Democracy, Features, Human Rights, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Puravasi Katha

‘‘දැන් ඇත්ත කියන්නත් බැහැ. මේ කතාව පවත්වලා මට වඩමාරච්චියට යන්න පුළුවන් වෙයිද දන්නේ නෑ’’

‘දැන් ඇත්ත කිව්වොත් රජයට එරෙහි පිරිසක් කියලා මඩ ගහනවා. දැන් ඇත්ත කියන්නත් බැහැ. දැන් මේ කතාව පවත්වලා මට වඩමරච්චියට යන්න පුළුවන් වෙයිද දැන්නැ නැහැ. මෙවැනි ජීවිතයක් අපට අවශ්‍යද?’

Editor Note: ඉන්දියානු ධීවරයින් ලංකාවේ මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සහ එහිදී ඇති වී ඇති අර්බුධකාරී තත්ත්වයත්, යුද්ධයෙන් පසුව උතුරේ ජන ජීවිතයේ ඇති වී තිබෙන ඛේදනීය තත්ත්වයත් පිළිබද මහජන සංවාදයක් පසුගිය මාර්තු 1වනදා කොළඹ දී පැවැත්විය. එහි දී එම සංවාදය සංවිධානය කල ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, වසර 30 යුද්ධය නිසා පීඩාවට පත්ව සිටි උතුරේ ධීවරයින්, යුද්ධය නිමා වී වසර 4කට ආසන්න වුවත් යුද පීඩනය තුළ ජීවත්වන බවත්, යුද්ධය අවසන් වී තම රැකියාව කෙසේ හෝ නැවත ආරම්භ කළ ධීවරයන්ට තවමත් බොහෝ තහංචි පැනවී ඇති බවත් ය.

විශේෂයෙන් එම සංවාදයේදී තම අත්දැකීම් ඇසුරෙන් උතුරේ ජන ජීවිතය, විශේෂයෙන් ධීවරයන් සම්බන්ධව, උතුරු පළාත් ධීවරයින්ගේ සංධානයේ, සභාපති, එස්. තවරත්නම් මහතා අදහස් දැක්වීය. එම අදහස්වල සිංහල පරිවර්තනය ‘විකල්ප’ තුළ සටහන් කරන්නේ, පශ්චාත් යුද සමය තුල සහජීවනය සහ මානව හිමිකම් ගැන කතාකරනවා යැයි කියන රාජපක්ෂ ආණ්ඩුවේ ‘ජනයා රැවටීම’ මෙන්ම, උතුරේ ජනයාමත මුදාහැර ඇති මිලිටරි පාලනය පිළිබද මනා සටහනක් ඔහු සිය ජීවිත අත්දැකීමෙන් සළකුණු කරන නිසාවෙනි.

[Photo Credit - Keith Bedford for The New York Times]
[Photo Credit – Keith Bedford for The New York Times]

‘‘අවුරුදු 30 තිස්සේ යුද්ධය නිසා දෙමළ ජනතාව දුක් වින්දා. මේ අවුරුදු 30ක කාලයේ අපේ ධීවරයන් වෙතත් මේ ආණ්ඩුව මර්ධනය භාවිතා කළා. ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ මර්ධනය උපයෝගි කරගෙන ඉන්දියානු ධීවරයෝ අපේ මුහුදු සම්පත් සේරම කොල්ලකෑවා. අපේ වෙරළ දක්වා පැමිණ සේරම විනාශ කළා. අදත් කොල්ලකමින්, ඒ උත්සහය අදත් දරමින් සිටිනවා.’’

‘‘2004 කොළඹදී ඉන්දියානු ධීවරයෝ සමඟ දින 4ක් සාකච්ඡා කළා. නමුත් විසඳුමක් ලැබුණේ නැහැ. පසුව 2010 ඉන්දියාවට ගිහින් සාකච්ඡා කළා.

S.Thavarathnam
S.Thavarathnam

ධීවරයන්ගෙන් ගැටළු පිළිබඳව ආණ්ඩු දෙකම සාකච්ඡා කළ යුතුයි. නමුත් අපි තමයි ඉන්දියාවට ගිහින් කතා කළේ. අපිට මුහුදේ රස්සාව කරන්න ඉඩ දියල්ලා කියා ආයාචනා කළා. ඉන්දියාවටයි ලංකාවටයි මායිම වන්නේ මුහුදයි. මෙහි ආරක්‍ෂාවේ යෙදී සිටින්නේ හමුදාවයි. මේ හමුදාව සිටියදී වෙනත් රටක සිට ධීවරයන් මේ රට තුළ එනවානම් හමුදාව මොනවද කරන්නේ? ආරක්‍ෂක හමුදාව ආරක්‍ෂා කටයුත්ත නිසි ලෙස කරලා තිබ්බානම් ඇයි අපි දුක්විඳින්නේ.

අපේ මුහුදු ප‍්‍රදේශයේ මාළු අල්ලන්න ආ බොහෝ ඉන්දියානු බෝට්ටු අපි රැගෙනවිත් තියෙනවා. ඉන්පසු හමුදාව ඇවිත් වෙනත් රටක බෝට්ටු බලහත්කාරනේ අල්ලන්න බැහැ කියලා අපිට කියනවා. ඔගොල්ලන් හරිහට රස්සාව කළානම් මේවා සිදුවෙන්නේ නැහැ කියලා ඒ අයට අපි කියලත් තියනවා. මේ හින්දා බොහෝ ප‍්‍රශ්නවලට මුහුණ දුන්නා.

