Colombo, Democracy, Diaspora, Features, Media and Communications, Peace and reconciliation, Politics and Governance

බෝතල් ගත කළ භූතයන් සහ ලොහ්බිලර් ඇටවිසමය

පාඨකයාට හෝ ප්‍රේක්ෂක, ශ්‍රාවකයාට හෝ රටෙහි ජනතාවට හෝ කිසි ලෙසකින් යහපතක් නැති එහෙත් ජාතිවාදයෙන්, ඊනියා දේශප්‍රේමයෙන් මුසපත්ව ඇති මිනිසුන් අවදිකිරීම පිණිස බෝතල් ගතකර ඇති බූතයන් සහිත වෙළෙඳපලක් ලංකාවෙහි මාධ්‍ය වෙළෙඳපලෙහි ඇත. වරින් වර මෙම භුතයන් එලියට ගනිමින් ශාන්තිකර්මවල නියැලෙන යැකැදුරන් ලංකාව තුල දැකිය හැකිය. මෙම සම්ප්‍රදාය අඩුවැඩි වශයෙන් නිදහසින් පසු කාලය තුල විවිධ ප්‍රමාණයෙන් පැමිණිය ද වෙළෙඳ භාණ්ඩයක් ලෙස අලෙවිකිරීමේ සම්ප්‍රදායට මුල පිරීම ඇරඹියේ ජවිපේ හා සන්ධානය කාලය තුල දීය. කොටි භූතයන්, එන්ජීඕ භූතයන් වාම කොටි භූතයන් හා සිංහල කොටි භූතයන් වශයෙන් සමාජ වෙළෙඳ පලට පැමිණි මෙම සංකල්පිය භාණ්ඩයට විශාල වශයෙන් ඉල්ලුමක් පැවැතිණි. එම ඉල්ලුම ඇතිකිරීමට මුළු මහත් ලාංකීය සමාජ දේශපාලනය බලපෑම් කළේ වුවද ඉන් ජය ගැනීමට මහින්ද රාජපක්ෂට සහා ඊට සහයදුන් පාර්ශවයන්ට හැකි විය. ඒ ඉතිහාසයේ අවසානය යන ප්‍රවාදය ලංකාව තුල අවිඥාණිකව ඇති කරමිනි. එනම් එල්ටීටීඊය සමඟ පැවැති යුද්ධයෙන් ලබාගත් ජයග්‍රහනයෙනි. දැන් කාලය ටිකක් ගත වී ඇත. ඒ අතර බොහෝ දේවල් සිදු වී ඇත. නිෂ්පාදනය කරන ලද භූතයන් තවමත් වෙළෙඳ ගබඩාවන් තුල ඇත. ලාභය පිණිස වරින් වර මෙම භූතයන් වෙළෙඳ පළට නිකුත් කරන අතර ඊට විවිධ මට්මමේ ලේබල් අලවමින් මිල කරනු ඇත.

