව පසුගිය සතියෙහි සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය. මෙම අදහස හුදු ඔහුගේ අදහසක් නොව හිටපු සභාපතියවරයා ද දැරු අදහසක් බවද එම වාර්තා කියයි.

එපමණක් නොව මෙම සහනය ලබා ගැනීම පිණිස ආණ්ඩුව උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කළ යුතු යැයිද අපනයනකරුවන්ගේ සංගමය අදහස් කරන බවද එහි දැක්වුණි. ඔවුන්ට අනුව ජීඑස්පී බදු සහනය අහෝසි වීම නිසා යුරෝපයට අපනයනය කරන ශ‍්‍රී ලාංකික ඇඟළුම් මිල තරඟකාරි අනෙක් රටවලට වඩා සියයට 10කින් පමණ ඉහළ ගොස් තිබේ. මේ නිසා පසුගිය මාස ගණනාව තුළ යුරෝපා සංගමයට ආනයනය කළ ඇඟළුම් සියයට 7කින් පහළ ගොස් ඇත. මෙම තත්ත්වය දිගටම පැවැතුන හොත් ඇඟළුම් කර්මාන්තය අමතර දුෂකරතායන්ට මහුණ දෙනවා ඇත. මන්ද යත් ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් නිශ්පාදනයෙන් සියයට 50ක් යැවෙන්නේ යුරෝපා සංගමයට නිසා ය. මෙම වර්ධනය විසින් නැවතත් පෙන්නුම් කරන්නේ මානව හිමිකම් යළි පිහිටුවීම ශ‍්‍රී ලංකාවෙහි හුදු දේශපාලන ප‍්‍රශ්ණයක් නොව ආර්ථික ප‍්‍රශ්ණයක් ද වන බවය.

ශ‍්‍රී ලංකාවට යුරෝපීය සංගමයෙන් ලැබුණූ ජීඑස්පී බදු සහනය නතර කිරීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කටයුතු කළේ යැයි මා ද සම්බන්ධ කරමින් මෙම වසර මුල් දිනවල රාජ්‍ය හොරණෑ ජනමාධ්‍ය අතේ පැළකළ පුවතක් ප‍්‍රසිද්ධ කළේ ය. ඇත්ත වශයෙන්ම නම් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙන්ම අප ද කියා සිටියේ අද ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමය කියා සිටින දෙයම ය. එනම් ජිඑස්පී බදු සහනය අහෝසි නොවී දිගටම පවත්වා ගැනීමට නම් ශ‍්‍රී ලංකාව මානව හිමිකම් සුරැුකීමට කටයුතු කළ යුතු බවයි. අප එදා කියා සිටි දෙය අද කර්මන්ත හිමිකරුවෝ ද කියා සිටිති.

එදා රාජ්‍ය ජනමාධ්‍ය හොරණෑකරුවන් කියා සිටියේ අප එම කාරියේ නිරත වූයේ දේශද්‍රෝහීන් ලෙස බවයි. ජිඑස්පී බදු සහනය දිගටම ලබා ගැනීමට නම් ශ‍්‍රී ලංකාව ක‍්‍රියාත්මක කළ යුතු බවට යුරෝපීය සංගමය ඉදිරිපත් කළ මානව හිමිකම් දර්ශක බොහොමයක් පසුව උගත් පාලන කොමිසමේ නිර්දේශ වශයෙන් ද ඉදිරිපත් විය. එමගින් සනාථ වූයේ යුරෝපීය සංගමය ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් කරන ලද මානව හිමිකම් යෝජනා සාධාරණ ඒවා බව ය. දැන් ශ‍්‍රී ලංකාණ්ඩුව තමන් උගත් පාලන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන බව ලෝකයට ම කියයි. අප දිගටම කියා සිටියේත් එවැනි යෝජනා ක‍්‍රියාවට නගන ලෙස ය.

එසේ නමුත් ජිඑස්පී බදු සහනය පිළිබඳ විවාදය අවස්ථාවෙහි ශ‍්‍රී ලංකාවේ අධිපති ජනමාධ්‍ය යුරෝපා සංගමයේ මානව හිමිකම් යෝජනා පිළිබඳව දැනුවත් විවාදයක් ගොඩ නගනු වෙනුවට කළේ එය ශ‍්‍රී ලංකාවට විරුද්ධ අන්තර් ජාතික කුමංත‍්‍රණයක කොටසක් බවට මතයක් ගොඩ නැගීම යි. නිදහස් සහ අදීන රාජ්‍ය සේවකයකු වෙනුවට නාමල් රාජපක්ෂ පසුපසින් ‘අශ්වය ගොන් ටික් ටික් ටික් ’ නැටුම් නටන මහ බැංගු අධිපති නිවාඞ් කබ්රාල් ඒ අවස්ථාවෙහි කීවේ ‘අපට ඔය ජීඑස්පී ප්ල්ස් සහනය අවශ්‍ය නෑ. ඒක නැති වුනයි කියළ වෙන කජ්ජකුත් නෑ’ කියා ය. ඒ බව ශ‍්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවියේ ම පළ කර තිබුණි.

