සිංහල, Colombo, Culture

කාලෝ ෆොන්සේකා ඊසොප් නොවන්නේ කෙසේද යත්..

ඊසොප් වහලෙකි. උපදේශ කතාකාරයෙකි. හැම කතාවකදීම ඔහු ස්වාමියාට වඩා බුද්ධිමත් ය. බරසාර ය. ඒ හේතුව නිසාම, ස්වාමියා විසින් ඔහුව වහල් භාවයෙන් නිදහස් කරන ලදි. එය සිදුවුණේ මෙලෙස ලූ:

මේ ස්වාමියා දවසක් කටගොන්නක් බීගෙන, මුළු සාගරයම වුවත් තමාට පානය කොට අවසන් කළ හැකි බවට කයිවාරු ගැසීය. යම් හෙයකින් තමා ඊට අපොහොසත් වුණොත්, තමාගේ සියළු සේසත ජනයාට දන්දෙන බවටත් ඔහු සපථ කෙළේය. පසු දා උදේ වෙරි සිඳුනු පසු, තමාගේ අභියෝගයේ භයානක කම තේරුම්ගත් ස්වාමියා, කරකියාගත හැකි දෙයක් නැතිව, ඊසොප්ගෙන් උපදෙස් පැතීය. ‘බිය නොවන්න ස්වාමීනි’ යි කියමින් හාම්පුතාව අස්වාසාලූ ඊසොප්, පසු දා උදේ මුහුදු වෙරළේ රැුස්ව සිටි මහජනතාව අතරට ගොස්, තම හාම්පුතා සාගරය පානය කොට අවසන් කිරීමට සූදානම් බව දන්වා සිටියේය. එහෙත්, ඊට කලින් පිළිපැදිය යුතු කොන්දේසියක් තිබේ. එනම්, සාගරයට අයත් නැති, එහෙත් සාගරයට ගලන හැම ගංගා ඇලදොලක්ම ඊට කලින් නතර කළ යුතුව ඇත්තේය. ජනතාව ඒ වගකීම ඉටු කළ සැණින් තම හාම්පුතා විත් සාගරය හිස් කරනු ඇතැ යි ඔහු දැනුම් දුන්නේය.

මීට දශක හතරකට පෙර කාලෝ ෆොන්සේකා, දෙවියන්ට අභියෝග කරමින් ගිනි පෑගීමේ සංදර්ශනයේ පෙරමුණේ සිටින විට අපේ වීරයා ඔහු විය. උඩක සිට පහළට අතහරින වස්තුවක බර අනුව එය පහළට එන වේගය තීරණය නොවන බව තර්කානුකූලව ඔහු පහදා දෙන විට අපි ඔහුගේ භක්තිවන්ත ශ‍්‍රාවකයෝ වීමු. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ කවි සංකල්පනා සිංහලට පරිවර්තනය කොට, ‘විමුක්ති බණ’ නමින් ඔහු දේශපාලන වේදිකාවේ රසවත්ව ගායනා කරන විට අපි වසඟ වීමු. ආගම පිළිබඳ ඔහුගේ සබුද්ධිමත් චින්තා අප වැනි හේතුවාදීන්ට එදා ආශ්වාදයක්ම විය.

එසේ තිබිය දී, කාලෝ ෆොන්සේකා වේදිකාවෙන් බැස යා යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙර ය. පුද්ගල ශ්‍රේෂ්ඨත්වයක් මරණ මංචකය දක්වා දෛනිකව නඩත්තු කරගත යුතු බවට ගලේ කෙටූ නියමයක් නැත. විශේෂයෙන්, එහි ප‍්‍රතිඅන්තයට වැටීමේ අංශුමාත‍්‍ර හෝ අවදානමක් ඇතොත් කළ යුත්තේ හැකි ඉක්මණින් සමුගැනීමයි. එඞ්වඞ් සයිඞ් නැමැති අපේ කාලයේ ධීමතකුගේ වචනයෙන් කියන්නේ නම්, ප‍්‍රාඥයා ‘‘සමාජයෙන් ඉද්දර සිටින පිටස්තරයෙකු විය යුතුය.’’ හෙවත්, දේශපාලනික ආයතනිකත්වයට බැහැරින් සිටින ස්වයං=විප‍්‍රවාසියෙකු විය යුතුය.

