Colombo, Democracy, Economic issues, Features, Governance, Human Rights, Human Security, Politics and Governance

‘ආණ්ඩුවේ උද්ඝෝෂණයක් තියනවා. ලේ වැගිරීමක් වෙන්න පුලුවන්..!‘

]‘පොඩ්ඩක් අහන්න. කොටුවේ දැන් ආණ්ඩුපක්ෂයේ උද්ඝෝෂණයක් තියනවා. තමුන්නාන්සේලා ඒ පැත්තට ගියොත් විශාල ගැටුමක් ඇති වෙලා විශාල ලේ වැගිරීමක් වෙන්න පුලුවන්. සාමය කඩවීමක් වෙන්න පුලුවන්. – ශ්‍රී ලංකා පොලීසිය[

Police

“විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය“ විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමන ඊයේ(15) දහස් ගණනක් ජනතාවගේ සක්‍රීය සහභාගීත්වයෙන් පැවත් වූ බව මාධ්‍ය වාර්තා කළේ ය. නමුත් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම නැවත නැවතත් කියාපමින් සුපුරැදු ලෙස එම මහජන විරෝධය කඩාකප්පල් කිරීම සදහා එයට විරැද්ධව කොටුවේ උද්ඝෝෂණයක් පැවැත්වීය. සුපුරැදු ලෙස එය මෙහෙයවන ලද්දේ ආණ්ඩුවේ කුලීකරැවන් පිරිසකි. මෙම ‘විරෝධතා කුලීකරැවන්ම‘ යොදවාගෙන අගවිනිසුරැවරියට එරෙහිව ආණ්ඩුව විසින් ගෙන ආ දෝෂාභියෝගයට විරැද්ධව නීතිඥයින්, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ ඇතුලු කණ්ඩායම් ගෙන ගිය සාමකාමී විරෝධතාවලදී, එම විරෝධතාකරැවන්ට පොලු,ගල්, ටියුබ්ලයිට් ආදියෙන් පහර දුන්නේ ද මොවුන්මය. අධිකරණය ඉදිරිපිට හූ කියා ජෝගි දැමුවේ ද මොවුන්මය. ඒ රාජපක්ෂ පොලීසියේ ආරක්ෂාව සහ අනුග්‍රහය යටතේ ය.(පහරදූන් ආකාරය දිස්වන වීඩියෝ/ඡායාරෑප විශාල ප්‍රමාණයක් මාධ්‍ය තුල පළවුවද ඒ කිසිවෙක් තවමත් අත්අඩංගුවට පත් වී නැත).එපමණක් ද නොවේ. මාධ්‍ය මර්දනයට එරෙහිව 2012 වසරේ කලු ජනවාරී විරෝධයට බාධා කරමින් එය පැවත්වීමට සංවිධානය කර තිබූ කොළඹ,කොටුවේම, ආණ්ඩුවට හිතවාදී, අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර එහෙත් නිදහසේ(රජමැදුරේ උදේ සවස තේ බොමින්, කිසිදු බියක් නැතිව පොලීසිය සමගද) සිටිනා අයෙක් නායකත්වය සපයමින් මෙළෙසම එම විරෝධයට බාධා කළේය. ඊයේ ද එම ආණ්ඩුවේ ‘විරෝධතා කුලීකරැවන්ම‘ එයට යළි සූදානම් වී සිටියේ ය. ඒ පසුගිය කාලයේ පැවති සෑම විරෝධයකම සේ පොලීසියේ ද සහයෝගයක් ඇති බව පෙනී ගිය විශේෂ කරැණක් විය.

එය ඔවුන් විසින්ම සනාථ කළේය. එනම් “විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය“ විසින් පැවැත්වූ මහජන විරෝධතා පා ගමන ටෙක්නිකල් හංදියට ළගාවත්ම පොලීසියේ ඉහළ නිළධාරීන් ඇතුලු පොලිස් නිළධාරීන් විසින් විරෝධතා පාගමන අවහිර කරමින් ‘පොඩ්ඩක් අහන්න. කොටුවේ දැන් ආණ්ඩුපක්ෂයේ උද්ඝෝෂණයක් තියනවා. තමුන්නාන්සේලා ඒ පැත්තට ගියොත් විශාල ගැටුමක් ඇති වෙලා විශාල ලේ වැගිරීමක් වෙන්න පුලුවන්. සාමය කඩවීමක් වෙන්න පුලුවන්. ඒ නිසා ඒ පැත්තට යන්න එපා.‘ යැයි පැවසීය.

