Colombo, Democracy, Features, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

GENEVA 22 |‘‘ඡන්දය දුන්, නුදුන් අයගේ ප්‍රකාශ, මානව හිමිකම් සම්බන්ධයෙන්, ලංකාවට ඉතා වැදගත්‘‘

‘‘ඡන්දය දුන්, නුදුන් අයගේ ප්‍රකාශ, මානව හිමිකම් සම්බන්ධයෙන්, ලංකාවට ඉතා වැදගත්, විශේෂයෙන් ඡන්දයේ ප්‍රතිඵල ගණිතමය ආකාරයකට විමසනවාට වඩා ඔවුන් සිදු කළ ප්‍රකාශ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසදුමක් සදහා ඉතා වැදගත්‘‘

SL flag  Geneva UN cmyk

මානව හිමිකම් කවුන්සිලයේ 22වන සැසිවාරයේදී ලංකාවේ මානව හිමිකම් සහ ප්‍රතිසංධානය පිලීබද කරැණු මූළික කරගත් යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මත විය. ඉන් පසු මාධ්‍යට අදහස් දක්වමින් ලංකාවේ මානව හිමිකම් පිළිබද නියෝජිත, මහින්ද සමරසිංහ ඇමතිවරයා පවසා සිටියේ, ඇමරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර සම්මත කර ගන්නා ලද යෝජනාවෙන් කිසිදු බලපෑමක් එල්ල නොවන බව යි.

එසේම යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ඉන්දියාව සම්බන්ධයෙන් ද අද වන විට ජාතික හෙළ උරැමය ඇතුලු පක්ෂ, සංවිධාන, ඉන්දියාවට එරෙහි මතවාදයන් නිශ්පාදනය කරමින් සිටියි. කිසිදු ජාත්‍යන්තර දේශපාලනික ත්ත්ත්වයක් නොසලකා හරිමින් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජාතික හෙළ උරැමය පවසා සිටින්නේ, ශී‍්‍ර ලංකාවේ ස්වෛරීත්වය නොතකන ඉන්දියාවට ව්‍යාපාරික හෝ රාජ්‍යතාන්ත‍්‍රික හෝ වරදාන ලබා නොදෙන ලෙස ය.

කෙසේ නමුත් ඉන්දියාවේ ක්‍රියාකලාපය හමුවේ ඉවසීමෙන් කටුයුතු නොකලහොත් අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත විය හැකි යැයි අස්ගිරි පාර්ශවයේ මහනායක පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් අද පවසා තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට අමෙරිකානු රජය නිරතුරු සහය දෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි මිෂෙල් එච්.සිසන් මහත්මිය ඊයේ පවසා තිබිනි. ඒත් සමග ඇය අවධාරණ කරන්නේ, ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීම සඳහා ජගත් සංවිධානයේ අරමුණක් නැති බවත් මෙරට සංවර්ධන කාර්යයේදී අමෙරිකාව සහය දෙන බවත් ය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර සිටියේ, ජගත් මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ගනු ලැබු යෝජනාව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ගනු ලැබු පියවරක් බවය.

මේ සියලු තත්ත්වයන් සමග ඊයේ(21) ස්විස්ටර්ලන්තයේ, ජිනීවා නුවර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී, මෙම යෝජනාව සම්බන්ධයෙන් සිදුවුනු ඡන්ද විමසීමත්, එහිදී ඡන්දය භාවිතා වූ අයුරැත් මෙන්ම විශේෂයෙන් එහිදී විවිධ රටවල් ලංකාව සම්බන්ධයෙන් දැක්වූ අදහස් පිළිබදව ජිනීවා නුවර සිට විග්‍රහයක යෙදෙන ජේෂ්ඨ ජනමාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසන්නේ, ඡන්දය දුන්, නුදුන් අයගේ ප්‍රකාශ, මානව හිමිකම් සම්බන්ධයෙන්, ලංකාවට ඉතා වැදගත් බවයි. විශේෂයෙන් ඡන්දයේ ප්‍රතිඵල ගණිතමය ආකාරයකට විමසනවාට වඩා ඔවුන් සිදු කළ ප්‍රකාශ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසදුමක් සදහා ඉතා වැදගත් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි., (සුනන්ද දේශප්‍රිය මහතා සිදුකල සම්පූර්ණ අදහස් දැක්වීම සදහා පහත වීඩියෝව බලන්න)