සිංහල, Colombo, Democracy, Features, Governance, Media, Politics and Governance

නීතිඥ සංගමයේ ‘මහා පාවා දීම’ සහ අරගලයේ ඉදිරි ගමන !

BASL and MR[Photos Credit: twitter.com/PresRajapaksa]
අතිශය තීරණාත්මක මේ මොහොතේදී කිසිවකු නො සිතූ පරිදි ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය(Bar Association of Sri Lanka& විසින් අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා වූ අරගලය මුඵමනින් ම පවා දෙනු ලැබ තිබේ. ඒ, ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ ය.

මෙම නිර්ලජ්ජිත පාවා දීම සිදු වූයේ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ඇතුඵ නියෝජිත පිරිසක් පසුගිය සදුදා දින (2013/01/14) ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ය.(එම ප්‍රවෘත්තිය මෙයින් නැරඹීය හැකිය.) ජනාධිපතිවරයා සමග නීතිඥ සංගමයේ නියෝජිත පිරිස සිදු කළ සාකච්ඡා අවස්ථාවන් රූපවාහිනි මාධ්‍යයෙන් පැහැදිලිව ම අපට දැක බලා ගැනීමට ද හැකි විණි.

එහිදී නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිස ජනාධිපති ඉදිරියේ හැසිරුණේ කුඩා දරුවකු වරදක් කොට පියා ඉදිරියේ සමාව ඉල්ලා වැඳ වැටෙන ආකාරට ය. පියා ජනාධිපතිවරයා ය. ‘වරදකාර’ දරුවා නීතිඥ සංගමයේ නියෝජිත පිරිස ය. වරදකාර දරුවා, පියාගේ ඉල්ලීමකින් තොරව ම පියා ඉදිරියේ පාපොච්චාරණයක් සිදු කරන්නට විණි. දරුවාගේ පාපොච්චරණයෙන් දක්වා සිටියේ වරද ඇත්තේ තමන් අත නොව වෙනත් ළමයින් කණ්ඩායමක් අත බව ය.(එකී ළමයින් කණ්ඩායම වූයේ පියාගේ ඒකාධිපති පාලනයෙන් අධිකරණය නිදහස් කිරීමේ දැවැන්ත අභියෝගයට මුහුණ දෙමින් සිටින නීතිඥ ප‍්‍රජාව ය.) අවසානයේදී පියා තම දරුවාට සමාව දුන්නේ යළිත් වරක් එවැනි වරදක් නො කිරීමට අනිත් ළමයින් කණ්ඩායම ද දැනුවත් කොට ඔවුන් යහමගට ගැනීමට කටයුතු කරන ලෙස දැඩිව තරවටු කරමිනි. දරුවා ද තම පියාට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා යටහත් පහත්ව හිස නමා අවසානයේදී සතුටින් විසිර ගියේ ය.

මෙය ‘තුට්ටු දෙකේ’ සිනමා පටයක එක් ජවනිකාවක පිටපතක් ලෙස පෙනී ගිය ද සැබැවින් ම නීතිඥ සංගමයේ නියෝජිතයන් ජනාධිපති ඉදිරියේ හැසිරුණේ එලෙසිනි.

දැන් මතු කළ යුතු අනිවාර්ය ප‍්‍රශ්නය වන්නේ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය මේ මොහොතේදී රග දක්වන භූමිකාව කුමක් ද යන්න ය. විධායකය සහ ව්‍යවස්ථාදායකයේ විෂම සන්ධානගත වීමෙන් අධිකරණයේ ස්වාධීනත්වය එළිපිට ම විනාශ කරන මෙවැනි ඛේදනීය අවස්ථාවක නීතිඥ සංගමයේ සභාපති විජයදාස රාජපක්ෂ ඇතුඵ නියෝජිතයන් සමස්ත නීතිඥ ප‍්‍රජාව ම පාවා දුන්නේ කාගේ අවශ්‍යතාව මත ද යන්න පැහැදිලි කර ගත යුතු ය.

