Anuradhapura, සිංහල, Environment, Features, Governance, Politics and Governance

පදවිය වනරක්ෂිතයේ අක්කර 30,000 ක් වැනසීමට මහවැලියට පවරයි

Padavi Wawa 1

පදවිය වන රක්ෂිතයට අයත් හෙක්ටයාර 12,900 ක් (අක්කර 31,875 ක්) ඉවත් කර ජනතාව පදිංචි කිරීම සඳහා යැය කියමින් මහවැලි අධිකාරියට පැවරීමට අවශ්‍ය සැලැසුම් මේ වන විට සකස් කෙරෙමින් පවතී.

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පදවිය වැවට බටහිරින් පිහිටි වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර ප්‍රදේශයක් මෙලෙස ජනතාව පදිංචි කිරීම සඳහා යැයි කියමින් මහවැලි අධිකාරියට පැවරීමට සූදානම් වේ. වනාන්තර නැතිවූවාට ජනතාවට පදිංචි වීම සඳහා සුදුසු අනන්තවත් බිම් මේ ශ්‍රී ලංකාවේ පවතී. මේ වනාන්තර පද්ධතිය පදවිය වැව හා ඒ ආශ්‍රිත ජල පෝෂක වනාන්තර ප්‍රදේශ ආවරණය වන ලෙස 1963 ජුනි 21 වන දින ප්‍රකාශයට පත් කරන ලද හෙක්ටයාර 6475 කින් යුත් පදවිය වැව අභය භූමිය හා සම්බන්ධව පවතී. ඒ අනුව පදවිය වන රක්ෂිතය හා පදවිය වැව අභය භූමිය පදවිය වැව කේන්ද්‍ර කරගෙන ව්‍යාප්තව ඇති වනාන්තර පද්ධතියක් ලෙස පිහිටා තිබේ.

2009 අංක 65 දරන වන සංරක්ෂණ ආඥා පනතට අනුව 2013 ජනවාරි 18 වන දින අංක 1793/21 දරන ගැසට් නිවේදනය මගින් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කළ හෙක්ටයාර 48,451 ක් වන පදවිය වන රක්ෂිතයට අයත් වනාන්තර මෙලෙස ජනතාව පදිංචි කිරීම සඳහා ඉවත් කිරීමට නියමිතව ඇත. මහවැලි අධිකාරියේ බලපෑම මත ඒ සඳහා වන ගැසට් නිවේදනය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සකස් කර අවසන් කර තිබේ.

මේ වනාන්තර පද්ධතිය ප්‍රධාන අලි ගැවසුම් ප්‍රදේශයක් ලෙස පවතී. එවන් විශාල වනාන්තර ප්‍රදේශයක් එළි පෙහෙළි කර ජනතාව පදිංචි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ ප්‍රදේශයේ උග්‍ර අලි – මිනිස් ගැටුමක් වර්ධනය විය හැකි අතර පදිංචි කරන ජනතාව පමණක් නොව පදවිය හා කැබිතිගොල්ලෑව ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට උග්‍ර අලි – මිනිස් ගැටුමක ගොදුරක් බවට පත් වීමට සිදු වනු ඇත.

මේ වනාන්තර ප්‍රදේශය මේ වසරේ ජනවාරි මස දී වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ එහි පවතින පාරිසරික, ජෛව විද්‍යාත්මක හා ජල විද්‍යාත්මක වටිනාකම හේතුවෙනි. යුධමය වාතාවරණය පැවති සමය තුළ මේ වනාන්තර පද්ධතියම අනාරක්ෂිතව පැවති අතර යුධමය වාතාවරණය පහව යෑමෙන් අනතුරුව ඒවායෙහි වැදගත්කම සැලැකිල්ලට ගෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රක්ෂිත තත්ත්වයට පත් කර තිබේ. නමුත් ඉතාම කෙටි කාලයක් තුළ දී රක්ෂිත තත්ත්වයෙන් ඉවත් කර ජනතාව පදිංචි කිරීමට උත්සාහ දරන්නේ කුමන පදනමක් මත ද යන්න ගැටළුවකි.

