Colombo, Culture, Democracy, Education, Features, Media, Media and Communications

ළමුන්ට අතවර කරන්නේ අන්තර්ජාලයද?

පසුගිය ජූනි 11වන දා අපූරැ පුවතක් වෙබ් අඩවියක පළවී තිබිණි. එම පුවතේ ශීර්ෂය ලෙස සදහන් ව තිබුණෙ ‘අන්තර්ජාලය නිසා අද රටටම ජංජාලයක්‘ යන්න යි. එම පුවතින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන නිලධාරී පොලිස් පරීක්ෂක කේ. ඒ. එස්. සේනානායක උපුටා දක්වමින් කියැවුනේ ‘අන්තර්ජාලය අද රටටම ජංජාලයක් වෙලා අතවරයට ලක්වන දරුවන්ගෙන් 82‍%ක් අන්තර්ජාලයේ ෆේස්බුක් හෝ ජංගම දුරකථන නිසා බව පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. මේ හරහා මිතුරුකම් ඇති කර ගන්න අය ඇසුරු කළ සුළු කලකදී ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගන්නවා. මේ දරුවන්ට ප්‍රේමය පිළිබද අවබෝධයක් නැහැ. මාස කිහිපයකට පස්සේ ඔවුන් ඉතා විශ්වාස අය බවට පත් වෙනවා. එසේ වීම නිසා නිදහස ලැබූ අවස්ථාවන්හිදී ලිංගික ඇසුරට එක් වෙනවා.‘ යනුවෙනි.

images

දැන් මෙම ප්‍රකාශයේ හැගවුම තුළින් සිය ලිං මැඩි චින්තනය මනාවට ප්‍රදර්ශණය කරමින් දරැවන් අතවරයට ලක්වීමත්, ඔවුන් ලිංගික ඇසුරට එක් වීමත් අන්තර්ජාලය නිසා සිදුවන්නක් බව පැහැදිලි කිරීමට උත්සහ ගනියි. ඒත් සමග ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි මාරයෙක් ලෙස හදුන්වා දීමට ද උත්සහ කරයි. නමුත් එම නිළධාරියා ‘ප්‍රේමය පිලිබද අවබෝධයක් නැහැ‘ යනුවෙන් පවසයි. එය සත්‍යක් වන්නට පුලුවන. නමුත් අප ඔහුගෙන් ඇසිය යුත්තේ එයට වැරදි අන්තර්ජාලය ද, ෆේස්බුක් එක ද කියා ය. අනෙක් පසින් දහස් ගණනක් මරා දමන තෙක් කකුල් උඩ තියාගෙන රෑපවාහිනියේ මළ මිනී ගණන් කර අත්පුඩි ගැසූ සමාජයකට ‘ප්‍රේමය‘ ගැන අදහසක් තිබිය නොහැකි බව ඔහුට වැටහෙන්නේ නැත.

මෙම නිළධාරියා පමණක් නොව ලංකාවේ බොහෝ කුහක සදාචාරවාදීන් තවමත් සිතා සිටින්නේ අන්තර්ජාලය නිසා අපේ දරැවන් නරක් වෙන බවය. එබැවින් එයට පිවිසීම හැකි තරම් වැලැක්විය යුතුය. පුලුවන් නම් එය තහනම් කළ යුතුය. එක් පැත්තකින් ඔවුන් සිතන්නේ අන්තර්ජාලය තිබෙන්නේ ‘කුනුහුරුප‘ කරන්නට කියා ය. අනෙක් පැත්තෙන් ලංකාවේ ඇතැම් වෘත්තීය සමිති නායකයන්, පැරණි වම්මුන් මෙන් ඔවුන් සිතන්නේ ‍‍ෆේස් බුක් එක තිබෙන්නේ හැකි තරම් බොරැ නම්වලින් පෙනී සිටිමින් ගැහැණුන්ව දැලේ දමා ගැනීමට කියා ය. එයට වඩා දෙයක් එයට කලහැකි මෙන්ම කෙරෙමින් තිබෙන වබ බොහෝ ජනයාට වැටහෙන්නේ නැත.

