සිංහල, Democracy, Human Rights, Matara, Media

මාධ්‍යවේදීන් කණ්ඩායමකට දෙනියායේදී මැර ප්‍රහාරයක්

පසුගිය ඉරිදා (4) විපක්ෂයට අයත් මන්ත්‍රී කණ්ඩායමක් දෙනියාය ප්‍රදේශයේ සිදුකර ඇති නිරීක්ෂණ චාරිකාවක් ආවරණය සඳහා ගිය මාධ්‍ය කණ්ඩායමකට කිසියම් පිරිසක් විසින් පහරදී ඔවුන් සතු කැමරා ඇතුළු අනෙකුත් උපකරණ විනාශ කිරීම බලවත් පිලිකුළින් යුතුව හෙළා දකින බව ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදින්ගේ සංවිධානය, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංධානය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍යවේදින්ගේ සංසදය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යන සංවිධාන යන මාධ්‍ය සංවිධාන පහ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
වැඩිදුරටත් කරුණු දක්වමින් එම සංවිධාන කියා සිටින්නේ රජයේ මුදල් යොදවා මග නැඟුම ව්‍යාපෘතිය මඟින් ඉදිකරන ලදැයි කියන මාර්ගයක් නිරීක්ෂණය කරමින් ගමන් ගත් මන්ත්‍රී කණ්ඩායමකට හා ඔවුන්ගේ වාහන වලට දෙනියාය බෙවර්ලී වත්ත ප්‍රදේශයේදි කිසියම් පිරිසක් පහර දී තිබේ. එම සිදුවීම වාර්ථාකරමින් සිටි ලංකාදීප පුවත්පතේ ක්‍රිෂාන් ජීවක ජයරුක්, සිරස මාධ්‍ය ජාලයේ චන්දික ජයවර්ධන හා ශ්‍යාමන් චානුක සහ ටී.එන්.එල් ආයතනයේ කැලුම් ජයවීර යන මාධ්‍යවේදින්ටද එහිදී එම මැර පිරිස විසින් පහර දී ඔවුන් සතුව තිබූ කැමරා ඇතුළු උපකරණ විනාශ කර ඇති බවයි.
මෙය ඉතාමත්ම පහත් ක්‍රියාවක් මෙන්ම මහජනතාව සතු තොරතුරු දැනගැනීමේ අයිතියට එරෙහිව එල්ල වෙමින් පවත්නා බිහිසුණු ක්‍රියාදාමයෙහි තවත් එක් බරපතල වර්ධනීය අවස්ථාවක් ලෙස සඳහන් කරන මාධ්‍ය සංවිධාන පිළිගත් ශීෂ්ට සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙවැනි සිදුවීම් කිසිසේත්ම සිදුවිය නොහැක්කක් වන බවත්, මෙම ක්‍රියාව මඟින් නැවත වතාවක් සනාථ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට තම වෘත්තීය කටයුතු නිදහසේ කරගෙන යාමට නොහැකි බිහිසුණු පරිසරය වෙනස් කිරීමට බළධාරීන් දක්වන අකමැත්තය බවත් ප්‍රකාශ කර සිටී.
එමෙන්ම පහර කෑමට ලක් වූ ජනමාධ්‍යවේදීන් ඒ පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පොලීසියට ගිය අවස්ථාවේදී අදාල පැමිණිල්ල බාර නොගනිමින් හා අගතියට පත්ව සිටින මාධ්‍යකරුවන් රස්තියාදු කරමින් පොලීසිය දක්වා ඇති නොසැලකිල්ල හා වගකීම් විරහිතභාවය පිළිබඳව ද කරුණු දක්වන එම මාධ්‍ය සංවිධාන ඒ පිළිබඳව ද ඔවුන්ගේ බලවත් විරෝධය පළ කරනු ලබනවා.