end of the War, Featured Articles, Features, Jaffna, Peace and Conflict, Politics and Governance

සංහිඳියා විහිළුව

Jaffna Army and Pepole
පලමු කථාව

2012 අගෝස්තු මස 21 වැනිදා, සවස 2.31 ට, 32 හැවිරිදි වව්නියාවේ පදිංචි වසන්තමාලා සිය ඥාති සොහොයුරිකට එස්එම්එස් පණිඩුඩයක් එවා තිබුණි. එම පණිවුඩයෙන් දැක්වුනේ තමන්ව වව්නියාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පිරිසක් විසින් පැහැරගෙන යන බවයි. ඉන්පසු එදින රාත‍්‍රී 8.00 පමණ ඇයගෙන් දුරකතන පණිවුඩයක් ලැබී ඇති අතර ඇය පවසා සිටියේ තමන් හොදින් බවයි. ඉන්පසුව ඇයගේ දෙමාපියන් එම දුරකථනය ඇමතීමට උත්සහ කලද එය සාර්ථක වී නැත.

මෙම සිදුවීමෙන් පසු ඇයගේ පියා මේ සම්බන්ධයෙන් වව්නියාව පොලීසියේ පැමිණිල්ලක් දැමීමට ගියත් වව්නියාව පොලීසිය විසින් එම පැමිණිල්ල බාරගත්තේ නැත. වව්නියාව පොලීසියේ නිළධාරීන් වසන්තමාලාගේ පියාට පවසා ඇත්තේ ඇය කවුරුන් හෝ පිරිමියෙකු සමග යන්න ඇති බවයි. නැවත වරක් එම පියා පොලීසියට ගොස් පොලිස් නිළධාරීන් ඉදිරියේ බැගෑපත්වීමෙන් පසු ඔහුගේ පැමිණිල්ල පොලීසිය විසින් බාරගෙන ඇත.

වසන්තමාලා පැහැරගෙන් යාමට කලින් අගෝස්තු19 වැනිදා වව්නියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියාගෙන පැමිණි පුද්ගලයෙක් ඇයගේ මවට පවසා ඇත්තේ යම් ලියකියවිලි සහ ඇය සමග වව්නියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිණෙන ලෙස යි.
ඒ අතර අගෝස්තු 21 වැනිදා ඇය පැහැර ගැනීමට ලක්විය. ඇය විසින් සිය ඥාති සොහොයුරියට එවන ලද කෙටි පණිවුඩයේ දැක්වුනේ ඇයව අපරාධ පරීක්ෂණ නිළධාරීන් පිරිසක් විසින් පැහැරගෙන යමින් සිටින බවයි.

මෙම කථාව ඇයගේ මව අපට හමුවී කියන විටත් අය පැහැරගෙන මාසකට කාලයක් ගතවීමට ආසන්න වී තිබුණි.

දෙවැනි කතාව

2012 නොවැම්බර් 22, අලූයම 2.45ට 34හැවිරිදි සතාසිවම් ලෝකේෂවරම්ගේ නිවසේ දොරට තට්ටුකරන ලද පිරිසක් ඔහුට එළියට පැමිණෙන ලෙස කීහ. ඔහු එළියට පැමිණි පසුව පැමිණි පිරිස ඔහුව රැගෙන ගිය අතර තවමත් ඔහු සම්බන්ධයෙන් තොරතුරක් නොමැත.

ලෝකේෂවරම් දෙමළ ජාතික සන්ධානයේ තරුණ සංවිධානයේ ආධාරකරුවකු වන අතර ඔහු පැහැර ගැනීමට ලක්වීමට දින දෙකකට පෙර EPDP සංවිධානයේ සාමාජිකයෙකු විසින් තර්ජනය කර තිබුණි. EPDP සංවිධානය රාජපක්ෂ රජයේ හවුල්කාර පක්ෂයකි.

තෙවැනි කථාව

නොවැම්බර් 30 වැනිදා අලූයම 1 ට යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් වන දර්ශාණන් පරමලිංගම්ගේ නිවසට කෝපායි පොලීසිය යැයි කියා පැමිණි පිරිසක් දර්ශානන් බලහත්කාරයෙන්ම රැගෙන ගියහ. ඔහුගේ මව පවසා සිටින පරිදි දර්ශාණන් අත්අඩංගුවට ගැනීමට පැමිණි පිරිස සිවිල් ඇඳුමින් සැරසී සිටි අතර අත්අඩංගුවට ගැනීමට අදාළව කිසිදු ලියකියවිල්ලක් ඉදිරිපත් කලේ නැත. ඒ අනුව එය පැහැර ගැනීමකි.
දෙසැම්බර් පළමු වැනිදා උදෑසන කෝපායි පොලීසියෙන් ඔහුගේ ඥාතීන් විමසන විට කෝපායි පොලීසිය කියා සිටියේ ඔවුන් එවැනි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තේ නොමැති බවයි.