නමුත් ප්‍රශ්ණය තිබෙන්නේ තමන්ගේ ඔලුව ඇතුලේ කියා තත්පරයකටවත් ඔවුන් සිතන්නේ නැත. මෙම නිළධාරියා පවසන ලෙස ළමුන් අතවරයට ලක්වීම යන කරැනු ගතහොත්, එයට ප්‍රධානතම කරැණු අතර එකක් ලෙස ලිංගික අධ්‍යාපනය පිලිබද ගැටලුව සැලකිය හැකිය. අපේ සමාජයේ අඩුම තරමේ ලිංගික අධ්‍යාපනය පිළිබදව බොහෝ පාසල්වල උගන්වන්නේ නැති තරම්ය. යෝනිය, ශිෂ්ණය, ගර්භාෂය වැනි මිනිස් ශරීරයේ කොටස්වල ඡායාරෑප. වචන පවා විද්‍යාව පොතේ තිබුනොත් අහක බලාගෙන එම පිටු පෙරලමින් වෙනත් පාඩම් කියා දෙන ගුරැවරැ අදටත් සමාජයේ ඕනෑ තරම් සිටිති. එතැන් පටන් ඒ දරැවන් සමාජ ගතවන තුරැත් ලිංගික අධ්‍යාපනය ගැන මෙලෝ හසරක් විදිමත්ව දන්නේ නැත. ඔවුන් ඒවා ඉගෙන ගන්නේ එවැනිම ලිංගිකත්වය පිළිබද කුහක අදහස් ඇති සමාජයෙන් ය. ලිංගික අධ්‍යාපනය ගැන යමක් හෝ ඉගෙන ගන්නේ එම කුහක සමාජයෙන්ම වීම නිසාම ඔවුන් දන්නේ එක්කෝ එය කුහක අර්ථයෙනි. නැතිනම් විකෘති අර්ථයෙනි. එයට වඩා දෙයක් ඔවුන්ට ලැබෙන්නේ ද දන්නේ ද නැති තරම්ය. ලිංගික අධ්‍යාපනය පිළිබද කිසිදු දෙයක් ලාංකීය සාම්ප්‍රදායික නිවසින් ද නොලැබෙන තරම්ය. ඇතැම්විට නිවසින් ලැබෙන්නේද ලිංගිකත්වය පිළිබදව, ආදරය පිළිබදව ඒක “නරක වැඩක්‘ වගේ අදහසක්ය.

එබැවින් මුල සිටම ලිංගිකත්වය, ආදරය වැනි මිනිස් ක්‍රියාවන් පිළිබදල කිසිදු අධ්‍යාපනයක් නොලැබූ දරැවන් සිටින සමාජයක 82‍%ක් දරැවන් අතවරයට ලක්වීම සිදුවන්නේ අන්තර්ජාලය හා ෆේස්බුක්වලින් යැයි කීම වැනි කියමනක දුගීබව තවදුරටත් සරළව තේරැම් ගැනීමට තවත් ආසන්න උදාහරණ කිහිපයක් සැපයීම සෑහේය. රාජපක්ෂ ආණ්ඩුවේ සුනිල් සරැවා නැමති ප්‍රාදේශීය දේශපාලකයා අඩුම තරමේ පරිඝනකය, අන්තර්ජාලය ගැන මෙලෝ හසරක් දන්නේ නැති තරම් බව ලියුම්කරැ විසින් ඔහු පිළිබද සොයා බැලීමේදී අවබෝධ විය. එහෙත් ඔහුගේ සිය විකෘත් ලිංගික උමතුව කොතෙක් ද යත් ගැහැණු දරැවන් 100ක් දූෂණය කර උත්සවයක් තබා එය සාඩම්බරයෙන් සැමරෑ බව ඇතැම් මාධ්‍යය ද මෙයට ටික කලකට පෙර වාර්තා කලේ ය. එසේ වු විය එයට වැරදි අන්තර්ජාලයද? එසේත් නැතිනම් එම දේශපාලකයාගේ විකෘති මනෝභාවයද? අනෙක, පසුගිය දා මහනුවරදී හිමිනමක් හරකෙක් වෙනුවෙන් පෙට්‍රල් සිරැරට හලා ගෙන ගිණි තබා ගත්තේය. ඉන් පසු මහනුවර ප්‍රදේශයේ ඇතැම් ඉන්ධන හල්වලින් බෝතල්වලට සහ කෑන්වලට පෙට්‍රල් දීම නවතා දමා ඇති බවත් වාර්තා විය. දැන් ඒ හිමි ගීනි තබා ගැනීමට වැරදි පෙට්‍රල් ද? නැති නම් ඉන්දන හල් හිමියා ද? එසේත් නැතිනම් බෞද්ධ දර්ශනය පිලිබිද කිසිදු අදහසක් නැති භික්ෂුව ද?

එහෙවු රටක නූතන තාක්ෂණික මෙවලම් නිසා දරැවන් නරක් වෙනවා යැයි අදහස් කරමින් එය ප්‍රතික්ෂේප කරමින් සිටීමට වඩා ළමා ආරක්ෂක අධිකාරියට වටින්, ඔවුන්ට ඒ පිළිබද නිසි අධ්‍යාපනයක්, වැටහීමක් ලබා දීමට කටයුතු කිරීම නොවේ ද? එසේ වුවහොත් අනාගතයේදී සුනිල් ලා වැනි නරැමයින් බිහිවීම අඩුම තරමින් අවම කර ගත හැකිය.

