සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees

අවතැන්වූවන්ගේ ඡන්ද අයිතිය සුරක්‍ෂිත කිරීමට එක්වන්න

උතුරේ අවතැන්වූ ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්‍ෂා කිරීම සඳහා දේශපාලනික මැදිහත්වීමක් සිදු කිරීමට මෙරට කිසිදු දේශපාලන පක්‍ෂයක් මේ දක්වාම අපොහොසත්වී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානයේ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

යාපනය සහ වන්නි දිස්ත්‍රික්කයන් හි අවතැන් වී සිටින ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්‍ෂා කර දීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා සහ රජයේ නිලධාරීන්ට පමණක් නොව මේ රටේ ක්‍රියාත්මක දේශපාලන පක්‍ෂ වෙත ද දැඩි වගකීමක් තිබෙන බවත් මහජනතාව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ තම ජනතාවගේ අයිතීන් ආරක්‍ෂා කර දීම සඳහා තීරණාත්මක මැදිහත්වීමක් සිදු කළ යුතුව ඇති බව පවසන කැෆේ සංවිධානය එසේ නමුත් උතුරේ අවතැන්වූ ඡන්දදායකයින්ගේ අයිතීන් වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්‍ෂකයින් බහුතරයක් මේ දක්වාම සිය අවධානය යොමු කොට නොමැති බවද පවසයි.

උතුරේ අවතැන්වූවන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වීමට ලබාදී ඇති කාලසීමාව දෙසැම්බර් මස 24 (හෙට) දිනෙන් අවසන් වේ. දෙසැම්බර් 22 දින විට මෙලෙස ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යාපනය මැතිවරණ කාර්යාලය වෙත අයඳුම්පත් ඉදිරිපත් කර ඇත්තේ 2600 කට මදක් වැඩි පිරිසක් පමණී. වන්නි දිස්ත්‍රික්කය සඳහා අයඳුම්පත් ඉදිරිපත් කර ඇත්තේ 13,000 ක් පමණී. ඒ අනුව උතුරේ අවතැන්වී ඇති අති විශාල පිරිසකට මෙවර සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවී යෑම වැලැක්විය නොහැක්කක් බවද කැෆේ සංවිධානය පවසයි.

වසර තිහකට පසුව උතුරේ ජනතාවට බලපෑමකින් තොරව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබී ඇති මෙම අවස්ථාවේ මෙම මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්‍ෂ සහ කණ්ඩායම් උතුරේ ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක මැදිහත්වීමක් සිදු කළ යුතුව ඇතැයි ද එම සංවිධානය තවදුරටත් අවධාරණය කර සිටියි.