Colombo, Democracy, Featured Articles, Features, Media, Media and Communications, Politics and Governance

”ආචාර ධර්ම පද්ධතිය නිදහස් අදහස් මර්දනයේ තවත් පියවරක්”

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ජනමාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් පැනවීම රටේ නිදහස් අදහස් මර්දනය කිරීමේ ව්‍යායාමයේ තවත් පියවරක් ලෙසින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා ජනමාධ්‍ය සංවිධාන විසින් දෝෂ දර්ශනයට ලක්කරමින් ඇත.

ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය විසින් සියලු ආකාරයේ ප්‍රවෘත්ති ආයතන වලට බලපාන පරිද්දෙන් ආචාරධර්ම පද්ධතියක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කැරුණේ දින දෙකකට ඉහතදී ය.

120126021258_human_rights_watch_304x171_hrw_nocredit

ශ්‍රී ලංකා ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති අමාත්‍යාංශය මගින් කෙටුම්පත් කර ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති ජන මාධ්‍ය සඳහා වන ආචාර ධර්ම පද්ධතිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය (HRW) එම වැඩ පිළිවෙල විග්‍රහ කරනු ලැබ තිබෙන්නේ, මාධ්‍ය මගින් ආණ්ඩුව විවේචනයට ලක් කරනු ලැබීම වලක්වා ලීමේ අතිවිශාල බලපෑමක් දැනටමත් එල්ල කරන ශ්‍රී ලංකාවේ බලධාරීන් මාධ්‍යවේදීන් තවදුරටත් ස්වයංවාරණයකට ලක් කිරීමේ අරමුණින් ගෙන යන ක්‍රියා මාර්ගයක් හැටියට යි.

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ක්‍රියාවට නැංවීමට යන නව මාධ්‍ය ආචාර ධර්ම යටතේ ආණ්ඩුවේ විග්‍රහය අනුව මහජන අභිලාෂයන්ට, රටේ සදාචාරය සහ මහජනතාවගේ සදාචාරය සහ රස වින්දනය පහත හෙලන අදහස් ප්‍රකාශනය සහ පළ කිරීම තහනම් කෙරෙයි.

එම නව නිර්දේශයන් මුද්‍රිත හා විද්‍යුත් සෑම මට්ටමකම ප්‍රකාශන කෙරෙහි විශාල බලපෑමක් එල්ල වෙයි.

images

හියුමන් රයිට්ස් වොච් ආයතනය ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන අතර වාරයේ, CPJ මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වන කමිටුවේ ආසියානු අංශයේ අධ්‍යක්‍ෂ බොබ් ඩීට්ෂ් (Bob Dietz) BBC සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියාසිටියේ, බලධාරීන් එවැනි අළුත් වැඩ පිළිවෙලකට ගියත් ජන මාධ්‍ය වේදීන් විසින්ම නිර්මාණය කරන ලද මාධ්‍ය අචාර ධර්ම සංග්‍රහයක් ශ්‍රී ලංකාව සතු බවයි.

අනාරක්ෂිත භාවය

CPJ ආසියානු අංශයේ අධ්‍යක්‍ෂ බොබ් ඩීට්ෂ් (Bob Dietz) දකින හැටියට ශ්‍රී ලංකා ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට එරෙහිව ජනමාධ්‍ය වේදීන් නැගී නොසිටින්නේ පවතින අනාරක්ෂිත භාවය නිසා.
මාධ්‍යවේදීන්ට පවතින පාලනයේ අයථා ක්‍රියා, පවුල්වාදය සහ වෙනත් දූෂණ ගැන එළිපිට කතා කිරීමට ඉඩක් නැති අතර ඔවුන් ජීවිතාරක්ෂාව පතා රටින් පලා යමින් සිටින බවයි,බොබ් ඩීට්ෂ් කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ පවතින තත්වය නිවැරදි කිරීම සඳහා බටහිර රාජ්‍යයන් ප්‍රමාණවත් කාර්ය භාරයක් ඉටුකරන්නේදැයි විමසූ විට CPJ ආසියානු අංශයේ අධ්‍යක්‍ෂ බොබ් ඩීට්ෂ් සඳහන් කළේ ශ්‍රී ලංකාව කෙරෙහි බටහිර බලපෑම අඩුවෙමින් පවතින බවයි.

ශුභවාදී නෑ

බටහිර රටවල් ශ්‍රී ලංකා ආණ්ඩුව සමග එක්ව තත්වය යහපත් අතට ගැනීමට උත්සාහ කළත්, මහින්ද රාජපක්‍ෂ පාලනය බටහිර ලෝකයෙන් ඈත්වෙමින් සිටින්නේය යන්න ඔහුගේ අදහසයි.

ශ්‍රී ලංකාවේ තත්වය හොඳ අතට හැරෙමින් පවතින බවක් ඇතැමෙක් කීවත්, එවැනි ශුභවාදී බවක් නොපෙනෙන බවයි බොබ් ඩීට්ෂ් පවසන්නේ.

HRW ප්‍රකාශනය මගින් ද ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආචාර ධර්ම සංග්‍රහය විග්‍රහ කරනු ලැබ තිබෙන්නේ, මාධ්‍යවේදීන් හිරිහැරයට ලක් කිරීමේ, ඔවුන්ට තර්ජනය කිරීමේ තවත් ආයුධයක් හැටියටයි.

@BBCSandeshaya