ඒ අතර එදාවේල සපයාගනිමින් මාධ්‍යකරණයේ නියැලෙන අපූරු මාධ්‍යවේදීන් පිරිසක් ජනයාගේ ඇස් අඳ කිරීම පිණිස, කුලියට හා ස්වෙච්ඡාවෙන් වහල් මෙහෙයේ යෙදීමට පෙනී සිටින බවක් පෙනෙන්නට ඇත. මොවුනට පාදඩ මාධ්‍යවේදීන් යැයි කීවොත් පාදඩයන්ටද කරන නිග්‍රහයක් බැවින් ඊට සුදුසු වචනය කුමක් දැයි සොයාගත යුතු වේ. ජනතාවගේ, පීඩිතයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් හෝ ප්‍රජාතන්ත්‍රවාදය, සාමය නිදහස හෝ අයිතිවාසිකම් ගැන කතාකරන විට මෙම භූතයන් බෝලත්වල්න් එලියට ගැනීම දැකිය හැකිය. ඉන් පසු අතීතය සමග ගැටගසමින් විකිණීමට පටන් ගනී. සමහර භූතයන් හොඳින් අලෙවි වන අතර වෙනත් විකල්පයක් නැති බැවින් අලෙවි නො වුවද සමහර භූතයන්ව විකිණීම කරනු ලබන්නේ රස්සාව එය වන නිසාය. නිදසුනක් ලෙස දිවයින පත්තරේ පාසැල් රචනා ලියන කීර්ති වර්ණකුලසුරිය, අයිටීන්හි මහින්ද අබේසුන්දර ජනප්‍රිය චරිත දෙක වුව ද අති බහුතර මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සදාචාරය පැවැත ඇත්තේ කරවල රසය පදනම් කරගත් වාර්තාකරණයකය. ඒ අතරින් හොඳම කුණු රස ඇති කරවල වන්නේ ජාතිවාදය, අධිරාජ්‍යවාදය, බටහිර, එල්ටීටීය, හා ඩයස්පෝරාවය.ඊට අමතරව ලිංගික වාර්තා ප්‍රධාන තැනැක් ගන්නේ වුවද එය පුද්ගලිකව සදාචාරය සඟවා ගන්නා අශාවන් වුවත්, ඊට භූත වේශයක් ඇති දේශපාලනයක් ඇත්තේ සුළු වශයෙනි.

ඉහත කී භූත සම්ප්‍රාප්තිය සිදු කරනු ලබන්නේ විශේෂිත අවස්ථාවන් එළඹෙන විටදීය. ඡන්දයක් ලඟ එය විට, ජිනීවා මානවහිමිකම් කොමිසම රැස්වන අවස්ථා හා මානව විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ඇතිවන ජනතාවාදි මැදිහත්වීම් තුල දී විශේෂයෙන්ම මෙකී බෝතල්ගත භූතයන් ප්‍රාදූර්භූත වන්නෝය. එහෙත් එවැනි අවස්ථාවක් නැති අවස්ථාවක දී උවත් එළැඹෙන අනාගත අවස්ථාවක් උදෙසා සමාජ ඇටවිසමයක් කිරීමට උත්තහ කළ සිද්ධියක් පසු ගිය රිවිර පුවත්පතේ මුල් පිටුවෙහි පළ විය. එහි ප්‍රධාන සිරස්තලය වූයේ ‘‘යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන බිරිඳගේ සහයෙන් ලංකාව යුද අධිකරණයට ගෙනයෑමේ මූලිකයා සිංහලයෙක්‘‘ (අවශ්‍ය නම් කියවීමට නමුත් අත්‍යවශ්‍ය නැත) ලෙසය.

අකාලයක ආ හෙණයක් පරිද්දෙන් පතිත වු මෙම භූත ඇටවිසමය කාරණා කිහිපයක් නිසා අන් භූතයන්ට වඩා වැදගත් වීම නිසා හා අත්‍යවශ්‍ය දේශපාලනික වගකීමක් නිසා මෙම සටහන තබමි. එබැවින් මෙම සිදුවිම ලොහ්බිලර් ඇටවිසමය ලෙස නම් කරන්නෙමි. මෙහි අරමුණ හා අවශ්‍යතාවය හා එහි ඇති විශේෂත්වය කුමක් ද යන්න විමසිම හරහා ලාංකික සමාජ ඇටවිසමය තේරුම්කර ගැනීමට හැකි වෙතැයි සිතමි. මුලින්ම ඇටවිසමයක් යන්න ද අවබෝධකර ගත යුත්තතකි.