මෙම හමුවේදී එක් නීතිඥ නියෝජිතයකු ජනාධිපති ඉදිරියේ ඉතා ම බැගෑපත්ව කරුණු දක්වන්නට වූයේ ජනතාවගේ ද පුඵල් සහභාගිත්වයෙන් නීතිඥ ප‍්‍රජාව ජනවාරි 10 දින සංවිධානය කළ දැවැන්ත විරෝධතා පා ගමන සහ ජනවාරි 11 දින උසාවිවල කලු කොඩි ඔසාවා දෝෂාභියෝගයට එරෙහිව පළ කළ විරෝධතාව නීතිඥ සංගමය විසින් ගනු ලැබූ තීරණයක් මත සිදු කෙරුණක් නොව එය හුදෙක් පෞද්ගලික උවමනාවන් පෙරදැරි කර ගෙන යම්කිසි කණ්ඩායමකගේ අවශ්‍යතාව මත සිදු කෙරුණක් බව ය. එකී ක‍්‍රියාවන්ගෙන් රජය අපහසුතාවයට ලක් වූ බව තමන් පිළිගන්නා බව ද එම නියෝජිතයා කිසිදු හිරිකිතයකින් තොරව ජනාධිපති ඉදිරියේ පාපොච්චාරණය කරන්නට විණි. මෙම නියෝජිතයාගේ කරුණු දැක්වීම සම්බන්ධයෙන් සභාපති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මුනිවත රැක්කේ ඔහු ද ඒ මතය පිළිගන්නා නිසාවෙන් බව නිගමනය කළ හැකි ය. එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් සභාපතිවරයාගේ විරෝධාතවක් පැවැතියේ නම් ඒ අවස්ථාවේදී ම අදාළ නියෝජිතයා නිවැරැුදි කොට ජනාධිපති ඉදිරියේ නිර්භීතව කරුණු කියා පෑමට සභාපතිවරයාට ඉඩ තිබිණි. එහෙත් ඔහු එවැන්නක් කළේ නැත.

අගවිනිසුරුවරියට එරෙහිව ගෙන එනු ලැබූ දෝෂාභියෝගයට විරෝධය පළ කරමින් පසුගියදා කොළඹ පැවැති දැවැන්ත විරෝධතා පා ගමන සහ උසාවිවල කලු කොඩි එසැවීම සංවිධානය කෙරුණේ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ තීරණ අනුව නොවන බව පැහැදිලි සත්‍යයෙකි. සමස්ත නීතිඥ ප‍්‍රජාවගේ ම ශක්තියෙන් ගොඩනැගුණු නීතිඥ එකමුතුවට අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කොන්දේසි විරහිතව අරගල කිරීමට සිදුව ඇත්තේ ද නීතිඥ සංගමය තම වගකීමෙන් කර ඇර සිටින නිසාවෙනි.

ආණ්ඩුවක් ඒකාධිපති වියරුවෙන් උන්මත්තකව හැසිරෙන විට අවම වශයෙන් අධිකරණයේ ස්වාධීනත්වය හෝ හැකි උපරිම මට්ටමෙන් ආරක්ෂා කිරීමේ අත්හැරිය නො හැකි වගකීමක් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය සතු වේ. ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය යනු එසේ මෙසේ එකක් නොව මුලු රටේ ම නීතිඥයන්ගේ සාමාජිකත්වයෙන් සැදුම් ලත් ආයතනයෙකි. එවැනි නීතිඥ සංගමයක මූලික කාර්යභාරය විය යුත්තේ සාමාජික ගාස්තු එකතු කිරීම, වාර්ෂිකව දිනපොත් මුද්‍රණය කිරීම, වාර්ෂික පැදුරු සාද පවැත්වීම හා සාමාජිකයන්ට වාහන බලපත‍්‍ර දීම, සාමාජිකයන්ගේ දුරකථන අංක හා ලිපිනයන් පවත්වා ගෙන යාම යනාදිය නො වේ. නීතිඥ සංගමය යනු හුදෙක් සුබසාධන සංගමයක් නො වේ. රටක නීතිඥ සංගමයක් ක‍්‍රියා කළ යුත්තේ නීතිඥයන්ගේ වෘත්තීමය ගරුත්වය මනාව සුරක්ෂිත කිරීමට මෙන්ම රටේ යුක්තිය හා සාධරණත්වය ඉටු කරන යන්ත‍්‍රණයේ ආරක්ෂයකු ලෙස අවශ්‍ය මොහොතේදී කටයුතු කිරීමට ද වේ.