දැන් බළලා මල්ලෙන් එළියට පැන්නේ ය. සාමකාමී මහජන විරෝධතා කරැවන් ඉදිරියේ පොලීසිය නිරැවත් වූ සේයකි. පොලීසිය සිදුකළ ප්‍රකාශයෙන් කාරණා කිහිපයක් හෙළි වෙයි. එකක් නම්, ඔබලා ගියොත් ඔවුන් ඔබලාට ගහන්න පුලුවන්, ලේ වැගිරීමක් වෙන්න පුලුවන්. දෙක, එබැවින් ආණ්ඩුවේ විරෝධතාකරැවන් මැරයන් බවය. තුන ඒක ආණ්ඩුවේ උද්ඝෝෂණයක්. එසේම මැරයින් සාමකාමී විරෝධතා කරැවන්ට පහර දුන්නොත් අපි නෑ, වගේ හැගීමක් ප්‍රකාශ වුනි. එයින් පැහැදිලි වන්නේ, මැරයින්ගෙන් සාමකාමී ජනයා ආරක්ෂා කිරීමට, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට, පොලීසියට දැන් නොහැකි බව නොවේ ද? ලේ වැගිරීමට සූදානම්ව සිටිනවා යැයි කියන මැරයින්ට විරැද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට දැන් පොලීසියට නොහැකි බව නොවේ ද? එය නැවත වරක් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයේත්, තිබෙනවා යැයි කියමින් ගිරිය කඩන් කෑ ගසන මානව හිමිකම් පිළිබදවත් වන අන්ත දූගීභාවය රාජපක්ෂ ආණ්ඩුවේම නිළ පොළිසිය කියා දුන්නු අලුත්ම පාඩමය.

*(සැලකිය යුතුයි- එහි දී එම මහජන විරෝධතාවයේ කැදවුම්කරැවෙක් වන සමන් රත්නප්‍රිය ප්‍රකාශ කලේ, ‘අපි මෙම විරෝධතාවය කොටුවේ පැවත්වෙනවා කියලා දැනුම් දුන්නේ මීට සති 3කට පෙර, ආණ්ඩුවේ ගෝලයෝ ඊයේ තමයි මේ විරෝධතාවයක් ප්‍රකාශ කරලා මේක අවහිර කළේ‘ යනුවෙනි)

බලන්න Vikalpa වෙබ් අඩවිය නිශ්පාදනය කළ මෙම වීඩියෝව

අනෙක නම්, ආණ්ඩුවේ උද්ඝෝෂකයින් මැරයින් බවත්, ඔබලාට ගහන්න පුලුවන් බවත් පොලීසිය දැන දැනම එයට, නැතිනම් ඔවුන්ගේ භාෂාවෙන් කියන්නේ නම් ‘සාමය කඩවීමට‘ ප්‍රථම එම මැරයින්ට විරැද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් පොලීසිය ගත්තේ නැති බවය. පොලීසිය ද ඔවුන්ටම අනුව ආණ්ඩුවේ මැර උද්ඝෝෂකයින්ගේ පැත්ත ගෙන සාමකාමි මහජන විරෝධය ‘සාමය කඩවිය හැකියි‘ යන රාජපක්ෂ පොලීසියේ ඊනියා අදහස භාවිතා කරමින් එම මහජන විරෝධය වැලැක්වීමට උත්සහ දැරීය.

නමුත් ආණ්ඩුවේ ‘විරෝධතා කුලීකරැවන්‘ ආරක්ෂා කරමින් එසේ හැසිරුනු පොලීසියට එම ජන ගග ආපසු හැරවීමට නොහැකි විය. ආණ්ඩුවේ ‘විරෝධතා කුලීකරැවන්‘ ට ද සිය මැරකම ප්‍රදර්ශණය කිරීමට ද කිසිදු අවසරයක් නොදෙමින් දහස් ගණනක් ජනයා සහභාගී වූ එම මහජන විරෝධය රාජපක්ෂ ආණ්ඩුවට තවත් වරක් ඉතා ප්‍රභල සංඥාවක් දුන්නේය. එනම්, ප්‍රජාතන්ත්‍රවාදී ජන සමූහයකට, ඔබේ මැර(පොලීසියම කිවු දෙයින් හැගී යන), කුලී විරෝධතා කුලීකරැවන් ද, සියලු දේ කළ හැකි යැයි සෑම විටම සිතා සිටිනා අධිපති මිලිටරි යාන්ත්‍රණය ද, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය ද පරාජය කළ හැකි බවයි.

පහත පළවන්නේ “විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය“ විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමන පිළිබද Vikalpa වෙබ් අඩවිය නිශ්පාදනය කළ වීඩියෝවයි.

Vikalpa වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර තිබූ එම විරෝධතාවයේ සම්පූර්ණ ඡායාරෑප සටහන