ආගම පිළිබඳ කාලෝ ෆොන්සේකාගේ රැුඩිකල් මතිමතාන්තර පසු ගිය කාලය තිස්සේ විටින් විට, විවිධ අවසරයන් යටතේ ‘සංශෝධනවාදී’ වන විට, ඒබ‍්‍රහම් ටී. කොවූර්ගේ කාලය සමග කාලෝ ෆොන්සේකාගේ වර්තමානය සසඳන්නට අපට පෙළඹැවීමක් ඇතිවුණි. සමාජයක සාමූහික මෝහය බිහිසුණු බලවේගයක් වශයෙන් හිස ඔසවද්දී ඊට එරෙහිව පෙනී සිටීම, නිද්‍රාගත සහ නෝන්ජල් සමාජ මෝහයක් අභියෝගයට ලක්කිරීම සඳහා ගිනි පෑගීමට වඩා දිරියක් සහ අවංකත්වයක් අවශ්‍ය කරන්නකි. එම පරීක්ෂණයට මුහුණදීමට කොවූර් වැනි ශ්‍රේෂ්ඨයෙකු නැති සමාජයක කාලෝ ෆොන්සේකා අසමත් වන බව වටින්ගොඩින් හෙලි වන විට අප තුළ ඇති වුණේ කණගාටුවකි.

කාලෝ ෆොන්සේකා ද, ඊසොප් මෙන් දැන් උපදේශ කතා ශානරයට අතගසා ඇත. පසු ගිය දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙඞ් අඩවියට අධිකරණයේ ප‍්‍රශ්නය ගැන ලියන ඔහු, සුපුරුදු වෛද්‍ය විද්‍යානුකුල සාදෘෂ්‍යයකින් ඊට ප‍්‍රවිෂ්ඨ වෙයි. එය සැකෙවින් මෙසේය: ප‍්‍රතිකාර මාදිලියක්, සාමාන්‍යයෙන් පුද්ගල බද්ධ ය: එනම්, පුද්ගල අගතියට හසු විය හැකි ය. වෛද්‍යවරයාගේ සහ රෝගියාගේ පෞරුෂත්වය, ආකල්ප, විශ්වාස සහ මනෝභාවය ද, වෛද්‍යවරයා රෝගියාට කියා ඇති දේවල් සහ වෛද්‍යවරුන් පිළිබඳව රෝගියා තුළ ඇති පූර්වගාමී දැනුම ද, රෝගියා අතීතයේ ලබා ඇති ප‍්‍රතිඵල සහ ඒ අනුසාරයෙන් මත්තට අපේක්ෂා කළ හැකි ප‍්‍රතිඵල ආදිය ද ඉන් සමහරක් බව ඔහු පෙන්වා දෙයි. මේ කියන කිසි අගතියකට යටත් නොවී යම් ඖෂධයක නිසග කාර්යක්ෂමතාව මැන බැලීම සඳහා යොදාගන්නා ක‍්‍රමවේදය ඔහු හඳුන්වන්නේ, ‘‘සසම්භාවී, ප්ලැසිබෝ=පාලිත, ද්විත්වාන්ධ සායනික පරීක්ෂණය’’ යනුවෙනි.

(පැහැදිළි කිරීමක්: ‘සසම්භාවී’ යන්නෙන් අදහස් වන්නේ ‘එහෙන් මෙහෙන්’ වැනි අදහසකි. එනම්, කල්තියා පිළියෙල කරගත් නියමයකින් තොරව යන්නයි. උදාහරණයක් වශයෙන්, යම් පරීක්ෂණයකට භාජනය කිරීම සඳහා මිනිසුන් දහදෙනෙකු අවශ්‍ය කරයි නම්, ඔවුන් කවුරුන්දැ යි පරීක්ෂකයා කල්තියා නොදැන සිටිය යුතුය. තෝරාගැනීම කළ යුත්තේ අහම්බ නියාමය මතයි. ‘ප්ලැසිබෝ’ යනු, නිශ්චිත බෙහෙතකින් තොරව, වෙනත් හේතුන් නිසා, රෝගයක් ඉබේ සුව වීමට ඇති ඉඩකඩ යි. ‘ද්විත්වාන්ධ’ යනු, දෙවරක් අන්ධ යන්නයි. එනම්, වෛද්‍යවරයා සහ රෝගියා යන දෙන්නාම, දෙන ලද ඖෂධය පිළිබඳ පූර්ව දැනුමෙන් ‘අන්ධයන්’ විය යුතු බවයි. එනම්, ‘‘කලිනුත් ඔය වගේ බෙහෙතක් ගත්තා, ඒත් හරි ගියේ නැහැ’’ වැනි අදහසක් නොතිබිය යුතුය. මේ සියල්ල අවශ්‍ය කරන්නේ, අර කියන ඖෂධය තුළ ඇති සැබෑ කාර්යක්ෂමතාව, වෙනත් බලපෑම්වලින් තොරව, විශේෂයෙන් වෛද්‍යවරයාගේ සහ රෝගියාගේ අතීත අත්දැකීම් හෝ මනෝභාවයන්ගේ බලපෑම්වලින් තොරව, නිර්ණය කර ගැනීම සඳහාය)