නීතිඥයන්ගේ වෘත්තීමය ගරුත්වය සුරක්ෂිත කිරීම යනු කුමක් ද? අධිකරණයේ ස්වාධීනත්වයක් නැති රටක කවර නම් වෘත්තීමය ගරුත්වයක් නීතිඥයන්ගෙන් අපේක්ෂා කරන්නේ ද? මෙම දේශපාලන යථාර්ථය තේරුම් ගත යුතු ය. නිවැරැදි දේශපාලන භාවිතයකින් ආණ්ඩුවේ අත්තනෝමතික පාලනයෙන් අධිකරණය මුදවා ගැනීමට ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ක‍්‍රියා කළ යුතු ය. මේ වන විට ඒකාධිපති විධායක ජනාධිපතිවරයා අධිකරණයේ ‘රාජපාක්ෂිකභාවය’ වෙනුවෙන් බොහෝ දේ සිදු කොට ඇත. උන්මත්තක වියරු පාලනයකින් අධිකරණය ඇතු`ඵ සමස්ත සමාජය ම බේරා ගැනීමට නම් ඇතැම් විට ජීවිත පවා පුද කිරීමට සිදු වෙනු ඇත. ජීවිත පුද කිරීම කෙසේ වෙතත් අඩුම තරමේ නීතිඥ ප‍්‍රජාව ඇතු`ඵ සමස්ත ජනතාව ම වීදි බැස්ස විය යුතු ය. ජනතා අරගලයකින් මෙහා දෙයක් දැන් ඉතිරිව නැත. අරගල කිරීම යනු නීති වෘත්තියට අකැප හෝ අගෞරව දෙයක් නොවන වග ද නීතිඥ සංගමය දැඩිව අවධාරණය කර ගත යුතු ය. අරගලයකින් තොරව ලබා ගත් නිදහසක් ද නැත.

එහෙත් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය මේ මොහොතේදී එසේ ක‍්‍රියා කරන්නේ ද ? නැත. කිසිසේත් ම නැත. හුදෙක් දෝෂාභියෝගයට එරෙහිව පසුගිය ජනවාරි 10 සහ 11 වැනි දින අධිකරණ කටයුතුවලින් නීතිඥ ප‍්‍රජාව වැළැකී සිටීමට ගත් තීරණයෙන් පමණක් ආණ්ඩුවේ ඒකාධිපති උන්මත්තක පාලනයෙන් අධිකරණයේ ස්වධීනත්වය සුරක්ෂිත කළ හැකි යැයි නීතිඥ සංගමය සිතා සිටින්නේ නම් එය හාස්‍යයට කරුණෙකි.

නීතිඥ සංගමය තවදුරටත් ඒකාධිපති ජනාධිපතිවරයා විශ්වාස කරමින් සිටිය යුතු නැතැයි අමුතුවෙන් කිව යුතු නැත. ජනවාරි 13 වැනි ඉරිදා දින ජනාධිපතිවරයා විසින් අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ අධිකාරී බලපත‍්‍රයට අස්සන් කරනු ලැබ තිබියදීත් ජනවාරි 14 වැනි සදුදා දින නීතිඥ සංගමයේ අදාළ නියෝජිතයන් ජනාධිපති හමු වී කටයුතු කළ ආකාරය සැක සහිත ය. මෙම හමුවට දින යොදා ගැනුණේ දෝෂාභියෝගය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට පෙරදි විය හැකි ය. එහෙත් ජනවාරි 14 වැනිදා විට නව අගවිනිසුරුවරයකු පත් කිරීමට ද ජනාධිපති නියමයෙන් තීරණය කොට තිබිණි. නීතිඥ සංගමයේ නියෝජිතයන් ජනාධිපති හමුවන්නේ එවැනි පරිසරයක් තුළ ය. එහෙත් ඔවුන් ජනාධිපති හමු වී ප‍්‍රකාශ කළේ කුමක් ද? ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව නව අගවිනිසුරුවරයකු පත් කරන්නේ නම් සමස්ත නීතිඥ ප‍්‍රජාව ම එක් දිනකට – දෙකකට නොව අඛණ්ඩව ම අධිකරණ කටයුතුවලින් ඉවත් වී විරෝධය පළ කිරීමට කටයුතු කරන බවට ජනාධිපති වෙත අනතුරු හැගවීද? නැත. එවැන්නක් සිදු වූයේ නැත. සිදු වූයේ ජනතාවගේ ද සහභාගිත්වයෙන් අරඹා ඇති නීතිඥ ප‍්‍රජාවගේ පුඵල් අරගලය ‘අමු අමුවේ’ ම පාවා දීම ය.

