Colombo, Democracy, Features, Governance, Human Rights

තණකොල සහ පුන්නක්කු

Duminda Silva(රාජ-පක්ෂ නීතිය)

අප මොන තරම් ඇන්දවිය හැකි ජාතියක් දැ යි ගිය සතියේ අපේ ඇහැට ඇඟිල්ලෙන් ඇන අපේ පාලකයෝ පෙන්වා දුන්හ. එහෙත් ඒ ‘පෙන්වා දීම’ අප ‘දැක්කේ’ ද? නැති බවට මම සැක කරමි. මැජික්කාරයන් පෙන්වන දේවල් බලා සිටින්නා ‘දකින්නේ’ නැත. එය විජ්ජාවක් වන්නේ එබැවිනි. විස්මය දනවන්නේ, එසේ පෙන්වා දෙන දෙය ‘නොදැකීම’ මගිනි.

නොපෙන්වා යමක් පෙන්වන විජ්ජාව කරන්නේ කෙසේ දැ යි පේ‍්‍රක්ෂකයාට දැන ගැනීමට විජ්ජාකාරයා කවදාවත් ඉඩ තියන්නේ නැත. මහින්ද රාජපක්ෂ ඇතුළු වර්තමාන පාලකයෝ ඒ අතින් සැබෑ විජ්ජාකරුවෝ නොවෙති. ඔවුන් තමන් පෙන්වන විජ්ජාවෙන් මොන තරම් අහංකාරයට සහ ස්වයං-තෘප්තියට පත්වන්නේ ද යත්, විජ්ජාව සාර්ථකව ප‍්‍රදර්ශනය කිරීමෙන් පසු කළු තිරය මුළුමණින් ඉවත්කොට, ඊට පසුපසින් පැවති තමන්ගේ හොරය ‘මෙන්න බලා ගනිල්ලා’ යැයි පේ‍්‍රක්ෂකයාට නොවලහා හෙළි කරති. එතැනින් පසු විජ්ජාව අවසන් ය. එහෙත් ඒ මොහොතේ සිට පේ‍්‍රක්ෂකයා (මහජනතාව) තුළ, විජ්ජාව වෙනුවට ‘විද්‍යාව’ පිළිසිඳ ගත යුතු නේද? අවාසනාවක මහත/ ශ‍්‍රී ලාංකිකයා තවමත් ඉන්නේ ඒ අවිද්‍යාවේම ය.

භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු හතර දෙනෙකු ඝාතනය කිරීමේ ප‍්‍රධාන සැකකරුවා වූ දුමින්ද සිල්වා එම සිද්ධියේ දී බරපතල තුවාල ලැබ ‘අසාධ්‍ය’ තත්වයෙන් පසුවන බව වාර්තා විය. බොහෝ තොරතුරුවලට අනුව, ඔහුගේ ශාරීරික තත්වය විස්තර කෙරුණේ ‘එළවළු’ ස්වභාවයෙනි. එනම්, ඔහුගේ ජීවිතය ආරක්ෂා වුණත්, එය කවදත් අකර්මණ්‍ය ශාකයක තත්වයෙන් පවතින බවයි.

අසාධ්‍ය තත්වයෙන් පසුවන සැකකරුවෙකු ප‍්‍රායෝගිකව අත්අඩංගුවට ගැනීම අසීරු විය හැකි වෙතත්, නීතියෙන් එකී අත්අඩංගුවට ගැනීමේ විධානය නිකුත් කිරීම අපහසු නොවේ. එහෙත් ලංකාවේ කිසි පොලීසියක් හෝ නීතිපති දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගැනීමට උසාවියකින් ඉල්ලා සිටියේ නැත. ඉතිං ටික දවසක් ලංකාවේ රෝහල්ගතව සිටි දුමින්ද සිල්වා, ලංකාවේ වෛද්‍යවරුවන් ගැන විශ්වාසයක් තැබිය නොහැකි නිසාත්, අතමිට හිඟ නැතිව මුදල් ඇති නිසාත්, පිටරට ගියේය. ඒ, ආණ්ඩුවේ පූර්ණ ආරක්ෂාව සහ අනුග‍්‍රහය යටතේ ය.