අප රටේ ස්වාභාවික සම්පත් අති බහුතරයක් වනසා දැමූ මහවැලි අධිකාරිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බලපෑම් කරමින් මේ වනාන්තරය එම අධිකාරිය යටතට පවරා ගැනීමට උත්සාහ දරන්නේ විවිධ ව්‍යාපාරිකයින්ට මේ ස්වාභාවික සම්පත් බදු දී වනසා දැමීම ස`දහා ය.

දැනට මහවැලි කලාපවල පිහිටි බොහෝ විශාල වනාන්තර ප්‍රදේශ ව්‍යාපාරිකයන්ට බදු දෙමින් සිටින මහවැලි අධිකාරිය, මහවැලි ප්‍රදේශවල පිහිටි ආරක්ෂිත වනාන්තර ප්‍රදේශ ගල්කොරි, හෝටල්, වාණිජ වගාවන් පවත්වාගෙන යාම සඳහා දිගින් දිගටම බදු දෙමින් පවතී. මෙලෙස මහවැලි කලාපවල ජල පෝෂක බිම්, අලි මංකඩවල් හා ග්‍රාමීය වනාන්තර ලෙස ඉතිරි වී පැවති බොහෝ වනාන්තර එම අධිකාරිය මගින් විවිධ ව්‍යාපාරිකයින්ට බදු දී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස මේ ප්‍රදේශවල දරුණු ලෙස අලි – මිනිස් ගැටුම ව්‍යාප්ත වෙමින් පවතී. මහපිටිය අලිමංකඩ, මහවැලි එච් කලාපයේ පිහිටි අන්දරවැව වනාන්තර ඇතුළු බොහෝ මහවැලි රක්ෂිත වනාන්තර වනසා දැමීමෙන් අනතුරුව වන රක්ෂිත වනසා දැමීමට ද මහවැලි අධිකාරිය මේ වන විට යොමු වී ඇත.

නූපන් අනාගත පරපුර වෙනුවෙන් වෙන් කළ මේ වන රක්ෂිත ඉතා කඩිනමින් වනසා දැමීමට මහවැලි අධිකාරිය සූදානම් වීම පිළිබඳව අප කණගාටු වෙමු. අලි – මිනිස් ගැටුම ලංකාවේ වර්ධනය කිරීමට මූලික වූ මහවැලි අධිකාරිය නැවත නැවතත් මේ ලෙස කටයුතු කරමින් රටේ කෘෂිකර්මාන්තය හා ජනදිවිය ආගාධයට ගෙන යෑමට උත්සාහ දැරීම කණගාටුදායක තත්ත්වයකි.

පරිසර අමාත්‍යතුමන්ගෙන් හා වන සංරක්ෂණ ජනරාල්වරයාගෙන් අප ඉල්ලා සිටින්නේ පදවිය වන රක්ෂිතයට අයත් වනාන්තර බිම් මහවැලි අධිකාරියට පැවරීමේ ක්‍රියාවලිය වහාම නතර කිරීමට කටයුතු කරන ලෙසත්, රක්ෂිත වනාන්තර, රක්ෂිත භාවයෙන් ඉවත් කර සංවර්ධන කටයුතු සඳහා ලබාදෙමින් සිදු කරන වැරදි පූර්වාදර්ශ ලබාදීම වහාම නතර කරන ලෙසත්ය. මහවැලි විෂයභාර අමාත්‍යතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ අනාගත පරපුරේ සම්පත් වැනසීමට අනුබල දීම වෙනුවට රටේ සම්පත් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම සඳහා සහයෝගය ලබාදෙන ලෙස ය.

සජීව චාමිකර
පරිසර සංරක්ෂණ භාරය