ඉන්දියානු ට්‍රෝලර් බෝට්ටු මෙහෙට එන එක නැවත්විය යුතුයි. ශී‍්‍ර ලංකා රජය මැදිහත් විය යුතුයි. අපිට විශ්වාසයක් තිබෙනවා. මේ රජය මේ ප‍්‍රශ්නය විසඳන්නේ නැහැ.

යුද්ධය.. යුද්ධය.. කියලා කිව්වෙ. මේ ඉන්දියාවත් එකතුවෙලා දෙමළ ජනතාව බොහෝ දෙනෙක් විනාශ කළා. දැන් විනාශ කළ පසු මොනවද සිදු වන්නේ? දෙමළ ජනතාව සතුටින් ජීවත් වෙනවද? සතුටින් රස්සාවක් කරනවද? සතුටින් ළමයි හඳන්න පුළුවන්ද? ණය වෙලා භාර්්‍යාවගේ තැල්ල උකසට තියලා, ගෙවල් විකුණලා මාළු අල්ලන්න දැල් ගන්නවා. ඉන්දියාවෙන් සහ දකුණෙන් එන ට්‍රෝලර් බෝට්ටු ඇවිත් ඒවා විනාශ කරලා යනවා. අපේ ජනතාව බඩගින්නේ ඉන්නවා. කාටත් මනුස්සකමක්, මනුස්සත්වයක් නැද්ද? ඉන්දිය රජයට නැද්ද? ශී‍්‍ර ලංකා රජයට නැද්ද?

ඒ නිසා උතුරු පළාත් සන්ධානයක් පිහිටුවලා තිබෙනවා. අපි මේ මඟින් ඇත්ත තත්ත්වය රජයට පැහැදිලි කරලා තිබෙනවා. දැන් ඇත්ත කිව්වොත් රජයට එරෙහි පිරිසක් කියලා මඩ ගහනවා. දැන් ඇත්ත කියන්නත් බැහැ. දැන් මේ කතාව පවත්වලා මට වඩමරච්චියට යන්න පුළුවන් වෙයිද දැන්නැ නැහැ. මෙවැනි ජීවිතයක් අපට අවශ්‍යද?

1990 වලිකාමම් උතුරේ සිට පේදුරුතුඩුව, පළාලි, මයිලිට්ටි බොහෝ ගම්මානවල සිට කිසි දෙයක් නැතුව ඇවිදගෙන ඇවිත් වඩමාරාච්චි උතුරේ පදිංචි වුණා. අවුරුදු 23ක් ගතවෙලා තිබෙනවා. තවමත් අපේ ප‍්‍රදේශයමයි ජීවත් වෙන්නේ. වලිකාමම් උතුරේ සිට පවුල් 4,000ක් අවතැන් වී මෙහි සිටිනවා. 3000 කටත් ධීවර කර්මාන්ත යෙදෙන්න බැරි තැනක පවුල් 7,000 රස්සාව කරනවා. සහෝදර හැඟිමයි, මනුසත්වයයි ඒකට හේතුව. දැන් දෙපිරිස අතර ගැටුම්කාර තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. අවතැන්වී සිටින පිරිස්වලට ධීවර රැකියාවේ යෙදෙන්න බැහැ. වහාම ඔබගේ ප‍්‍රදේශයට යන්න කියා වඩමරාච්චි ජනතාව කියනවා. ඒ අය කොහෙද යන්නේ? ආරක්‍ෂක කලාපයක් කියලා, තවමත් මේ ජනතාව නැවත පදිංචි කරන්නේ නැතුව ඉන්නවා.

යුද්ධය නිමාවෙලා අවුරුදු 4ක් ගතවෙලා තියෙනවා. තවමත් නැවත පදිංචි වූ ජනතාව පීඩාවට පත්වෙමින් සිටිනවා. මේ ජනතාවගේ ගැටළුව විසදන්න අමාත්‍යවරු, ජනාධිපතිතුමා ඇයි මැදිහත් වෙන්නේ නැත්තේ? වලිකාමම් උතුරේ ජනතාව නැවත පදිංචි කළොත් ඒ ජනතාවටත් එවැනි පීඩාවට මුහුණ දෙන්න වෙයි. වලිකාමම් උතුරේ කිසිම ගොඩනැගිල්ලක් නෑ. සම්පූර්ණයෙන්ම සමතලා කරලයි තියෙන්නේ.

ඉන්දියානු ධීවරයෝ එක පැත්තකින් එනවා. දකුණේ ධීවරයෝ අනෙක් පැත්තෙන් එනවා. අපි හිරවෙලා මැරෙණවා. අපි කිහිප වතාවක්ම සාමකාමි උද්ඝෝෂණ පවත්වලා තිබෙනවා. ඉන්දියානු ධීවරයන්ගේ ගැටළුව පිළිබඳව ඉන්දියානු රජය සහ ශී‍්‍ර ලංකා රජය විසඳා දිය යුතුයි. අපිට හොඳ විශ්වාසයක් තියෙනවා. මේ ගැටළුව විසඳන්නේ නැහැ. අපි හිතුවොත් මේ ප‍්‍රශ්නය විසඳගන්නවා. අපි කියනවා. අපි හිතුවොත් මේ ප‍්‍රශ්නය විසඳගන්නවා. ඒත් දිගටම හැමදෙයක්ම අහිමි වුවහොත් අපි කොහොමද ඉවසන්නේ?’’

පහත දැක්වෙන්නේ එස්. තවරත්නම් මහතා සිදුකල කතාවේ වීඩියෝ සටහනයි