සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

පහන් දැල්වීම මේ රටේ අපරාධයක් ද?


ඝාතනය කරන ලද තම සමීපතමයින් සිහිකර පහන් දල්වා ඔවුන් සිහි කරමින් යාපනය විශ්ව විද්‍යාලය තුළ පැවති සිහිකිරීමේ වැඩසටහනට පසුගිය 27වනදා කඩා වැදුනු හමුදාව සහ පොලීසීය එම සිහිකිරීමේ උත්සවය කඩාකප්පල් කරන ලද්දේ සිය මුග්ධබාවය නැවතත් ලොව හමුවේ ප්‍රදර්ශණය කරමිනි. එයට විරෝධය දැක්වීමට පසුගිය 28 වන දින යාපනයේ විශ්ව විද්‍යාලය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතාවයට ද රජයේ ආරක්ෂක අංශ විසින් පහර දී සිසුන් පිරිසකට තුවාල සිදුකර, සිසුන් 4දෙනෙක් පමණ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තේය. එසේම එම විරෝධතාවය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට මෙන්ම උතුරේ දේශපාලඥයින්ගේ වාහනවලට ද පහර දුන්හ.

නමුත් ත‍්‍රස්ත විමර්ෂන ඒකකයෙන් යැයි පවසා එසේ අත්අඩංගුවට ගත් යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් 4දෙනා නිදහස් කරන ලෙස දෙමළ දේශපාලකයින් මෙන්ම සිවිල් සමාජ කි‍්‍රයාකාරීන් විසින් කරන ලද ඉල්ලීම පවා නොසලකා ඉන් එක් අයෙකු ඊයේ(5) වන විට නිදහස් කර අනෙක් තිදෙනාට මාස 3ක රුදවුම් නියෝග නිකුත් කිරීමට රාජපක්ෂ ආණ්ඩුව ක‍්‍රියාකර ඇතැයි උතුරේ දේශපාලඥයින් පවසයි.

කෙසේ නමුත් ඔවුන් පවසන්නේ එල්ටීටීඊ සංවිධානය මිලිටරි ලෙස පරාජය කිරීමෙන් පසු සිසුන්ට එරෙහිව ත‍්‍රස්ත මර්ධන පනත යොදා ගන්නා පළමු අවස්ථාව මෙය බවයි. එසේම උතුරේ පැවති විරෝධතාවයන් කිහිපයක් හැරෙන්නට, බොහොමයක් විරෝධතාවලට ආරක්ෂක අංශ විසින් පහරදීමට හෝ මොනයම් ක‍්‍රමයකට හෝ ඒවා කඩාකප්පල් කිරීමට ක‍්‍රියා කර තිබෙන්නේ උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ වාර්තාවත් අත දරාගෙනය.

ඉන් පසුද යාපනයේ විශ්ව විද්‍යාල සිසුන්ට ඇති වී ඇති බිය පහව ගොස් නැත. ඊයේ(05)යාපනයේ විශ්ව විද්‍යාලායේ ශිෂ්‍යයෙක් විකල්ප සමග පවසා සිටියේ විරෝධතාවයෙන් පසුව ඊයේ වන විටත් තවත් සිසුන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බවයි. ඔහු තවදුරටත් පවසා සිටියේ ‘‘යාපනය විශ්ව විද්‍යාලයේ 27 වන දින සිදුවූ පහන් දැල්වීමෙන් පසුව 10 දෙනෙකුගෙන් යුත් නම් ලැයිස්තුවක් සමග හමුදාව සහ පොලීසිය සැරිසරන බව අපට ආරංචි උනා. යාපන විශ්ව විද්‍යාල පරිපාලනය සමඟ සිදුවූ සාකච්ඡාවේදී තවදුරටත් ශිෂ්‍යයන් අත්අඩංගුවට නොගන්නා බව හමුදාව පොරොන්දු වී තිබෙනවා. නමුත් ශිෂ්‍යයන් තමන් කොයි වෙලාවේ අත්අඩංගුවට පත්වෙනවාද කියන බියෙන් සිටිනවා. යාපනය විශ්ව විද්‍යාලයේ සෑම පීඨයක්ම මේ වනවිට වහලා තියෙන්නෙ. ශිෂ්‍යයන් නිදහස් කළොත් පමණයි විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු ආරම්භ වෙන්නේ….’’