වරෙක අධිරාජ්‍යවාදය පිළිබඳ කරන න්‍යායික කථිකාවේදී ජෝෂප් ෂුම් පීටර් මෙම වචනය යොදා ගනී. මෙහි අර්ථය වන්නේ එය වරින්වර වෛරසයක් පරිද්දෙන් සමාජය තුලට අධිරාජ්‍යවාදය පැමිණෙන බවය. එහෙත් ලංකාව විෂයෙහි දී අධිරාජ්‍යවාදය ප්‍රායෝගික වශයෙන් ස්ථිපිතව භූමි ගත වී ඇති අතර එහි මතවාදය හා මානසිකත්වය වෙත ජනයා සාමාන්‍යකරණය වී ඇත. ලංකාවට අධිරාජ්‍යවාදය යන්න අමුතුවෙන් පැමිණිය යුතු මාතෘකාවක් නොවුනත්, මෙම විෂය තවමත් විකිණිය හැකි වෙළෙඳ භාණ්ඩයකි. එබැවින් මෙම සංකල්පය ලංකිකයාට ඉතාවැදගත් බැවින් එය ඇටවිසමය ලෙස නාමකරණය කර ගතහැකි අතර මුලට යොදව විශේෂණයෙන් ආදාල සන්දර්භය තේරුම් ගත හැකි වනු ඇත. පුද්ගලයන් ද ආයතන පක්ෂ හෝ ඔනෑම දෙයක් විශේෂිත විය හැකිය.

නිදසුන්: පුද්ගල
:

1. දීප්ති ඇටවිසමය
2. භාෂණ ඇටවිසමය
3. සුනන්ද ඇටවිසමය
4. බාහු ඇටවිසමය
5. උවිඳු ඇටවිසමය
6. පැරකුම් ඇටවිසමය
7. සුනිලා නිමල්කා ඇටවිසමය
8. සරවනමුත්තු ඇටවිසමය
9. කැමති තරම් එකතු කළ හැකිය

පක්ෂ ආයතන හා ජාල:

1. පෙරටුගාමි ඇටවිසමය
2. ජවිපේ ඇටවිසමය
3. ඩයස්පෝරා ඇටවිසමය
4. හිරු ඇටවිසමය
5. සහ වෙනත්

සංකල්පීය:

1. වාමාංශික ඇටවිසමය
2. සාම ඇටවිසමය
3. මානව හිමිකම් හා යුක්තිය පිළිඳ ඇටවිසමය
4. සහ වෙනත්

අනෙක් අතට ඇටවිසමයක් මගින් එය යොදාගන්නට ලාභයක් ලැබෙන අතරම ඇටවිසමය බවට පත්වන්නාට ඇතිවන්නේ සංකල්පීය පාඩුවක් වුවත්, ඇටවිසමය මනුෂ්‍ය යහපත පිණිස නම් එය නුදුරේදී ලාභදායක සංකල්පීය ප්‍රාග්ධනයක් වනු නොවනුමානය. එබැන් අද දවසේ භූතයන්ට කාර්යයක් ඇත. භූතයන් පෙනීසිටින්නේ යහපත වෙනුවෙන් නම්, කුමන තොවිල් නැටුව ද තමන්ගේ කොටස කළ යුතු වන්නේය. එහෙත් අඩුම වශයෙන් පොදු අරමුණ වෙනුවෙන් භූතයන්ට එකට විසීමට හැකියාවක් නොමැතිකමේ වාසිය හැම දිනම ඊට විරුද්ධ පාර්ශවන් අත්පත් කර ගැනීම, අපගේ පසුගිය අඩසිය වස දෙස බැලීමේදී පැහැදිලිය.