වර්තමාන අධිකරණයේ ප‍්‍රශ්නයට ඔහු දැන් පුරුද්දන්නේ මේ කියන ඖෂධීය සාදෘෂ්‍යයයි. කාර්යක්ෂමතාව තිතට තිබිය යුතු, පරීක්ෂණයට ලක්කෙරෙන ඉහත සඳහන් ඖෂධය වනාහී, යුක්තිය යි. එය අගතියෙන් තොරවීම සඳහා, අගවිනිසුරුවරියගේ සැමියාගේ නඩුව අසා අහවර වනතෙක්, අගවිනිසුරුවරිය සිය ධුරයෙන් නිවාඩු ගත යුතු බවට, කාලෝ ෆොන්සේකා ඇයට ‘උපදෙස්’ දෙයි.

මේ සාදෘෂ්‍යයේ වෛද්‍යවරයා කවුද, රෝගියා කවුද? ඊට දෙයාකාරයක පිළිතුරක් තිබේ. පළමුවැන්නට අනුව, දෝෂාභියෝගය සම්බන්ධයෙන් වෛද්‍යවරයා වන්නේ, ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂයයි. මන්ද යත්, බෙහෙත දෙන්නේ ඔවුන් බැවිනි. රෝගියා වන්නේ ශිරානී බණ්ඩාරනායකයි. ඒ අර්ථයෙන්, දෙපාර්ශ්වයම ‘අන්ධ’ නැත. තමන් දීමට යන බෙහෙත කුමක් දැ යි වෛද්‍යවරයා දනී. තමන්ට ගිල්ලන්ට යන බෙහෙත කුමක් දැ යි රෝගියාත් දනී.

දෙවැන්නට අනුව, දෝෂාභියෝගයේ එක චෝදනාවක් සම්බන්ධයෙන්, එනම්, කාලෝ ෆොන්සේකා මහත් ලෝලයෙන් එල්ලෙන චෝදනාව සම්බන්ධයෙන්, අගවිනිසුරුවරියගේ සැමියාගේ නඩුව රෝගියා වන අතර, වෛද්‍යවරයා වන්නේ අගවිනිසුරුවරියයි. සියළු අගතීන්ගෙන් තොරව යුක්තිය පසිඳලිය යුතු නිසා, අගවිනිසුරුවරිය විනිශ්චයාසනයෙන් බැස ගෙදර සිටිය යුතු බව උගත් මහාචාර්යවරයා කියා සිටින්නේ මේ දෙවැනි කාරණය සම්බන්ධයෙනි.

දැන් බුද්ධිමත් පාඨකයා තුළ ප‍්‍රශ්නාවලියක් මතුවිය හැකිය. යුක්තිය පරීක්ෂාවට ලක්කිරීමේ සමස්ත ප‍්‍රශ්නයම මතුවන්නේ, දෝෂාභියෝගය මගිනි. මුලින්ම දෙන ලද ‘බෙහෙත’ එයයි. සිදුවීම් වශයෙන් සඳහන් කළොත්, දිවිනැගුම තීන්දුව, අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට පහර දීම, වෛරී ප‍්‍රචාරණය, හිස් කඩදාසියක 117 දෙනෙකු අත්සන් තැබීම, කැකිල්ලේ නඩු විභාගය සහ පැය විසිහතරේ තීන්දුව, ඒ කියන ‘බෙහෙත’ තුළ තිබූ පුද්ගල පක්ෂපාතීත්වයන් සහ අගතීන් ය. එතැන, ‘සසම්භාවී’ බවක්වත්, ‘ප්ලැසිබෝ=පාලනයක්වත්’, ‘ද්විත්වාන්ධ’ බවක්වත් තිබුණේ නැත. මේ දක්වා ඒ පිළිබඳ කිසි විවේචනයක් උගත් මහාචාර්යවරයාගේ කටින් පිටවෙනු අප අසා නැත.

