Colombo, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

ශ‍්‍රී ලංකාව හා එහි විවේචකයෝ: ලේ වැකි රහස්

HRW 1

[2013 පෙබරවාරි 26 – දි ඉකොනොමිස්ට් / නවදිල්ලිය]

සිවිල් යුද්ධය අවසන් වී වසර හතරක් ගතවීමට ආසන්නව තිබුණත්, ශ‍්‍රී ලංකාව සිය මෑත ඉතිහාසය පුරාම සාමයෙන් බොහෝ දුරස්ථ ය. 2009 වසරේ යුද්ධයේ අවසන් සති කිහිපයේ දී ශ‍්‍රී ලංකාවේ හමුදා යුද අපරාධ සිදුකළා ය යන්න රටේ නායකයන්, විශේෂයෙන් එහි බලසම්පන්න ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රතික්ෂේප කරද්දීත්, කරදරකාරී නව සාක්කි මතුවීම දිගටම සිදුවෙමින් පවතී.

යුද අපරාධ විභාග කිරීම හා දෙමළ ජනතාව ගේ හොඳහිත දිනාගැනීම සඳහා වූ සිය ප‍්‍රයත්නයන් වාර්තා කරන්නැයි ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටි ඇමරිකාවේ මූලිකත්වයෙන් වූ යෝජනාව අලූත් කිරීමට, එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කවුන්සිලය මේ මාර්තුවේ දී බලාපොරොත්තු වෙයි. වසරකට පෙර පළමු යෝජනාව සම්බන්ධයෙන් කළාක් මෙන් ම, ඉන්දියාවත්, යුරෝපා සංගමයේ රටවලූත් යෝජනාවට සහාය දීමට සූදානමින් සිටී.

ඊට සූදානමක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ යටතේ (සහ ඔහුගේ සහෝදරයා වන ජනාධිපති මහින්ද ගේ පාලනය යටතේ) වන හමුදාවන්, දඬුවම් නොලබා සිටීමේ වරප‍්‍රසාදය යටතේ සිදුකළ සාහසික යුද අපරාධ පිළිබඳ බියකරු සාක්ෂි, මානව හිමිකම් ක‍්‍රියාකාරීහු සහ ජනමාධ්‍යවේදීහු සපයමින් සිටිති. වඩාත් නරක ලෙස, යුද්ධය අවසන් වීමෙන් පසු පවා ආණ්ඩුවේ හමුදා වධ දීම්, ස්ත‍්‍රී දූෂණ හා වෙනත් ආකාරයේ අපහරණයන් දෙමළ ජාතිකයන්ට එරෙහිව අඛන්ඩව සිදුකරමින් සිටින බවට ප‍්‍රබල සාක්කි මතුපිටට එමින් පවතී.

දෙමළ සිරකරුවන් යැයි අනුමාන කළහැකි පුද්ගලයන් පිරිසක් නිරුවත් කොට ඝාතනය කරන ශ‍්‍රී ලංකා හමුදා සෙබලූන් ගේ දර්ශන චැනල් ෆෝ බි‍්‍රතාන්‍ය රූපවාහිනී නාලිකාව විසින් මීට ඉහත දී විකාශය කළේ ය. මේ දර්ශන 2009 දී, යුද්ධයේ අවසන් භාගයේ දී රූගත කර තිබිණි. වසරකට පෙර අප ගේ වාර්තාකරුවා විසින් මෙම දර්ශන ගැන ප‍්‍රශ්නකරන ලදුව, ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ඒවා ‘ව්‍යාජ ඒවා’ යි කියමින්, කිසිදු සිවිල් පුද්ගලයකු හෝ සිරකරුවකු මරාදමන්නැයි කිසියම්ම හෝ දිනෙක නියෝග දුන් බව කෝපයෙන් ප‍්‍රතික්ෂේප කරමින්, ප‍්‍රශ්න කිරීමකින් තොරව ම, සිය හමුදාවන් ‘වර්ග සංහාරයක’ නොයෙදුණු බව කීවේ ය. ඊට වෙනස් ව යමින් දෙමළ දේශපාලන නායකයන් කියා සිටියේ, යුද්ධයේ අවසන් භාගයේ දී දෙමළ ජනයා 10,000ක් මරාදැමුණු බව සහ පණ බේරාගත්තවුන්ගෙන් 1,000ක් පමණ අතුරුදහන් වී සිටින බව ය. ඔවුහු ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ සැඟවුණු සමූහ මිනීවලවල් ගැන සහ විශාල වශයෙන් සිවිල් වැසියන් ඝාතනය කිරීම් ගැන ද කතාකළහ.