‘‘යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන බිරිඳගේ සහයෙන් ලංකාව යුද අධිකරණයට ගෙනයෑමේ මූලිකයා සිංහලයෙක්“

ඉහත ප්‍රධාන සිරස්තලය සහිතව රිවිරෙහි පලවූ ලිපියෙහි අන්තරගත කරුණු වල ඇති සත්‍ය අසත්‍ය බව එත් අතකින් ප්‍රශ්න කිරීම හා ආචාර ධාර්මිකභාවය ගැන අති අශිෂ්ඨබව කතා කිරීමෙහි ඇති වැදගත්කමට වඩා අවධානය යොමුකළ යුතු වන්නේ මෙම නිශේධනාත්මක අර්ථය ධනාත්මක අර්ථයක් බවට පත්කර ගන්නේ කෙසේද යන්නය. එම අභියෝගයේ දී ඇති ප්‍රධානතම ගැටලුව ඇත්තේ කවුරුත් අපේක්ෂා කරන තමන්ගේ ප්‍රධාන අනෙකා වූ ලාංකීය රජ්‍ය හෝ මහින්ද රාජපක්ෂ බව උවත් ඇත්ත වශයෙන්ම ඇති බාධකය වන්නේ තමා ළඟ සිටින ධනාත්මක අනෙකාය. සුනිල් මාධව මාදිලියේ කුමන අභියෝග කරනු ලැබුවත්(1990 ගණන් වලදී, භිෂණය හිස ඔසවමින් අඳුර සුදු වී ඇති අවධියක සුනිල් මාධව සහෝදරයා එවකට ජනාධිපතිව සිටි ප්‍රෙමදාස මහතාට කළ සෘජු අභියෝගයන් හා ඊට තරුණ ප්‍රෙක්ෂක අපගෙන් ආ ප්‍රතිචාරය සිහි වන්නෙමි) එහි ශක්තියක් නැත්තේ පාලකයන්ගේ ඇති ශක්තිය නිසා හෝ රාජ්‍ය හෝ ආණ්ඩුවල ඇති බලය නිසා නොව, කෑ මොර දෙන තරමට අප තුල ශක්තිය නැති නිසාය. අපව භූතයන් බවට පත් කිරීමේදී, ඊට අප ඇලුම් කරන නිසාය. මාටින් නිමොලර්ගේ අදහස නැවත පසක් කරන යථාර්ථයක් ඇත්තේ වුවද අප ඊට ආසා කරන්නේ දැයි කල්පනාකර බැලිය යුතුය. එම වැකි නැවත කියවමු

පළමුව ඔවුහු සාමාජවාදීන් සොයා ආහ.
මම නිහඬව සිටියෙමි.
මන්ද මම සමාජවාදියෙක් නොවීමි.
ඊළඟට ඔවුහු වෘත්තීය සමිති සොයා ආහ.
මම නිහඬව සිටියෙමි.
මන්ද මම වෘත්තීය සමිතිවාදියෙක් නොවීමි.
ඊළඟට ඔවුහු යුදෙව්වන් සොයා ආහ.
මම නිහඬව සිටියෙමි.
මන්ද මම යුදෙව්වෙක් නොවීමි.
ඊළඟට ඔවුහු මා සොයා ආහ.
ඒ වන විට මා වෙනුවෙන් කතා කිරීමට
කිසිවෙක් ඉතිරිව නොසිටියහ.

ලොහ්බිලර් ඇටවිසමය (Lochbhiler Atavism)

ලොහ්බිලර් ඇටවිසමය යනුවෙන් හැඳින්වීමට පදනම් තර්කය වන්නේ ලොහ්බිලර් යන්න තුල මිනිසකු ද ගැහැනියක ද, දේශය ද විදේශය ද, පෙරදිග ද බටහිර ද ආදී සහ සම්බන්ධතා ඇති වපසරියක් ඇති වීමය. මෙය තේරුම්කර ගත යුත්තේ කුමන දෘෂ්ටිකෝණයේ සිට දැයි විමසුව හොත් රිවිර වාර්තාවට එහා ගිය යථාර්යක් ඇති අතර එම යථාර්ථයන් ප්‍රතිවිරෝධයන් බවට පත්වන්නේ ඇයි ද යන පොදු ප්‍රශ්නය ඉතිරිව පවතින්නකි. එම ප්‍රතිවිරෝධයන් කෙටියෙන් සඳහන් කළහොත් මෙළෙස පැවැසිය හැකිය
1. ජවිපේ ප්‍රතිවිරෝධය(රංජිත් හෙන්නායකාරච්චි 71 කැරුල්ලෙහි ප්‍රධාන පුද්ගලයෙතු වීම හා එහි ඔහු එහි සුරුවමෙහි හතුරාවීම. මේ පිළිබඳ විවිධ ආඛ්‍යාන ඇත. නමුත් හඳුනා ගැනීම වැදගත් වේ.)