අගවිනිසුරුවරියගේ සැමියාගේ ප‍්‍රශ්නය, ඒ දෝෂාභියෝගය ‘ඔප්පු’ කිරීම සඳහා වෛද්‍යවරයා උපයෝගී කරගන්නා එක් සාධකයක් පමණි. එය පවා අගතිගාමී ය. වරද සිදු වූ අවස්ථාවේ (උගත් මහාචාර්යවරයාගේ දැන ගැනීම සඳහා ජනාධිපතිවරයාගේම වචනයෙන් කියන්නේ නම්* ‘ෂේප්’ කොට, පසු අවස්ථාවක නඩු දැමීම, ‘සසම්භාවී’ වන්නේ කෙසේද? මහාචාර්යවරයා අගවිනිසුරුවරියගෙන් දැන් ඉල්ලා සිටින්නේ, වරක් ජනාධිපතිවරයා විසින්ම එසේ ‘ෂේප්’ කරන ලද ඒ ‘අවශේෂ සාධකය’ පිළිබඳව අගතියෙන් තොරව යුක්තිය පසිඳලීම සඳහා ඇය ගෙදර සිටිය යුතු බවයි.

යුක්තිය, සියලූ පක්ෂපාතීත්වයන්ගෙන් විනිර්මුක්ත විය යුතු බවට මහාචාර්යවරයා ගෙනෙන කුතර්කය සහ ඒ අනුව යෝජනා කරන විසඳුම, ඉහත සඳහන් සියළු අගතීන් ගැන නොසළකා, අපි මොහොතකට පිළිගමු. එවිට උපන්‍යාස දෙකක් උපදී. එකක් වන්නේ, අගවිනිසුරුවරියගේ සැමියාගේ නඩුව තව අවුරුදු ගානක් ඉදිරියට ඇදුනත් ඒ තාක් කල් ඇයට නඩු ඇසීමට නොහැකි බවයි. එය, විධායකයේ, එනම්, කාලෝ ෆොන්සේකාගේ වර්තමාන හාම්පුතාගේ අභිමතාර්ථය වෙනත් ආකාරයකින් සාධනය කරන්නක් ය. දෙවැනි උපන්‍යාසය වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ ඕනෑම විනිශ්චයකරුවෙකු නඩු ඇසීමෙන් වළක්වා ගෙදර යවා ගැනීමේ අවශ්‍යතාවක් පාලකයාට ඇතොත්, එම විනිසුරුවරයාගේ/වරියගේ ඥාතියෙකුට එරෙහිව මහේස්ත‍්‍රාත් උසාවියක නඩුවක් පැවරීම පමණක් සෑහෙන්නේය. මේ පහසු ක‍්‍රමය යටතේ, දෝෂාභියෝගයක අවශ්‍යතාව ද නැති වන්නේය.

සැමියාගේ නඩුවට සාධාරණයක් ඉටු කිරීම සඳහා බිරිඳව ගෙදර තැබීමෙන් හාම්පුතාගේ (ජනාධිපතිවරයාගේ) අභිලාෂ සාධනය කෙරෙන මහාචාර්යවරයාගේ බෙහෙත් වට්ටෝරුව අපූරුයි නේද? පුද්ගල පක්ෂපාතීත්වය පිළිබඳ අවදානම නොදරන්නැ යි ගජමිතුරු වේශයෙන් අගවිනිසුරුවරියගෙන් ඔහු මෙසේ ඉල්ලා සිටින්නේ, එම පුද්ගල පක්ෂපාතීත්වයෙන්ම තමාව ද ගැටගසා ඇති රජයේ තනතුරු දෙකක්ම දරමින් සිටිය දී වීම මොන තරම් අශීලාචාර ද/

හාම්පුතා වෙනුවෙන් කළ සේවය සඳහා ඊසොප් නැමති වහලා නිදහස දිනාගත්තේය. නූතන හාම්පුතුන් වෙනුවෙන් කඹුරන වහල්ලූ ආත්ම ගෞරවයත් වළලා ගනිති.

Gamine Viyangodaගාමිණී වියන්ගොඩ[Gamini Viyangoda]