අනෙක් පසින් පිරිමි සහ ගැහැණූ ශරීරවල හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා හට ගන්නා ප්‍රතිචාරයන් පාලනය කිරීමට ළමා ආරක්ෂක අධිකාරියටවත්, මහින්ද චින්තනයටවත් කළ නොහැකිය. නමුත් ඒ මගින් ඇතිවන ලිංගික උත්තේජනයන් පිළිබදවල එම උත්තේජනයන්වල විද්‍යාත්මක තත්ත්වයන් සහ හැගීම් පිළිබදව විදිමත් අධ්‍යාපනයක් ලබා දිය හැකිය. ශිෂ්ඨ සමාජයක් නම් ඉදිරියට යා හැක්කේ එවිටය. වාරණයන්, තර්ජනයන්, දඩුවම් කිරීම මගින් නූතන සමාජයේ අලුත් මිනිසෙක් ගොඩනගා ගත නොහැකිය. නූතන තාක්ෂණයල දැණුම පසෙකට දමා ඇවිළිය හැකි වෙනත් දේවල් ඉදිරියට දමා ගනෙ ආශ්චර්ය කරා නොව ආපසු ගෝත්‍රික තත්ත්වයකට නම් ගමන් කළ හැකිය.

නමුත් අද වන විට අන්තර්ජාලයට බැන වදිමින් එය තහනම් කරන්නේ කෙසේ දැයි කැසකවමින් සිටින පාලකයින් සිටින සමාජයක ශිෂ්ඨ ලෙස අධ්‍යාපනය, දැනුම, නව තාක්ෂණය වැනි දේ පිළිබදව සුබවාදී අන්දමින් බලමින් ක්‍රියාකරනවා දැකිය නොහැකි ය. එසේම මෙවැනි බලය පිළිබද අධික ආශාවෙන් පෙළෙන පාලකයින් විසින් සියලු දේ හසුරැවන තත්ත්වයක් තුළ එවැන්නක් සිදුවීමට ඇති අවස්ථාවන් ද ඉතා විරලය.

අන්තර්ජාලයට ‘වැරදි‘ කීමේ රාජපක්ෂ වාසිය

අන්තර්ජාලය සම්බන්ධයෙන් එම පොලීස් නිළධාරියාගේ දුගී ප්‍රකාශයෙන් වඩා උද්දාමයට පත් වන්නේ වර්තමාන රාජපක්ෂ ආණ්ඩුවයි. ඒ අන් කිසිවක් නිසා නොව පසුගිය කාලය පුරාම වර්තමාන පාලනයට අන්තර්ජාලය ‘වදයක්‘ වී ඇති බව ඔවුන් විසින් ම ඔප්පු කරමින් ඇති බැවිනි.(ඒ පිළිබව ආසන්නතම උදාහරණයක් පසුගියදා ආරක්ෂක ලේකම්වරයා විසින් ප්‍රකාශ කර ඇත. ඒ පිළිබදව වෙනම ලිපියකින් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි)

වෙබ් අඩවි ගණනාවක් වාරණය කරමින් සහ තමන්ගේ කීකරැ කුක්කන් බවට පත් කිරගැනීම පිණිස වෙබ් අඩවි ලියා පදිංචිකරමින්(කිසිදු නීතිමය පදනමකට යටත් නොකර) විවිධ උත්සහයන් ගත්තේ ය.(තවමත් ගනිමින් සිටී) නමුත් ඒ කිසිවක් සිතූ ලෙස අවසන් කර ගැනීමට රාජපක්ෂ පාලනයට නොහැකි වූයේ අන්තර්ජාල මාධ්‍ය භාවිතාවටම අනන්්‍ය, සුවිශේෂ වූ ගුණයන් නිසාය. නමුත් ඒ මුග්ධ උත්සහයන් තවමත් අත්හැර නොමැති බව ඇතැම් නිළධාරීන් විසින් පසුගිය දා කරනු ලැබු එක් ප්‍රකාශයකින් පැහැදි ලි විය. එම ප්‍රකාශයෙන් කියැවුනේ ‘අපේ බෞද්ධයා‘ ගැන ලෝකය පුරා වැරදි මත යවනවා. වෙබ් අඩවි හරහා මේ දේවල් සිදුවෙනවා.‘‘ යනුවෙනි. එයින් පැහැදිලි වන්නේ රාජපක්ෂලාගේ හුරතලුන් නොවුනු වෙබ් අඩවි විසින් රාජපක්ෂලාගේ සුදු රෙදි වලින් වසා ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයන් ලෝකයට වාර්තා කිරීම නිසා කිපී ඇති තරමයි. එයට එරෙහිව ජනයා පෙළ ගැස්වීමට භාවිතා කරන ලද නවතම මෙවලම ‘අපේ බෞද්ධ‘ කමයි. මක් නිසා ද මේ වනවිට ලංකාවේ දී ‘බෞද්ධ‘ කම අන්තවාදී ලෙස මාර්කට් කරමින් අති නිසා එහි වඩා බලයක් ඇතැයි ඔවුන් සිතා සිටිනවා වන්නට පුලුවන. එය හරකාගේ සිට ක්‍රිකට් ක්‍රීඩාව දක්වා වර්ධනය වීමෙන් සමාජයේ යම් කොටසක් ද එහි වඩා බලයක් ඇතැයි සිතනවා වන්නට පුලුවන. නමුත් එය ආපසු කැරකී තමන් වෙතම පැණිනෙන බව ඔවුන්ට වැටහෙනවිට කෝච්චිය ගොස් හමාරය.

