Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Politics and Governance

කොඩිය සරමට ඇඳ අපරාධකිරීම

dumee-1

dumee-2

පොසොන් උදාවත් එක්කම දුමි සිල්වා උපාසක මහතා කොළොන්නාවට කළ එළි බැස්සේය. තවත් ඉතිං හැංගි හොරා පිංකං කරන්නේ මොකටද? එළි පිට වැඩ ටික
ආයිත් පටන් ගන්ඩ බැරි කමක් නෑනෙ. මේ මෑතක් වන තුරුම, අයි.ඞී.එච් මං සන්ධියේ ඔරලෝසු කණුවේ භාරත ලක්ෂ්මන් මහතාගේ මරණය ගැනත්, ඔහු ට පිංපතා පැවැත්වෙන පිංකම් ගැනත් බැනර් සහ පෝස්ටර් එල්ලෙමින් තිබුණි. කෙසේ නමුත් භාරත ලක්ෂ්මන් ඝාතනයේ එක් සැකකරුවකු දුමින්ද සිල්වා මහතා බව පැවසෙයි. ඒ කෙසේ වෙතත්, භාරත ලක්ෂ්මන් මරා දැමුවේ කවුදැ මොනවට දැයි කොළොන්නාව ප‍්‍රදේශයේ ජනතාව හොඳින් දනිති. පොසොන් පෝයට දින කිහිපයකට පෙර සිට ඒ ඔරලෝසු කණුවේත්, අයි.ඞී.එච් මං සන්ධියේ ඇති කොටිකාවත්ත, මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ තාප්පයේත්, අනිත් තාප්පවලත්, පාර හරහට ඇඳි ලණු වලත් එල්ලී තිබුණේ, භාරත ගක්ෂ්මන් ඝාතන නඩුවේ සැකකරුවෙකු යැයි පැවසෙන දුමින්ද සිල්වාගේ මහතාගේ පොසොන් පැතුමකි.

අහිංසක, සුදුම සුදු, පිංබර පැතුමකි. එතුමා පතන්නේ පුංචි සුවඳ මලක් වෙන්නටය.

අනේ සාදු….සාදු….සාදු….

පැතුම ලොකු අකුරින් ලියා ඇත්ත් බෞද්ධ කොඩිය පසුබිමේය.

‘‘බුදු හිමි පාමුල පියුමක් වන්නට
පෙරුම් පුරමු අපි මතු සංසාරේ’’

ධර්ම චක‍්‍රයට යටින්, බැතිබර දායකත්වය යනුවෙන් ලියා, තඩි අකුරින් උපාසක මහතාගේ
නම ලියා ඇත.

ඔහුගේ නමට හැඳින්වීමක් ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී කියා ලියා ඇත. ඊට එහායින් තවත් යමක් ලියා ඇත. නමුත් සෑම බැනරයකම ඒ කොටස කලූපාට තීන්තකින් මකා දමා තිබේ. එසේ වුවත් ඒ ලියා කපා දමා ඇත්තේ කුමක්දැයි ටිකක් ළං වී බලන කෙනෙකුට පැහැදිලිව පෙනේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී/ අධීක්ෂණ මන්ත‍්‍රී, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, ඒ කොටස පෝස්ටරයේ කපා දමා ඇත්තේ, කාගෙන් හෝ ලැබුණු උපදෙසක් හෝ නියෝගයක් නිසා බව පැහැදිලිය. ‘‘ඒ කෑල්ල දැන්මම ඕනෙ නෑ….තව මාසෙකින් දෙකකින් ගහන ඒවට දාමු කොල්ලෝ’’ කියා කවුරු හෝ තීරණය කරන්නට ඇත.

රටේ පෙර සිටම සිටි පාලක දේශපාලකයින්ගේ ‘අහිංසක කුක්කංට‘ මිනී මරා, කුඩු විකුණා, ගැහැණු දුසිම් පිටින් දූෂණය කර, කෙළ කෝටි ගණන් හොරකං කර, බෞද්ධ කොඩිය සරමට ඇඳගෙන ධර්ම චක‍්‍රය කරේ එල්ලාගෙන ජනතාව අතරට ආ හැකිය. එපමණක් ද නොවේ ලෝකයම ගෙෘරව කරන කහසිවුරට මුවා වී උසාවියෙන් වරදකරැ වූ ඇතැම් භීක්ෂූන්ට(?)ත් ජනතාව ඉදිරියට ගොස් බොහෝම සිල්වත්ව බණ දේශණා කල හැකිය.

දරුණු අපරාධවල සැකකරුවෝ, සමහර රටවල අමාත්‍යාංශවල අධීක්ෂකයෝය. නැතිනං පොලිසියේ ලොක්කෝය. එක්කෝ මැති ඇමතිවරුය. මුළු රටම අධි උත්ප‍්‍රාසාත්මක විගඩමකි.

මා මෙය කියන විට ‘බොදු බල‘ චණ්ඩි සාදුලා, ‘‘ඇයි යකෝ, ‘අහිංසක‘ දහස් ගණනක් මිනිස්සු මරලා, පසුව අංගුලිමාල නමින් රහතන් වහන්සේ කෙනෙක් වුණේ,….ඉතිං අපේ මල්ලිලාට බැරි මොකද යකෝ? ’’ කියාගෙන සිවුරු කැහැපට ගහගෙන පැනගෙන එන්නට ඉඩ ඇත. ‘‘අංගුලිමාල පස්සෙ බුදුන් ඉදිරියේ දමනය වුණානෙ හාමුදුරුවනේ’’ යැයි නොකියාම එවිට මම පණ බේරාගෙන දුවන්නට සැරසෙමි.


කොළොන්නාවේ වික්ටර්

@Photo Credit:theindependent.lk