Environment, Features, Human Rights, Moneragala, Politics and Governance

කොටිකන්බොක්කත් ඇමති බොක්කේ

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැල්ලවාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොටිකන්බොක්ක වනාන්තරයේ ක්වාට්ස් ඛනිජය කැනීම සඳහා නීති විරෝධී ලෙස අනුමැතිය ලබා දී තිබේන බව පරිසර සංරක්ෂණ භාරයේ, සජීව චාමිකර පවසයි. පරිසර සංරක්ෂණ බාරය විසින් නිකුත්කරන ලද වාර්තාවක වැඩිදරටත් සදහන් වන්නේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැල්ලවාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොටිකන්බොක්ක වනාන්තරයේ ක්වාට්ස් ඛනිජය කැනීම සඳහා නීති විරෝධී ලෙස අනුමැතිය ලබා දී තිබේ. පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, මධ්‍යම පරිසර අධිකාරියට හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට කරන ලද දැඩි බලපෑම මත අමාත්‍යතුමා ගේ පුතණුවන් ගේ හිතවතුන් තිදෙනෙකුට හා වැල්ලවාය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ගේ බිරිඳ හට නීති විරෝධී ලෙස ක්වාට්ස් කැනීම සඳහා යාන්ත‍්‍රික කැනීම් බලපත‍්‍ර හතරක් භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින් නිකුත් කර තිබෙන බවයි.

මේ එම සම්පූර්ණ වාර්තාවයි.

P1

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැල්ලවාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොටිකන්බොක්ක වනාන්තරයේ ක්වාට්ස් ඛනිජය කැනීම සඳහා නීති විරෝධී ලෙස අනුමැතිය ලබා දී තිබේ. පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, මධ්‍යම පරිසර අධිකාරියට හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට කරන ලද දැඩි බලපෑම මත අමාත්‍යතුමා ගේ පුතණුවන් ගේ හිතවතුන් තිදෙනෙකුට හා වැල්ලවාය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ගේ බිරිඳ හට නීති විරෝධී ලෙස ක්වාට්ස් කැනීම සඳහා යාන්ත‍්‍රික කැනීම් බලපත‍්‍ර හතරක් භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින් නිකුත් කර තිබේ. මීට අමතරව මධ්‍යම පරිසර අධිකාරිය විසින් නීති විරෝධී ලෙස ඒ සඳහා පරිසර ආරක්ෂණ බලපත‍්‍ර ද නිකුත් කර ඇත. මෙම බලපත‍්‍ර යටතේ කැනීම් කරන ක්වාට්ස් ඛණිජය තායිලන්තයට අපනයනය කිරීම සඳහා සූදානම් වේ.

Table 01

ඒ සඳහා මහියංගනය, කුරුවිතැන්න, පිදේනිපිටිය ප‍්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිත කර්මාන්තශාලාවක දීමේ ක්වාට්ස් කැබලි කිරීමට නියමිතව තිබේ. ඒ සඳහා බත්තරමුල්ල, තලංගම උතුර, හීනටිකුඹුර පාර, කරුණාතිලක මාවතේ අංක 23/ඒ ස්ථානයේ පිහිටි සන් බිල්ඩින්ස් ඉන්ඩස්ටි‍්‍රස් පුද්ගලික සමාගමට අමාත්‍යතුමා ගේ පුත‍්‍රයා ගේ හිතවතුන්ට ලබාදුන් යාන්ත‍්‍රික කැනීම් බලපත‍්‍ර විකිණීමේ සූදානමක් මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් පවතී. කොටිකන්බොක්ක වනාන්තරය අලි ඇතුන් ජීවත් වන වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තරයකි. කොටසක සැවානා වානාන්තර ද ව්‍යාප්ත වී තිබේ. ක්වාට්ස් කැනීම සඳහා යෝජිත කඳුවැටිය වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තරයෙන් වැසී ඇති වනාන්තරය තුළ පිහිටි කොටසකි. මේ කොටසේ ක්වාට්ස් කැනීම සඳහා වනාන්තරය ඉවත් කළ යුතු අතර කැනීම් කරන ඛනිජ ප‍්‍රවාහනය කිරීම සඳහා වනාන්තරය තුළ මාර්ග පද්ධතියක් සකස් කළ යුතුව ඇත.

2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව මේ වනාන්තරය තුළ කැනීම් කිරීම, ගස් කපා ඉවත් කිරීම, මාර්ග තැනීම ඇතුළු සියලූම ක‍්‍රියා තහනම් වේ. එවන් තත්ත්වයක් තුළ පරිසර අමාත්‍යතුමන් ගේ බලපෑම් මත යාන්ත‍්‍රික කැනීම් කටයුතු සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම හා පරිසර ආරක්ෂණ බලපත‍්‍ර නිකුත් කිරීම යනු නීති විරෝධී ක‍්‍රියාවකි.

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 1 කට වඩා වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි පෙහෙළි කර සිදු කරන සංවර්ධන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් මේ කැනීම් ව්‍යාපෘතිය සඳහා අක්කර 10 කට වඩා වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි කිරීමට නියමිතව ඇත. එසේ වුව ද මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර බලපෑම් ඇගැයීම් ක‍්‍රියාවලියෙන් පරිබාහිරව පරිසර ආරක්ෂණ බලපත‍්‍ර නිකුත් කර තිබේ. මෙය නීති විරෝධී තත්ත්වයකි. එපමණක් නොව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තරයක කැනීම් කටයුතු සඳහා නීති විරෝධී ලෙස යාන්ත‍්‍රික කැනීම් බලපත‍්‍ර ලබා දී තිබේ. මෙහි දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද මේ ව්‍යාපෘතිය සඳහා ලබා ගෙන නොමැති වීම ඉතාම හානි කර තත්ත්වයකි.

ආරක්ෂිත වනාන්තර ප‍්‍රදේශ වනසමින් මේ අයුරින් අන පනත් උල්ලංඝනය කරමින් නිලධාරීන්ට ක‍්‍රියා කිරීමට පරිසර අමාත්‍යවරයා උපදෙස් ලබාදීම යනු වැරදි පූර්වාදර්ශ සමාජයට ලබාදීමකි. මේ සම්පත් ආරක්ෂා කිරීමට සිටින අමාත්‍යවරයා විසින්ම මේ සම්පත් වැනසීමට හා නීති විරෝධීව කටයුතු කිරීමට යොමු වීම ඉතාම හානිකර තත්ත්වයකි. මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වැළැක්වීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ පාර්ශ්වකරුවන් ගෙන් අප ඉල්ලා සිටිමු. පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා ගෙන් අප ඉල්ලා සිටින්නේ ද සිදු කළ වැරදි වහාම නිවැරදි කිරීමට නිහතමානීව කටයුතු කරන ලෙස ය.