මේ සම්බන්ධයෙන් අපි උතුරේ දේශපාලඥයින් කිහිපදෙනෙකුගෙන්ම විමසූවෙමු. මේ ඔවුන් දැක්වූ අදහස්…

දෙමළ ජාතික ජනතා පෙරමුණේ මහ ලේකම් සෙල්වරාජා ගජේන්ද්‍රන්:

‘‘මුල්ලිවායිකාල් හිදී සමූල ඝාතනයක් සිදුකළ රජය ප‍්‍රජාතාන්ති‍්‍රක ලෙස දෙමළ ජනතාවගේ හඬ නැඟී සිටීම වළක්වා ගැනීම සඳහා තමයි යාපන විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් වෙත මේ ප‍්‍රහාර එල්ල කර තිබෙන්නේ. මුල්ලි වායිකාල් ඝාතනයෙන් පසුව දෙමළ ජනතාව තමන්ගේ දේශපාලනික අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා හඬනඟමින් සිටිනවා. එම අයිතිවාසිකම් දෙමළ ජනතාවට අහිමි කර වීමේ අරමුණෙන් තමයි රජය මිලේච්ඡ ලෙස ප‍්‍රහාර එල්ල කර තිබෙන්නේ. පලි ගැනීමේ කි‍්‍රයාවලියක් වශයෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 4 දෙනෙක් ත‍්‍රස්ත මර්ධන පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටිනවා. ශිෂ්‍යයන්ට තර්ජනය කිරීම හා දෙමළ ජනතාවගේ ප‍්‍රජාතාන්ති‍්‍රක හඬ නැසීම එම පිරිසගේ අරමුණයි.

යාපන විශ්ව විද්‍යාලය දැන් හමුදාකරණයක් වෙලා තියෙන්නේ. විශ්ව විද්‍යාල ඉදිරිපිට මුරපොළවල් දාලා සෝදිසි කටයුතුවලද හමුදාව නිරතවී සිටිනවා. යාපනය විශ්ව විද්‍යාලය තුළට බලහත්කාරයෙන් ඇතුළු වීම, ප‍්‍රහාර එල්ල කිරීම, ශිෂ්‍යයන් අත්අඩංගුවට ගැනීම නවතා දමන ලෙස අපි බලකර සිටිනවා. මීට පෙර යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වෙත හමුදාව විසින් එල්ල කළ ප‍්‍රචණ්ඩත්වයන් පිළිබද කරුණු ඇතුළත් කර වහාම අත්අඩංගුවට පත් සිටින ශිෂ්‍යයන් නිදහස් කරන ලෙසත්, විශ්ව විද්‍යාල කටයුතු වල හමුදාව මැදිහත් නොවන ලෙසත් ඉල්ලමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලෙ වෙත ලිපියක් ද ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම අත්අඩංගුවට පත්වි සිටින ශිෂ්‍යයන් නිදහස් කරන ලෙස ඉල්ලා 10 වනදා කිලිනොච්චියේදී උද්ඝෝෂණයක් පැවැත්වීටද තීරණය කර තිබෙනවා.’’

මාධ්‍යවේදී එන්.විද්‍යාධරන්:

‘‘තමන්ගේ හැඟීම් ප‍්‍රකාශ කිරීමට ශිෂ්‍යයන්ට අයිතියක් තියෙනවා. ශිෂ්‍යයන් තමන් අධ්‍යාපන දරන විශ්ව විද්‍යාලය ඇතුළේ තමන්ගේ හැඟීම් ප‍්‍රකාශ කර තිබෙනවා. හමුදාව විශ්ව විද්‍යාල පරිපාලනයට ද නොදන්වා ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම් කැඞීම කටයුතු කිරීම හෙළා දකිනවා.
යුද්ධය නිමා වී ප‍්‍රතිසමාදානය ඇති විය යුතු එම අවස්ථාවේ දෙමළ ජනතාව වෙත හමුදාව දිගටම ප‍්‍රහාර එල්ල කරනවා. රජය තමන්ගේ අරමුණ හමුදාව ඔස්සේ ඉටු කරගන්නවා. මෙය යහපත් අනාගතයට සුදුසු නොවේ. දැන් යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් කවුරුත් නැහැ. එම පිරිස විශ්ව විද්‍යාලයට පැමිණීමට බියෙන් සිටින්නේ. විශ්ව විද්‍යාලය අවට හමුදාව, පොලිසිය, බුද්ධි අංශය සැරිසරනවා. දකුණේ සිංහල ශිෂයන්ද විශ්ව විද්‍යාලයෙන් පිටත් වෙනවා. පහන් දැල්වීම දෙමළ ජනතාවගේ සංස්කෘතික අයිතිවාසිකමක්. මියගිය පිරිස සිහි කිරීම සඳහා දෙමළ ජනතාව පහන් දල්වනවා. මියගිය අය ත‍්‍රස්තවාදීන් වූවත් එම පිරිස ඥාතීන්, සමීපයන් ලෙස සිහි කරමින් පහන දැල්වීමේ වරදක් තිබෙනවාද? දින 365 ම වූවත් පහන් දල්වන්න පුළුවන්. පහන් දැල්වීම මේ රටේ අපරාධයක් ද? කුමන නීතිය යටතේද පහන දැල්වීම අපරාධයක් වශයෙන් සලකන්නේ?’’