2. රාජපක්ෂ ප්‍රතිවිරෝධය (යුද්ධයට පෙර මහින්ද රාජපක්ෂ හොහ්බිලගේ දේශපාලනික සගයෙක් වන්නාසේම තවත් බොහෝ පක්ෂ විපක්ෂ නායකයින් ඹහුව හා ඔහුගේ ක්‍රියා කලාපය දන්නා අය වන්නෝ වන අතර සාම ක්‍රියාවලියේ දී සියල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදයට ජීනීවා ද බර්ලින්ද පැමිණි පුද්ගලයින් වබ මගේ වැටහිම වේ.)
3. එල්ටීටී ප්‍රතිවාරෝධය(ජවිපේ මෙන්ම එල්ටීටීය ද රංජිත්ගේ ෆෙඩරල්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයට එකඟ නොවන අතර රංජිත් ද දෙමළ ජාතික ප්‍රශ්නය මිසක, එල්ටීටී දේශපාලන ක්‍රමවේදය අනුමත නොකරන්නෙක් බව දන්නෝ දනිති.)

4. විදේස්ගත මාධ්‍යෙව්දී ප්‍රතිවිරෝධය(මෙම ප්‍රතිවිරෝධය තරමක් සංකීර්ණ එකක් වන්නා සේම එහි අන්තර රඳා පැවැතීම් ද දැකිය හැකි බව මගේ අදහසයි. එහෙත් නිහඬබවේ වාසිය අවාසිය හා වෙහෙසෙන්නන්ගේ කරමත නැග සටන් පාඨ කීමෙන් එහා ඇති යථාරථය සංකීර්ණයක්ව ඇත)

5. එන්ජීඹ් ප්‍රතිවිරෝධය(රාජ්‍ය නොවන සංවිධාන යන සංකල්පයෙහි අර්ථයෙන් ඔබ්බට ගිය විකෘතියක් ලංකාව තුල එන්ජීඹ් වලට ඇති අතර ඊට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ එහි නියෝජිතයන් සේම සිවිල් සමාජයය. මේ නිසා දේශපාලනික යථාර්ථයක් එන්ජීඹ් බවට පත්තරමින් එවා දිය කිරීම හා ඩොලර්වලට ලඝු කිරීම ලාකික සිවිල් සමාජය, වම හා බුද්ධිමතුන්ගේ නූගත්කමය)

6. රංජිත්ගේ ප්‍රතිවිරෝධය(එනම් 1971 රංජිත් හා වර්තමාන රංජිත් අතර ඇති දාර්ශනිකමය ප්‍රතිවිරෝධය. එය තම තමන්ගේ ආස්ථානයන් අනුව අඩු වැඩි ගැලපීම් නොගැලපීම් ඇති වුවද ලංකාව විෂයෙහි ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් වන ප්‍රතිවිරෝධය ඉහත සියල්ලටම බල පාන පොදු කාරණය වන්නේය.)

