end of the War, Featured Articles, Features, Jaffna

සිසුවියන් තිදෙනෙකුට සිතාසි නිකුත් කර තිබියදී, තවත් යාපන සරසවි සිසුවියක ගෙල මිරිකා මරා දමා ඇති බවට සැකයක්.

cage ok
පසුගිය දෙසැම්බර් 14 දින, යාපනය සරසවි සිසුවියක චුන්නාකම්හි සිය නිවස තුළ ගෙල මිරිකා මරාදමා තිබී සොයාගත් බවත්, ඊට හේතුව තව ම අභිරහසක් බවත් යාපනයෙන් වාර්තා වේ. මේ අතර, යාපන පොලීසියට වහා ම වාර්තා කරන ලෙස දන්වමින් ත‍්‍රස්ත විමර්ශන ඒකකය(TID) වෙනත් සිසුවියන් තිදෙනකුට සිතාසි යවා තිබුණි. මේ සියලූ බිහිසුනු සිදුවීම් සිදුවන්නේ යුද්ධයෙන් වැනසුණු යාපන අර්ධද්වීපය තුළ ආතතිය සහ භීතිය වර්ධනය කරමින් පවතින තත්වයක් තුළ ය.

යාපනයෙන් ලැබෙන මූලාශ‍්‍රවලට අනුව, ලලිත කලා පීඨයේ ඉගෙනුම ලැබූ 21 හැවිරිදි සිසුවිය නඩරාසා කියානි ලෙස හඳුනාගෙන ඇති අතර, චුන්නාකම්, කන්දරොඩෙයිහි, අයිනාර් පාරේ පිහිටි සිය නිවසෙහි ඇය මිය ගොස් සිටියේ ඇඳ ඇතිරිල්ල තදින් ගෙල වටා එතීමෙන් බවත් වැඩිදුරටත් එම වාර්තා පවසයි. ඇගේ දෙමාපියන් ඒ බව දැනගත්තේ, බඩු ගෙන ඒම සඳහා යාපනයට උතුරින් පිහිටි චුන්නාකම් නගරයට ගොස් ආපසු පැමිණි විට ය.

තමන් නිවසින් යන විට ඇය සිය මේසයෙහි පාඩම් වැඩ කරමින් සිටි බව දෙමාපියන් කියා ඇත.

නමුත් යාපනයෙන් ලැබුණු අලූත්ම වාර්තාවකින් කියැවෙන ආකාරයට, මියගිය සිසුවියගේ මරණ පරීක්ෂණ වාර්තාවෙන් ප‍්‍රකාශ වන්නේ ඇය මිය ගොස් ඇත්තේ හදිසි හෘදයාබාධයකින් බව යි.

තවත් සිසුවියන්ට සිතාසි නිකුත් කෙරේ.

මේ අතර, ශ‍්‍රී ලංකා පොලීසියේ රුදුරු ත‍්‍රස්ත විමර්ශන ඒකකය එම සතියේම සන්ධ්‍යාවේ කාන්තා නේවාසිකාගාර ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු යාපන සරසවි සිසුවියන් තිදෙනකුට වහා ම යාපන පොලිස් ස්ථානයට වාර්තා කරන ලෙස සිතාසි නිකුත් කර ඇත.මෙම සිසුවියන් තිදෙනා පිළිබදව කිසිදු තොරතුරක් මේ වන විට තව ම දැනගන්නට නැත.

සිසුවියන් තිදෙනාට සිතාසි නිකුත් කරන ලද්දේ, පොලීසිය සහ හමුදාව සරසවි සිසුන් බොහෝ දෙනකුගේ නිවෙස්වලට, පෞද්ගලික නේවාසික ස්ථානවලට ගොස් ඔවුන් කරන කියන දෑ සහ අනෙකුත් සිසුන් පිළිබඳව සොයා බලමින් සිටින බවට වාර්තා වෙමින් පැවති තත්වය තුළ ය.

‘සරසවි පරිපාලනයට දැනුම් දී නැහැ’

මේ අතර පොලිස් කණ්ඩායමක් මුලතිව්හි පිහිටි සරසවි සිසුවකුගේ නිවසට ගොස් පරීක්ෂණයක් පවත්වා ඇත. මේ සඳහා පූර්ව අවසරයක් ලබාගෙන හෝ සරසවි පරිපාලනය දැනුවත් කර හෝ නොතිබිණ. සිසුන් කී දෙනකුට සිතාසි යවා තිබෙනවා ද, නැත්නම් අවශ්‍ය කරන අයගේ ලැයිස්තුවට සිසුන් කී දෙනකු ඇතුළත් වනවා ද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරක් නොදන්නා බව මේ පිළිබදව අදහස් දැක්වූ සරසවි ආචාරයවරයෙක් පැවසුවේ, ”පොලීසිය සරසවි පරිපාලනයට දැනුම් නොදී කෙළින් ම සිසුන්ට සිතාසි නිකුත් කරන්න, ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරන්න පටන් අරගෙන.අපේ සිසුන් හතර දෙනෙක් වැලිකන්ද හමුදා රැඳවුම් කඳවුරේ රඳවාගෙන සිටි නිසා සිසුන්ට කෙළින් ම සිතාසි නිකුත් කළ බවට ලැබෙන වාර්තා පිළිබඳව බැරෑරුම් සැලකිල්ලක් දැක්විය යුතු යි. මේ ටීඅයිඞීයෙන් සිසුවියන්ට සිතාසි නිකුත් කරපු පළමු වතාව. පොලීසියේ ක‍්‍රියාව මගින් සරසවි පරිපාලනය නිකම් ම නිකම් රූකඩයක් බවට පත් වෙලා,”

කන්දාර්මඩම්හි පදිංචි වෛද්‍ය සිසු දර්ශනාන්ද්(24), පුදුකුඩිඉරිප්පුවේ පදිංචි කලා පීඨ සිසු සංගම් සභාපති කනකසුන්දරස්වාමි ජෙනමිජෙයන්(24) සහ යාපනයේ පදිංචි විද්‍යා පීඨ සිසු සංගම් සාමාජික ෂන්මුගම් සොලමන්(24) ද, ඒ සමග සිසු සංගම් නායක වී. භවානන්දන් ද, දෙසැම්බර් 29 සහ 30 දිනවල යාපනයේ පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදහ. පසුව එහි ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් ඔවුන් වවුනියාවට රැගෙන යන ලදහ.

අඛණ්ඩව විරෝධතාවයන්

අති දරුණු ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුහු දැන් වැලිකන්ද හමුදා රැඳවුම් කඳවුරේ රඳවා ගෙන සිටිති. දෙමව්පියන්ට සහ ඉහළ පෙළේ සරසවි ඇදුරන් තිදෙනෙකුට බදාදා පැය දෙකකට වැලිකන්දට ගොස් සිසුන් බැලීමට අවසර ලැබිණ. තම සිසු සගයන් කඩිනමින් නිදහස් කරන ලෙස ඉල්ලමින් මේ වන විට යාපන සරසවි සිසුවෝ සති දෙකක් පුරා තම අධ්‍යයන කටයුතු වර්ජනය කර සිටිති.