සිංහල, Colombo, Corruption, Governance

ලෝක දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාව 97 ස්ථානය දක්වා පහළ බසී

වසරක් පාසා නිකුත් කෙරෙන දූෂණ සංජානන දර්ශකයේ ලෝකයේ රටවල් 180 ක් අතුරින් ශ්‍රී ලංකාවට මෙවර ඇත්තේ 97 වැනි ස්ථානය බවත් ගත වූ වසරේදී ශ්‍රී ලංකාව එහි 92 වැනි ස්ථානය හිමිකරගෙන සිටි අතර ඒ අනුව මෙවර ශ්‍රී ලංකාව තවත් ස්ථාන පහකින් පහළ බැස තිබෙන බවත් ට්‍රාන්ස්පෙරන්සි ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා ශාඛාව ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ලෝකයේ රටවල රාජ්‍ය අංශයේ පවතින දූෂණයන් පිලිබඳව අවධානය යොමු කෙරෙන මෙම දර්ශකය නිකුත් කරනු ලබන්නේ දූෂණයට එරෙහි ගෝලීය සිවිල් සංවිධානය වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයයි. පසුගිය වසරේ දර්ශකයේදී ශ්‍රී ලංකාවට ලකුණු 3.2 හිමිව තිබුනද මෙවර හිමිව ඇති ලකුණු සංඛ්‍යාව 3.1 කි. මේ අනුව මෙරට රාජ්‍ය අංශය තුළ දුසැරිය වඩාත් අනතුරුදායක අන්දමින් ක්‍රියාත්මක වන බව තහවුරු වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ ජේ.සී. වැලිඅමුණ මහතා දූෂණය පිළිබඳව ලොව වඩාත් පිළිගත් හා නිරන්තරයෙන් භාවිතයට ගනු ලබන දර්ශකය මෙය බව සඳහන් කළේය. මෙයින් වඩාත් පැහැදිලි චෝදනාවක් ශ්‍රී ලංකාව වෙත එල්ලවී තිබෙනවා, එබැවින් මෙරටින් දුසැරිය වහා තුරන් කිරීමට ඉක්මන් සහ බරපතල සාමූහික හා සම්පූර්ණ වෙනසක් ඇති කිරීම වහා සිදුකළ යුතුව තිබෙනවා. එසේම මෙම දර්ශකය හරහා ශ්‍රී ලංකාවට අත්ව තිබෙන ප්‍රතිඵලයෙන් ඉගෙන ගත යුතු හොදම පාඩම වන්නේ දුසැරිය අවම කරලීමේ ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය බවද හෙතෙම සඳහන් කළේය. ඒකාධිපති පාලනයන් පවතින හා ජාත්‍යන්තරව අර්බුදයන්හි පැටලී සිටින රටවල යහපාලනය ඉතා පහල මට්ටමක පවතින බැවින් එම රටවල් දූෂණ සංජානන දර්ශකයේ අවම ස්ථාන හිමිකරගෙන තිබෙන බවද වැලිඅමුණ මහතා තවදුරටත් පෙන්වා දුන්නේය.
දකුණු ආසියානු රටවල් අතුරින් භූතානය (5) සහ ඉන්දියාව (3.4) පමණක් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින අතර මාලදිවයින (2.5) පාකිස්ථානය (2.4) සහ නේපාලය (2.3) ශ්‍රී ලංකාවට පහළින් පසුවේ.
මෙම වසරේ දූෂණ සංජානන දර්ශකයේ ඉහළම ස්ථානය හිමිකරගෙන සිටින්නේ නවසීලන්තයයි. (9.4) ආසියාතික රටක් වන සිංගප්පූරුව (9.2) සහ ස්වීඩනය (9.2) දෙවන ස්ථානයට පත්ව සිටින අතර ලකුණු 9 ලබාගනිමින් ස්විට්සර්ලන්තය තෙවන ස්ථානය හිමිකරගෙන සිටී. එමඟින් එම රටවල දීර්ඝ කාලීනව පවතින දේශපාලනික ස්ථාවරය, අර්බුදයන්හි අවම බව, නීති නිසියාකාරව ක්‍රියාත්මක වීම මෙන්ම රාජ්‍ය ආයතනයන්හි නිසි ක්‍රියාකාරීත්වයද පෙන්නුම් කෙරේ.
මෙම දර්ශකයේ සෝමාලියාව (1.1) ඇෆ්ගනිස්ථානය (1.3) මියන්මාරය (1.4) සූඩානය සහ ඉරාකය (1.5) පහළම ස්ථාන හිමිකරගෙන සිටී. මෙම ප්‍රතිඵලය මගින් දර්ශකයේ අවසන් ස්ථාන හිමිකර ගෙන සිටින රටවල පවත්නා දීර්ඝ කාලීන අර්බුදයන් හේතුවෙන් එම රටවල පරිපාලන ව්‍යූහයේ බිඳවැටීම පැහැදිලි වේ.