මේ කාලයේ දී අපේ පාර්ලිමේන්තුව ඔහුට එක දිගටම ‘නිවාඩු’ අනුමත කෙළේ, කවදා හෝ දවසක ඔහු නැවත එහි එන බව සහතික වශයෙන්ම කල්තියා දැන සිටි ගානට යි. කෙසේ වෙතත්, හිටිහැටියේම දවසක් නීතිපතිවරයා දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට අවසර ඉල්ලා සිටියේය. එකල මාධ්‍ය තාරකාවක් බවට උසස් වීමක් ලබමින් සිටි හිරුනිකා නැමති තරුණියක් නීතිපතිවරයාගේ මේ ‘එඩිතර’ භාවයෙන් පස්වනක් ප‍්‍රීතියෙන් පිනා ගොස් ඔහුට මුව නොසෑහෙන්න නමස්කාර කළාය. කවුරු මොනවා කීවත් ලංකාවේ තවම ‘නීතියේ ආධිපත්‍යයක්’ ඇති බව එයින් ‘ඔප්පු’ වූ බව ඇගෙන් ගම්‍යමාන විය.

මිනිස් ඝාතනයේ සැකකාරයෙකු වීමට අමතරව ඔල්මොරන්දන්කාරයෙකුත් නොවන කිසිවෙකු, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කොට තිබිය දී ආපසු ලංකාවට එන්නේ නැත. එහෙත්, ලාංකීය පුරවැසියා වූ කලී, සහසුද්දෙන්ම නීතිගරුක පුරවැසියෙකු බව ලොවටම ඔප්පු කරමින් දුමින්ද සිල්වා ආපසු ලංකාවට ආවේය. ඉන් පසු කෙලින්ම රෝහල්ගත වුණේය.

ඔහුගේ නීතිඥයා උසාවියට කරුණු දක්වමින්, ඔහුගේ මොළයට සිදුවී ඇති බරපතල තුවාලවල අසාධ්‍ය තත්වය තුළ පවුලේ සමීපතමයන් සමග සිටීම අත්‍යාවශ්‍ය වන බැවින් ඔහුට ඇප ඉල්ලා සිටියේය. නීතිපතිවරයා ඊට විරෝධය නොපෑ නිසා උසාවිය ඔහුව ඇප පිට නිදහස් කෙළේය. රෝද පුටුවෙන් ලංකාවටත්, ලංකාවේ රෝහලටත් ගිය දුමින්ද සිල්වා, උසාවියෙන් නිදහස ලද සැණින් දෙපයින් සිටගෙන කෙලින්ම ගියේ රටේ ප‍්‍රධාන පුරවැසියාගේ නිල නිවෙසට යි. මැජික් සන්දර්ශනය එතෙකින් නිමා විය. රහස, ‘ආරේ සිට පූරේ දක්වා’ නිරාවරණය විය.

මෙය ‘හාස්කමක්’ වශයෙන් මාධ්‍ය ගෙනහැරපායි. ඒ හාස්කම අදහා ගැනීමට ඇති නොහැකියාව කොතෙක් ද යත්, ඉපදී දින හතෙන් නෙළුම් මලක් මත ඇවිදින බිළිඳු සිදුහත් කුමරු දැකීමෙන් අමන්දානන්දයට පත් සුද්ධෝදන රජතුමා තම සිඟිති පුතාට දොහොත් මුදුන් දී වැන්දේ කෙසේ ද, ඒ ආකාරයෙන්ම මේ ආශ්චර්යමත් දුමින්ද සිල්වා පුටුවක වාඩි වී සිටිය දී ඔහු අභියසට පැමිණි පොලීසියේ ලොක්කෙක්, ඔහුට එකත්පස්ව සිට ‘සැලියුට්’ ගැසුවේය. එනම්, සිව් මිනිස් ඝාතක සැකකරුවෙකුට පොලීසියේ ලොක්කෙක් කැමරාවක් ඉදිරියේම අභිනන්දනය කෙළේය. එය ලංකාවේ වර්තමාන ජාතික විහ්නයේ සෘජු රූපකයයි.

අපේ කතාව පටන් ගැනෙන්නේ මෙතැනිනි.