මේ අනුව හොහ්බිලර් ඇටවිසමය යන්න පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව නැගෙන්නක් ලෙස සැලකුවහොත් හොහ්බිලර්ට ඇති කරන චෝදනා නැවත අවධාරණය කරමින් එහි අර්ථයන් සොයා ගතයුතු වන්නා මිසක එවාට ඔව් හෝ නැත පිළිතුරු ප්‍රමාණවත් නොවනු ඇත. ඔහුගේ කේන්ද්‍රීය කාරණා අඩපන කිරීමට ගෙන එන අභූත මඩ නැතිනම් චරිත ඝාතන චොදනා හඳුනාගත යුත්තේ ඉරිසියාවේ මූලධාර්මික කාරණයක් හා ඉරිසියා කිරීමට පදනම් වන ලෞකික පසුබිම නිසා විය හැකි වීම මනෝවිද්‍යාත්මකව අවබෝධකරගත යුත්තකි. නිදසුන් දෙකකින් කීවොත් එක ලස්සන ගැහැනියක හා විවාහ වී සිටීම. දෙක එම බිරිඳ සාමාන්‍ය බිරිඳක් නොවීම.

මෙම ඉරිසියා සහගතබව හා භූතගතකරණය කර ඇති ආකාරය පහත ඡායාරූපය නිදසුන්කර ගත හොත් පැහැදිලිවන්නේ කුමක් ද. රවිර පුවත්පතේ පළකර ඇති මෙම ඡායාරූපයේ ජර්මන් රාජ්‍ය නායිකාව(අන්ජෙලා මර්කර්) මකා දමා තිබීමයි. මෙයින් ඇඟවීමට උත්සහ කරනුයේ කුමක්ද (රිවිර ඡායාරූපය) රංජිත්ගේ බිරිඳ හා ඔවුන්ගේ ක්‍රියාකලාප එන්ජීඕ ක්‍රියාකාරකම්වලට එහා ගිය දෙයක් නොවන බව පෙන්වීමට දරණ බාල වෑයම ය.

 (Frank-Walter Steinmeier Anke Fuchs, Angela Merkel, und Barbara Lochbihler)
(Frank-Walter Steinmeier Anke Fuchs, Angela Merkel, und Barbara Lochbihler)

අභියෝගය

ඡන්ද කාලයක් ලඟ එන බැවින් උවත්, නවනීදන්පිල්ලේ ලංකාවට පැමිණිමට නියමිත නිසා උවත්, නැතිනම් වෙනත් කාරණයක් නිසා උවත් වෙළෙඳ පලෙහි භුතයෙකු වීම දේශපාලනික අර්ථයෙන් රාජපක්ෂලාට මෙන්ම ලංකාවේ මනුෂ්‍යත්වය, ප්‍රජාතන්ත්‍රවාදය සාමය අවශ්‍ය කරන ප්‍රාර්ථනා කරන්නන්ටද ධනාත්මක කාරණයක් විය හැකිය. එක් වටයකින් ජයගත් නරුම ජාතිවාදය තවත් වටයකින් ජය ගනු ඇත. එම වටයට මෙම භූතයන් වෙළෙඳ භාණ්ඩ විය හැකිය. එහෙත් විලෝමය සත්‍යක් වීමේ යථාර්ථයට තවත් කල් ඇත. මිනිසුන් ප්‍රජාතන්ත්‍රවාදය නිදහස හෝ අලුත් සමාජවාදයක් වෙනුවෙන් හඬක් නඟන දිනක භූතයන්ටද කාරයයක් ඇත. එනම් ප්‍රජාතන්ත්‍රවාදයට නායකත්වය දිමය. එවිට මතක තියා ගත යුත්තේ භූතයන් ද රටට ආදරය කළ මිනිසුන් බවය. ද්‍රෝහියා වීරයා වීම ඈතක වුවත් ඉක්මනින් එය පැමිණෙනු ඇත. නමුත් මතක කියා ගත යුත්තේ භූතයන්ට කාරයයන් දෙකක් ඇත යන්න බවය. එක ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රගුණ කිරීම දෙක, එක්සත් කම මිස අන් දෙයක් නොමැති බව වටහා ගැනීම. එය රට ඇතුලට ද පිටතට ද අදාල මගහැර නොහැකි කාරණයකි.

උදය ආර්. තෙන්නකෝන් | Udaya R. Tennakoon