මෙම නීතිඥ සංගමයේ නියෝජිතයන් අතරෙන් කරුණු දැක් වූ බහුතරයක් ජනාධිපතිවරයාගේ ආනුභාවයෙන් රජයේ විවිධ තනතුරු හා වරප‍්‍රසාද විදිමින් සිටින පිරිසෙකි. මෙම තීරණාත්මක මොහොතේදී ආණ්ඩුව ආරක්ෂා කිරීම උදෙසා මෙම අරගලය කොන්දේසි විරහිතව ජනාධිපති ඉදිරියේ පාවා දෙන්නට එකී නීතිඥ නියෝජිතයන් ක‍්‍රියා කළේ එනිසාවෙනි. නීතිඥ සංගමයේ සභාපති ආණ්ඩුවේ තනතුරක් දරන්නේ නැති වුවත් ඔහුගේ හැසිරීම ද සැකයට තුඩු දෙන්නෙකි. කෙසේවෙතත් නීතිඥ සංගමයේ සභාපති විජයදාස රාජපක්ෂගේ ‘වැටකොඵ-පතෝල’ න්‍යායෙන් ආණ්ඩුවේ ඒකාධිපති වියරුවෙන් අධිරණය ආරක්ෂා කිරීමට කිසිිසේත් නො හැකි ය.

මෙම අවස්ථාවේදී වර්තමාන ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයෙන් පරිබාහිර නීතිඥ එකමුතුවක අවශ්‍යතාව අපට වඩ වඩාත් දැනෙන්නේ එනිසාවෙනි. ආණ්ඩුවෙන් හා ඔවුන්ගේ බත්බැලයන් ලෙසින් කටයුතු කරන නීතිඥ සංගමයේ ම සිටින නීතිඥ සුලු නඩයකින් මෙකී නීතිඥ එකමුතුවට එරෙහිව විවිධ ‘මඩ’ ප‍්‍රචාර එල්ල වීම වැළැක්විය නො හැකි ය. එනිසා ඊට ද ඔරොත්තු දිය හැකි උපක‍්‍රමිකයන් භාවිතා කළ යුතු ය. අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා වූ මෙම දැවැන්ත අරගලය ජනතාවගේ සක‍්‍රීය දායකත්වය ද ලබා ගනිමින් පුඵල් පරාසයක් තුළ විහිදුවන්නට වැඩකරන ජනතාව නීතිඥ ප‍්‍රජාව සමග අත්වැල් බැඳ ගැනීම මේ මොහොතේදී අනිවාර්යය කරුණක් වී තිබේ.

ඒකාධිපති පාලනයකට එරෙහිව අරගල කිරීම යනු දේශපාලන කරුණෙකි. එනිසා ඒකාධිපති පාලනයෙන් අධිකරණය මුදවා ගැනීම යනු ද දේශපාලන කරුණෙකි. නීතිඥ ප‍්‍රජාව අවබෝධ කර ගත යුත්තේ එයයි. නිවැරැදි දේශපාලන භාවිතයක් මෙහිලා පෙන්නුම් කළ යුත්තේ එබැවිනි. එහි අදහස වන්නේ එක්සත් ජාතික පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ වෙනත් පක්ෂයක හෝ පසුපස ගොස් මෙකී අරගලය ජයග‍්‍රහණය කර ගත හැකි ය යන්න නො වේ. හුදෙක් පක්ෂගත දෘෂ්ටියකට මෙම අරගලය කොටු නො කොට පුඵල් ප‍්‍රගතිශීලි ජනතා ව්‍යාපාරයක් ගොඩනංවමින් මෙම අරගලය ජයග‍්‍රාහීව ඉදිරියට ගෙන යා යුතු ය. එය මෙරටේ බදු ගෙවන සමස්ත ජනතාව මත ම පැවැරී ඇති දෙයෙකි !


සදුන් යාපා කරුණාරත්න | Sadun Yapa Karunarathna