ඔවුන් පැහැරගෙන පැය32 කටත් අධික කාලයක් ගතවූ පසු හදිසියේම පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකයා පවසා සිටියේ දර්ශාණන් ඇතුලූ අත්අඩංගුවට ගත් සිසුන් 4 දෙනා ත‍්‍රස්ත විමර්ෂණ ඒකකය මගින් රදවාගෙන සිටින බවයි.

අවම තරමින් තමන්ගේ දරුවන් සිටින්නේ කොතැනකද යන්න පවා නොපැවසීමට තරම් ශ‍්‍රී ලංකා ආරක්ෂක අංශ ආඩම්බර වී තිබුණි. මේවන විට සිසුන් 3 කු හට ත‍්‍රස්ත මර්ධන පනත යටතේ ආරක්ෂක ලේකම්වරයා විසින් රැඳවුම් නියෝග නිකුත්කර තිබේ.

හොලිවුඞ් සිනාම පට නොවේ

හොලිවුඞ් සිනමා පටවල එන ඇග කිළිපොලා යන අන්දමේ මේ කතා සියල්ල උතුරේ මේ නිශ්චිත මොහොතේ සිදුවෙමින් පවතින සහ දෙමළ ජනයා මුහුණ දෙමින් සිටින කටුක යථාර්තයයි. මේ සිදුවීම් ඛේදාන්තයන් අතුරින් මේ සිදුවීම් කිහිපයක් පමණි.

උතුරේ සාමාන්‍ය ජනයා මුහුණ දෙන තත්ත්වය මෙය වුවත් මෙසේ වූවත් දෙමළ ජනතාව සම්බන්ධ දකුණේ රාජපක්ෂ රජයේ මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වල මාතෘකාව ප‍්‍රතිසංහිඳියාව ආදී මාතෘකායි.

මේ සියල්ල දෙස බලා සිටින මාගේ මිත‍්‍රයන් දැන් අලූත් ප‍්‍රස්ථා පිරුලක් සාදාගෙන තිබේ. ශ‍්‍රී ලංකාවේ සංහිදියාව වගේ.

ලංකා රාජ්‍යයේ සංහිදියාව කොතෙක්ද යත් තවමත් දෙමළ ජනයා නොනැවතී අතුරුදහන් වෙයි. මෑතකදී ගවුඞ්ස්වීව් වෙබ් අඩවියේ විසින් ප‍්‍රසිද්ධකරන ලද වාර්තාවක දැක්වුනේ දිනකට 5 ලංකාව තුළ අතුරුදහන් වන බවයි.

වර්ග කිලෝමීටර් 18880 0 ක්වූ දෙමළ ජනයා ජීවත්වූ ප‍්‍රදේශයෙන් 2009 වර්ෂයේ මැයි මාසයෙන් පසු වර්ග කිලෝමීටර් 7000 පමණ රජයේ හමුදා විසින් බලහත් කාරයෙන් අත්පත් කරගෙන සිටිතී.

මෑතකදී ඉකොනොමික්ස් සහ පොලිටිකල් වීක්ස් සගරාව පෙන්වා දුන්නේ සමස්ථ හමුදා සේනාංකයන්ගේ 75% ස්ථාන ගත කර ඇත්තේ උතුරේ බවයි. උතුරේ රඳවා ඇති හමුදා ඝණත්වය සෑම පුද්ගලයන් 8 දෙනෙකුටම එක් අයෙකි.

උතුරේ පල්ලි සහ කෝවිල් පැවැත්වෙන් සෑම උත්සවයක්ම එම ප‍්‍රදේශයේ හමුදා කඳවුරට දැන්විය යුතු අතර එම උත්සව සියල්ල සිදුවන්නේ හමුදා බුද්ධි අංශ නීරීක්ෂණයන් යටතේය.

දකුණේදී ඉල්මහ විරුවන් සැමරිය හැකි වූවද උතුරේදී මහ විරුවන් සැමරීමට නොහැකිය. මෙවර මහවිරු දිනය යෙදී තිබූ නොවැම්බර් 27 වැනිදා ම දෙමළ ජනයාගේ සාම්ප‍්‍රධායික ආගමික් දිනයක් වන කාර්තිකයි දීපම් දිනය යෙදී තිබුණද එදිනට පහන් දල්වමින් එම වතාවත් සිදුකිරීමේ අවම ආගමික නිදහසවත් උතුරේ ජනයාට ලැබී තිබුණේ නැත.