එල්ටීටීඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ගේ 12 හැවිරිදි පුත් බාලචන්ද්‍රන් ප‍්‍රභාකරන්, යුද්ධය අවසානයේ ශ‍්‍රී ලංකා හමුදාවන් ගේ අත්අඩංගුවේ සිටින අයුරු දැක්වෙන නව වාර්තා චිත‍්‍රපටයක් චැනල් ෆෝ නාලිකාව විසින් මානව හිමිකම් කවුන්සිල ඡුන්දයට පෙර, මේ මාසයේ දී ප‍්‍රදර්ශනය කරනු ඇත. පළමු ඡායාරූපවල ළමයා තැතිගැන්මෙන්, එහෙත් කිසිවක් කමින්, රැකවල් යටතේ සිටින අයුරු පෙනේ. ඊට පසු ගත් ඡායාරූපයකින් පෙනෙන්නේ ඔහු ගේ වෙඩිවැදුණු මළසිරුර වැටී තිබෙන අයුරු ය.

මෙම ඡායාරූප යුද ජය පිළිබඳ සිහිවටන වශයෙන් හමුදා සෙබලූන් විසින් ජංගම දුරකථනවලින් ගත් ඒවා බව පෙනී යයි. ළමයා මරා දමා ඇති බවට ඒවා ශක්තිමත් ඉඟි පළකරයි. මේ ඝාතනය සඳහා නියෝගය ආවේ සන්නද්ධ අංශයේ හෝ දේශපාලනයේ නිල ධූරාවලියේ ඉහළම තැනකින් ද යන්න විමසීම යුක්ති සහගත ය. ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් තිරගතවීම වැළැක්වීමට උත්සාහ දරමින් සිටියත්, මෙම චිත‍්‍රපටය ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ප‍්‍රදර්ශනය වීමට ඉඩ ඇත.

ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම(ඉන්ටර්නැෂනල් ක‍්‍රයිසිස් ගෲප්) සිය නව වාර්තාවේ තර්ක කර ඇති පරිදි ම, රාජපක්ෂ ගේ අධිකාරීවාදී පාලනය සිය බලය තහවුරු කරගනිමින් සිටීම පිළිබඳ සාක්ෂ්‍ය ද මේ තරමට ම කැලඹුම් සහගත වියහැකි ය. එසේ ම සාහසික අපරාධ නොකඩවා සිදුවේ. පෙබරවාරි 26 වැනිදා සිය නවතම වාර්තාව එළිදැක්වූ මානව හිමිකම් කි‍්‍රයාකාරිකයන්ගේ කණ්ඩායමක් වන හ්‍යුමන් රයිට්ස් වොච් සංවිධානය, එමඟින් ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා – එහි යුදහමුදාව, පොලීසිය, බුද්ධි අංශ – දෙමළ සැකකරුවන්ට එරෙහිව අත්තනෝමතික රඳවාතබාගැනීම, ප‍්‍රචණ්ඩත්වය, වදහිංසා සහ ලිංගික බලහත්කාරය යොදාගන්නේ කෙසේදැ යි විස්තර කරන වින්දිතයන්ගේ, වෛද්‍යවරුන් ගේ හා වෙනත් අයගේ වාචික සාක්ෂ්‍ය ප‍්‍රකාශයට පත්කරයි.

වාර්තාව දෙමළ ස්ත‍්‍රීන්ට හා පුරුෂයනට අදාළ සිදුවීම් 75ක් වාර්තාගත කරයි. ඉන් සිදුවීම් 31ක් 2010 සිට පසුගිය වසරේ අවසානය දක්වා කාලයට අයත් වෙයි. (ඒ අතරින් සිදුවීම් දෙකක් බි‍්‍රතාන්‍යයේ සිට ලංකාවට බලහත්කාරයෙන් පිටුවහල්කළ පුද්ගලයන් දෙ දෙනකුට අදාළ ය) රඳවා තබාගත්තවුන්, ප‍්‍රචණ්ඩත්වය උපයෝගීකරගෙන ප‍්‍රශ්නකිරීමට ලක්වූවන්, මරාදැමීමේ තර්ජනයට ලක්වූවන්, ලිංගික දූෂණයට ලක්වූවන්, සිගරට්වලින් ශරීරය පුළුස්සනු ලැබූවන්, දරුණු වදයට ලක්වූවන්, එල් ටී ටී ඊ සන්නද්ධ අංශයට උදව් කළ බවට වන පාපෝච්චාරණයන්ට අත්සන් කිරීමට බලකරනු ලැබූවන් මේ පිරිසට අයත් ය. මෙයින් බොහෝ දෙනෙක් කොළඹ අගනගරයේ දී හෝ උතුරේ දී සිවිල් ඇඳුමින් සැරසී සුදු වෑන්රථවලි පැමිණි පිරිස් විසින් පැහැරගනු ලැබුවෝ වෙති. වාර්තාව ඛේදජනක සහ ඒත්තු ගන්වන සුළු එකකි. මෙවැනි ක‍්‍රියාවන් පසුගිය මාසවලදී ද නොනවත්වා කි‍්‍රයාත්මක වූ බවට තමන් සතුව සාක්කි ඇතැයි හ්‍යුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