මෙම සහනය නැති වීමෙන් ඇතිවන පාඩුව මැකීමට තමා කටයුතු කරන බව ද ඔහු යළි යළි කියා තිබුණි. නමුත් දැන් ඇඟළුම් කර්මාන්තය ජීඑස්පී බදු සහනය නැති වීමෙන් පාඩු විදී. එය පියවා ගත හැකි ක‍්‍රමයක් නැත. කණගාටුවකට මෙන් අද පවා ශ‍්‍රී ලංකාවේ දසදහස් ගණනාවකගේ රැුකියාවනට බලපෑ හැකි ඇගළුම් අපනයනකරුවන්ගේ මෙම ඉල්ලීම සහ ඒ සඳහා උගත් පාලන කොමිසමෙහි එම මානව හිමිකම් නිර්දේශ ක‍්‍රියාත්මක කළ යුතු බවට කැරෙන යෝජනාව අධිපති ජනමාධ්‍යයෙහි සාකච්ජා වන්නේ ද නැති තරම් ය. සමහර විට මෙම ඉල්ලීම ද දේශද්‍රෝහී යෝජනාවක් ලෙස හොරණැ මාධ්‍යකරුවන් විසින් හංවඩු ගැසීමට ඉඩ තිබේ.

මේ අතර ජනමාධ්‍ය නිදහස සහ ආණ්ඩුවෙන් බෙදා දෙන ලැප්ටොප් පරිගණක සහ වාහන ණය මුදල් ගැන කතා කරමින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ඒවා ලබා ගත් ජනමාධ්‍යවේදීන්ට දෝෂාරෝපනය කර තිබුණි. එපමණකින් නොනැවතී ඔහු කියා තිබුණේ එළෙස වාහන ණය ගැනීමට ඉල්ලූම් කළ ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකු පිළිබඳව තමා අදාළ ආයතනයන්ට පැමිණිල්ලක් ද කරන්නට යන බවය. ආණ්ඩුවෙන් ලැප්ටොප් ලබාගත් කාටූන් ශීල්පීන් ඊට පසුදා තමන්ට විරුද්ධව කාටූන් ඇද තිබුණේය කියා මැසිවිල්ළක්ද නගා තිබුණි.

ආණ්ඩුවෙන් ජනමාධ්‍යවේදීන්ට ලබා දෙන යමක් වේ නම් සුදුස්සන් තීරණය කළ යුත්තේ ජනමාධ්‍ය සංවිධාන විසින් යැයි ද ඒ මහතා කියා තිබුණි. රනිල් වික‍්‍රමසිංහ මහතාට බොහෝ කොට තමන්ගේ වාසියට අතීතය අමතක වෙයි. ඒ මහතා අගමැතිව සිටි අවදියෙහි ප‍්‍රථම ජනමාධ්‍ය ඇමැතිවරයා වූ ඉම්ටියාස් බාකීර් මාකර් මහතා ජනමාධ්‍යවේදීන්ට ඉඩම් බෙදා දීම පිණිස හොරණින් ඉඩමක් තොරා ගත්තේ ය. අනතුරුව ජනමාධ්‍ය සංවිධාන නිල වශයෙන් නම් කරන ලද නියෝජිතයින්ගේ කමිටුවකින් ඒ සඳහා සුදුස්සන් තොරා ගැනුනි. ඉතිරිව තිබුණේ නිල වශයෙන් එම ඉඩම් ලබා දීම පිණිස අවශ්‍ය කාර්්‍යාලීය කටයුතු කිරීම පමණ ය. නමුත් එම අවස්ථාවේදී ක‍්‍රියාත්මක වූ රනිල් වික‍්‍රමසිංහ සමඟ හවුල්වූ ඔහුගේ ම හොරණෑ මාධ්‍යකරුවකු එම වැඩ සටහන සම්පූර්ණයෙන් ම කඩකප්පල් කළේ ය. (එම මාධ්‍යකරුවාට වික‍්‍රමසිංහ මහතා විසින් කොළඹ නගරය මැද රජයේ මහල් නිවසක් අඩු කුළියට ලබා දී තිබුණි). මන්ද යත් එම හොරණාකරුවන්ට අවශ්‍ය පරිදි එම කාරිය ඉටු නොවූ නිසා ය. ජනමාධ්‍යවේදීන්ට දීමට නියමිත වූ ඉඩම් පසුව වෙනකාට හරි දෙන්නට ඇත. දැන් රනිල් වික‍්‍රමසිංහ වාදනය කරන්නේ වෙනත් තනුවකි.

ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට වෙන් වූ එකම නිවාස යෝජනා ක‍්‍රමය සකස් කෙරුණේ ජනමාධ්‍යවේදීන්ට මෙළෙස සහන සැළසීමට විරුද්ධව වන වික‍්‍රමසිංහගේ එජාපයෙහි වත්මනෙහි මාධ්‍ය හසුරුවන මංගල සමරවීර මහතාගේ මූලිකත්වයෙනි. එකළ අද මෙන් හාත්පස පැතිරුණූ මර්දනයක් නොතිබුණ ද මාධ්‍ය නිදහස සඳහා වූ පැහැදිළි පිළිවෙතක් තිබුණේ නැත. එසේ නමුත් ආණ්ඩුවට පක්ෂපාත නොවු ජනමාධ්‍යවේදීන් ද එම නිවාස සඳහා ඉල්ලූම් කළ අතර ඉන් සමහර දෙනෙකුට නිවාස ලැබුණි. එනමුත් ඉන් බොහෝ දෙනෙකු නිවසක් ලද නිසා සිය අදහස් වෙනස් කර ගත්තේ නැත.

ශ‍්‍රී ලංකාවේ අඩුම වැටුප් තලයක සිටින වෘත්තිකයින් පිරිසක් වන විශේෂයෙන් ම දෙමළ සහ සිංහල බසින් වැඩ කරන ජනමාධ්‍යවේදීන්ට සහනයන් සැපයීම අත්‍යවශය ය. එළෙස සහනයන් ලබා දෙන අවස්ථාවන්හිදී කළ යුත්තේ එහි ක‍්‍රමවේදය පාරදෘෂ්‍ය කිරීමට කටයුතු කිරීම මිස එළෙස සහනයන් ලබා ගන්නා ජනමාධ්‍යවේදීන්ට අවලාද නැගීම නොවේ. (එලෙස වාහන ණය සහ පරිගණක ලබා දුන් පදනම සහ එවා ලද අයගේ නම් ආණ්ඩුව ප‍්‍රසිද්ධ කොට නැත).

පාර්ලිමේන්තු මංත‍්‍රීවරුන්ට ලැබෙන තීරුබදු රහිත වාහන තෙවසරක් යන තුරු අන්සතු කිරීමට පනවා තිබූ තහනම මෙවර අයවැය යෝජනා මගින් අහෝසි කරන ලදී. ඉන් අදහස් වෙන්නේ මහා ජනයාට සේවය කිරීම පිණිස තමන්ට ලැබෙන එම වරප‍්‍රසාදය වහාම මුදල් බවට පරිවර්ථනය කර පුද්ගලික ධනයක් බවට පෙරළා ගැනීමට මංත‍්‍රිවරුන්ට ඉඩ ලබා දීමයි. මේ වනාහී එළිපිට කැරෙන ජාවාරමකි. පරිගණකයක් ලබා ගත් නිසා ජනමාධ්‍යවේදීන්ට තඩි බාන විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මෙම වාහන විකිණිමේ ජාවාරමට විරුද්ධව කටේ කෙළ හැලූවේ නැත. ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන් සමඟ රනිල් වික‍්‍රමසිංහ යෙදී සිටින්නේ පරාජය වන සටනක ය. (කළ යුතු සටන වෙනුවට වෙනත් සටනක් සොයා ගැනීමට ඔහු දක්ෂය.

මේ අවස්ථාවේ ශ‍්‍රී ලංකාවම දේශපාලනීයකරණය කරමින් තිබෙන දෝශාභියෝගය ගැන ඔහු කියන්නේ දෝශාභියෝගයට වඩා කුස්සියේ සටන බලවත් බවය).

රාජ්‍ය පාලිත ජනමාධ්‍ය වර්ජනය කරන ලෙස මාස ගණනාවකට පෙර ඔහු විසින් කරන ලද ඉල්ලීම අන්තර් ජාතික ජනමාධ්‍ය සංවිධානයන්ගේ පවා විමතියට හේතු විය. රාජ්‍ය පාලික ජනමාධ්‍ය දේශපාලනීයකරණය සම්බන්ධයෙන් ඔහුද ප‍්‍රධාන පෙළේ වගකිව යුත්තෙකි. ඔහු අගමැතිව සිටි 2002 – 2004 කාලයේ දී රාජ්‍ය පාලික ජනමාධ්‍ය ස්වාධීන මහජන සේවා ජනමාධ්‍ය බවට පරිවර්ථනය කරන ලෙස අප විසින් කරන ලද ඉල්ලීමට ඔහුගේ ප‍්‍රතිචාරය වූයේ ඒවා විකුනා දැමීම වඩා යෝග්‍ය බවය. ඉන් අදහස් කැරුණේ පුද්ගලික අයිතිය ඇති ජනමාධ්‍යට ඔහුගේ ඇති ලැදියාව යි. අවාසනාවකට මෙන් ඔහුට අද වඩාම පහර වදින්නේ එවැනි ජනමාධ්‍ය කෙරෙනි.

සුනන්ද දේශප‍්‍රිය[Sunanda Deshapriya]