සංහිඳියා මාධ්‍ය සංදර්ශණ

රාජපක්ෂ රජය දෙමළ ජනතාව සමග සංහිදියාව පෙන්වීමට උත්සහ දරන්නේ මාධ්‍ය ඔස්සේය. දෙමළ ජාතික විමුක්ති අරගලයට සම්බන්ධව සිටි තරුණයකු තවත් සිංහල තරුණියක අතිනත ගැනීම එසේත් නැතිනම් විමුක්ති කොටි සංවිධානයේ හිටපු ක‍්‍රියාකාරීන් කොළඹට ගෙන්වා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ ලස්සන කොළඹ පෙන්වීම එසේත් නැතිනම් ඔවුන්ව හා හමුදා සාමාජිකයන් අතර ප‍්‍රදර්ශණාත්මක ක‍්‍රිකට් තරග පැවැත්වීම මගිනි. මේ සියලූ තැන්හිදී රජයේ මාධ්‍ය කැමරා පිරිවර ඔවුන් පසුපස ගොස් ශ‍්‍රී ලංකා රජය දෙමළ ජනයා සමග සංහිදියාව ගොඩ නගන අයුරු පෙන්වයි.

ඕමන්තෙන් එපිට එළිමහන් සිරකඳවුර

ඒ -9 මාර්ගය ඔවුන්ගේ සන්දර්ශණයේ මාවතයි. කාපට් කළ මංමාවත්, අලූතින් ගොඩනැගිලි වලට එපිටින් ඇති දෙමළ ජනයාගේ ජීවිතය තවමත් අංශුමාතික වෙනස් දැනී නොමැත. නැවත පදිංචි කිරීම් යනු එක් කඳවුරක සිට තවත් කඳවුරකට මාරු කිරීමකි. මේ නිශ්චිත මොහොතේදී උතුර යනු සම්පූර්ණයෙන්ම එළිමහන් සිරකඳවුරකි.

මෑතකදී පුදුකුඩිඉරිප්පු සහ මුල්ලිවෛයිකාල් ප‍්‍රදේශයේ පදිංචිකළ සියලූ ජනයාගේ නිවෙස් ජීපීඑස් තාක්ෂණය යොදාගනිමින් ආරක්ෂ අංශ විසින් සිතියම් ගතකර සිටිත. වරක් මන්නාරම් ප‍්‍රදේශය බාර හමුදා නිළධාරියෙකු පැවසූයේ තමන්ගේ බලප‍්‍රදේශයේ ඉන්නා දෙමළ ජනයා දවල්ට ආහාර වශයෙන් ගන්නේ කුමක්ද කියාත් ඔවුන් දන්නා බවයි. ඒ තරමට දෙමළ ජනජීවිතය හමුදාකරණය මගින් ගිලගෙන ඇත.

කේන්ද්‍රීය ප‍්‍රශ්ණ මගහැර වටේ යාම

සංහිඳියා නැතිනම් ප‍්‍රතිසංධාන යන වචන දෙමළ ජනයාගේ අර්ථයෙන් විහිළුවක් බවට පත්වන්නේ මෙවැනි වටපිටාවක් තුළය. තවමත් දෙමළ ජනයාට අවංක ලෙස සංහිඳියාවේ දෑත් දිගුකරන්නට දකුණේ මේ වකවානුවේ ක‍්‍රියාත්ම කිසිදු දේශපාලන කණ්ඩායමක් සමත්වී නොමැත.

විශේෂයෙන්ම වාමාංශිකයන් කියා ගත් කණ්ඩායම් පවා දෙමළ ජනයා විශයෙහි හැසිරෙන්නේ ඔවුන්ගේ කේන්ද්‍රීය ප‍්‍රශ්ණය වන දේශපාලන නිදහස මගහරිමින් පරිපාලනමය ගැටලූ වටාය. දෙමළ ජනයාගේ ස්වයං තීරණ අයිතිය පිළිගැනීමට මැලිවන දේශපාලන කණ්ඩායම් සම අයිතිය වැනි මාතෘකා යොදමින් දෙමළ ජනයාගේ කේන්ද්‍රීය ප‍්‍රශ්ණ මගහරිමින් දෙමළ ජනයාගේ ගැටළුව පරිපාලනමය ගැටළුවකට විතැන් කිරීමට උත්සහ දරන්නේ දේශපාලනයේ අවස්ථාවාදීත්වය පෙන්නුම් කරමිනි.

පවතින ධනේෂ්වර ක‍්‍රමයට දෙමළ ජනයාගේ ගැටළුවට විසඳුමක් දෙන්නට නොහැකි වුවත් මෙම ක‍්‍රමය වෙනස් කරන තෙක් දෙමළ ජනයා සිය ජීවිතයෙන් වන්දිගෙවිය යුතු නැත.

-රාමසාමි මාලන්-
[Photo Credit:www.jdslanka.org]