ශ‍්‍රී ලංකාවේ නිල ප‍්‍රතිචාරය කෝපාවිෂ්ට ප‍්‍රතික්ෂේප කිරීමකි. එක්සත් ජාතීන් ගේ යෝජනාවේ පිටපතක් කොළඹ කවයන් අතරේද සංසරණය වෙයි. රාජපක්ෂ ආණ්ඩුව එය වැළැක්වීමට අසමත් වනුඇති අතර, චීනය සමඟ වන රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා ගැන පුරසාරම් දෙඞීමට වඩා රුචියක් දක්වයි. කුමක් සිදුවුවත් විදෙස් විවේචනයන්ට ඇත්තේ සීමාසහිත බලපෑමකි. ජනමාධ්‍ය, සිවිල් සමාජ ක‍්‍රියාධරයින්ගේ කණ්ඩායම්, ආගමික සංස්ථාවන් සහ වෘත්තීය සමිති අතර සිටින දේශීය විවේචකයන් සදහටම භීතියට පත්කරනු ලැබ ඇති සෙයකි. පාර්ලිමේන්තු විපක්ෂය මුළුමනින් නිහඬය. යුද ජයග‍්‍රහණය හා ශක්තිමත් ආර්ථික වර්ධන වේගයක් අත්පත්කරගැනීම නිසා රාජපක්ෂවරු බහුතරය වන සිංහල ජනයා අතර තවමත් ජනපි‍්‍රයත්වයේ රැඳී සිටිති. ඔවුහු විදෙස් විවේචන ශ‍්‍රී ලංකාවේ කීර්ති නාමය කෙලෙසීම සඳහා වන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ ලෙස හුවාදක්වති.

කරුණු මෙසේ හෙයින්, තීරණාත්මක වෙනසක් කිසිවකුටත් අපේක්ෂා කළ නොහැකි ය. එක්සත් ජාතීන් ගේ ඡුන්ද විමසීම අවසන් වූ වහා ම, ඊළඟ ඝට්ටනය ඇතිවීමට නියමිත සේ පෙනෙන්නේ කොළඹ දී පැවැත්වීමට දැනට තීරණය කර ඇති පොදු රාජ්‍ය මණ්ඩල නායකයන්ගේ නොවැම්බර් හමුව සම්බන්ධයෙනි. ජාතික ප‍්‍රතිපත්තිවලට බලපෑම් කිරීමේ හැකියාව ඇති දේශීය දෙමළ දේශපාලන පක්ෂ තිබෙන ඉන්දියාවත් ඇතුළත් වියහැකි විවිධ රටවල්, සමුළුවට පෙර ශ‍්‍රී ලාංකේය දෙමළ ජාතිකයන්ට (සහ අනෙකුත් දේශීය විරුද්ධ පක්ෂයන්ට) වඩා යහපත් සැලකීමක් දක්වන්නැයි ඉල්ලා සිටින්නට ඉඩ ඇත. රාජපක්ෂ පවුලට මෙම සමුළුව ජාත්‍යන්තර කීර්තියේ මොහොතක් වන්නට නියමිත ය. නමුත් සාහසිකකම් හා අපහරණයන් පිළිබඳ පැහැදිළි සාක්ෂි හමුවේ එය කවරදාටත් වැඩියෙන් කිළිටිව ඇති සෙයක් පෙනේ.

Photo Credit: Human Rights Wach

[‘දි ඉකොනොමිස්ට්’ වෙබ් අඩවියේ පෙබරවාරි 26 වෙනිදා ‘ Sri Lanka and its critics : Bloody secrets‘ මැයෙන් පළ වූ ලිපියේ සිංහල අනුවාදයකි.]