දැන් සියල්ල හරිය.

එක් පසකින් ‘අපේ බෞද්ධයාට‘ විරැද්ධව අන්තර්ජාලය තුල වෙබ් අඩවි ක්‍රියාකරනවා, යනුවෙන් මෙන්ම, සමාජ ජාල වෙබ් අඩවි ජාතික ආරක්ෂාවට තර්ජනයක්(මේ පිළිබදව වෙනවම විග්‍රහයක් පසුව ඉදිරිපත් කරමු) කියා ආරක්ෂක ලේකම්වරයා පවසද්දී, අනෙක් පසින් ළමුන් අතවරයට පත් වන්නේ, අන්තර්ජාලය සහ ෆේස් බුක් මගින් කියා ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස් නිළධාරීයෙක් දත්තමය වශයෙන් ගෙන හැර පවසයි. දැන් අපේ ළමයිනුත්, දිවිහිමියෙන් ගිණිතබා ගෙන රැකගත් අපේ බෞද්ධකමත්, විනාශ කරන්නේ අන්තර්ජාලය යැයි රාජපක්ෂ වන්දනීය ජනයාට සිතෙනු ඇත.(නැත, රාජපක්ෂලාට සිතී ඇති දෙය ජනයා අනිවාර්යෙන් සිතිය යුතුය. එය එසේ වන්නේ, ජනයා වෙනුවෙන් සිතන්නේ ඔවුන් බැවිනි.) ඒ අවිචාරවත් සිතිවිල්ල සිය දේශපාලනික බලය තව තවත් තහවරැ කරගැනීම සදහා හොදම උපකරණය යැයි සිතා තව තවත් අන්තර්ජාල වාරණයන් ‘ජනයාගේ කැමැත්ත මත‘ යන ඊනියා යෙදුම භාවිතා කරමින් රාජපක්ෂ පාලනය විසින් ඉදිරියටත් සිදු කළ හැකිය. දැන් අතගසමින් සිටින ෆේස්බුක් වැනි සමාජ ජාල ද, මේ තර්කයම යොදා ගනිමින් වාරණය කිරීම සදහා ද ඔවුන් පසුබට නොවනු ඇති. මක් නිසා ද යත් මෙලෙස ප්‍රකාශණයේ නිදහස උපායමාර්ගිකව හකුලමින් තිබෙන ආණ්ඩු විශේෂයෙන් ඔවුන්ගේ බලය තහවරැ කරගැනීම සදහා ඇති එක් ප්‍රධාන හතුරෙක් ලෙස සලකනුයේ වෙබ් අඩවි සහ අන්තර්ජාල සමාජ ජාලයන් ය. එය එසේ වන්නේ එම ආණ්ඩුවල දූෂීත, ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයන් ලෝකය පුරා බෙදා හැරීමට බොහෝ අන්තර් ජාල මාධ්‍යන් පසුබට නොවීමය. ඒ තුලින් එම පාලනයන් කිසියම් දෙදරීමකට ලක්වීමට ඇති ඉඩ විශාල වශයෙන් බව පසුගිය කාලයේ ලෝකයේ ඇතැම් පාලකයන් ඇද වැටුනු ආකාරයෙන් මනාවට පැහැදිලි ය.

එම නිසා, ‘අපේ බෞද්ධකම“ ‘ජාතිය‘ ‘දේශප්‍රේමය‘ ‘අපේ ළමයි‘ යනුවෙන් අයිසින් තැවරෑ අවිචාරවත් අදහස් සමාජ ගත කරමින් යථාර්තය සගවා තමන්ගේ පවුල් දේශපාලනය තර කර ගැනීමට කෙතරම් උත්සහ කළත්, පෙර පැවසූ ලෝක තත්ත්වය ලංකාවටත් එකසේ අදාලය. මක් නිසාද යත් ලෝකය තිබෙන්නේ ලංකාව තුල කියා ඇතැම් අය සිතා සිටියත්, යතාර්තය නම්, ලංකාව තිබෙන්නේ ලෝකය තුල බැවිනි.