සිංහල, Batticaloa, Governance, Life quips

මඩකළපුවේ ගංවතුර, පවුල් 60000 බලපායී

මඩකළපුව දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාව නිසා බිරන්දචෛනයි, මාවඩිචෛනයි, සෙම්මාන්ඔඩේ, මාන්චෝලෛයි, සිත්තන්ඩි, එරාවූර්, වන්දාරමුලෛයි,සන්දවේලි හා කල්අඩි යන ප්‍රදේශ ජලයෙන් යටවීම නිසා පවුල් 60000 ක් පමණ අනාත වී ඇති බව විකල්ප වෙත වාර්ථාවේ. දින පහක පමණ සිට මෙම ප්‍රදේශ ජලයෙන් යටවී තිබුනද මේ දක්වා ඔවුන්ට සහන සැලසීමට රජය හෝ කිසිදු ආයතනයක් ඉදිරිපත් වී නොමැති බවද වාර්තාවේ. ඇති වී ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් යමක් උයාපිහා ගැන්මට හෝ රැකියාවට යාමට හෝ නොහැකි වී ඇති නිසා ඔවුන් දැඩි අපහසු තාවයට පත්වී ඇති බවද වාර්තාවේ. මේ අතර ප්‍රදේශය පුරා පාචන රෝගය පැතිරී යාමේ අවධානමක් ද තිබෙන බව ජනයා පවසා සිටී.
අප මේ පිළිබඳව මඩකළපුව දිසාපති අරුමයනායගම් මහතාගෙන් විමසූ විට ඔහු පැවසූවේ එම ජනයාට සහන සැලසීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇති අතර මේ වන විටත් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමට කටයුතු සලසා ඇති බවත්ය. එහිදී එක් පවුලකට සතියකට සෑහෙන ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබාදීමට කටයුතු සලසා ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා. ඊයේ දිනයේද දැඩි වර්ෂාවක් පැවති නිසා ගංවතුර තත්ත්වය පහවීමට තවත් දින ගනනාවක් ගතවිය හැකි බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.