යමෙකුගේ අපරාධය මොන තරම් බරපතල වුවත්, ඔහු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයෙකුට වෘත්තීය වගකීමක් ඇතැ යි ඕනෑම නීතිඥ මහතෙකු අපට කියා දෙනු ඇත. එම තර්කය හරි ය. මන්ද යත්, කිසි සැකකරුවෙකු, අපරාධය ඔප්පු කෙරෙන තෙක්, වැරදිකරුවෙකු නොවන බැවිනි. ඊළඟට, තමා පෙනී සිටින සැකකරුවාගේ අපරාධය නීතිඥයා හැබැහින් දැක නැති නිසා, ඔහුට එම සැකකරුවා වෙනුවෙන් පෙනී සිටීමේ සදාචාරමය විචිකිච්ඡාවක් ඇති වන්නේ ද නැත. හැබැයි, අළුත්කඬේ උසාවි භූමියේ දීම විනිසුරුවරයෙකුව වෙඩිතබා ඝාතනය කළ සැකකරුවා වෙනුවෙන් පෙනී සිටීම අපේ නීතිඥ මහත්වරුන් එදා වර්ජනය කෙළේ මන්දැ යි ප‍්‍රශ්නයක් තිබේ. එසේම, නීතිඥ මහතෙකුගේ අම්මාව හෝ තාත්තාව ඝාතනය කළ සැකකරුවෙකු වෙනුවෙන් එම නීතිඥ මහතාම පෙනී සිට ඇති බවක් මේ දක්වා දැනගන්නට ද නැත. එයින් පෙනී යන්නේ, ශුද්ධ වූ වෘත්තීය වගකීමට අමතරව, සදාචාරමය බරකුත් නීතිඥයෙකුට තිබිය යුතු බව යි. නීතිඥයෙකුට පමණක් නොව, සෑම වෘත්තීයවේදියෙකුටම එවැනි සදාචාරයක් තිබිය යුතුය.

දැන්, දුමින්ද සිල්වාට ඇප ලබා ගැනීම සඳහා උසාවියේ කරුණු දැක්වූ නීතිඥවරයා එසේ කෙළේ, වෛද්‍ය වාර්තාවක් මත පිහිටා පමණක් නොවේ. මොළයේ ඇති වූ තුවාල නිසා ඔහු ‘අසාධ්‍ය’ තත්වයේ පසුවන බව මේ නීතිඥයා ‘දැක’ තිබුණි. ඊට පෙර ඔහු වෙනුවෙන් වෛද්‍ය වාර්තා නිකුත් කළ විශේෂඥ වෛද්‍යවරු ද එයම ‘දැක’ තිබුණි. ඔවුන් දෙන්නා එය ‘දැක’ තිබූ නිසා, නීතිපතිවරයා ද ‘දැක්කා සේ’ සිටියේය. උසාවිය, ඒ කිසිවක් ‘නොදැක්කා සේ’ අවසර දුන්නේය. මේ සියල්ලන්ම, රට කරවන දේශපාලක කුලකයට අයත් නැති, ‘බුද්ධිමත්’ යැයි සැළකෙන, සමාජය වෙනුවෙන් වෘත්තීය සේවයක නිරතව සිටිති යි කියන, එක්තරා ආකාරයක ‘විශේෂඥයන්’ ය. ඔවුන් සියල්ලන් සහ දුමින්ද සිල්වා ඉදිරියේ සැලියුට් ගැසූ අර පොලිස් නිලධාරියා අතර කිසියම් වෙනසක් තිබේ ද?

පැහැදිළි සිංහලෙන් මේ තත්වය හැඳින්වෙන්නේ ‘සිස්ටම්’ එක කියා ය.

අප ඉහතින් කී හිරුනිකා නැමැති තරුණිය ඉන්නේත් එම ‘සිස්ටම්’ එක ඇතුළේමයි. ඇගේ පියා ඝාතනය කළ බවට ඇය චෝදනා කරන දුමින්ද සිල්වා සමග එක පේළියට, එක පක්ෂයක සහ එක ආණ්ඩුවක ඇය අසුන් ගන්නා දිනය එන තෙක් මේ ‘සිස්ටම්’ එක වටහා ගැනීමට කෙනෙකු බලා සිටිය යුතු ද?

@Image Credit:Daillymirror

Gamine Viyangoda 2ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda